Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුදුරු ත්‍රස්තවාදය විසින් නිහඬ කෙරුණු ශ්‍රේෂ්ට මිනිසා

වර්තමානය වන විට බොහොමයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් ද අනිකුත් දේශපාලඥයින් ද පිළිබඳව ජනතාව තුළ ඇත්තේ එතරම් සතුටුදායක ආකල්පයක් නොවේ. නමුත් සැබවින්ම ජනතාව සහ රට වෙනුවෙන් කැපවූ දේශපාලන නියෝජිතයින්ට ගරු කිරීමට ද ශ්‍රී ලාංකිකයින් කිසිසේත්ම පසුබට වන්නේ නැත. 1994 වසරේ සිට 2005 දක්වා අවස්ථා දෙකක දී පමණ මෙරට විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ, කීර්තිමත් දේශපාලඥයෙකු මෙන්ම විද්වතෙකු වූ නීතිඥ ලක්ෂ්මන් කදිරගාමර් පිළිබඳව ජනතාව අදට ද කිසිදු ජාති ආගම භේදයකින් තොරව සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයෙනි. 

උපතින් ද්‍රවිඩ ජාතිකයෙකු සහ ක්‍රිස්තියානි භක්තිකයෙකු වූ අමාත්‍ය කදිරගාමර්, වෙසක් පොහොය එක්සත් ජාතීන් විසින් පිළිගත් ජාත්‍යන්තර සැමරුම් දිනයක් ලෙස නම් කිරීමේ යෝජනාවක් 1999 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයට ඉදිරිපත් කිරීම, ඔහු සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පත්වීමට ප්‍රධාන හේතුවක් ද විය. මෙම ලිපිය හරහා ඔහුගේ පෞද්ගලික සහ දේශපාලනික ජිවිතයේ වැදගත් කරුණු කිහිපයක් ඔබ හමුවේ තබන්නට සිතුවේ වත්මන් පරම්පරාව ද මෙවැනි ශ්‍රේෂ්ට නායකයින් පිළිබඳව අවබෝධයක් ලබාගැනීම ඉතාමත් කාලෝචිත බැවිනි.

නීතිඥ ලක්ෂ්මන් කදිරගාමර්/Sri Lanka Guardian

 

ළමාවිය සහ අධ්‍යාපනය

1932 අප්‍රේල් 12 වන දින යාපනය දිස්ත්‍රික්කයේ මනිපායිහි දී උපත ලැබූ ලක්ෂ්මන් කදිරගාමර්ගේ පියා වූයේ නීතිඥයෙකු වූ සැමුවෙල් ජේ.සි. කදිරගාමර් ය. ඔහුගේ මව ඊඩිත් රොස්මන්ඩ් නම් වූ අතර, ලක්ෂ්මන් කදිරගාමර්ට වැඩිමහල් සහෝදරයින් සිව්දෙනෙකු විය. ඔවුන්ගෙන් එක් අයෙකු නාවික හමුදාවේ ප්‍රධානියෙකු වූ අතර තවත් එක් සහෝදරයෙකු වාණිජ නීතිය පිළිබඳ ප්‍රවීන නීතිවේදියෙකු විය. තවත් අයෙකු හමුදා සේවයේ යෙදුනු අතර වැවිලිකරුවෙකු වූ අනික් සහෝදරයා තරුණ වියේ දීම රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්විය. කදිරගාමර්ගේ මව ඔහුට වයස අවුරුදු හතේ දී පමණ ජිවිතක්ෂයට පත්වූ අතර ඉන්පසුව කුඩා ලක්ෂ්මන් කදිරගාමර් හදාවඩා ගනු ලැබුවේ ඔහුගේ වැඩිමහල් සහෝදරියක වූ ‘ඊශ්වරි’ විසිනි.

