Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෆින්ලන්තයෙන් බිහි වුණු අවසන් සුපිරි දිගු දුර ධාවකයා

වර්තමානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලි හි පිරිමි මීටර් 5000 සහ 10000 ඉසව්වල දී අප්‍රිකානු සම්භවයක් ඇති ක්‍රීඩකයන් වැඩි වශයෙන් දස්කම් පෙන්වනවා. එලෙස අප්‍රිකානු ක්‍රීඩකයන් දස්කම් පෙන්වන මෙම ඉසව් ද්විත්වය මීට දශක ගණනාවකට පෙර ෆින්ලන්ත දිගු දුර ධාවන ශූරයන්ගේ අණසකට නතු වී තිබුණා. එහි දී පාවෝ නුර්මි, හෑන්ස් කෝල්මේනන්, සහ විලී රිටෝලා වැනි ෆින්ලන්ත දිගු දුර ධාවන ශූරයන් මෙම ඉසව් දෙක යටතේ ඔලිම්පික් රන් පදක්කම් රැසක් දිනාගැනීමට සමත් වුණා. එසේ දශක කිහිපයක් ෆින්ලන්ත අණසකට නතුව තිබුණු මෙම ඉසව් දෙක 50 සහ 60 දශකවල දී විවිධ රටවල ක්‍රීඩකයන් ජයග්‍රහණය කළා. නමුත් 1972 සහ 1976 ඔලිම්පික් තරගාවලිවල දී ෆින්ලන්තයෙන් බිහි වුණු සුපිරි තරුවක් මෙම ඉසව් දෙකේ ඔලිම්පික් රන් පදක්කම් නැවතත් සිය රටට උරුමකර දුන්නා. එහි දී පිට පිටම පැවති  ඔලිම්පික් තරගාවලි 2ක දී පිරිමි මීටර් 5000 සහ 10000 රන් පදක්කම් ලබාගත් මුල්ම ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසයට එක් වුණු මොහු, ෆින්ලන්තයෙන් බිහි වුණු අවසන් සුපිරි දිගු දුර ධාවකයා වුණා. එසේ නම් මෙම ලිපිය වෙන්වන්නේ ලසේ විරේන් නම් සුපිරි ෆින්ලන්ත දිගු දුර ධාවකයාගේ ඔලිම්පික් දස්කම් දෙසට යි.

ෆින්ලන්තය ඔලිම්පික් දිගු දුර ධාවනයේ කිරුළ හිමි කරගෙන සිටි යුගය 

1912-1936 කාල සමය තුළ පැවති ඔලිම්පික් තරගාවලිවල දී පිරිමි මීටර් 5000 සහ 10000 ඉසව්වල වැඩි පදක්කම් ප්‍රමාණයක් හිමි වුණේ ෆින්ලන්තය නියෝජනය කළ ධාවකයන්ට යි. එහි දී ෆින්ලන්තය නියෝජනය කළ පාවෝ නුර්මි, හෑන්ස් කෝල්මේනන්, සහ විලී රිටෝලා යන ධාවකයන් වැඩි දස්කම් දැක්වීමට සමත් වුණා. ඉහත කාල සීමාව තුළ ෆින්ලන්ත දිගු දුර ධාවකයින් මීටර් 5000 සහ 10000 ඉසව්වල දී පදක්කම් ලබාගත්තේ මෙසේ යි.

1912 ඔලිම්පික් තරගාවලිය

මීටර් 5000 පිරිමි- හෑන්ස් කෝල්මේනන් (රන්)

මීටර් 10000 පිරිමි- හෑන්ස් කෝල්මේනන් (රන්), ඇල්බින් ස්ටෙන්රූස් 

1920 ඔලිම්පික් තරගාවලිය

මීටර් 5000 පිරිමි- පාවෝ නුර්මි (රිදී)

මීටර් 10000 පිරිමි- පාවෝ නුර්මි (රන්)

1924 ඔලිම්පික් තරගාවලිය

මීටර් 5000 පිරිමි- පාවෝ නුර්මි (රන්), විලී රිටෝලා (රිදී)

මීටර් 10000 පිරිමි- විලී රිටෝලා (රන්), එරෝ බර්ග් (ලෝකඩ)

1928 ඔලිම්පික් තරගාවලිය

මීටර් 5000 පිරිමි- විලී රිටෝලා (රන්), පාවෝ නුර්මි (රිදී)

මීටර් 10000 පිරිමි- පාවෝ නුර්මි (රන්), විලී රිටෝලා (රිදී)

