Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වළාකුළු අතර තම පැතුම රැඳවූ, සැක් සෝබියැක්

දමිළ සිනමාවේ අග්‍රගණ්‍ය සිනමා නිර්මාණයක් වන “අන්බේ සිවම්”හි ධාවන කාලය පුරාවටම, “දෙවියන් අප අතරම සිටින නිසා, දෙවියන් ගැන විශ්වාසය තබාගැනීම ගැටළුවක් නොවන බව” අපට කියනවා. අන්බේ සිවම්හි ප්‍රධාන චරිතයක් රඟ දක්වන කමල් හසන් මෙලෙස දෙවියන් ලෙස ව්‍යංගයෙන් හඳුන්වන්නේ අපවම යි. මිනිසෙකු කරුණාව, දයාව පෙන්වන ඕනෑම මොහොතක දී එම මිනිසා තුළ දෙවියෙක් නිර්මාණය වන බව විශ්වාස කිරීම ඔහුගේ දර්ශනය යි. අන්බේ සිවම් තුළින් මෙම ලිපියට ප්‍රවේශය ලබා ගත්තේ එවැනි දෙවියෙකු වැනි මිනිසෙක්ගේ සත්‍ය කතාවක් ඔබට කියන්නට යි.

ඔබ සැක් සෝබියැක් ගැන අසා තිබෙනවා ද? නැතහොත් ඔබ ඔහුගේ ගීත නිර්මාණයක් රස විඳ තිබෙනවා ද? එසේ නොමැති නම්, අදටත් ඔහුගේ මතකය ජීවමානව පවතින “Clouds” නම් ගීතය රසවිඳින ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඔබේ පහසුව පිණිස එම ගීතයේ Youtube සබැඳිය ඔබට මෙතැනින් ලබාගත හැකියි. සැක් සෝබියැක් “Clouds” ගීතය පිටුපස තිබෙන කතාව ඉතාමත්ම සංවේදී සහ ආදර්ශමත් වූ එකක්.  

සැක්ගේ අභියෝගය

වර්ෂ 1995 මැයි 03 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ ශාන්ත පෝල් ප්‍රදේශයේ දී සැක් සෝබියැක් උපත ලැබුවා. දෙමව්පියන් වන රොබ් සෝබියැක් සහ ලෝරා සෝබියැක් හැරුණකොට ඔහුට සහෝදරයෙකු සහ සහෝදරියන් දෙදෙනෙකු සිටියා. බොහොම සාමකාමී සහ ප්‍රීතිමත් පවුලක් මැද හැදී වැඩෙන්න සැක්ට අවස්ථාව හිමි වුණත්, 2009 වර්ෂයේ දී තම ජීවිතයේ අති දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණදෙන්නට සැක්ට සිදුවෙනවා. ඔහු ඔස්ටියෝසාකෝමා නම් පිළිකා තත්ත්වයට ගොදුරුව සිටින බව වෛද්‍යවරුන් අනාවරණය කර ගන්නවා. ඒ වනවිට සැක්ගේ වයස යන්තම් අවුරුදු 14 වුණා පමණ යි. 

සැක් සෝබියැක් කියන්නේ ඇදහිය නොහැකි ආත්ම ශක්තියක් තිබූ තරුණයෙක්/startribune.com

ඔස්ටියෝසාකෝමාව කියන්නේ අස්ථිවල හටගන්නා වූ පිළිකා රෝගී තත්ත්වයක්. මෙය ඕනෑම වයස් කාණ්ඩයක දක්නට ලැබුණත්, යෞවනෝදය සහ තරුණ වයසේ දී මෙය වැළඳීමට වැඩි සම්භාවිතාවයක් පවතිනවා. නමුත් මෙය සෑමවිටම මරණීය ප්‍රතිඵල අත්කර දෙන පිළිකා තත්ත්වයක් නොවෙයි. එනිසා රෝගය හඳුනාගත් පසු එයත් සමග සටන් කිරීමට සැක් ඇතුළු පවුලේ අය තීරණය කරනවා. 

