රජ වාසලේ කවටයා, අන්දරේ

අන්දරේ යන කවුරුන්දැයි විමසුවහොත් ඔහු පිළිබඳව නොදන්නා කිසිවෙක් සිංහල ජන සමාජයේ සොයා ගත නොහැකි තරමට අන්දරේගේ විහිළුවලින් ජනකතා ඉතිහාසය සුපෝෂිතය. රජ වාසල කවටයා යැයි සුප්‍රසිද්ධ අන්දරේ ප්‍රවාදය හා ඒ හා බැඳුණ රසවත් සිදුවීම් සංක්ෂිප්තයක් ලෙස ඔබට ගෙන ඒම මේ සටහනේ අරමුණයි.

රජ වාසලට කවටයෙකු අවශ්‍ය වූයේ ඇයි

රජ වාසලට කවටයෙකු වුවමනා වූයේ හුදෙක් හාස්‍ය රසයට පමණක් නොවන බව ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු විමර්ශනය කරන විට පැහැදිලි වේ. විශේෂයෙන් රාජ්‍ය පරිපාලනයේ දී රජුට ඇතිවන ඒකාකාරී බව, කටුක හා නීරස අවස්ථාවන් හී ඇතිවන පීඩනය අවම කිරීම උදෙසා කිසියම් විනෝදාස්වාදයක් පැතීම කවටයා මගින් අපේක්ෂා කර ඇතැයි සිතිය හැක. එපමණක් නොව වාසලේ කවටයා නිල නොවන පුරෝහිතයකුගේ භුමිකාව ඉටු කළ බැව් පෙනේ. ඒ විහිළු කර රජුව හිනැස්සීමෙන් නොව නිසි විහිළුවෙන්ම නිසි උපදෙස් දීමෙන් මෙන්ම වන්දිභට්ටයන්ගේ මුරැංගා අත්තේ තැබීම්වලින් රජුව බේරාගැනීමෙනි.

කවුද මේ අන්දරේ?

නෝනාගම හන්දියේ ඇති අන්දරේගේ පිළිරුව (gazzan.net)

ජනප්‍රවාදයේ එන පරිදි අන්දරේගේ උපන්ගම වන්නේ මාතර දෙවුන්දර සමීපයේ කීරවැල්ලයි. කිරලවැල්ලේ ගුරුන්නාන්සේ නමින් හැඳින්වුණු ඔහුගේ පියා කුඩා අන්දරේට “බුද්දගජ්ජය” ඉගැන්නුවේය. පසුකාලයේ දී අන්දරේ ඉගෙනුම පිණිස ගැටමාන්නට යවා ඇත. එහෙත් උගැන්මට කම්මැලියෙක් වූ ඔහු ඉන් පලා ආවේය. උත්පත්තියෙන්ම මුඛරි වූ අන්දරේ එකල ප්‍රසිද්ධියට පත්ව සිටියේ හිටිවන කවියෙකු ලෙසය.

හාස්‍ය රසය උත්පාදනය කරමින් තැන තැන කවි කියමින් සිටි තරුණ අන්දරේ සෙංකඩගල රාජාධිරාජසිංහ රජුගේ (1782-1798) සේවයට එක්වීම පිටුපස රසවත් කතාවක් ජනප්‍රවාදයේ එයි.

වරක් රජුගේ නින්දට දැඩි ලෙස බාධා කරමින් සිටි මැඩියෙකු මරා දැමිය හැකි පුද්ගලයෙකු සොයමින් රජු රට පුරා අඬබෙර කරුවන් යැවීය. මැඩියා මරා දැමිය හැකි බව පැවසූ විසුළු පෙනුමක් ඇති කෙසඟ මිනිසෙකු රාජපුරුෂයින් රජමාලිගාවට ගෙන ආවේ ඔය අතරේ දීය.

රාත්‍රිය එළැඹිණි. මේ කෙසග මිනිසා මඟුල් පොකුණට අසළට වී දුන්න මානා ගෙන සිටියේ රාජද්‍රෝහී මැඩියා මැරීමටය. එක්වරම මැඩියාගේ හඬ ඇසුණේත්, එ් දිසාවට මිනිසා තම දුන්නෙන් ඊය විද්දේත් එකටම ය. ගෙම්බා එ් මොහොතේම අවසන් ගමන් ගිය අතර පසුදින පොකුණේ මැරී හුන් ගෙම්බා හා කුඩා මිනිසාද රජු හමුවට පැමිණවීය.

සද්දය ආ තැනට ඊතලයකින් විද ගෙම්බා මැරූ මේ මිනිසා රජු දුටුවේ අරුම පුදුම වැඩකරුවෙකු ලෙසිනි. මැඩියාගේ හඬ නිහඬ වීමෙන් රජු අප්‍රමාණ සතුටක් වින්දේය.