1932 ඔලිම්පික් තරගාවලිය

මීටර් 5000 පිරිමි- ලෝරි ලේටිනන් (රන්), ලෝරි විටානන් (ලෝකඩ)

මීටර් 10000 පිරිමි- වොල්මාරි ඊසෝ-හෝලෝ (රිදී), ලෝරි විටානන් (ලෝකඩ)

1936 ඔලිම්පික් තරගාවලිය

මීටර් 5000 පිරිමි- ගනර් හොකට් (රන්), ලෝරි ලේටිනන් (රිදී)

මීටර් 10000 පිරිමි- ලිමාරි සල්මිනෙන් (රන්), අර්වෝ අස්කෝලා (රිදී), වොල්මාරි හෝලෝ (ලෝකඩ)

පාවෝ නුර්මි 1928 ඔලිම්පික් තරගාවලියේ දී (gettyimages)

ෆින්ලන්තයේ දිගු දුර ධාවන ආධිපත්‍ය බිඳවැටෙයි 

1936 වසරෙන් පසුව පිරිමි මීටර් 5000 සහ 10000 ඉසව්වල ආධිපත්‍ය ෆින්ලන්ත ක්‍රීඩකයන්ගෙන් ගිලිහී ගියා. ඉන්පසුව චෙකොස්ලෝවැකියාවේ එමිල් සැටොපෙක්, සෝවියට් රුසියාවේ ව්ලැඩ්මීර් කුට්ස්, ටියුනීසියාවේ මොහොමඩ් ගමෝඩි, කෙන්යාවේ නෆ්ටාලි ටෙමු වැනි ක්‍රීඩකයන් මෙම ඉසව්වල දී වැඩි ඔලිම්පික් පදක්කම් ප්‍රමාණයක් දිනාගත්තා. ෆින්ලන්ත දිගු දුර ධාවකයන් 1936-1968 කාල සමය තුළ පැවති ඔලිම්පික් තරගාවලවල දී මීටර් 5000 සහ 10000 ඉසව්වල දී කිසිදු පදක්කම් දිනාගැනීමට සමත් නොවීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

එමිල් සැටොපෙක් 1952 ඔලිම්පික් තරගාවලියේ දී (gettyimages)

වසර 36කට පසුව ෆින්ලන්තයෙන් සුපිරි දිගු දුර ධාවකයෙකු බිහිවෙයි 

1971 වසරේ පැවති යුරෝපා මලල ක්‍රීඩා තරගාවලිය යටතේ ක්‍රියාත්මක වුණු පිරිමි මීටර් 5000 සහ 10000 ඉසව්වල දී ෆින්ලන්ත ක්‍රීඩක ජුහා වැටේනන් රන් පදක්කම් දිනාගත්තා. වැටේනන් එලෙස රන් පදක්කම් දිනාගන්නා විට ඔහුගේම රටේ ක්‍රීඩකයෙකු වුණු ලසේ විරේන්ට පිළිවෙලින් හිමිවුණේ 7 සහ 17 යන ස්ථාන යි. එම තරගාවලියෙන් වසරකට පසුව පැවති මියුනිච් ඔලිම්පික් තරග සඳහා වැටේනන් සහ විරේන් යන ක්‍රීඩකයන් දෙදෙනාම ඉදිරිපත් වුණා. එහි දී කිසිවෙකු නොසිතූ අයුරින් සුපිරි දස්කම් දැක්වූ ලසේ විරේන්, මීටර් 5000 සහ 10000 ඉසව් ජයග්‍රහණය කළේ ඔලිම්පික් වාර්තාවක් සහ ලෝක වාර්තාවක් පිහිටුවමින්.

ලසේ විරේන් සුපිරි දස්කම් දැක්වූ 1972 මියුනිච් ඔලිම්පික් තරගාවලිය

1972 මියුනිච් ඔලිම්පික් තරගාවලියේ දී පිරිමි මීටර් 5000 සහ 10000 ඉසව් ජයග්‍රහණය කළේ ලසේ විරේන් නම් ෆින්ලන්ත ධාවකයා යි. ඔහුට පෙර එකම ඔලිම්පික් තරගාවලියක දී මෙම ඉසව් දෙකම ජයග්‍රහණය කර තිබුණේ පහත දැක්වෙන ක්‍රීඩකයන් තිදෙනා පමණ යි. 

