Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෙඩ ඇඳේ සිට වානේ පන්නරය ලියූ නිකොලායි

“…දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ

බැලලයිකාව ද වයමින් තුටින් යමු මාවතේ

ඉවාන් පවුලූෂා… ඉවාන් පවුලුෂා…

ඇයි ද හොරැහින් මදෙස බලන්නේ

නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ…”

අප්සරා ද සිල්වා ගයන මෙම ගීතය වසර කීපයකට පෙර අපේ තරුණ පෙළ ආකර්ශනය කළ සිංදුවක්. එහි පද රචනය චාරුක සුරවීරගේ. මෙම ගීතයේ කියැවෙන ඉවාන් පවුලුෂා, නිකොලායි ඔස්ත්‍රොස්ව්කි නම් විශිෂ්ට සෝවියට් ලේඛකයා අතින් ලියැවුණු “වානේ පන්නරය ලැබූ හැටි” නවකතාවේ ප්‍රධාන චරිතය වන පාවෙල් කොර්චාගින් හෙවත් පවුලුෂා යි. මෙම ගීයට පාවෙල්ගේ කතා තේමාව පදනම් වී තිබෙනවා. පාවෙල්ගේ චරිතයට පදනම් වී ඇත්තේ ලේඛකයාගේම ජීවිත කතාව යි.

නිකොලායි උපන් ගමේ පල්ලියක්- Wikipedia.org

ගීතය ගායනා කරන්නේ එහි කාන්තා චරිතය වන තෝන්යා යි. ඇය පවුලුෂාගේ පෙම්වතිය යි. ඔවුන් අතර හටගන්නා ගැටුම් නවකතාවේ අපූරුවට නිරූපණය කර තිබෙනවා. මේ ඉන් කොටසක්:

“තෝන්යා පොදු දේශපාලන වැඩවලට ඇදගැනීමට පාවෙල් තැත් කළේ ය. කොමියුනිස්ට් තරුණ සංවිධානයේ පොදු නාගරික සභා රැස්වීමට ඔහු ඇයට ආරාධනා කළේ ය. තෝන්යා කැමැති වූවා ය. එහෙත් ඇය ඇඳුම් ඇඳගෙන කාමරයෙන් පිට වූ විට පාවෙල් තොල් විකා ගත්තේය. ඈ ඉතා සිත්කලු ලෙස වුවමනාවෙන්ම මෝස්තර අනුව ඇන්ඳා ය. ඔහු ඇය රැස්වීමට කැඳවීමට අකමැති විය.

දෙදෙනා අතර පළමුවැනි ගැටීම ඇති වූයේ එදා ය. ඔය විදියට ඇඳුම් ඇන්ඳේ මන්දැයි ඔහු ඇසූ විට ඈ අමනාප වූවා ය:

“මම කිසිම දවසක සාමාන්‍ය සිරිත් අනුගමනය කරන්නේ නැහැ. නුඹට මා සමඟ යාම අපහසු නම් මම නවතින්නම්”.”

(වානේ පන්නරය ලැබූ හැටි – පරිවර්තනය, දැදිගම වී රුද්රිගු)

නිකොලායිගේ ජීවිතේ

ලේඛකයාගේ ප්‍රතිමාවක්- Russia-photo.com

නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ජීවත් වුණේ අවුරුදු 32යි. ඔහු උපන්නේ සෝවියට් විප්ලවයට පෙර රුසියන් අධිරාජ්‍යයට අයත්ව තිබූ යුක්රේනයේ, විලියා කියන ගමේ. අද ඒ ගම හඳුන්වන්නේ ඔස්ත්රෝ රයොන්  කියල යි. 1904 සැප්තැම්බර් 4 කම්කරු පවුලක උපත ලැබූ නිකොලායි 9 පන්තියට එනකල් ඉස්කෝලෙ ගියා. 1914 දී ඔවුන්ගේ පවුල දුම්රිය මාර්ගය අද්දර ගමක් වූ ෂෙපෙටිව්කා වෙත යනවා. එහිදී නිකොලායි ඉගෙනීම අමතක කරලා ළමා කම්කරුවකු විදිහට ජීවිතය පටන් ගන්නවා. ඒ, දුම්රිය ස්ටේෂමේ මුළුතැන්ගෙයි කම්කරුවකු විදිහට යි. එහි ගිනි උදුනට සහාය වන‍ ඔහු පසුව ජීවිතය ගැටගසා ගන්නට දැව ගබඩාවක සහ විදුලි බලාගාරයකත් වැඩ කරනවා.

