Pirates of the caribbeanහි ජැක් ස්පැරෝව්ගේ සැබෑ කතාව

Pirates of the Caribbean පසුගිය දශක 2ක කාලය තුළ ලොව පුරා ජනප්‍රියත්වයට පත් වුණු චිත්‍රපට මාලාවක්.  ජැක් ස්පැරෝව් නම් මුහුදු මංකොල්ලකරුවා එම චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය බවට පත් වුණා. එම චරිතය සඳහා පාදක වුණේ 16 වන සියවසේ මධ්‍යධරණී මුහුදු ප්‍රදේශය ආශ්‍රිත ව භීෂණය පතුරවාගෙන සිටි ජෝන් වෝඩ් නම් බ්‍රිතාන්‍ය මුහුදු කොල්ලකරුවාගේ ජීවිත කතාව යි.

මෙතැන් සිට ඔබට කියන්නේ එම මුහුදු මංකොල්ලකරුවා පිළිබඳ කතා පුවත යි.

Pirates of the Caribbean චිත්‍රපටයේ දර්ශනයක් – wallpaperflare.com

 

උපත සහ ජීවිතයේ මුල් අවධිය 

ක්‍රිස්තු වර්ෂ 1553 වසරේ කෙන්ට් ප්‍රාන්තයේ ෆාවර්ෂාම් නගරයේ දී ජෝන් වෝඩ් නම් මුහුදු කොල්ලකරුවාගේ උපත සිදු වුණා. ඔහුගේ පවුලේ විස්තර පිළිබඳ විස්තර පැරණි මූලාශ්‍රවල ලියැවී නැහැ. වෙරළබඩ ප්‍රදේශයක ජීවත් වුණු වෝඩ් එතරම් හොඳ අධ්‍යාපනයක් ලැබුවේ නැහැ. එනිසා ඔහු සිය රැකියාව වශයෙන් ධීවර කර්මාන්තය තෝරා ගත්තා. එමඟින් ඔහුට විශාල ආදායමක් නොලැබුණු නිසා දුක්ඛිත ජීවිතයක් ගත කළා.

එකල දේශ ගවේෂණ කටයුතුවල යෙදුණු නාවිකයන් සමඟ සමීප සබඳතා පැවැත්වීමට වෝඩ්ට අවස්ථාව ලැබුණා. එම නාවිකයන් මුහුදු ගමන්වල දී මුහුණ දුන් අති බිහිසුණු අත්දැකීම් පිළිබඳව වෝඩ් සමඟ පවසා සිටියා. එහි දී ඔවුන් පැවසූ මුහුදු කොල්ලකරුවන් පිළිබඳ කතා පුවත්වලට වෝඩ්ගේ සිත තදින් ම ඇදී ගියා. නිර්භීත තරුණයෙක් වුණු වෝඩ් එවැනි නිදහස් ජීවිතයකට ප්‍රිය කළා.

ෆාවර්ෂාම් නගරයේ පැරණි දසුනක් – wikiwand.com

 

මුහුදු කොල්ලකරුවෙක් වීමේ පළමු පියවර

ක්‍රිස්තු වර්ෂ 1585 දී බ්‍රිතාන්‍ය සහ ස්පාඤ්ඤය අතර යුද්ධයක් ආරම්භ වුණා. ඒ වන විට බ්‍රිතාන්‍යයේ රැජන බවට පත් ව සිටි පළමු එළිසබෙත් යුද්ධය සඳහා එක් වන ලෙස නිර්භීත තරුණයන්ට ආරාධනා කළා. එම කාල සමය දුප්පත් ධීවරයෙක් ලෙස දුක්ඛිත ජීවිතයක් ගත කරමින් සිටි වෝඩ් දෙවරක් නොසිතා යුද්ධයට සම්බන්ධ වීමට තීරණය කළා. එසේ  යුද්ධයට සම්බන්ධ වුණු වෝඩ් ප්‍රහාරක බළකායකට අනුයුක්ත කළා.