සැක් කියන්නේ ඉගෙනීම පැත්තෙන් වගේම සමාජ සබඳතා පැත්තෙනුත් ඉදිරියෙන් සිටි තරුණයෙක්. ඔහුට පාසලේත් බොහොම හිතවත් පිරිසක් සිටියා. නිතරම නිහතමානී ලෙස සිනාසෙන්නට පුරුදුව සිටි සැක්ට පාසලේ ගුරුවරුන් වගේම සම වයසේ යහළුවන් ද ගොඩක් ආදරය කළා. ඒ නිසා ඔහුගේ මානසික සුවය පවත්වාගෙන යෑම සඳහා ඔහු වටා සිටි සහෘදයන්ගෙන් ලැබුණ පිටිවහල ඉතා ප්‍රශංසනීය යි.

නිවැරදි වේලාවට ප්‍රතිකාර සඳහා යොමුවෙන අතරේ අනෙකුත් වැඩ කටයුතුත් සමබරව කරගෙන යෑමට සමත් වූ සැක්ගේ ආත්ම ශක්තිය, ඔහු වටා වූ බොහෝ දෙනෙක්ට මනා ආදර්ශයක් වුණා. පිළිකාවෙන් පීඩා වින්දත්, තමන් සහජයෙන්ම කුසලතා දැක්වූ සංගීතය වෙනුවෙන් තවදුරටත් කැප වෙන්න සැක් තීරණය කරනවා. ඒ සඳහා ඔහුට ගැළපෙන සහයිකාවක් ද සිටියා. ඇයගේ නම සැමී බ්‍රවුන්. ඇයත් සැක් තරමටම සංගීතය වෙනුවෙන් දක්ෂතා පෙන්වපු නිසා මේ දෙන්නා එකතු වී, “A firm handshake” නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවා ගත්තා.

සංගීතය බොහෝ අංශයන්වලින් දක්ෂතා දැක්වීමට සැක් සෝබියැක් සමත් වුණා. ගායනයට අමතරව සංගීත භාණ්ඩ කිහිපයක් වාදනය කිරීමේ හැකියාව, ගීත රචනය වැනි ක්‍රියාකාරකම්වලින් දක්ෂතා දැක්වූ ඔහු වටා ඉබේම රසිකයින් පිරිසක් ගොඩනැඟෙන්න පටන් ගත්තා. නමුත් මේ සියල්ලක්ම පැවතියේ බොහොම කෙටි කාලය යි. වර්ෂ 2012 දී ඔහුව පරික්ෂා කළ වෛද්‍යවරුන්, සැක්ගේ පිළිකා තත්ත්වය මරණීය බව අවබෝධ කර ගන්නවා. ඒ අනුව ඔහුට ඉතුරුව තිබුණේ වසරක කාලයක් පමණ යි.

සැක් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්/caringbridge.org

සමුගැනීමේ ගීතය, “Clouds”

මිනිසෙක් මානසිකව බිඳ වැටෙන්නට පුළුවන් කාරණාවලින් සැක්ගේ ජීවිතය පිරී තිබුණත්, සැක් නිතරම ශක්තිමත්ව සිටීමට උත්සහ කළා. තමන්ගේ අවසානය සිදුවන හැටි කොහොමත් දන්නා නිසා, ඔහු තමා වටා සිටි සමීපතමයන්ගේ මානසික යහපත වෙනුවෙන් තවදුරටත් සිනහවෙන් කල්ගත කළා. ඒ වනවිටත් ඔහු ශල්‍යකර්ම සහ විකිරණ ප්‍රතිකාර බොහෝමයකට මුහුණ දී සිටියා.

