Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඒබ්‍රහම් ලින්කන් අමෙරිකාවේ ජනාධිපති පුටුව දක්වා ගිය ගමන

අමෙරිකාවේ පළමු ජනාධිපතිවරයා ලෙසින් ජෝර්ජ් වොෂින්ටන් 1789 දී  දිවුරුම් දුන්නා. එදා සිට ජනාධිපතිවරුන් 45ක් යටතේ අමෙරිකාව පාලනය වුණා. එහි දී ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් 1885-1889 කාලයේ දී අමෙරිකාවේ 22 වැනි ජනාධිපතිවරයා ලෙසින් ද, නැවතත් 1893-1897 කාලයේ දී එරට 24 වැනි ජනාධිපතිවරයා ලෙසින් ද කටයුතු කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා.

ඒ අනුව අමෙරිකානු ජනාධිපතිවරුන්ගේ ලැයිස්තුවේ දෙවරක් නම තිබෙන එකම ජනාධිපතිවරයා වන්නේ ද ඔහු යි. 

ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් – history.com

 

එදා මෙදාතුර අමෙරිකාව පාලනය කළ ජනාධිපතිවරුන් එම තනතුරට පත්වීමට පෙර විවිධ රැකියාවල නිරත වුණා. රොනල්ඩ් රේගන් රංගන ශිල්පියකු ලෙස ද, ලින්ඩන් බී ජොන්සන් ගුරුවරයකු ලෙස ද, තෝමස් ජෙෆර්සන් ගෘහ නිර්මාණ ශිල්පියකු ලෙස ද, ඇන්ඩෘ ජොන්සන් සන්නාලියකු ලෙස ද, ඒබ්‍රහම් ලින්කන් තැපැල් ස්ථානාධිපතිවරයකු ලෙස ද කටයුතු කිරීම ඒ සඳහා උදාහරණ යි.

එම ජනාධිපතිවරුන් අතුරින් දුෂ්කරතා රැසක් විඳ දරා ගෙන අමෙරිකා ජනාධිපති පුටුව දක්වා පැමිණියේ ඒබ්‍රහම් ලින්කන් නම් පුද්ගලයා යි. මේ ඔබට කියන්න යන්නේ ඔහුගේ අපූරු ජීවිත කතාව යි.

උපත සහ කුඩා කාලය 

අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ හොඩ්ගන්විල් හි දී ඒබ්‍රහම් ලින්කන් 1809 පෙබරවාරි 12 වැනිදා උපත ලැබුවා. ඔහුගේ පියා වුණු තෝමස් ලින්කන්ට මුල් යුගයේ දී විශාල දේපළක් උරුම ව තිබුණා. පසුව ඔහුට ඒවා අහිමි ව ගියේ දේපළ හිමිකම් සම්බන්ධ ව ඇති වුණු නඩු හබ නිසා යි.

ඉන් පසුව ලින්කන් සිය දරුවන් නඩත්තු කිරීම සඳහා වඩු කාර්මිකයකු ලෙස රැකියාව කළා. ඒබ්‍රහම් දරුවාගේ මව වුණු නැන්සි හැන්ක්ස් ගෘහිණියක් ලෙස සිය වගකීම් නොපිරිහෙළා ඉටු කළා. ඇය සිය සැමියා ඉපයූ මුදල් ප්‍රවේශමෙන් පරිහරණය කළා. එනිසා ඔවුන්ට අගහිඟකම්වලට මුහුණ දීමට සිදුවුණේ නැහැ. 

ඒබ්‍රහම් ලින්කන් යොවුන් වියේ දී – gettyimages.com

 

මවගේ මරණය 

1816 දී තෝමස් ලින්කන් සිය දරු පවුල සමඟින් ඉන්දියානා ප්‍රාන්තයේ පිජන් ක්‍රික් ප්‍රදේශයට ගියා. එම ප්‍රදේශය ආශ්‍රිත ව White Snakeroot නම් ශාකය බහුල ව පිහිටා තිබුණා. එම ශාකය එළදෙනුන් ඇතැම් අවස්ථාවල දී ආහාරයට ගත්තා. White Snakeroot ශාකය විස සහිත එකක් වුණු නිසා එය ආහාරයට ගත් එළදෙනුන්ගේ කිරි විස වීමෙන් මිනිසුන්ට කිරි රෝගය (Milk Sickness) වැලඳුණා.

