Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුරංගනී ගීයෙන් ලොවක් දිනූ මනෝහර් සමුගනියි

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු සොඳුරු කලාකරුවකු පසුගියදා සිය දිවියෙන් සමුගත්තා. ඔහු තමයි ඒ.ඊ.මනෝහරන්. ලංකාවේ බොහෝ දෙනෙක් ඔහුව හඳුනන්නේ සුරංගනී මනෝහර් නමින්. ඒ වගේම ඉන්දියානුවන් ඔහුව හඳුන්වන්නේ සිලෝන් මනෝහර් නමින්. ශ්‍රී ලංකාවේ ඉපදී සිය කලා හැකියාවෙන් ජාත්‍යන්තරයද ජයගත් ඔහු ඉන්දියානු සිනමාවටද සුවිශේෂී සේවයක් කල නිර්මාණ කරුවෙක්.

https://akm-img-a-in.tosshub.com

නළුවෙකු මෙන්ම ගායකයෙකුද වූ මනෝහර්

නළුවකු ලෙස මෙන්ම ගායකයකු ලෙසටද රසික හදවත් සොරා ගත් ඔහු පසුගිය සතියේ දී  අභාවප්‍රාප්ත වූයේ චෙන්නායි හි පිහිටි ඔහුගේ නිවසේදීයි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 73ක්. සිංහල,හින්දි  සහ දමිල ඇතුළුව භාෂා පහකින් නිර්මාණය කෙරුණු සිනමාපට 260 කට වැඩි ගණනක රඟපෑ මනෝහර් පොප් ගායකයකු ලෙසටද ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කරගත්තෙක්.

ඔහු මුළු ලොව පුරාම ප්‍රකට වුනේ ‘සුරංගනී’ යන සිංහල බයිලා ගීතය නිර්මාණය කරමින්. පසු කාලීනව විවිධ භාෂා වලින් එය ප්‍රතිනිර්මාණය වුනු අතර ඒ නිසාම මනෝහර් බොහෝ විට හැඳින්වූවේ ‘සුරංගනී මනෝහර්’ ලෙසිනුයි. සුරංගනී මෙන්ම ඔහු නිර්මාණය කල ‘චීන්න මාමියේ’ ගීතයද ලොව පුරා ජනප්‍රිය වූ නිර්මාණයක්.

පොප් ගීත නිර්මාණකරුවකු මෙන්ම නළුවකු ද වූ මනෝහර් සිය කලා දිවිය ඇරඹුවේ 50 සහ 60 දශකයේ නිර්මාණය කෙරුණු ලාංකේය සිනමාපට කිහිපයක සහය චරිත රඟපාමින්. 1964 වසරේදී මෙරට නිර්මාණය කෙරුණු පළමු දමිල සිනමාපටය වුනු “Pasa Nila” හි ප්‍රධාන චරිතය නිරූපනය කළේ ද ඔහු විසිනුයි.

https://www.thenewsminute.com

 ‘සුරංගනීට මාළු ගෙනාවා’

1970 වසරේදී ඔහු සිය ගායන දිවිය ඇරඹුවේ ග්‍රේට් ෆ්‍රෙන්ඩ්ස් එන්ටර්ප්‍රයිස් සමාගම වෙනුවෙන් සිය පළමු ගීතය ගයමිනුයි. මනෝහර්ගේ සංගීත දිවියට තවත් ආලෝකයක් එක් වූවේ 1972 වසරේදී ඔහු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නිෂ්පාදක වරයකු ලෙස සේවයට එක් වූ පසුයි. පොප් සංගීතයට වැඩි කැමැත්තක් දැක්වූ මනෝහර් සිංහල,දමිල සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ගීත ගායනය සිදු කළ අතර ඔහුගේ සංගීත දිවියේ සුවිශේෂිතම නිර්මාණය වූ  ‘සුරංගනී’ බිහි වුණේ ඉන් වසරකට පසුවයි.

සුරංගනී ගීතයේ ජනප්‍රියත්වය කෙතරම්ද යත් 1973 වසරේදී යාපනයේ පැවති සංගීත උළෙලකදී ‘පොප් චක්‍රවර්ති’ යන විශේෂ ගෞරව නාමයද ඔහුට හිමි වුණා. ඉන්පසු ගෙවීගිය වසර කිහිපය තුල ලාංකේය පොප් සංගීත කලාවට මනෝහරන් නාමය නැතිවම බැරි නමක් බවට පත්වූ අතර සුරංගනී, චූඩමානිකේ ඇතුළු ගීත ගයමින් ඔහු රට පුරාම රසිකයන් ප්‍රබෝධයට පත් කළේ මෙරට පොප් චක්‍රවර්ති තමා බව මනාව පසක් කරමිනුයි.

https://i.ytimg.com/

මනෝහරන්ගේ දක්ෂතාවය නිසාම ඔහුට දකුණු ඉන්දියාවේදී ද සංගීත ප්‍රසංග පැවැත්වීමට අවස්ථාව හිමිවූ අතර, සුරංගනී ගීතය ඉන්දියාවේ ජනප්‍රිය වීමටද එය විශාල හේතුවක් වුණා. ඉන්දියාව තුල භාෂා ගණනාවකින් ‘සුරංගනී’ ගීතය ප්‍රතිනිර්මාණය වූ අතර ඒ නිසාම ඔහු එරට ප්‍රකට වුණේ සුරංගනී මනෝහර් ලෙසිනුයි.

