Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව මුල් ම තරු පන්තියේ සූපවේදියා: ඇන්ටෝනි කැරෙම්

ඈත අතීතයේ දී බොහෝ රටවල් රජවරුන් යටතේ පාලනය වුණා. එවැනි රජවරුන්ට ආවතේව කටයුතු කිරීම සඳහා සැලකිය යුතු තරම් විශාල සේවක මණ්ඩලයක් සිටියා. සාමාන්‍යයෙන් රජ කෙනකුගේ සේවක මණ්ඩලයේ වගකිව යුතු තනතුරු අතරට සූපවේදී තනතුර ද අයත් වුණා. රජතුමන් දෛනික ව පරිභෝජනය කරන ආහාර සැකසීම සූපවේදියාගේ ප්‍රධාන රාජකාරිය වුණා.

එදාමෙදා තුර බිහිවුණු විශිෂ්ට පාලකයන් සතු ව දක්ෂ සූපවේදීන් සිටියත් ප්‍රංශයේ පැරිස් නුවර 19 වන සියවසේ ජීවත් වුණු එක්තරා සූපවේදියකු ලොව මුල් ම සුපිරි පන්තියේ සූපවේදියා ලෙසින් සැලකෙනවා. ඇන්ටෝනි කැරෙම් නමින් හැඳින්වුණු එම සූපවේදියා සතු ව තිබුණු සුවිශේෂී හැකියාව නිසා යුරෝපා රටවල් කිහිපයක පාලකයන් ඔහුගේ සේවය ලබා ගත්තා. මේ  ඇන්ටෝනි කැරෙම් නම් අපූරු සූපවේදියාගේ කතාව යි. 

ජීවිතයේ මුල් අවධිය 

පැරිස් නගරයේ කුඩා පැල්පතක 1784 ජූනි 8 වැනිදා උපත ලැබූ ඇන්ටෝනි කැරෙම් කුඩා කල සිට දුක්ඛිත ජීවිතයක් ගත කළා. ඒ ඔහුගේ මාපියන් එතරම් ධනවත් අය නොවුණු නිසා යි. ඇන්ටෝනිට තවත් සහෝදර සහෝදරියන් 10කට වඩා වැඩියෙන් සිටියා. එනිසා ඔහුගේ මවට සහ පියාට සිය දරුවන් පෝෂණය කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. ඔවුන්ගේ පවුල දරිද්‍රතාවයේ පතුලට ම ගිලී තිබුණු නිසා ඇන්ටෝනි කුසට අහරක් නොමැති ව ගෙවා දැමූ වේල් ගණන බොහොම වැඩි යි.

 1789 ප්‍රංශ විප්ලවයේ අවස්ථාවක් – History.com

එලෙස කාලය ගෙවී යද්දී ප්‍රංශයේ මහා විප්ලවයක් සිදුවුණා. 1789 වසරේ දී එම විප්ලවයේ උණුසුම පැරිස් නගරයටත් හොඳින් ම දැනුණා. විප්ලවය සිදු වී වසර කිහිපයක් ගතවෙද්දී ප්‍රංශයේ බොහෝ නගර ආශ්‍රිත ව කැරලි කෝලාහල ඇති වුණා. එනිසා රට පුරා මහා  භීෂණයක් පැතිරී ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇන්ටෝනිගේ පවුලේ උදවියට එදා වේල ගැට ගසා ගැනීමට අපහසු ම වාතාවරණයක් උදා වුණා. 

 

රැකියාවක් සොයා නිවසින් පිට ව යයි 

ඇන්ටෝනි 10 හැවිරිදි වියට පා තබද්දී ඔවුන්ගේ පවුලේ ආර්ථික තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබුණා. ඔහුට වඩා බාල සහෝදර සහෝදරියන් කිහිප දෙනකු පවුලේ සිටි නිසා ඇන්ටෝනි පිළිබඳ සොයාබැලීමට මාපියන්ට වෙලාවක් තිබුණේ නැහැ. තවදුරටත් පවුලට බරක් වීමට නොසිතූ ඇන්ටෝනි නිවසින් හොර රහසේ ම පිටව ගියේ කුඩා රැකියාවක් සොයා ගැනීම සඳහා යි.

