Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බිහිරි බවටත් අභියෝග කල මහා සංගීතඥයා බීතෝවන්

ලෝකයට විවිධ කාල වල විවිධ ක්ෂේත්‍ර හරහා දක්ෂකම් පෙන්වන මිනිසුන් බිහිවෙනවා. ඒ කුමන ක්ෂේත්‍රයක වුවත් ඔවුන් ලෝකයට විශාල මෙහෙවරක් සිදුකරනවා. කලා ක්ෂේත්‍රයත් එලෙස ලෝකයේ මහා දාර්ශනිකයින් බිහිකරන්නට තෝතැන්නක් වුන තැනක්. මේ ලිපිය තුලින් අද ඔබට ගෙන එන්නේ කලා ක්ෂේත්‍රය හරහා ලෝකයට වටිනාකමක් එක්කල එවන් පුද්ගලයෙකු ගැනයි.

කලාවට කැමැත්තක් දක්වන කුමන අයෙක් වුවත් බීතෝවන් යන නාමය ඉතා ගෞරවයෙන් සිහිපත් කරන්නේ කලාව තුලින් මහා ගමනක් ගිය ඒ වගේම ලෝකයට නවම් අද්දැකීමක් ලබාගැනීමට සැලැස්සු වගේම ඔහුගේ ජීවිතයෙන් ඉගෙන ගැනීමට දෙයක් ඉතිරි කර මෙලොව හැරගිය පුද්ගලයෙකු නිසයි.

කවුද මේ බීතෝවන් කියන්නේ?

1770 වසරේ දෙසැම්බර් මස 16 වනදා ජර්මනියේ බොන් හිදී උපත ලබන ලූඞ්විග් වන් බීතෝවන් පවුලේ වැඩිමහල් දරුවා වෙනවා. Johann van Beethoven and Maria Magdalena Keverich දෙමාපියන් වූ අතර පවුල් ජීවිතය බිතොවන්ට එතරම් සුවයක් ගෙන ආවායයි කියන්න පුළුවන් කමක් නැහැ. කුඩා කාලයේම ඔහුගේ පියාගෙන් සංගීතයට අත්පොත් තබන්නට බීතෝවන්ට​ හැකි වෙනවා. කීබෝර්ඩ් වාදනය හා වයලින් වාදනය පියාගේ ඉගැන්වීම හරහා පුහුනු වන බීතෝවන්ට​ කුඩා වියේදීම ඒ හරහා දක්ෂයෙක් බවට පත් වෙන්නේ සහජ දක්ෂතා නිසාමයි.

බීතෝවන්ගේ කුඩා වියේ සිතුවමක් (www.youtube.com)

මත්පැන් ලෝලියෙකු වුනු පියා සමහර දිනවල නිදා සිටින බීතෝවන් දරුවා ඇහැරවා වාදනය කරවාගෙන තිබෙන අතරම පුහුණු වනවිටත් සුළු වැරද්දකටත් හොදහැටි පහර කෑමට ඔහුට සිදුවෙනවා. වයස අවුරුදු 12 වනවිට බීතෝවන් දක්ෂ වාදන ශිල්පියෙක් බවට පත්වන අතර මේ වයස වන විටත් සංගීත නිර්මාණ කිරීමට තරම් දක්ෂයෙකු වී සිටිනවා. පියාගෙන් පසු බොන් හි රජ මාලිගාවේ ප්‍රධාන සංගීත ශිල්පියෙකුව සිටි Christian Gottlob Neefe නම් සංගීත වේදියා යටතේ පුහුණු වන බීතෝවන් 1783 වසරේ පියානෝ යොදාගෙන සංගීත නිර්මාණයක් එළිදක්වනවා. 1787 වසරේ ඔස්ට්‍රියාවේ වියානා බලා පිටත්වෙන බීතෝවන් එහිදී ලෝක පුජිත සංගීත වේදියෙකු වන මොසාර්ට් යටතේ සංගීතය හැදෑරීම සිදුකරනවා. නමුත් මවගේ අසනීප තත්වයන් නිසාවෙන් නැවත මව් රට බලා පැමිණෙන බීතෝවන් ඔහුට වයස අවුරුදු 17 දී පමණ මවගේ අභාවයට මුහුණ දීමට සිදුවෙනවා. ඉන් පසුව වසර 5ක් පමණ තම සහෝදරයින් රැකබලා ගන්නා ඔහු නැවත මොසාර්ට් යටතේ සංගීත කටයුතු ආරම්භ කිරීමට වියානා බලා පිටත් වෙනවා.

