“ලේඛකයෙක් හැටියට මං ලෝකයේ බොහෝම ප්‍රසිද්ධ වුණා. ඒ වගේම සෑහෙන මුදලකුත් හම්බ කළා. ඒ සඳහා මට උදව් වුණේ හම්බන්තොට දිස්ත්‍රික්කය. මැරෙන්න කලියෙන් මේ ගම් පළාත දැක ගන්න මං ආවෙ ඒ හින්දමයි. මහා වනාන්තර මැද වනසතුන්ට මැදිවෙලා මිහිපිට අපා දුක් විඳින අහිංසක හේන් ගොවියන් ගැන එදා මං ලබාගත්තු අත්දැකීම් මගේ ලේඛනවලට ප්‍රයෝජනවත් වුණා. ගම් ප්‍රදේශවලට අරක්ගෙන සිටිය රාජකාරිකාරයන්ගේ අකාරුණික පීඩාවලට මැදිවෙල උන්නු ගම්බද හේන්කාරයො ගැන ලිවීමෙන් විශාල මුදලක් මට ලැබුණා” යි කී ලෙනාඩ් වුල්ෆ් බුන්දල ගැමියන්ට මිල මුදල් හා විවිධ වටිනා තෑගිද ප්‍රදානය කළේය. මැරෙන්නට පෙර හම්බන්තොට දිසාව දැකබලා ගැනීමේ ආශාවෙන් පසුගිය පනස් අවුරුද්දේම තමා පසුවූ බව ලෙනාඩ් වුල්ෆ් බුන්දලදී ගැමියන් හමුවේ පැවැසීය.

බ්‍රිතාන්‍ය යටත්විජිත සේවයෙන් විශ්‍රාම ලබා 1911 දී ආපසු එංගලන්තය බලා පිටත් වුණු ලෙනාඩ් වුල්ෆ් නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ ඉන් වසර 50කට පසුවයි. ඒ වන විට 81 වන වියේ පසු වූ ඔහු මෙරටට පැමිණියේ හම්බන්තොට දිස්ත්‍රික්කය දැකබලා ගැනීමේ අටියෙනි. ඉහත දක්වා ඇත්තේ, වසර 50කට පෙර තමන් උප දිසාපතිවරයකු ලෙස සේවය කළ හම්බන්තොට දිස්ත්‍රික්කය සහ රාජකාරි කළ සමයේ ලද සුන්දර අත්දැකීම් යළි ස්මරණය කිරීමේ අවස්ථාවට එක්වූ විජේසිංහ බෙලිගල්ල විසින් තබන ලද සටහන් කිහිපයකින් උපුටා ගත් කොටසකි.

බැද්දේගම

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සාහිත්‍ය පෝෂණයෙහි ලා රඩ්යාඩ් කිප්ලිං, ජෝසෆ් කොනාඩ් සහ ඊ.ඇම් ෆොස්ටෙර් වැනි ගත් කතුවරුන්ගෙන් ලැබුණු දායකත්වය අමතක කළ නොහැක. මෙහිදී විදේශ සිවිල් සේවකයන්ගෙන් සිදුවූ සේවයද අප විශේෂයෙන් සඳහන් කල යුතුමය. ඒ. පී. ගුණරත්නයන් විසින් බැද්දේගම ලෙසින් සිංහලයට පරිවර්තනය කරන ලද, ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයට අයත් වනගත ගමක්‌ පසුබිම් කර ගනිමින් රචිත “විලේඡ් ඉන් ද ජන්ගල්” යන අනර්ඝ සාහිත්‍ය නිර්මාණය ශ්‍රී ලාංකික ජනතාවට හුරු පුරුදු නමක්‌ ලෙස මතක සටහන් තුළ සදාතනික ව ලියෑවී ඇති බව නොරහසකි. ලෙනාඩ් වුල්ෆ් යන නමද ශ්‍රී  ලාංකිකන්ට ආගන්තුක නොවන්නේය. ඔහු සිංහල ගම්බද ජනයාගේ ජීවිතය විනිවිද දුටු සැටි මනහරය.

බැද්දේගම කථා ප්‍රවෘත්තියට වස්තු වූයේ ලක්දිව කැලෑ බද ගමක සොබාදහමේ සෑම ව්‍යසනයකිනුත්, වාණිජමය රුදුරු හස්‌තයේ අහිතකර බලපෑම්වලිනුත් පීඩා විඳින කුටුම්භගතව දිවි ගෙවන ගම්වැසියන්ගේ අව්‍යාජ අත්දැකීම් කිහිපයකි. යටත් විජිත සමයේ ශ්‍රී ලාංකීය ජන ජීවිතයේ යථා ස්‌වභාවය නිරූපණය කරන්නට ලෙනාඩ් වුල්ෆ් සිය කෘතිය තුළ අතිශය තත්වාකාරයෙන් ප්‍රබල වාග් චිත්‍රයක්‌ ගොඩ  නගා ඇත.