‘‘ මගුල් පොකුණේ සැඟව සිටි ගෙම්බා ඔබ සොයා ගත්තේ කෙසේද? රජු විමසීය.

‘‘අද උදෑසන මැරී පා වෙමින් තිබූ ගෙම්බාගේ මළ සිරුර සොයා ගත්තේ මා නොව රාජ පුරුෂයන් විසින්” යැයි පිළිතුරු ලැබිණි.

රජුගේ මුවට සිනා නැගිණි. ප්‍රශ්නය නොතේරුනෑයි සිතූ රජු නැවතත්,

‘‘ගෙම්බා පොකුණේ සැඟ වී සිටියේ කොහේදැයි ඇසීය.

‘‘එය දන්නේ නම් මිය ගිය ගෙම්බාම පමණකි” යැයි කුඩා මිනිසා උත්තර බැන්දේය.

මහ හඬින් සිනාසුණ රජු ඔහුට ඒ මොහොතේම “සද්ද විද්ද පළඟ පතිර” නම් නම්බු නාමයක් ප්‍රදානය කළ අතර ඔහුගේ විකට පිළිතුරුවලින් ප්‍රීතියට පත්ව රජ වාසළේ කවටයා තනතුර ද පිරි නැමීය. ඔහු අන් කවරෙකුත් නොව අන්දරේය.

කයිවැල් අන්දරේ

අන්දරේගේ කවීත්වය උපන්ගෙයි උරුමයක් විය. පත පොතින් ලද දැනුම නොව ස්වභාව ධර්මයා සහ ජන සමාජය ඇසුරෙන් ගැයුන අන්දරේගේ කවි මානව දයාවෙන් පිරි සෝපහාස රසයක් ගෙන එයි. වාසළේ කවටයා වූ අන්දරේ රජ ගෙදර කවිකාර මඩුවට සම්බන්ධ වූයේ රාජ සේවයට බැඳී ටික කලක් ගෙවුණ පසුය. කවියට පෙම් බැඳි රජුගේ කවිකාර මඩුවේ දිනක් මුං කොටුවේ රාල, වඩුගොඩ කවියා හා කැකිරි ගමයා වැනි අන්දරේගේ සමකාලීන කවියන් රැස්ව සිටියෝය. එවෙලේ රජු තේරවිල්ලක් ඉදිරිපත් කොට එය තෝරන්නැයි මේ කවීන්ට දන්වා සිටියේය. තේරවිල්ල මෙසේය.

දාර දෙකයි එක තැන මුල්කර තැනුවා

පාර තිහක් ගැසුවත් බයකුත් නැතුවා

කොන් සතරයි කණු සතරයි ගෙට ඇතුවා

තෝරාපන් ඊයේ මගදී දුටුවා

කවිමඩුවේ කවිකාරයන් අමාරුවේ වැටිණි. පිළිතුරක් දී ගත නොහැකි සිටි ඔවුන් දුටු අන්දරේ කවියේ හතර පද තෝරා දුන්නේය.

දාර දෙකයි එක මැද එය ගැවසීය

වටපිට යන කලට කණු සතරෙන් යාය

ගෙට වැඩි කළට කිසි බයකුත් නැතුවාය

මට දැනෙනා ලෙස මහරජ ඉබ්බාය

මහ රජ ඉබ්බාය යනුවෙන් අවසන් පදයෙන් අන්දරේ හීන්සීරුවේ රජුට උපහාසයක් ද එල්ල කළේය. තේරුම් කවියෙන් සතුටට පත් රජු වහා අන්දරේ කවිකාර මඩුවේ කවියෙක් බවට පත් කළේය. පසු කාලයේ කැකිරි ගමයා හා එක්ව අන්දරේ කී පරහු කවි සංවාද (පිළිතුරු කවි) අපේ ජනසාහිත්‍යයේ විශිෂ්ට පරිකල්පනයකින් යුක්ත කවි වර්ගයක් ලෙස සැලකේ. කවිවැල් අන්දරේ ලෙස අන්වර්ථ නමකින් ඔහු හැඳින්වූයේ එක දිගට කවි ගෙතීමේ තිබූ අපූරූ හැකියාව හේතුවෙනි. හිටිවන කවි, වස් කවි, සෙත් කවි, ශෘංගාරාත්මක කවි ආදී ඕනෑම කවියක් අන්දරේට සැණින් පබැඳිය හැකිව තිබුණි.

