Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජර්මනියේ පළමු කාන්තා චාන්සලර්- ඇන්ගෙලා මර්කල්

ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් වසර 18කට පසු ඇගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රික එකමුතුවේ නායකත්වයෙන් ඉවත් වුණා. එමෙන්ම 2021න් පසු නැවත චාන්සලර් ධූරය සඳහා තමන් තරග නොකරන බව ඇය ප්‍රකාශ කළා. ඒ අනුව මේ ගත වන්නේ ඇන්ගෙලා මර්කල්ගේ නායකත්වයෙහි අවසාන වසර කිහිපය යි.

ඇන්ගෙලා මර්කල් යනු ජර්මනියේ බිහි වූ සුවිශේෂී නායිකාවක්. ඇය එරට ඉතිහාසයේ පළමු කාන්තා චාන්සලර් වනවා. ඒ වගේ ම බටහිර ජර්මනිය සහ නැගෙනහිර ජර්මනිය එක්සත් වුණාට පසු ව පත් වෙච්ච, නැගෙනහිර ජර්මනියෙ හැදී වැඩුණ පළමු චාන්සලර් ද ඇය යි. එමෙන්ම ඇය වෘත්තියෙන් විද්‍යාඥවරියක්. ඇය ක්වොන්ටම් රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා තිබෙනවා.

නැගෙනහිර ජර්මනියේ ජීවිතය

ඇන්ගෙලා මර්කල් උපන් අවස්ථාවේ ඇයට දුන් සම්පූර්ණ නම වූයේ ඇන්ගෙලා ඩොරතියා කැස්නර් යන්න යි. ඇන්ගෙලාගේ පියා ලූතරන් පූජකවරයෙකු වුණා. ඇන්ගෙලා උපන්නේ 1954 ජූලි 17 වන දා බටහිර ජර්මනියේ හැම් බර්ග් නගරයේ දී යි.

ඇන්ගෙලාගේ පියාගේ, පියා ජර්මනියේ ජීවත් වූ පෝලන්ත ජන වර්ගයට අයත් අයෙක්. ඔවුනගේ පවුලේ වාසගම කැස්නර් ලෙස වෙනස් කරන ලද්දේ 1930 ගණන්වල යි. ඇන්ගෙලාගේ පවුල පිළිබඳ මෙම විස්තරය බොහෝ දෙනා දැනගත්තේ මීට වසර කිහිපයකට පෙර පළ වූ ඇගේ ජීවිත කතාවක් හේතුවෙනුයි.

ඇන්ගෙලාට මාස තුනක් වෙද්දි ඇගේ පියාට නැගෙනහිර ජර්මනියේ දේවස්ථානයක දේවගැතිවරයා ලෙස කටයුතු කිරීමට සිදුවුණා. මේ අනුව ඇන්ගෙලා ද නැගෙනහිර ජර්මනියේ පදිංචියට ගියා. ඒ බ්‍රැන්ඩන්බර්ග් ප්‍රාන්තයේ පර්ල්බර්ග් ප්‍රදේශයේ යි.

නැගෙනහිර ජර්මනියේ පැවතියේ කොමියුනිස්ට් පාලන ක්‍රමය යි. එහි ආගමට ද රාජ්‍ය අනුග්‍රාහයක් හිමි වූයේ නැහැ. නමුත් සෝවියට් දේශයේ ස්ටාලින්ගේ සමය මෙන් ආගමිකයන් දැඩි ලෙස මර්දනය කිරීම ද සිදුවූයේ නැහැ. එම නිසා සෝවියට් පරිවාර රාජ්‍යයන්වල ද ආගමික ඇදහිලි සහිත අය එවැනි කටයුතු දිගට ම පුද්ගලික මට්ටමෙන් සිදුකළා.

ඇන්ගෙලා 1968 දී කොමියුනිස්ට් නැගෙනහිර ජර්මන් තරුණ සංවිධානය වූ නිදහස් ජර්මන් තරුණ ව්‍යාපාරයට බැඳුණා. මෙයට බැඳීම අනිවාර්යය නොවූව ද උසස් අධ්‍යාපන අවස්ථා ලැබීමේ දී මෙහි සාමාජිකයන් නොවන තරුණයින්ට අඩු සැලකුම් ලැබෙන තත්ත්වයක් පැවතුණා. එහෙයින් එකල බොහෝ දෙනා ඊට බැඳුණා.

