Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔත්තුකාරියක් වූ සරාගී නළඟන මාටා හරී

2017 ඔක්තෝබර් මස 15 දිනට එක්තරා යුගයක යුරෝපයේ ඉතා ප්‍රසිද්ධව සිටි කාන්තාවක් මරණ දණ්ඩනයට ලක්කර ශතවර්ෂයක් සම්පූර්ණ වූයේය​. 1917 ඔක්තෝබර් මස 15 වන දින ඇයට මරණ දණ්ඩනයට දෙනු ලබන්නේ ප්‍රංශයට විරුද්ධව ජර්මනිය වෙත ඔත්තු සපයා සෙබළුන් දහස් ගණනකට මරණය අත්කර දීම යන චෝදනාව යටතේයි. ඇය ප්‍රසිද්ධ වුයේ ‘මාටා හරි’ යන නමිනි. ඇගේ සැබෑ නම මාගරිතා ගීතෘයිඩා සෙල් (Margarethe Geertruida Zelle) ය.

mediadrumworld

මාටාගේ මරණයට වසර සියයක් සපිරෙන දිනයේ ප්‍රංශ ආරක්ෂක අමාත්‍යංශය විසින් මෙතෙක් රහසිගතව තබා ගන්නා ලද තොරතුරු විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධ කිරීම නිසා ඇගේ මතකය ලෝකයට යළි ආවර්ජනය විය. ඒ අතරට අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල සටහන්ද ඇතුලත්ය. මෙම සාක්ෂි ඇගේ උපන් නගරය වූ නෙදර්ලන්තයේ Leeuwarden හි Fries කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. ඇයව අත්අඩංගුවට ගැනීමට මැඩ්රිඩ්හි හමුදා මුලස්ථානයේ සිට බර්ලින් වෙත එවන ලද ටෙලිග්‍රෑම් පණිවිඩය පවා එහි අඩංගුය.

Fries කෞතුකාගාරයේ ඇති මාටාගේ සටහන් පොත (wikimedia)

කටුක ළමාවිය

මාගරිතා උපත ලබන්නේ 1876 නෙදර්ලන්තයේ Friesland හිදීය. ඇය ළමා වියේදී අැගේ පියා තමාගේ ව්‍යාපාරික කටයුතු අසාර්ථක වීම නිසා පවුල හැරදමා යයි. එතෙකින් නොනැවතී ඉන් පසුව ඇයට වයස අවුරුදු 15 දී මව අකල් මරණයකට ගොදුරු වන අතර මේ නිසා ඇයට සිය ඥාතින් සමග වාසය කිරීමට සිදු වේ.

ළමා වියේදී (pinterest)

ඇය තමාට වයස අවුරුදු 18දී තමා වෙත ලැබුණු විවාහ යෝජනාවක් පිළිගනිමින් ලන්දේසි ජාතික හමුදා නිලධාරියෙක් වූ රුඩොල්ෆ් ජෝන් මැක්ලොයිඩ් සමග විවාහ දිවියට යොමුවිය. ඉන්පසු ඔවුන් දෙදෙනාම රුඩොල්ෆ් සේවය කළ ඉන්දුනීසියාවේ පදිංචියට පැමිණෙන අතර පසු කලෙක මාගරිතා ප්‍රදර්ශනය කරන නර්තනයන් අධ්‍යයනය කරනු ලබන්නේද ඉන්දුනීසියාවේ වාසය කරන සමයේදීය.

කෙසේ නමුත් මෙම විවාහ ජීවිතය ඉතාම ගැටළු සහගත, ගැටුම්කාරී එකක් වීමට වැඩිකල් ගත නොවීය. සැමියාගේ හිංසනයන්ට ලක්වෙමින් ජීවත්වීමට ඇයට සිදුවන අතර ඇය වරක් ලිපියක ලියා තබන ආකාරයට වරෙක සැමියා පාන් කපන පිහිය රැගෙන තමාව මරා දැමීමට පැමිණෙන විට දිවිගලවාගෙන පැන යා හැකිව තිබුණේ ඔහු පුටුවක හැපීම නිසාය.

රුඩොල්ෆ් සමග විවාහය (Bornmeer-Tresoar)

මෙම යුවලට දරුවන් දෙදෙනෙකු හිමිවූ අතර පිරිමි දරුවා කුඩා කලදීම මිය ගොස් තිබේ. දියණිය Louise Jeanne MacLeod 1898දී උපන් අතර ඇයද වයස 21දී (1919දී) අකල් මරණයකට ගොදුරු වී තිබේ.