තවත් දිනක් රජු සිය වාසළ කටයුතු හමාර කරමින් පැමිණ සිටි රාජ අමාත්‍යාදීන්ට අපූරු යෝජනාවක් ගෙන ආවේය. රාජ සභාවේ සියළු දෙනා පසුදා එනවිට බොරුවක් ගොතාගෙන ආ යුතු අතර, ලොකුම බොරුවට ත්‍යාගයක් ද දෙන බවට රජු සැල කළේය. පසුදා රාජ සභාවට පැමිණි සියල්ලෝම ගොතා ගෙන ආ බොරු රජුට සැල කළ නමුත් ඒ කිසිවකින් රජු සෑහීමකට පත් නොවීය. අවසානයේ අන් අයගේ බොරුවලට සවන් දෙමින් සිටි අන්දරේ නැගිට තමාට බොරුවක් කීමට උවමනා බව රජුට පැවසීය. අවසරය ලැබිණි.

රජකම් කළත් ඉඳගෙන සිහසුනක මත

ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත

ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත

මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත

රජුගේ පාලන තන්ත්‍රය සෘජුවම උපහාසයකට ලක් කරමින් අන්දරේ සිය බොරුව කවියෙන් කීය. රාජ සභාවම තුෂ්ණිම්භුත විය. රජුගේ කටයුතු විචාරයට ලක් කිරීම හෝ රජුට අවමන් කිරීම එකල සිදු විය නොයුත්තකි. සියල්ලෝම බලා සිටියේ අන්දරේට මරණ දඩුවම ලැබෙන තෙක්ය. එහෙත් රජු සිනාසී හොඳම බොරුව අන්දරේ කී බවට පිළිගත්තේය. ත්‍යාගය ලැබුණේ අන්දරේටය.

අන්දරේගේ ලොකුම විහිළුව (Pubudu Karunarathne)

අන්දරේ ප්‍රවාදය ඇසුරින් උපන් ජනකතා

කවි පමණක් නොව අන්දරේ චරිතය ඇසුරින් උපන් ජනකතා ද රසවත්ය. හතර බීරී කතාව එබඳුය. දිනක් රජ බිසවට අන්දරේගේ ප්‍රිය බිරිඳ දැකීමට කැමැත්තක් ඇති විය. අන්දරේ ඇය ගැන කතා කරන්නේ මහ ඉහළිනි. හොඳ වැඩක් කරන්නම් යැයි සිතූ අන්දරේ ගෙදර ගොස් බිරිඳට පැවසූ‍‍යේ ‍දේවිය රජ මාලිගාවට ඇය හා එන ලෙස දැන්වූ බවය. රාජ දේවිය බිහිරි බැවින් ඇය හා කතා බස් කිරීම හඬ නගා කළ යුතු බව ද අන්දරේ බිරිඳට සිහිපත් කළේය. බිරිඳ සමග මාලිගාවට පිවිසි අන්දරේ ඉක්මන් ගමනින් රජ බිසවට ද පැවසූයේ සිය බිරිඳ බිහිරි බැවින් ඇයට හඬ නගා ආමන්ත්‍රණය කළ යුතු බවයි.

දැන් රජගෙදර එකම ගාලගෝට්ටියකි. මෙහෙසිය අන්දරේගේ බිරිඳට මහ හඩින් කතා කරයි. බිසව බිහිරි යැයි සිතූ අන්දරේගේ බිරිඳත් ඇයට දෙවැනි නොවී මහ හඬින් අමතයි. රජු ද පැමිණ බලා සිටියි. රජ ගෙදර පිරිස රැස්ව මේ කිනම් අරුමයක්දැයි විමසයි. අන්දරේ පමණක් බඩ අල්ලන් සිනාසෙමින් පසු වෙයි. රජුට ද කාරණය තේරුම් ගියේය. අවසන රජ බිසව හා අන්දරේගේ බිරිඳ පිරිසගේ සිනාහඩ මධ්‍යයේ අන්දරේට දෙස්දොවොල් තැබූහ.

අන්දරේ සීනී කෑ හැටි, තිතයන් මැල්ලුම හා බත් කද, වප් මඟුලට හරකුන්ට පණිවුඩ කීම, ගොරකා මුලේ කතාව ආදී ළමා ලොව රසවත් කළ අන්දරේගේ කතාන්දර බොහෝ වෙති.

අන්දරේ හා බැඳුණ නව නිර්මාණ

“අන්දරේලා” වේදිකා නාට්‍යයෙන් (jayalathmanorathna.org)

ජන වහරේ එන අන්දරේ කතා මාලාව ඇසුරින් නූතනයේ බිහිව ඇති නිර්මාණ බොහෝ අැත. එම නිර්මාණ රසවින්දනය පමණක් නොව වරෙක පුළුල් සමාජ දේශපාලන අර්ථයක් ලබා දී ඇත. ප්‍රවීණ නළු එඩී ජයමාන්න මහතා රංගනයෙන් දායක වූ කවට අන්දරේ, ප්‍රවීණ නළු ජයලත් මනෝරත්නයන්ගේ අන්දරේලා අැතුළු වේදිකා නාට්‍ය, කුඩා දරුවන් සඳහා නිර්මාණය වූ කාටුන් කතා මාලා, හතර බීරී කතාවෙන් ප්‍රතිනිර්මාණය වූ දොම්පෙට යන පාර කොයිබදෝ ගීතය, ජේ. ඒ මිල්ටන් පෙරේරා ගයන රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ වැනි ගීත ද මේ අතර වෙයි. පොත් පත් මගින්ද අන්දරේ ප්‍රවාදය ප්‍රතිනිර්මාණය කළ ජන කතා එකතු බොහෝ ඇත.