බැද්දේගම චිත්‍රපටය තිරගත කරන අතරතුර (sundayobserver.lk)

අවුරුදු 25ක තරුණයෙකු ලෙස හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ පරිපාලන නිලධාරී වශයෙන් පත්වන ලෙනාඩ් වුල්ෆ් ස්‌වභාව සෞන්දර්යටත් වන ජීවීන්ටත් මහත් ඇල්මක්‌ දැක්‌වූ පුද්ගලයෙකි. වනාන්තරවල සංචාරය කරමින් මුලදී වනසතුන් දඩයම් කරමින් ගෙවූ දිවිය සිය ජීවන ප්‍රවෘත්තිය තුළ දිස්‌වන අයුරු ඔහුගේ දිනසටහන් මනාව තහවුරු කරයි. වසර 07 ක්‌ තරම් කෙටි කාලයක්‌ ලක්‌දිව ගත කළද, ලෙනාඩ් වුල්ෆ් ගැමි සමාජයේ පැවති තත්කාලීන ප්‍රශ්න හා සමාජ ඇවතුම් පැවතුම් පිළිබඳවත් මනා අවබෝධයකින් පසුවුණි. ඔහු ලංකාවට, හම්බන්තොට වැසියන්ට ඉමහත් ආදරයක් දැක්වීය. උප දිසාපතිවරයා ලෙසින් කටයුතුකරන කාලයේදී අහිංසක දිළිඳු ගැමියන්ව සමීපව ඇසුරු කරමින් ඔවුනට සානුකම්පිතව, කරුණාවෙන් සැලකූ වුල්ෆ් ජනතාවට විශිෂ්ට සේවාවක් ඉටු කර 1911 මැයි මාසයේ යටත්විජිත සේවාවෙන් ඉල්ලා අස්වී එංගලන්තයට ගියේය.

“ශ්‍රී ලංකාවේ හත් අවුරුදු සිවිල් සේවා කාලය තුළදී මා සෞන්දර්යාත්මක දේශපාලන සත්ත්වයකු බවට පත් කළේය. දහස්‌ සංඛ්‍යාත සිංහල සහ දෙමළ ජනතාව පත්ව සිටි අසරණ තත්ත්වය මා භීතියට පත් කළේය. අධිරාජ්‍යවාදයේ කුරිරු බව මා දුටුවෙමි. මෙම සත් අවුරුදු විවේකයෙන් පසුව මා එංගලන්තයට පැමිණි පසු දේශපාලන සහ සමාජ ක්‍රම පිළිබඳව මා දැඩි ආශාවක්‌ දැක්‌වූයෙමි. අමුත්තෙකුගේ ඇසකින් හා විශේෂඥයකුගේ ඇසකින් එය මා නිරීක්‍ෂණය කළෙමි. සහකාර දිසාපතිවරයෙක්‌ද, දිස්‌ත්‍රික්‌කයක ඒජන්තවරයෙක්‌ ද, නඩුකාරයෙක්‌ හා මහේස්‌ත්‍රාත්වරයෙක්‌ වශයෙන් මා රජය හා පාලනය පිළිබඳ හොඳ දැනුමක්‌ ලබාගතිමි.”යි ලෙනාඩ් සඳහන් කරයි.

සිවිල් සේවා නිලධාරියෙකු ලෙස ලෙනාඩ් වුල්ෆ් ආදි සිලෝන් හි ගත කල සමය

ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් බි්‍රතාන්‍ය පාලන සමයේදී ලංකාවට ආවේ යටත්විජිත සේවයෙහි ආධුනික කනිෂ්ඨයකුව යාපනය කච්චේරියට අනුයුක්තවය. වුල්ෆ් වියතාණන් පෙරදිග සිවිල් සේවයට එක්‌ වන්නේ, වයස අවුදු 21 දී පමණ හෙවත් වර්ෂ 1904 දී පමණය.  1908 සිට 1911 වර්ෂය දක්වා හම්බන්තොට උප දිසාපතිවරයා ලෙස කටයුතුකල ලෙනාඩ් වුල්ෆ් හට අභියෝගාත්මක කාල පරිච්ඡේදයකට මුහුණ පෑමට සිදු විය. සිලෝන් හි අනෙකුත් දිස්ත්‍රික්ක වලට සාපේක්ෂව ගත් කල හම්බන්තොට යනු පැතලි බිම් සහිත ශුෂ්ක කලාපයකි. මෝසම් වැසි ලැබෙන්නේද කලාතුරකිනි. එකල වාර්ෂික වර්ෂාපතනය 25″ක අඩු අගයක පැවතුණු අතර වාරි මාර්ග පහසුකම් නොමැති බිම් කිසිදු කෘෂිකාර්මික කටයුත්තක් සඳහා යොදා ගත නොහැකි තත්ත්වයක තිබුණි.

