Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්සත් ජනපදයේ ක්‍රෑරත්වයට එරෙහිව සටන් කළ මැරිලින් බක්

මැරිලින් බක්

ලොව බොහෝ දෙනා ඉපදී සාමාන්‍ය ජීවිත ගත කරමින් සිට අවසානයේ මිය යයි. බොහෝ කල් ජීවත් වුවත් ඔවුන් මිහිපිට ඉතිරිකර තබා යන සලකුණු අල්ප වේ. සමාජයේ අසාධාරණය, අයුක්තිය දැක නිහඬව සිටින තැනැත්තෝ එම අසාධාරණයන් විඳිමින්, අවසානයේ මතු පරපුරටද එය එලෙසම ඉතිරි කර තබා යති. ඒ අතර අල්පතරයක් අසාධාරණයට, අයුක්තියට එරෙහිව මහා හඬ නංවමින් සටන් කරමින්, ජය පරාජය විඳිමින් වඩා යහපත් සමාජයක බලාපොරොත්තු මතු පරපුරට ඉතිරි කරමින් වෙන්ව යති. ඔවුන්ගේ ජීවිතාදර්ශය තුළින් අයුක්ති සහගත අසාධාරණ යදම් බිඳහෙලීමට ඉදිරි පරම්පරාවන්ට ආධ්‍යාත්මික අවි සපයයි.

මැරිලින් බක් අපට හමුවන එවන් සුවිශේෂී විප්ලවවාදිනියකි. ජාතිවාදය, වර්ණභේදවාදය, ලිංගික අසමානතාවට එරෙහිව සටන් කළ ඇය පිළිබඳව මතකයන් මෙසේ ආවර්ජනය කරන්නේ ද ඉතිහාසය තුළ ඇය හිමිකරගෙන සිටින නොමැකෙන මතකය නිසාමය.

මැරිලින් ජීන් බක් මෙලොව එළිය දකින්නේ 1947 දෙසැම්බර් මස 13 වන දා ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ මිඩ්ලැන්ඩ්හි දී ය. ඇගේ මව හෙදියක් වූ අතර පියා සිවිල් ක්‍රියාකාරිකයකු විය. ලුයිස්, බිල්, සහ ඩේවිඩ් යන බාල සොයුරන් තිදෙනෙකු සහිත පවුලේ වැඩිමල් සොයුරිය මැරිලින් විය.

මැරිලින් දෙමව්පියන් සහ සොයුරන් සමග (marilynbuck)

මැරිලින් ශිෂ්‍යාවකව සිටි සමයේ සිට ජාතිවාදයට, යුද්ධයට මෙන්ම ස්ත්‍රියට එරෙහි පීඩාවට එරෙහිව පෙරට පැමිණි තරුණියක් විය. මෙසේ විවිධ පෙරමුණුවල සටන් ඔස්සේ ඇය සිය දේශපාලන මතවාදයන් ක්‍රම ක්‍රමයෙන් හැඩගස්වා ගන්නා ලදී. ඇගේ පවුලේ සියලු දෙනා ඔස්ටින් නගරයේ පදිංචියට යෑමෙන් පසුව වඩාත් සක්‍රීය ලෙස ජාතිවාදයට එරෙහි ව්‍යාපාරවල කටයුතු කිරීමට හැකියාව ලැබුණි.

පාසල් සමයේ මැරිලින් (marilynbuck)

ඒ වනවිට එක්සත් ජනපදය තුළ නිග්‍රෝ විරෝධී ජාතිවාදයට එරෙහි සටන් පැවතුණි. එක් පසෙකින් කළු ජාතිකයන්ට එරෙහි ජාතිවාදය ක්‍රියාත්මක වන අතරතුර එක්සත් ජනපදය විසින් වියට්නාමයට එරෙහිව ම්ලේච්ඡ යුද්ධයක් ද දියත් කරමින් තිබුණි. මේ සියළු පෙරමුණු වල සටන් කිරීමට මැරිලින් එක්විය.