දියණිය Louise Jeanne (pinterest)

පැරිසියට

පසුව ඔවුන් නැවත නෙදර්ලන්තයට පැමිණි අතර 1902දී දෙදෙනාගේ විවාහ ජීවිතය නිමා විය. නමුත් රුඩොල්ෆ් ඇයට දියණිය හදාවඩා ගැනීමට දීමනා ලබාදීම ප්‍රතික්ෂේප කරන නිසා ඇය අසරණ තත්ත්වයකට පත්ව තීරණයකට එළැඹ තිබේ. එනම් දියණිය රුඩොල්ෆ් වෙත භාර දී 1903දී පැරිසිය බලා පැමිණීමයි. පැරිසියේ රඟහලක රැකියාවක් ලබා ගැනීමට ඇයට හැකිවන අතර මුදල් අඟහිඟකම නිසාම අමතර මුදල් ඉපයීමේ මාර්ග වෙතද යොමු වීමට සිදු විය. රඟහලේදී ඇගේ නර්තනයන් දැක ඈ වෙත පැමිණෙන පුරුෂයන් සමග යහන්ගත වීමට ඇය පෙළඹෙන්නේ ඒ අනුවයි. ඇය වරෙක ඇගේ පැරණි සැමියාගේ සොයුරෙකුට ලිපියක් ලියමින් ‘මා එය සිදුකළේ අඟහිඟකම නිසා පමණයි’ යැයි පවසා ඇත.

මාටාගේ ලිපියක් (solofriendly)

ප්‍රසිද්ධ නළඟන මාටා හරි

ඇය මාටා හරි ලෙස හැඳින්වීමට හේතුව එය ඉන්දුනීසියානු බසින් සූර්යයා හැඳින්වීමට භාවිතා කරන නමක් ලෙස ඇයට පටබැඳීමයි. Mata hari යනු ඉංග්‍රීසි බසින් Eyes of the day යන්නයි. 1905දී ඇය පැරිසියේ Guimet හිදී කරනු ලබන රංගනයකින් පසුව ඇය පැරිසියේ පමණක් නොව යුරෝපය පුරා ප්‍රසිද්ධියට පත්වීම ඇරඹුණි.

gettyimage

දුහුල් සළු සෙමින් උනා දමමින් රංගනයේ යෙදුනු ඇය කෙටි කලකින්ම නාගරික ඉහළ පාංතික පිරිස් අතර ජනප්‍රියත්වයට පත්වන අතර බොහෝ ව්‍යාපාරිකයන් ඉහළ දේශපාලකයන්, ඉහළ හමුදා නිලධාරින් පවා ඇගේ පහස විඳීමට ඈ සොයා ඒම ආරම්භ විය. ඉන් පසුව ඔවුන්ගේ තෘප්තිය සලසමින් සැප පහසු, අධික වියදම් සහිත සුඛෝපබෝගී ජිවිතයක් ගත කිරීමට ඇයට හැකි වී තිබේ.

නර්තනයක් (donhollway)

ඇගේ අඩ නිරුවත් ඡායාරුප පැරිසිය පුරා අලෙවි වූ අතර ඇගේ ජනප්‍රියත්වයද දිගින් දිගටම ඉහළ මට්ටමක පැවතුණි. ඇගේ සටහන් පොත් අතර තිබී ඇය පිළිබඳ පුවත්පත් වාර්තා සහ ඡායාරූපද හමුව තිබේ.

මාටාගේ සුප්‍රකට ඡායාරූපයක් (s3.amazonaws.com)

පළවන ලෝක යුද්ධය ඇරඹේ

1914 දී ප්‍රංශයත් ජර්මනියත් සතුරු කඳවුරු නියෝජනය කරමින් යුද වැදීමත් සමග ඇයට පෙර පරිදි තම රැකියාව කිරීමටත්, සුපුරුදු ජීවිතය ගතකිරීමටත් නොහැකි විය. යුද්ධය ඇරඹී වසරක් ගතවන විටදී 1915 දී අවසන් වරට සිය නිරූපණය සිදු කරමින් රැකියාවට සමු දීමට ඇයට සිදුවිය. මින්පසු ආර්ථික දුෂ්කරතා නිසා ඇය තවත් තෝරාගැනීමක් කිරීමට සිදුවිය.

