Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහා පරිමාණයෙන් කඩදාසි කවර නිපදවීමට මුල් වූ කාන්තාව

පිසින ලද කෙටි ආහාර ලබා ගැනීමේදී, සිල්ලර බඩු කඩවලදී, තෑගි දීමේදී අපි නිතරම භාවිතා කරන කඩදාසි කවරය සරල නිමැවුමක් කියා සිතුවාට ඒ පිටුපස අපූරු කතාවක් තිබෙනවා. මෙය නිර්මාණය කිරීම, ලොවට හඳුන්වා දීම, නිෂ්පාදන ශිල්ප ක්‍රම සහ වැදගත්කම දැනගන්න කැමති ඔබට මේ ලිපිය බොහෝ ප්‍රයෝජනවත් වේවි.

dhresource.com (පැතලි අඩියක් ඇති දුඹුරු පැහැති කඩදාසි කවර)

මෙම, පැතලි අඩියක් ඇති දුඹුරු පැහැති කඩදාසි කවර වල විශේෂත්වය වන්නේ විවිධ කාර්යයන් රැසකදී භාවිතා කළ හැකි ලෙස ඒවා නිර්මාණය වී තිබීමයි. ඒ නිසා මෙම නිර්මාණය සාර්වත්‍රික නිර්මාණයක් ලෙස හඳුන්වන්නට පුළුවනි. මෙහි නිර්මාණවේදිනිය වන්නේ ඇමරිකානු ජාතික මාග්‍රට් නයිට් නමැත්තියයි.

ළමා කාලය

කාන්තාවක් වීම තම ගමන් මඟ අවහිර කර ගැනීමට හේතුවක් කර නොගත් මාග්‍රට් නයිට් උපන්නේ 1838 පෙබරවාරි 14 වැනිදායි. ඇගේ මව හැනා ටීල් වන අතර ඇගේ පියා වන ජේම්ස් නයිට්, මාග්‍රට් තුන් වැනි වියේ සිටියදී මිය ගියා.

මාග්‍රට්, ළාබාල වියේ සිටම ඇගේ පියා සතුව තිබූ ආයුධ සහ මෙවලම් උපයෝගි කර ගනිමින් ලී වලින් විවිධ නිර්මාණ කිරීම විනෝදයක් කරගෙන සිටියා. ඇය සෑදූ සරුංගල් සහ හිම යානා එම නගරයේ ජීවත් වූ පිරිමි ළමුන්ගේ ඊර්ෂ්‍යාවට ලක් වන තරම් අපූරු නිර්මාණ වුණා.

මාග්‍රට් නයිට් (News in Science)

අසීරු ජීවිතය

කුඩා මාග්‍රට්ගේ ළමා කාලය සැප පහසු එකක් නොවෙයි. ආර්ථික අපහසුතා නිසා ඇයට කුඩා කාලයේ පටන් විවිධ රැකියා කර මුදල් උපයා ගනිමින් වැන්දඹු මවට ශක්තියක් වීමට සිදු වුණා. දොළොස් වියැති මාග්‍රට් මැන්චෙස්ටර්හි ගං ඉවුරක පිහිටි කපු කර්මාන්ත ශාලාවක සේවයට එක් වන්නේ ඒ නිසයි. කුඩා මාග්‍රට් හිමිදිරියේ සිට හැන්දෑව තෙක් මුළු දිනය පුරාම ඉතා මහන්සි වී වැඩ කළා. අවිධිමත් සහ අනතුරුදායක වටපිටාවක් තිබූ එම කර්මාන්තශාලාවේ සේවය කළ කුඩා මාග්‍රට් ට ලැබුණේ ඉතා අඩු පඩියක්.

යාන්ත්‍රික දෝෂ හඳුනා ගැනීම

කර්මාන්තශාලාවේ සේවය කරමින් සිටින කාලය අතරතුරදී රෙදි වියන යන්ත්‍ර වල දෝෂ කිහිපයක්ම හඳුනා ගැනීමට මාග්‍රට් සමත් වුණා. මේ නිසා ඇති විය හැකි අන්තරාදායක තත්ත්වය තේරුම් ගත් ඇය එයට පිළියමක් යොදන්නේ කෙසේදැයි සිතමින් සිටියා. අවසානයේදී ඇයට, නූල් පොටවල් කැඩුණු පසු පිපිරුමක් ඇති වී එහි හරස් දඬු චලනය වීම වළක්වන ආකාරයේ උපකරණයක් නිර්මාණය කිරීමට හැකි වුණා. මෙය නිර්මාණය කරන විට දොළොස් වැනි වියේ පසු වූ මාග්‍රට් ට ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ.