ලෙනාඩ් වුල්ෆ් ශ්‍රීලංකාවේ තරුණ සිවිල් සේවකයෙකු ලෙස කටයුතු කල සමයේ ගත් ඡායාරූපයක්. (leonardwoolf.altervista.org)

තම පරිපාල කොට්ඨාසය ලෙස වුල්ෆ් ට හිමිව තිබුනේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයට අයත් මුළු භූමි ප්‍රමාණය වන වර්ග සැතපුම් 1200 ක්‌ අතුරින් වර්ග සැතපුම් 600 ක්‌ පමණ වනයෙන් වැසුණු මාගම්පත්තුව යි. මාගම්පත්තුවේ නැගෙනහිර කලාපේ දිළිඳුම පවුල් දිවයිනේ අන්ත දුගී පවුල් අතරට එක්වීම ද මෙහිදී සඳහන් කල යුතු කරුණකි. කෙසේ නමුත් පොදුවේ ගත් කල හම්බන්තොට තම වැසියන්ට සෞභාග්‍ය උදා කර දුන් දිස්ත්‍රික්කයක් විය. ආදි සිලෝන් හි ප්‍රථම ආර්ය වංශික ජනාවාස ඇති වූයේ හම්බන්තොට ය. ක්‍රමක්‍රමයෙන් තිස්සමහාරාම මුල් කොට ගෙන බලවත් රාජධානියක් ඇති වූ අතර පසු කලේක රුහුණේ රජු බවට පත් වූ දුටුගැමුණු කුමරා උපත ලැබුවේද රුහුණුපුරවරයේ තිස්සමහාරාමේ බව වංශ කතාවල සඳහන් වේ. මෙතුමාගේ පාලන කාලය ලංකා ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයකි. වෙහෙර විහාර දාගැබ් 89ක් පමණක් නොව රෝහල් පවා ඉදි කළ ගැමුණු රජු ද්‍රවිඩ පාලනය නිසා අඩපන වූ කෘෂිකර්මය යලි නගා සිටුවමින් රටේ එක්සත් පාලනයක් ඇති කලේය. මෙම ඉසුරුමත් පාලනයේ ප්‍රතිලාභ තවමත් හම්බන්තොට ජනතාව භුක්ති විඳිමින් සිටිති.

පරිපාලන දිස්ත්‍රික්කයක් ලෙස හම්බන්තොට , නැගෙනහිර ගිරුවාපත්තුව, බස්නාහිර ගිරුවාපත්තුව සහ මාගම්පත්තුව ලෙස මුදලියාර් කෙනෙකුගේ පාලනයට නතුව ප්‍රධාන කොට්ඨාස 3කින් සමන්විත වුණි. 1911 දී පැවැත්වූ ජන සංගණනයකට අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනගහණය 110,508 ක් වූ අතර ඉන් බහුතරය පහතරට සිංහලයින් විය. නමුත්  හම්බන්තොට නගරය ප්‍රධාන වශයෙන් මැලේ මුස්ලිම්වරුන්ගෙන් සමන්විත විය.

ආදිකාලේ හම්බන්තොට (villagebreakfasts.blogspot.com)

වී ගොවිතැන හම්බන්තොට ජනතාවගේ මූලික ජීවනෝපාය විය. වලවේ ගඟ සහ කිරිඳි ඔය සම්බන්ධ කරගනිමින්, 1850, සර් හෙන්රි වෝඩ්ගේ යෝජනාවකට අනුව ප්‍රධාන වාරිමාර්ග ව්‍යාපෘති 4ක් ක්‍රියාත්මක වුණේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ ගොවියන් තම හේන් වගාවන් අත්හැර වී ගොවිතැන සඳහා යොමු වූ අතර 1911 වන විට දිස්ත්‍රික්කයේ වී අස්වැන්න බුසල් 966,000 විය. වුල්ෆ් ගේ දිනපොත් සටහන් වලට අනුව එකල වී ගොවිතැන සිදුවූයේ සාම්ප්‍රදායික ක්‍රම වලට අනුකූලවය. ලෙනාඩ් වුල්ෆ් උප දිසාපතිවරයකුව සිටි කාලයේදි සී සෑමේ සහ පැල සිටුවීමේ නවීන ක්‍රම භාවිතා කිරීම සඳහා දැඩි උනන්දුවකින්  කටයුතු කලේය. නමුත් 1909 දී දිස්ත්‍රික්කය පුරා පැතිරුණු කුර වසංගතය හේතුවෙන් වී ගොවිතැන අඩාල විය. ගව වසංගතය මර්ධනය කිරීම සඳහා ලෙනාඩ් වුල්ෆ් සිදු කල කැප කිරීම ඔහුගේ දින පොත කියවා අපට වටහා ගත හැකි වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ බටහිර කලාපයේ වී සහ හේන් වගාවන්ට අමතරව පොල් සහ පැඟිරි වගාව සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පැවතුණි. අක්කර ගණනාවක් පැඟිරි පඳුරු වලින් පැතිරී තිබුණු අතර 1911 වන විට දිස්ත්‍රික්කයේ පැඟිරි තෙල් ඉස්කාගාර බහුල වශයෙන් දක්නට ලැබිණි.

