වෙල මැද තනිවුණු සටන්කාමී ලෙව්කේ දිසාව

ලෙව්කේ දිසාවවරුන් දෙදෙකු පිළිබඳ ව මහනුවර රාජ කාලේ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ දෙදෙනා ම, දැයට හිතැති  කීර්තිමත් පුද්ගලයන් බවයි ඉතිහාස කතා විමසන විට පෙනෙන්නේ.  මාවනැල්ලෙන් හැරී, උස්සාපිටිය තෙක් කිලෝ මීටර් 4.5ක් ගොස් ගලතර මාර්ගයේ සුදුගල හන්දියෙන් හැරී, කිලෝ මීටර් දෙකක් පමණ පටු මාවතක ගමන් කිරීමෙන් ලෙව්කේලාගේ නිජබිම වන වලව් බිමට පිවිසිය හැකි යි.

 

ලෙව්කේ පරපුර

පළමුවන ලෙව්කේ හෙවත් ලෙව්කේ විජේසුන්දර, රාජකරුණා හේරත් මුදියන්සේට වැලිවිට ශ්‍රී සරණංකර ඝංඝරාජ හිමියන් තරුණ සාමණේර භික්ෂුවක ලෙස සිටි අවස්ථාවේ, උන්වහන්සේට පාලි ව්‍යාකරණ ඉගැන්වූ බව සංඝරාජ සාධු චරියාවේ සඳහන් වෙනවා.

දනකිරිගල පඩි පෙළ -facebook.com

අධ්‍යාපනය පිරිහී පැවති එකල පාලි භාෂාව දැන සිටි කිහිපදෙනා අතරින් එක් අයකු ලෙස ලෙව්කේ ප්‍රකට ව සිටියා. ඔහු කලක් පැවිදි ව සිටි හෙයින් විහාරයේ ‘‘රාලහාමි” නමින් ද හඳුන්වා තිබෙනවා. ලෙව්කේ විවාහ වී සිටියේ දෙවන රාජසිංහ රජු සමයේ තුන් කෝරළයේ හා සතර කෝරළයේ දිසාව වූ ඒදඬුවාව දිසාවගේ දියණියක සමඟින් බව පැවසෙනවා. ලෙව්කේ රාලහාමි කලක් සිරගත ව සිටි හෙයින් ශ්‍රී  විජය රාජසිංහ රජුගේ මුල් සමයේ එම පවුල පිරිහීමට ලක් ව තිබෙනවා.  පසුව ලෙව්කේ ශ්‍රී විජය රාජසිංහගේ විශ්වාසය දිනා ගත් නිසා 1744 දී ඔහුට රජු ගම්බිම් ප්‍රදානය කළ බව ලෙව්කේ සන්නසේ සඳහන් වෙනවා.

දනකිරිගල ලෙන් විහාරයේ ගල් පියගැට පෙළ

ජනප්‍රවාදයේ සඳහන් අයුරින් වලව්වට නුදුරු ව පිහිටි දනකිරිගල ලෙන් විහාරයේ ගල් පියගැට පෙළ  ඉදි කර ඇත්තේ ලෙව්කේ පරපුරට අයත් කීර්තිමත් පුද්ගලයකු වූ පළමුවන ලෙව්කේ දිසාව වුණු විජයසුන්දර දිසාව (1740- 1751) යි. ඔහු දිනපතා මාඔයෙන් ස්නානය කර පැමිණෙන අතර, ගල් පුවරුව බැගින් රැගෙන පැමිණ පඩිපෙළ තැනූ  බව ජනප්‍රවාදවල පැවසෙනවා. පව්ව ඉහළට යන තෙක් කළුගල් අල්ලා තැනූ පියගැට 367ක් එහි පිහිටා තිබෙනවා. දනකිගිරිගල විහාරය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට මුල් ව තිබෙන්නේ ද ලෙව්කේ යි.

1751 දී ඔහු කොළඹ ගොස් ආපසු එන අතරතුර මරණයට පත් වුණු බව සදහන් වෙනවා. ඔහු 1751 පෙබරවාරි 20 වන දිනට පෙර මිය ගිය බව ලන්දේසි වාර්තාවලින් පෙනී යන කරුණක්. පළමුවන ලෙව්කේ රාජ සේවයට කැපවූ යුගය  වුණු 1730-1751  කාලය ගැන ඉතිහාසයෙහි මෙන් ම, ලන්දේසි මූලාශ්‍රයන්හිත් විස්තර වෙනවා. ඒ කාලයේ  ශ්‍රී විජය රාජසිංහ රජුට සහ පසු ව කීර්ති ශ්‍රී රාජසිංහ රජුටත් කෙටි කලක් ඔහු සේවය කළ බව පෙනෙනවා.