එහි දී ඔවුන්ට පැවරුණු රාජකාරිය වුණේ ස්පාඤ්ඤ නෞකාවන්ට පහර දී ඒවා කොල්ලකෑම යි. නිර්භීත තරුණයෙක් වුණු වෝඩ් ඉතාමත් දක්ෂ ලෙස සටන් කරමින් ප්‍රතිවාදීන් සතු ධනය විශාල ප්‍රමාණයක් අත්පත් කර ගත්තා. එනිසා දක්ෂ කොල්ලකරුවෙක් ලෙස නමක් දිනාගැනීමටත් ඔහුට හැකි වුණා. එපමණක් නොව ඔහුට නොසිතූ තරම් විශාල ධනයකට උරුමකම් කීමට ද  හැකියාව ලැබුණා.

1585-1603 බ්‍රිතාන්‍ය-ස්පාඤ්ඤ යුද්ධයේ අවස්ථාවක්- scribd.com

 

වෘත්තීයමය මුහුදු කොල්ලකාරයෙක් වීම 

හයවන ජේම්ස් රජතුමා ක්‍රිස්තු වර්ෂ 1603 දී බ්‍රිතාන්‍යයේ රජු බවට පත් වුණා. ඉන් අනතුරු ව ඔහු ස්පාඤ්ඤය සමඟ සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් යුද්ධය අවසන් වුණා. එම යුද්ධය අවසන් වීමෙන් පසුව එයට සම්බන්ධ වුණු තරුණයන්ට රජුගේ අධිකාරිය යටතේ පැවති නෞකාවල සේවය කිරීම සඳහා අවස්ථාව ලැබුණා.

එහි දී වෝඩ්, චැනල් බළඇණියට අයත් වුණු Lyon’s Whelp නෞකාවේ සේවයට එක් වුණා. එම නෞකාවේ තිබුණු තද නීතිරීති නිසා වැඩි කලක් යන්නට පෙර වෝඩ්ට සිය රැකියාව අප්‍රිය වුණා. ඔහු වාගේ ම අසතුටෙන් සේවය කළ තවත් තරුණ පිරිසක් නෞකාව තුළ සිටියා. 

6 වන ජේම්ස් රජතුමා – royal.uk

 

ඔවුන් විවේකයක් ලැබුණු සෑම අවස්ථාවක ම සාකච්ඡා කළේ නෞකාව තුළ ගෙවන කටුක ජීවිතය පිළිබඳ යි. එහි සිටි තරුණයන්ගේ සිහිනය වුණේ නිදහස් ජීවිතයක් ගත කරමින්  මුදල් යහමින් සොයා ගැනීම යි. එම තරුණ පිරිසේ සිතුම් පැතුම් තේරුම් ගත් වෝඩ් ඔවුන් ද එකතු කරගෙන නෞකාවෙන් පලා යාමට සැලසුම් කළා. ඉන් පසුව නෞකාව පෝර්ට්ස්මූත්  වරායට සේන්දු වුණු අවස්ථාවේ නෞකාවෙන් පැනගත් වෝඩ් ඇතුළු තරුණ පිරිස වරාය තුළ තිබුණු කුඩා නැවක් ද පැහැරගෙන පලා ගියා. එසේ පලා ගිය පිරිස මුහුදු කොල්ල කල්ලියක් ආරම්භ කළා. ජෝන් වෝඩ්ට එම කල්ලියේ නායකත්වය හිමි වුණා.

මධ්‍යධරණී මුහුදේ ආධිපත්‍යය පැතිරවීම 

නෞකාව පැහැර ගැනීමෙන් පසුව අයිල් ඔෆ් වයිට් දූපත වෙත ගිය වෝඩ් ඇතුළු පිරිස සිය මුල් ම කොල්ලය සිදු කිරීම සඳහා පිඹුරුපත් සකස් කළා. දින කිහිපයක් පුරා සිදු කළ සැලසුම් සාර්ථක ව ක්‍රියාත්මක කළ කොල්ල කල්ලිය වයලට් නම් නෞකාව සිය ග්‍රහණයට ගත්තා. ඉන් නොනැවතුණු කොල්ල කල්ලිය ප්‍රංශ වෙළෙඳ නෞකාවක් ද උපක්‍රමශීලී ව අල්ලා ගත්තා.