පසුව දකුණු ඉන්දියානු සිනමාපටවල රංගන ශිල්පියකු බවටද පත්වූ මේ අපූරු කලාකරුවා 1977 වසරේදී තිරගත වූ Vaadai Kaatru සිනමාපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් දමිල සිනමා රසිකයන්ගේ ආදරයද දිනා ගැනීමට සමත් වුනා. එය එම වසරේ හොඳම කතාව ලෙස ජනාධිපති සිනමා සම්මානය දිනාගත් සිනමාපටය වීමත් විශේෂත්වයක්.

රංගන ශිල්පියකු ලෙස මනෝහරන්ගේ ප්‍රතිභාවය ඉක්මනින්ම දකුණු ඉන්දියානු සිනමාව තුල පැතිරී ගිය අතර ඒ නිසාම ඔහුට සිවාජි ගනේෂන්,රජිනි කාන්ත් ,කමලහසන් වැනි ප්‍රවීන රංගන ශිල්පින් සමග රඟපෑමේ දුලබ අවස්ථාවද හිමි වුනා.

https://antrukandamugam.files.wordpress.com

අන්තර්ජාතික ඇගයීම්

මනෝහර්ගේ ගීත විවිධ භාෂා වලින් නිර්මාණය කෙරුණු ගීත ඉන්දියානු සිනමාපට ගණනාවක අඩංගු වූ අතර සිවාජි ගනේෂන් රඟපෑ Thanga Pathakkam  සිනමාපටය ද එවැන්නක්. ඉලයරාජා වැනි සංගීත අධ්‍යක්ෂකවරුන් සමග මෙන්ම ආශා බෝස්ලේ වැනි ගායිකාවන් සමගද සමීපව කටයුතු කළ මනෝහර් ඉන්දියානු සංගීත ක්ෂේත්‍රය තුල ප්‍රකට චරිතයක් ලෙස හැඳින්වෙනවා. මනෝහර් අවසන්වරට දායක වූ ඉන්දියානු  සිනමාපට අතර Virumbugiren, Thotti Jeya, Jay Jay සහ  Vaaliban ට විශේෂ තැනක් හිමි වෙනවා.

ශ්‍රී ලංකාව  සහ ඉන්දියාව තුල පමණක් නොව යුරෝපය ,කැනඩාව ,ඔස්ට්‍රේලියාව සහ ලොව අනෙක් පෙදෙස් වලත් මනෝහර් ජනප්‍රිය චරිතයක් ලෙස සැලකුණා. සිනමා නිර්මාණ සඳහා පමණක් නොව විවිධ උත්සව අවස්ථා වලටද නැතිවම බැරි චරිතයක් වූ මනෝහර් ඉන්දියාවේ මදුරාසියේ පිහිටි බ්‍රිස් නම් සුපිරි හෝටලයේ ප්‍රධාන ගායකයා ලෙසටද කටයුතු කර තිබෙනවා. ඔහු ඉන්දියාව , කැනඩාව ,ඔස්ට්‍රේලියාව වැනි රටවලින් විවිධ සම්මාන සහ ඇගයීම් වලටද ලක් වූවෙක් වීමත් විශේෂත්වයක්.

www.asiantribune.com

පසුකාලීනව සිය කලා කටයුතු වෙනුවෙන් ඉන්දියාව තුල වැඩි වශයෙන් රැඳුනු නමුත් මනෝහර් ශ්‍රී ලංකාවට වරින් වර පැමිණෙමින් ප්‍රසංග පැවැත්වූයේ මෙරට රසිකයන් ඔහුගේ සුවිශේෂීම රසිකයන් ලෙස සලකමින්. ශ්‍රී ලංකාවේ ඉපදී සිය ගායන හැකියාවෙන් ලොවක් දිනූ මනෝහර් ඔහුගේ සුප්‍රකට ‘සුරංගනී’ ගීතයද සමග රසික හදවත්වල සදාතනික ලෙස රැඳී සිටිනු ඇති බවට සැකයක් නැහැ.

cover – https://www.thenewsminute.com

පාදක

http://tamilnews.com

http://www.asiantribune.com

https://www.allmusic.com

Related Articles