කඩදාසි බෑග්

වෘත්තීන් කිහිපයකම නිරත වූ මාග්‍රට් 1868දී කඩදාසි බෑග් නිමවන කර්මාන්තශාලාවක (Columbia Paper Bag company) සේවය කරමින් සිටියා. මේ අතරතුර කාලයේදී ඇය පුළුල් තාක්ෂණික දැනුමක් ලබා ගෙන තිබූ අතර ස්වයං අධ්‍යයනයන් මඟින් තමා ලබා ගත් දැනුම තවත් තහවුරු කර ගැනීමත් කළා.

Aeon

මෙම කඩදාසි කර්මාන්තශාලාවේ සේවය කරන කාලයේදී ඇය තෘප්තිමත්ව වැඩ කළා. කඩදාසි බෑග් අතින් නවා සකස් කරනවාට වඩා ඒවා නිර්මාණය කළ හැකි වෙනත් ආකාරයක් ඇත් දැයි සොයා බැලිය යුතු යැයි ඇයට සිතුණා. පැරණි ක්‍රමය වෙනුවට, ඉක්මනින් සහ පිරිසිදුව කඩදාසි බෑග් නිර්මාණය කිරීමට ස්වයංක්‍රීය යාන්ත්‍රික ක්‍රමයක් යොදා ගත හැකි බව දුටු ඇය ඒ වෙනුවෙන් මහන්සි වී වැඩ කටයුතු කළා.

කඩදාසි බෑගය නව මුහුණුවරකින්

කටු සටහන් අඳිමින්, මොඩල සාදමින් මුල් වසර කිහිපයේ ඉතා කැපවීමෙන් ක්‍රියා කළ ඇයට අවසානයේදී ස්වයංක්‍රීයව කඩදාසි ඇතුළට ගැනීම, කැපීම සහ නැවීම කළ හැකි ආකාරයේ යන්ත්‍රයක් නිර්මාණය කිරීමට හැකි වුණා. මේ යන්ත්‍රයෙන් නිපදවෙන කඩදාසි බෑගයේ ආකෘතියත් පෙර පැවති කඩදාසි බෑගයට වඩා වෙනස් වූවා.

මාග්‍රට් විසින් නිර්මාණය කරන ලද පේටන්ට් බලපත්‍රය හිමි කඩදාසි කවර නිමැවුම් යන්ත්‍රය (American History)

චතුරශ්‍රාකාර පැතලි අඩියක් සහිත මෙම කඩදාසි කවර මුල් අවධියේදී මිනිසුන් අතර එතරම් ජනප්‍රිය වුණේ නැහැ. නමුත් ලියුම් කවර ආකාරයේ පැරණි කඩදාසි බෑගයට වඩා වැඩි ද්‍රව්‍ය ප්‍රමාණයක් මාග්‍රට් විසින් හඳුන්වා දුන් බෑගයට ඇසිරිය හැකි බව තේරුම් ගත් පසු ගැනුම්කරුවන් අතර මෙය ඉක්මනින් ජනප්‍රිය වුණා. භාවිතා කරන්නාගේ පහසුවට මූලිකත්වය දෙමින් නිර්මාණය කර තිබෙන මෙම කඩදාසි බෑගය වෙළඳපොළ නව මානයකට රැගෙන යාමට සමත් වූ විශිෂ්ට නිර්මාණයක්. අදටත් එහි මූලික ආකෘතිය නොවෙනස්ව පැවතීමෙන් එය තවත් තහවුරු වෙනවා.