එහි දී වෝඩ් නෞකාවේ කපිතාන්වරයා සමඟ ව්‍යාජ මිතුරුකමක් ඇති කර ගැනීමෙන් පසුව නෞකාව කොල්ලකෑම විශේෂ සිදුවීමක් වුණා. එම කොල්ලය සාර්ථක කර ගැනීමෙන් පසුව වෝඩ් ඇතුළු පිරිස මධ්‍යධරණී මුහුද වෙත යාත්‍රා කළා. එහි සැරිසැරූ කොල්ල කල්ලිය තුවක්කු 32ක් සහිත ඕලන්ද නෞකාවක් අල්ලා ගත්තා. 

ජෝන් වෝඩ්  – historyextra.com

 

මාස කිහිපයක් තුළ සිදු කළ කොල්ලකෑම් මාලාව නිසා වෝඩ් ඇතුළු පිරිසට සැලකිය යුතු තරම් ධනය රැස් කරගැනීමට හැකි වුණා. එපමණක් නොව ඇති පදම් අවි ආයුධ එකතු කර ගෙන තම කොල්ල කල්ලියේ බලය වැඩි කර ගැනීමටත් හැකි වුණා. මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයේ රැඳී සිටි වෝඩ් ඇතුළු පිරිස කොල්ලකෑම්වල අඛණ්ඩව නිරත වුණා.

එනිසා එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිත ව විශාල භීෂණයක් පැතිර ගොස් තිබුණා. ජෝන් වෝඩ් ප්‍රමුඛ කොල්ල කල්ලියේ බිහිසුණු කොල්ලකෑම් නිසා වෙළෙඳ නෞකාවලට මධ්‍යධරණී මුහුද ප්‍රවේශමෙන් තරණය කිරීමට සිදු වුණා. ක්‍රිස්තු වර්ෂ 1606 වසර වන විට මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයේ ආධිපත්‍යය පතුරවාගෙන සිටි වෝඩ්ගේ කොල්ල කල්ලිය නිසා නාවිකයන් දැඩි ලෙස භීතියට පත් ව සිටියා. 

කොල්ල කල්ලිය ශක්තිමත් කිරීම 

මුහුදු කොල්ලකෑම් වඩාත් හොඳින් සිදු කිරීම සඳහා විශාල පිරිස් බලයක් අවශ්‍ය බව වෝඩ්ට අවබෝධ වුණා. එනිසා ඔහු අත්දැකීම් සහිත නාවිකයන් පිරිසක් සිය මුහුදු කොල්ල කල්ලිය සඳහා බඳවා ගත්තා. ඉන් නොනැවතුණු වෝඩ් සතුරන්ගේ යාත්‍රා විනාශ කරමින් ඒවායේ සිටි හැඩිදැඩි තරුණ නාවිකයන් බලහත්කාරයෙන් ම තම පිරිසට එකතු කර ගත්තා. එපමණක් නොව ඒවායේ තිබුණු නවීන පන්නයේ අවි ආයුධ රැසක් ද අත්පත් කර ගත්තා. 

ජෝන් වෝඩ් ඇතුළු පිරිස – badassoftheweek.com

 

එකල මුහුදු කොල්ලකරුවන් ජීවත් වුණු දූපත් අත්ලාන්තික් සාගරය ආශ්‍රිත ව පිහිටා  තිබුණා. එම දූපත්වලට ගිය වෝඩ් ඇතුළු පිරිස තව තවත් මුහුදු කොල්ලකරුවන් සිය කල්ලියට එකතු කර ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් වෝඩ්ගේ කල්ලියේ ශක්තිය තවත් වැඩි වුණා. රිචඩ් බිෂොප්, ඇන්තනී ජොන්සන්, විලියම් ග්‍රේව්ස්, ඇන්ඩෘ බාකර් එකල වෝඩ්ගේ කල්ලියේ සිටි ප්‍රබලත ම සාමාජිකයන් බවට පත්ව සිටියා. ටියුනීසියානු සුල්තාන්වරයාගේ ආරක්ෂකයෙක් වුණු උස්මන් ඩේ සමඟ ඇති කර ගත් එකඟතාවක් මත ටියුනීසියාවේ කඳවුරක් ඉදි කළ වෝඩ් හදිසි අවස්ථාවල දී සැඟවී සිටීමට එය භාවිත කළා. 