කෙසේ වෙතත් දිස්ත්‍රික්කයේ ආදයම් ජනනය කිරීමට ප්‍රධාන වශයෙන් ලුණු ලේවායන් දායක විය. වැසි සමයන් හිදී ලේවායන් වල එකතු වන ජලය නියං කාලයේදි වාෂ්ප වී ඝන ලුණු ස්ථරයන් හට ගනියි. ලුණු එකතු කිරීම, ඇසිරීම සහ ප්‍රවාහනය කිරීම යන කටයුතු සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට විවිධ රැකියා අවස්ථා උදා වුණි. ලෙනාඩ් ෆුල්ෆ් පාලන සමය තුළ, 1910 වර්ෂයේදි ලැබූ ලුණු අස්වැන්න මෑත ඉතිහාසයේ ලේවායකින් ලැබූ ඉහලම අගයක් ලෙස ඉතිහාස ගත විය. නවීන තාක්ෂණය හඳුන්වා දීමට පෙර වුල්ෆ් විසින් ලුණු නිෂ්පාදන ක්‍රියාවලියේ සිදුකල අනේක පර්යේෂණ සහ අත්හදාබැලීම් මේ සඳහා උපකාරි විය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ සනීපාරක්ෂක සහ සෞඛ්‍ය පහසුකම් කෙරෙහි ලෙනාඩ් වුල්ෆ් දැඩි අවධානයක් යොමු කලේය. එකල මැලේරියා වසංගතය රට පුරා ව්‍යාප්ත වෙමින් පැවතුණි. මෝසම් වැසි සමයත් සමඟ මැලේරියාව දරුණු ලෙස දිවයිනේ ශුෂ්ක ප්‍රදේශ කරා පැතිර ගියේය. ඊට අවාසනාවන්ත ලෙස වැඩි වශයෙන් ගොදුරු වූයේ ගොවියන් ය.  බැද්දේගම නව කතාවේ මේ අරගලයේ දුක්ඛ වේදනාව ලෙනාඩ් වුල්ෆ් වැඩි දුරටත් ගෙන හැර පායි.

දිනපොතේ සටහන් කිහිපයක්…

1908.08.28 දින සිට 1911.05.20 දින දක්‌වා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ උප දිසාපතිවරයා ලෙස කටයුතු කර ඇති සමයේ ලෙනාඩ් වුල්ෆ් විසින් පවත්වාගෙන ගිය රාජකාරි දිනපොතෙහි සටහන් කිහිපයක් පහත දක්වා ඇත. විටෙක තම රාජකාරියේ වගතුග පිළිබඳවත්, යාල, වනයේ සැරිසරන විටදී හමුවු වල් අලි රංචුව ගැනත් ඔහු පාඨකයා වෙත තම අත්දැකීම් ගෙන එන්නේ දැකුම්කළු අන්දමකිනි. කෘතහස්‌ත මාධ්‍යවේදියෙකු ලෙස සහ බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරියෙකු ලෙස ලෙනාඩ් ෆුල්ෆ් වියතාණන් පවත්වාගෙන ගිය නිල දින පොත් සටහන් ඉතා වටිනා මුලාශ්‍රයක් ලෙස ඉතිහාසගත වී ඇත.

1908, දෙසැම්බර් දෙවැනි දා

නොවැම්බර් මාසයේ වර්ෂාපතනය 4.59″ පමණ වුණි. මේ මාස 11 පුරාවට රටේ සාමාන්‍ය වාර්ෂාතනය 22.41 වූ අතර එය අවුරුදු 28ක් දක්වා පැවති මධ්‍යන්‍ය අගය වන 31.26 ට වඩා අඩු අගයක පවතියි. මෙයින් අදහස් වන්නේ ඉදිරි  දිනයන් දි ගමේ ජල ටැංකි වලින් යැපෙන වගාවන් වල අස්වැන්න අඩුවීමේ ප්‍රවණතාවයක් ඇති බවයි. තිස්සමහාරේම යෝද වැව මේ කාලය වන විට පිරී ඉතිරෙන නමුත් දැන් එයද සිඳී ගොස් ඇත.ලුණු ලේවායේ ආදායම – නොවැම්බර් මාසයේ ලුණු ලේවායේ ආදායම රු.100,000 කට ආසන්න අගයක පවතියි. මෙය 1907 වර්ෂයේ දිස්ත්‍රික්කයේ මුළු ආදායමෙන් කාලක් පමණ වෙයි.

