Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව ලොකු ම ධනවතා වුණු රස කැවිලි වෙළෙන්දා

20 වන සියවස ආරම්භ වෙද්දී ඇන්ඩෘ කානගී සහ ජෝන් රොක්ෆෙලර් ලොව විශාලත ම ධනවතුන් දෙදෙනා ලෙසින් වැජඹුණා. ඉතාමත් පහළ තත්ත්වයක සිට සිය ජීවන ගමන ආරම්භ කළ එම පුද්ගලයන් දෙදෙනා උත්සාහය සහ කැපවීම නිසා මහා ධනවතුන් බවට පත්වුණා. අප මීට පෙර ලිපියකින් ඇන්ඩෘ කානගීගේ කතා පුවත ඔබ වෙත ඉදිරිපත් කළා. එනිසා මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ජෝන් රොක්ෆෙලර්ගේ ආදර්ශවත් ජීවිත කතාව යි. 

ජීවිතයේ මුල් අවධිය 

අමෙරිකාවේ නිව්යෝක් ජනපදයේ රිච්ෆෝර්ඩ් ප්‍රදේශයේ දී ජෝන් රොක්ෆෙලර් 1839 ජූලි 8 වැනිදා උපත ලැබුවා. ඔහුගේ පියා වුණු විලියම් බිල් රොක්ෆෙලර් ඉංග්‍රීසි සහ ජර්මානු සම්භවයක් සහිත පුද්ගලයෙක්. ජෝන්ගේ මව වුණු එලිසා ඩේවිසන් ස්කොට්ලන්ත පවුලකින් පැවත ආ කාන්තාවක්. පවුලේ දෙවැනි දරුවා වුණු ජෝන්ට ලුසී නමින් වැඩිමහල් සහෝදරියක් සිටියා. පසුව විලියම්, මේරි, ෆ්රැන්සිස්, ෆ්රෑන්ක්ලීන් නමින් සහෝදර සහෝදරියන් සිව්දෙනෙක් ඔහුට ලැබුණා. ඒ අතුරින් ෆ්රැන්සිස් සහ ෆ්රෑන්ක්ලීන් නිවුන් සහෝදරයන් ලෙසින් උපත ලැබුවා. 

ජෝන් ඉපදුණු නිවස – gettyimages.com

 

ජෝන්ගේ පියා වුණු බිල් මුල් යුගයේ දී දර කපන්නකු ලෙසින් රැකියාව කළා. එනිසා ජෝන්ගේ ළමා විය එතරම් සුන්දර එකක් වුණේ නැහැ. ඔවුන්ට බොහෝ අඟ හිඟකම් තිබුණා. මත්පැන්වලට තදින් ම ඇබ්බැහි වී සිටි ජෝන්ගේ පියා නිකරුණේ මුදල් නාස්ති කළා. ඒ වාගේ ම ඔහු සිය බිරියට අමතර ව වෙනත් කාන්තාවන් ඇසුරු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජෝන්ගේ පියා හරිහම්බ කළ මුදල්වලින් වැඩි කොටසක් නිවසේ වියදමට ලැබුණේ නැහැ. එනිසා ජෝන්ගේ මව වුණු එලිසා අසල්වැසි නිවෙස්වල මෙහෙකාර සේවයේ නිරත වුණා. 

පවුලේ බර කරට ගත් රස කැවිලි වෙළෙන්දා 

1850 දශකය ආරම්භ වෙද්දී ජෝන්ගේ පියා වුණු බිල් සංචාරක වෙළෙන්දකු ලෙස කටයුතු කළා. එනිසා ඔහු  නිවස වෙත මාස ගණන් පැමිණියේ නැහැ. ඒ වාගේම නිවසේ වියදමට ප්‍රමාණවත් තරම් මුදලක් එව්වේ ද නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස ජෝන් ඇතුළු පවුලේ උදවියට ආර්ථික ගැටලු රැසක් මතු වුණා. ජෝන්ගේ මව මෙහෙකාර සේවයේ නිරතවෙමින් උපයා ගත් සුළු මුදල පවුලේ කටයුතු සඳහා ප්‍රමාණවත් වුණේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වුණු ජෝන්ට සිය සහෝදර සහෝදරියන් රැක බලා ගැනීම සඳහා කුඩා රැකියාවක නිරත වීමට සිදු වුණා. 