1966 දී ඔස්ටින්හි යුද විරෝධී රැලියකදී පොලිස් ආරක්ෂක කැමරාවක සටහන් වූ මැරිලින් (marilynbuck)

එක්සත් ජනපදයේ මෙම ම්ලේච්ඡත්වයන්ට එරෙහිව 60 දශකයේ දී ඇරඹි SDS හෙවත් Student for a Democratic Society සංවිධානය හා එක්වුණු මැරිලින් එතෙකින් නොනැවතී කාන්තා විමුක්ති ව්‍යාපාර වල ද කටයුතු කරන්නට විය. ඇය පසුව SDS සංවිධානයේ පුවත්පත වූ New Left Notes හි සම කර්තෘ ලෙස කටයුතු කරන ලද අතර, ජාතිකව පමණක් නොව ජාත්‍යන්තරව ද විමුක්ති අරගල සමඟ සබඳතා පවත්වාගනිමින් කටයුතු කිරීමට උනන්දු විය.

New Left Notes පුවත්පත (sds-1960s.org)

ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කර අවසානයේ දී සන්නද්ධ සංවිධාන සමග එක්ව සටන් කළ යුතු බව තීරණය කළ ඇය Black Liberation Army සමග එක්විය. 1973 දී ඇයව අත්අඩංගුවට පත්වන්නේ ද මෙම සංවිධානයට ගිනිඅවි සැපයීමේ චෝදනාව අනුව ය. ඇගේ වරද නීතිවිරෝධී හැදුනුම්පතකින් නිත්‍යානුකූල පතොරම් මිල දී ගැනීම විය. මේ නිසා ඇයට වසර 10ක සිර දඬුවම් නියම විය. බටහිර වර්ජිනියාහි ඇල්ඩර්සන් සිරගෙදරට යැවුනු ඇයට එහි දී තමන් මෙන්ම වූ දේශපාලන රැඳවියන් පිරිසක් හමුවිය. අසටා ශකුර්, ලොලිටා ලෙබ්‍රන්, බෝ බ්‍රවුන් ඒ අතර විය. සිරගෙදර සරසවියක් කරගනිමින් අත්දැකීම්, දැනුම බෙදාහදා ගැනීමට, නව සබඳතා ගොඩනගාගැනීමට මැරිලින් සමත් විය. තම වසර 10ක සිර දඬුවම් කාලය තුල ඇයට අවස්ථා දෙකක දී කෙටි නිවාඩු හිමි වූ අතර දෙවන අවස්ථාවේ දී නැවත සිරගෙදරට යාම වෙනුවට රහසිගත සන්නද්ධ දේශපාලනයට යොමුවිය. ඉන් පසුව ඇයට සිර භාරයෙන් පැන යාම යන චෝදනාව ද එල්ල විය.

Lolita Lebron සමඟ අල්ඩර්සන් සිරගෙදරදී (marilynbuck)

මින් පසුව ඇගේ දිවිය ගතවූයේ රාජ්‍යය ආරක්ෂක අංශ මග හරිමින් සැඟවෙමිනි. ඇය ප්‍රධාන වශයෙන් කළු ජාතික විමුක්ති ව්‍යාපාරවල සහ පුටෝ රිකෝ විමුක්ති ව්‍යාපාරය සමග කටයුතු කරන්නට විය. 1979 දී එතෙක් සිරභාරයේ සිටි අසටා ශකුර් සිරෙන් පලා ගිය අතර මෙයට මැරිලින් සම්බන්ධ බවට ආරක්ෂක අංශ සොයා ගන්නා ලදී. 1981 ඔක්තෝබර් මස 20 දින නිව්යෝක්හි බැංකුවකට අයත් සන්නද්ධ ආරක්ෂක රථයක් කොල්ලකෑමේ සිදුවීමකින් පසුව FBI මගින් මැරිලින්ව දුටු තැන වෙඩි තබා ඝාතනය කළ යුතු අත්‍යාවශ්‍ය ලැයිස්තුවට ඇතුලත් කරන ලදී.

