Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුධ බිමේ දිගු දුර ඉලක්කයකට සාර්ථකව වෙඩි තැබීමේ නව වාර්තාවක් බිහිකළ – ක්‍රෙයිග් හැරිසන්

යුධ පිටියේ දස්කම් දක්වමින් සතුරා භීතියට පත්කළ දක්ෂ ස්නයිපර් වෙඩික්කරුවන් කිහිපදෙනෙක් පිලිබඳව roar පිටුවෙන් විස්තර ගෙන ආවා ඔබට මතක ඇති. යුධ බිමේදී වැඩිම සාර්ථක ඉලක්ක ප්‍රමාණයක් ලබාගත් ධවල මරණය හෙවත් සීමෝ හයිහා, ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් වලදී දස්කම් දැක්වූ ඇමරිකානු ස්නයිපර් ක්‍රිස් කයිල් හෙවත් “රමාඩියේ යක්ෂයා” , ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය නිමා කිරීමේ සටනේදී, වන්නිය මුදාගැනීමේ අවසන් සටනේ කොටි ත්‍රස්තයන් බියෙන් සලිත කළ ශ්‍රී ලංකා යුධ හමුදාවේ කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි හෙවත් “ස්නයිපර් නීරෝ” හා  දින ගණනාවක් බඩගා ගොස් තම ඉලක්කය ලබාගත් ඇමරිකානු ස්නයිපර් කාර්ලෝස් හැත්කොත් පිළිබඳවත් ලිපි පෙළක් අප විසින් මීට පෙර ගෙන ආවා.

ඉතින් අද කියන්න සැරසෙන්නේ යුධ පිටිය තුළ දීර්ඝ දුරක ඉලක්කයකට සාර්ථකව වෙඩි තබා වාර්තාවක් තැබූ ස්නයිපර්වරයෙක් පිලිබඳවයි.

එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සමඟ එකතුව ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් සිදුකළ කාලවකවානුවේදී එරට මෙහෙයුම් වලට අනුයුක්ත කළ ක්‍රෙයිග් හැරිසන් (Craig Harrison) නම් කොප්‍රල්වරයා තමයි මෙලෙස දස්කම් දක්වා තිබෙන්නේ.

ඇෆ්ගනිස්තාන් යුධබිමේ ඇමරිකානු හා එංගලන්ත මැදිහත්වීම

බ්‍රිතාන්‍ය ස්නයිපර් වෙඩික්කරුවන් ඇෆ්ගනිස්ථාන් සටන්බිමේ (www.abc.net.au)

2001 වසරේ ඔක්තොම්බර් මාසයේ 7වනදා ඇමරිකානු හමුදා විසින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීම ආරම්භ කරනවා. ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය ලෙස එය හදුන්වා දෙන අතර ඔවුන් විසින් තලෙයිබානුවන්, (Taliban) ජිහාඩ් සංවිධානයේ සාමාජිකයන් (Islamic Jihad Union) හා අල්කයිඩා (Al-Qaeda) සාමාජිකයන් සොයා තම මෙහෙයුම් දියත් කරනු ලබනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ මෙම මැදිහත්වීමට එංගලන්තය, ඕස්ට්‍රේලියා, කැනඩාව හා ජර්මනිය සිය සහය ලබා දෙනවා.

ඇෆ්ගනිස්තානට පැමිණි බ්‍රිතාන්‍යය අශ්වාරෝහක බළඇණියේ ස්නයිපර්වරයා

ක්‍රෙයිග් හැරිසන් (storify.com)

බ්‍රිතාන්‍යය යුධ හමුදාවේ දේශීය අශ්වාරෝහක බළමුළුවට (Household Cavalry ) අනුයුක්ත Blues and Royals රෙජිමේන්තුවේ සේවය කළ ස්නයිපර් වෙඩික්කරුවෙක් වන ක්‍රෙයිග් හැරිසන් 2009 වසරේ නොවැම්බර් මාසයේ ඇෆ්ගනිස්තාන යුධ බිමේ ඉදිරියට යන භට කණ්ඩායම් ආරක්ෂා කිරීමේ වගකීම භාර ස්නයිපර් වෙඩික්කරුවෙක් ලෙස කටයුතු කරනවා.

