Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ධවල මන්දිරයේ සැරිසරන ඒබ්‍රහම් ලින්කන් අවතාරය ගැන කතා

16 වන එක්සත් ජනපද ජනාධිපතිවරයා වූ ඒබ්‍රහම් ලින්කන් (1861-1865) මහත් ආන්දෝලනයකට තුඩු දුන් දේශපාලන චරිතයක්. අමෙරිකාවේ පැවති සිවිල් යුද්ධය ජයග්‍රහණය කළ ලින්කන්, එකල එහි තිබූ වහල් සේවය නිම කිරීමේ පුරෝගාමියා ද වූවා. ඒබ්‍රහම් ලින්කන් නිහතමානී ජනපතිවරයකු වූ බව ඔහු පිළිබඳ ලියවුණු කථා, ලිපි සහ වාර්තා බොහෝමයක සඳහන් ව තිබෙනවා. ඔහු තුළ වූ නොපසුබට උත්සාහය සහ අධිෂ්ඨානය, මොහු ජාතියේ ඉහළ ම රාජ්‍ය තනතුර දක්වා රැගෙන යාමට මනා පිටිවහලක් සැපයූවා.

තමාගේ ධූර කාලය නිම වීමටත් ප්‍රථම අවාසනාවන්ත ඝාතනයක ගොදුරක් වීමට ජනපති ලින්කන්ට සිදු වනවා. ඔහුගේ දේශපාලන මතිමතාන්තරවලට ප්‍රතිවිරුද්ධ ව ක්‍රියා කළ ජොර්ජ් විල්කීස් බූත් නමැති පුද්ගලයා ජනපති ලින්කන්ගේ ඝාතකයා වූවා. ලින්කන් ජනපතිවරයා හා බැඳුණ ඇතැම් සංසිද්ධි වර්තමානයටත් එකතු වී තිබෙන්නේ ඔහුගේ මරණින් පසුව යි.

ලින්කන් ජනපතිවරයාගේ අවතාරය ධවල මන්දිර කොරිඩෝවල සහ කාමරවල අද්භූත ලෙස සැරිසරන අයුරු සියවසකට වැඩි කාලයක සිට කිහිපදෙනකු ම දැක තිබීම මෙයට හේතුව යි. එක්සත් ජනපදය පාලනය කළ අතීත ජනපතිවරුන්, ජනපති ආර්යාවන්, සුවිශේෂ අමුත්තන් සහ ධවල මන්දිර කාර්ය මණ්ඩල සාමාජිකයන් ද ලින්කන් ජනපති අවතාරය දැක තිබුණු බව හෝ ඔහු තමන් ළඟ සිටින ආකාරය දැනී තිබුණු බව පවසා සිටියා.

ඒබ්‍රහම් ලින්කන් මහත් ආන්දෝලනයකට තුඩු දුන් දේශපාලන චරිතයක් – www.history.com

ඒබ්‍රහම් ලින්කන් විමුක්තිදායකයාගේ අවතාරය නිසැකව ම දුටු බවට තහවුරු කළ හැකි සාක්ෂි කිසිවක් පොදු වහරේ දක්නට නොලැබීම, ඔහුගේ අවතාරය ධවල මන්දිරයේ සිටින බවට වන කතාව හුදෙක් ජනප්‍රවාදයකට පමණක් සීමා කිරීමට සමත් වනවා.

තම මරණය සිහිනෙන් දුටු ඒබ්‍රහම් ලින්කන්

1864 වසරේ පැවති එක්සත් ජනපද ජනපතිවරණයෙන් නැවතත් එම ධූරයට තේරී පත් ව සිටින කාලයේ ඒබ්‍රහම් ලින්කන් යම් ශාරීරික වෙනස් වීමකට ලක් වනවා. ඔහුගේ මුහුණ මතුපිට ගැඹුරු රේඛා මතුව තිබීම සහ ඇස් යට තද කළු පැහැයක් ගෙන තිබීම යනාදිය එහිදී සිදු ව තිබුණා. සිවිල් යුද්ධය පැවති අවධියේ අණ දෙන හමුදා නිලධාරියා ලෙස කටයුතු කළ හෙතෙම විවේකීව සිටියේ අල්ප වශයෙනුයි.