ඒබ්‍රහම්ගේ මවට ද 1818 ඔක්තෝබර් මාසයේ දී එම රෝගය වැලඳුණා. එදා ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා වෛද්‍යවරුන් ප්‍රබල උත්සාහයක නිරත වුණා. නමුත් එය සාර්ථක වුණේ නැහැ. ඒ අනුව කුඩා ඒබ්‍රහම්ට 9 හැවිරිදි වියේ දී සිය මවගේ සෙනෙහස අහිමි වුණා.

ඒබ්‍රහම් දරුවාගේ මව වුණු නැන්සි හැන්ක්ස් – pbslearningmedia.org

 

කුඩම්මාගේ සෙවණේ වැඩුණු කාලය 

සිය බිරියගේ මරණයෙන් පසුව තෝමස්ගේ ජීවිතයට කිසි ම ඉලක්කයක් තිබුණේ නැහැ. ඔහු සෑම විට ම ශෝකයෙන් කාලය ගත කළ නිසා වැඩ රාජකාරි පවා මග හැරී ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ මාසික ආදායම ක්‍රමයෙන් පහත වැටුණා. එම කාලයේ දී ඔහුගේ පවුලේ උදවිය කටුක ජීවිතයක් ගත කළා.

එලෙස වසරක පමණ කාලයක් ගත කළ තෝමස් යළි විවාහ වීමට තීරණය කළා. ඒ සාරා ජොන්ස්ටන් නම් වැන්දඹු කාන්තාව සමඟ යි. එම විවාහය 1819 දෙසැම්බර් මස 2 වැනිදා සිදුවුණා. ඇයට පළමු විවාහයෙන් දරුවන් තිදෙනකු සිටියා. එම දරුවන් ද මෙම පවුලට එකතු වුණා. 

තෝමස් ලින්කන් .- nps.gov

ඒබ්‍රහම්ගේ කුඩම්මා වුණු සාරා ඉතාමත් කරුණාවන්ත කාන්තාවක් වුණා. ඇය ඒබ්‍රහම් දරුවාට සිය දරුවකුට මෙන් සැලකුවා. එම කාල සමය වන විට ඒබ්‍රහම් පාසල් අධ්‍යාපනය ලබමින් සිටියා. ඔහු සෑම දිනක ම වාගේ නිවසට පැමිණීමෙන් පසුව ද අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. එකල කඩදාසිවල මිල ඉතාමත් අධික වුණු නිසා ඒබ්‍රහම් දරුවා ලෑල්ලක අඟුරුවලින් ලියමින් පාඩම් වැඩ කටයුතුවල නිරත වුණා.

ඔහුගේ කුඩම්මා ද ඒ සඳහා සහාය වුණා. ඔහුගේ පියාගෙන් නම් එම කටයුතු සඳහා කිසිදු සහායක් ලැබුණේ නැහැ. කුඩම්මා නිවසේ කුඩා පුස්තකාලයක් සාදා තිබුණා. බයිබලය, ඊසොප්ගේ උපමා කතා, රොබින්සන් කෲසෝ, සින්බෑඩ් නම් නාවිකයා වැනි පොත් එහි අන්තර්ගත වුණා. ඒබ්‍රහම් එම පොත් කියවීමෙන් විශාල දැනුමක් ලබා ගත්තා. 

දුෂ්කර කාල පරිච්ඡේදයක්

පවුලේ ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් පිරිහෙද්දී ඒබ්‍රහම්ගේ පාසල් ගමන අතරමඟ නැවතුණා. ඉන් පසුව ඔහු සිය පියාගේ රැකියාවේ වැඩවලට උදව් වුණා. ඒ අතරතුර විවිධ පොත්පත් කියවමින් සිය දැනුම වැඩිකර ගැනීමට ඔහු අමතක කළේ නැහැ. පියාට මාසික ව ලැබුණු ආදායම පවුලේ වියදමට ප්‍රමාණවත් නොවුණු නිසා ඒබ්‍රහම් ද කුඩා රැකියාවල නිරත වුණා.