රැකියාවක් සොයමින් පැරිස් නගරයේ වීදිවල ඉබාගාතේ ඇවිද ගිය ඇන්ටෝනි පදික වේදිකාවේ ශීත රාත්‍රීන් කිහිපයක් ගත කළා. එලෙස දුක් කම්කටොලු රැසක් විඳි ඇන්ටෝනිට අවසානයේ දී කුඩා රැකියාවක් ලැබුණා. එහි දී ඔහු තැබෑරුමක මුළුතැන්ගෙයි සේවයට එක් වුණේ අත් උදව්කරුවකු ලෙස යි. එහි සේවය කිරීම වෙනුවෙන් ඔහුට ලැබුණේ ආහාර සහ නවාතැන් පහසුකම් පමණ යි. 

18 වන සියවස අගභාගයේ දී පැරිස් නගරය දිස්වුණු අයුරු- Pinterest.com

 

දුෂ්කර වසර 4ක් 

මුළුතැන්ගෙයි ප්‍රධාන අරක්කැමියා සැර පරුෂ අයකු වුණා. ඔහු තමන් යටතේ සිටි සේවකයකු සුළු වරදක් කළත් නින්දිත අයුරින් බැණ වැදුණා. එදා කුඩා ඇන්ටෝනි ද ප්‍රධාන අරක්කැමියාගේ උදහසට ලක් වුණා. එම තැබෑරුමේ මුළුතැන්ගෙය නිතර ම කාර්යබහුල ස්ථානයක් වුණු නිසා ඇන්ටෝනිට දිවා රෑ නොබලා සේවය කරන්නට සිදුවුණා.

එලෙස අඩන්තේට්ටම් විඳ දරා ගෙන එහි රාජකාරි කරනවාට වඩා සිය නිවසට ගොස් කුසට අහරක් නොමැති ව සිටීම සැපතක් බව ඇන්ටෝනිට සිතුණු වාර අනන්ත යි. එනමුදු ඒ දුක් ගැහැට විඳ දරා ගෙන ඔහු කැපවීමෙන් සිය රාජකාරි ඉටු කළා. ඒ අයුරින් මුළුතැන්ගෙයි අත් උදව්කරුවකු ලෙසින් සේවය කළ ඇන්ටෝනිට වසර 3කින් පමණ උසස්වීමක් ලැබුණා. එම උසස්වීමෙන් පසුව ඔහුට තැබෑරුමේ වේටර්වරයකු ලෙසින් රාජකාරි කිරීමට අවස්ථාව උදාවුණා. ඇන්ටෝනිට එම උසස්වීම ලැබුණේ ඔහුගේ ආකර්ෂණීය කතා විලාසය සහ කඩිසර බව නිසා යි.

පැරණි තැබෑරුමක ඡායාරූපයක්  – wikimedia.org

 

නොසිතූ වාසනාවක් පෑදෙයි 

1798 වසර පමණ වන විට ඇන්ටෝනි සේවය කළ තැබෑරුම දියුණු තත්ත්වයකට පත් ව තිබුණා. එනිසා පැරිස් නගරයේ සිටි ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් එම තැබෑරුමට නිතර ම පැමිණියා. එලෙස පැමිණි ඇතැම් පුද්ගලයන් ඇන්ටෝනි සමඟ මිතුරු වුණා. ඒ අයුරින් ඇන්ටෝනි සමඟ මිතුරු වුණු පුද්ගලයන් අතර නගරයේ ප්‍රසිද්ධ ආපන ශාලාවක, ප්‍රධාන අරක්කැමියකු ද සිටියා. නමින් සිල්වේන් බේලි වුණු ඔහු ඇන්ටෝනි පිළිබඳ විශාල පැහැදීමකින් සිටියා.

ඇන්ටෝනි වයසින් අවුරුදු 14ක පමණ දරුවකු වුණත් ඔහුට විවිධ ආහාර වර්ග පිළිබඳ හොඳ දැනුමක් තිබෙන බව බේලිට ඒත්තු ගියා. ඔහු තැබෑරුම් මුළුතැන්ගෙයි අත් උදව්කරුවකු ලෙස සේවය කළ වසර 3ක කාලය තුළ එම ආහාර වර්ග පිළියෙළ කරන ආකාරය ඉගෙන ගත් බව අසා බේලි පුදුමයෙන් පුදුමයට පත්වුණා. ඇන්ටෝනිගේ එම හැකියාව සහ උනන්දුව නිසා බේලි ඔහුට අලුත් රැකියාවක් ලබා දුන්නා. ඉන් පසුව ඔහු සිය මිතුරු බේලි සේවය කළ ආපනශාලාවේ මුළුතැන්ගෙයි සේවකයකු ලෙස රාජකාරි ආරම්භ කළා. 