Black Liberation Army සගයකු වූ Mutulu Shakur සමඟ (marilynbuck)

සන්නද්ධ ප්‍රහාර අතර වැදගත් එක් සුවිශේෂිම අවස්ථාවක් වූයේ වොෂින්ටන්හි එක්සත් ජනපද සෙනෙට් සභාවට එල්ල කළ බෝම්බ ප්‍රහාරය යි. කිසිදු ජීවිත හානියක් නොවූ නමුත් එක්සත් ජනපද පාලකයන් සලිත කිරීමට මෙම ප්‍රහාරයට හැකිවිය. Black Liberation Army සංවිධානය වෙනුවෙන් මැරිලින් ද දායක වූ මෙම ප්‍රහාරයට හේතුව ලෙස දැක්වූයේ එක්සත් ජනපදය විසින් ග්‍රෙනේඩා රාජ්‍යය ආක්‍රමණය කිරීම සහ ලෙබනනයට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය යි. ඊට ප්‍රතිචාර ලෙස එම ආක්‍රමණ බෝම්බ ප්‍රහාර සිදුකළ පුද්ගලයන්ට කළ පහර දීමක් ලෙස ‘83 සෙනෙට් ප්‍රහාරය හැඳින්විය හැක.

ඩබ්ලින් සිරගෙදර 1994 දී (theragblog)

1985 දී නිව්යෝක්හි ඩොබ්ස් ෆෙරීහි දී මැරිලින්ව අත්අඩංගුවට පත්විය. එතැන් පටන් වසර 5ක් දිගින් දිගටම නඩු විභාග, ප්‍රශ්න කිරීම් සහිත රැඳවුම් භාරයේ ඇය පසුවිය. අසටා ශකුර් නිදහස් කිරීම සහ Black Liberation Army සංවිධානයට ආධාර රැස් කිරීමට බැංකු මංකොල්ලය සිදුකිරීමේ චෝදනාවලට ඇය වැරදිකරු විය. ඒ මොහොත වන විට පිළිකාවක් නිසා අසාධ්‍ය තත්ත්වයට සිය සටන් සගයකු වූ ඇලන් බර්ක්මන්ගේ චෝදනා නිදහස් කරමින්, ඔහුගේ පිළිකාවට ප්‍රතිකාර කිරීමට රජය එකඟ කරවා ගනිමින් වරද පිළිගැනීමට මැරිලින් සමග ලින්ඩා එවන්ස් සහ ලෝරා වයිට්හෝන් එකඟ විය.

marilynbuck

නඩු විභාගයන් අවසානයේ මැරිලින්ව 1990 දී ෆ්ලොරිඩාහි මැරියානා අධි ආරක්ෂිත කාන්තා සිර කඳවුරට පිටත් කරන ලදී. 1993 දී ඇයව නැවත කැලිෆෝනියාවේ ඩබ්ලින් සිර කඳවුර වෙත මාරු කර යවන ලදී. සිරභාරයට පත්වීමෙන් පසුව ඇය ලිවීමට යොමුවිය. එයද සිදුවූයේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ය. ඇය කවි ලිවීමට බෙහෙවින් ආශාවක් දැක්වූ අතර ඇගේ කවි එකතුවක් වූ Wild Poppies, CD පටයක් ලෙස ද නිකුත් විය. තව ද ඇය විසින් රචිත කවි පොතක් වූයේ Rescue the Word ය. ඇය විසින් උරුගුවේ කිවිඳියක වූ ක්‍රිස්ටිනා පෙරි රෝසිගේ කවි පොතක් State of Exile නමින් ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය කරන ලදී. මීට අමතරව ඇගේ තවත් කවි පොත් ලිපි සහ සම්මුඛ සාකච්ඡාවන් ද පළව ඇත.