බොහෝ විට ඒවායේ වැඩ කටයුතු රාත්‍රියට යෙදී තිබුණු නිසා ඔහු අවිවේකී ජීවිතයක් ගත කළා. රැකියාව නිසා කෙතරම් අවිවේකයෙන් පසුවුණත් පොත්පත් කියවමින් දැනුම ලබාගැනීමට ඔහු කාලයක් වෙන් කරගෙන තිබුණා. ඒ අධ්‍යාපනයේ තිබුණු වැදගත්කම ඔහුට මනාව අවබෝධ වී තිබුණු නිසා යි. ඒ අයුරින් ගත කළ දුෂ්කර කාල පරිච්ඡේදය අතරතුර ඒබ්‍රහම්ට මිතුරකු හඳුනා ගන්නට ලැබුණා. ඕෆට් නම් වුණු එම පුද්ගලයා ප්‍රදේශයේ විශාල වගාබිමක හිමිකරුවෙක් වුණා. ඔහු සමඟ ඇති කරගත් එම මිතුදම නිසා ඒබ්‍රහම්ගේ ජීවිතය වෙනස් මඟකට යොමු වුණා. 

ලින්කන් තරුණ වියේ දී – adirondackdailyenterprise.com

රැකියා කිහිපයක නිරත වෙමින් සමාජය සමඟ ගැටුණු කාලයක්

එම අවධියේ දී ඕෆට් නම් ගොවියා සිය වගාබිම්වලින් ලැබුණු අස්වැන්න නිව් ඕර්ලියන්ස් නගරයට ගෙන ගොස් විකුණා ජීවත් වුණා. එහි දී ඔහුගේ අස්වැන්න නගරයට ගෙන ගොස් විකිණීම සඳහා ලින්කන් තරුණයාගේ සහාය ලබා ගත්තා. එවකට ලින්කන් 19 හැවිරිදි වියේ පසුවුණා.

ඒ අයුරින් වෙළෙඳාම් කටයුතු සඳහා සහාය වුණු ලින්කන්ට සැලකිය යුතු තරම් හොඳ වැටුපක් ලැබුණා. එම කාලයේ දී ඔහුට වහල් සේවයේ යෙදුණු නීග්‍රෝ ජාතිකයන් මුණ ගැසුණා. නීග්‍රෝ ජාතිකයන් කිසියම් දිනක එම දුකින් මුදා ගත යුතු යැයි යන සිතිවිල්ල ලින්කන්ගේ සිතට ඇතුළු වුණේ එම යුගයේ දී යි. 

වහල් සේවයේ යෙදුණු නීග්‍රෝ ජාතිකයෝ – bbc.com

 

වසර දෙකක පමණ කාලයක් එම රැකියාවේ නිරත වුණු ලින්කන් පසුව මත්පැන් ගබඩාවක කළමනාකරුවකු වශයෙන් සේවය කළා. එම රැකියාවේ නිරත ව සිටි කාලයේ දීත් ඔහු  පොත් කියවීමට අමතක කළේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ප්‍රදේශයේ සිටි උගත් පුද්ගලයන් කිහිප දෙනා අතුරින් කෙනෙක් බවට පත්වුණා. ඒ අතරතුර මල්ලව පොර ක්‍රීඩාවේ ද නිරත වුණු ලින්කන් ප්‍රාන්ත මල්ලව පොර ශූරයා බවට පත්වුණා.

වසරක පමණ කාලයක් ගබඩාවේ රැකියාව කළ ලින්කන් පසුව මිතුරකු සමඟ එකතු වී වෙළෙඳාමක නිරත වුණා. එමඟින් සැලකිය යුතු තරම් ලාභයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අයුරින් ගෙවුණු වසර කිහිපය තුළ ලින්කන් සමාජ සබඳතා පවත්වමින් මිතුරන් රැසක් ඇති කර ගත්තා.  