ඇන්ටෝනි කැරෙම් – recetas.net 

මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබුණු වසර 5ක් 

සිල්වේන් බේලි යටතේ රාජකාරි ආරම්භ කළ මොහොතේ පටන් ඇන්ටෝනි ඉතාමත් උද්යෝගයෙන් වැඩවල නිරත වුණා. ඒ බේලි ඉතාමත් විනෝදකාමී කාරුණික පුද්ගලයකු වුණු නිසා යි. සිය රාජකාරි අතරතුර කෙටි විවේකයක් ලද විගස ම බේලි හමුවුණු ඇන්ටෝනි විවිධ කෑම වර්ග සාදන ආකාරය පිළිබඳ අසා දැන ගත්තා. එලෙස වසර 2-3ක් බේලි යටතේ සේවය කරද්දී සූපවේදය පිළිබඳ ව ඇන්ටෝනි සතු ව තිබුණු දැනුම වැඩි වර්ධනය වුණා.

සෑම විට ම අත්හදාබැලීම් කිරීමට කැමති දරුවකු වුණු ඇන්ටෝනි අලුත් ආකාරයේ කෑම වර්ග සෑදීමට උත්සාහ කළා. ඒ අයුරින් සිදු කළ අත්හදාබැලීම්වල ප්‍රතිඵල බේලිට ඉදිරිපත් කිරීමට ඔහු අමතක කළේ නැහැ. එම කෑම වර්ගවල තිබුණු සමහර අඩුපාඩු පෙන්වා දුන් බේලි සෑම විට ම ඇන්ටෝනි දිරිමත් කළේ අලුත් කෑම වර්ග සෑදීමට හැකි තරම් උත්සාහ කරන ලෙස යි. බේලි යටතේ වසර 5ක් පමණ රාජකාරි කරද්දී ඇන්ටෝනිට සැලකිය යුතු තරම් දැනුමක් මෙන්ම මුදල් ප්‍රමාණයක් ද එකතු කරගැනීමට හැකි වුණා. මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබුණු එම වසර පහෙන් පසු ඔහු තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කළා. 

නව අවන්හලක් අරඹයි 

සිය ගුරුවරයා වුණු බේලිගෙන් ලැබුණු උපදෙස් පරිදි සිය නවීනත ම අවන්හල ආරම්භ කළ ඇන්ටෝනි එයට  Pâtisserie de la rue de la Paix යන නම යෙදුවා. ඒ වන විට 19 හැවිරිදි වියේ තරුණයකු වුණු ඇන්ටෝනි වෙහෙස මහන්සි වී වැඩ කරමින් තම අවන්හල දියුණු කිරීමට උත්සාහ කළා. ඔහු අවන්හලේ  සේවය සඳහා බඳවා ගත් සේවකයන් කිහිප දෙනාගෙන් ද ඔහුට හොඳ සහායක් ලැබුණා. එනිසා ඇන්ටෝනිගේ අවන්හල පැරිස් නගරයේ වඩාත් ජනප්‍රිය අවන්හලක් බවට කෙටි කලකින් පත්වුණා.

කැරෙම් අතින් සැකසුණු ආහාර වර්ග – andreapenrose.com

ඔහු අමුතු ම ක්‍රමවලට සැකසූ නැවුම් ආහාර අනුභව කිරීමට මිනිසුන් වැල නොකැඩී එහි පැමිණෙන්නට වුණා. එහි පැමිණි උදවිය අතර ප්‍රංශයේ ඉහළ පැලැන්තියේ ප්‍රභූවරුන් ද සිටියා. ඇන්ටෝනිගේ ව්‍යාපාරය දියුණු වී ඔහුට යහමින් මුදල් ලැබෙද්දී පවා ඔහු සිය ගුරුවරයා වුණු බේලි අමතක කළේ නැහැ. හැකි සෑම විට ම බේලි හමුවීමට ගිය ඇන්ටෝනි සූපවේදය පිළිබඳ තව තවත් දේවල් ඔහුගෙන් ඉගෙන ගත්තා.

