Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉංග්‍රීසි ඕඩය හරහා පිහිනීමට ගොස් මියගිය ලාංකීය වීරයා

පසුගිය අප්‍රේල් 11 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රොෂාන් අබේසුන්දර තලෛමන්නාරම සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වා පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනා ගොස් නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. ඔහු තලෛමන්නාරම සිට ධනුස්කොඩි දක්වා පිහිනීමට පැය 10 යි විනාඩි 31ක කාලයකුත්, ධනුස්කොඩි සිට ආපසු තලෛමන්නාරම වෙත පැමිණීමට පැය 17 යි විනාඩි 48 තත්පර 43ක කාලයකුත් ගත කළා. ඒ අනුව රොෂාන්ට කිලෝමීටර 59.3ක සම්පූර්ණ දුර පිහිනීම සඳහා ගතවී තිබෙන්නේ පැය 28 යි විනාඩි 19 තත්පර 43ක කාලයක් පමණ යි. 

රොෂාන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කරමින් බිඳ දැමුවේ කුමාර් ආනන්දන් නම් ලාංකිකයා පැය 51කින් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර තබා තිබුණු වාර්තාව යි. එදා පෝක් සමුද්‍ර සන්ධිය තරණය කරමින් සැමගේම අවධානය කුමාර් ආනන්දන් තවත් ගිනස් වාර්තා රැසක් පිහිටවනු ලැබුවා. මෙතැන් සිට දිගහැරෙන්නේ ඔහුගේ ජීවිත කතාව යි. 

රොෂාන් අබේසුන්දර (Nawabima) 

ජීවිතයේ මුල් අවධිය 

කුමාර් ආනන්දන් 1944 වසරේ යාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේ දී උපත ලැබුවා. වාරිමාර්ග ඉංජිනේරුවෙකු ලෙස සේවය කළ විවේකානන්දන්ට සහ රාජම්ට ඉපදුණු දරුවන් දෙදෙනාගෙන් වැඩිමහල් දරුවා වුණු ආනන්දන් කුඩාකල සිටම නිවසට යාබද මුහුදේ පිහිනීමට පුරුදුව සිටියා. 

ආනන්දන්ට ගිනස් වාර්තා තැබීම සඳහා පන්නරය ලැබුණේ 1954 වසරේ දී ආනන්දන්ගේ ඥාති මාමා කෙනෙකු වුණු මුරුගපිල්ලෙයි නවරත්නසාමි වැල්වැටිතුරේ සිට දකුණු ඉන්දියාවේ කැලිමියර් තුඩුව වෙත පිහිනමින් පෙන්වූ සුපිරි දස්කම නිසා යි. එදා නවරත්නසාමිට ලංකාවේ අගමැති ජෝන් කොතලාවල පමණක් නොව ඉන්දියාවේ අගමැති ජවහර්ලාල් නේරු ද, දෙවන එළිසබෙත් රැජින ද නවරත්නසාමිට සුබ පැතුම් එක් කළා. එනිසා කුඩා ආනන්දන්ට ද සිය මාමා මෙන් වීරයෙකු වීමට අවශ්‍ය වුණා.  

නේරු සහ කොතලාවල (sri lanka guardian)

18 හැවිරිදි වියේ දී පෙන්වූ දස්කම 

හාට්ලි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන කටයුතු හැදෑරූ ආනන්දන් පසු කලෙක ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. ඉතාමත් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වුණත්, විවේකයක් ලැබුණු විට මුහුදේ පිහිනීමට ආනන්දන් අමතක කළේ නැහැ. ඔහු ශාන්ත තෝමස් විදුහලේ ඉගෙනගත් කාල සමයේ දී පාසල් නිවාඩුව ලැබුණු සැනින් ගියේ සිය ගම් පළාත වුණු වැල්වැටිතුරේට යි. සිය මිතුරන් සමග මුහුදේ නාමින් විනෝද වුණු ආනන්දන්ට ක්‍රමයෙන් මහ මුහුද හුරුපුරුදු තැනක් බවට පත්වුණා.

ක්‍රමයෙන් අතිදක්ෂ මුහුදු පිහිනුම්කරුවෙකු බවට පත්වුණු ආනන්දන් 1962 වසරේ දී සිය ඥාති මාමා වුණු නවරත්නසාමි මෙන් වැල්වැටිතුරේ සිට දකුණු ඉන්දියාවේ කැලිමියර් තුඩුව වෙත පිහිනීමට තීරණය කළා. එදා 18 වන වියේ පසුවුණු ආනන්දන් සාර්ථකව වැල්වැටිතුරේ සිට කැලිමියර් තුඩුව වෙත පිහිනීමට සමත් වුණා. ආනන්දන් එම දස්කම දැක්වීමත් සමගම ඔහුගේ නාමය ලංකාව පුරාම ප්‍රසිද්ධ වුණා.