ජනපති රාජකාරියේ යෙදී සිටියදී පවා ප්‍රමාණවත් තරම් විවේකයක් ලබා නොගත් ලින්කන්, ඇතැම් රාත්‍රින් නිදි වර්ජිතවත් ගත කළා. ඉහළ ම රාජ්‍ය ධූරයේ සිටින කාලයේදීත් අතිශය කාර්යය බහුල රාජකාරී දිවියක් ගත කළ ඒබ්‍රහම් ලින්කන්ට සිය පෞද්ගලික දිවිය නිරවුල්ව ගෙවීමට නොහැකි වූවා. සතුටට වඩා අසතුටේ ග්‍රහණයට නතු ව සිටීමට ඒබ්‍රහම් ලින්කන්ට සිදු වූයේ මෙයින් අනතුරුව යි. තම මරණය සිදුවන අයුරු ලින්කන් ජනපතිවරයා සිහිනෙන් දුටුවේ ද මෙවන් කාල වකවානුවකදී යි.

1865 වසර මුල සැන්දෑවක ඒබ්‍රහම් ලින්කන් තම සමීපතමයකු වූ වෝඩ් හිල් ලැමොන්ට තමා දුටු සිහිනයක අන්තර්ගතය සවිස්තරාත්මක ව විස්තර කරන්නට වූවා. ජනපතිවරයා පවසන්නට වූ එම සිහිනය හෙතෙම සිය සටහන් පොතේ මෙලෙස ලියා තැබුවා.

ධවල මන්දිර පහත මාලයේ නැගෙනහිර කාමරයට ඇතුළු වූ මා හට දැකගත හැකි වූයේ කැටෆල්ක් වේදිකාවක්’ – images.theconversation.com

‘මීට දින දහයකට ප්‍රථම මා නින්දට ගියේ බොහෝ ප්‍රමාද ව යි. යහනට වැටුණ සැණින් නිදි දෙව් දුවගේ ආශිර්වාදය ලබා ගත් මා විශේෂ සිහිනයක් දුටුවා. එම සිහිනයට අනුව මා සිටියේ ධවල මන්දිරය තුළ යි. මන්දිරය පුරාවට මරණාසන්න නිශ්ශබ්දතාවක් පවතින බවක් මට දැනුණා. නිශ්ශබ්දතාව පරයා බොහෝ දෙනෙක් අඬා වැලපෙන හඬත් මට ඇසුණේ මින් පසුව යි. නිදන කාමරයෙන් පිට ව පහළ මාලයට පැමිණීමට එවිට මා තීරණය කළා. පහත මාලයේ නැඟෙනහිර කාමරයට ඇතුළු වූ මා හට කැටෆල්ක් වේදිකාවක් දැකගත හැකි වූවා. (ක්‍රිස්තියානි අවමංගල්‍යයක දී හෝ අනුස්මරණ සේවාවක් අතරතුර මියගිය පුද්ගලයාගේ මිනී පෙට්ටියට හෝ දෙණට ආධාරකයක් සේ භාවිත කළ හැකි උස් වේදිකාවකි.)

1865 වසරේ ජනපති ලින්කන් ෆෝඩ් රඟහලේදී Our American Cousin නම් නාට්‍යය නරඹමින් සිටියදී ඔහුගේ දකුණු පිටුපසින් පැමිණි ජොර්ජ් විල්කීස් බූත් ජනාධිපති ලින්කන්ට වෙඩි තබා පැන ගියා – www.history.com

මෙම කැටෆල්ක් වේදිකාව අවමංගල්‍යය චාරිත්‍රවලට අනුව පිළියෙළ කළ දෙණකින් සමන්විත වූවා. මළ සිරුරට රාජ්‍ය අන්දමේ ගෞරවාචාර දැක්වීමට දෙණ වටා සොල්දාදුවන් කිහිපදෙනකුත් ස්ථානගත ව සිටියා. මිනිසුන් සමූහයක් එතැනට රැස් ව දුක බෙදාගනිමිනුත් ඇතමුන් මළ සිරුර දෙස ශෝකානුකූලව බලා සිට සුසුම් හෙළමිනුත් උන්නා.

