අපි අතර ඉන්නෙ කළු හෝ සුදු මිනිස්සු නෙවෙයි, කළු-සුදු මිශ්‍ර වුණු අළු පැහැති මිනිස්සු.- ප්‍රියන්ත ලියනගේ

අනූවේ දශකයේ ඉපදුණු මවිසින්, හැටේ දශකයේ ඉපදුණු මනුස්සයෙක් ගැන දීර්ඝ හැදින්වීමක් කිරීම, විටෙක හාස්‍යජනක කරුණක් විය හැකිය. විශේෂයෙන්ම 30 වසරකට අධික දේශපාලන පසුබිමක දිවෙන චරිතයක්, මගේ වත්මන් වයසටත් අඩු වයසක දී දේශපාලනමය ක්‍රියාකලාපයන් හේතුවෙන් හිරේ විලංගුවේ වැටුණු චරිතයක්, ඒ මොහොතේ පටන් මේ වන තෙක්ම තමන්ගේ මතවාදය උදෙසා නිදහස් අරගලයක යෙදෙන චරිතයක් පිළිබඳව එවන් පණ්ඩිතමානී හැඳින්වීමක් කිරීමට මා වැනි කොලුගැටයෙකුට පුළුවන් ද?

නමුදු, ඔහුව මේ සංවාදය ඔස්සේ ඔබට හඳුන්වාදිය හැකි බව නම් විශ්වාස යි.

ජූලි 15 වෙනිදා (හෙට) හවස 03.00ට මහවැලි කේන්ද්‍රයේ දී, “කොට තුවක්කු” නමින් තම පළමු නවකතාව එළිදක්වන ප්‍රියන්ත ලියනගේ නම් ඒ අව්‍යාජ මිනිසා සමග කළ කතාබහේ සංක්‍ෂිප්ත ය යි මේ. එදාට පොත ගැන කතා කරන්න උපුල් ශාන්ත සන්නස්ගල සහ සුදර්ශන සමරවීර යන අය පැමිණෙන වග ද මේ කෙටි පිවිසුමේ දී ම සිහිපත් කරමින්, ඔබේ ‘ඇරයුම්පත’ ද වචනෙකින් මේ සමග අමුණමි.

   

1987 සැප්තැම්බර් 05 වෙනිදා නොසිතූ මොහොතක, අහම්බෙන් වගේ ඔබ අත්අඩංගුවට පත්වෙනවා. ඒ හේතුවෙන් වසර 7ක පමණ කාලයක් ඔබට බන්ධනාගාරගත ව සිටින්න සිද්ධවෙනවා. අපි එතැනින් පටන්ගමු කතාව.

ඇත්තටම ඒක අහම්බෙන් අත්අඩංගුවට පත්වීමක් නෙවෙයි. යම්කිසි දේශපාලන ක්‍රියාවලියක යෙදී සිටිය දී යි මං අත්අඩංගුවට පත්වෙන්නෙ. ඒ මම ජනතා විමුක්ති පෙරමුණේ පුර්ණකාලීනව දේශපාලනයේ නිරත වෙලා හිටපු කාලේ. ඒක හරියට මට අත්විඳින්න සිද්ධවුණ දෛවෝපගත සිදුවීමක් වගේ. මොකද මම ඉපදුණේත් 1964 සැප්තැම්බර් මාසයේ, අත්අඩංගුවට පත්වෙන්නෙත් 1987 සැප්තැම්බර් මාසයේ.   

මෙතෙක් ආපු දුර සහ පහුකරපු මංසලකුණුවලට සාපේක්ෂව බැලුවොත්, ඔබ පොත් කිහිපයක්ම ලියන්න තරම් අත්දැකීම් රාශියක් තිබෙන අයෙක් බව අවිවාදිත යි. නමුත්, ඔබ මේ “කොට තුවක්කු” නමින් ජනගත කරන්නෙ ඔබේ පළමු නවකතාව. ඇයි, මෙතරම් කාලයක්?     