ජීවිතය සමග අරගල කරමින් සිටි අවධියක් වුවත්, සැක්ගේ ජීවිතයට ආලෝකය ගෙන ආ තවත් පුද්ගලයෙක් මේ කාලය වනවිට ඔහුගේ සමාගමයට එකතු වී තිබුණා. ඒ තමයි සැක් සෝබියැක්ගේ පෙම්වතිය වූ එමී ඇඩම්ලි. මොවුන් දෙදෙනා කුඩාකල පටන්ම පාසලේ මිතුරන් ලෙස ආශ්‍රය කළත්, පෙම්වතුන් ලෙස එකිනෙකා හා සමීප වුණේ පාසලේ කණිෂ්ඨ වසරවල අග භාගයේ දී යි. සැක්ගේ රෝග තත්ත්වය ඉතා ඉක්මණින් ඔහුව මරණය කරා ගෙනයන බව එමී දැනගෙන සිටියත්, ඇය සැක්ට බෙහෙවින් ආදරය කළා. මෙම ආදර සම්බන්ධය බොහොම ඉක්මණින් ඇති වූ ඉතා ගැඹුරු සබඳතාවයක් බව ඇය පසුකලෙක සඳහන් කොට තිබුණා. ඔවුන් දෙදෙනා අතර මනා විවෘතභාවයක් තිබුණු අතර සම වයසේ පෙම්වතුන් අත්නොදකින දුක්බර අත්දැකීම්වලට මුහුණ දෙන්නට ඔවුන්ට සිදුවුණා. 

සැක්ගේ පෞද්ගලික ජීවිතයට එමී ඇඩම්ලිගෙන් මනා සහයෝගයක් ලැබෙන අතරතුරේ, ඔහුගේ සංගීත ජීවිතය පැත්තෙන් වූ අරමුණු ඉටුකරදීමට කුඩාකල පටන්ම ඔහුගේ හොඳම මිතුරිය වූ සැමී බ්‍රවුන් සැදී පැහැදී සිටියා. එහි අවසාන ප්‍රතිඵලය ලෙස ඔවුන් දෙදෙනාගේ පළමු සහ අවසාන ගීත ඇල්බමය වූ “Fix me up” 2013 වර්ෂයේ පෙබරවාරි මාසයේ දී නිකුත් වුණා. එම ඇල්බමයට ඇතුළත් වූ ගීත අතරින් Fix me up සහ Clouds යන ගීත වඩාත් ප්‍රසිද්ධියට පත්වූ හා වඩාත් විශේෂ වූ ගීත ද්විත්වයක් වුණා.

සැක් සෝබියැක් සමග සැමී බ්‍රවුන් එක්ව නිකුත් කළ Fix me up ඇල්බමයේ කවරය/ amazon.com

Fix me up නම් ගීතය මෙතෙක් කල් සැමී සහ සැක් අතර පවත්නා මිත්‍රත්වයට දෙදෙනාම එකතුව කළ ගුණ කථනයක් මෙන් වූ අතර, ඔවුන් එකිනෙකාට කරගත් සමුගැනීමක් ලෙස ද මෙම ගීතය හැඳින්වුණා. නමුත් මුළු ඇමරිකාව පුරා සැක් සෝබියැක් නාමය ගෙනයෑමට උපකාරී වුණේ Clouds නම් ගීතය යි. සැක් අතින්ම ලියවුණු මෙම ගීතය මඟින් ඔහු පිළිකා මාරයා සමග කළ සටන, සහ ඉතාම කෙටි කාලයකින් එළඹෙන තම මරණය ඔහු දකින ආකාරය කියැවුනා. එය යූටියුබ් හරහා ප්‍රචාරය වීමත් සමග එහි නැරඹුම් ප්‍රමාණය මිලියන තුනක් දක්වා ඉහළ ගියා. එමෙන්ම බිල්බෝර්ඩ් ගීත දර්ශකයේ හොඳම ගීත 100 අතර 26 වැනි ස්ථානය දිනා ගැනීමටත් මෙම ගීතය සමත් වුණා. ඉන් වසර හතකට පසු මෙම ගීතය නැවතත් ජනප්‍රියත්වයේ ඉහළටම පැමිණියේ සැක් සෝබීච්ගේ ජීවිත කතාව අළලා චිත්‍රපටයක් නිර්මාණය වූ නිසා යි. අද වනවිට මෙම ගීතයේ යූටියුබ් නැරඹුම් ප්‍රමාණය මිලියන 15 ඉක්මවා තිබෙනවා.