2009 වසරේ නොවැම්බර් මාසයේ දිනෙක ඔහු තම Jackal වර්ගයේ සන්නද්ධ රථයට වී L115A3 වර්ගයේ දිගු දුර රයිෆලයෙන් (L115A3 Long Range Rifle) සටන් පෙරමුණේ සිටින තම සහෝදර සෙබළුන්ට ආරක්ෂාව සැළසීම සඳහා ඉදිරිය නිරීක්ෂණය කරමින් සිටිනවා.

ඔහු සිටින ස්ථානයට කිලෝමීටර් 2ක් පමණ ඈතින් තලෙයිබාන් සාමාජිකයන් දෙදෙනෙක් රුසියාවේ නිෂ්පාදිත PKM මැෂින් තුවක්කුවක් (Pulemyot Kalashnikov’s Machinegun) සකසන අයුරු පෙනෙනවා. වඩා භයානක මැෂින් තුවක්කුවක් වන මෙය යොදාගෙන ඉදිරියට එන බ්‍රිතාන්‍ය භට ඛණ්ඩට වෙඩි තැබීමට පටන් ගැනීම මගින් ඔවුන්ට ඉතා භයානක අත්දැකීමකට මුහුණ දීමට සිදුවන බව අවබෝධ කරගන්නා හැරිසන් වහාම තමන් සිටින සන්නද්ධ රථයෙන් ඉවතට පැන සන්නද්ධ රථයේ රියදුරාද සමඟ අසළ ඇති ගොඩනැගිල්ලක ඉහළට ගමන් කරනවා.

ප්‍රහාරය සදහා ක්ෂණිකව සූදානම් වීම

ඔහු විසින් භාවිතා කළ L115A3 Long Range Rifle වර්ගයේ අවියක් (Wikimedia Commons)

කිසිවකුට දැනුම්දීමක් නොකර කිසිවකුගේ දැනුම් දීමකින් තොරව ඔහු විසින්ම තම සෙබළුන්ට සිදුවන විනාශය වැළැක්වීම සදහා ස්නයිපර් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙනවා.

සාමාන්‍යයෙන් ස්නයිපර් වෙඩික්කරුවා අසළ සතුරු ඉලක්ක නිරීක්ෂණය කර ඔහුට අවශ්‍ය දත්ත ලබා දීමට තවත් භටයෙක් (spotter) සිටින නමුත් මේ අවස්ථාවේ ඒ වෙනුවට ඔහුට සහය වන්නේ එම කාර්ය පිළිබඳ​ කිසිදු මූලික පුහුණුවක් නොමැති සන්නද්ධ රථයේ රියදුරායි.

ඉලක්කය නිරීක්ෂණය කිරීමේදී  තලෙයිබානු සාමාජිකයන් සිටින්නේ තම අවියේ පරාසයටත් වඩා අඩි 1500ක් ඈතින් බව ස්නයිපර් තුවක්කුකරුට පෙනීයනවා.

නමුත් උත්සාහය අත්නොහරින ඔහු වහා සුළං හමන දිශාව, සුළගේ වේගය, ගුරුත්වාකර්ෂණ බලය හා තුවක්කුවෙන් උණ්ඩය පිටවෙන ප්‍රවේගය ආදී සියළුම දත්ත අධ්‍යනය කර සැබෑ ඉලක්කයට වඩා අඩි 400ක් ඉහළට ඉලක්ක කිරීමට තීරණය කරනවා.