නීතිඥවරයෙක් බවට පත්වීම 

ආනන්දන් ලංකා විශ්වවිද්‍යාල‍යයෙන් නීතිය පිළිබඳව උපාධියක් ලබාගැනීමට සමත් වුණා. නීතිඥවරයෙකු ලෙසින් දිවුරුම් දුන් ඔහු පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයයෙන් විද්‍යාව පිළිබඳව උපාධියක් ලබාගත්තා. ආනන්දන් නීතිඥවරයා අඛණ්ඩව සිය අධ්‍යාපන කටයුතුවල නිරත වුණත්, ගිනස් වාර්තා තැබීමට තිබුණු කැමැත්ත දිගටම පැවතුණා. 

පළමු ගිනස් වාර්තාව තැබීම 

1971 වසර කුමාර් ආනන්දන්ගේ ජීවිතයේ අමතක නොවන වසරක් බවට පත්වුණා. ඒ, ඔහු මුල්ම වරට ගිනස් වාර්තාවක් තැබීමට සමත්වීම හේතුවෙන්. 

එදා ආනන්දන් සූදානම්ව සිටියේ තලෛමන්නාරම සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වා පිහිනා ගොස් ආපසු තලෛමන්නාරම බලා පැමිණීමට යි. ඔහු ගිනස් වාර්තාවක් තැබීමට යන බව ආරංචි වීමත් සමගම තලෛමන්නාරමින් ඔහු තරගය ආරම්භ කරන ආකාරය දැකබලා ගැනීම සඳහා සැලකිය යුතු පිරිසක් පැමිණ සිටියා. කුඩාකල සිට මුහුදේ පිහිනමින් ලබාගත් අත්දැකීම් නිසා නොබියව එම  අභියෝගය භාරගත් ආනන්දන් පැය 51කින් සිය ගමන සම්පූර්ණ කරමින් අපූරු වාර්තාවක් පිහිටවනු ලැබුවා. ඒ සමගම කුමාර් ආනන්දන් යන නාමය දකුණු ආසියාව පුරාම ප්‍රසිද්ධියට පත්වුණා.

පෝක් සමුද්‍ර සන්ධිය (wikipedia)

අපූරු දස්කම් කිහිපයක් දක්වමින් තවත් ජනප්‍රිය වෙයි 

පළමු ගිනස් වාර්තාව පිහිටුවීමෙන් වසර 4ක් ගතවුණු පසුව තවත් ගිනස් වාර්තාවක් තැබීමට ආනන්දන් සූදානම් වුණා. ඔහුගේ වාර්තාව වුණේ පැය 61ක් අඛණ්ඩව ජලයේ පිහිනීම යි. ආනන්දන් එම වාර්තාව තැබීම සඳහා තෝරාගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයයේ පිහිනුම් තටාකය යි. එදා ආනන්දන්ගේ දස්කම දැකබලා ගැනීම සඳහා විශාල පිරිසක් වරින් වර රාජකීය පිහිනුම් තටාකය අසලට පැමිණියා. එවර ද ඔහු කිසිදු ගැටළුවකින් තොරව පැය 61ක් අඛණ්ඩව පිහිනමින් ගිනස් වාර්තාව පිහිටවනු ලැබුවා. 

දෙවන ගිනස් වාර්තාව තැබීමෙන් පසුව උද්දාමයට පත්වුණු ආනන්දන් තවත් ගිනස් වාර්තා තැබීමට උනන්දු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස කෙටි කාලයක් තුළ ගිනස් වාර්තා කිහිපයක් තැබීමට ඔහුට හැකි වුණා. ආනන්දන් තැබූ ගිනස් වාර්තා පහත ආකාරයට දක්වන්නට පුළුවන්.

1) 1977 වසරේ දී තනි කකුලෙන් පැය 12 විනාඩි 47ක් නොනවත්වා සිටගෙන සිටීම 

2) 1979 ජනවාරි 1 වැනිදා ගෝල්ෆේස් හෝටලයේ දී පැය 128ක් අඛණ්ඩව ට්විස්ට් නැටුමක යෙදීම

3) 1979 මැයි මාසයේ දී සැතපුම් 1487ක දුරක් පැය 187ක් පුරා නොනවත්වාම පාපැදියෙන් ගමන් කිරීම 

4) 1979 ජූනි මාසයේ තනි කකුලෙන් පැය 33ක් නොනවත්වා සිටගෙන සිටීම  

5) 1980 මැයි මාසයේ දී විනාඩි 2ක් තුළ 165 වාරයක් වාඩිවී නැගිටීම 

6) 1980 දෙසැම්බර් මාසයේ දී අඛණ්ඩව හයි කික්ස් 9100ක් ගැසීම 

7) 1981 අගෝස්තු මාසයේ දී සැතපුම් 296ක දුරක් පැය 159ක් පුරාවට නොනවත්වා ඇවිදීම 

8) 1981 සැප්තැම්බර් මාසයේ දී මදුරාසියේ ඇනා පිහිනුම් තටාකයේ දී පැය 80ක් අඛණ්ඩව ජලයේ කිමිදීම