ප්‍රභූවරයකු ළඟ සේවයට 

ඇන්ටෝනිගේ අවන්හලට නිතරම පැමිණි ඉහළ පැලැන්තියේ ප්‍රභූවරුන් අතරට චාල්ස් ටැලියෙරන්ඩ්-ප්‍රිගර්ඩ් ද අයත් වුණා. එකල ප්‍රංශයේ සිටි ඉහළම පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයකු වුණු චාල්ස් ප්‍රිගර්ඩ් නිතර ම ඇන්ටෝනිගේ ආහාර පිළිබඳ ව ප්‍රශංසා මුඛයෙන් කතා කළා. ඒ අයුරින් කාලය ගෙවී යද්දී ප්‍රිගර්ඩ්ට ඇන්ටෝනිගේ අවන්හලේ ආහාර නැතිව ම බැරි වුණා. ඔහුට තිබුණු අධික වැඩ රාජකාරි නිසා අවශ්‍ය වෙලාවලට අවන්හලට යාමට හැකියාවක් ලැබුණේ නැහැ.

එනිසා ප්‍රිගර්ඩ්ගේ පුද්ගලික සූපවේදියා ලෙසින් සේවයට එක්වීමට ඇන්ටෝනිට අවස්ථාව ලැබුණා. ඒ අතරතුර නැපෝලියන් අධිරාජ්‍යයාගේ අණ පරිදි රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ රැස්වීම් සඳහා ආහාර පිළියෙළ කිරීමේ වගකීම ද ඔහුට පැවරුණා. ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ඇන්ටෝනි අමුතු ම ආකාරයේ ආහාර පිළියෙළ කරමින් නැපෝලියන් අධිරාජ්‍යයා ප්‍රමුඛ රාජකීයයන් පුදුමයට පත් කළා.

ඇන්ටෝනිගේ කේක් ආකෘති – Pinterest.com

ප්‍රංශයේ අංක එකේ සූපවේදියා බවට පත්වෙයි 

එදා ඇන්ටෝනි පිළියෙළ කළ ආහාර වර්ග පරිභෝජනය කළ ප්‍රංශ රාජකීයයන් ඔහුගෙන් එක්තරා ඉල්ලීමක් කළා. ඒ ඔවුන්ගේ පවුල්වල උදවියට ආහාර සැපයීම සඳහා සේවාවක් ආරම්භ කරන ලෙස යි. රාජකීයයන්ගේ එම ඉල්ලීමට කන්දුන් ඇන්ටෝනි රාජකීය පවුල්වල උදවියට ආහාර සැපයීම සඳහා විශේෂ සේවාවක් ආරම්භ කළා. එහි වැඩ කටයුතු ඇන්ටෝනිගේ අනුදැනුම මත ඔහුගේ ගෝලයන් අතින් ඉටුවුණා. එම සේවාව හරහා තවත් ජනප්‍රිය වුණු ඇන්ටෝනි වැඩි කල් යන්නට පෙර මහා ධනවතකු බවට පත්වුණා. එදා ඇන්ටෝනිගේ කෑම වට්ටෝරුවලට අනුව පිළියෙළ වුණු ආහාර වර්ග ප්‍රංශය පුරා ජනප්‍රිය වුණා. එනිසා ඔහු ප්‍රංශයේ අංක එකේ සූපවේදියා බවට පත්වුණා.   