හම්බන්තොට ලුණු ලේවායන්, අද…(hardrainproject.com)

උදෑසන ආහාරය සඳහා මම විලපාලට ගියෙමි. නමුත් එහි මුවන් සිටියේ නැත. ගෝනන් දැක බලා ගනු පිණිස අපි වණ ආරණ්‍ය පාලකයින් සමඟ විලපාලවැවගලට ගියෙමු. වන ඝහනය අධික නිසා යාන්තමින් වගේ එක් ගෝනෙකු අපේ ඇස් වල ගැටිණි. අපිට දැක බලා ගත හැකි වූයේ තවත් එක් ගෝනෙකු පමණි. මද්‍යහනයෙන් පසු අපි යාල වනයෙන් සැතපුමක් පමණ එහා තරණය කළෙමු. යන ගමන්, අප පුතනාගල නැග්ගෙමු. මෙය අධික බෑවුමක් ඇති ගලක් වූ අතර එහි අලි සහ ගෝනු බෙටි අපට දැක ගත හැකි වුණි. මෙහි තිබෙන වතුර වලවල් වලින් ඔවුන් වතුර බොන්නට මෙම ගලට එනවා විය හැක. ඒ කාලයේ ගල මත විහාරයක් හෝ දාගැබක් තිබෙන්නට ඇත. වනය ඔස්සේ යාලට ඇති අන්තිම සැතපුමද මම ඇවිද ගියෙමි. නමුත් මට යන ගමනේ දැක ගත හැකි වූයේ එක තිත් මුවෙකු පමණයි.සවස් කාලයේ මා යාලේ උතුර දෙසට ගිය අතර එහිදී ද මට දැක ගත හැකි වූයේ ඌරෙකු පමණි. නමුත් වාසනාවකට මෙන්, ගොම්මන් වේලාවේ ක්‍රමයෙන් අඳුර කරා අතුරුදන් වූ ඇතෙකු ගේ දර්ශනය අපට දැක ගැනීමේ වාසනාව උදා විය.

1909 මාර්තු 16 වැනි දා – “මහ මුහුද”

මම වාහනයෙන් කටුවානට ගියෙමි. වල්ගම්මුල්ල අලුත් රජයේ පාසල ඉදිකිරීමට නියමිත ඉඩම අධීක්ෂණය කළෙමි. නමුත් මට සිතෙන හැටියට මෙම පාසල ඉදිකිරීම සඳහා වඩාත් යෝග්‍ය වන්නේ වරාපිටියයි. මන්ද,  කිරම කොට්ඨාසයේ සියලුම ගම් වල දරුවන්ට ඉන් පාසලක් ලැබෙන නිසාය. කටුවාන සිට තලවත්තට මම වාහනයෙන් සැතපුම් 4ක් පමණ ගියෙමි. මෙහි එක් රජයේ පාසලක් පමණක් ඇති අතර එය පිහිටා ඇත්තේද දිස්ත්‍රික්කය සබරගමු පළාතෙන් වෙන්කරන කඳු පාමුලක් අසළ ඇති දුෂ්කර ස්ථානයක ය. මා කටුවාන රජයේ පාසල අධීක්ෂණය කළ අතර එම ස්කෝලයේ ගුරුවරයෙකුට සාමාන්‍ය දැනීම යටතේ පාඩමක් උගන්වන ලෙස මම යෝජනා කළෙමි. පාඩමේ මාතෘකාව වුයේ “මහ මුහුද” යි. ඔහු ඉතා හරවත් පාඩමක් සිසුන් ඉදිරියේ ඉතා සිත් ගන්නා සුළු අන්දමට ඉදිරිපත් කළේය. ගුරුවරයාගේ වියක්ත බව මට ඉන්පසු ප්‍රත්‍යක්ෂ වුණි.

මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය රුහුණේ ඓතිහාසික, කලා හා ස්වාභාවික උරුමයන් විදහා දැක්වෙන කෞතුකාගාරයකි. කච්චේරිය ඇතුලු යටත් විජිත පාලන සමයේ සියලුම දිස්ත්‍රික් කාර්යාල පිහිටා තිබුණේ මෙම බිමෙහිය. (museum.gov.lk)

1909 මාර්තු 28 වැනි දා – “කුර රෝගය පැතිරීම”

උඩමලලට ගොස් මම එහි මුදලියාර් ව හමු වුණෙමි. මාගේ අණ නිසි පරිදි ක්‍රියාත්මක වී නැති බව හැඟී ගියේය. රෝගාතූර වූ මී හරකුන් දෙදෙනා බැඳ දමා තිබුණේ නැත. මාගේ අණ පරිදි ගැමියන් දෙදෙනෙකුට එම හරකුන් දෙදෙනා අල්ලා ගන්නා ලෙස පැවසුවත් ඔවුන්ගේ ග්‍රහණයට හසුවූයේ එක් මී හරකෙකු පමණි. අවාසනාවකට මෙන් මට පලා ගිය අනෙක් ගවයාවට වෙඩි තැබීමට සිදු වුණි. මට හැඟෙන හැටියට මෙය අනිවාර්යයෙන් කුර රෝගය විය යුතුය. උඩමලල වැනි දුෂ්කර පළාතක කුර රෝගය මර්ධනය කිරීමේ පහසුකම් නැත. රෝගාතූර වූ ගවයින් බැඳ දමා වෙනම මඩුවක තැබිය හැකි වූවත් පිපාසෙන් සහ සාගින්නෙන් ඔවුන් මියදෙනු ඇත. නියඟය නිසා  ගව රැලට තණ පිඩලි හා ජලය සොයා නිදැල්ලේ ගමේ ඔබ මොබ සැරිසරන්නට නිදහසක් ඇත. මේ ගමේ ගැම් වැසියන්ගෙන්ද වැඩක් සිදු නොවේ. ගමේ මුලාදැණියන් ඊට හපන් ය. දැනට සිටින මුදලියාර්වරයාගෙන්, මුහන්දිරම් ලා ගෙන් ගමට,රටට වෙන සෙතක් නැත. මිද්වලාකඩට නැවත ගම්මුලාදැනිවරයෙක් පත් කර ගන්නා අවථාව එළඹෙන විට පිරිමියෙකු වෙනුවට කාන්තාවක් පත් කර ගත යුතුය.