ජෝන්ගේ යොවුන් විය සම්බන්ධව ඇඳි සිතුවමක් – lookandlearn.com

 

ඒ අනුව ඔහු රස කැවිලි විකිණීමේ ව්‍යාපාරයක නිරත වුණා. එහි දී ජෝන් රස කැවිලි තොග වශයෙන් මිල දී ගෙන ඒවා විකුණමින් සැලකිය යුතු තරම් ආදායමක් ලබා ගත්තා. එයින් සෑහීමකට පත් නොවුණු ජෝන් අමතර ආදායමක් උපයා ගැනීම සඳහා කළුකුම් පක්ෂීන් ඇති කළා. ටික කාලයක් ගතවෙද්දී ජෝන්ට එම ව්‍යාපාරවලින් සෑහෙන ආදායමක් ලැබුණා. එනිසා ඔහු සුළුවෙන් මුදල් පොළියට දීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ වන විට ජෝන් 14 හැවිරිදි වියේ පසු වුණා.

කැපවීම් කළ වසර කිහිපයක් 

සිය පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විවිධ ව්‍යාපාරවල නිරත ව සිටි ජෝන් ඉගෙනීම වැඩ ද කටයුතු අතපසු කළේ නැහැ. එදා ක්ලීව්ලන්ඩ් හි මධ්‍යම උසස් පාසලෙන් සහ ඇලජීනියස් හි පොදු පාසලෙන් අධ්‍යාපනය සිය අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කළ ජෝන් මධ්‍යම රාත්‍රිය පසුවන තුරු පාඩම් වැඩ කටයුතුවල නිරත වුණා. ඒ අධ්‍යාපනයේ වටිනාකම පිළිබඳ ව ඔහු හොඳින් ම දැනගෙන සිටි නිසා යි. පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව ඔහු ෆෝල්සම් වෙළෙඳ විද්‍යාලයට ඇතුළත් වී සති 10ක ව්‍යාපාරික පාඨමාලාවක් සම්පූර්ණ කළා. එලෙස ඉගෙනීමේ කටයුතුවල නිරත ව සිටි කාලයේ දීත් ඔහු සිය ව්‍යාපාරික කටයුතු කරගෙන ගියා. එහි දී ඔහු කාලය මනාව  කළමනාකරණය කරගනිමින් වැඩ කටයුතුවල නිරත වුණා. 

ස්ථීර රැකියාවක් 

ෆෝල්සම් විද්‍යාලයේ ව්‍යාපාරික පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසුව තවදුරටත් ඉගෙනීමට සිත යොමු කළ ජෝන් මූල්‍ය සටහන් වාර්තා කිරීම පිළිබඳ ව පාඨමාලාවක් සම්පූර්ණ කළා. ඉතාමත් සාර්ථක ව එම පාඨමාලාව නිමා කළ ජෝන් රැකියා කිහිපයකට අයදුම් කළා. ඒ මූල්‍ය සටහන් වාර්තා කරන්නකු ලෙස රැකියාවකට එක් වීම සඳහා යි. එදා මහා පරිමාණයේ සමාගම් රැසක් 16 හැවිරිදි ජෝන් රැකියාවකට බඳවා ගැනීමට කැමැත්තක් දක්වූයේ නැහැ. නමුත් ක්ලිව්ලන්ඩ් හි හෙවිට් සහ ටට්ල් නම් කුඩා නිෂ්පාදන සමාගම ජෝන්ගේ විශේෂත්වයක් දුටුවා. එනිසා ඔහුට එම සමාගමේ මූල්‍ය සටහන් වාර්තා කරන්නකු ලෙසින් රැකියාවට එක් වීමේ අවස්ථාව හිමි වුණා. ඒ අයුරින් ස්ථීර රැකියාවක් හිමිවීමෙන් පසුව ජෝන්ගේ ජීවිතය උසස් තත්ත්වයකට පත්වුණා.

