Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාකිස්තානු දේශපාලනයේ කුසුම, බෙනාසිර් භූතෝ

පාකිස්තානයේ දේශපාලන ඉතිහාසය ගැන කතා කරන විට කාන්තා නියෝජනය සිදුවී ඇත්තේ අඩු වශයෙනුයි. එයට පෙරදිග හා ඉස්ලාම් සාම්ප්‍රදායන් ද හේතු වන්නට ඇති. කෙසේ නමුත් එසේ දේශපාලනයෙහි යෙදුණු අතොලොස්සක් වූ කාන්තාවන් අතරේ බෙනාසිර් භූතෝ නාමයට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයක්. කලක් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය වූ සුල්ෆිකර් අලි භූතෝගේ දියණිය ලෙස ජන්ම ලාභය ලැබුවත්, දිවිමඟ පුරාවටම ඇයට එල්ල වුණු අභියෝග සුළු පටු ඒවා නොවේ. කෙසේ නමුත් ඒවා අතරින් පාකිස්තානයේ මුල් පුටුවට පවා පත් වීමට තරම් ඇය ධෛර්යයවන්ත වුණා.

උප්පත්තිය හා කුඩා කාලය

තුරුණු වියේදී-AFP

ක්‍රි.ව 1953 ජුනි මස 21 වනදා කරච්චියේ දී බෙනාසිර් භූතෝ උප්පත්තිය ලැබුවා. ප්‍රභූ පවුලක දෙටු දියණිය ලෙස උපත ලැබූ ඇයගේ පියා වූයේ පාකිස්තානු අගමැති ධුරය පවා හෙබවූ සුල්ෆිකාර් අලි භූතෝ යි. මූලික අධ්‍යාපනය හොඳින් අවසන් කළ ඇය සිය උසස් අධ්‍යාපනය ලබාගන්නේ හාවඩ් හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයන් වලිනුයි. හාවඩ් විශ්වවිද්‍යාලයෙන් කලා උපාධියක් ලබාගන්නා ඇය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දී ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යනය කරනවා.

පාකිස්තානු ජනතා පක්ෂයේ නායිකාව වීම

බෙනාසිර්ගේ පියා වන සුල්ෆිකාර් අලි භූතෝ පාකිස්තානු ජනතා පක්ෂයේ නායකයා වූ අතර, ක්‍රි.ව 1977 සිය අධ්‍යාපන කටයුතු නිමා කර ඇය පාකිස්තානයට පැමිණෙන විට එහි අගමැති වරයා ලෙස කටයුතු කරමින් සිටියේ මහත් වූ ජනතා ප්‍රසාදය මත යි. පාකිස්තානයට පැමිණි විගස ඇය පියාගේ දේශපාලන පක්ෂයට බැඳී ඔහු හා කටයුතු කිරීමට පටන් ගන්නවා. කෙසේ නමුත් එම තත්ත්වය ඉක්මණින්ම කනපිට හැරෙන්නේ ජෙනරල් සියා උල් හක් විසින් ඇගේ පියා බලයෙන් පහ කොට පාකිස්තානයේ බලය පැහැර ගැනීමත් සමග යි. සුල්ෆිකාර් අලි භූතෝට එරෙහිව චෝදනා ගොනු කොට, උල් හක් විසින් ඔහුව එල්ලා මරන ලද අතර බෙනාසිර් හා ඇගේ පවුලේ සෙසු සාමාජිකයින් නිවාස අඩස්සියේ තබනවා.