Google Patent

නිර්මාණ අයිතිය

මාග්‍රට් මෙම මොඩලය වැඩිදියුණු කරමින් සිටි අතරතුරදී එය යාන්තමින් දැක තිබූ චාල්ස් අනන් (Charles Annan) නමැති පුද්ගලයෙක් එය ඔහුගේම නිර්මාණයක් ලෙස ඉදිරිපත් කිරීමට විශාල උත්සාහයක් ගත්තා. ඉතා විශාල මහන්සියක් දරමින් වසර ගණනාවක් තිස්සේ කළ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස නිමැවුණු තම, කඩදාසි බෑග් නිර්මාණය කරන යන්ත්‍රයේ නිර්මාණ අයිතිය ඒ පිළිබඳ කිසිත් නොදත් ආගන්තුකයෙකුට පවරන්නට මාග්‍රට් සූදානම් වුණේ නැහැ. ඇය ඒ වෙනුවෙන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹුණු අතර එතෙක් කල් උපයාගෙන තිබූ මුදල් වලින් විශාල ප්‍රමාණයක්ද මෙහි නීතිමය කටයුතු සඳහා වැය වුණා.

Google Patent

චාල්ස් අනන්ගේ තර්කය

චාල්ස් අනන්ට අනුව කිසිදු කාන්තාවකට මෙවන් යන්ත්‍රයක් නිර්මාණය කළ නොහැකියි. මෙයට ප්‍රතිචාර ලෙස මාග්‍රට් ඇය විසින් එතෙක් අඳින නිර්මාණ සැලසුමෙහි සවිස්තරාත්මක පිටපත් සියල්ල ඉදිරිපත් කළා. චාල්ස්ට එම යන්ත්‍රය සම්බන්ධව ඉදිරිපත් කරන්නට එවන් කිසිවක් තිබුණේ නැහැ. ඉන්පසු ඔහු වංචාකාරයෙක් බව ඔප්පු වූ අතර මෙම ගැටලුව විසඳුණු පසු 1871 දී නයිට් ට ඇගේ පේටන්ට් බලපත්‍රය ලැබුණා. මෙම යන්ත්‍රයම තවදුරටත් වැඩිදියුණු කළ මාග්‍රට් ට ඒ සඳහා වන පේටන්ට් බලපත්‍රය 1879 වර්ෂයේදී ලබා ගත හැකි වුණා.

නොසැලෙන ශක්තිය

අද වන විට, ස්මිත්සොනයින්හි පිහිටි ඇමරිකානු ඉතිහාසය පිළිබඳ ජාතික කෞතුකාගාරයේ මාග්‍රට් විසින් නිර්මාණය කරන ලද කඩදාසි බෑග් නිෂ්පාදන යන්ත්‍රයේ කුඩා ප්‍රමාණයේ මොඩලයක් තැන්පත් කර තිබෙනවා. යාන්ත්‍රික ඉංජිනේරු ශිල්පය පිළිබඳව ඇගේ තිබූ දක්ෂතාවය, ආරම්භ කළ කාර්යය සාර්ථකව අවසන් කිරීමට දැරූ වෑයම, කැප වීම සහ තම නිර්මාණ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින් සාධාරණය ඉටු වනතෙක් කටයුතු කිරීමට කාන්තාවක් ලෙස තිබූ ශක්තිය ආදී දේ මාග්‍රට්ගේ චරිතයේ සිත් ගන්නා සුළු කාරණායි.

ධෛර්යය

මාග්‍රට් ගැන තවදුරටත් සොයා බැලීමේදී ඇයට පේටන්ට් බලපත්‍ර 26ක හිමිකාරීත්වයක් තිබෙන බව දැන ගන්නට ලැබෙනවා.  ඇගේ උත්සාහය කොපමණද කියනවා නම් තම 89 වැනි හඳුන්වා දීම වෙනුවෙන් ඇය 70 වන වියේදී දිනකට පැය 20ක් වැඩ කර තිබුණා. ළමා කාලයේදී බොහෝ දුක් ගැහැට වින්දත් වෙහෙස මහන්සියෙන් කටයුතු කර මැදි වියේදී හා මහළු වියේදී සුව පහසු ජීවිතයක් ගත කිරීමට හැකි පසුබිම මාග්‍රට් සකස් කර ගත්තා. මුළු ජීවිතයම අවිවාහකව ගත කළ මාග්‍රට් 1914 ඔක්තෝබර් 12 වැනිදා මිය යන විට ඈ සතුව තිබුණේ ඇගේ ජයග්‍රහණයන් පමණයි.

කවරයේ පින්තූරය – Vibrations

මූලාශ්‍ර  

https://www.smithsonianmag.com

http://americanhistory.si.edu

https://canlitforlittlecanadians.blogspot.com

Related Articles