1) 1912 ඔලිම්පික් තරගාවලිය- හෑන්ස් කෝල්මේනන් (ෆින්ලන්තය)

2) 1952 ඔලිම්පික් තරගාවලිය- එමිල් සැටොපෙක් (චෙකොස්ලෝවැකියාව)

3) 1956 ඔලිම්පික් තරගාවලිය- ව්ලැඩ්මීර් කුට්ස් (සෝවියට් රුසියාව)

විරේන්, ඔලිම්පික් වාර්තාවක් සමගින් මීටර් 5000 ඉසව්ව ජයගනියි 

1972 ඔලිම්පික් තරගාවලියේ පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරියෙන්ම සිටියේ, අවසන් වරට පැවති ඔලිම්පික් තරගාවලියේ දී මීටර් 5000 ඉසව්වේ රන් පදක්කම දිනාගත් ටියුනීසියාවේ මොහොමඩ් ගමෝඩි යි. එවැනි වටපිටාවක ආරම්භ වුණු මෙම ඉසව්වේ අවසන් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකු සුදුසුකම් ලබාගත්තා. එහි දී විරේන් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේ 9 වැනි හොඳම කාලය වාර්තා කරමින්. එලෙස ක්‍රීඩකයන් 14ක් සහභාගි වුණු අවසන් තරගයේ මීටර් 4200ක දුරක් ගෙවා අවසන් වන විට ක්‍රීඩකයන් 5 දෙනෙකු එක පොකුරක් සේ කරට කර ධාවනයක යෙදුණා. එහි දී ෆින්ලන්තයේ විරේන්, ටියුනීසියාවේ ගමෝඩි, එංගලන්තයේ ස්ටුවර්ට්, ඇමරිකාවේ ප්‍රිෆොන්ටේන්, සහ බෙල්ජියමේ පුටමන්ස් පදක්කම් සඳහා තියුණු සටනක නිරත වුණා. නමුත් තරගයේ අවසන් මීටර් 400 එළඹෙන විට විරේන්, ගමෝඩි, සහ ස්ටුවර්ට් ප්‍රධාන පොකුරෙන් මිදී ඉදිරියට ගියා. තරගයේ අවසන් මීටර් 200ට ළඟා වන විට ගමෝඩි තරගයේ ඉදිරියෙන් පසු වුණේ රන් පදක්කමට ආසන්න වෙමින්. ගමෝඩි එලෙස ප්‍රබල ධාවනයක නිරත වෙමින් සිටියත් සිය උත්සාහය අත් නොහැරි විරේන්, අවසන් මොහොතේ දී ගමෝඩිව අබිබවා ගියේ ඔලිම්පික් වාර්තාවක් ද පිහිටවමින්. එහි දී විරේන් අතින් බිඳවැටුණේ 1956 මෙල්බර්න් ඔලිම්පික් තරගාවලියේ දී සෝවියට් රුසියානු ක්‍රීඩක ව්ලැඩ්මීර් කුට්ස් විසින් පිහිටවා තිබුණු ඔලිම්පික් වාර්තාව යි.

විරේන් මීටර් 5000 ඉසව්වේ දී අංක 228 ක්‍රීඩකයා ලෙස තරග කරමින් (gettyimages)

විරේන් මීටර් 10000 ඉසව්වේ ලෝක වාර්තාව බිඳ දමයි 

මීටර් 10000 ඉසව්වේ මූලික වටයේ තරගවල දී බෙල්ජියම් ක්‍රීඩක එමිල් පුටමන්ස්, ඔලිම්පික් වාර්තාවක් පිහිටවනු ලැබුවා. එම නිසාම පළමු වටයේ දී හොඳ කාල වාර්තා කර තිබුණු පුටමන්ස්, ගමෝඩි, සහ බෙඩ්ෆර්ඩ් අවසන් තරගයේ දී ප්‍රේක්ෂක අවධානය දිනාගත් ක්‍රීඩකයන් වුණා. නමුත් අවසන් තරගයේ දී එම ධාවකයන් අබිබවා ඉදිරියට ඇදුණු විරේන්, රන් පදක්කම දිනාගත්තේ නව ලෝක වාර්තාවක් බිහි කරමින්. එහි දී විරේන් බිඳ දැමුවේ රොන් ක්ලාක් නම් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා 1965 වසරේ දී පිහිටවා තිබුණු ලෝක වාර්තාව යි.

