Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්නැප්චැට් සම නිර්මාතෘ “එවන් ස්පීගල්” – ලොව ලාබාලතම ධනවතා

සල්ලි කාරයෙක් වෙන්න කවුද අකමැති? සමහර අයට සල්ලි බාගේ පරම්පරාවෙන්, දෙමව්පියන්ගේ උරුමයෙන් අයිති වෙනවා, තවත් අය ඉගෙන ගෙන, රස්සාවක් කරලා, හොඳ ආයෝජන මාර්ග තෝරා ගන්නවා. මේ අතරින් කීයෙන් කී දෙනාටද අවුරුදු 26 ක් වෙද්දී ස්වෝත්සාහයෙන් දියුණු වෙලා කෝටිපතියෙක් වෙන්න ලැබෙන්නේ? මේ කියන්න යන්නේ එහෙම දියුණු වෙලා ලොව ලාබාලම කෝටිපතියන් ලැයිස්තුවේ මේ වෙනකොට ප්‍රථමයෙන්ම ඉන්න කෙනා පිළිබඳවයි.

කවුද මේ එවන් ස්පීගල්

එවන් තෝමස් ස්පීගල්. (Los Angeles Times, latimes.com)

ස්නැප්චැට් (Snapchat) ගැන අද අහපු නැති කෙනෙක් නැති තරම්. ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ වෙබ් අඩවි තරමටම ප්‍රසිද්ධ මොබයිල් ඇප් එකක් වුනු ස්නැප්චැට් මඟින් පින්තූර, වීඩියෝ මිතුරන් අතර බෙදා ගන්න පුළුවන්. මෙහි විශේෂත්වය වන්නේ මේ පින්තූර, වීඩියෝ දෙකම මිතුරන් නැරඹු පසු ස්වයංක්‍රීයව මැකී යන තාක්ෂණයක් මේ මොබයිල් ඇප් එකේ අන්තර්ගත වීම නිසාවෙනන්.

එවන් ස්පීගල් කියන්නේ මේ මොබයිල් ඇප් එකේ සම නිර්මාතෘ වගේම ස්නැප්චැට් (පසුගිය වසර අග සන්නම් නාමය Snap Inc. ලෙස වෙනස් වූ) සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී. තවම වයස අවුරුදු 26ක් වන මොහුගේ මුළු වත්කම ඩොලර් බිලියන 2.1, අපේ රුපියල් වලින් ගත්තොත් කෝටි 31,500 ක් වගේ අගයක්!

අධ්‍යාපනය සහ ස්නැප්චැට් ආරම්භය

ස්නැප් නිර්මාතෘන් – එවන් සහ රොබර්ට් මර්ෆි (Asian Journal, asianjournal.com)

1990 වසරේ ජූනි මස ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී නීතීඥවරුන් යුවළකට දාව මෙලොව එළිය දුටු එවන් තෝමස් ස්පීගල් ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු කැලිෆෝනියාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ආරම්භ කරනවා. කුඩා කල සිටම සැපපහසු කමින් පිරි දිවියකට උරුමකම් කී එවන්ගේ ළමාකාලය මිල අධික කාර්, විශාල ප්‍රමාණයේ මාසික දීමනා සහ සංචාර වලින් නොඅඩු වූ බව පැවසේ.

අධ්‍යාපනය ලබන අතරතුර කිහිප තැනකම තාවකාලික රැකියාවන් වල යෙදෙන එවන්, ස්නැප්චැට් අදහස මුළින්ම ඉදිරිපත් කරන්නේ ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ නිපැයුම් නිර්මාණකරනපන්තියේ ව්‍යාපෘතියක් හැටියට. පසුව රොබර්ට් මර්ෆි සහ රෙජී බ්‍රවුන් සමඟ එක්ව මොබයිල් ඇප් එකක් නිර්මාණය දක්වා දිවෙන ස්නැප්චැට් වෙනුවෙන් එවන් තම විශ්ව විද්‍යාල ගමනද, උපාධිය අවසන් කරන්න කෙටි කලකට පෙර අත්හැර දමනවා.

