Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කෙනත් කවුන්ඩා: අරගල දැල්වූ ගිනි සිළ

අප්‍රිකා මහද්වීපයට අයත් වන සැම්බියා රාජ්‍යය 1964 ඔක්තෝබර් 24 වැනිදා මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගත්තා. නිදහස් සැම්බියාවේ පළමු ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වුණේ කෙනත් කවුන්ඩා යි. ඉන් අනතුරුව වසර 27ක් සැම්බියාවේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ කවුන්ඩා 1991 වසරේ පැවැත්වුණු මැතිවරණයෙන් පරාජයට පත්වුණා. ඒ අයුරින් වසර 27ක් පුරාවට සැම්බියාව පාලනය කළ කෙනත් කවුන්ඩා පසුගිය සතියේ දී අභාවප්‍රාප්ත වුණා. 

පසුගිය ජූනි 14 වැනිදා හදිසියේ ම රෝහල්ගත කළ කවුන්ඩා නියුමෝනියා රෝගයෙන් පෙළුණු බව වාර්තා වුණා. ඉන් දින 3කට පසුව ඔහු මියගිය බව රෝහල් කාර්ය මණ්ඩලය නිවේදනය කළා. මිය යන විට 97 වැනි වියේ පසුවුණු කවුන්ඩා අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කරන ලද අප්‍රිකා නායක පරපුරේ අවසන් පුරුක යි. එනිසා ඔහු පිළිබඳව සටහනක් තබන්නට මේ සුදුසුම අවස්ථාව යි.

ජීවිතයේ මුල් අවධිය 

ඈත අතීතයේ දී සැම්බියා රාජ්‍යය උතුරු රොඩේෂියාව යන නමින් හැඳින්වූවා . එම අවධියේ දී උතුරු රොඩේෂියාවේ උතුරු පළාතේ චින්සාලි නම් ප්‍රදේශයක් පිහිටා තිබුණා. චින්සාලි ප්‍රදේශයේ පිහිටා තිබුණු ලුබ්වා නම් ගම්මානයේ ජීවත් වුණු ගුරුවර මාපියන් දෙපළකට 1924 අප්‍රේල් 28 වැනිදා පිරිමි දරුවෙකු ලැබුණා. දරුවන් 8 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවා වුණු ඔහුට ‘කෙනත් කවුන්ඩා’ යන නම තැබීමට මාපියන් තීරණය කළා. 

කුඩා කල සිට ඉගෙනීමට දක්ෂ දරුවෙකු වුණු කෙනත් ලුබ්වා පල්ලියේ පිහිටුවා තිබුණු පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවා. කෙනත්ගේ පියා වුණු ඩේවිඩ් කවුන්ඩා ඉගැන්වීම් කටයුතු සිදුකළේත් එම පාසලේ යි. ඒ අයුරින් කෙනත් දරුවා  ප්‍රාථමික අධ්‍යාපනය ලබමින් සිටි අවධියේ දී ඔහුගේ පියා හදිසියේම මිය ගියා. එය කුඩා කෙනත්ගේ සිත සසල කළ සිදුවීමක් වුණා. පියාගේ මරණයත් සමඟ කෙනත්ගේ පවුලේ උදවියට ආර්ථික අපහසුතා රැසකට මුහුණ දෙන්නට සිදු වුණා. එම දුෂ්කරතා මධ්‍යයේ කෙනත් දරුවා ලුසාකා හි මුනාලි පාසලට ඇතුළත් කිරීමට ඔහුගේ මව කටයුතු කළා.