‘ මෙලෙස මියගිය පුද්ගලයා කවුද? ’ දෙණ අසල සිටි එක් සොල්දාදුවකුගෙන් මා විමසා සිටියා. ‘ ඔහු අපේ ජනාධිපතිතුමා. ජනපතිතුමා මිය ගියේ සාහසිකයකුගේ ඝාතනයකින්.’ මගේ ප්‍රශ්නයට එලෙස පිළිතුරු ලැබුණා.’

ලින්කන්ගේ ඝාතනය එදා මාධ්‍ය වාර්තා කර තිබූ අයුරු – nbcnews.com

කැඩපතින් දුටු ප්‍රතිබිම්භ ද්විත්වය

ඒබ්‍රහම් ලින්කන් තම අනාගත මරණය ඉවෙන් දුටු පළමු අවස්ථාව මෙය නොවෙ යි. 1860 වසරේ පැවති එක්සත් ජනපද ජනපතිවරණයෙන් එම ධූරයට පළමු ව තේරී පත් වූ කාලවකවානුවක, ඉලිනොයිස් ස්ප්‍රින්ග්ෆීල්ඩ් හි පිහිටි සිය පෞද්ගලික නිවහනට ගොඩ වූ ලින්කන් යම් අද්භූත සිදුවීමකට මුහුණ දෙනවා. නිවසේ තිබූ කැඩපතකින් මුහුණ බලන ඒබ්‍රහම් ලින්කන් තමාගේ ප්‍රතිබිම්භයේ ම ද්විත්ව ස්වරූපයක් එය තුළින් දකිනවා. මෙයින් එක ප්‍රතිබිම්භයක තමාගේ නීරෝගී මුහුණත සහ අනෙක් ප්‍රතිබිම්භයෙන් තමාගේ සුදුමැලි මුහුණ ද ඔහුට දර්ශනය වූවා.

ජනපති ආර්යාව – මේරි ටොඩ් ලින්කන් මිථ්‍යාදෘෂ්ටික කාන්තාවක වුවත් තම සැමියා පැවසූ අද්භූත දෙයින් දැඩි ලෙස කලබලයට පත් වූවා. කැඩපතින් පෙන්නුම් කළ නීරෝගී ලින්කන් මුහුණත සුබ සලකුණක් බවත් ඔහුගේ පළමු ජනපති ධූර කාලය තුළ ඒබ්‍රහම් ලින්කන් මනාසේ සේවය කරන බවත් ඇය එහිදී පවසා සිටියා.

අවතාරයක් වැනි සුදුමැලි මුහුණත අසුබ ලකුණක් බවත් ජනපති ධූරය සඳහා දෙවන වරටත් ලින්කන් පත් වූවත් සිය ධූර කාලය සම්පූර්ණ කිරීමට ඔහුට නොහැකියාවක් පවතින බවත් ඇය ලින්කන් හා පවසා සිටියා.

නිවසේ තිබූ කැඩපතකින් මුහුණ බලන ඒබ්‍රහම් ලින්කන් තමාගේ ප්‍රතිබිම්භයේම ද්විත්ව ස්වරූපයක් එය තුළින් දකිනවා – cdn0-production-assets-kly.akamaized.net

1865 වසරේ අප්‍රේල් මස14 වන දින ජනපති ලින්කන් ෆෝඩ් රඟහලේදී Our American Cousin නම් නාට්‍යය නරඹමින් සිටියදී ඔහුගේ පිටුපසින් පැමිණි ජොර්ජ් විල්කීස් බූත් ජනාධිපති ලින්කන්ට වෙඩි තබා පැන යනවා. පසු දින එනම් අප්‍රේල් 15 වැනිදා පෙරවරු 7:22 ට පමණ ජනපති ලින්කන් මෙලොවින් සමු ගන්නවා.

