Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවන ලෝක යුධ සමයේ දුන්නෙන් හා කඩුවෙන් දස්කම් පෑ බ්‍රිතාන්‍ය හමුදා නිළධාරියා – මෑඩ් ජැක්

දුන්න හා කඩුව රැගෙන සටන් පෙරමුණට ගොස් සතුරන් හා සටන් කල යුගයක් පිළිබඳව අපට අහන්නට ලැබෙන්නේ ඉතා ඈත අතීතයෙන් පමණයි. ඉන් පසුව දුන්න හා අසිපත හුදෙක් සන්දර්ශණ සඳහා පමණක් භාවිතා කල අවි බවට පත්වුණා. එහෙත් අද ලිපියෙන් කතා කරන්නේ ඊට හාත්පසින් වෙනස් සිදුවීමක් පිළිබඳවයි.

දෙවන ලෝක යුධ සමයේ තම කඩුවෙන් හා දුන්නෙන් සතුරු හමුදාවන්ට නොබියව මුහුණ දුන් ඔහු බ්‍රිතාන්‍ය පාබල හමුදාවේ 4 වන බලඇණියේ අණදෙන නිලධාරියෙක් වූ ඔහුව ලුතිනන් කර්නල් ජෝන් මැල්කම් තෝර්ප් ෆ්ලෙමිං චර්චිල් (John Malcolm Thorpe Fleming Churchill) හෙවත් ෆයිටින්ග් ජැක් (Fighting Jack), මෑඩ් ජැක්  (Mad Jack) යන අන්වර්ථ නාමයන්ගෙන් හදුන්වනු ලබනවා. මේ ලිපියේ ඉඩ වෙන් වන්නේ සාමාන්‍ය සොල්දාදුවන්ගෙන් වෙනස් වූ ලුතිනන් කර්නල් ජෝන් මැල්කම්ගේ අසාමාන්‍ය සටන් විලාශය පිළිබඳවයි.

රාජකීය පාබල හමුදා ඇකඩමියට

ජෝන් මැල්කම් තරුණ වියේදී (ww2gravestone.com)

1906 වසරේ සැප්තැම්බර් මස 16 වනදා හොංකොං හි උපත ලබන ජෝන් මැල්කම්ගේ පියා වූ ඇලෙක්ස් ෆ්ලෙමින් චර්චිල් ලංකා සිවිල් සේවයේ නිරත වූ පුද්ගලයෙක් විය. 1917 වසරේදී ඇලෙක්ස් ෆ්ලෙමින් තම බිරිඳ හා දරුවන් සමඟ ඇමරිකා එක්සත් ජනපදයට ස්ථිර පදිංචිය සඳහා පැමිණෙන අතර කුඩා ජෝන් විලියම් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව සැන්ඩ්හර්ස්ට් හි පාබල හමුදා ඇකඩමියට (Sandhurst Military Academy) ඇතුළත් වී ඉන් උපාධිය ලබා ගන්නවා.

බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ මැන්චෙස්ටර් පාබල රෙජිමේන්තුවට

යුධ හමුදා පාසලෙන් උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව 1926 වසරේදී මැන්චෙස්ටර් රෙජිමේන්තුවේ දෙවන බල ඇණියට එකතු වෙන ජෝන් මැල්කම් එම වසරේම  බ්‍රිතාන්‍ය පාබල හමුදාව නියෝජනය කරමින් මියන්මාරය (එවකට බුරුමය​) වෙත යැවුණු භට ඛණ්ඩයේ එක් සාමාජිකයෙක් විය. එම සමයේ මෝටර් සයිකලයක නැගී ඉන්දියානු උප මහද්වීපය පුරා ගමන් කිරීමට ජෝන් සමත්වෙනවා. තවද ඔහු bagpipes නම් සංගීත භාණ්ඩය වාදනය කිරීමට ඉගෙන ගන්නෙත් මේ කාලයේදීයි.