කොළඹ කාන්තා විද්‍යාලයයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද ලක්ෂ්මන් කදිරගාමර් සිය සහෝදරිය සමග මාතලේ ප්‍රදේශයේ පදිංචියට ගියේ ය. කදිරගාමර් ද්විතියික අධ්‍යාපනය සඳහා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් වූයේ ඔහුගේ අනිකුත් සියලුම සහෝදරයින් කොළඹ රාජකීය විද්‍යාලයයේ අධ්‍යාපනය ලබා තිබූ පසුබිමක ය. එමෙන්ම ජපනුන් කොළඹ නගරයට බෝම්බ හෙලනු ඇතැ යි බියක් පැතිර තිබූ නිසා එවකට බොහෝ සිසුන් අධ්‍යාපනය සඳහා දුර බැහැර පිහිටි පාසල්වලට යොමුවීම සාමාන්‍ය දෙයක්ව පැවතිනි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දී ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ඔහු මලල ක්‍රීඩා සහ රග්බි කණ්ඩායම්වලට ක්‍රීඩා කළේ ය. අධ්‍යාපන කටයුතු සහ අනිකුත් අමතර ක්‍රියාකාරකම්වලට ඔහු දැක්වූ දක්ෂතාවයට ඇගයීමක් වශයෙන් 1950 වසරේ දී ඔහුට ත්‍රිත්ව විද්‍යාලයයේ විශිෂ්ටතම ශිෂ්‍යයා සම්මානය ද ප්‍රදානය කෙරිණි. ඔහු ත්‍රිත්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ට ශිෂ්‍ය නායකයෙකු ලෙස ද කටයුතු කර ඇත.

 

උසස් අධ්‍යාපනය

ලක්ෂ්මන් කදිරගාමර් 1950 වසරේ දී නීතිය හැදෑරීම සඳහා එවකට ලංකා විශ්වවිද්‍යාලයය ලෙස හැඳින්වූ කොළඹ විශ්වවිද්‍යාලයයට ඇතුළත් වූයේ ය. පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයෙන් ද උසස් අධ්‍යාපනය ලැබූ ඔහු 1953 වසරේ දී නීති උපාධිය හිමිකර ගත්තේ ය. 1953 වසරේ දී නීති විද්‍යාලයයේ පළමු පන්තියේ සාමාර්ථයක් සහිතව සමත් වූ දීප්තිමත්ම සිසුවා වූ හෙතෙම ඒ වෙනුවෙන් විශේෂ ශිෂ්‍යත්වයක් ද දිනාගන්නා ලදී. එමෙන්ම සාක්ෂ්‍ය නීතිය සහ පුද්ගල නීතිය සඳහා වන ත්‍යාග දිනාගැනීමට ද ඔහුට හැකි විය. 1955 වසරේ දී ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ ය.

ට්‍රිනිටි විද්‍යාල සමයේ දී ගත් සේයාරුවක්. වමේ සිට දෙවැන්නා කදිරගාමර් ය. වමේ සිට පළමුවැන්නා ඩන්කන් වයිට් වේ./Trinity College Kandy

එංගලන්තයේ බැලියෝල් විද්‍යාලයයට ඇතුළත්වීම සඳහා ශිෂ්‍යත්වයක් දිනාගත් නීතිඥ කදිරගාමර් 1956 වසරේ සිට 1959 දක්වා එහි අධ්‍යාපනය හැදෑරුවේ ය. පසුව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයට ඇතුළත් වී බි.එල්.අයි.ටි.ටි. නම් සුප්‍රසිද්ධ උපාධියක් හදාරන ඔහු 1958 වසරේ දී ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස පත්වූයේ, එම තනතුර හිමිකරගත් දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමිනි (එම ශිෂ්‍ය සංගමයේ පළමු ශ්‍රී ලංකික සභාපතිවරයා වූයේ හිටපු අමාත්‍යවරයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි ය). ලක්ෂ්මන් කදිරගාමර් බැලියෝල් විශ්වවිද්‍යාලයයේ ක්‍රිකට් කණ්ඩායමට ද ක්‍රීඩා කළේ ය.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ අධ්‍යාපන කටයුතු අවසන් කර නැවත ශ්‍රී ලංකාවට පැමිණි නීතිඥ කදිරගාමර් නීති වෘත්තියට පිවිසි අතර වාණිජ, කාර්මික සහ පරිපාලන නීතිය පිළිබඳව නීතිවේදියෙකු බවට පත්විය. පසුව විවිධ දේශීය සහ විදේශීය කරුණු පදනම් කරගෙන පිහිටුවනු ලැබූ විවිධ කමිටුවල සාමාජිකත්වය දැරීමට ද ඔහුට හැකිවීම විශේෂත්වයකි. 1971 කැරැල්ලෙන් පසුව එංගලන්තයට පිටත්ව ගිය ඔහුට ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ලෝක බුද්ධිමය දේපල සංවිධානය වැනි සංවිධාන කිහිපයකම විවිධ තනතුරු දැරීමට ද අවස්ථාව ලැබිණි. 1988 වසරේ දී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ඔහු නීති වෘත්තිකයෙකු ලෙස කටයුතු කරන අතර 1991 වසරේ දී ජනාධිපති නීතිඥවරයෙකු ලෙස පත්විය.