බීතෝවන්ගේ නිවසේ ජායාරූපයක් (trivienna.wordpress.com)

බීතෝවන් බිහිරි භාවයට පත්වීම

යන්තම් වයස අවුරුදු 26ක් පමණ වන විට බීතෝවන්ගේ ශ්‍රවන අපහසුතාවයක් හටගත් අතර 1801 වසර වනවිට ඔහුගේ ශ්‍රවන හැකියාව 60%කින් පමණ අඩුවී ගොස් තිබෙනවා. ආරම්භයේ සිටම පැවතුනු ශ්‍රවන ආබාධ​ තත්වය යටතේ වුවත් තමන්ගේ සංගීත නිර්මාණ කටයුතු නොපිරිහෙලා සිදුකිරීමට ඔහු කටයුතු කලා. ඒ කාලය වනවිට ශ්‍රවන අපහසුතා වෙනුවෙන් සැකසු ශ්‍රවන නලා භාවිතා කර ශ්‍රවන හැකියාව දියුණු කරගැනීමට කටයුතු කලත් පසුව වයස අවුරුදු 46 පමණ වනවිට සම්පුර්ණයෙන්ම ශබ්ධ ඇසීමේ හැකියාව ඔහුට නැතිවී ගොස් තිබෙනවා. මේ හේතුව නිසාම ඔහු වරක් සියදිවි හානි කරගැනීමට තැත්කළ බවත් සදහන් වෙනවා.

නමුත් කසේ හෝ තමන්ගේ ජීවිතය නැවත යථා තත්වයට පත්කරගන්න ඔහුට හැකියාව ලැබෙනවා. මේ තරම් ලෝක පුජිත සංගීත වේදියෙකුට සිදු නොවිය යුතු තරම් හානියක් සිදුවීමෙන් පසුත් සංගීත නිර්මාණයේ නියැලීම පිලිබදව ඔබට ගැටළුවක් ඇතුවාට සැකයක් නැහැ. බීතෝවන් තමන්ගේ ශ්‍රවන හැකියාව නැතිවීමෙන් පසුව තමන් මුල්කාලයේ අත්විඳි සංගීත නාදයන් මෙනෙහි කරමින් තමන්ගේ නිර්මාණ කිරීම සිදුකර තිබෙනවා. ඒ වගේම ඔහු විසින් රචනා කරන ලද තනු නිර්මාණ පියානෝව යොදාගෙන වාදනය කිරීමත් එමගින් නැගෙන කම්පනයන්ගේ රටාව අනුව තමන්ගේ සංවේදනයන් සිදුකර ගැනීමත් කර තිබෙනවා. වෙනත් පුද්ගලයින් සමග කතා බහ කිරීමට ඔහු විසින් ලිවීම යොදාගත් අතර තමන්ගේ ප්‍රතිචාරයත් අනෙක් අයගේ අදහසුත් කඩදාසි මත ලිවීම මගින් අදහස් හුවමාරුව කරගෙන තිබෙනවා.