1936 වසරේදී හමුදා දිවියට ආයුබෝවන් කියන ජෝන්, කෙන්යාවේ නයිරෝබි නුවර  පුවත්පත් කාර්යාලයක සංස්කාරකවරයෙක් ලෙස කටයුතු කිරීමට පටන් ගන්නා අතර ඉන් ඉවත්ව චිත්‍රපට කිහිපයකටද තම දායකත්වය ලබා දෙනවා. ඒ තමන් සතුව ඇති  bagpipes වාදනය කිරීමේ හා දුන්නෙන් විදීමේ දක්ෂතාවය උපයෝගී කරගනිමින්.

1938 වසරේදී බ්‍රිතාන්‍යයේ ඔල්ඩශෝට් (Aldershot) හිදී පැවති bagpipes වාදනය කිරීමේ  තරඟාවලියෙන් නිළධාරී කාණ්ඩයේ දෙවන ස්ථානය දිනා ගැනීමටද ජෝන්ට හැකියාව ලැබෙනවා. තවද 1939 වසරේදී ඔස්ලෝ හිදී පැවතුණු දුන්නෙන් විදීමේ ජාත්‍යන්තර තරඟාවලියට බ්‍රිතාන්‍ය නියෝජනය කරමින් ඔහු සහභාගී වෙනවා.

නැවතත් රාජකීය පාබල හමුදාවට

Bagpipes වාදනය කරමින් මුලින්ම ගමන් කරන්නේ මෑඩ් ජැක් (All That Is Interesting)

දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමඟම ජර්මානු හමුදා ක්‍රමක් ක්‍රමයෙන් මිත්‍ර පාර්ශවයේ රටවල් ආක්‍රමණය කිරීම ආරම්භ කරනවා. ජර්මානුවන් විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමඟ, නැවතත්  බ්‍රිතාන්‍ය පාබල හමුදාවට එකතු වීමට ජෝන් විසින් තීරණය කරනවා. ඒ අනුව 1939 වසරේදී නැවතත් හමුදාවට එකතුවෙන ඔහු ප්‍රංශයේ සටන් පෙරමුණට අනුයුක්ත කරනු ලබනවා. දෙවන ලෝක යුද්ධ සමය පුරාවටම ඔහු විසින් ප්‍රංශ සටන් පෙරමුණට අමතරව නොර්වේ, ඉතාලියේ හා යුගෝස්ලාවියාවේ ජර්මානුවන් ප්‍රමුඛ සතුරු බළකායන්ට එරෙහිව සටන් කරනු ලබනවා.

කඩුවෙන් හා දුන්නෙන් දක්ෂතා පෙන්වූ ජෝන් චර්චිල්

කඩුවක් රැගෙන මුලින්ම ගමන් කරන්නේ එවකට කපිතාන්වරයෙක් වූ මෑඩ් ජැක් (YouTube)

ප්‍රංශ සටනේදී වරෙක ඔහු විසින් ඔත්තු බැලීමේ යෙදුනු ජර්මානු සෙබළෙක් ඝාතනය කරනු ලබන්නේ හී පහරකින්. ඒ සමඟම දෙවන ලෝක යුද්ධයේදී දුන්නකින් විද සතුරෙක් විනාශ කළ එකම සොල්දාදුවා ලෙස ඔහු නම් වෙනවා. යුරෝපය ආක්‍රමණය කර සිටින ජර්මානු බලමුළු විනාශ කිරීම සඳහා කමාන්ඩෝ බළකායට ජෝන් සිය කැමැත්තෙන්ම ඇතුල් වෙන්නේ මේ කාලයේදීයි.

සටනකදී, තම bagpipes සංගීත භාණ්ඩය වාදනය කරමින් දුන්නක් පිටේ එල්ලා ගත් හා අනෙක් අතින් තියුණු අසිපතක් රැගත් මේ අපූරු සොල්දාදුවා තුන්වන කමාන්ඩෝ බළකායට අණදෙමින් ඉදිරිපසින්ම ගමන් කළ ඉතා සුපුරුදු දසුනක් විය. ඩන්කර්ක් හා වොග්සෝයි හි (Dunkirk and Vågsøy) පැවති සටන් වලදී ඔහු පෑ දක්ෂතා හේතුවෙන් Military Cross හා Bar පදක්කම් ඔහුට හිමිවෙනවා.