දේශපාලනයට පිවිසීම 

 

ස්වදේශික අමෙරිකානුවන් සහ අමෙරිකානු හමුදා අතර Black Hawk යුද්ධය 1832 දී පැවතුණා. එම අවස්ථාවේ දී ලින්කන් ස්වේච්ඡාවෙන් අමෙරිකානු හමුදාවට එකතු වුණා. එමඟින් ඔහු ප්‍රදේශයේ ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉලිනොයිස් ප්‍රාන්තයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා තරග කිරීමේ වරම ඔහුට ලැබුණා. ඒ ජාතික රිපබ්ලිකන් පක්ෂය යටතේ යි.

එම මැතිවරණයෙන් ඔහු පරාජය ලැබුවා. ඉන් අධෛර්යමත් නොවුණු ලින්කන් 1832 අග භාගයේ පැවති අමෙරිකානු ජනාධිපතිවරණයේ දී ජාතික රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හෙන්රි ක්ලේට සහාය ලබා දුන්නා. නමුත් එම ජනාවරණය ජයග්‍රහණය කළේ ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරග කළ ඇන්ඩෘ ජැක්සන් නම් අපේක්ෂකයා යි. 

ඇන්ඩෘ ජැක්සන් – history.com

 

1833 වසර වන විට ලින්කන් උගත් බුද්ධිමත් තරුණයකු ලෙසින් සමාජය තුළ ප්‍රසිද්ධියට පත් ව සිටියා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට නිව් සේලම් හි තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපති තනතුර හිමි වුණා. ඔහු ඉතාමත් දක්ෂ අයුරින් එම තනතුරේ රාජකාරි කළා.

එහි දී ඔහු යටත් සේවකයන් පැහැර හැරි රාජකාරි පවා ඉටු කළා. ඒ අනුව ඔහු සමහර අවස්ථාවල ලියුම් බෙදන්නකු ලෙස ද රාජකාරි කළා. ලින්කන්ගේ එම ගති පැවතුම් නිසා ප්‍රදේශයේ ජනතාව ඔහු කෙරෙහි ප්‍රසාදයක් ඇති කර ගත්තා.

දේශපාලන ඉණි මඟේ ඉහළට නැඟීම 

1833 දී ආරම්භ වුණු විග් පක්ෂය වැඩි කලක් යන්නට පෙර අමෙරිකාව තුළ ජනප්‍රිය වුණා. එනිසා ලින්කන් ද විග් පක්ෂයට එකතු වුණා. 1834 අගෝස්තුවේ දී පැවති ඉලිනොයිස් ප්‍රාන්ත නියෝජිත මන්ත්‍රී මණ්ඩල මැතිවරණයේ දී ඔහු විග් පක්ෂයෙන් තරග කළා.. ඒ වන විට නිව් සේලම් හි තැපැල් ස්ථානාධිපති තනතුර දරමින් ජනතා ප්‍රසාදය දිනාගෙන සිටි ලින්කන් අපහසුවකින් තොරව එම මැතිවරණය ජය ගත්තා.

ඉන් අනතුරුව 1836, 1838 සහ 1840 වසරවල පැවති මැතිවරණ ද ජය ගත් ලින්කන් 1842 වසර වන තුරු ඉලිනොයිස් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් කටයුතු කළා. ඒ අතරතුර 1840 ජනාධිපතිවරණයේ දී විග් පක්ෂයේ අපේක්ෂක විලියම් හෙන්රි  හැරිසන් දිනවීමට ද ලින්කන් විශාල දායකත්වයක් ලබාදුන්නා. විලියම් හෙන්රි  හැරිසන්,  විග් පක්ෂයෙන් බිහිවුණු මුල් ම ජනාධිපතිවරයා ද වුණා. 