මට පොතක් ලියන්න ඕනි කියලා අදහසක් ලොකුවට තිබුණේ නෑ. මම දේශපාලනයත් ඇතුළුව විවිධ වැඩත් එක්ක තමයි හිටියේ. ඒ වැඩ ඇතුළේ එකතුවෙච්ච අත්දැකීම් තමයි මේ පොතක් විදියට එළියට එන්නෙ. අනෙක තමයි, මම යෙදී හිටපු දේශපාලනය ඇතුළේ සිද්ධවෙච්ච ඇතැම් සිදුවීම් ගැන කලකිරිලා මං යම්කිසි කලෙක දී පුර්ණකාලීන දේශපාලනයෙන් නිහඬ වෙනවා. ඒ නිහඬ වීමේ ප්‍රතිඵලයක් හැටියට මට හිතුණා, මං මේ ආපු ගමන දිහා නැවත වාරයක් හැරී බලන්න ඕනි කියලා. මොකද අපේ රටේ ගොඩක් දුරට වෙන්නෙ, මිනිස්සු ආපහු හැරී බලන්නෙ නැතුව වැඩ කරන එකනෙ. ඒ විදියට ආපහු හැරිලා බලද්දී මට හිතුණා, ඒ අත්දැකීම් ටික එකතු කරගන්න. එත් මං ඒ අත්දැකීම් එකතු කරගන්න ආකෘතිය මොකද්ද කියලා මට නිශ්චිත අදහසක් තිබුණේ නෑ. 

ඉතින් ඔය කාලේ ඇතුළත මං දේශපාලනයෙන් ඉවත්වීමත් එක්ක හැදුණු රික්තකයක් තිබුණානේ. ඒ රික්තකය ඇතුළේ වෙච්ච දේ තමයි, මං ඒ කාලය වැඩිපුර කියවන්න යොදාගත්තා. ඒ කියැවීමත් එක්ක මට වැටහුණා, අපි දේශපාලනය ඇතුළේ දී මිනිස්සුන්ව හරියට කියවගෙන හිටියේ නෑ කියන දේ. දේශපාලනය කරන කොට අපිට මිනිස්සු අඳුරගන්නවා කියන්නෙ ටිකක් අසීරු වැඩක්. අපිට දැනුණේ, පැතලි මිනිස් චරිතත් එක්ක තමයි අපි මේ ගනුදෙනු කරන්නෙ කියලා. ඇත්ත මිනිස්සුන්ගෙ ජීවිත වැඩ කරන හැටි නවකතා ඇතුළේ දී මට දැනෙන්න ගත්තා. විශේෂයෙන්ම විදේශීය නවකතා පරිශීලනය කිරීමේ දී ඒක තදින්ම දැනුණා. එත් එක්කම මම මේ කියැවීම කෙරෙහි තදින් ඇබ්බැහි වුණා. අවු; 30කට අධික දේශපාලන ජීවිතේ දී අපි වටහා නොගත් මිනිස් සංකීර්ණතා මේ කෘතීන් ඔස්සේ මතුවෙන්න පටන් ගත්තා. ඉතින් මං කල්පනා කරන්න ගත්තා, ඒ සංකීර්ණභාවයන් එක්ක කොහොමද මිනිස් ජීවිතේ ක්‍රියාත්මක වෙන්නෙ? අපි වැඩ කරපු දේශපාලනික කලාපය තුළ කොහොමද ජීවන අත්දැකීම් එහෙට මෙහෙට වුණේ? මෙන්න මේ ටික සමාජගත කරන්න ඕනි කියලා හිතුණ නිසා තමයි මං “කොට තුවක්කු” තුළින් පාඨකයා හමුවට එන්නෙ.

ඇයි “නවකතාව” ම ඔබේ ආකෘතිය කරගන්නෙ සහ මොකක්ද මෙහි අන්තර්ගතය?

මං පොත් නොලිව්වට දීර්ඝ කාලයක් ලේඛනයත් එක්ක සමීපව හිටපු නිසා මට දැනුණු දෙයක් තමයි, මට කවි ලියන්න බෑ කියන එක. අනික මේ තරම් දීර්ඝ වපසරියක විහිදුණු අත්දැකීම් සමුදායක් කවියකට කැටි කරගන්නෙ කොහොමද කියන ප්‍රශ්නාර්ථය මා තුළ ඇති වුණා. ඒ නිසා මට හිතුණා මේ කතාව වෙන ආකෘතියකින් ලියන්න ඕනි කියලා. ඒ තීරණය මත තමයි මං මගේ ප්‍රකාශන මාධ්‍ය විදියට නවකතාව තෝරාගන්නෙ. 