විදෙස් රටවලටත් සේවය සපයයි 

1816 පමණ වන විට ඇන්ටෝනි කැරෙම් නම් සූපවේදියා පිළිබඳ යුරෝපය පුරා ම කතා කරන්නට පටන් ගත්තා. ඔහුගේ අපූරු ආහාර වට්ටෝරු ගැන මහා බ්‍රිතාන්‍යයේ 3 වන ජෝර්ජ් රජුගේ පුත්‍රයාට ද ආරංචි වුණා. එම රජ කුමරා ඇන්ටෝනිට ඔවුන්ගේ රාජකීය රජ මාලිගාවේ ප්‍රධාන සූපවේ දී තනතුර ද පිරිනැමුවා. අවුරුද්දක් පමණ එහි සේවය කළ ඇන්ටෝනි සිය තනතුරෙන් ඉවත් වුණේ බ්‍රිතාන්‍ය දේශගුණයට තිබුණු අකමැත්ත නිසා යි. පසුව රුසියාවේ පළමු සාර් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා යටතේ ටික කලක් සේවය කළ ඇන්ටෝනි පසුව කැතරින් බ්‍රැගේෂන් කුමරිය සහ ස්ටුවර්ට් ස්වාමිවරයා වෙනුවෙන් ද සේවය කළා.

3 වන ජෝර්ජ් රජුගේ පුත් කුමරා -dkfindout.com

දැනුම අන් අය සමඟ බෙදා ගත් හැටි 

ඇන්ටෝනි කැරෙම් නම් මහා සූපවේදියා ඔහු සතුව තිබුණු දැනුම ඊළඟ පරපුරට ලබා දීමට තීරණය කළා. ඒ වෙනුවෙන් ඔහු සූපවේදය පිළිබඳ ග්‍රන්ථ රචනා කළා. ඔහුගේ පළමු ග්‍රන්ථය වුණු Le pâtissier royal parisien 1815 දී ප්‍රකාශයට පත්වුණා. විවිධ ආකාරයේ ආහාර වට්ටෝරු 124ක් පමණ අඩංගු වුණු එම ග්‍රන්ථයට විශාල ජනප්‍රියත්වයක් ලැබුණා. 1822 දී ඔහු Le maître d’Hôtel Français නමින් තවත් ග්‍රන්ථයක් රචනා කළා.

එම ග්‍රන්ථයට ප්‍රංශ මූලික ආහාර වට්ටෝරු 4ක් ඇතුළත් කර තිබුණා. පසුව එම වට්ටෝරුවලින් ලද ආභාසයෙන් එකිනෙකට වෙනස් ආහාර වට්ටෝරු රැසක් නිර්මාණය වුණා. 1829 දී රැකියාවෙන් විශ්‍රාම ගිය ඇන්ටෝනි ලේඛන කටයුතු සඳහා සිය අවධානය යොමු කළා. ඉන් අනතුරුව ඔහු රචනා කළ L’art de la cuisine française නම් ග්‍රන්ථය ආධුනික සූපවේදීන් වෙනුවෙන් සැකසූ එකක්. එහි නිර්දේශ කර තිබුණු මූලධර්ම බොහෝ කලක් යන තුරු සූපවේදින් අනුගමනය කළා.

ඔහු රචනා කළ L’art de la cuisine française නම් ග්‍රන්ථය – Pinterest.com

 

අකල් මරණය 

මෙම මහා සූපවේදියා කුඩා කල සිට ම හරි හැටි වාතාශ්‍රයක් නොලැබෙන මුළුතැන්ගෙවල්වල සේවය කළා. එහි දී  ඔහුට නිතර ම වාගේ ගල් අඟුරු දුම ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට සිදුවුණා. එම ක්‍රියාවලිය දිගින් දිගට ම සිදුවුණු නිසා ඇන්ටෝනි පෙනහළු රෝගයට ගොදුරු වුණා. එකල ලෝකයේ සිටි දක්ෂත ම වෛද්‍යවරුන් ඉදිරිපත් වී ඇන්ටෝනිගේ ජීවිතය බේරා ගැනීමට ප්‍රබල උත්සාහයක නිරත වුණා. නමුත් එය සාර්ථක වුණේ නැහැ. 1833 ජනවාරි 12 වැනිදා ඇන්ටෝනි කැරෙම් සදහට ම දෙනෙත් පියා ගත්තා. ඒ අයුරින් ඇන්ටෝනි අකාලයේ නික් ම ගියත් ඔහු ලොවට දායාද කළ දැනුමෙන් මිනිසුන් අදටත් ප්‍රයෝජන ලබා ගන්නවා. 

කවරයේ ඡායාරූපය- ඇන්ටෝනි කැරෙම් - mangiare.moondo.info

මූලාශ්‍ර: 

nationalgeographic.com 

eater.com 

npr.org 

Related Articles