ජෝන් මැල්කම් ප්‍රමුඛ කමාන්ඩෝ බළකාය විසින් ජර්මානුවන් පළවා හරිමින් නොර්වේ, ඉතාලිය හා යුගෝස්ලෝවියාව​ හරහා සටන් මෙහෙයවනු ලබනවා. ඉතාලියේදී සිදු වූ සටනක් අතරතුර ඔහු තම කඩුව පමණක් භාවිතා කරමින් කොප්‍රල්වරයකුගේද සහය ඇතිව එකවිට අත්අඩංගුවට ගත් ජර්මානු සෙබළුන් ගණන 42ක් පමණ වෙනවා. ජෝන් චර්චිල් තම කඩුව ලෙළදෙවමින් ජර්මානු භටයන් හඹා ගොස් අල්ලා ගත් අතර එය නැපෝලියානු යුද්ධය සිහිගැන්වෙන අවස්ථාවක් විය.

තම භට කණ්ඩායම බේරා තමන් පමණක් ජර්මානුවන්ට අසුවීම

ඔහු මහලු වියේදී (All That Is Interesting)

1944 වසරේදී ජෝන්ගේ කමාන්ඩෝ භට කණ්ඩායම හා ජර්මානුවන් අතර ඇති වූ දරුණු සටනකින් ජර්මානුවන්ගේ ෂෙල් ප්‍රහාර වලට ලක්වී තම කණ්ඩායමේ සියලු දෙනා මරණයට පත් වීම වැලැක්වීම සඳහා ජෝන් තමන් සිටින කඳවුරෙන් ඉවත්ව වෙනත් දිශාවකට ගොස් තම bagpipes වාදනය කිරීමෙන් ජර්මානුවන්ට තම සෙබළුන් සිටින තැන සොයාගැනීමට ඇති හැකියාව අහුරනු ලබනවා.

මේ හේතුවෙන් ජෝන්ව පමණක් අත්අඩංගුවට ගැනීමට ජර්මානු භටයන්ට හැකිවෙනවා. අල්ලා ගන්නා ජෝන් චර්චිල්ව​ බර්ලිනයේ සිරකදවුරක් වෙත රැගෙන යනවා. 1944 වසරේ සැප්තැම්බර් මාසයේදී ජෝන් චර්චිල් තවත් සිරකරුවෙක් වූ රාජකීය ගුවන් හමුදා නිලධාරියෙක් සමඟ සිරෙන් පැනයන නමුත් අතරමගදී නැවතත් එස් එස් භටයන්ගේ අත්අඩංගුවට පත්වෙනවා.

ජර්මනිය යටත් වී යුද්ධය අවසන් වීමට ටික කාලයකට ප්‍රථම, එනම් 1945 වසරේදී සිරකරුවන් නිදහස් කිරීමක් යටතේ ජෝන් චර්චිල් නිදහස ලබන අතර ඔහු සැතපුම් 93ක් දුර ඇවිද ගොස් ඇමරිකානු හමුදා සමඟ එකතුවෙනවා. ඉන් මසකට පමණ පසු නැවතත් ජපානය සමඟ යුධ කිරීමට මියන්මාරය බලා යාමට ජෝන්ට සිදුවෙනවා.

යුද්ධය අවසන් වීමෙන් පසුව ඕස්ට්‍රේලියාවේ පාබල හමුදා පුහුණු පාසලේ උපදේශකයෙක් ලෙස කටයුතු කරන ජෝන් 1959දී ඉන් ඉවත්වී නැවතත් එංගලන්තය බලා පිටත් වෙන්නේ තම හමුදා දිවියට සදහටම සමුදෙමින්. 1996 වසරේදී ජෝන් මරණයට පත්වන විට ඔහුට වයස අවුරුදු 89ක් වූ අතර දෙවන ලෝක යුධ සමයේ දස්කම් පෑ ඇමරිකානු යුධ විරුවෙක් ලෙස ඔහු එරටින් පිදුම් ලබනවා.

කවරයේ ජායාරූපය – ArtStation

Related Articles