ස්නැප්චැට්: අධිවේගී වර්ධනය

හඳුන්වාදුන් “ස්පෙක්ටකල්ස්”. (Spectacles, spectacles.com)

2011 වසරේ ආරම්භ වූ  මේ මොබයිල් ඇප් එකේ පින්තූර සහ වීඩියෝ හුවමාරුවට අමතරව තවත් විශේෂාංග රැසක් අන්තර්ගතයි. කෙටි වේලාවකට පසු පින්තූර මැකී යන තාක්‍ෂණයත්, පණිවුඩ හුවමාරු කර ගැනීමේ මාධ්‍යයක් ලෙස මෙය භාවිත වීමත් නිසා වසර 2012 වන විට දිනකට භාවිත කරන්නන් මිලියන10ක් පමණ  වූ අතර, මිලියන 20ක් පමණ පින්තූර හුවමාරු කරගත් බවත් පැවසේ.

මේ සීග්‍ර වර්ධනය සහ ජනප්‍රියත්වය නිසා වාර්තා වන අන්දමට ෆේස්බුක් 2013 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට ස්නැප්චැට් මිලදී ගැනීමට ඉදිරිපත් වුනත් එවන් එය ප්‍රතික්ෂේප කරනවා. හිතුවක්කාර සහ තරමක් උඩඟු චරිතයක් ලෙස ඇතැමුන් හැදින්වූවත් ඔහු එදා ගත් තීරණය සනාථ කරමින් මේ වන විටත්  ස්නැප්චැට් දිනකට මිලියන 400 ක් පමණ පින්තූර සහ වීඩියෝ හුවමාරු වන, දිනකට මිලියන 100ක් පමණ දෙනා භාවිත කරන මොබයිල් ඇප් එකක් වී හමාරයි.

පසුගිය වසරේ ස්නැප් (Snap Inc.) ලෙස වෙළඳ නාමය වෙනස් කල ස්නැප්චැට්, සමාජ ජාල ඇප් එකකින් ඔබ්බට ඉදිරියට යන බව පෙන්වමින් “ස්පෙක්ටකල්ස්” නමින් වීඩියෝ පටිගත වන අවු කන්නාඩි කුට්ටමක්ද හඳුන්වා දුන්නා. මෙය පැළඳ සිටින අතරතුර තත්පර 30 ක් දක්වා දිග වීඩියෝ පටිගත කර ඍජුවම ස්නැප්චැට් වෙත බෙදා ගැනීමේ හැකියාව ඇති බව බවසේ.

පෞද්ගලික ජීවිතයෙන් බිඳක්

ලොස් ඇන්ජලීස්හි නිවස (Mirror, mirror.co.uk)

කුඩා කල සිටම සුඛෝපභෝගී ජීවිතයකට උරුමකම් කී එවන් වාර්තා වන ආකාරයට පාසල් යන අවධියේ පටන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කාලය දක්වා ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වීමටත්, සාද දමා විනෝදයෙන් ජීවිතය ගෙවීමට කැමැත්තක් දක්වූ චරිතයක් බව පැවසේ. නව යොවුන් වියේ සිටම ඔහුගේ තිබූ මිල අධික කාර් වලට ඇති කැමැත්ත නිසාවෙන්ම අද ඔහු ෆෙරාරි රථයක් පදවන අතර බලපත්‍ර ලත් හෙලිකොප්ටර නියමුවෙක්ද වේ.  පසුගිය වසරේ මිලට ගත් ලොස් ඇන්ජලීස්හි ඔහුගේ නවතම නිවස නිර්මාණය කර ඇත්තේ ජනප්‍රිය ගෘහ නිර්මාණ ශිල්පී ජෙරාඩ් කොල්කොර්ඩ් විසිනි.

2014 වසරේ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර දැන හඳුනා ගත් සුප්‍රකට මෝස්‌තර නිරූපිකාවක වන මරෙන්ඩා කර් සමඟ මේ වසරේ විවාහ වීමට නියමිත එවන් ස්පීගල් මේවනවිට ඇමෙරිකාවේ වයස 40 ට අඩු ධනවත්ම ව්‍යවසායකයින් අතරින් 10 වන ස්ථානයේ පසුවෙනවා.

කවරයේ පින්තුරය: Los Angeles Times, latimes.com

මුලාශ්‍ර: forbes.com, entrepreneur.com, mirror.co.uk, wikipedia.org, pocket-lint.com, mashable.com

Related Articles