විලියම් හෙන්රි හැරිසන් – history.com

ලින්කන් විවාහ දිවියට 1842 දී ඇතුළත් වුණා. ඒ මේරි ටොඩ් තරුණිය සමඟ යි. විවාහයෙන් පසුව ද අඛණ්ඩව දේශපාලන කටයුතුවල නිරත වුණු ලින්කන් 1844 ජනාධිපතිවරණයේ දී විග් පක්ෂයේ හෙන්රි ක්ලේ දිනවීමට විශාල වෙහෙසක් ගත්තා. එම උත්සාහය සාර්ථක වුණේ නැහැ.

එම මැතිවරණ ව්‍යාපාරය හරහා ජනප්‍රියත්වයට පත්වුණු ලින්කන් 1847 දී එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වුණා. ඉන් වසරකට පසුව පැවති ජනාධිපතිවරණයේ දී විග් පක්ෂයෙන් ඉදිරිපත් වුණු සැචරි ටේලර් ජයග්‍රහණය කළා. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ලින්කන් වැඩි දායකත්වයක් ලබාදුන්නා. 

ඒබ්‍රහම් ලින්කන් – Youtube.com

 

රිපබ්ලිකන් පක්ෂය බිහි වීම 

වර්තමානය වන අමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ බවට පත් ව තිබෙන්නේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන පක්ෂ දෙක යි. ඒ අතුරින් රිපබ්ලිකන් පක්ෂය බිහිවුණේ 1854 දී යි. 1854 දී පැමිණි කන්සාස්-නෙබ්‍රස්කා පනතට පක්ෂ සහ දේශපාලන ව්‍යාපාර කිහිපයක් විරෝධය පළ කළා.

එහි දී විග් පක්ෂය, ලිබර්ටි පක්ෂය, ෆ්රී සොයිල් පක්ෂය, උතුරු අමෙරිකානු පක්ෂය, නෙබ්‍රස්කා විරෝධී ව්‍යාපාරය යන ඒවා එකතු වී රිපබ්ලිකන් පක්ෂය නිර්මාණය කළා. ඒබ්‍රහම් ලින්කන් එම පක්ෂය පිහිටුවීමට මුල් වුණා. ඒ අයුරින් නිර්මාණය වුණු රිපබ්ලිකන් පක්ෂය වැඩි කලක් යන්නට පෙර රටේ ප්‍රධාන විපක්ෂය බවට පත්වුණා. 

රිපබ්ලිකන් පක්ෂය බිහිවීම – wisconsinhistory.org

 

ඉන් වසර 2කට පසුව පැවැත්වුණු ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂයෙන් ජෝන් ෆර්මොන්ට් තරග බිමට පිවිසියා. එහි දී ඩිමොක්‍රටික් අපේක්ෂක ජේම්ස් බුචානන් ඡන්ද විද්‍යාල ආසන 174ක් දිනා ගනිද්දී රිපබ්ලිකන් අපේක්ෂකයා ජයග්‍රහණය කළේ ඡන්ද විද්‍යාල ආසන 114ක් පමණ යි. ඒ අනුව රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයාට පරාජය උරුම වුණා.

රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට පත්වීම 

1856-1860 කාලය තුළ ලින්කන් අමෙරිකානු දේශපාලන කරළියේ පෙරමුණේ සිටි චරිතයක් බවට පත්වුණා. ඔහු 1858 දී සෙනෙට් සභාවේ ඉලිනොයිස් අසුන සඳහා ස්ටීවන් ඩග්ලස් සමඟින් තරග වැදුණා. එම මැතිවරණයට පෙර විවාද 7ක් පැවැත්වුණා. ඒවා නැරඹීම සඳහා සැලකිය යුතු තරම් ජනතාවක් පැමිණියා. ඒ අනුව ලින්කන් ජනතාව අතර තව තවත් ප්‍රසිද්ධියට පත් වුණා.

මැතිවරණයේ ජයග්‍රහණය ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ඩග්ලස්ට හිමි වුණා. ඉන් නොසැලුණු ලින්කන් රට පුරා සංචාරය කරමින් 1860 ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂය දිනවීමට ඇපකැප වී වැඩ කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1860 මැයි මාසයේ දී ඔහුට රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය හිමි වුණා.  ස්ටීවන් ඩග්ලස්ට ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය හිමි වුණා.