Clouds ගීතය මෙතනින් (https://youtu.be/sDC97j6lfyc) ඔබට රස විඳිය හැකියි

සමුගැනීම

ගීත ඇල්බමය නිකුත් වී මාස කිහිපයකින්, එනම් 2013 වර්ෂයේම මැයි මස 20 වැනිදා, සැක් සෝබියැක් නම් මේ ආදර්ශමත් තරුණයා පිළිකාව නිසා හටගත් සංකූලතා උත්සන්න වීමෙන් මිය යනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 18ක් වුණා පමණ යි. බොහොම සාමකාමී ලෙස, සිය නිවසේ ආදරණීයන් මැද සිය අවසන් හුස්ම හෙළීමට ඔහුට හැකි වෙනවා. නමුත් මියයාමට මත්තෙන් ඉතා වැදගත් තීරණයක් ඔහු ගෙන තිබුණා. ඔහු වාගේම මෙලෙස ඔස්ටියෝසාකෝමාව නම් අභියෝගය හමුවේ සටන් වදින අනෙකුත් මිනිසුන් වෙනුවෙන් යමක් කළ යුතු බව ඔහු තීරණය කර තිබුණා.

“සියල්ල අහිමි වූවෙකු ලෙස නොව සටන් කළ තරුණයෙක් ලෙස මිනිසුන්ගේ මතකයේ සිටීමට මට අවශ්‍ය යි.”

තමාගේ මරණය පිළිබඳ ඔහුට තිබුණේ එවැනි ශක්තිමත් ආකල්පයක්. ඒ අනුව සැක් ප්‍රමුඛ ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ ඔහුගේ අනෙකුත් සමීපතමයන් එක්වී “සැක් සෝබියැක් ඔස්ටියෝසාකෝමා අරමුදල” නිර්මාණය කළා. ඔස්ටියෝසාකෝමා රෝගයෙන් පෙළෙන තමා වැනිම මිනිසුන් වෙනුවෙන් ප්‍රතිකාර උදෙසා මූල්‍යමය සහයෝගය ලබාදීම මෙම අරමුදල හරහා සිදුවෙනවා. මෙම අරමුදලට මූලික වශයෙන් මුදල් ලැබුණේ සැක්ගේ සංගීත නිර්මාණ හරහා යි. Clouds වැනි ගීතවලින් ඔහු ලබාගත් අති සාර්ථකත්වය නිසා එයින් ලැබුණ මුදල් තම අරමුදල වෙත හැරවූවා. මේ අදහස ඔහුට ඇති වන්නේ රෝගය වෙනුවෙන් ප්‍රතිකාර ගන්නා අතරතුරේ දී යි. ඔහු වැනිම තරුණයන් දරුණු පිළිකා රෝග සමග සටන් කරන අයුරු ඔහු රෝහලේ දුටු නිසා තමාගේ මරණය ඔවුන්ගේ ජීවිතය වෙනුවෙන් කැපකළ යුතු බව ඔහු සිතුවා.

සැක් සිය පෙම්වතිය වූ එමී ඇඩම්ලි සමග/hollywoodlife.com

“සැක්ගේ ප්‍රතිකාර අතරතුරේ දී ඔහු සිටි රෝහල් කාමරය තවත් එක තරුණ ළමයෙක් සමග බෙදාගත් අයුරු මට නිතරම සිහිපත් වෙනවා. ඒ දරුවත් පිළිකාවක් සමග සටන් කරමින් සිටියා. එතන දී සැක් මට මෙහෙම පැවසුවා. අම්මේ.. මගේ මරණයට පුළුවන් නම් අර කොල්ලව ජීවත් කරවන්න, මම මැරෙන්න වුණත් ලෑස්තියි”.

සැක්ගේ මව වූ ලෝරා සෝබියැක්, තම පුත්‍රයාගේ ආත්ම ධෛර්යය ගැන එලෙස අදහස් පළ කොට තිබුණා.