ජෝන් රැකියාවට ගිය අවධියේ දී – pinterest.com

 

රැකියාවෙන් ඉහළට 

රැකියාවට බැඳුණු දිනයේ සිට වෙහෙස මහන්සි වී රාජකාරි කළ ජෝන් වැඩි කලක් යන්නට පෙර ඉහළ නිලධාරින්ගේ සිත දිනා ගත්තා. එදා මෙම තරුණයා හැකි සෑම අවස්ථාවක ම සිය දැනුම වර්ධනය කරගැනීමට උත්සාහ කළා. ප්‍රවාහන වියදම් ගණනය කිරීම සඳහා දැක්වූ නිපුණතාව හේතුවෙන් ජෝන්ට නැව් කපිතාන්වරුවන් සහ භාණ්ඩ ප්‍රවාහන නියෝජිතයන් සමඟ සම්බන්ධ වී රාජකාරි කිරීමට සිදු වුණා. එමඟින් ඔහුට තව තවත් අත්දැකීම් ලැබුණා. ඒ අයුරින් කාලය ගෙවී යද්දී ජෝන්ට සමාගමේ ණය එකතු කිරීමේ රාජකාරිය ද පැවරුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ මාසික වැටුප ඩොලර් 58 දක්වා ඉහළ ගියා. ආරම්භයේ දී ඩොලර් 16ක මාසික වැටුපක් ලබාගත් ජෝන් උත්සාහය සහ කැපවීම තුළින් වසර 4ක් අවසානයේ දී ඩොලර් 58ක් දක්වා සිය මාසික වැටුප වැඩි කර ගත්තා. 

හවුල් ව්‍යාපාරයකට සම්බන්ධ වීම 

1859 දී සිය රැකියාවෙන් ඉවත් වුණු ජෝන් තරුණයා ඔහුගේ මිතුරකු වුණු මොරිස් ක්ලාක් සමඟ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කළා. ඒ වන විට ජෝන් ඩොලර් 800ක මුදලක් ඉතිරි කර ගෙන සිටියා. ව්‍යාපාරයට හවුල් වීම සඳහා එම මුදල ප්‍රමාණවත් වුණේ නැහැ. එනිසා ඔහු සිය පියාගෙන් 10% පොළියක් යටතේ ඩොලර් 1000ක මුදලක් ණයට ලබා ගත්තා. ඉන් පසු ව ඔහු මොරිස් සමඟ එක්ව ව්‍යාපාරය ආරම්භ කළා.

එහි දී ඔවුන් අමෙරිකානු සොල්දාදුවන්ට අවශ්‍ය ආහාර සහ අනිකුත් පහසුකම් ලබාදීම සිදු කළා. එම ව්‍යාපාරය මඟින් ඔවුන් දෙදෙනාට පළමු සහ දෙවන වසරවල දී පිළිවෙළින් ඩොලර් 4400ක සහ 17000ක ලාභයක් ලැබුණා. ඒ අතරතුර ආරම්භ වුණු සිවිල් යුද්ධය හේතුවෙන් ඔවුන්ගේ සමාගමේ ලාභය දෙගුණ තෙගුණ වුණා. එනිසා ජෝන්ට අති විශාල මුදලක් උපයා ගැනීමට අවස්ථාව ලැබුණා.

අමෙරිකානු සිවිල් යුද්ධය – gettyimages.com

 

තෙල් පිරිපහදු කිරීමේ ව්‍යාපාරය ඇරඹීම

අමෙරිකානු සිවිල් යුද්ධය ඇවිළී යද්දී බොර තෙල් බැරලයක මිල ශීඝ්‍රයෙන් ඉහළ යන්නට පටන් ගත්තා. ඒ අනුව 1862 වසර වන විට ඩොලර් සත 35කට තිබුණු බොරතෙල් බැරලයක මිල ඩොලර් 13.75ක් දක්වා ඉහළ ගියා. එලෙස බොරතෙල් මිල ඉහළයාමත් සමඟ ම ජෝන්, තෙල් පිරිපහදු කිරීමේ ව්‍යාපාරයට අත ගැසීමට තීරණය කළා. එහි දී සැමුවෙල් ඇන්ඩෘස් නම් පුද්ගලයා ඔහුගේ ව්‍යාපාර හවුල්කරුවා බවට පත්වුණා.