1914දි (rarehistoricalphotos)

ලෝක යුද්ධය හමුවේ සියලු රටවල් සතුරු රාජ්‍යන්හි තොරතුරු ගවේෂණයට ඔත්තු සේවා කටයුතු වඩ වඩාත් කාර්යක්ෂම කරන ලදී. සතුරු නායකයන්ගෙන් තොරතුරු ලබා ගැනීමට ආකර්ෂණීය උගුල් (කාන්තාවන්) යොදා ගැනීම හෙවත් Honey Traps එකල ද සාර්ථක ක්‍රමයක් ලෙස හඳුනාගෙන තිබුණි.

මාටා හරිව තමන්ගේ ඔත්තු කාරියක් බවට පත්කරගැනීමට ජර්මනිය සමත් විය. ඇය 1917දී ප්‍රංශයේදී අත්අඩංගුවට ගන්නා ලද අතර පසුව කරනු ලබන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසුව ලබා දුන් ඇගේ පාපොච්චාරණය අනුව 1915දී නෙදර්ලන්තයේ Hague හිදී ජර්මන් ඔත්තුකාරියක් ලෙස පුහුණුව ලබා ගෙන ඇත. ඇයට මේ සඳහා ජර්මන් නිලධාරීන් සමග සම්බන්ධතාව ගොඩනැගෙන්නේ ඇය ජර්මනියේ පැවැත්වූ සංදර්ශන අතරවාරයේ හිතවත් වූ ජර්මන් හමුදා නිලධාරියකු හරහාය. ඔහු Arnold Von Kalle ය. දෙදෙනා අතර ආදර සම්බන්ධතාවක්ද පැවති බවට අදහසක් පවතී. ජර්මන් ඔත්තුසේවයේදී ඇයට හිමිවන සංකේත නාමය වුයේ ‘AGENT H21’ ය. ඇය මෙහිදී ජර්මනියට ප්‍රංශයේ නිලධාරීන් සමග සබඳතා පවත්වමින් ඔත්තු ලබා දෙන ලදී.

ඉන්දුනීසියාවේ සිටියදී 1900 (pinterest)

මේ අතර පසුව නොදැනුවත්ව ප්‍රංශ බුද්ධි අංශ විසින්ද මාටා හරිව ඔත්තුකාරියක් ලෙස ජර්මනියේ ඔත්තු බැලීමට සම්බන්ධ කරගැනීම සිදුවනවා. ඇය ද්විත්ව නියෝජිතවරියක් (Double Agent) වන්නේ එලෙසයි.

මේ අතර ජර්මන් බුද්ධි අංශවල රහසිගත තොරතුරු විකේතනය (decode) කරගැනීමට ප්‍රංශ බුද්ධි අංශ සමත්වන අතර එහිදී Agent H21 යන්න ඔවුන් කිහිපවතාවක් හසුකරගෙන තිබේ. නමුත් එතෙක් ඒ කවුරුන්ද යන්න සොයාගැනීමට ප්‍රංශයට හැකි වී නැත.

භාවිත කළ විවිධ හැඳුනුම්පත් (dailymail)

පසුව

මින් පසු සිදුවූ දේ පිළිබඳව ඉතිහාසඥයන් අතර මත දෙකක් පවති.

එක් මතයක් වන්නේ මාටා ප්‍රංශ බුද්ධි අංශ වෙනුවෙන් සේවය කරන බව ජර්මන් බුද්ධි අංශ අනාවරණය කරගනු ලැබීමෙන් පසුව ජර්මන් බුද්ධි අංශ විසින් ඇය ජර්මන් ඔත්තුකාරියක් බව ප්‍රංශයට අනාවරණය කරගැනීමට අවශ්‍ය සාක්ෂි සපයා දීමයි. එය සිදු කරන්නේද උපක්‍රමික ලෙසයි. තමන්ගේ පණිවිඩ ප්‍රංශය විසින් විකේතනය කරන බව අවබෝධ කරගන්නා Arnold Von Kalle හිතා මතාම Agent H21 ගේ ලිපිනය, බැංකු විස්තර මෙන්ම ඇගේ සේවිකාවගේ තොරතුරුද බර්ලින් වෙත ලබා දෙන්නේ එම තොරතුරු නිසැකවම ප්‍රංශය විසින් ග්‍රහණය කරගෙන මාටා ජර්මන් ඔත්තුකාරියක් බව සොයාගත හැකිවන ලෙසයි. ඉන්පසු සතුරියගේ ඉරණම සතුරා විසින්ම විසඳා දීමට ඉඩ හැරේ. මෙම පණිවිඩයෙන් පසුව වහාම ප්‍රංශ හමුදාවන් විසින් ඇයව අත්අඩංගුවට ගන්නා ලදී. මෙම පණිවිඩයේ තොරතුරුද සංරක්ෂිතව තබා ඇත.