ස්ටීවන් ඩග්ලස්  – battlefields.org

 

අමෙරිකාවේ 16 වන ජනාධිපතිවරයා බවට පත්වීම 

1860 නොවැම්බර් 16 වැනිදා පැවති අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඒබ්‍රහම් ලින්කන්ට පහසු ජයක් හිමි වුණා. එහි දී ඔහු ඡන්ද විද්‍යාල ආසන 180ක් ජයග්‍රහණය කරද්දී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ඩග්ලස්ට හිමි වුණේ ආසන 21ක් පමණ යි. ජනාධිපතිවරණ සටනට එක් වුණු ජෝන් බ්‍රේකන්රිජ් සහ ජෝන් බෙල් පිළිවෙළින් ආසන 72ක් සහ 39ක් ලබා ගත්තා.

එහි දී ලින්කන් ප්‍රාන්ත 18ක් ජයග්‍රහණය කර තිබුණා. ඒ අනුව ඔහු රිපබ්ලිකන් පක්ෂයෙන් බිහි වුණු මුල් ම ජනාධිපතිවරයා ලෙසින් ඉතිහාසගත වුණා. 1861 මාර්තු 4 වැනිදා ඔහු ජනපති තනතුරේ වැඩ භාර ගත්තා.

ලින්කන් ජනාධිපතිවරයා ලෙස වැඩ භාරගත් මොහොත – abraham-lincoln-history.org

 

ජනාධිපති තනතුරට පත්වීමෙන් පසු කාලය කෙටියෙන් 

ලින්කන් ජනාධිපති තනතුරට පත්වී මාසයක් යන්නට පෙර එරට සිවිල් යුද්ධයක් ආරම්භ වුණා. එම යුද්ධය හමුවේ නොසැලුණු ලින්කන් අමෙරිකාව දියුණු කිරීමට විශාල වෙහෙසක් ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට 1864 ජනාධිපතිවරණය පහසුවෙන් ම ජයග්‍රහණය කිරීමට හැකි වුණා. එම ජයග්‍රහණයෙන් පසුව ඔහු වහල් භාවය අමෙරිකාවෙන් තුරන් කිරීමට පනතක් ගෙන ආවා. එම යුගය වන විට ලින්කන්ගේ ජීවිතයට තර්ජන රැසක් එල්ල වී තිබුණා.

එම තර්ජන මධ්‍යයේ ලින්කන් සාමාන්‍ය ජනතාව අතරට ගියා. 1865 අප්‍රේල් 14 වැනිදා ෆෝඩ් රඟහලට ගිය ලින්කන්ට ජෝන් විල්ක්ස් බූත් නම් පුද්ගලයා වෙඩි තැබුවා. එම වෙඩි පහරින් ලින්කන් මරණයට පත්වුණා. ඒ අනුව අමෙරිකානු ඉතිහාසයේ සහාසිකයකුගේ වෙඩි පහරින් මිය ගිය මුල් ම ජනාධිපතිවරයා ලෙසින් ලින්කන් ඉතිහාසගත වුණා. ලින්කන් වහල් සේවය අමෙරිකාවෙන් තුරන් කිරීම සඳහා කළ මෙහෙය නිසා අමෙරිකානු ඉතිහාසයේ බිහිවුණු කීර්තිමත් ජනාධිපතිවරුන් අතරට ඔහුගේ නමත් එකතු වී තිබෙනවා.

ලින්කන්ට වෙඩි තැබූ අවස්ථාව දැක්වෙන චිත්‍රයක්  -telegraph.co.uk

කවරයේ ඡායාරූපය- ඒබ්‍රහම් ලින්කන් - thoughtco.com

මූලාශ්‍ර: 

facts.usps.com 

battlefields.org 

warbletoncouncil.org 

abrahamlincolnonline.org 

Related Articles