1910 ජනවාරි 25ස් වැනි දා – “කොරල් ගල් දිය කිඳුරියන්”

මුදලියාර් ව රැගෙන මම උණහුරුව බලා ගියෙමි. එහිදී එක් සිත්ගන්නා සුළු දසුනක් වෙත මාගේ දෑස් ගැටිණි. මෙම ගමේ කාන්තාවන් වැල්ලෙන් යාර 300ක් පමණ එහාට පීනා ගොස් මුහුදේ කිමිද විශාල කොරල් ගල් අහුලා ගෙන එති. මෙසේ එකතු කර ගන්නා ගල් පර ඔවුන් බඹ 6′, 6′ ගොඩවල් වල අඩුක් කරනු ලැබේ. ගොඩනැගිලි ඉදිකිරීම හා හුණු නිෂ්පාදනය සඳහා මෙම ගල් ගොඩක් රුපියල් 4-6 ගානේ විකිණෙනු ලැබේ. සාමාන්‍යයෙන් වසරකට ගොඩවල් 300 පමණ එකතු වන අතර ගැහැණු 2400ක් පමණ මෙම කර්තව්‍යයේ යෙදෙති. මුහුදේ අඩි 6ක් හෝ 12ක් පමණ පතුලේ මෙම ගල් පිහිටා තිබේ. කිමිදුම්කරුවන්ට අනුව ඔවුන්ට කවදාවත් උණ වැලඳී නැත. නිතරම මුහුදේ පීනීමෙන් හෝ කිමිදීමෙන් මැලේරියා රෝගය වැලඳීමෙන් ආරක්ෂා විය හැකි බව මට සනාථ විය.

1910 පෙබරවාරි 25ස් වැනි දා – “පොල් වගාව”

හේන් වගාවන් අධීක්ෂණය කරනු පිණිස කැලෑ මං ඔස්සේ මහවෙල, විදානෙගේගම, ගමරාලගේගම සහ වදුමෙස්තිරිගම කරා මම රිය ධාවනය කළෙමි. මහවෙල සහ විදානෙගේගමේ ගම් වාසින් පදිංචි කරනු ලැබුවේ 1908 හා 1909 දීය. 1891 එහි ජනගහනය පවුල් 7කට අයත් 27ත් දෙනෙකුගෙන් සමන්විත විය. 1901 වන විට එය පවුල් 9කට අයත් 41ක් දෙනෙකුගෙන් සමන්විත වුණි. හේන් වගා කටයුතු 1908 දී නවතා දැමිණි. දැනට පවුල් 4ක් පමණක් මාගම්පත්තුවේ බැදිගන්තොට ගමේ හේනක වගා කටයුතු වල නිරත වන්නෝය. මෙම හේන අයිති ගාල්ලේ පදිංචි කාරයෙකුටය. ගිය වසරේ පවුල් තුනක් නැගෙනහිර ගිරුවා පත්තුවටත්, බස්නාහිර ගිරුවාපත්තුවටත් සංක්‍රමණය වූ බව ගම් වැසියන් කිහිප දෙනෙක් මා සමඟ පැවසූවේය. ගමරාලගේගමේ එක් ව්‍යවසායකයෙකු ඔහුගේ ගෙවත්තේ පොල් ගස් 20ක් හෝ 30ක් පමණ වගා කර ඇති බව මට දැන ගත හැකි විය. මෙහි ඵල හට ගෙන තිබුණේ එක් ගසෙක පමණි. එහි තිබුණේද කුඩා පොල් ගෙඩියකි. අනෙකුත් පොල් ගස් සියල්ලක්ම කුරුමිණි වසංගතයකට ගොදුරු වෙමින් පැවතිණි. ඔහු තම පොල් වගාව සඳහා ගෙවත්තේ ලිඳක් ද හාරා තිබූ නමුත් අවුරුද්දේ සෑහෙන කාලයක් එය හිඳී තිබිණි. අවුරුදු දෙකකට පමණ පෙර අක්කරයක් පමණ පොල් වගා කිරීම සඳහා එහි ප්‍රමාණවත් ජලය තිබිණි. නමුත් නියං කාලය එළඹීමත් සමඟ පොල් වගාවෙන් කිසිදු ඵලයක් ලබා ගත නොහැකි විය. මෙම වගාව ආරම්භ කළ පුද්ගලයා ගම්වැසියන්ට අනුව මී හරක් 50 ක හිමිකරුවෙකුව සිටි අයෙකි. ඔහු කලකට ඉහතදී ගමේ ධනපතියෙකු ලෙස ප්‍රචලිත වූවත් ගවයන්ට කුර රෝගය පැතිරීමෙන් දුප්පතෙකු බවට පත් වී ඇත. මම බෝපැලැස්සෙන් අඟුණකොලපැලැස්සට ධාවනය කළෙමි. සවස් යාමයේදි රන්න කරා ගියෙමි.