ඛේදවාචක අතරින් ගලා ගිය ලින්කන්ගේ දිවිය

ජනපති වීමට ප්‍රථම ඒබ්‍රහම් ලින්කන් ගත කළේ දොම්නසින් පිරුණු දිවි පෙවෙතක්. ඔහුගේ මව නැන්සි හැන්ක්ස් ලින්කන්, වයස අවුරුදු 34 ක් ව සිටියදී මිය ගියා. කිරි විස වී ඇය මිය ගිය බවට විශ්වාසයක් පවතිනවා. එවකට ඇගේ පුත්‍රයා – ඒබ්‍රහම් ලින්කන් සිටියේ නව හැවිරිදි වියට පා තබමිනු යි.

මින් පසු ලින්කන්ගේ බාල සොහොයුරා වූ තෝමස්, රෝගයක් වැලඳී වයස අවුරුදු තුනේ සිටිය දී අවාසනාවන්ත ලෙස මරණයට පත් වූවා. තරුණ ලින්කන්ගේ පළමු පෙම්වතිය, ඈන් රට්ලෙජ් මෙනෙවිය ටයිෆොයිඩ් උණ රෝගය වැලඳී මිය යනවා. මෙයින් කිහිප වසරකට පසු ඔහුගේ චිත්තවේග නොසිතූ අන්දමට බිඳවැටෙනවා.

1842 වසරේ එවකට තිස් තුන් හැවිරිදි ව සිටි ලින්කන් මේරි ටොඩ් හා විවාහ වූ නමුත්, ඔවුන් ගතකළ විවාහ දිවිය එතරම් සතුටුදායක එකක් නොවූවා. මේරි ටොඩ් ලින්කන් අද්භූත දේවල් කෙරෙහි දැඩි විශ්වාසයක් තිබූ කාන්තාවක්. ඇයගේ ස්වාමිපුරුෂයා භෞතිකවාදයට ප්‍රතිවිරුද්ධ අධ්‍යාත්මිකත්වය (spiritualism) කෙරෙහි යන්තමින් හෝ උනන්දු වීමට හේතු වූයේ ඇගෙන් ලද දැඩි බලපෑම යි. ලින්කන් සෑම විට ම එය දෙස බැලුවේ කිසියම් සැකයකින් යුතුව යි.

ඒබ්‍රහම් ලින්කන් ගේ මව නැන්සි හැන්ක්ස් ලින්කන්, වයස අවුරුදු 34 ක් ව සිටියදී මිය ගියා – image.pbs.org

ලින්කන් පවුල පිරිමි පුතුන් හතර දෙනකුගෙන් සමන්විත වුවත් වැඩි මහල් විය දක්වා ජීවත් වීමට වරම් ලැබුවේ වැඩිමහල් පුත් රොබට් ලින්කන් පමණයි. එඩ්වඩ් නමැති පුත්‍රයා වයස අවුරුදු හතරේ දී මිය ගිය අතර ලින්කන් ජනපති ධුරය දරන කාලයේ ඔහුගේ තරුණ පුත්‍රයා විලී උණ රෝගයට ගොදුරු ව මිය යනවා.

විලීගේ මරණයෙන් මහත් කම්පාවට පත් ලින්කන් බොහෝ විට තම දරුවාගේ දෙණ තැන්පත් කළ ගුහාවට ගොස් පැය ගණනක් නිසොල්මනේ වාඩි වී සිටීමට පුරුදු වූවා. ලින්කන් මහත්මියගේ දැඩි බලකිරීම මත මිය ගිය පුත්‍රයන් සමඟ සන්නිවේදනය කළ හැකි ‍අධ්‍යාත්මික රැස්වීම් කිහිපයක් ම එකල ධවල මන්දිරයේ පැවැත්වූවා.

එසේ සංවිධානය කළ රැස්වීම් කිසිදු ප්‍රගතියක් නොමැති ඒවා වූ අතර ලින්කන් ජනපතිවරයා එවැනි රැස්වීම් දෙකකට පමණක් සහභාගී වූ බවට විශ්වාසයක් පවතිනවා. ජනපති ලින්කන්ගේ මරණයෙන් පසු වයස අවුරුදු 18 දී පවුලේ බාල පුත් ටැඩ් මිය යනවා.