මේ කතාව දිවෙන්නෙ 1987 – 2010 කියන කාල පරාසය ඇතුළත. ඇත්තටම මේක සත්‍ය කැටිවෙච්ච ප්‍රබන්ධයක්. කොහොමත් නවකතාවක් කියන්නෙ සත්‍යයේ හා කල්පිතයේ එකතුවක්නෙ. ඉතින් මේ ප්‍රබන්ධය ඇතුළේ ඇත්තම චරිතත් ඉන්නවා මට හමුවෙච්ච. ඒ වගේම ගොඩනගපු චරිතත් ඉන්නවා. 

එකිනෙකා මේක විවිධ අර්ථයෙන් බාරගන්න පුළුවන් නිසා මං මේ දේත් පැවසිය යුතුම යි. මට ඕනි වුණේ මගේ අත්දැකීම් ප්‍රබන්ධාකාරයෙන් ගොඩනගන්න. ඉතින් ඒ ප්‍රබන්ධාකාරයේ ඇතැම් දේ තමන්ට අවැසි පරිදි සත්‍යය විදියට අරන්, කාට හරි කාව හරි දඩයම් කරගැනීමට පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත්, එය එසේ විය යුතු නෑ. මොකද, මේකේ තියෙන සිදුවීම් බොහොමයක් සංකේතයන්.  

ජාතිය, ආගම කියන සංකල්පයන් එක්ක පහුගිය කාලේ අපිට ඛේදවාචකයන් රාශියක් එක්ක ගැටෙන්න සිද්ධ වුණා. මේ වගේ කාරණා පදනම් කරගෙන ඇති කරගත්ත බෙදීම්වල ගොඩක් අයට නොපෙනෙන ‘ඇත්තක්’ කොට තුවක්කු නවකතාව හරහා ප්‍රශ්න කෙරෙනවා කියලයි ආරංචිය. ඔබ හිතනවද ඒක මේ මොහොතේ අපේ පාඨකයා හරි තැනින් අල්ලගනියි කියලා?

ඇත්තටම ඔබ ඔය මතුකරන ප්‍රශ්නය මාව හුඟක් කම්පනයට පත්කරපු කාරණාවක්. මිනිස්සු මේ සමාජය ඉරි ගහලා බෙදන එක තුළ නිර්මාණය කරන්න පුළුවන් ඛේදවාචක ම විතරයි. බෙදුණු සමාජයක ඒ හැර යහපත් කිසිවක් නිර්මාණය වෙන්නෙ නෑ කියලා ගෙවුණු අතීතය හා මගේ ජීවන අත්දැකීම් තුළත් හොඳින්ම ඔප්පු වෙලා තියෙනවා. අපි හිටපු දේශපාලන ව්‍යාපාරයෙන් ගැලවෙන්නත් ප්‍රමුඛතම හේතුවක් තමයි ඒක. ඒ කියන්නෙ ඕක ප්‍රධාන දේශපාලන කාරණාවක්.

ලෝකයේ මේ වෙද්දී වැඩිපුරම ඉන්නෙ, ජාතියේ පුත්තු සහ ජාතියේ දූලානේ. ඉතින් මට මතුවෙන ගැටලුව තමයි ජාතියේ පුත්තු සහ ජාතියේ දූලා අතර ‘ජාතියක් නැති’ තරුණයෙක්ට මොකද්ද වෙන්න පුළුවන් කියන කාරණාව. තමන්ගෙ ජාතිය ගැන විතරනේ අපේ බහුතරය හිතන්නෙ. ඇයි අපිට මිනිස්සු විදියට මිනිස්සු ගැන පොදුවේ හිතන්න බැරි? මිනිස්සු, මිනිස්සු ගැන යි හිතන්න ඕනි.