සන්නිවේදනයන් කිරීමට බිතෝවන් යොදාගත් සටහන් (www.pinterest.com)

සංගීත දිවිය

බීතෝවන් සංගීතයට සම්බන්ධ වන කාලය තුල යුරෝපිය සංගීත ක්ෂේත්‍රය සම්භාව්‍ය හා රොමැන්ටික් යන අවධි අතර කාලසීමාවේ පැවතියා. ඔහුගේ කලා කෘතීන් මුලිකිව කොටස් තුනකින් දැක්වෙනවා. එනම් මුලික අවධිය, මධ්‍යම අවධිය හා පසු අවධිය ලෙසයි. මුල් අවස්ථාවට ඔහු ඔහුගේ ගුරුවරුන් හා එක්ව කල නිර්මාණයන් ඇතුලත් වෙනවා. මේ කාලය බීතෝවන් තමන්ගේ සංගීත දිවියේ ආරම්භය සනිටුහන් කල කාලයයි. බීතෝවන් ඔහුගේ පළමු හා දෙවන සන්ධ්වනියන් නිර්මාණය කලේ මේ කාලය තුලයි. ඊට අමතරව තවත් නිර්මාණයන් බොහොමයක් කර තිබෙනවා.

මධ්‍යම අවධියේදී ඔහුගේ නිර්මාණයන් බොහොමයක් සිදුකල අතර ඒ කාලසීමාවේදී සංධ්වනි හයක්ද, ඔපෙරාවක්ද ඇතුළුව බොහෝ නිර්මාණයන් ප්‍රමාණයක් සිදුකර තිබෙනවා. පසු අවධියේ ඔහු ඔහුගේ නම වන සංධ්වනිය නිර්මාණය කරන අතර ඊට අමතරව තවත් නිර්මාණ කීපයක්ම එලි දක්වනවා.

බීතෝවන්ගේ නමවන සංද්වනිය වර්තමානයේ වාදනය කරන අවස්තාවක් (www.youtube.com)

1799 දී ඔහු එළිදැක්වූ ‘සෙප්ටෙට්’ නමැති සංගීත සොනාටාව ඔහුගේ ජීවිත කාලය තුළ අතිශයින්ම ජනප‍්‍රිය වූ විශිෂ්ට නිර්මාණයක් ලෙස හැඳින්වෙනවා. 1800 වසර අග භාගය වන විට බීතෝවන්ගේ නිර්මාණවලට ලොව පුරා විසිරුණු සංගීත අනුග‍්‍රාහකයන් වෙතින් දැඩි ඉල්ලූමක් හටගැනීම නොවැළැක්විය හැකි වෙනවා. වංශවත් හංගේරියානු කුල කාන්තාවක වූ ඇනා බෲන්ස්වික්ගේ රූමත් දියණිය වූ ජොසෆින්ට පියානෝ පාඩම් ඉගැන්වීම සඳහා ඇය තෝරාගනු ලැබුවේ බීතෝවන්වයි. ගුරුවරයා හා ගෝලයා අතර පෙම් සබඳතාවක් හටගත් නමුත් එය හෙළිදරව් වූ සැණින් ජොසෆින්ගේ මව, සිය දියණිය ජෝසෆ් ඩීම් නමැති වංශවත් තරුණයාට සරණ පාවා දීමට කටයුතු කරනවා. වංශවත් පවුල් පසුබිමක් නොතිබූ හෙයින් බීතොවන්ට තම පෙම්වතිය ඒ අයුරින් අහිමිව ගිය අතර ඉන් අනතුරුව, තම ශිෂ්‍යාවක වූ පියකරු ජූලි ගිසියාඩිට​​ ඔහු හදවතින්ම පෙම් බදිනවා. මේ ආදර සම්බන්ධයටද වංශය හරස් වූ අතර ජූලිගේ අත ද වංශවතෙකුට හිමි වූ පසු බීතෝවන්ගේ තරුණ හදවත තදින්ම බිදීයනවා. බිඳුණු ආදරයේ තීව‍්‍ර වේදනාව ඔහු බැහැර කරන්නේ ‘සඳ එළිය’ නමැති සොනාටාව නිර්මාණය කොට එය ජූලි ගිසියාඩිගේ නමට පූජා කරමිනි.