2 ලෙව්කේ කාලතුවක්කුව – gunner.lk

දෙවන ලෙව්කේ හෙවත් රාජකරුණා සෙනෙවිරත්න හේරත් මුදියන්සේ

හතර කෝරලේ මාවනැල්ලට නුදුරු ගල්අතර ගමේ පිහිටි වලව්වේ ජීවත්වුණු ලෙව්කේ පරපුරේ අවසන් උරුමකරුවා දෙවන ලෙව්කේ හෙවත් රාජකරුණා සෙනෙවිරත්න හේරත් මුදියන්සේ යි.  දෙවන ලෙව්කේ I වන ලෙව්කේ දිසාවගේ පුත්‍රයා යි. ඔහු ලෙව්කේ රාල ලෙස ද හඳුන්වනවා. ඔහු ගේ සම්පූර්ණ නම වුණේ ලෙව්කේ විජයවර්ධන රාජකරුණා සෙනෙවිරත්න හේරත් මුදියන්සේ.   

කුඩා කල පටන් අවි ශිල්පයට දස්කම් දැක්වූ දෙවන ලෙව්කේ  තරුණ වියේ පටන් ම රාජ්‍ය සේවයට කැප වුණා. මහ මළුවේ පැවති මල්ලව පොර සඳහා පැමිණි ලෙව්කේ රාල පසුව  කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධිරාජසිංහ හා කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන්ට සේවය කර තිබෙනවා. දඹදිව සිට පැමිණි මල්ලව පොර ශූරයකු සමඟ සටන් කිරීමට පෙර ම ශරීර ශක්තියෙන් කොට්ට පොල් ගෙඩියක් අතින් පොඩිකර පොල් කිරි ගෙන  ඔහු බිය පත් කළ බවට කතාවක් ජනප්‍රවාදයේ එනවා.  

දෙවන ලෙව්කේ මුදියන්සේ සවිමත් සිරුරකින්  යුතු කඩවසම් පුද්ගලයකු ලෙස ජන විශ්වාසයේ පැවසෙනවා.  බුදුදහමට මෙන්ම නැටුම් කලාවටත් උනන්දුවක් දැක් වූ ඔහු මල්ලවපොර, අංගම්, කඩු, ගුස්ති දැන සිටි කෙනෙක්. 

ඉඳගත්තාම පිළිමය තිබ්බා            වාගෙයි
නැගිටපුවිට වේපත බැන්දා             වාගෙයි
යන එන ගමන් විදුලිය කෙටුවා       වාගෙයි
ලෙව්කේ මැතිඳු ගල් අතරට කොත  වාගෙයි

කැලෑ දඹුල්ල ලෙන් විහාරය- amazing lanka.com- George Fernando

බැතිමත් උපාසක

ලෙව්කේ දිසාව බුදුදහමට විශාල බැතියක් දැක්වූ කෙනෙක්. ඔහු පැරණි පන්සල් කීපයක් ප්‍රතිසංස්කරණය කර ඇති බව පැවසෙනවා. යටදොළ පහළ ලෙන් විහාරය, ලැන්දුරුමුල්ල ලෙන් විහාරය, දනකිරිගල ලෙන් විහාරය, රඹුක්කන කැලෑ දඹුල්ල විහාරය ඒවා වෙනවා. උඩරට නැටුම් ප්‍රිය කළ ලෙව්කේ දිසාව අවුරුදු පතා කංකාරි උළෙලක් පැවැත්වූ බව ද එහි පැමිණි අයගේ දක්ෂතා අගය කර ගල්අතර පරම්පරාවේ නැට්ටුවන්ට තෑගි බෝග දුන් බව ද කියවෙනවා. පිරුවානා පොත් වහන්සේ කරතොට ධර්මාරාම හිමි ලවා සකස් කොට ලියවීමටත් ලෙව්කේ දිසාව මුල්වුණු බව පැවසෙනවා.

ලෙව්කේ දෙල්ගොඩ කුමාරිහාමි සමඟ විවාහ වී දියණියන් තිදෙනකු ලැබුවත් එම දූවරුන් තිදෙනාට ම දරුවන් ලැබී නැහැ.  එම දූවරුන්ගේ සැමියන්ගේ සහෝදර පවුල් පසුව “ලෙව්කේ” නාමය තම පරම්පරා නාමයන්ට ඈඳාගත් බව යි පැවසෙන්නේ.