පාසල් අධ්‍යාපන කටයුතු නිමා කළ කෙනත් රැකියාවක් ලැබෙන තුරු පතල් කම්කරුවෙකු ලෙස සේවය කළා. ටැන්සානියාවට සහ දකුණු රොඩේෂියාවට ගොස් විවිධ රැකියාවල ද නිරත වුණා. ඒ අයුරින් දුෂ්කර කාල පරිච්ඡේදයක් ගෙවා දැමූ කෙනත් 1943 වසරේ දී  යළි උතුරු රොඩේෂියාවට පැමිණියා. ඉන් අනතුරුව  ලුබ්වා පාසලේ ගුරුවරයෙකු වශයෙන් රාජකාරි ආරම්භ කළා. උනන්දුවෙන් සහ කැපවීමෙන් සිය වෘත්තියෙහි නිරත වුණු කෙනත් වැඩිකල් යන්නට පෙර ප්‍රදේශයේ ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත්වුණා. ඒ අයුරින් ඔහු ලබාගත් ජනප්‍රියත්වය දේශපාලනයට පිවිසීමට මග විවර කරදුන්නා.

දේශපාලනයට පිවිසීම 

1948 වසරේ දී පිහිටැවුණු උතුරු රොඩේෂියානු අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ආරම්භක සාමාජිකයෙකු වුණු කවුන්ඩා ඊට පෙර දේශීය තරුණ ගොවි සංගමයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර තිබුණා. ඉන් ලබා ගත් අත්දැකීම් නිසා ඔහුට දේශපාලන ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක් යාමට හැකියාව ලැබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1953 වසරේ දී අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ මහ ලේකම් තනතුරට පත්වීමේ වරම කවුන්ඩාට හිමිවුණා. එවකට අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ හැරී නකුම්බුලා නම් පුද්ගලයා යි. එදා නකුම්බුලා සහ කවුන්ඩා සුසංයෝගය එක්ව උතුරු රොඩේෂියාවට නිදහස ලබාගැනීම සඳහා සටන් කළා. එහි දී ඔවුන් යුගළය උත්සාහ කළේ දේශීය ජනයා එකතු කර ගෙන බ්‍රිතාන්‍යයන්ට එරෙහිව නිදහස් අරගලය ඉදිරියට ගෙනයාම යි. ඒ අයුරින් උතුරු රොඩේෂියානු නිදහස් අරගලය සඳහා සිය ජීවිතය කැප කළ කවුන්ඩාට 1955 වසරේ දී සිරබත් කෑමට සිදුවුණා. ඒ තහනම් සාහිත්‍ය ග්‍රන්ථයක් ළඟ තබාගැනීම හේතුවෙන්. 

කවුන්ඩා සහ නකුම්බුලා (The Guardian)

නව පක්ෂයක ආරම්භය 

මාස කිහිපයක් සිරබත් කෑ කවුන්ඩා, නිදහස ලැබීමෙන් පසුව බ්‍රිතාන්‍යයට ගියා. ඉන් පසුව ඉන්දියාවට ගොස් මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු වැනි නායකයන් හමුවුණා. එම සංචාරය අතරතුර ඔහුට ක්ෂය රෝගය වැලඳීම නිසා බලවත් ලෙස රෝගාතුර වුණා. ඒ අයුරින් වසරක පමණ කාලය විදෙස් රටවල කාලය ගත කළ කවුන්ඩා 1958 වසරේ දී යළිත් සිය මවුරටට පැමිණියා. එම කාල සමය වන විට අප්‍රිකානු ජාතික කොංග්‍රසයට සම්බන්ධව වැඩ කළ තරුණයන් පිරිසකට ඒත්තු ගොස් තිබුණේ නකුම්බුලාගේ නායකත්වය යටතේ සාර්ථක ඉදිරි ගමනක් නොමැති බවයි.  1958 වසරේ මැද භාගය  වන විට කවුන්ඩාත් පක්ෂ සභාපතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ කලකිරීමෙන් පසුවුණා. 

එනිසා කවුන්ඩා සහ තරුණ පිරිස එක්ව 1958 ඔක්තෝබර් මාසයේ දී සැම්බියා අප්‍රිකානු ජාතික සම්මේලනය පිහිටුවා ගත්තා. එලෙස අභිනවයෙන් පිහිටුවා ගත් සංවිධානයේ සභාපති තනතුර කෙනත් කවුන්ඩාට හිමිවුණා. 