සත් වසරකට පසු සැක් නැවතත් ජීවමාන වූ හැටි

සැක් මතකයක් වී නික්මගොස් සත් වසරකට පසු, එම මතකය නැවත ජීවමාන කිරීමට ජස්ටින් බැල්ඩෝනි නම් සිනමා අධ්‍යක්ෂකවරයා සමත් වෙනවා. ඔහුට මෙම අදහස පහළ වන්නේ ඒ වනවිටත් “My Last Days” නමින් වාර්තාමය වැඩසටහනක් ඔහු අධ්‍යක්ෂණය කරමින් සිටි නිසා යි. මෙම වාර්තාමය වැඩසටහන මරණය මංචකයේ සිටින මිනිසුන්ගේ ජීවිත පදනම් කරගෙන ගොඩනැගූ වැඩසටහනක් වන අතර, සෝබියැක් පවුලත් ඔහුගේ වැඩසටහනේ කොටස්කරුවන් බවට පත් වෙනවා. සෝබියැක් පවුල සමග සමීප වන ජස්ටින් බැල්ඩෝනිට, සැක්ගේ කතාව වාර්තා වැඩසටහනකට පමණක් සීමා නොකර චිත්‍රපටයක් දක්වා ගෙනයෑමට උනන්දුවක් ඇති වෙනවා. මෙම චිත්‍රපටය නම් වන්නේත්, සැක් අතින් බිහිවූ ජනප්‍රියම ගීතය වන “Clouds” නමින් වීම විශේෂත්වයක්.

සැක්ගේ ජීවිත කතාව සිනමා සලරුවක් තුළ ජීවමාන කිරීමේ ක්‍රියාවලියේ දී, ජස්ටින් බැල්ඩෝනි සහ නළු නිළි කැළ සැක්ගේ පවුලේ උදවිය සමග ඉතා සමීපව කටයුතු කළා. සැක්ගේ චරිතයට පණ පෙවූ රංගන ශිල්පී ෆින් ආගස්, සැක්ගේ පවුලේ අය එතෙක් ආරක්ෂා කරගෙන සිටි සැක්ගේ ඇඳුම් පැළඳුම් සහ කිහිලිකරු යුගළය භාවිතා කරමින් සැක්ගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කි‍රීම උත්සුක වුණා.

Clouds චිත්‍රපටයේ එන දර්ශනයක්/kare11.com

ජස්ටින් බැල්ඩෝනි මෙම චිත්‍රපටය රූපගත කිරීම් සිදුකරන අතරතුරේ දී ඔහුගේ රාජකාරී පුටුවට සමීපයෙන් “සැක් සෝබියැක්” ලෙස නම් කළ හිස් පුටුවක් තබා ගෙන සිටි බව කියැවෙනවා. එවිට මෙම කාර්ය සාර්ථක කරගැනීම උදෙසා සැක් නිතරම තමා ළඟ සිටිනවා වැනි හැඟීමක් ඔහුට දැණුන බව ඔහු පවසා තිබුණා. 

සැක්ගේ ජීවිතයේ ප්‍රසිද්ධ වූ සහ ප්‍රසිද්ධ නොවූ කාරණා බොහෝමයක් මෙම චිත්‍රපටයේ අන්තර්ගත වෙනවා. ඒ අතර වැඩි කාලයක් එකට සිටීමට නොහැකි බව දැන දැනත් පවත්වාගෙන ගිය, සැක් සහ එමී ඇඩම්ලි අතර තිබූ ආදර අන්දරය සුවිශේෂී වෙනවා. ඔහුගේ පවුලේ සාමාජිකයන් සියල්ලම පාහේ සැක්ව නැවතත් ජීවමාන කිරීම උදෙසා ජස්ටින් බැල්ඩෝනිට දුන් සහයෝගය ඉතා ප්‍රශංසනීය වන අතර, ඒ නිසාම මෑත කාලයේ දී මිනිසෙකුගේ ආත්ම ශක්තියේ තරම අති සාර්ථක ලෙස සිනමාවට නැංවූ අවස්ථාවක් ලෙස Clouds චිත්‍රපටය බොහෝ දෙනාගේ සිත් තුළ තැන්පත්ව තිබෙනවා.


චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මෙතැනින්

Cover photo: සැක් සෝබියැක් සහ ඔහුගේ හොඳම මිතුරිය වූ සැමී බ්‍රවුන්/popsugar

මූලාශ්‍රයයන්: childrenscancer.org

parade.com

Related Articles