මහා නෞකාවක් කොල්ලකෑම නිසා සිදුවුණු කඩා වැටීම 

සිය මුහුදු කොල්ල කල්ලියේ බලය වැඩි කර ගැනීමෙන් පසුව එක දිගට ම කොල්ලකෑම් පෙළක් සිදු කළ වෝඩ් මහා ධනස්කන්ධයක් උරුම කර ගත්තා. ඔහු එයින් සෑහීමකට පත්වුණේ නැහැ. එනිසා තව තවත් නෞකා කොල්ල කමින් ධනය රැස්කිරීම ඔහුගේ එකම අභිප්‍රාය වුණා. ක්‍රිස්තු වර්ෂ 1607 අප්‍රේල් මාසයේ දී තුර්කිය සහ සයිප්‍රසය අතර ප්‍රදේශයේ සැරිසරමින් සිටි වෝඩ් ඇතුළු පිරිසට අති විශාල නෞකාවක් දැක ගන්නට ලැබුණා.

රෙනීරා ඊ සොඩරිනා නම් වුණු එය වැනීසියට අයත් වුණු වෙළෙඳ නෞකාවක්. ටොන් 15ක බරකින් යුක්ත වුණු එම නෞකාවේ වස්තු සම්භාරයක් තිබුණා. ධනයට අසීමිත ව කැදර වී සිටි වෝඩ් දෙවරක් නොසිතා නෞකාව වැටලීමට තීරණය කළා.

රෙනීරා ඊ සොඩරිනා නෞකාව – twitter.com

 

නෞකාවේ ආරක්ෂාව සඳහා විශාල භට පිරිසක් රඳවා සිටි නිසා සටන එතරම් ලෙහෙසි පහසු එකක් වුණේ නැහැ. සටන අතරතුර එල්ල වුණු ප්‍රහාරවලින් දෙපාර්ශවයට ම දැඩි හානි සිදු වුණා. වෝඩ්ගේ කල්ලියේ සාමාජිකයන් බුරුතු පිටින් මැරී වැටෙද්දී පවා ඔහු  සටන අඛණ්ඩ ව කරගෙන ගියා. එහි දී මුහුදු කොල්ලකරුවන් එල්ල කළ ප්‍රහාරවලින් නෞකාවට ද විශාල හානියක් සිදු වුණා.

පැය කිහිපයක් පුරා සිදු වුණු ද්වන්ධ සටනකින් පසු ව රෙනීරා ඊ සොඩරිනා නෞකාව අත්පත් කරගැනීමට වෝඩ් ඇතුළු පිරිසට හැකි වුණා. එම සටනේ දී වෝඩ්ගේ සගයන් 350කට දිවි අහිමි වුණා. එනිසා ඔහුගේ කොල්ල කල්ලියේ ශක්තිය දැඩි ලෙස හීන වුණා. එසේ අසීරුවෙන් අල්ලාගත් රෙනීරා ඊ සොඩරිනා නෞකාව ටික දිනකින් මුහුදුබත් වුණා. එනිසා එහි තිබුණු සියලු ම වස්තුව අත්පත් කර ගැනීමට වෝඩ් ඇතුළු පිරිසට හැකි වුණේ නැහැ. එම මෙහෙයුමෙන් බලාපොරොත්තු වුණු තරම් සාර්ථක ප්‍රතිඵල නොලැබුණු නිසා වෝඩ්ගේ කල්ලිය බිඳ වැටීමකට ලක් වුණා. 