වානේ පන්නරය ලැබූ හැටි පොතේ රුසියන් මුල් පිටපතක්- inheartoblomov.blogspot.com

මේ අතර තමයි මර්දනකාරී සාර් වැඩවසම් පාලනයට එරෙහිව රුසියාවේ තරුණයන් ටිකෙන් ටික සංවිධානය වන්නේ. වර්ෂ 1917 දී සෝවියට් විප්ලවය සිදුවන විට 13 හැවිරිදි වූ ඔහු බොල්ෂෙවික් පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් වෙනවා. නිකොලායි 1918 දී රතු හමුදාවට බැඳී තුවක්කුව අතට ගන්නවා. ඒ විප්ලවය ආරක්ෂා කිරීමට පොරොන්දු වෙමින්. 1920 දී ඔහු සටන් පෙරමුණක දී තුවාළ ලබනවා. නැවතත් හමුදාවට පැමිණියත් යළිත් තුවාල ලැබූ නිසා වෛද්‍ය හේතු මත හමුදාවෙන් ඉවත් වෙනවා. ඊට පසු ඔහු දුම්රිය වැඩපොළක විදුලි කාර්මිකයෙක් ලෙස සේවය කරනවා. මේ අතර රෝගාබාධ ඔහු ගිල ගන්නවා. ආණ්ඩුවෙන් ඔහු ප්‍රතිකාර සඳහා ඇසෝ ප්‍රදේශයට යවන්නේ 1922 දී. යළිත් 1923 දී ඔහු රතු හමුදා පුහුණු මධ්‍යස්ථානයක කොමිසාර් කෙනෙක් බවට පත් කරනවා. මේ කාලයේ දී නිකොලායි විවාහ වන්නේ 19 හැවිරිදි රේසා මත්ස්යුක් සමඟ යි.

ඇස් අන්ධ වුණා

සිංහල පරිවර්තනය- dakmasl.blogspot.com

මේ අතර මේ දිරිමත් මිනිසාගේ සෞඛ්‍යය දිනෙන් දිනම පිරිහෙනවා. 1926 දී ප්‍රතිකාර සඳහා ක්‍රිමියාවට යැව්වත් ඔහු සුවපත් වන්නේ නැහැ. ඔහු ඇඳට පමණක් සීමා වෙනවා. නමුත් ඔහු රෝගී තත්ත්වයේ සිටින අතරම මොස්කව් කොමියුනිස්ට් විශ්වවිද්‍යාලයෙන් තැපැල් මාර්ගික පාඨමාලාවක් හදාරනවා. එය 1929 දී සම්පූර්ණ කරගත්තත් ඒ අවුරුද්දෙම ඇස් පෙනීම ඔහු හැරයනවා.

නිකොලායි බිරිය සමඟ- russiapedia. rt .com

නිකොලායි ඔස්ත්‍රොව්ස්කි අන්ධභාවයට පත් වුණත්, “මා නැවතත් මිනිසුන් අතරට ආවා” කියලා කිව්වේ සාහිත්‍ය නිර්මාණයෙන් අලුත් ජීවිතයක් ලබා ගත් නිසයි. සිදුරු කපා ගත් කාඩ්බෝඞ් එකක් කඩදාසියක් මත තියලා, ඔහු ලේඛනයේ යෙදුණේ අපේ ජී. බී. සේනානායක වගේ උත්සාහ කරමින්. ඔස්ත්‍රොව්ස්කි, “මිනිසාගේ ජීවිතය මිනිසාට ලැබෙන්නේ එක් වරක් පමණි. ඔහු මිය යන විට මෙසේ කියන්නට පුළුවන් වෙන්න ඕනෑ. ජීවත් වෙන්න යුහුසුළු වෙන්න. මක් නිසා ද හදිසි රෝගාබාධයන්  ජීවිතය කෙටි කර දමන්න පුළුවන්”, යැයි අවවාද කරනවා.

නිකොලායි ඇඳට සීමාවෙමින්, ඔහුට පොතක් කියවන්නේ බිරියයි-inspiteofitall.se

ඔහු අංශභාගය සහ ස්නායු රෝගයක් නිසා අවුරුදු 12ක් ඇඳට සීමා වූ ජීවිතයක් ගත කළා. ඒ අතරින් අවුරුදු 8ක් ගතකළේ ලොව නොපෙනෙන අන්ධයකු ලෙසින්. නමුත් ඒ කාලය තුළ ඔහු ලෝකය ඉතා සියුම්ව දුටු බව ඔහුගේ කෘති සාක්ෂි දරනවා. 1936 සීතල දෙසැම්බරයේ 22 දා ඔහු මෙලොවින් සමුගන්නවා. ඒ, තම දෙවැනි නවකතාව බාගෙට ලියමින් සිටින විට දී යි.