Wild Poppies (iTunes)

මේ අතර HIV/AIDS වැළඳුනු කාන්තාවන් වෙනුවෙන් වැඩසටහන් සංවිධානය කිරිමට ද ඇය සිරගතව සිටි සමයේ කාලය වෙන්විය. කුඹල් භාණ්ඩ සෑදීමේ හැකියාව ද ඇය පුරුදු පුහුණු කළ අතර මතක සටහන් ලෙස සිය මිතුරන් හට යැවීම මෙන්ම සිරගෙය තුළ පැවැත්වූ කලා ප්‍රදර්ශන සඳහා ද ඉදිරිපත් කරන ලදී.

2007 වසරේදී (theragblog)

2008 වසරේ දී ඇගේ සිරදඬුවම 2011 දක්වා කෙටි කරගැනීමට සමත් වූ අතර පසුව ඇගේ මිතුරිය මෙන්ම නීතිඥවරිය වූ එලිජා ගේ උත්සාහයෙන් එය 2010 ජූලි 15 දක්වා කෙටි කරගත හැකි විය. ඒ අනුව ජූලි 15 නිදහස් වූ ඇය නැවත සිය පවුලේ සහෝදරයන් සහ මිතුරන් සමග අවසන් දින කිහිපය ගත කිරීමේ භාග්‍ය උදාකර ගත්තාය. මන්ද ඒ වනවිට ඇය ගර්භාෂය ආශ්‍රිත පිළිකාවකට ගොදුරුව එය උත්සන්නව සිටි අතර ප්‍රතිකාර කර සුව කිරීමට ඒ වන විට බොහෝ ප්‍රමාදව තිබුණි. අවසන් දින කිහිපය සිය සමීපතමයන් සමඟ ගතකළ මැරිලින් 2010 අගෝස්තු මස 3 වන දා යළි නොනැගිටින නින්දට වැටුණි.

1998 දී ඩබ්ලින් හිදී (theragblog)

අනෙකා යටපත් කර සිටින තාක් පීඩකයාට ද පීඩිතයාට ද විමුක්තියක් අත්නොවන බව මැනවින් වටහාගෙන තිබීම සුදු ජාතිකයෙක් වුවත් ඇගේ කළු ජාතික විමුක්ති අරගලයට ජීවය සැපයීමෙන් පැහැදිලි වේ. රැඳවුම් භාරයේ සිටි සමයේ දී වොෂින්ටන් සිරකඳවුරක දී ඇය සමග සිදුකළ සම්මුඛ සාකච්චාවකදී ඇය ‘විප්ලවය’ පිළිබඳ පැවසුයේ මෙවන් අදහසකි.

1989 වොෂින්ටන් සිරගෙදර සම්මුඛ සාකච්චාව

“විප්ලවවාදිනියක් ලෙස, මට අවශ්‍ය සියළු දෙනාට හොඳින් ජිවත් වෙන්න අවශ්‍ය මූලික දේ සම්පාදනය කරන ක්‍රියාවලියක කොටස්කාරියක් වන්න. මම විශ්වාස කරන්නෙ නෑ විප්ලවය කියන්නේ සියළු දෙනා එක සමානව දුප්පත් කරන දෙයක් විදිහට. මම හිතනවා විප්ලවය කියන්නේ සමාජය තුළ තම තමන්ගේ වැඩ කටයුතු පහසුවෙන් ඉෂ්ට කරගන්ඩ පුළුවන් ආකාරයේ ක්‍රමයක් ඇතිකිරීම කියා. ඒ වගේම තමන් මහන්සියෙන් උපයන දේ හිමිකර ගැනීමේ හැකියාව ලබා දීම”.

මූලාශ්‍රය:

marilynbuck.com

කවරයේ පින්තුරය: මැරිලින් 1971 දී (4strugglemag.org)

Related Articles