විරේන් මීටර් 10000 ඉසව්වේ දී (gettyimages)

1976 ඔලිම්පික් තරගාවලියේ දී විරේන් නැවතත් දස්කම් දක්වයි 

1976 මොන්ට්‍රියල් ඔලිම්පික් තරගාවලියේ දීත් පිරිමි මීටර් 5000 සහ 10000 ඉසව්වල රන් පදක්කම් දිනාගනු ලැබුවේ ලසේ විරේන් නම් සුපිරි ක්‍රීඩකයා යි. එහි දී විරේන් ඉතිහාසයට එක් වුණේ පිට පිටම පැවති ඔලිම්පික් තරගාවලි 2ක දී මීටර් 5000 සහ 10000 ඉසව්වල රන් පදක්කම් දිනාගත් මුල්ම ක්‍රීඩකයා ලෙස යි. ඔහුට පසුව එම දස්කම දැක්වීමට සමත් වුණේ 2012 සහ 2016 ඔලිම්පික් තරගාවලිවල දී මීටර් 5000 සහ 10000 ඉසව්වල රන් පදක්කම් දිනාගත් බ්‍රිතාන්‍යයේ මෝ ෆාරායි (ෆාරා උපත ලැබුවේ සෝමාලියාවේ යි).

විරේන් මීටර් 5000 ඉසව්වෙන් පිට පිටම ඔලිම්පික් රන් පදක්කම් දිනූ මුල්ම ක්‍රීඩකයා වෙයි 

1976 මොන්ට්‍රියල් ඔලිම්පික් තරගාවලිය ආරම්භ වන විට එම ඉසව්වේ ලෝක වාර්තාව හිමිව තිබුණේ එමිල් පුටමන්ස් නම් බෙල්ජියම් ක්‍රීඩකයාට යි. එම නිසාම මෙම ඉසව්වේ රන් පදක්කම වෙනුවෙන් සටන පැවතුණේ ඔවුන් දෙදෙනා අතර යි. නමුත් මූලික වටයේ තරගයේ දී පුටමන්ස්ට තරගය අවසන් කිරීමට නොහැකි වුණු නිසා ඔහුට අවසන් තරගයට සහභාගි වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එවැනි වටපිටාවක ආරම්භ වුණු අවසන් තරගයේ මීටර් 4600ක් අවසන් වන විට ක්‍රීඩකයන් 6 දෙනෙකු පමණ එක පොකුරට ධාවනයේ යෙදුණා. නමුත් තරගයේ අවසන් මීටර් 150 පමණ වන විට සෙමෙන් ඉදිරියට ඇදුණු විරේන්, පිට පිටම මීටර් 5000 ඔලිම්පික් රන් පදක්කම දිනූ මුල්ම ක්‍රීඩකයා බවට ඉතිහාසගත වුණා.

විරේන් මීටර් 5000 ඉසව්වේ රන් පදක්කම දිනාගත් මොහොත (gettyimages)

විරේන් මීටර් 10000 ඉසව්ව පහසුවෙන් ජයගනියි 

මිටර් 10000 ඉසව්වේ මීටර් 9600ක දුරක් අවසන් වන විට විරේන්ට අභියෝගයක් එල්ල කිරීමට කිසිදු ක්‍රීඩකයෙකු නොසිටි නිසා ඔහු හුදෙකලා ධාවනයක නිරත වුණා. එලෙස ප්‍රබල ධාවන රටාවක නිරත වුණු විරේන් රන් පදක්කම දිනාගනු ලැබුවේ රිදී පදක්කම දිනාගත් පෘතුගාල ක්‍රීඩකයාට වඩා තත්පර 5ක් පමණ ඉදිරියෙන් සිටිමින්. 

විරේන් මීටර් 10000 ඉසව්වේ රන් පදක්කම දිනාගත් මොහොත (gettyimages)

ලසේ විරේන්ගෙන් පසුව කිසිදු ෆින්ලන්ත දිගු දුර ධාවකයෙකු මීටර් 5000 සහ 10000 ඉසව්වලින් ඔලිම්පික් රන් පදක්කමක් දිනාගත්තේ නැහැ. එම නිසාම ෆින්ලන්තයෙන් බිහි වුණු අවසන් සුපිරි දිගු දුර ධාවකයා ලෙසින් ලසේ විරේන් ඉතිහාසගත වනවා. 

කවරයේ ඡායාරූපය- විරේන් 1972 ඔලිම්පික් තරගාවලියේ මීටර් 5000 ඉසව්ව ජයගත් අවස්ථාව  (gettyimages)

Related Articles