නෞකාව අල්ලාගැනීමේ දී ඇති වුණු සටන – historyextra.com

 

ටියුනීසියාවේ ස්ථීර පදිංචියට යාම 

රෙනීරා ඊ සොඩරිනා නෞකාව කොල්ලකෑම නිසා වැනීසියේ පලකයා දැඩි ලෙස උරණ වුණා. ඔහු එංගලන්තයේ රජතුමාට වෝඩ් ඇතුළු කල්ලිය ගැන පැමිණිලි කළා. ඒ සමඟ ම රජතුමා උදහස් වී වෝඩ්ට අනතුරු ඇඟවීමක් කරමින් පවසා සිටියේ තවදුරටත් කොල්ලකෑම්වල නිරත වුණොත් දැඩි දඬුවම්වලට යටත්වීමට සිදුවනු ඇති බව යි. රජතුමාගේ අනතුරු ඇඟවීමට බිය වුණු වෝඩ් ඇතුළු පිරිස ටියුනීසියාවට පලා ගියා. ඉන් අනතුරු ව එහි තිබුණු කඳවුරේ රහසිගත ජීවිතයක් ගත කළා. 

ටියුනිස් නගරයේ පදිංචියට පැමිණ වැඩි කලක් යන්නට එහි විශාල මන්දිරයක් ඉදි කළ වෝඩ් සිය පිරිස සමඟ එහි සුඛෝපභෝගි ජීවිතයක් ගත කළා. ඒ අතරතුර ඉස්ලාම් දහම වැලඳගත් වෝඩ් සිය නම යූසුෆ් රීස් ලෙස වෙනස් කර ගත්තා. ඉන් අනතුරුව ඔහු ඉතාලි ජාතික කාන්තාවක් සමඟ විවාහ වුණා. එම විවාහය සිදු කර ගැනීමෙන් පසුව ද එංගලන්තයේ ජීවත් වුණු බිරියට මුදල් යැවීමට ඔහු අමතක කළේ නැහැ. ටියුනීසියාවේ පදිංචියට යාමෙන් පසුව ද කුඩා කොල්ලකෑම් සිදු කළ යූසුෆ් ඉදිරි අනාගතයේ ප්‍රයෝජනයට ගැනීම සඳහා තව තවත් ධනය රැස් කර ගත්තා.  

ජීවිතයේ අවසාන කාලය 

ක්‍රිස්තු වර්ෂ 1610 දී සිය මුහුදු කොල්ල කල්ලිය විසුරුවා හැරීමට කටයුතු කළ යූසුෆ් ඉන් පසුව විශ්‍රාම සුවයෙන් කාලය ගත කළා. ඔහුගේ එම තීරණයත් සමඟ ම කොල්ල කල්ලියේ සිටි ඇතැම් සාමාජිකයන් ඔහු හැර ගොස් වෙනත් මුහුදු කොල්ල කල්ලිවලට සම්බන්ධ වුණා. තවත් සමහර සාමාජිකයන් ඉතිරි කරගත් ධනය ආයෝජනය කරමින් ව්‍යාපාර ආරම්භ කළා. ජෝන් වෝඩ් හෙවත් යූස්ෆ් රීස් සිය ජීවිතයේ අවසාන කාලය ටියුනිස් නගරයේ මහා මන්දිරය තුළ ගත කළා. සිය ජීවිත කාලය පුරා උපයා ගත් ධනය වැය කරමින් සුඛෝපභෝගි ජීවිතයක් ගෙවූ යූසුෆ් ක්‍රිස්තු වර්ෂ 1622 දී වැලඳුණු රෝගයක් නිසා මරණයට පත් වුණා. 

කවරයේ ඡායාරූපය- ජෝන් වෝඩ් නම් මුහුදු කොල්ලකරුවාගේ චරිතයට පණ දුන් ජොනී ඩෙප් (suwalls.com)

මූලාශ්‍ර:

badassoftheweek.com

medium.com

maritimeprofessional.com

military-history.fandom.com

screenrant.com

aminoapps.com   

Related Articles

Exit mobile version