1910 අප්‍රේල් මස 5 වැනි දා – “අබිං වගාව”

1908 අග භාගය වන විට රජය අබිං වගාව සම්බන්ධ නව චක්‍රලේඛයක් ඉදිරිපත් කරන ලදී. තංගල්ල සහ හම්බන්තොට සෞඛ්‍යාරක්ෂක මණ්ඩලය තව වසර දෙක තුනකින් අඩපණ විය හැකි බව මම රජයේ ඒජන්තවරයෙකු වෙත ලිපියක් යැව්වෙමි. අපි දැනට සිටින්නේ බංකොලොත් වන තත්වයකයි. අබිං ඵලදාව නොමැතිව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සාමාන්‍ය ආදායම රු. 2,650ක් විය හැකි අතර වියදම රු. 4,000 වීමට ඉඩ ඇත. හම්බන්තොට වැනි කුඩා නගරයක සෞඛ්‍යාරක්ෂක මණ්ඩලය විසින් අවුරුද්දකට බ්‍රිතාන්‍ය පවුම් 300ක අය වැයකට යටත්ව ගම් වාසින් 2000කට පමණ ජල, විදුලිය හා අධ්‍යාපනික පහසුකම් ලබා දෙන බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. කංසා වගාවෙන් ලැබෙන ආදායම අත් හිටවූයේ නම්, හම්බන්තොට දිස්ත්‍රික්කයට ලැබෙන වාර්ෂික ආදායම 63% කින් අඩු වීමේ ඉඩක් ඇත. මෙහි ප්‍රථිඵලයක් ලෙස සෞඛ්‍යාරක්ෂක මණ්ඩලයේ වැඩ රාජකාරි අඩාල වීමෙන් දිස්ත්‍රික්කයේ ජනතාවට සිදුවන මහඟු සේවයටද නැවතීමේ තිතක් ලැබෙනු ඇත. මෙය අබිං මධ්‍යස්ථ ප්‍රමාණයෙන් භාවිතයට ගැනීම ඇත්ත වශයෙන්ම සෞඛ්‍යයට තර්ජනයක් වේ ද යන්න පිළිබඳ ප්‍රශ්නයකි. කලකට ඉහතදී සිලෝන් හි අබිං කෙරෙහි දැක්වූ ආකල්පය දැනට දරන මතයට අනුව බොහෝ වෙනස්ය. 1821 රජයේ උප ඒජන්තවරයෙකු ලෙස කටයුතු කල ජේ, ඩබ්ලිව් බෙනට් මහතා එකල සිලෝන් හි කංසා භාවිතයේ ඇතිවූ වැඩිවීම පිළිබඳව ඔහුගේ වාර්තාවල සඳහන් කර ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසියන් තමන්ගේම කංසා වගාවන් පවත්වාගෙන ගිය බවත්, වලවේ ගං නිම්නයේ කංසා වගාව විශාල වශයෙන් සිදු කල බවත් ඔහු මහත් ආඩම්බරයෙන් තම සටහන් වල පවසා ඇත.

1910 අගෝස්තු 8 වන දා

ශාන්ත ජෝසෆ් රෝමානු කතෝලික වත්තට මම ගියෙමි. බොහෝ කාලයක් තිස්සේ එහි යෑමට මට උවමනාවක් තිබිණි. වත්තේ පොල් වගාව සරුවට කර ගෙන යන බවක් පෙනේ. මෙම වගාව සඳහා සම්පූර්ණ ශ්‍රමය ලැබෙන්නේ  කාන්තාවන්ගෙනි. මොවුන් ඈත ගම්වලින් පැමිණෙන අය වූ අතර ඉතා අඩු පඩියකට උදැල්ලත්, පොළවත් සමඟ ගැටෙති.

ලෙනාඩ් වුල්ෆ් ඔහුගේ සේවක මණ්ඩලය සමඟ කච්චේරිය ඉදිරියේ ගත් පැරණි ඡායාරූපයක්. (villagebreakfasts.blogspot.com)

1910 ඔක්තෝබර් 20 වැනි දා – “පුළුං වගාව”