අධ්‍යාපනය​

ඇන්ගෙලා මර්කල් තරුණ ව්‍යාපාරයේ සාමාජිකාවක ව සිටින සමයෙහි මාක්ස්වාදය පිළිබඳ අනිවාර්ය පාඨමාලාවලට සහභාගී වූ බව කියනු ලබනවා. නමුත් ඇය ඒ සමයෙහි ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර නැහැ. ඇත්තෙන් ම ඇය දේශපාලනය සම්බන්ධ ව උනන්දු වී නැති බවක් තමයි පෙනෙන්නේ. නමුත් මේ පිළිබඳ ව ද අපහැදිලි තැන් තිබෙනවා. ඇතැමුන් චෝදනා කරන්නේ ඇය ඇතැම් අවස්ථාවල එවක පැවති රජය වෙනුවෙන් තොරතුරු ලබා දුන් අයෙකු බව යි.

2009 දී පැවති ප්‍රදර්ශනයක දී රසායන විද්‍යා පරීක්ෂණයක් නිරීක්ෂණය කරමින්. බොහෝ ලෝක නායකයන් මෙන් නොව ඇන්ගෙලාට මේ වෙන්නේ කුමක්දැ යි අවබෝධ කර ගැනීමේ මූලික දැනුම තිබුණා. ඒ ඇය විද්‍යාඥවරියක වූ හෙයින් (Getty Images)

නමුත් ඇය ගණිතය, භෞතික විද්‍යාව, සහ රසායන විද්‍යාව පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වා තිබෙනවා. එමෙන්ම ඇය හොඳින් රුසියානු බස ඉගෙන ගත්තා. එකල නැගෙනහිර ජර්මනියේ දෙවන භාෂාව වූයේ රුසියන් බස යි.

ඇන්ගෙලා ලයිප්සිග් සරසවියෙන් භෞතික විද්‍යාව පිළිබඳ මූලික උපාධියක් ලබා ගත්තා. එකල එම සරසවිය කාල් මාක්ස් සරසවිය ලෙස හඳුන්වනු ලැබුණා. ඇය උපාධිය සම්පූර්ණ කළේ 1978 දී. පසු ව ඇය ක්වොන්ටම් රසායන විද්‍යාවෙන් ආචාර්ය උපාධියක් ද ලබා ගත්තා. ඒ 1986 දී. ඇය පර්යේෂණ පත්‍රිකා කිහිපයකට ද දායක වුණා.

ඇන්ගෙලාගෙ පළමු විවාහය සිදුවුණේ 1977 දී, ඇය සරසවියේ ඉගෙනුම ලබන සමයේ දී යි. ඒ උල් රික් මර්කල් සමග යි. එම විවාහය 1982 දී අවසන් වූ නමුත්, මර්කල් දිගටම ඇගේ පළමු සැමියාගේ වාසගම භාවිතා කරනවා.

දේශපාලනයට පිවිසීම

ඇන්ගෙලා මර්කල් තරුණ විද්‍යාඥවරිය දේශපාලනයට යොමු වූයේ 1989 දී නැගෙනහිර ජර්මනියේ ඇති වූ පෙරළිය ද සමග යි. නැගෙනහිර ජර්මන් කොමියුනිස්ට් පාලනය බිඳ වැටෙන සමයෙහි මතු වූ “ප්‍රජාතන්ත්‍රවාදී පිබිදීම​” නම් වූ කුඩා දේශපාලන පක්ෂයක සාමාජිකාවක ලෙස ඇය දේශපාලනයට පිවිසුණා.