සුල්ෆිකාර් අලි භූතෝ -Agence France Presse/Getty Images

ජෙනරල් සියා උල් හක් ගේ පාලනය බෙනාසිර්ට හා පාකිස්තානු ජනතා පක්ෂයට හිස ඔසවන්නට තබන්නේ නැහැ. ක්‍රි.ව 1980 දී බෙනාසිර්ගේ සොහොයුරෙකු වන ශනවාස් අබිරහස් ලෙස විෂ ශරීරගත වීමෙන් මිය යනවා. මේ සඳහා නිසි පරීක්ෂණයක් ද සිදු කෙරුණේ නැහැ. මේ අතර අභූත චෝදනාවක් එල්ල කරමින් ඇයව අත් අඩංගුවට ගන්නට පාකිස්තානු රජය ක්‍රියා කරනවා. යම් කාලයක් සිරබත් කෑ ඇය නිදහස ලබා එංගලන්තය බලා පිටත්වන්නේ පාකිස්තානයේ දේශපාලනික වාතාවරණය එතරම් හොඳ තත්ත්වයක නොතිබූ නිසා යි. ඊට පෙර ඇය නිල වශයෙන් පාකිස්තානු ජනතා පක්ෂයේ නායිකාව බවට පත්කර තිබූ අතර ඒ වන විට ඇය තිස් වියක් පමණක් සපිරුණු තරුණ කාන්තාවක් වූවා.

විවාහය හා බලයට පැමිණීම

බෙනාසිර් භූතෝ විවාහ දිවියට එළැඹෙන්නේ 1987 වසරේ දෙසැම්බර් මස 18 වන දා යි. ඒ ඉඩම් හිමි ධනවතෙකු වන අසිෆ් අල් සර්දාරි සමග. මේ විවාහයෙන් ඇයට එක් පුතෙකු හා දියණිවරුන් දෙදෙනෙකු ලැබෙනවා.

විවාහය – Peter Charlesworth/Getty Images

විවාහ වී කෙටි කාලයක් ගත වෙද්දීම බෙනාසිර් ගේ දේශපාලනික ජීවිතයට නවමු බලාපොරොත්තුවක් ඇතිවන්නේ ජෙනරාල් සියා උල් හක් ගුවන් අනතුරකින් මරු වසඟයට යාමත් සමග යි. 1988 වසරේ දී සිදු වූ එම සිදුවීම පාකිස්තානය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට තල්ලු කළ අතර එම වසරේදීම පවත්වන්නට යෙදුණු මහ මැතිවරණයෙන් ජයගන්නා බෙනාසිර් භූතෝ 35 වන වියෙහි දී පාකිස්තානයේ අගමැතිණිය බවට පත් වෙනවා. ඇය ලොව මුස්ලිම් රටකින් බිහිවූ ප්‍රථම අගමැතිනිය ලෙස සැලකෙනවා. කෙසේ නමුත් අගමැතිනිය ලෙස ඇයගේ ප්‍රථම වාරය සිතූ තරම් සාර්ථක නොවන අතර මේ හේතුවෙන් 1990 වසරේ දී පැවති මහ මැතිවරණයෙන් ඇය පරාජයට පත් වෙනවා.

පාකිස්තානයේ ප්‍රබල දේශපාලන චරිතයක් ලෙස

බෙනාසිර් භූතෝ බලයට පත්ව සිටි කාලයේ සිදු වූවා යැයි සැලකෙන යම් යම් අක්‍රමිකතා පිළිබඳ චෝදනා කිහිපයක් ඇය වෙත එල්ල වුණත් ඇය ඒවායින් නිදහස් වනවා. ඇය විපක්ෂ නායිකාව ලෙසත් ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ අතර 1993 ඡන්දයෙන් නැවත අගමැතිනිය ලෙස පත්ව, 1996 අවසන් භාගය වන තුරු එහි කටයුතු කරනවා. කෙසේ නමුත් 1997 වසරේ මහ මැතිවරණයෙන් නැවතත් පරාජය උරුම කරගන්නා ඇය විදේශ ගත වෙනවා.

අගමැතිනිය ලෙස – geo.tv

1996න් පසු වසර කිහිපය බෙනාසිර් භූතෝට ඒ තරම් හොඳ කලදසාවක් වූවේ නැහැ. ඇයට එරෙහිව 1999 වසරේ දී දූෂණ චෝදනා ගොණු වූ අතර වසර 3ක් සිපිරි ගෙට නියම වෙනවා. ක්‍රි.ව 2002 දී ඇය නැවතත් පාකිස්තානු ජනතා පක්ෂයේ නායිකාව වශයෙන් ක්‍රියාකාරී වූ අතර, විදේශගතව සිටම පක්ෂයේ කටයුතු මෙහෙයවන්නට වුණා. ක්‍රි.ව 2007 වන තුරුම කරුණු කාරනා සිදු වූයේ මේ අයුරිනුයි.