මං මේ දවස්වල කියවමින් ඉන්නවා පාවුලෝ කොයියෝගේ පොතක්. පොතේ නම “ෂාහීර් (Zahir)”. “මා සොයන මා” කියලා තමයි ඒක සිංහලයට පරිවර්තනය වෙලා තියෙන්නෙ. ෂාහීර් කියන්නෙ ඔහු මුස්ලිම් ආගමෙන් ගත් සංකේතයක්. ෂාහීර් යන්නෙහි අර්ථය විදියට පොතේ සඳහන් කරලා තියෙන්නෙ “උතුම් බව සහ උමතු බව”. එතකොට උතුම් බවේ කෙලවර තමයි උමතු බව. අපි දැක්කෙ උතුම් අරමුණක් වෙනුවෙන් පිරිසකගේ උමතු ක්‍රියාවක්නේ පහුගිය කාලේ. ඒ නිසා මට ෂාහීර් හරියට දැනෙන්න ගත්තා. මේ උතුම් බව උමතු බවේ සීමාවට යා නොදී අපි කොහොමද වළක්වා ගන්නෙ? ඔතනදී මට හිතෙනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් ෂාහීර් කියන නම අපි ඉංග්‍රීසි බසින් ලියද්දි මුලට යොදන්නේ Z අකුරනේ. ඒ Z අකුරේ ඔය උඩයි, යටයි තියෙන ඉරි දෙක යාවෙලා තියෙනවනේ එක හරස් ඉරකින්. ඔය ඉරි දෙක කැපෙන ඒ හරස් ඉර අපිට පේන්නෙ නෑ. හැබැයි, ඒ හරස් ඉරේ තමයි මේ දෙක අතර සම්බන්දය තියෙන්නෙ. මුස්ලිම් ආගම තුළ විතරක් නෙමෙයි, හැම ආගමක් තුළම හැම ජාතියක් තුළම ෂාහීර් කෙනෙක් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නෙ ෂාහීර් උතුම් වෙනවා ද, උමතු වෙනවා ද කියන එක මත. ඉතින් සාහිත්‍යකරුවාට පුළුවන් අර ඉරි දෙක එකිනෙකට සම්බන්ධ නොවන්නට වගබලා ගන්න.         

සාහිත්‍ය කියන්නෙ පිරුණු බවටනේ. සමාජය පිරුණු මිනිසුන්ගෙන් පුරවන්න නම් අපි කරන්න ඕනි පිරුණු දේවල් සාහිත්‍ය ඇතුළට ගෙනෙන එක. ඉතින් මේ පොත එක්තරා විදියට ඒ වෙනුවෙන් දරපු උත්සාහයක් විදියටත් හඳුන්වන්න පුළුවන්. මං දන්නෑ ඒ උත්සාහය කෙතරම් දුරට සාර්ථක ද කියලා. ඒක පාඨකයාට බාර යි. පාඨකයා මේක හරියට බාරගනියි ද කියන කාරණාව ඉතින් තීරණය වෙන්නෙ විචාරයත් එක්කනේ. ඒක ගැන ඉතින් අපිට පුර්ව නිගමනයකට එන්න අමාරුයි. පොත සමාජගත කළාට පස්සෙ ගොඩනැගෙන සංවාදයන් එක්ක අපි බලමු, පාඨකයා ඒක කොතනින් අල්ලගනියි ද කියලා.

ගෙවුණු අවුරුදු කිහිපය ඇතුළත එළිදැක්වුණු සමහර ආන්දෝලනාත්මක කෘතීන් ගැන කල්පනා කරලා බලද්දි, මේ වගේ තේමාවන් ගොඩක් වෙලාවට පාවිච්චි වුණේ ‘මාකටින් උපක්‍රම’ විදියට කියලයි හිතෙන්නෙ. මොකද ඔබ ඒ ගැන හිතන්නෙ?

අපි ජීවත්වෙන්නේ ම මාකටින් සමාජයකනේ. බොහෝ වෙලාවට මාකටින් නැතුව අපිට දැන් මුකුත් කරන්න බෑ. ඔබයි මමයි මේ මොහොතේ කරන්නෙත් එහෙම බැලුවොත් මාකටින් වැඩක්නේ. ඒ නිසා මාකටින්වලට සම්පුර්ණයෙන් විරුද්ධ වෙනවා කියන එක කරන්න බැරි වැඩක්. විරුද්ධ වුණත්, ඒකත් මාකටින් තමයි. හැබැයි, සමාජයට හානිකර නොවන දිශාවට මාකටින් මෙහෙයවන්න පුළුවන් නම් ඒකත් වැඩක්!

ඇත්තටම අපට අද ජීවත් වෙන්න සිද්ධවෙලා තියෙන මේ වටපිටාවේ කිසියම් ‘වෙනසක්’ කරන්න මේ මොහොතේ අපේ සාහිත්‍යයට පුළුවන්කමක් තියෙනවද?