අත්අඩංගුවට පත් මාටා, 41වන වියේදී (MUSEUM OF FRIESLAND COLLECTION, LEEUWARDEN)

මේ සම්බන්ධ අනෙක් මතය නම් මෙම පණිවිඩය සැක සහිත එකක් බවයි. එහි හමුව ඇත්තේ විකේතනය කරන ලද තොරතුර පමණයි. මුල් ටෙලිග්‍රෑම් පණිවිඩය පිළිබඳ සාක්ෂි කිසිවක් නැත. ඒ අනුව මෙය ප්‍රංශ බුද්ධි අංශ විසින්ම සැලසුම් කර ඇයව නිහඬ කිරීමට ගත් උත්සාහයක් වීමට ද ඉඩ තිබේ.

මෙයට හේතු ගණනාවක් ඇත: ප්‍රංශ නිලධාරීන්ට යුද පසුබෑම්වලින් එල්ලවන අපකීර්තියෙන් මිදීම සඳහා වරද පැටවීමට ඔවුන් ඔත්තු සේවයේ අයෙක් සොයමින් සිට තිබේ. ඇගේ ඔත්තු සැපයීම නිසා ප්‍රංශ සෙබළුන් දහස් ගණනක් මරණයට පත්වූ බව පවසමින් රට තුල තමන්ට එල්ලවන අපකීර්තියෙන් මිදීමට ඉහළ නිලධාරීන් උත්සාහයක් ගත් බව පැවසේ. ඇයව නිහඬ කිරීමට බලධාරීන්ට අවශ්‍ය වූ තවත් හේතුවක් වූයේ ප්‍රංශයේ ඉහළ හමුදා නිලධාරීන් මෙන්ම බලවත් දේශපාලකයින් බොහෝ දෙනා ඇගේ පහස සොයා ගිය පිරිස් වීමයි.

ඉහත මතයන් දෙකක් පැන නගින්නේ ඇයව ප්‍රංශය මුලින්ම අනාවරණය කරගත්තේ කෙසේද යන ආකාරය පිළිබඳව වීමයි. කෙසේ වෙතත් ඇය සැබෑ ලෙසම ජර්මනිය වෙනුවෙන් ඔත්තු සැපයු බව අද ඔප්පු වී ඇති සත්‍යකි.

ප්‍රංශ අධිකරණයෙන් නිකුත්කළ මරණ දඬුවම් නියෝගය (MUSEUM OF FRIESLAND COLLECTION, LEEUWARDEN)

මරණ දණ්ඩනය සඳහා ඇයව පැරිස්හි Chateau de Vincennes වෙත රැගෙන එන අතර හමුදා සෙබළුන් 12කින් යුත් භට කණ්ඩයක් විසින් වෙඩි තබා ඇගේ ප්‍රාණය නිරුද්ධ කරන ලදී. වාර්තාවල සඳහන් වන ආකාරයට ඇය අවසන් මොහොතේ ඇස් ආවරණ පැළඳීම පවා ප්‍රතික්ෂේප කර ඇත. ඒ වනවිට මාටා 41 වන වියේ පසු විය.

මාටාගේ අවසන් මොහොත යයි සලකන ඡායාරූපය (මෙය සමකාලින චිත්‍රපටයක දර්ශනයක් යයිද සැකයක් පවතී) (bbc)

ඇගේ ශරීරය භාර ගැනීමට කිසිවෙකුත් නොවූ නිසා එය පැරිසියේ වෛද්‍ය පාසලකට ලබා දෙන අතර ඇගේ හිස පැරිස්හි විච්ජේදක කෞතුකාගාරයට ලබා දී ඇත. වසර 20කට පසු ඇගේ සිරුර අතුරුදන්ව ඇති අතර එය සොරකම් කරන ලදැයි පැවසේ.

මරණය පිළිබඳව එකල ප්‍රංශයේ පුවත්පත් වාර්තාවක්(collection-privee)

1976 අගෝස්තු මස 7 වනදා ඇයව සිහිවනු පිණිස ඇය උපන් නෙදර්ලන්තයේ Leeuwardenහි නිවස ආසන්නයේ ඇගේ ප්‍රතිමාවක් ස්ථාපිත කර තිබේ.

ස්මාරකය (wikimedia)

කවරයේ පින්තුරය: superretro.com

මුලාශ්‍ර:

  1. http://www.bbc.com/news/world-europe-41595828
  2. https://www.theguardian.com/lifeandstyle/2016/dec/05/the-real-mata-hari-executed-abused-woman

Related Articles