Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෝඩ්ෆාදර් නිර්මාණය කළ මාරියෝ පූසෝ

1960 දශකයේ අගභාගය ඇමරිකානු ලේඛක මාරියෝ පූසෝට එතරම්ම හොඳ කාලයක් වූයේ නැහැ. ඔහු ඉන් පෙර ලියූ පොත් දෙකක් පමණ විචාරක ප්‍රසාදයට ලක් වුණත්, ඒවායෙන් විශාල මූල්‍යමය වාසියක් ඔහුට ලැබී තිබුණේ නැහැ. ඔහු සිටියේ ණය බරින් පීඩා විඳිමින්. එමෙන්ම සිය සාහිත්‍යකරණයෙහි අනාගතය පිළිබඳ ඔහු තුළ වූයේ සැකයක්.

මේ අතර, ණය බරින් මිදීම සඳහා අපහසුවෙන් වුණත් ඔහු තවත් පොතක් ලිවීමට පටන් ගෙන තිබුණා. ඔහු සතුව ඉතාලි-ඇමරිකන් මාෆියා සංවිධාන පිළිබඳ තරමක දැනුමක් තිබුණා. ඔහු එය උපයෝගී කරගෙන සිය නවකතාව ලියුවා. ඊට ඔහුට ලැබුණ අත්තිකාරම් මුදල වූයේ ඩොලර් 5,000ක්.

කෙසේ වෙතත්, 1969 දී එම පොත පළ වූ පසු එය දැවැන්ත සාර්ථකත්වයක් දිනා ගත්තා. එය ඇමරිකාවේ මෙන්ම බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය ආදී රටවල් කිහිපයකම උණු කැවුම් මෙන් අලෙවි වුණා.

මේ ග්‍රන්ථය අප කවුරුත් අසා ඇති “ද ගෝඩ්ෆාදර්” නවකතාව යි.

සුප්‍රකට නවකතාව සහ එහි කර්තෘ (scrapsfromtheloft.com)

මෙම නවකතාව පළ වී වසර කිහිපයක් ඇතුළත පූසෝ එම කෘතිය ආශ්‍රයෙන් තැනූ චිත්‍රපටයෙහි තිර රචනයට දායක වුණා. මෙම චිත්‍රපටය නවකතාවටත් වඩා ජනප්‍රිය වූයේයැ යි කිව හැකියි. එනිසා, කෙටි කලෙකින්ම එම චිත්‍රපටයේ දෙවන කොටසක් ද නිර්මාණය කරනු ලැබුණා. එම චිත්‍රපට දෙකටම සම්මාන පිට සම්මාන ලැබුණා. ඉන් තරමක් කල් ගොස්, එම චිත්‍රපට මාලාවට තුන්වැන්නක් ද එක් වුණා.

කියවන්න​: The Godfather; පියවරු සහ පුත්තු

ඉතාලි සම්භවය

මාරියෝ පූසෝ උපන්නේ 1920 ඔක්තෝබර් 15 වනදා නිව් යෝර්ක් නගරයේ “හෙල්ස් කිචන්” නම් ප්‍රදේශයේ යි. දකුණු ඉතාලියේ කැම්පේනියා ප්‍රදේශයේ, අවෙලිනෝ පළාතේ ගමකින් සංක්‍රමණය වූ දෙමාපියන්ගේ දරුවකු වූ පූසෝගේ බොහෝ කෘතිවල මෙම ඉතාලි සම්භවය තුළින් උකහා ගන්නා ලද දේ තිබෙනවා. දුම්රිය සේවකයකු වූ පූසෝගේ පියා පූසෝට වයස අවුරුදු 12ක් වෙද්දී පවුල හැරදමා ගියා. ඒ අනුව, දරුවන් හත් දෙනෙකු රැකබලා ගැනීමේ වගකීම මාරියෝ පූසෝගේ මව වූ මාරියාට පැවරුණා.

කෙසේ වෙතත් ඔහු මාෆියා සංවිධාන පිළිබඳ ලීව ද, ඔවුන් කිසිවකු පුද්ගලිකව දැන නොසිටි බව යි පැවසෙන්නේ. ඔහු ජීවත් වූ ප්‍රදේශය අවට විවිධ කල්ලි ක්‍රියාත්මක වුණත්, සිය මව ඔහුව, ඔවුන් හා මිශ්‍ර වීමට නොදී ආරක්ෂා කරගත්තා. ඇය ඔහුට පැවසූයේ පිටත දී අයහපත් දේ සිදුවිය හැකි බැවින් නිවෙසට වී සිටින ලෙස යි. පූසෝ සඳහන් කළ පරිදි ඔහු සූදු ව්‍යාපාරය පිළිබඳ පුද්ගලිකව දැන සිටියත්, ඉතාලි-ඇමරිකන් අපරාධ කල්ලි පිළිබඳ කරුණු ඔහු සොයා ගත් දේ වුණා.

ඔහු වරක් සඳහන් කළ පරිදි පූසෝ සිය කෘතියෙහි ඩොන් විටෝ කොර්ලියෝනේ චරිතය සඳහා පාදක කරගත්තේ ඔහුගේ මව යි. ඇය ඉතා අග්‍රගණ්‍ය කාන්තාවක වගේම, ඇතැම්විට අනුකම්පා විරහිත ලක්ෂණ පෙන්වන්නියක බව යි පූසෝ කියා සිටියේ.

වරක් ඔහු සඳහන් කළේ ඔහුගේ කෘති අතුරින් ඔහු වඩාත්ම ප්‍රිය කරන්නේ 1965 දී පළ කළ The Fortunate Pilgrim කෘතියට බව යි. ඔහු එය ලිවීම ආරම්භ කළේ තම අත්දැකීම් අනුසාරයෙන් ලිවීමට වුව ද, පසුව ඔහුගේ මව පාදක කරගෙන තැනූ චරිතය එහි පෙරමුණට පැමිණියා.