කරන්න පුළුවන් ද? බැරි ද? කියන එකටත් වඩා වටින්නේ අපි ඒකට උත්සාහ දැරීම කියලා යි මගේ විශ්වාසය. අපේ ජෙනරේෂන් එක අතාරින්නකෝ. මොකද මං හිතන්නෙ නෑ අපේ ජෙනරේෂන් එක ආයේ ගොඩගන්න පුළුවන් කියලා. ඔබේ ජෙනරේෂන් එකත් අතාරින්නකෝ. හැබැයි ඉගෙනගන්න දරුවෝ ඉන්නවනේ. මෙන්න මේ දරුවා අතරට සාහිත්‍ය ගුරුවරයා යනවා නම්, අධ්‍යාපනයෙන් මේ වැඩේ පටන් ගන්න පුළුවන් නම්, අපිට මං හිතන්නෙ මේක වෙනස් කරන්න බැරි නෑ. අපි මැරෙනකම් ම යහපත් දේ උදෙසා උත්සාහ දරමු!

කාලයක් තමන්ගෙම මිනිස්සු විදියට දැනුණු අයගෙන් සහ ඒ මතවාදී කඳවුරුවලින් පස්සෙ කාලෙක පිටමං වෙන්න සිද්ධ වීම මොන විදියටද ඔබට දැන් දැනෙන්නෙ? පසුතැවීමක් නැද්ද? 

නෑ. මං කවදාවත් මං ගත්ත තීරණ ගැන පසුතැවුණු මිනිහෙක් නෙවෙයි. ඉස්සරහටත් පසුතැවෙන මිනිහෙකුත් නෙවෙයි. ඒ මොහොතේ මගේ දැනුමට සහ හෘද සාක්ෂියට එකඟව තමයි මං ඒ තීරණේ ගත්තෙ. මොකද, කවදාවත් මාව කවුරුත් බලහත්කාරයෙන් කිසිම තැනකට ස්ථානගත කරලා නෑ. මං ගිය හැම ගමනක්ම ගියේ මං, මගේ කැමැත්තෙන්. පක්ෂෙන් ඉවත් වුණෙත් මගේ කැමැත්තෙන්. හිටියෙත් මගේ කැමැත්තෙන්. කවුරුත් කියපු නිසා නෙවෙයි ඒ කිසිවක් කළේ. මගේ දේශපාලන ඉතිහාසයේ සිද්ධවෙච්ච මේ කිසිදෙයක් ඇතුළේ මං කම්පා වෙන්නෙ නෑ. මොකද, ඒවා මගේ තීරණ. 

මේ මොහොතේ සමාජයේ කතාබහට ලක්වෙන “මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි” කියන කාරණාව ගැන ඔබ තුළ සිටින දේශපාලකයා සහ සාහිත්‍යකරුවා පසෙකින් තබා, ප්‍රියන්ත ලියනගේ කියන සාමාන්‍ය මනුස්සයාගේ අදහස දැනගෙන ම, අදට අපේ කතාබහ නිමා කරන්න කැමතියි. 

දේශපාලනය කියන දේ අපි කාටවත් කිසිදු මොහොතක සම්පුර්ණයෙන් බැහැර කරන්න බෑ. අපි හුස්මගන්න මේ මොහොත පවා දේශපාලනිකයිනේ. නමුත් ඔබ මතුකරන කාරණාව පිළිබඳ මට පොදු අදහසක් තියෙනවා. සිස්ටම් වෙනස් කරන්න නම් මුලින්ම කරන්න ඕනි මිනිස්සුන්ගෙ මනස වෙනස් කරන එක. මිනිස්සුන්ගෙ මනස වෙනස් කරන්න නම්, සිස්ටම් වෙනස් කරන්න එන අයට පොදු මිනිසාගේ මනස තේරුම්ගන්න පුළුවන් වෙන්න ඕනි. අපි අතර ඉන්නෙ කළු හෝ සුදු මිනිස්සු නෙවෙයි, කළු-සුදු මිශ්‍ර වුණු අළු පැහැති මිනිස්සු. ඔය ඔක්කොටම කලින් අපි, ඒක තේරුම්ගන්න ඕනි.

සංවාදය: දුලාජ් එම්. දේවපුර

Related Articles