ජනපති ලින්කන්ගේ මරණයෙන් පසු පවුලේ බාල පුත් ටැඩ් වයස අවුරුදු 18 දී පමණ මිය යනවා -www.history.com

ධවල මන්දිරයේ සැරිසරන ජනපති ලින්කන් අවතාරය

36 වන එක්සත් ජනපද ජනපති ලෙස කටයුතු කළ ලින්ඩන් ජොන්සන් ආර්යා බර්ඩ් ජොන්සන්, තම මාධ්‍ය ලේකම් හා පවසා සිටියේ එක් වසන්ත සැඳෑවක ජනපති ලින්කන්ගේ මරණය පිළිබඳ වාර්තාමය වැඩසටහනක් රූපවාහිනියෙන් නරඹමින් සිටි අවස්ථාවක ජනපති ලින්කන්ගේ පැමිණීම තමාට දැනුණු බව යි. ජීවිතයේ කවමදාකවත් අත්නොවිඳි අද්තභූ සීතලක් සහ නොසන්සුන් කමක් තමාට එහිදී දැනුණු බව ඇය පිළිගෙන තිබුණා.

මේ හා සමාන අත්දැකීමක් තිස්වන එක්සත් ජනපද ජනපති කැල්වින් කූලිජ්ගේ බිරිය – ග්‍රේස් කූලිජ් ආර්යාව ද අත්විඳ තිබෙනවා. ඒබ්‍රහම් ලින්කන්ගේ අවතාරය සැබවින් ම දුටු බව ප්‍රසිද්ධියේ වාර්තා කළ පළමු පුද්ගලයා වූයේ ද ඇය යි. දෑත් පිටුපසට බැඳගෙන සිටි ජනපති ලින්කන් ධවල මන්දිරයේ ඕවල් කාර්යාල ජනේලයක් අසල රැඳී උන් වග ඇය පවසා තිබුණා.

මේරි ලින්කන් ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ ‘ආත්මය’ සමඟ ගත් බවට සැක පළ කෙරෙන ඡායාරූපය. ඇමරිකානු ඡායාරූප ශිල්පී විලියම් මුම්ලර් මෙම ඡායාරූපය ගෙන තිබුණා. මේරි ටොඩ් ලින්කන් ආර්යාවට පසුපසින් ඇගේ උරහිසට අත් තබාගෙන සිටින්නේ ජනපති ඒබ්‍රහම් ලින්කන්ගේ අවතාරය යැයි නොයෙකුත් අය පවසා සිටියා – Indiana State Museum and Allen County Public Library

නිතර දෙවේලේ ලින්කන් අවතාරය දක්නට ලැබුණු කාලය ලෙස පිළිගැනෙන්නේ ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් ජනපති පරිපාලන අවදියයි. විනාශකාරී ලෝක යුදමය මානසිකත්වයකට රට මුහුණ දී සිටි අවස්ථාවක නෙදර්ලන්ත රැජන – විල්හෙල්මිනා, රාජකාරීමය කටයුත්තකට ධවල මන්දිරයට සම්ප්‍රාප්ත වූවා. මන්දිරයේ ආගන්තුකයෙක් ව සිටි කාලය තුළ කිසිවෙක් ඇගේ නිදන කාමරයේ දොරට තට්ටු කළා.

මධ්‍යම රාත්‍රියත් පසු ව තිබූ එම අවස්ථාවේ වැදගත් රාජකාරී පණිවිඩයක් උදෙසා තමා අවදි කරන්නේ යැයි සිතූ ඇය ඇඳෙන් නැඟිට දොර ඇරීමට උත්සුක වූවා. තරමක උස් තොප්පියක් පැළඳ සිටි ජනපති ලින්කන්ගේ රූපය ශාලාවේ එක් කෙළවරක සිටගෙන සිටි අයුරු ඇය එම මොහොතේ දැක තිබෙනවා. ඒ වන විටත් ක්ලාන්ත ගතියකින් සිටි රැජන බිම වැතිරුණා. මේ සමඟ ම ලින්කන්ගේ දර්ශනය ද අතුරුදහන් වූ බවත් සඳහන් වනවා.