1990 මාර්තු මාසයේ දී නැගෙනහිර ජර්මනියේ එක ම බහු පක්ෂ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණා. ඇගේ පක්ෂය ද ඇතුළත් සන්ධානයක් එහි දී බලයට පත් වුණා. එහි නායකයා වූයේ ලෝතාර් ඩි මයිසියර්. මර්කල් එම නව නැගෙනහිර ජර්මන් රජයෙහි නියෝජ්‍ය ප්‍රකාශිකාව ලෙස පත් කෙරුණා. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී පිබිදීම පක්ෂය ද ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුවට එක් වුණා.

ලෝතාර් ඩි මයිසියර් (දකුණේ) සමග මර්කල් (වමේ) නැගෙනහිර ජර්මන් රජයේ සාමාජිකයන් ලෙස 1990 දී (ksta.de)

1990 ඔක්තෝබර් 3 වන දා ජර්මනිය යළි එක්සත් වීම සම්පූර්ණ වුණා. ඉන්පසු එම වසරේ ම දෙසැම්බරයේ දී සමස්ථ ජර්මනිය වෙනුවෙන් පළමු මැතිවරණය පැවැත්වුණා. එහි දී ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුව ජයගත්තා. හෙල්මුට් කෝල් නැවත චාන්සලර් ලෙස පත් වුණා.

ඇන්ගෙලා මර්කල් ද එම වසරේ මැතිවරණයෙන් ජර්මන් ෆෙඩරල් පාර්ලිමේන්තුවට පත් වුණා. එයින් පසු පවත්වන ලද සෑම මැතිවරණයක දී ම ඇය තම ආසනය රැක ගැනීමට සමත් වුණා.

ඇන්ගෙලා මර්කල් අනාගත බලාපොරොත්තු සහගත නායිකාවක ලෙස හෙල්මුට් කෝල්ගේ අනුග්‍රාහය ද ලැබුවා. පාර්ලිමේන්තුවට තේරී පත් ව කෙටි කලෙකින් ඇයට කාන්තා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය ධූරය ප්‍රදානය කෙරුණා. 1994 දී ඇය පරිසර සහ න්‍යෂ්ටික සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍ය ධූරයට පත් වුණා. මෙම අමාත්‍ය ධූරය ඇය වෙත වැඩි අවධානයක් යොමු වීමට හේතු වුණා.

චාන්සලර් ධූරය කරා

1998 දී ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුව පරාජය කර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බලයට පත් වුණා. ඉන්පසු, මර්කල් ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුවේ මහ ලේකම් ධූරයට පත් කරනු ලැබුවා. 2000 දී ඇය එහි නායකත්වයට පත් වූ පළමු කාන්තාව බවට පත් වුණා.

2002 පවත්වන ලද මහ මැතිවරණයෙන් ද ඇගේ පක්ෂයට ජයග්‍රහණය කරන්නට නොහැකි වුණා. නමුත් ඉන් වසර තුනකට පසු 2005 දී පවත්වන මැතිවරණයේ දී ඇගේ පක්ෂය සහ බැවේරියාවේ ක්‍රිස්තියානි සමාජ එකමුතුව ඇතුළත් සන්ධානය වැඩිම ආසන ප්‍රමාණය දිනා ගත්තා.

2005 දී චාන්සලර් ලෙස දිවුරුම් දෙයි (Alamy)

නමුත් ඇගේ සන්ධානයට තනි ව බහුතර බලයක් පිහිටුවන්නට ක්‍රමයක් වූයේ නැහැ. වෙනත් කුඩා පක්ෂයක් සමග ද සන්ධානයක් පිහිටුවා බහුතරයක් නිර්මාණය කර ගැනීමට ඔවුනට අවස්ථාවක් වූයේ නැහැ. මේ අනුව මර්කල් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සමග මහා සන්ධානයක් පිහිටුවා ගත්තා.

2009 මහ මැතිවරණයේ දී මර්කල්ගේ සන්ධානය වඩා වැඩි ආසන ප්‍රමාණයක් ලබා ගෙන​, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නොමැති ව රජයක් පිහිටුවා ගත්තා. නමුත් 2013 දී නැවතත් ඇයට සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සමග එක්ව රජයක් පිහිටුවන්නට සිදු වුණා.