ලේඛන කලාවට අත තැබීම

පූසෝ ලේඛන කලාවට අත තැබුවේ පාසැල් සමයේ දී යි. පාසැලෙහි උසස් පන්තිවල සිටිය දී ඔහු ලේඛකයකු ලෙස ජීවිකාව සලසා ගැනීම පිළිබඳ සිහින දුටුවා. නමුත්, තරුණ කාලයෙහි ඔහු සිය පියා මෙන්ම නිව් යෝර්ක් මධ්‍යම දුම්රිය සේවයෙහි රැකියාවක නියැළුණා.

දෙවන ලෝක යුධ සමයෙහි හමුදාවට බැඳී ජර්මනියෙහි සේවය කළ පූසෝ පසුව සියරට පැමිණ, නිව් යෝර්ක් සිටි සරසවියට අනුබද්ධ නිව් යෝර්ක් සිටි කොලේජ් හි අධ්‍යාපනය ලැබුවා. ඒ සමගම ඔහු කෙටිකතා ලියන්නට ද පෙළඹුණා.

ඔහුගේ පළමු නවකතාව වූ The Dark Arena ලිවීමට පටන් ගත්තේ ද මේ සමයේ යි. එයින් කියැවෙන්නේ යුධ සමයේ තමා සබඳතාවක් ගොඩනගා ගත් කාන්තාවක සොයාගෙන යළි ජර්මනියට යන හිටපු ඇමරිකන් සෙබළකු ගැන යි.

1960 දී බෲස් ජේ ෆ්‍රීමන් විසින් පූසෝව පුරුෂයින් සඳහා වූ සඟරා කිහිපයක සහාය කර්තෘවරයකු ලෙස බඳවා ගත්තා. එකල පුසෝ එම සඟරා සඳහා කෙටිකතා ලියූ අතර, ඔහු ප්‍රකටව සිටියේ විශාල කියවීමේ පිපාසයකින් යුතු අයකු ලෙස යි.

පූසෝගේ ප්‍රකට කෘතීන් කිහිපයක් (amazon.com)

“ද ගෝඩ්ෆාදර්” ලියන සමයේ ද පූසෝ නිදහස් ලේඛකයකු ලෙස කටයුතු කළා. ඔහුගේ ආර්ථික අපහසුතා එම පොත ලියූ පසු නිම වුණා. ඔහු එහි කර්තෘභාගය ලෙස ලද මුදල ඩොලර් 410,000ක්.

මෙම කෘතිය මාෆියා සංවිධාන ගැන පමණක් සාකච්ඡා කරන්නක් නොවේ. ඒ ඔස්සේ පවුලෙහි වැදගත්කම, අන්ත ධනවාදයේ අයහපත් ලක්ෂණ ආදී කරුණු ද සාකච්ඡා වනවා.

කියවන්න: දූෂිත සමාජ සංවිධානය පිළිබඳ මාරියෝ පූසෝගේ අග්‍රගණ්‍ය කෘතිය- The Godfather

පසුකාලීන කෘති

ගෝඩ් ෆාදර් පළමු චිත්‍රපට දෙකෙන් පසු පූසෝ වෙනත් චිත්‍රපට කිහිපයක තිර රචනයෙන් දායක වුණා. ඒ අතර සුපර්මෑන්, සුපර්මෑන් 2, A Time to Die, The Cotton Club ආදිය වනවා.

ගෝඩ්ෆාදර් තිර රචකයින් දෙදෙනා. පූසෝ සහ ෆ්‍රැන්සිස් ෆෝර්ඩ් කොපෝලා (Getty Images)

පූසෝ 1978 දී ලාස් වේගාස් හි සූදු ව්‍යාපාර පිළිබඳ Fools Die නම් කෘතිය පළ කළා. එහි කර්තෘභාගය ලෙස ඔහුට ගෙවූ මුදල ඩොලර් මිලියන 2.55ක් වුණා.

පූසෝ 1984 දී පළ කළ, The Sicilian (සිසිලියානුවා) සමග නැවත ඉතාලි මාතෘකා වෙත නැඹුරු වුණා. එහි ප්‍රධාන චරිතය වූයේ සැල්වතෝර් ජුලියානෝ නම් සැබෑ චරිතයක්. සරදියෙල් පන්නයේ අයකු වූ ජුලියානෝ රජයට මං පහරන්නකු ද, දුප්පත් සිසිලි වැසියන්ට වීරයකු ද වුණා. මෙය අනුසාරයෙන් ද 1987 දී චිත්‍රපටයක් පටිගත කෙරුණා.

පූසෝගේ පසුකාලීන කෘති අතර The Fourth K මෙන්ම The Last Don ද කැපී පෙනෙනවා.

මාරියෝ පූසෝ 1999 ජූලි 2 වනදා හෘදයාබාධයකින් මියගියා. ඔහු ලියූ Omerta කෘතිය පළ වූයේ ඔහුගේ මරණින් පසුව යි.

ඇත්තෙන්ම ඔහුගේ තවත් අඩක් නිම වූ කෘතියක් තිබුණා. හයවන ඇලෙක්සැන්ඩර් පාප්වහන්සේ පිළිබඳ ලියැවුණු The Family නම් වූ එම කෘතිය අවසන් කළේ ඔහුගේ පෙම්වතිය වූ කැරොල් ජිනෝ විසින්. 1978 දී තම බිරිඳ මියගිය පසු පූසෝ ජීවත් වූයේ ජිනෝ සමග යි.

කවරයේ පින්තූරය: මාරියෝ පූසෝ (IMDB)

Related Articles