අලංකාර කැටයම් සහිත කුඩා කාලතුවක්කුව

කැලෑ දඹුල්ලේ ලෙන් විහාරයේ වගේ ම වලව්ව සමීපයේ ටැම්පිට පිළිම ගෙයි ද ලෙව්කේගේ රුව සිතුවම් කර තිබෙන අතර  දනකිරිගල විහාරයේ ලෙව්කේ දිසාවගේ අඩි 8ක් උස මූර්තියක් දැකගත හැකි යි. ඒවා පොල් ගෙඩියක් දකුණු අතේ දරා සිටින ලෙස නිරූපණය කර තිබෙනවා. එයට හේතුව ඔහු කොට්ට පොල් ගෙඩියක් අතින් මිරිකා පොල් කිරි ගත් බවට පවතින ජන විශ්වාසය යි. ලෙව්කේ දිසාවට අයත් අලංකාර කැටයම් සහිත කුඩා කාලතුවක්කුවක් ද මහනුවර ජාතික කෞතුකාගාරයේ දි දැකගත හැකි යි.

මුලින් රටේ මහත්මයා තනතුරට පත් කළ ලෙව්කේ කෙමෙන් රාජ ප්‍රසාදය දිනාගෙන හතර කෝරළේ දිසාව පදවිය දක්වා ඉහළට ගියා. ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ ඉංග්‍රීසින් කන්ද උඩරට ආක්‍රමණය කිරීමේ දී ලෙව්කේ දිසාව ඔවුන්ට එරෙහි ව රණ ශූරත්වයෙන් සටන් කළ බව පැවසෙනවා. ඉන් පසු ඔහු උඩරට හමුදාවේ සේනාධිපති තනතුරට ද පත් කර තිබෙනවා. ඔහු සතුරන් මර්දනය කළ අන්දම ඉංග්‍රීසි හටන නම් කාව්‍ය කෘතියේ මෙසේ දැක්වෙනවා:

සිව් කෝරලේ            රට

දෙවා ලෙව්කේ   මැතිඳුට

රුපු වනසන        ලෙසට

හැර වදාලේ එම දිසාවට

 හංවැල්ල බළකොටුව – wikipedia.org

රාජ උදහස

හංවැල්ලේ ඉංග්‍රීසි කොටුවට පහරදීමට 1803 සැප්තැම්බරයේ සිංහල සේනාව ගිය අවස්ථාවේ කොටුව ජය ගැනීම ඉතා පහසු යයි ශ්‍රී වික්‍රම රාජසිංහට ඔහු පවසා තිබෙනවා. සටන්බිමේ සිටි රජුට තවත් කිසිවෙක් කේලම් කියා තිබුණේ ලෙව්කේ සටන් කරනු වෙනුවට වෙල්යායකට වී කුරුම්බා කමින් සිටින බව යි. මේ කාලයේ පිළිමතලව්වේ අදිකාරමගේ කුමන්ත්‍රණ නිසා කෝපයෙන් සිටි රජු හැම රදළවරයකු ගැන ම සැකයෙන් තමයි බැලුවේ. මේ නිසා ලෙව්කේ විවේක ගනිමින් සිටීම ගැන වැරදියට සිතූ රජු ඔහුගේ ගෙල කපා මරා දැමීමට අණ කළා.

ඒ අනුව හංවැල්ලට නුදුරු වක්ඔය කොටුවැල්ලේ වෙල්යායක දී ඔහුගේ හිස ගසා දැම්මා. 1803 සැප්තැම්බර් 6 වැනි දින එසේ මරණයට පත්වූ ඔහු ගැන ජන කවියක් ද නිර්මාණය වී තිබෙනවා:

පුන්සඳ සේම පායාලා රට           මැද් දේ   
රන්කෙඳි සේම පීරාලා පිට          මැද් දේ   
මාර සෙනඟ වට කරගෙන     යම යුද් දේ                                                                                                                                                                        ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ   

 හංවැල්ලේ ලෙව්කේ ස්මාරකය- amazing lanka.com

ලෙව්කේ ස්මාරකය

රජුගේ හදිසි කෝපය නිසා නිකරුණේ මැරුම් කෑ ලෙව්කේ දිසාව සිහිපත් කිරීමට පසුකාලීනව කුඩා ස්මාරකයක් ඉදි වුණා. හංවැල්ල කලූඅග්ගල, කොළඹ -අවිස්සාවේල්ල හයිලෙවල් පාර සහ පැරණි මාර්ගය සම්බන්ධ වන ස්ථානයේ එම ස්මාරකය දැකගත හැකි යි.    

ජේම්ස් කෝර්ඩිනර්ට අනුව, රජු, ලෙව්කේ දිසාව සහ ලේකම් මහ මොහොට්ටි ද එම ස්ථානයේ දී හිස ගසා දමා ඔවුන්ගේ සිරුරු වළලන්නේ නැතිව තබා තිබෙනවා. රජු ඝාතනය කළ තවත් යටත් වැසියන්ගේ සිරුරු හංවැල්ල කැලණි  ගඟ ඔස්සේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් දක්වා පාවී පැමිණි බව ද කෝඩිනර්  ලියා තිබෙනවා.  

