ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ අපූරු ජීවිතයෙන් බිඳක්

නූතන නවකතා කලාවේ කතන්දර රජු ලෙස සැලකෙන්නේ ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා යි. විසිවැනි සියවසේ මුල්ම යුගයේ දී සිංහල නවකතාව වර්ණයෙන් පුරවාලන්නට ඔහු සමත් වෙනවා. 1890 උපත ලබා 1957 දී මෙලොවින් සමුගත් වැල්ලවත්තආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා හෙවත් ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා විසින් රචනා කළ විජයබා කොල්ලය, සිරියාලතා, හිඟන කොල්ලා, කැලෑ හඳ, හඳපාන, දෛවයෝගය, සුනේත්‍රා ඇතුළු නවකතා කෘති ගොන්නක් වගේ ම කෙටිකතා රැසක් ද සිංහල සාහිත්‍යයට අපූරුවට පාර පෙන්වන්නට සමත් වුණා. සිල්වා ශූරීන්ගේ සංස්කෘත මිශ්‍ර භාෂා ශෛලිය ද අපූරු ලෙස පාඨකයා ව ග්‍රහණය කරගන්නට සමත් වූ බව විචාරකයන් ලියනවා.

ඩබ්ලිව්. ඒ. සිල්වාගේ සමීපතම පාඨකයෙක් මෙන්ම සමීප මිත්‍රයෙක් ද වූ කේ. එච්. ඒ. ධර්මසේකර විසින් කථා රජ කතාව නමින් 1963 පමණ කාලයේ දී ඩබ්ලිව්. ඒ. සිල්වා ශූරීන්ගේ ජීවිත කතාව රචනා කළා. මේ කෘතිය ද එක් විදියකට ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ නවකතාවක් මෙන්ම අපූරු සිදුවීම්වලින් පරිපූර්ණ කතාවක් රැගත් කෘතියක්.

ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා උපත ලබා ඇත්තේ වැල්ලවත්තේ බව එම කෘතියේ සඳහන් වෙනවා. වැල්ලවත්තේයැ යි කියද්දී අප සිහියට නඟාගත යුත්තේ වර්තමාන වැල්ලවත්ත නොවෙයි. 1900 පමණ කාලයේ දී වැල්ලවත්ත කියන්නේ සෑහෙන තරම් පිටිසර ගම්මානයක්. මේ සටහනෙන් අපි කතා කරන්නේ කථා රජ කතාව කෘතියේ එන අපූරු සිදුවීම් කිහිපයක් ගැන.

සිරියාලතා

ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා ලියූ පළමුවැනි නවකතාව වන්නේ සිරියාලතා නම් කෘතිය. මේ කෘතිය එවක තිබුණු අනෙක් නවකතා බොහොමයකින් වෙනස් වුණා. එක් අතකින් එකල තිබුණු නවකතා බොහොමයක් ආදර්ශ කතා, බණ කතා රැගත් කෘති වුණා. එහෙත් පැහැදිළි ව ම ඉංග්‍රීසි සාහිත්‍යයේ ආභාසය ලබා ඩබ්ලිව්. ඒ. සිල්වා රසවත් කතාවක් කියනු පිණිස සිරියාලතා නවකතාව ලිව්වා. ඔහු ඉතා ම තරුණ කාලයේ පටන්ගත් මේ කෘතිය පියාගේ වියෝව වැනි ඇතැම් හේතු නිසා මන්දගාමී වූ බව ‘කථා රජ කතාවේ’ කියනවා. කොහොම වුණත් කෘතිය අවසාන කරන ඩබ්ලිව්. එ්. සිල්වා මහතා කෘතිය ගැන එක්තරා හිමිනමකට කියනවා. එ් හිමිනම සිල්වා මහතාගේ නිවසට පැමිණ කෘතිය ඉල්ලාගෙන යන්නේ එය කියවා ලබාදෙන බව කියමින්.

සිරියාලතා පිටකවරය

මේ හිමිනම පන්සලට රැගෙන යන කෘතිය පන්සලට පැමිණෙන පුද්ගලයන්ට පෙන්වමින් එය තමන්ගේ කෘතියක් ලෙස හඟවන්නට පටන්ගන්නවා. කථා රජ කතාවේ කියැවෙන ආකාරයට බොහෝවිට මේ කෘතිය පෙන්වා ඇත්තේ කාන්තාවන්ට.

කෙසේ හෝ මේ බව නොදන්නා ඩබ්ලිව්. ඒ. සිල්වා පොත ඉල්ලාගෙන මුද්‍රණය කර තියෙනවා. ඉන්පසු ව ඇතැම් අය කියන්නට පටන්ගෙන ඇත්තේ මේ කෘතිය සිල්වාගේ නොව, අහවල් හිමිනමගේ බව.