එදා ඔවුන් දෙදෙනා පෙනිසිල්වේනියාවේ ටයිටස්විල් හි තෙල් ළිං මිල දී ගනිමින් සිය ව්‍යාපාරය ආරම්භ කළා. එමඟින් ලැබුණු ලාභයෙන් ක්ලීව්ලන්ඩ් ප්‍රදේශයේ තෙල් ළිඳක් ඉදිකරමින් ව්‍යාපාරය තව තවත් පුළුල් කළා. ඒ අයුරින් වසරින් වසර ලැබුණු ආදායම වැඩි වෙද්දී ව්‍යාපාරය ක්‍රමවත් අයුරින්  ඉදිරියට ගෙනයාමේ අරමුණ ඇතිව 1865 දී රොක්ෆෙලර් සහ ඇන්ඩෘස් තෙල් සමාගම නිර්මාණය කළා. එම තෙල් සමාගම ආරම්භ කිරීමෙන් පසුව පළමු වසර අවසානයේ ලාභය ඩොලර් ලක්ෂ 2ක් ලෙස සටහන් වුණා.

අමෙරිකාවේ පැරණි තෙල් ළිං – texashistory.unt.edu

 

ව්‍යාපාරික ලෝකයේ ඉහළට යාම 

1860 දශකයේ අග භාගය වෙද්දී  අමෙරිකාවේ බොරතෙල් මිල විශාල වශයෙන් උච්චාවචනය වුණා. එනිසා බොරතෙල් මිල ස්ථාවර අගයක පවත්වා ගැනීම සඳහා සමාගමක් පිහිටුවීමේ  අවශ්‍යතාව මතු වුණා. ඒ මොහොතේ දී ඔවුන් දෙදෙනා සමඟින් හෙන්රි ෆ්ලැග්ලර් නම් තෙල් පිරිපහදු හිමිකරුවා ද එකතු වුණා. ජෝන්ගේ සොහොයුරු විලියම්, ඔහුගේ මස්සිනා වුණු ජෙනිංස් සහ ස්ටීවන් හාර්ක්නස් සමාගම ආරම්භ කිරීමේ කාර්යය සඳහා සම්බන්ධ වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 1870 ජනවාරි 10 වැනිදා ස්ටෑන්ඩර්ඩ් තෙල් සමාගම බිහිවුණා.

එම සමාගමේ කොටස්වලින් 30%ක් ජෝන් රොක්ෆෙලර් යටතේ පවතිද්දී ඉතිරි සමාගම් කොටස් සෙසු හවුල්කරුවන් අතරේ බෙදී ගියා. එදා ස්ටෑන්ඩර්ඩ් සමාගම ඉතාමත් අඩු මිලකට තෙල් සැපයීම සිදු කළා. එනිසා ස්ටෑන්ඩර්ඩ් සමාගම නිෂ්පාදනය කළ බොරතෙල්වලට විශාල ඉල්ලුමක් ඇති වුණා. ඒ සමඟ ම අනිකුත් බොරතෙල් පිරිපහදු සමාගම් කඩාවැටෙන්නට පටන් ගත්තා. එනිසා 1870  දශකය තුළ ස්ටැන්ඩර්ඩ් සමාගම අමෙරිකාවේ ප්‍රමුඛත ම බොරතෙල් නිෂ්පාදන සමාගමක් බවට පත්වුණා. 