ලෝකයේ බලවත් ම කාන්තාව​

මේ සමයෙහි යුරෝපයේ ඇති වූ ආර්ථික අවපාතය සහ ග්‍රීසියෙහි කඩා වැටීම සමග යුරෝපයේ ප්‍රබල ම නායිකාව ලෙස මර්කල් කැපී පෙනුණා. එමෙන්ම ඇය එම අර්බුදවලින් යුරෝපය ගලවා ගැනීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග ඇතැම් විට දැඩි විවේචනයකට හේතු වුණා.

මේ අතර වසර ගණනාවක් තිස්සේ ෆෝර්බ්ස් සඟරාව විසින් ලෝකයේ බලවත් ම කාන්තාව ලෙස නම් කරන ලද්දේ ද ඇන්ගෙලා මර්කල් චාන්සලර්වරිය යි.

ආර්ථික අවපාතය සමග යුරෝපයේ දක්ෂිනාංශික ව්‍යාපාර වර්ධනය වුණා. ඒ සමග ම යුරෝපා සංගමයට එරෙහිව විවේචන ද උග්‍ර වන්නට පටන් ගත්තා. මේ අවස්ථාවේ යුරෝපා සංගමය පාර්ශවයෙන් මතු වූ ප්‍රධානම නායිකාව වූයේ මර්කල්.

එහෙත් 2014 පමණ සිට යුරෝපයට පැමිණෙන සරණාගතයින් පිළිබඳ ප්‍රශ්නය හේතුවෙන් යුරෝපයේ විශාල ජාතිකවාදී පුබුදුවක් සිදුවුණා. මේ අනුව ජර්මනියේ දී ද මර්කල්ගේ ජන ප්‍රසාදය හීන වුණා. “ජර්මනිය සඳහා විකල්පය​” දේශපාලන පක්ෂයේ මෙහි දී වඩා ප්‍රබල ව නැඟී සිටියා. පක්ෂය තුළින් ම සහ තම සන්ධානය තුළින් මර්කල්ගේ නායකත්වය සහ විශේෂයෙන් ම ඇගේ සරණාගත ප්‍රතිපත්තිය විවේචනය කෙරුණා.

2017 මහ මැතිවරණයේ දී ඇගේ සන්ධානයේ ඡන්ද ප්‍රමාණය බරපතල ලෙස අඩු වුණා. නමුත් තවමත් ජර්මනියේ ප්‍රබලම තනි බලවේගය වූයේ ඇගේ සන්ධානය යි. නව රජයක් පිහිටුවීම සඳහා මාස හයක් තිස්සේ සාකච්ඡා කර​, අවසානයේ දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සමග මර්කල් පාර්ලිමේන්තු බහුතරය නිර්මාණය කරගත්තා.

කෙසේ නමුත් ඇගේ නායකත්වයට එල්ල වන විවේචන හේතුවෙන් මර්කල්, 2018 අග දී ප්‍රකාශ කළේ තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවත්, මීළඟ මැතිවරණයේ දී චාන්සලර් ධූරයට තරග නොකරන බවත් ය. ඒ අනුව ඇය 2018 දෙසැම්බර් 7 වන දා පක්ෂ නායකත්වයෙන් ඉවත් වුණා.

මර්කල්ගේ සරණාගත ප්‍රතිපත්තිය එනම්, සරණාගතයන්ට නිදහසේ ජර්මනියට පැමිණීමට අවසර දීම​, ඇගේ කඩා වැටීමට හේතු වූ නමුත් මෙතරම් කලක් ජර්මනිය වැනි විවිධ දේශපාලනික බලවේගයන් සහිත රටක් පාලනය කිරීමට ඇගේ දේශපාලන ඥානය පැහැදිලි ව ඉවහල් වුණා. අපි ඒ ගැන මීට පෙර ලිපියකින් විස්තර කර තිබෙනවා.

මේ ලිපියෙන් ඒ ගැන ඔබට කියවන්න පුළුවන්: ඇන්ගෙලා මර්කල් ප්‍රතිවාදීන් පරාජය කරන්නේ කෙසේ ද​?

Related Articles