‘ඔයා කොහේද ඔහොම වැඩක් කරන්නේ? ඒකට ඔයා මොන පිරිවෙනක ද ඉගෙන ගත්තේ? ඔය අර හාමුදුරුවන්ගේ වැඩක්. ඒ දවස්වල ඕක මට ඒ හාමුදුරුවෝ පන්සලේ දී කියෙව්වා.’ ඇතැමෙක් කියා තියෙනවා. කෘතියේ සැබෑ හිමිකරු ගැන වාදය වර්ධනය වී ගුටිබැට හුවමාරුවක් ද ඇති වූ බව කියනවා. බොහෝ දෙනෙක් තරුණ ඩබ්ලිව්. ඒ. සිල්වාගේ පෙනුම බලා මෙවැන්නක් මේ කොලුගැටයාට කළ නොහැකි බව අනුමාන කළ බව ද කියනවා.

තවත් වතාවක එකල ප්‍රකට වී සිටි එක්තරා පඬිවරයෙක් ඉදිරියේ ‘සිරියාලතා’ කියවා අදහස් විමසන්නට ඩබ්ලිව්. ඒ. සිල්වා තරුණයා උත්සාහ කොට තියෙනවා. ‘දුව ඇග්නස්’යැ යි කියමින් කෘතිය කියවන්නට පටන්ගනිද්දි පඬිවරයා විසින් කතාව නවත්වා ‘මුල ඉඳන් කියවන්න’යැ යි අණ කළ බව කියනවා. ‘මේ කියවන්නේ මුල ඉඳන් තමයි’ යනුවෙන් සිල්වා මහතා කියද්දී, නවකතාවක් ලියන්න කලින් නවකතාවක් පටන්ගන්නා හැටි ඉගෙනගන්නැ යි කියමින් ඒ පඬිවරයා සිල්වාට බැණවැදුණු බව කියනවා.

මෙවැනි සමකාලීන සමාජයේ ‘හොඳ’යැ යි පිළිගැනීමට අනුව ‘සිරියාලතා’ හොඳ කෘතියක් නොවුණත් තමන්ගේ ම වියදමින් කෘතිය පළකරන්නට තරම් එවකට 18 හැවිරිදි තරුණයෙක් වූ ඩබ්ලිව්. ඒ. සිල්වා තරුණයා නිර්භීත වූ බව කියනවා. මෙසේ මුද්‍රණය කළ පොත රැගෙන පෝස්ටරයක් ද මුද්‍රණය කරවාගත් මේ තරුණ ලේඛකයා කොළඹ ජේ. ඩී. ප්‍රනාන්දු නම් පොත් වෙළඳසැලකට ගිහින් තියෙනවා.

ඒ වෙළඳසැලේ කළමනාකරු සහ තරුණ ලේඛකයා අතර මෙබඳු සංවාදයක් ඇතිවෙලා.

‘මොකක්ද මේ පොත?’

‘සිරියාලතා’

‘මොකක්ද සිරියාලතා කියන්නේ?’

‘මේක නවකතාවක්’

‘කවුද කර්තෘ?’

‘මම’

‘එහෙනම් හොඳට ඇති, ඕවා විකුණන්න බැහැ මහත්තයා. සිරිසේන මහත්තයාගේ නවකතා විතරයි විකිණෙන්නේ.’

‘විකුණුනොත් කොමිස් අඩුකරගෙන මුදල් දෙන්න. නොවිකුණුනොත් මම පොත් ආපසු ගෙනියන්නං.’

‘බෑ! බෑ! කීයටවත් අපි ඕවා බාරගන්න සතුටු නැහැ. මෙහෙ තියන්න එපා.’ කළමනාකරු එසේ අවසාන පිළිතුර ලබා දී තියෙනවා.

අන්තිමේදී මේ කෘතිය කේ. ඩී. පෙරේරා නම් වෙළඳසැලට ලබාදෙනවා. එතැනිනුත් මේ පොත විකිණෙන්නේ නැතිවේවියැ යි උපදෙස් ලැබී ඇතත් විකිණුනොත් මුදල් ලබාදෙන පොරොන්දුව පිට පොත් බාරගෙන තියෙනවා. කොහොම වුණත් පොත් වෙළඳසැල් පිළිබඳ බලාපොරොත්තු නොතැබූ මේ ධෛර්යවන්ත තරුණ ලේඛකයා කොළඹ නොරිස් වීදියේ සහ මහ වීදියේ සුරුට්ටු කඩ සියල්ලෙහි ම පොත් දහය බැගින් තබා පොස්ටර් එල්ලා තියෙනවා. සති පහක් යනතුරු පොත් විකිණී නැහැ. එහෙත් සති කිහිපයකින් පසු ව පුවත්පත් කිහිපයකම පොතට සුභදායක ප්‍රතිචාර ලැබෙද්දී පොත විකිණෙන්නට පටන්ගත් බව කියනවා.  