මෝදරවාන, වලස්මුල්ල පාසල් අධීක්ෂණය කරනු පිණිස වලස්මුල්ලට මම ගියෙමි. ආපසු එන ගමනේ අව්වේ වාහනය නවතා රත්නායක මහත්මයාගේ පුළුන් වගාව නිරීක්ෂණය කිරීම සඳහා ඔහුගේ වත්තට ඇවිද ගියෙමි. අත්හදා බැලීම සඳහා මා කලකට ඉහතදී දුන් පුළුන් වල සාම්පලයක් ඔහු ෆ්‍රොයිඩන්බර්ග් මහතා වෙත යවා ඇති අතර, ඔහුගේ රපෝර්තුව අනුව පුළුං රාත්තලක් ෂිලිං එකක හෝ දෙකක වටිනාකමකින් සමන්විත වන බව සොයා ගෙන ඇත.. මහාචාර්ය ලොක්ගේ මතයට අනුවේ පුළුං වගාව නිසි පරිදි පවත්වාගෙන ගියහොත් අනාගතයේදි ඉන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ ඉඩක් ඇත. රත්නායක මහතා මේ මහ කන්නයේදි තව දුරටත් වගාව පුළුල් කිරීමට බලාපොරොත්තු වෙයි.

1911 මාර්තු 13 වැනි දා – “ජන සංගණනය”

බස්නාහිර ගිරුවා පත්තුවේ මුදලියාර් සමඟ මම ජන සංගණනය සඳහා අවශ්‍ය බයිසිකල් ප්‍රවාහන කටයුතු සැලසුම් කලෙමි. එය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වුණි. පහුවදා උදෑසන 4.30 වන විට මට ප්‍රතිඵල හිමි විය.

මාගම්පත්තුව, 11,799 ද, නැගෙනහිර ගිරුවා පත්තුව, 12.948 ද, බස්නාහිර ගිරුවා පත්තුව, 85,740 ද ලෙස මුළු එකතුව 110, 487.

පසුගිය වසරට වඩා මෙය 5.3%  ක වර්ධනයකි. එහෙත් මා බලාපොරොත්තු වූ අගයට වඩා අඩු අගයකි. ලැබුණු ප්‍රතිඵල මම විගසම අධ්‍යක්ෂකයාට දැන්වූයෙමි. සිලෝන් හි ජන සංගණනයකින් දිස්ත්‍රික් ප්‍රථිඵල ලැබුණු පළමු වතාව එය වූ බව ඔහු මාත් සමඟ පැවසිය.

1911 මාර්තු 14 වැනි දා

මහා ලේවායේ ලුණු එකතු කිරීම 11ස් වැනිදා ඇරඹුණි. මා අද එහි යන විට දින තුනකදී ලුණු හොණ්ඩර 13,000 පමණ එකතු වී ඇති බව දැන ගන්නට ලැබිණි. මෙතෙක් මහා ලේවායෙන් ලැබුණු ඉස්තරම් ගණයේ ලුණු මෙවර ලැබී ඇත. බූන්දල ලේවායේත් ලුණු නිෂ්පාදනය සඳහා යෝග්‍ය පරිසරයක් ගොඩ නැගෙමින් පවතියි. පහුගිය අවුරුද්දට වඩා මෙවර අස්වැන්න යහපත් බවක් පෙන්නුම් කරයි.

1911 අප්‍රේල් 8 වන දා

මද්‍යහනයෙන් පසු රැස්වීම් දෙකක් පැවැත්විණි. පළමු රැස්වීම පවත්වනු ලැබුවේ රාජාභිෂේක මංගල්‍යය සඳහා කටයුතු සැලසුම් කිරීම සඳහා ය. මෙය විශාල ජනකායක් සහභාගි වන උත්සවයක් වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ම රු.300ක අගයක් එකතු කර ගත හැකි විය. දෙවන රැස්වීම පැවත්වුනේ හම්බන්තොට ජල සම්පාදනය පිළිබඳව සාක්ච්ඡා කිරීමටය. වාර්ෂිකව වාරි මාර්ග හා ජල සම්පාදන කටයුතු නඩත්තු කිරීම වෙනුවෙන් යම් ගාස්තුවක් ගෙවීමට ජනතාව එකඟ වේද යන්න මට දැන ගැනීමට අවැසි විය. නමුත් අපගේ සැලසුම් ක්‍රියාවලිය හරිහැටි නොදැන ජලය සඳහා මුදලක් ගෙවීමට ඔවුන් කැමති වේද යන්න පිලිබඳ මට සැක සහිතය.

1911 මැයි 18 වැනි දා

දමිල පාසලක් අධීක්ෂණය කිරීමට ගියෙමි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අනාගත පරපුර වෙත සාර්ථක ලෙස දැනුම සංසරණය වන බවක් මට හැඟේ. නමුත් හක්මන සිට බඳවා ගත් මැලේ පාසලේ ගුරුවරයාගේ පුහුණුව ගැන මට වැඩි විශ්වාසයක් නැත. කුවර්මන් පියතුමාගේ සිංහල පාසල වෙතද මම ගියෙමි. ශිෂ්‍යයින්ගේ පාසල් පැමිණීම අනිවාර්ය කිරීමේ අප ගත් ක්‍රියා කලාපය සාර්ථක වී ඇති බව පෙනී යාම සතුටට කරුණකි.

කවරයේ පින්තුරය: leonardwoolf.altervista.org