ඔහුගේ භාව පූර්ණ සහ භාවාතිශය සංගීත රචනා අතර ” සඳඑළිය” ( Moon Light ) සංධ්වනිය විශිෂ්ඨ නිරමාණයක්. බීතෝවන් වරෙක නැපෝලියන් අධිරාජ්‍යාට උපහාර පිණිස කළ තුන්වන සංධ්වනිය නැපෝලියන් කෲර පාලකයෙක් වූ පසුව එම සංධ්වනියෙන් නැපෝලියන්ගේ නම  ඉවත් කර “නිදහස් සංධ්වනිය”යනුවෙන් නම් කරනවා. බීතෝවන්ගේ ලෝක පූජිත අති විශිෂ්ඨ නිර්මාණය ලෙස අවිවාදයෙන් පිළිගනු ලබන්නේ නවවන සංධ්වනියයි. ( 9th Symphony ) එය පෙඩ්රික් ෂිලර් නම් ජර්මන් කවියාගේ නිදහස නම් වු කවියේ අර්ථය ආත්මය කොටගෙන නිපදවූ සංගිත රචනාවයි.

පස්වැනි සංධ්වනිය රචනා කරමින් සිටින විට බීතෝවන්ගේ දෙසවන් බිහිරි වෙමින් තිබූ අතර නව වන සංධ්වනිය (9th Symphony) ඉදිරිපත් කරන අවස්ථාවේ සම්පූර්ණයෙන්ම බිහිරිව සිට තිබෙනවා. බීතෝවන්  මෙම සංධ්වනියේදී සම්ප්‍රදාය බිඳිමින් ප්‍රථම වරට මිනිස් කටහඬ සංධ්වනි සංගීතයට යොදා ගත් අතර, වර්තමානයේ යුරෝපා සංගමයේ නිල​ ගීය බවට පත්ව ඇත්තේ බීතෝවන්ගේ මෙම නව වන සංධ්වනියයි.

මහා සංගීත වේදියාගේ නික්මයාම

ඔහුගේ වකුගඩු වල ඇතිවූ රෝගී තත්වයක් නිසාවෙන් 1827 වසරේ මාර්තු 26 වන දින කාලයක් රෝගී වෙමින් සිටිමින් ඔහු මෙලොව හැරයනවා. ඔහුගේ ජීවිතය ගතකල ස්ථාන බොහොමයක ඔහු පරිහරණය කල භාණ්ඩ අදත් සමරුවන් සේ තබා තිබෙනවා. ඒ වගේම වියානාහි ඔහුගේ ස්මාරකයත් ලෝකයේ බොහෝ පිරිසක් අදත් නැරඹීමට පැමිණෙන විශේෂ ස්ථානයක්.

බීතෝවන්ගේ සොහොන් කොත (www.pinterest.com)

ලෝකයක් ආදරය කල තවමත් ආදරය කරන මේ මිනිසා ලෝකයෙන් සමුගත්තත් අදත් සංගීතයට ඇල්මක් ඇති කවුරුත් ඔහුගේ නිර්මාණ වල ඇති උසස්භාවය මනාව හඳුනනවා. ඔහුගේ එක් නිර්මාණයක් ඇසීමෙන් පසුව මහත් කුතුහලයකට පැමිණි එක් අයෙකු ඔහුගෙන් විමසන්නේ මේ නිර්මාණය ඉතා සංකීර්ණ ඇයිද යන්නයි. එවිට බීතෝවන් පවසා සිටින්නේ මේ නිර්මාණය ඔබට නොවන බවත් අනාගතයේ උපදින මිනිසාට නිර්මාණය කල බවත්ය. ඔහුගේ මේ දැක්ම ඔහුගේ නිර්මාණයන් අදත් පැවතීමට හොදම උදාහරණයක් වනවාට කිසිදු සැකයක් නැහැ.

කවරයේ පින්තුරය : www.thelocal.de

Related Articles