අන්ධ වුණත් වානේ පන්නරය ලැබූ හැටි ලිව්වා

ලෙනින් ත්‍යාගය ලැබූ දින පවුලේ සාමාජිකයන් සමඟ- csef. Ru

ඇඳට සීමා වු මේ අන්ධ දිරියවන්තයා තම පළමු නවකතාව ලියන්න පටන් ගන්නේ 1930 දී. වානේ පන්නරය ලැබූ හැටි (How the Steel Was Tempered) නම් එය සමාජවාදී අදහස් ඇති තරුණයන් කැළඹවූ නවකතාවක් බවට පත් වෙනවා. මුලින්ම ඔහු ලිව්වේ පැන්සල තද කරගෙන අකුරු අත ගා බලමින්. නමුන් සමහර අවස්ථාවල දී ලියූ අකුරු උඩින් තවත් අකුරු පේළි ලියවුණා. මේ නිසා රුසියන් බසින් ට්‍රාන්ස්ප්ලාන්ට් නමින් හැඳින්වෙන කාඩ්බෝඩ් කැබැල්ලක දිග අතට සිදුරු කපා ලියන කඩදාසිය ඒ මත තබා සිදුරු ඔස්සේ අතුරු ලියමින් කතාව රචනා කළා. එය ඔහුගේ අත්දැකීම් සහිත පෞද්ගලික ජීවිත කතාව බවට පත් වුණා. එය කොමියුනිස්ට් ලෝකයට වඩාත් බලපෑමක් කළ නවකතාව වශයෙන් අදත් සැලකෙනවා. මෙය අප රටෙත් අද පවා ජනප්‍රිය බව එහි නව මුද්‍රණ තවමත් නිකුත් වීමෙන් පේනවා. එය මුලින්ම රුසියන් භාෂාවෙන් සිංහලට පරිවර්තනට කළේ දැදිගම වී රුද්රිගු විසින්. එම නවකතාවට 1935 දී ලෙනින් ත්‍යාගය හිමිවෙනවා. ඔහු ජීවත්ව සිටි කාලයේ දී පමණක් එය 37 වරක් නැවත මුද්‍රණය කරනවා. පසුව ඔහුට ලේඛනයට සහාය වීමට රජය විසින් ලේකම්වරියක් ලබාදෙනවා.

නිකොලායි තම ලේකම්වරියගේ උදව්වෙන් පොත් ලියමින් csef. ru

මෙහි ප්‍රධාන චරිතය වන පාවෙල් කෝර්චාගින් කියන්නේ නිකොලායිගේ චරිතයම යි. එහි  කුඩා පාවෙල් පූජකයාගේ පිටිවලට දුම්කුඩු මිශ්‍ර කරනවා. ඒ නිසා ඔහු පාසලෙන් අස්කරනවා. ගිනි උදුන් සේවයකු ලෙස, විදුලි බලාගාර සහායකයකු විලස, හා රේල් පාරේ කම්කරුවකු ලෙස ඔහු වැඩකරනවා. ඔහු ධනවාදීන්ට වෛර කරන්නට පටන් ගන්නවා. ඔහුගේ ජීවිතට රළු යි. ඒත් ඔහු මානව දයාවෙන් පිරුණු හදවතක් ඇත්තෙක්. තෝන්යා නම් තරුණිය ඔහුට ළංවන්නේ ඒ ගතිගුණවලට කැමැත්තෙන්. නමුත් කම්කරුවාට ආදරය කරන තෝන්යාට කම්කරුගේ අදහස්වලට ආදරය කිරීමට නොහැකි වෙනවා. මේ නිසා ඔවුන් දෙදෙනා වෙන්වෙනවා.

කුණාටුවෙන් උපත ලද්දෝ

මොස්කව්වල නිකොලායි ඔස්තෝ‍රව්ස්කි සාහිත්‍ය කෞතුකාගාරය csef. Ru

අඳ නෙතින් සිතමින් ඔහු දෙවැනි නවකතාව රචනා කිරීමට පටන් ගත්තා. එය කොටස් තුනක් වශයෙන් ලිවීමටයි ඔහු සැලසුම් කළේ. නමුත් ඔහුට ලියා නිම කිරීමට ලැබුණේ ඉන් දෙවැනි කොටසේ පළමු පරිච්ජේදය දක්වා පමණ යි. මරුවා ඊට ඉස්සර වුණා. එය නොනිමි නවකතාවක් ලෙස ප්‍රකාශයට පත් වුණා. ඔහු 1936 දෙසැම්බර් මස අග දී මිහිදන් කළ අවස්ථාවේ එම නවකතාව කඩිනමින් රජයෙන් මුද්‍රණය කරවා ඔහුට ගරු කිරීමක් ලෙස අවමංග්‍යයට සහභාගී වූවන් අතර බෙදාදුන්නා.