පෙම්වතිය

තරුණ කාලයේ දී ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා පෙම් කළ අසල්වැසි තරුණියක් ගැන අපූරු කතාවක් ද ‘කථා රජ කතාව’ කෘතියේ එනවා. මාසේ පෝය දිනෙක, මුළු ගම ම පන්සල් ගිය මොහොතක ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා සහ පෙම්වතිය පන්සල් නොගොස් රහසින් තරුණියගේ නිවසේ දී හමුවෙන්නට සැලසුම් කරනවා. මේ තරුණියට ඇගේ නිවසෙන් විවාහයක් කතා කළ නිසා, මේ දෙදෙනාගේ ආදර කතාවේ ඊළඟට කුමක් කරන්නේදැ යි කතාබහ කරගැනීමට යි මේ දෙපළ මෙසේ හමු වී ඇත්තේ.

නිවසේ දී රාත්‍රියේ හමුවෙන මේ දෙදෙනා බොහෝ දේ කතා කරන බව කියනවා. සිල්වා තරුණයාගේ මව මේ දෙදෙනාගේ ආදරය ගැන දැනගෙන ඇති බවත්, තරමක් ආර්ථික වශයෙන් සිල්වා පවුලට වඩා දිළිඳු පෙම්වතිය ව ඈතින් තබාගන්නා ලෙස තදින් උපදෙස් දී ඇති බවත් ඇය ඔහුට කියනවා. ඔහු කෙසේ හෝ දෙදෙනා එක්විය යුතු බව කියනවා. දෙදෙනාගේ අනාගතය ගැන, කළ හැකි දේවල් ගැන මෙන්ම ඔහු පැළඳගෙන ආ බුරුම සෙරෙප්පු කුට්ටම ගැන පවා දෙදෙනා කතාබහේ සිටිනවා.

Caption

 

මේ නිවසේ ඇත්තේ ඉදිරිපස දොරක් පමණක්ලු. මේ දෙදෙනා කතාබහ කරන අතරේ එක්වර ම දොරට තට්ටු කරන්නේ තරුණියගේ මව. ඇය පිංකම අහවර වෙන්නට පෙර ගෙදර ඇවිත්.

පෙම්වතිය ඔහුට අතින් සන් කොට යාබද අඳුරු කාමරයේ සැඟවෙන්නැ යි කීවාලු. කලබලයේ එක සෙරෙප්පුවක් පමණක් දාගන්නා ඔහු අනෙක් සෙරෙප්පුවට පයින් ගසාගෙන කාමරයේ හැංගුණාලු.

නිවසේ දොර අරින පෙම්වතිය දකින්නේ තමන්ගේ මව සමග සිල්වා මහතාගේ මවත්, තමන්ගේ මව විසින් තමන්ට විවාහ කරවා දෙන්නට සූදානම් වන මනමාලයාත් පැමිණ ඇති බව. අසනීප වේශයක් මවාගෙන පන්සල් නොගොස් ගෙදර නතර වී ඇති ඇය අසනීපය තවමත් අඩු නැති බව පෙන්වමින් නැවත ඇගේ කාමරයට ඇවිත්.

‘මට නිදිමතයි. මට අමාරුයි.’ තරුණිය කියද්දී තරුණියගේ මව එහාපැත්තේ අඳුරු කාමරයට යන්නට සූදානම් වී ඇත්තේ තරුණියට ඒ කාමරයේ නිදාගන්නැ යි කියමින්. එහෙත් තරුණිය සහ සිල්වාගේ මව ඇය ඒ කාමරයට යෑම නවත්වා තියෙනවා.

මේ සිදුවීමෙන් පසු ව මනමාලයාවත්, තරුණියගේ මවත් උණුවතුර ගෙනෙන්නැ යි සිල්වාගේ මව විසින් කුස්සියට පිටත් කරවනවා. තරුණිය දෙසට ළංවෙන සිල්වාගේ මව රහසින් ඈට ‘දෙකෙන් එකයි’ යනුවෙන් කියනවා. තරුණියට ද එය කී විගස තේරුම් ගොස් ඇත්තේ මේ කියන්නේ කාමරයේ ඉතිරි වී ඇති සෙරෙප්පුව ගැන කියා. අපහසුතාවයට පත් වූ ඇය කියා ඇත්තේ ‘කලබලයට මගේ එකක් දාගෙන ගොසින්. ඒ නිසයි දෙකෙන් එක කියා.’ එසේ කියමින් තරුණිය සිනාවුණත් ඔහුගේ මව නම් සිනාසී නැහැ. ‘නම්බුව රැකගෙන දැන්වත් පිටවෙනවා හොඳයි.’ කේන්තිය මුසු වූ ගැඹුරු හඬින් ඇය මඳක් හඩනඟා එසේ කීවාලු. ඒ කීමත් සමග අප කථානායකයා අඳුරු කාමරයෙන් එළියට පැන අනෙක් පිම්මෙන් නිවසෙන් එළියට පැන කළුවරේ සැඟ ව ගිය බව කියනවා. ඔහුගේ ඒ ප්‍රේමය මේ සිදුවීමෙන් නැවතුණු බව කියනවා. පසු කාලයක සිල්වා මහතා ලියූ ‘දෙකින් එක’ නම් කෙටිකතාවට ආභාෂය ලැබෙන්නේ මේ සැබෑ සිදුවීම ඇසුරෙනුයි.