මළත් නොමළ අන්දරේ

උඩමළල වැව් අසබඩ නිදන අන්දරේ (sancharacamerawa.blogspot.com)

වයස්ගත වනතුරුම අන්දරේ රජුගේ හා රජ ගෙදර ඇත්තන්ගේ මුවට සිනා නංවමින් සිය රාජකාරිය අකුරටම ඉටු කොට තිබේ. කවටයෙකු, කවියෙකු හා අදිකාරම්වරයෙකු ලෙස අන්දරේ වාසළේ සිය භුමිකාව ඉටු කර ඇත.

සිය ජීවිතයේ අවසන් ගමන් උපන් ගමෙහිම යන්නට සිතූ අන්දරේ සෙංකඩගල රාජධානියෙන් සමුගෙන රුහුණට එන්නට පිටත් වූයේ සහයට පිරිසක් ද සමගිනි. උණ රෝගයෙන් ද දුබලව සිටි අන්දරේ හම්බන්තොටට නුදුරු උඩමළල වැව් ඉස්මස්තේ දී පිපාසිතව දෝලාවෙන් බැස්සේය. අන්දරේ විඩාපත් විය.එහෙත් කවියක් නොගයා සිටීමට එය හේතුවක් නොවීය

රිදී කළේ රන් කොතලේ බීපු මට

නිකම් කළේ පැන් නැතිවිය පිපාසෙට

කොට්ටමෙට්ට ඇඳ ඇතිරිලි ඇති මෙමට

කෙසේ පසුවෙම්ද පළුවීර ගස් යට

සිය අවසන් මොහොත පැමිණ ඇති බව දැනගත් අන්දරේ දෑත් දෙපය දෙපසට විහිදුවා උඩමළල වැව ඉස්මත්තේ සිය අවසන් නින්දට වැතිර ගත්තේය. ඔහු මිය ගිය ශෝක ජනක පුවත ඇසූ රජු වහා අන්දරේ මිය ගොස් සිටි ස්ථානයට පැමිණියේය. ඔහු වැතිර සිටි ආකාරය දුටු රජතුමා “මේ මිනිසා මළත් මාව හිනස්සනවා” යැයි පැවසූ බව ජනවහරේ එයි.

අන්දරේගේ සොහොන් ඵලකය (sancharacamerawa.blogspot.com)

අන්දරේ මිය ගිය ද ඔහු කිසිදා ‍‍නොමියෙන චරිතයක් බවට පත්ව ඇත. අන්දරේ යනු සැබෑ චරිතයක් නොවන බවත්, එකල සිටි කවීන් හැඳින්වීමට පොදුවේ යොදා ගත් නමක් බවත් සමහරක් විද්වතුන්ගේ මතයයි. අන්දරේ නාමය බිඳී ආවේ පෘතුගීසි බසේ ඇන්ඩෘ යන නාමයෙන් බව ද කියැවේ.

කෙසේ වුවත් අවසන් නින්දට පිවිසි උඩමළල වැව් ආසන්නයේ අන්දරේ අදටත් දෑත ‍දෙපය දෙපසට විහිදුවා නරඹන්නන්ගේ මුවේ සිනහවක් තැබීමට සමත් වී සිටී. හම්බන්තොට උඩමළල වැව් අබියස කවට අන්දරේ‍ගේ සොහොන ‍ලෙස ප්‍රසිද්ධියට පත් මෙම ස්ථානය අන්දරේගේ ජීවිතයේ විවිධ අවස්ථා මූර්තිමත් කොට තිබේ. හම්බන්තොට සිට තිස්සමහාරාම පාරේ යනවිට හමුවන උඩමළල හන්දියෙන් වමට ඇති පාරේ කිලෝමීටරයක් පමණ ගොස්, එහි දකුණු දෙසින් වූ වැව අයින දිගේ ඇවිද යන ඔබට හදවත් තුළ නොමියෙන අන්දරේගේ සොහොන් බිමට පිවිසිය හැක.

කවරයේ රූපය : (Thilanka Thamel)

මූලාශ්‍ර:

  1. මාතර යුගයේ සාහිත්‍යධරයන් හා සාහිත්‍ය නිබන්ධන – පා.බ.ජ.හේවාවසම්
  2. නුවණක්කාර කවටයා – ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර
  3. www.danuma.lk
  4. Lankadeepa.lk

Related Articles