වලව්වේ පැරණි දොර උළුවස්සක්- amazing lanka.com

ලෙව්කේ වලව්ව

කඳු අතර තැනිතලාවක වෙල් යායකට මායිම් වෙමින් පිහිටි ඉඩමක ලෙව්කේ වලව්ව පිහිටා තිබෙනවා. 18 වන ශත වර්ෂයේ පටන් පැවති  පැරණි වලව්ව දැන් දැකගැනීමට නැහැ. එම බිමේ ම ලෙව්කේ පරපුරේ ඥාතීන් පසුකාලීන ව තැනූ නූතන ගොඩනැගිල්ලක් තමයි එහි පිහිටා තිබෙන්නේ.   වලව්ව තුළ ලෙව්කේ පරපුරේ පැරණි කීප දෙනකුගේ ඡායාරූප දැකගත හැකි යි.  පැරණි වලව්වේ පැවති විශාල දොර උළුවස්සක් හා දොරක් නූතන වලව්වට සවි කර තිබෙනවා.

පුරාණයේ පැවති විශාල වලව් ඉඩමෙන්  අද ඉතිරිවෙලා තියෙන්නේ අක්කර 2 පර්චස් 20ක  ප්‍රමාණයක් පමණ යි. මෙම වලව්ව ඉදි කළ ආකාරය ගැන 1892 කෑගල්ල පුරාවිද්‍යා වාර්තාවේ බෙල් දක්වන සටහනක් රැල්ෆ් පීරිස් මෙසේ උපුටා දක්වනවා:

තනි කඳකින් කපාගන්නා ලද අති විශාල  දොරවල් සහ දලදඬු පරාල යත්ත හා කියත නොතිබූ අවදිය සිහිපත් කරයි. මඩුව තනා තිබූ එක් ලීයක් වූ අඩි 30ක් දිග බාල්කය අසල දොළ තරණය කිරීම සදහා ඒදණ්ඩක් මෙන් ප්‍ර යෝජනයට ගැනිණි (රැල්ෆ් පීරිස්- සිංහල සමාජ සංවිධානය පරි. කේ. ඒ. ඩී. පෙරේරා පිට 44).

වලව්ව අසල ටැම්පිට විහාරය- amazing lanka.com

ලෙව්කේ ටැම්පිට විහාරය

වලව්ව පසෙක පිහිටි කුඩා ටැම්පිට විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ සංරක්ෂණය කර තිබෙනවා. එය ලෙව්කේ දිසාවගේ පුද්ගලික විහාරය වශයෙන් පැවති පුදබිමක්. එය පැරණි ස්වරූපයෙන් පවතිනවා. මේ විහාරය පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයක් ලෙස නම් කර තිබෙනවා. අඩි 2ක් පමණ වූ ගල්කණු 17ක් මතයි විහාරය ඉදිකර තිබෙන්නේ. පිළිම ගෙය දිගින් අඩි 12 අඟල් 8ක් ද පළලින් අඩි 8 ක් ද වෙනවා. පිළිම ගෙය වටා යනසේ ප්‍රදක්ෂිණා පථයක් ද සහිත යි.

පිළිමගෙය තුළ කුඩා මකර තොරණක් සහිත බුදු පිළිමයක් තිබුණු දැව කැටයමක් තිබෙනවා. දැන් එහි බුදු පිළිමය නම් නැහැ. ලෙව්කේ දිසාවගේ සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සිතුවම් ද මෙහි තිබෙනවා.  විහාරයේ පියස්ස දරා සිටින්නේ දැව කුලුනු 14ක් මත යි. එම කුලුනුවල හේරුණ්ඩ පක්ෂියා, හංසයා ඇතුළු කැටයම් දැකගත හැකි යි. විහාරය ඉදිරිපස අවුරුදු සිය ගණනක් පැරණි බෝධි වෘක්ෂයක් ද දැකගත හැකි යි.

කවරයේ ඡායාරූපය- දනකිරිගල විහාරයේ  ලෙව්කේ  ප්‍රතිමාව සහ වලව්ව අසල බෝධීය - Lankadeepa.lk   

මූලාශ්‍ර:

Lankadeepa.lk  

Divaina,com

ත්‍රි සිංහලේ නායකයෝ- නුවරඑළියේ හේමපාල‍

ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර- කුසුම්සිරි විජයවර්ධන

උඩරට රාජධානිය - ලෝනා ශ්‍රීමතී දේවරාජ, පරි. කුසුම් දිසානායක

Related Articles