ඉන් පසු ඔවුන්ගේ පක්ෂය බ්‍රිතාන්‍යයන්ට එරෙහිව විරෝධතා ව්‍යාපාර සිදු කළා. 1959 මාර්තු මාසයේ දී සැම්බියා අප්‍රිකානු සම්මේලනය නීතිවිරෝධීව සංවිධානය කළ දේශපාලන රැස්වීමක් අතරතුර කවුන්ඩා අත්අඩංගුවට ගත්තා. ඔහු සිරගතව සිටි කාලයේ දී ඔහුගේ අනුගාමිකයන් එකතු වී එක්සත් ජාතික නිදහස් පක්ෂය ආරම්භ කළා. 1960 ජනවාරි මාසයේ දී හිරෙන් නිදහස් වුණු කවුන්ඩා නව පක්ෂයේ සභාපති තනතුර භාර ගත්තා. එය උතුරු රොඩේෂියානු නිදහස් සටනේ තීරණාත්මක සිදුවීමක් බවට පත්වුණා. 

නව පක්ෂය සමඟ දේශපාලනයේ යෙදෙමින් (gettyimages)

නිදහස් සැම්බියාවේ පළමු ජනාධිපති

එදා කවුන්ඩාගේ පක්ෂයට කෙටි කාලයක් ඇතුළත විශාල ජනප්‍රියත්වයක් හිමිවුණා. එනිසා 1962 ඔක්තෝබර් මාසයේ පැවති මහා මැතිවරණයට ඔහුගේ පක්ෂය ඉදිරිපත් වුණා. ඒ වන විට උතුරේ රොඩේෂියාවේ බලය හිමිව තිබුණේ සුදු ජාතිකයන්ගේ සහාය ලැබුණු එක්සත් ෆෙඩරල් පක්ෂයට යි. 1962 ඔක්තෝබර් මහා මැතිවරණයේ දී ෆෙඩරල් පක්ෂයට දිනාගැනීමට හැකිවුණේ ආසන 15ක් පමණ යි. එම පක්ෂය ආසන 15ක් දිනාගන්නා විට කවුන්ඩාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික නිදහස් පක්ෂය ආසන 14ක් දිනාගත්තා. එහි දී බෙන්ග්විලු ආසනයට තරග වැදුණු කවුන්ඩා 92.45%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබුණා. නකුම්බුලාගේ නායකත්වය යටතේ තරග වැදුණු උතුරු රොඩේෂියානු අප්‍රිකානු ජාතික කොංග්‍රසය ආසන 7ක් ජයග්‍රහණය කළා. එදා කවුන්ඩාගේ පක්ෂය සහ නකුම්බුලාගේ පක්ෂය එකට එක්ව සන්ධාන රජයක් පිහිටැවූවා. එය උතුරු රොඩේෂියානු ඉතිහාසය තුළ බිහිවුණු පළමු කළු ජාතික ආණ්ඩුව ලෙසින් ඉතිහාසගත වුණා. එලෙස පත්වුණු සන්ධාන ආණ්ඩුවේ පළාත් පාලන සහ සමාජ සුබසාධන අමාත්‍ය තනතුර කවුන්ඩාට හිමිවුණා. 

ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් කවුන්ඩා උතුරු රොඩේෂියානු ජනතාවට විශාල සේවයක් සිදු කළා. එනිසා කවුන්ඩා ඉදිරි අනාගතයේ දී උතුරු රොඩේෂියාවේ  නායකයා විය යුතු බවට ජනමතයක්  ගොඩනැගුනා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1964 ජනවාරි මහා මැතිවරණයෙන් කවුන්ඩාගේ පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් හිමි වුණා. එදා කවුන්ඩාගේ නායකත්වය යටතේ තරග වැදුණු එක්සත් ජාතික නිදහස් පක්ෂය ආසන 65න් 55ක්ම ජයග්‍රහණය කළා. ඉන් අනතුරුව බිහිවුණු රජයේ අගමැතිධූරය කවුන්ඩාට හිමිවුණා. 1964 මැයි මාසයේ ලන්ඩනයට ගිය කවුන්ඩා අගමැතිවරයා උතුරු රොඩේෂියාවට නිදහස ලබාගැනීම සඳහා බ්‍රිතාන්‍යයන් සමඟ සාකච්ඡා කළා. එම සාකච්ඡා සාර්ථක වුණු නිසා උතුරු රොඩේෂියාවට නිදහස ලබාදීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කළා. ඒ අනුව 1964 ඔක්තෝබර් 24 වැනිදා උතුරු රොඩේෂියාව ස්වාධීන රාජ්‍යයක් බවට පත්වුණා. නිදහස ලැබීමෙන් පසුව එහි නම සැම්බියාව ලෙසින් වෙනස් වුණා. නිදහස් සැම්බියාවේ පළමු ජනාධිපතිවරයා ලෙසින් කෙනත් කවුන්ඩා අභිෂේක ලැබුවා.

අගමැතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසුව (gettyimages)

ජනප්‍රියත්වය ඉහළ ගිය යුගය 

කවුන්ඩා ජනාධිපති තනතුර භාරගන්නා විට සැම්බියානු වැසියන්ගේ සාක්ෂරතාව පහළ මට්ටමක තිබුණා. එනිසා ඔහු එරට දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට වෙහෙසුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් දරුවන්ට අධ්‍යාපනික උපකරණ රජය මඟින් නොමිලේ ලබාදුන්නා. උසස් තත්ත්වයේ පාසල්, විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල වැනි දේ රට තුළ අලුතින් නිර්මාණය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සැම්බියාවෙන් උගතුන් බිහි වන්නට පටන්ගත්තා. එදා කවුන්ඩාගේ අධීක්ෂණය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදුවුණු විශාල වෙනස නිසා සැම්බියානු ජනයා තව තවත් ඔහුට ආදරය කරන්නට පටන්ගත්තා. 

එකල සැම්බියාවට ඛනිජ නිධිවලින් විශාල ආදායමක් ලැබුණා. එහි දී ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්ව තිබුණේ තඹ නිෂ්පාදනය යි. 1960 දශකයේ දී තඹවලට ඉහළ වටිනාකමක් හිමිව තිබුණු නිසා තඹ ආකරවලින් ඉහළ ආදායමක් හිමිවුණා. එනිසා සැම්බියානු ආර්ථිකය ස්ථාවර මට්ටමක පැවතුණා. එදා කවුන්ඩා  ගෙන ගිය පාලනයට සැම්බියා ජනතාවගේ ප්‍රසාදය හිමිව තිබුණු නිසා 1968 මහා මැතිවරණයේ දී ඔහුට 81.8%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවුණා. 1973 මහා මැතිවරණයේ දී කවුන්ඩාට 88.80%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවුණා. ඒ අනුව 1964-1973 කාල සමයේ දී කෙනත් කවුන්ඩාගේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගියා.

සැම්බියාවේ තඹ පතලක දර්ශනයක් (MEI Blog)

පරිහානිය ආරම්භ වීම 

1973 වසරෙන් පසුව ලෝක වෙළෙඳපොළේ තඹ මිල පහත වැටුණා. එනිසා සැම්බියාවට තඹවලින් ලැබුණු ආදායම එන්න එන්නම අඩුවුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සැම්බියානු ආර්ථිකය ක්‍රමයෙන් කඩාවැටෙන්නට පටන්ගත්තා. එදා සැම්බියානු ආර්ථිකය ස්ථාවරව තබාගැනීම සඳහා විදෙස් රටවලින් අධික ලෙස ණය ගැනීම සිදුවුණා. එනිසා වැඩිකල් යන්නට පෙර සැම්බියානුවන් ලෝකයේ වඩාත්ම ණයගැති පුද්ගලයන් අතරට එකතු වුණා. එදා කවුන්ඩාගේ රජය ගෙනගිය දුර්වල පාලනයට එරෙහිව විපක්ෂය හඬක් නැගුවා. කවුන්ඩා සිය බලය උපරිම ලෙස භාවිතා කරමින් විපක්ෂයේ පක්ෂ මර්දනය කළා. 