ජනපති අවතාරය දුටු සුවිශේෂී අමුත්තන්

දෙවන ලෝක යුද සමයේ ධවල මන්දිරයට පැමිණි විශේෂ අමුත්තෙක් වූ බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් ස්නානය කොට සුරුට්ටුවක් උරමින් සිටි එක් සවස් වරුවක,එම කාමරයේ ගිනි උදුන අසල ලින්කන් අවතාරය හුන් බවට වන කතාවක් ද පවතිනවා. ජනපති ටෲමන්, ඒබ්‍රහම් ලින්කන් නිදන කාමරයේ රාත්‍රියක් ගත කළ එක් අවස්ථාවක අනපේක්ෂිත ව අවදි වූවා. කඩිමුඩියේ දොරට තට්ටු කරන හඬකින් තමා අවදි වූ බවත්, එක් ක්ෂණයකින් එය අතුරුදහන් වූ බවත් ඔහු පසු ව පවසා තිබුණා.

දෙවන ලෝක යුද සමයේ ධවල මන්දිරයට පැමිණි විශේෂ අමුත්තෙක් වූ බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් කාමරයේ ගිනි උදුන අසල ලින්කන් අවතාරය හුන් බව දුටුවේ ය යන කතාවක්ද පවතිනවා – winstonchurchill.org

රූස්වෙල්ට් ජනපති ආර්යාව එලිනෝර් රූස්වෙල්ට්, ඇගේ අධ්‍යයන කටයුතු සඳහා ඒබ්‍රහම් ලින්කන් ජනපතිවරයාගේ නිදන කාමරය භාවිත කිරීමට පුරුදුව සිටි අයෙක්. ලින්කන් ජනපතිවරයාගේ අවතාරය සි‍යැසින් දැක ගැනීමට එලිනෝර්ට නොහැකි වූ නමුත් මධ්‍යම රාත්‍රියත් පසුවී වැඩ කරන සෑම විටක ම ලින්කන්ගේ පැමිණීම තමාට දැනී තිබුණ බව ඇය පිළිගත්තා. ජනපති ඒබ්‍රහම් ලින්කන් තමා පිටුපසට ව සිටගෙන තම උරහිසට උඩින් එබී බලන ආකාරයක හැඟීමක් ඇයට දැනී තිබුණා.

ඒබ්‍රහම් ලින්කන් අවතාරය එම නිදන කාමරයේ ඇඳ මත වැතිර සිටින අයුරු තමා ඇසින් දුටු බව නම් සඳහන් නොකළ කිහිප දෙනෙක් නොයෙකුත් අවස්ථාවන් හි පවසා තිබුණා. (ඒබ්‍රහම් ලින්කන් පාලන සමයේ දී ආන්දෝලනයට ලක් වූ එම කාමරය රැස්වීම් කාමරයක් ලෙස භාවිතයට ගත් බවත් සඳහන් වනවා.)

ලින්ඩන් ජොන්සන්ගේ ආර්යාව බර්ඩ් ජොන්සන්, තම මාධ්‍ය ලේකම් හා පවසා සිටියේ එක් වසන්ත සැන්දෑවක ජනපති ලින්කන්ගේ මරණය පිළිබඳ වාර්තාමය වැඩසටහනක් රූපවාහිනියෙන් නරඹමින් සිටියදී ලින්කන්ගේ පැමිණීම තමාට දැනුණු බවයි – www.zocalopublicsquare.org

ලින්කන් සිය බූට් සපත්තු යුගළ පළඳින අයුරු තමා සියැසින් දුටු බව රූස්වෙල්ට් ජනපති ආර්යා එලිනෝර් රූස්වෙල්ට්ගේ ලේකම්වරිය මේරි එක් අවස්ථාවක පවසා තිබුණා.

මැහුම් ශිල්පිනියක වූ ලිලියන් රොජර්ස් පාර්ක්ස්, වරක් ධවල මන්දිර ඉහළ මාලයේ යමෙක් බර අඩි තබමින් ඇවිදින ශබ්දය විමර්ශනය කළ අවස්ථාවක තවත් කාර්ය මණ්ඩල සාමාජිකයෙක් ඇය හා පවසා සිටියේ අදාළ කාමරය මුළුමනින් ම හිස් බවත්, “එම ඇවිදින ශබ්දය මහලු ඒබ්‍රහම් ලින්කන් ගේ විය හැකි බවත්” යනුවෙනුයි.