ස්ටෑන්ඩර්ඩ් ඔයිල් සමාගම සම්බන්ධ දැන්වීමක් – gettyimages.com

 

බොරතෙල් නිෂ්පාදනයේ ඒකාධිකාරය සියතට ගැනීම 

1870 දශකයේ දී අමෙරිකාව පුරා තෙල් පිරිපහදු කිරීමේ යන්ත්‍ර මිල දී ගත් ජෝන් සිය සමාගම තව තවත් පුළුල් කළා. ස්ටෑන්ඩර්ඩ් සමාගමේ ඉතිරි කොටස්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මිල දී ගත් ජෝන් සිය ආදායම ද වැඩි කර ගත්තා. 1879 වන විට ස්ටෑන්ඩර්ඩ් සමාගම අමෙරිකාවේ තෙල් පිරිපහදුවලින් 90%ක් පාලනය කළා. එම සමාගම නිෂ්පපාදනය කළ තෙල්වලින් 70%ක් විදෙස් රටවල්වලට අපනයනයත් කළා. 1882 වෙද්දී තවත් පුළුල් ව තිබුණු ස්ටෑන්ඩර්ඩ් සමාගමට ගෘහස්ථ තෙල් ළිං 20000ක් සහ නළ මාර්ග සැතපුම් 4000ක් හිමි ව තිබුණා. 

ජෝන් රොක්ෆෙලර් – famouspeople.com

 

ඒ වන විට ලක්ෂයකට අධික සේවකයන් පිරිසක් එම සමාගමේ සේවය කළා. එම කාලය තුළ ටයිඩ්වෝටර් තෙල් සමාගම ස්ටෑන්ඩර්ඩ් සමාගම සමඟින් තරගයට පැමිණියා. ජෝන් රොක්ෆෙලර්ගේ මනා පරිපාලන හැකියාව හමුවේ ස්ටෑන්ඩර්ඩ් සමාගමේ බොරතෙල් ඒකාධිකාරය බිඳ දැමීමට නව සමාගමට හැකියාවක් ලැබුණේ නැහැ. 1880 දශකය අග භාගය වෙද්දී ස්ටෑන්ඩර්ඩ් තෙල් සමාගමට අමෙරිකානු බොරතෙල් නිෂ්පාදනයේ ඒකාධිකාරය හිමි ව තිබුණා.

ලොව ලොකු ම ධනවතා බවට පත්වීම 

බොරතෙල් නිෂ්පාදනයේ නිරත වෙමින් සිටිය දී ජෝන් තවත් ව්‍යාපාරවල යෙදුණා. එයින් යකඩ සහ යපස් ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරය කැපී පෙනුණා. එමඟින් ද ඔහුට සැලකිය යුතු තරම් විශාල ආදායමක් ලැබුණා. ඒ අනුව 1890 දශකය ආරම්භ වෙද්දී ජෝන් රොක්ෆෙලර්ගේ සමස්ත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 336ක් ලෙස සටහන් වුණා. ඒ වාගේම ඔහුගේ දෛනික ආදායම ඩොලර් 25,000 ඉක්මවා ගියා.

එලෙස ජෝන් රොක්ෆෙලර් සතු වුණු විශාල වත්කම් ප්‍රමාණය හේතුවෙන් 1890 වසර වෙද්දී ඔහු ලොව ධනවත් ම මිනිසා ලෙසින් වැජඹුණා. කුඩා සමාගම් කිහිපයක් එක් වර ම අධික මුදලකට විකිණීමෙන් පසු ව ඔහුට එම තත්ත්වය කරා ළඟා වීමට හැකියාව ලැබුණා. එහි දී ඔහු අභිබවා ගියේ කොරනේලියස් වෑන්ඩර්බිල්ට් නම් මහා ධනවතාගේ වත්කම් ප්‍රමාණය යි. 

රොක්ෆෙලර් සම්බන්ධව ඇඳි කාටූනයක් – explorepahistory.com

 

හදිසියේ අසනීප වීම සහ සේවයෙන් විශ්‍රාම යාම 

1890 දශකයේ මුල් භාගය වෙද්දී ජෝන් මානසික අවපීඩනය සහ ආහාර ජීර්ණ ගැටලු හේතුවෙන් පීඩා වින්ඳා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු දිගින් දිගට ම අසනීප වුණා. ඒ අතරතුර ඔහුගේ හිසකෙස් ගැල වී යාමේ රෝගයක් ද ඇති වුණා. එමඟින් ජෝන්ගේ පෙනුම සම්පූර්ණයෙන් ම වෙනස් වුණා. එදා ලෝකයේ සිටි දක්ෂත ම වෛද්‍යවරුන් යටතේ ප්‍රතිකාර ලබාගත් ජෝන් සම්පූර්ණයෙන් ම සුවය ලැබුවා.