හිඟන කොල්ලා

ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා ලියූ ‘හිඟන කොල්ලා’ නවකතාව අපූරු කතා රසයක් මවන්නට සමත් නවකතාවක්. දිනක් රාත්‍රියක මන්නාරම් යනු පිණිස දුම්රියේ පළමු පන්තියේ නිදන මැදිරියකට සිල්වා මහතා ගොඩවෙනවා. නිදන මැදිරියක දී කුඩා කාමරයක් තව කෙනෙකු හා බෙදාහදාගන්නට වෙනවා. සිල්වා මහතාට කාමරය බෙදාහදාගන්නට සිදු වී ඇත්තේ මුදලාලි කෙනෙකු සමග යි. රාත්‍රියේ දුම්රිය මැදිරියෙහි විදුලි බල්බය නොනිවා පොතක් කියවමින් මේ මුදලාලි ගමන් කරනවාලු.

‘හිඟන කොල්ලා’ චිත්‍රපටියෙන් ( http://www.sarasaviya.lk )

සිල්වා මහතා පළමුවැනි වතාවේ බල්බය නිවන්නැ යි ඉල්ලුවාලු. ‘හොඳ පොතක් හම්බවුණා. තව ටිකයි තියෙන්නේ. ඉක්මනින් කියවලා නිවන්නම්’යැ යි කී මුදලාලි දිගටම පොත කියෙව්වාලු. රෑ මැදියමටත් ළංවෙද්දී ඉවසිය නොහැකි තැන විදුලි බල්බය නිවන්නැ යි සිල්වා මහතා තදින් මුදලාලිට බැන්නාලු.

‘මහත්තයා, මේක වීසිකර දාන්න පොතක් නෙවෙයි. හොඳ සිංහල පොතක්. මහත්තයාලා ඉංග්‍රීසි කට ගාගෙන කලිසම් දමාගත්තාට මේවායේ අගේ දන්නේ නැහැ.’යැ යි කියමින් මුදලාලි ද එවර සිල්වා මහතාට බණින්නට පටන්ගත්තාලු.

‘මොකක්ද ඔය තරම් වැදගත් පොත? බණ පොතක්ද?’ එවර සිල්වා මහතා මුදලාලිගෙන් එසේ ඇහුවේ කේන්තිය මුසු හඬෙන්මලු. ‘හිඟන කොල්ලා. මේක සිංහල නවකතාවක්’ කියා තදින් සිල්වාට කී මුදලාලි ‘නමවත් දන්නවා ද දන්නෑ’ කියා තමන්ට ම කියාගත්තාලු.

ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා පසුකාලයක ලියන විදියට ඒ මුදලාලි පසුදින එළිවෙන තෙක්ම පොත කියැවීම පසෙක තබා මේ පොතක අගය නොදත් කලිසංකාරයාට බැණ වැදුණාලු. එලෙස බැණ වදිද්දී ‘මේ පොත ලීවේ මම’ කියා කීවොත් එය ද විහිළුවක් ලෙස මුදලාලි සලකනු ඇති නිසා සැබෑව කියන්නටත් බැරි වුණාලු. එහෙත් තමන්ගේ ජීවිතයේ අපූරු ම අත්දැකීමක් ලෙස මේ සිදුවීම ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා මතක තබා ගත්තාලු.

මෙවන් තවත් රසකතා බොහොමයක් ‘කථා රජ කතාව’ කෘතියෙහි එනවා. අතිවිශිෂ්ට ලේඛකයෙකුගේ සැබෑ ජීවිතය ගැන අපූරු සිදුවීම් මෙන්ම ආදර්ශවත් සිදුවීම් රැසක් මේ කෘතියේ තියෙනවා. ඒ සියල්ල දැනගන්නට නම් මේ අපූරු කෘතිය සොයාගෙන කියැවිය යුතුම යි.

Related Articles