ඉලක්කය සාර්ථක වීම

ප්‍රථම උණ්ඩය සාර්ථක වන අතර එය මැෂින් තුවක්කුව ක්‍රියා කරවූ තලෙයිබාන් සාමාජිකයාගේ උදරය පසාරු කරගෙන යන අතර තවත් මොහොතකින් එල්ල වූ දෙවන උණ්ඩයෙන් සහායක සාමාජිකයාට බරපතළ තුවාල සිදුවෙනවා. මැෂින් තුවක්කුව රැගෙන නැවත ප්‍රහාර එල්ල කිරීමට වෙනත් තලෙයිබාන් සාමාජිකයන් නොමැති බව තවදුරටත් නිරීක්ෂණය කිරීමෙන් ක්‍රෙයිග් හැරිසන් විසින් තහවුරු කරගන්නවා.

මෙම ස්නයිපර් වෙඩි ප්‍රහාරය මීටර් 2,475ක දුරක් ගොස් තලෙයිබාන් සාමාජිකයාට මරණය අත්කර දී තිබූ අතර මේ හේතුවෙන්  යුධ බිමේ දිගු දුර ඉලක්කයකට සාර්ථකව වෙඩි තැබීමේ නව වාර්තාවක් ඔහු විසින් බිහිකරනවා. ඔහු විසින් බිඳහෙළනු ලබන්නේ Rob Furlong නම් කැනේඩියානු ස්නයිපර්වරයා විසින් යුධ බිමේදී මීටර් 2,430 ක දුරක් සාර්ථකව ඉලක්ක කර තැබූ වාර්තාවක්. ඉලක්කය කරා එක් උණ්ඩක් ගමන් කිරීමට තත්පර 3ක් ගත වී ඇති අතර තත්පර 6ක් පුරාවට එය නිරීක්ෂණය කිරීමෙන් තමන් විසින් තහවුරු කරගත් බව ඔහු විසින් පසුව Daily Mail වෙත​ ප්‍රකාශ කරනවා.

ක්‍රෙයිග් හැරිසන්

The Longest Kill කෘතිය (thuglifer.com)

රාජකීය ගුවන් හමුදාවේ සේවය කළ යුවළකට දාව 1974දී එංගලන්තයයේදී උපත ලබන ක්‍රෙයිග් හැරිසන් වයස අවුරුදු 16දී බ්‍රිතාන්‍ය අශ්වාරෝහක බළමුළුවට ඇතුළත් වෙනවා.

එංගලන්තය වෙනුවෙන් ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ යුධ මෙහෙයුම් වලට සම්බන්ධ වන ඔහු 2009 වසර අවසන් වනවිට ඇෆ්ගනිස්තානයේදී ලබාගත් සාර්ථක ස්නයිපර් ඉලක්ක ගණන 20ක්. 2009 වසර අවසන් වනවිට මොහුව නැවතත් එංගලන්තයට කැදවන අතර වසර 22ක හමුදා සේවයකින් පසුව ඔහු හමුදාවෙන් ඉවත් වෙන්නේ 2014 වසරේදීයි. ඒ දිගුකාලයක් යුධ බිමේ සිටීමෙන් ඇති වූ Posttraumatic stress disorder නම් මානසික රෝගය හේතුවෙන්.

මාධ්‍ය මගින් ඔහුගේ අනන්‍යතාව හෙළිවීම හේතුවෙන් හැරිසන්ගේ ජීවිතයට තලෙයිබාන් හා අල් කයිඩා ත්‍රස්තවාදීන්ගෙන් තර්ජනයක් එල්ල වියහැකි බව පවසන එංගලන්තයේ ආරක්ෂක අමාත්‍යාංශය ඒම අවධානම වෙනුවෙන් ඔහුට පවුම් 100,000 ක මුදලක් පිරිනමනවා. 

ක්‍රෙයිග් හැරිසන් හමුදා දිවියෙන් ඉවත් වූ පසු බ්‍රිතාන්‍යය හමුදාව තුළ ස්නයිපර් වෙඩික්කරුවෙක් ලෙස තමා ලැබූ අත්දැකීම් අළලා The Longest Kill නමින් පොතක් එළි දක්වනවා.

කවරයේ ජායාරූපය – බ්‍රිතාන්‍ය ස්නයිපර් භටයෙක් (The Daily Beast)

Related Articles