ඔහුට ව්‍යාපාරවල යළි නිරත වීමට තරම් ශරීර ශක්තියක් තිබුණේ නැහැ. එනිසා ඔහු ෆෙඩ්‍රික් ගේට්ස් නම් පුද්ගලයා ඔහුගේ කළමනාකරුවා ලෙසින් සේවයට එකතු කර ගත්තා. ඉන් පසුව ජෝන්ගේ සියලු ම ව්‍යාපාර කටයුතු මෙහෙයවීමේ වගකීම ගේට්ස්ට පැවරුණා. සියලු ම වගකීම් කළමනාකරුවාට පැවරීමෙන් පසුව ජෝන් සේවයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළා. ඒ අනුව ඔහු 1897 දී සේවයෙන් විශ්‍රාම ගියා. සේවයෙන් විශ්‍රාම යාමෙන් පසුව ඔහු විවේකි සුවයෙන් කල් ගත කරමින් ව්‍යාපාර පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. 

පුණ්‍ය කටයුතු සඳහා දැක්වූ දායකත්වය

ඔහු දුප්පතකු ලෙස ජීවිතය ආරම්භ කළ නිසා සෑම විට ම දුප්පතුන්ට ආධාර උපකාර කළා. එහි දී දුප්පත් දරුවන්ට ඉහළට ඉගෙන ගැනීම සඳහා ආධාර අරමුදලක් පිහිටුවීමට කටයුතු කළා. චිකාගෝ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම සඳහා ද 1890 දශකය මුල් භාගයේ දී ඔහු විශාල ධනයක් පරිත්‍යාග කළා. ඉන් නොනැවතුණු මෙම මහා දානපතියා 1901 දී රොක්ෆෙලර් වෛද්‍ය පර්යේෂණ ආයතනය බිහි කළා. ඒ අයුරින් අධ්‍යාපනය වෙනුවෙන් මහා ධනයක් වියදම් කළ මෙම සුවිශේෂී පුද්ගලයා  මිනිසුන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ආයතනයක් 1909 දී ආරම්භ කළා. එමඟින් දුප්පත් මිනිසුන්ගේ සෞඛ්‍යය ගැටලුවලට පිළියම් ලබාදුන්නා. එදා ජෝන්ගේ අරමුණ වුණේ ඔහුගේ ධනය උපයෝගී කරගෙන මිනිසුන් සුවපත් කිරීම යි.

චිකාගෝ විශ්වවිද්‍යාලය 1890 දශකයේ දී – chicagomaroon.com

 

සැඳෑ සමය

දශක කිහිපයක් පුරා වෙහෙස මහන්සි වී උපයාගත් මුදලින් සිය ජීවිතයේ අවසන් කාලය සැපවත් අයුරින් ගත කිරීමට ජෝන්ට හැකියාව ලැබුණා. ඔහුගේ ජීවිතයේ සැඳෑ සමයේ දී ව්‍යාපාර කටයුතු මෙහෙයවීමේ වගකීම දරුවන් වෙත පැවරූ ජෝන් සැහැල්ලුවෙන් කාලය ගත කළා. එනිසා ඔහුට වසර 98ක් ආයු වැළඳීමට හැකි වුණා. දිගු කලක් තිස්සේ පැවති ධමනි රෝගය උත්සන්න වීම හේතුවෙන්ජෝන් රොක්ෆෙලර්  1937 මැයි 23 වැනිදා සදහට ම දෙනෙත් පියා ගත්තා. මිය යන විටත් ඔහු සන්තකයේ ඩොලර් 26,410,837ක් තිබුණා. එම මුදල ඔහුගේ අන්තිම කැමති පත්‍රයට අනුව දරුවන්ට සහ පුණ්‍යාතනවලට බෙදා දුන්නා. 

කවරයේ ඡායාරූපය- ජෝන් රොක්ෆෙලර් සම්බන්ධව ඇඳි කාටූනයක් - ushistory.org 

මූලාශ්‍ර:

ohiohistorycentral.org

pbs.org

history.com  

Related Articles