කුමාර් ආනන්දන් (Dinamina)

හිත හොඳ, ධෛර්යසම්පන්න මිනිසෙක් 

1979 ජනවාරි 1 වැනිදා ආනන්දන් ගෝල්ෆේස් හෝටලයේ දී ට්විස්ට් නැටුමක යෙදෙමින් සිටින බව එවකට ලංකාවේ ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධනට ආරංචි වුණා. ජනාධිපතිවරයා ආනන්දන්ගේ අපූරු දස්කම දැකබලා ගැනීම සඳහා ගෝල්ෆේස් හෝටලයට පැමිණියා. එසේම එවකට ගෝල්ෆේස් හෝටලයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළ සිරිල් ගාඩිනර් ද එතනට පැමිණ සිටියා. 

ආනන්දන්ගේ දස්කම දැක මවිතයට පත්වුණු ගාඩිනර් ඔහුට රුපියල් 10000ක ත්‍යාගයක් ලබාදුන්නා. ත්‍යාග මුදල ලබාගත් ආනන්දන් එය ජනාධිපති ජයවර්ධන වෙත පරිත්‍යාග කළේ, එය ඊට මාස දෙකකට පෙර නැගෙනහිර පළාතට බලපෑ දරුණු සුළි සුළං තත්ත්වයෙන් අසරණ වුණු ජනතාවගේ සුබසාධන කටයුතුවලට යොදාගන්නා ලෙස ඉල්ලමින්.  

අනුන් ගැන සිතන මිනිසෙකු වුණු ආනන්දන් ධෛර්යසම්පන්න මිනිසෙකු ද වුණා. 1982 වසරේ දී පමණ බරපතළ රිය අනතුරකට මුහුණදුන් ආනන්දන් මාස 6ක් පමණ රෝහල්ගතව සිටියා. ඔහුට  තවත් මාස 6කට ආසන්න කාලයක් ඇවිදීමට සිදුවුණේ කිහිලිකරු ආධාරයෙන්. එසේ දැඩි ලෙස ශාරීරික පීඩා විඳි යුගයේ දී පවා ආනන්දන් යතුරු පැදි ධාවනය කළා. නමුත් එම ධෛර්යසම්පන්න බව ඔහුගේ ජීවිතය අකාලයේ විනාශ කිරීමට මුල් වුණා.

1978 සුළි සුළඟින් මඩකලපුවට හානිවී තිබුණු ආකාරය (Batti Info)

ආනන්දන්ගේ අවාසනාවන්ත මරණය 

එංගලන්තය සහ ප්‍රංශය අතර පිහිටි මුහුදු කොටස ඉංග්‍රීසි ඕඩය ලෙසින් හඳුන්වනවා. 1984 අගෝස්තු මාසයේ දී ආනන්දන් ඉංග්‍රීසි ඕඩය තරණය කිරීමට සූදානම් වුණා. ඒ වන විට ඔහු රිය අනතුරෙන් සම්පූර්ණ සුවය ලබා වසරකට වැඩි කාලයක් ගතව තිබුණා. ඒ වන විට 40 හැවිරිදි වියේ පසුවුණු ආනන්දන් සතුව දැඩි අධිෂ්ඨානයක් තිබුණත්, පෙර පැවති ජවය ඔහු තුළ තිබුණේ නැහැ. 

1984 අගෝස්තු 6 වැනිදා ඉංග්‍රීසි ඕඩය තරණය කිරීම ආරම්භ කළ ආනන්දන් මුල් පැය කිහිපය තුළ සුපුරුදු පරිදි පිහිනීමෙහි නිරත වුණා. නමුත් පැය කිහිපයකින් ආනන්දන්ගේ කකුලෙහි ආබාධයක් හටගත්තා. එනිසා ඔහුට අඛණ්ඩව පිහිනීමට හැකියාවක් ලැබුණේ නැහැ. එදා ආනන්දන්ට සහාය වීමට කිසිවෙකු නොසිටි නිසා මුහුද මැද දී ඔහුට අවාසනාවන්ත මරණයක් උරුම වුණා. 

1999 වසරේ දී ආනන්දන් වෙනුවෙන් නිකුත් කළ මුද්දරය (newshub.lk)

කවරයේ ඡායාරූපය- ඉංග්‍රීසි ඕඩය (Wikipedia)

මූලාශ්‍රයයන්- dinamina.lk

Related Articles