එරට මැතිවරණ ක්‍රමය ඔහුට අවශ්‍ය ආකාරයට වෙනස් කරගනිමින් ඒකාධිපති පාලනයක් ගෙන ගියා. එහි දී ඔහු මැතිවරණවල දී බලය අනිසි ලෙස භාවිත කරමින් විපක්ෂයේ පක්ෂ මර්දනය කළා. එනිසා 1978, 1983, 1988 මහා මැතිවරණවල ජයග්‍රහණයත් කවුන්ඩාගේ පක්ෂයට හිමිවුණා. ඒ අයුරින් කවුන්ඩා ගෙනගිය ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය නිසා 1980 දශකයේ අග භාගය වන විට සැම්බියාව දිළිඳුකමේ පතුලටම බැස තිබුණා. 

ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් සමග (gettyimages)

මැතිවරණයෙන් ලද අන්ත පරාජය 

1990 දශකය ආරම්භයේ දී විපක්ෂයෙන් සහ රටේ ජනතාවගෙන් කවුන්ඩාගේ රජයට එරෙහිව විශාල විරෝධයක් එල්ල වුණා. අවසානයේ දී ඔවුන්ගේ හඬට කන්දීමට කවුන්ඩාට සිදුවුණා. එනිසා 1991 වසරේ ඔක්තෝබර් 31 වැනිදා සාධාරණ මැතිවරණක් පැවැත්වීමට කවුන්ඩා රජය කටයුතු කළා. එම මැතිවරණයේ දී කවුන්ඩාට එරෙහිව තරග වැදුණේ පෙඩ්‍රික් චිලූබා නම් අපේක්ෂකයා යි. ඔහු නියෝජනය කළේ බහුපාර්ශවීය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වුණු ව්‍යාපාරය නම් පක්ෂය යි. එම පක්ෂයට විපක්ෂයේ පක්ෂ රැසක සහාය හිමිවුණා. එවර මැතිවරණයේ දී සැම්බියානු වැසියන් බහුතරය කවුන්ඩාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබුණා. එනිසා ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 75.77%ක ප්‍රතිශතයක් චිලූබා හිමිකර ගනිද්දී කවුන්ඩාට හිමිවුණේ 24.33%ක ඡන්ද ප්‍රතිශතයක් පමණ යි.

පෙඩ්‍රික් චිලුබා (gettyimages)

කවුන්ඩාගේ අවසානය 

1991 වසරේ දී ලද මැතිවරණ පරාජයෙන් පසුව කවුන්ඩා දේශපාලනයෙන් සමුගන්නා බව ප්‍රකාශ කළා. ඒ අනුව ඔහු 1992 වසරේ දී පක්ෂ නායකත්වයෙන් ඉවත් වුණා. ඔහු දේශපාලනයෙන් ඉවත් නොවී චිලූබාගේ රජය සමඟ නිතර ගැටුම් ඇතිකර ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1997 වසරේ දී ඔහු නිවාස අඩස්සියේ තබන්නට ජනාධිපති චිලූබා නියෝග කළා. ඒ රජය පෙරළීම සඳහා කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමින්. එම කාල සමය වන විට ජනාධිපති චිලූබා ව්‍යවස්ථාව වෙනස් කර තිබුණේ කවුන්ඩාට යළි බලයට ඒම සඳහා අවස්ථාවක් නොලැබෙන ආකාරයට යි. 1999 නොවැම්බර් 4 වැනිදා කවුන්ඩාගේ පුතෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු ඔහු දේශපාලනයෙන් ඈත් වුණා. දශක දෙකකට වැඩි කාලයක් නිසොල්මනේ ජීවිතය ගත කළ කෙනත් කවුන්ඩා පසුගිය ජූනි 17 වැනිදා ලුසාකා නුවර රෝහලක දී අවසන් ගමන් ගියා. 

කවරයේ ඡායාරූපය- කෙනත් කවුන්ඩා සහ එළිසබෙත් රැජන (gettyimages)

මූලාශ්‍ර- theguardian.com

               aljazeera.com

Related Articles