ලේඛකයාගේ උඩුකය ප්‍රතිමාවක්- russianlandmarks.wordpress.com

1917 ඔක්තෝබර් විප්ලවයට පසු රුසියාව අවට කලාපයේ හටගත් විදේශ ආක්‍රමණ හා සිවිල් යුද්ධ සමය මෙහි විස්තර කෙරෙනවා. පළමු ලෝක සංග්‍රාමයෙන් ඇළලී ගිය යුරෝපා මහාද්වීපයේ පැරණි රාජ්‍යයන් බිඳ වැටෙමින් නව රාජ්‍ය බිහිවෙමින් පැවති වකවානුවක් එය. යුක්රේනයට අයත් රුසියානු අධිරාජ්‍යයේ වොලීන් නම් ප්‍රදේශයේ වංශක්කාර හමුදා නිලධාරින්ගේ පවුල් වටා මේ කතාව ගෙතී තිබෙනවා. කතුවරයා මේ චරිත වලට කිමිදෙමින් ඔවුන්ගේ මානසික ස්වභාවය විවරණය කරන අන්දම අපූර්ව යි. ඔහු භාවිත කරන භාෂාව සාම්ප්‍රදායික යෙදුම්වලින් ද පොහොසත්. සෑම චරිතයක්ම අභ්‍යන්තරයට යමින් ඔවුන්ගේ මානසික ස්වභාවය සරලව විස්තර කිරීමේ නිපුණතාව ඔස්ත්‍රොව්ස්කිට ඇති බව මෙම නවකතාවෙන් පැහැදිලි වෙනවා.

කුනාටුවෙන් උපත ලද්දෝ- සිංහල පරිවර්තනය  deshaya.lk

මේ නවකතාව සිංහල පාඨකයන්ට පසුගිය දා කියවන්නට ලැබුණා. රුසියන් මුල් පිටපතින් එය පරිවර්තනය කළේ රන්ජන දේවමිත්‍ර සේනාසිංහ යි. රුසියානු භාෂාව පිළිබඳ උසස් දැනුමක් සතු රන්ජන එය මුල් කෘතියෙන් අසංක්ෂිප්ත අයුරින් කළ පරිවර්තනයක්. මෙම විශිෂ්ට පරිවර්තන කාර්යය වෙනුවෙන් පසුගිය දා මොස්කව්හි දී රන්ජන දේවමිත්‍රට නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ජාත්‍යන්තර සම්මානය ද හිමිවුණා. එම සම්මානය ලාංකීය පරිවර්තකයෙකුට ලැබුණු පළමු අවස්ථාව මෙය යි.

නවකතා ඇසුරින් චිත්‍රපට

පාවෙල් කොර්චාගින් චිත්‍රපටයේ පෝසටරයක්- imdb.com

මේ අපූරු ලේඛකයා ලියූ පොත් ඇසුරින් චිත්‍රපට, රූපවාහිනී ටෙලිනාට්‍ය, සහ නාට්‍ය පවා නිපදවා තිබෙනවා. සෝවියට් සංගමය විසින් 1942 දී වානේ පන්නරය ලැබූ හැටි චිත්‍රපටය නිර්මාණය කරනවා. 1956 දී පාවෙල් කොර්චාගින් නම් චිත්‍රපටයත් එය ඇසුරින් නිපදවනවා. 1975 දී ඒ ඇසුරින් මාලා නාටකයක් නිර්මාණය කරනවා. පසුව චීනයෙත් මාලා නාටකයක් තනනවා. එහි විශේෂත්වය සියලු නළුනිළියන් යුක්රේනයෙන් ලබාගැනීම යි.

ආශ්‍රිත මූලාශ්‍ර-

A History of Soviet Literature, pgs 43–44, Vera Alexandrova, Doubleday, 1963.

www.revolvy.com

කුනාටුවෙන් උපත ලද්දෝ – පරිවර්තනය රන්ජන දේවමිත්‍ර සේනාසිංහ

Cover- නිකොලායි ඔස්ත්‍රොව්ස්කිගේ සොහාන Wikipedia.org

Related Articles