දේශපාලනයට පිවිසීම

ඊට පෙර කිසි දිනෙක දේශපාලඥයෙකු ලෙස කටයුතු කර නොතිබූ නීතිඥ ලක්ෂ්මන් කදිරගාමර් 1994 වසරේ දී පොදු පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසුනේ ය. 1994 වසරේ නොවැම්බර් මස 09 වන දින චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව ඔහුට විදේශ අමාත්‍යධුරය පිරිනමන ලදී. එල්.ටි.ටි.ඊ සංවිධානය ජාත්‍යන්තර වශයෙන් තහනම් කිරීම උදෙසා සුවිශේෂී කාර්යභාරයක් සිදුකරන ඔහු පිළිවෙලින් 1997 සහ 2001 වසරවල දී එල්.ටි.ටි.ඊ සංවිධානය ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානිය තුළ තහනම් සංවිධානයක් බවට පත්කිරීමට සමත් විය. එම රටවල තහනම් සංවිධානයක් බවට පත්වීමත් සමග එම සංවිධානයට ඒ වන විට ලැබෙමින් තිබූ විදේශ මූල්‍ය ආධාර රැසක් අහිමිවිය.

නීතිඥ කදිරගාමර්ගේ දිවියේ අවස්ථාවන් කීපයක්/ThinkWorth – WordPress.com

 

ඉන්දියානු සාගර කලාපිය සහයෝගිතා සංවිධානය, දකුණු ආසියානු සාගර කලාපිය සහයෝගිතා සංවිධානය (සාර්ක්), සහ දකුණු ආසියා පදනම යන ජාත්‍යන්තර සංවිධානවල විවිධ තනතුරු සඳහා ඔහු තේරී පත්විය. 2001 වසරේ දී එවකට පැවැති පොදු පෙරමුණ රජය පරාජය වී එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව පිහිටුවීමත් සමග ඔහු ජනාධිපතිනියගේ විදේශ කටයුතු සම්බන්ධ උපදේශකවරයෙකු බවට පත්විය. උතුරේ එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදීන් සමග සාකච්ඡා පැවැත්වීමට ගනු ලැබූ උත්සාහයන් සහ සාම ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ඔහු සිය විරෝධය පලකළ අතර, 2003 වසරේ මැයි මස 8 වන දින ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු ලෙස ඒවා පිළිබඳව විවේචනාත්මක අදහස් පලකිරීමක් ද සිදු කළේ ය. 2004 වසරේ දී එක්සත් ජාතික පක්ෂය පරාජය වූ අවස්ථාවේ ලක්ෂ්මන් කදිරගාමර් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වනු ඇතැ යි මත පලවුවත් කුමාරතුංග ජනාධිපතිනිය විසින් ඒ තනතුරට පත්කරන ලද්දේ මහින්ද රාජපක්ෂ ය.

ඝාතනය

2005 අගෝස්තු 12 වන දින එල්. ටි. ටි. ඊ. ස්නයිපර් ප්‍රහාරකයෙකු, කුරුඳුවත්තේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ දී නීතිඥ ලක්ෂ්මන් කදිරගාමර්ට වෙඩි තබා ඝාතනය කරන ලදී. ඔහු නිවසේ පිහිනුම් තටාකයේ සිට පිටතට පැමිණෙමින් සිටි අවස්ථාවේ හිසට, ගෙල ප්‍රදේශයට ද වෙඩි තබා තිබූ බව පරීක්ෂණවල දී හෙළිවිය. තුවාල ලැබූ නීතිඥ ලක්ෂ්මන් කදිරගාමර් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඔහු එහිදී ජිවිතක්ෂයට පත්විය. එල්. ටි. ටි. ඊ සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් නම් කිරීම සඳහා ඔහු සිදුකරනු ලැබූ කාර්යභාරය නිසා ඔහුව ඝාතනය කරන්නට ඇති බව විශ්වාස කෙරේ.

Cover: Three Blind Men

මූලාශ්‍රයයන්:

lki.lk

army.lk

dailynews.com

bbc.com

Related Articles