ධවල මන්දිරයෙන් පිටත ලින්කන් අවතාරය

ලින්කන් අවතාරය ධවල මන්දිරයෙන් පිටත දක්නට ලැබුණු බවත් වාර්තා වනවා. ජොර්ජ් විල්ක්ස් බූත් ලින්කන්ට වෙඩි තබන අවස්ථාවේ ෆෝඩ් රඟහලේ සිටි කාන්තාවක සතු නිව් යෝර්ක් ලූඩන්විල්හි නිවසක ද ලින්කන් අවතාරය සැරිසරන බව සඳහන් වනවා.

ලින්කන් අවතාරය ධවල මන්දිරයෙන් පිටත ද දක්නට ලැබුණු බව වාර්තා වනවා – c0.wallpaperflare.com

ඉලිනොයිස් ස්ප්‍රිංෆීල්ඩ් හි පිහිටි ඒබ්‍රහම් ලින්කන් සොහොන අසල වටපිටාවේද ලින්කන් අවතාරය සැරිසරන බව ඇතමුන් පවසනවා. ලින්කන් අවතාරය අවසන් වරට වාර්තා වී ඇත්තේ 1980 දශකයේ මුල් භාගයේදී යි. ධවල මන්දිරයේ එවක මෙහෙයුම් ප්‍රධානියා ව සිටි ටෝනි සැවෝයි ධවල මන්දිරයට පැමිණි අවස්ථාවක ජනපති ලින්කන් එහි තිබූ පඩිපෙළක් මුදුනේ පුටුවක වාඩි වී සිටින අයුරු එහිදී දැක තිබුණා.

ලින්කන් ආත්මයේ අරමුණ

ජනපති ධූරයේ සිටිය දී නිම කිරීමට නොහැකි වූ දුෂ්කර කාර්යය භාර්ය කිහිපයක් සම්පූර්ණ කිරීම ලින්කන් ආත්මයේ අරමුණ විය හැකි බවට ඇතැම් මනෝවිද්‍යාඥයන් නොයෙකුත් අනුමානය ඉදිරිපත් කළා. ජනපති ලින්කන් අවතාරය ධවල මන්දිර කොරිඩෝවල සහ කාමරවල සැරිසරන බවට වන මෙබඳු කතා අනන්ත අප්‍රමාණ ව පවතින නමුත් එම කතා කිසිවක් නිල පිළිගැනීමකට ලක්ව තිබුණේ නෑ.

ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයෙකු වූ ඒබ්‍රහම් ලින්කන්ගේ කරුණාවන්ත ආත්මය, තමාගෙන් පසු එම ජාතිය පාලනය කරන අයවලුන් දෙස තවමත් බලා සිටින බව පවසනවා – www.auntyflo.com

කළු පැහැති දිගු තොප්පියකින් සැරසී දුක්මුසු බැල්මකින් පසුවන ජනපති ලින්කන් එම ධූරයට පත් වීමට ප්‍රථම නීතිඥවරයකු ලෙස කටයුතු කළ අයෙක්. යමෙක් අවතාර විශ්වාස කරන්නේ නම්, ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයෙක් වූ ඒබ්‍රහම් ලින්කන්ගේ කරුණාවන්ත ආත්මය, තමාගෙන් පසු එම ජාතිය පාලනය කරන අය දෙස ඉතා උනන්දුවෙන් බලා සිටින බවට වන මතයක් ද පවතිනවා.

කවරයේ ඡායාරූපය: ඒබ්‍රහම් ලින්කන් ජනපතිවරයා හා බැඳුණ ඇතැම් සංසිද්ධි වර්තමානයටත් එකතු වීමට සමත්ව තිබෙන්නේ ඔහුගේ මරණින් පසුවයි - history.com

මූලාශ්‍ර :
Nancy Hanks Lincoln | IN.gov
www.history.com
www.themiddlechild.com

Related Articles