දිවියෙන් සමු ගැනීම

ක්‍රි.ව 2007/08 පාකිස්තානු මහ මැතිවරණයේ පෙර සූදානම් වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණා. ඒ වන විට පාකිස්තානය පුරා ත්‍රස්තවාදී ක්‍රියා ද උත්සන්නව තිබුණා. මේ වන විට එවකට පාකිස්තානු අගමැති පර්වේස් මුෂාරෆ් ඇයට එරෙහි දූෂණ චෝදනා හකුලාගෙන තිබූ අතර ඇය වටා නැවත වාරයක් ජනතා බලවේගය එක් වෙමින් තිබුණා. වසර ගණනාවකට පසු භූතෝ සිය නිජ බිමට පිය නඟන්නේ ජනතාව අතරට ගොස් ජනප්‍රියතාව තවත් වැඩි කර ගැනීමේ අටියෙනුයි.

geo.tv

මෙවර පාකිස්තානු ආගමනය බෙනාසිර් භූතෝට සුභවාදී වූයේ නැහැ. ඇය පාකිස්තානයට පා තබා ජනතාව අතරට ගිය සැණින්ම මහ හඬින් බෝම්බයක් පුපුරා යන්නේ 136කගේ ජීවිතය අහිමි කරමින්. සිය වෙඩි නොවදින කාරයට මුවාවී ඇය යාන්තම් ජීවිතය බේරාගෙන තිබුණා.

මහ මැතිවරණය සඳහා වූ ගමන් මාර්ගය මෙවර බෙනාසීර්ට පහසු එකක් වූයේ නැහැ. මේ කාලයේ දී ඇයට කෙටි කාලීනව නිවාස අඩස්සියේ පවා සිටීමට සිදු වෙනවා. කෙසේ නමුත් 2007 වසරේ දෙසැම්බරයේ දී ඇය පූර්ණ නිදහස ලබන අතර බොහෝ දෙනාගේ අනතුරු ඇඟවීම නොතකා ඇය දේශපාලන ප්‍රවර්ධන කර්තව්‍යයන්හි නිරත වෙනවා.

ක්‍රි.ව 2007 දෙසැම්බර් මස 27 වන දා භූතෝ සුපුරුදු පරිදි රාවල්පිණ්ඩි නුවර මැතිවරණ ප්‍රවර්ධන කටයුතු වල නිරත වෙමින් සිටියා. එක වරම ඇය වෙතට ගිණි අවියක් දිගු කළ යමෙක් වෙඩි 3ක් තැබූ අතර අවසාන වෙඩි පහර ඇයට වැදුණු සෙයක් දිස් වුණා. මේත් සමගම හාත්පස ගිගුම් දෙමින් බෝම්බයක් පුපුරා ගියා.

බෙනාසිර් භූතෝ අවමංගල්‍යය -Aamir Quareshi /Getty Images

මෙවර නම් සිය ජීවිතය ගලවා ගැනීමට බෙනාසිර් වාසනාවන්ත වුණේ නැහැ. තුවාලලත් ඇය රෝහලට ඇතුලත් කරද්දීම මියගොස් සිටියා. මුස්ලිම් ජාතික කාන්තාවක් බැවින් ඇය මරණ පරීක්ෂණයකට භාජනය නොකෙරුණු අතර බොහෝ තැන්වල සඳහන් වූයේ ඇත්තෙන්ම ඇයට බෝම්බ හෝ වෙඩි පහර නොවැදී ඇති බවයි. වේගයෙන් පහත් වීමේ දී ඇගේ හිස මෝටර් රථ වහලයෙහි තදින් වැදීම මරණයට හේතුව ලෙස ප්‍රකාශ කෙරුණා. මිය යන ව්ට ඇය 54 වියැති වුණා.

කවරයේ පින්තූරය – herald.dawn.com

Related Articles