Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආසියාව තුළ සංගීතය ජයගත් ඩැනිෂ් හාදයෝ, MLTR

අසූව දශකයේ ඉපදුණු බොහෝදෙනෙකු බටහිර සංගීතය දෙසටත් නැඹුරු වෙන්න හේතුවුණ ගායකයන් හා සංගීත කණ්ඩායම් බොහෝමයක් තිබෙනවා. ඔවුන්ගෙන් ඇතැමෙක් මේ වනවිට සංගීත ක්ෂේත්‍රයෙන් සමු අරගෙනත් අවසාන යි. නමුත් එම කාලයේ ඇතැම් කලාකරුවන් තවමත් සංගීත ක්ෂේත්‍රයේ රැඳෙමින් තම රසිකයන් වෙනුවෙන් යුතුකම් ඉටුකරනවා. බටහිර සංගීතයට ඇල්මක් දක්වන බොහෝදෙනෙක් “මයිකල් ලර්න්ස් ටු රොක්,” එහෙමත් නැත්නම් කෙටියෙන් MLTR නමින් හඳුන්වන සංගීත කණ්ඩායම ගැන නිසැකවම අහලා ඇති. ඔවුන්ගේ Sleeping child, The actor, Take me to your heart ඇතුළුව තවත් ගීත බොහෝමයක් ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාව තුළත් අතිශයින් ජනප්‍රිය වුණා. MLTR වරක් ශ්‍රී ලංකාවේත් ප්‍රසංග පවත්වා ඇති කණ්ඩායමක් නිසා අපට ඔවුන් ගොඩක් සමීප යි. ඉතින් ඔවුන්ගේ ආරම්භය, මෙතෙක් දක්වා සංගීත ලෝකය තුළ ඔවුන් පැමිණි ගමන, ආසියාකරය තුළ MLTR කණ්ඩායම ජනප්‍රියවීමට හේතූන් යන කාරණා ඔබට මෙම ලිපියෙන් දැන ගැනීමට හැකි වේවි.

ආ(ර්)හස්වල ඉපදුණු සිහිනය

1987 දී ඩෙන්මාර්කයේ ආ(ර්)හස් නම් ප්‍රදේශයේ උසස් පාසලක, සංගීත පුරාවෘත්තයක මූල බීජයක් පැළවුණා. එකල උසස් විදුහල් අධ්‍යාපනය ලබමින් සිටි යෂා රිච්ටර් නම් තරුණයා වඩාත් දක්ෂ වුණේ ගායකයෙකු සහ කීබෝඩ් වාදකයෙකු ලෙස යි. යෂා සහ ගිටාර් වාදකයෙකු ලෙස දක්ෂකම් දැක්වූ මිකෙල් ලෙන්ට්ස්, බෙර වාදකයෙකු ලෙස තම හැකියාවන් පෙන්වූ කාර් වැන්ෂර් සමග එක්ව කුඩා සංගීත කණ්ඩායමක් පිහිටුවාගන්නවා. මුල දී යෂා විසින් රචිත ගීත කිහිපයක් වාදනය කළ ඔවුන්,පසුව වඩාත් සංවිධානාත්මක ලෙස තම කණ්ඩායම සකසාගැනීමට තීරණය කරනවා. ඒ අනුව 1988 වර්ෂයේ වසන්ත ඍතුවේ එක් දිනෙක තවත් සාමාජිකයෙකු මේ මිතුරන්ගේ කුඩා සංගීත හවුලට එකතු වෙනවා. නමින් ඔහු සෝරන් මැඩ්සන් වන අතර ඔහුත් ගිටාර් වාදකයෙකු ලෙස දක්ෂකම් පෙන්වූ තරුණයෙක්.

MLTR කණ්ඩායමේ වැඩියෙන්ම ඇහෙන ළයාන්විත හඬ, යෂා රිච්ටර්/theaudiodb.com

මෙම කණ්ඩායම “මයිකල් ලර්න්ස් ටු රොක්” නමින් හැඳින්වීම පිටුපස පැහැදිලි හේතුවක් නොමැති බව එම කණ්ඩායමේ සාමාජිකයන් පසුකලෙක පවසා තිබෙනවා. ඔවුන් වෙත ප්‍රේක්ෂක අවධානය යොමුකරවා ගත හැකි නාමයක් ඉක්මණින්ම අවශ්‍ය වී තිබුණු අතර, රොක් සංගීතය තුළ ඔවුන් වඩාත් වාදනය කිරීමට කැමති දේ වැනි අර්ථයක් MLTR නාමය තුළ ගැබ්වී ඇති බව ඔවුන් සඳහන් කරනවා. එමෙන්ම “මයිකල්” යන නාමය පොප් සංගීතයේ රජුයැ යි හැඳින්වෙන මයිකල් ජැක්සන්ගේ සිහිකර දැමූ නමක් බව සඳහන් වෙනවා.

1988 වර්ෂයේ, ගිම්හානයේ දී ආ(ර්)හස් නගරයේ පැවැත්වුණ වාර්ෂික කුසලතා තරගයට පිවිස තම දක්ෂකම් උරගා බැලූ MLTR කණ්ඩායම, එහිදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගන්නට සමත්වුණා. තරගයේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෙකු වූ ජේ. පී. ඇන්ඩර්සන්, මේ තරුණයින්ගේ දක්ෂතා පිළිබඳ බොහෝසෙයින් පැහැදී ඔවුන්ගේ කළමණාකරු ලෙස සේවයට ඉදිරිපත් වුණා.

කුසලතා තරගාවලියෙන් ලද ජයග්‍රහණයත් සමග සංගීත ක්ෂේත්‍රයේ ගමනකට ශක්තිමත් අඩිතාලමක් ලැබුණ නිසා, මෙම තරුණයින් මීළඟ අවුරුදු දෙකේ ඩෙන්මාර්කය පුරා සංචාරය කරමින් සාර්ථකත්වයක් අත්කර ගත්තා. ඩෙන්මාක් ජාතික සංගීත කණ්ඩායමක් වුණත් ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් ගායනා කළ නිසා, ඩෙන්මාර්කයෙන් බිහිවී ජාත්‍යන්තරය ජයගත් ප්‍රබල කණ්ඩායමක් බවට අනාගතයේ දවසක පත්වීමේ භාග්‍යය ඔවුන්ට ලැබුණා.

MLTR සාමාජිකයන් ජෙන්ස් හොෆ්මන් සහ ඔලි පෝල්සන් යන නිෂ්පාදකවරුන් සමග තම කුළුදුල් ගීත ඇල්බමය නිර්මාණය කිරීමට මාස කිහිපයක් වෙහෙසුණා. එහි ප්‍රතිඵල වශයෙන් ඔවුන්ගේ කුළුදුල් ඇල්බමය කණ්ඩායම් නමින්ම 1991 වර්ෂයේ සැප්තැම්බරයේ නිකුත් වෙනවා. මෙම ඇල්බමයේ අඩංගු “The Actor” ගීතය 1992 වර්ෂයේ ජනවාරි මස වනවිට ඩෙන්මාර්ක් ගීත දර්ශකවල ප්‍රථම ස්ථානයට පැමිණුනේ ඔවුන්ට වාසනාව ගෙන ආ ගීතය ලෙස ඉතිහාසයට එක්වෙමින්. ඩෙන්මාර්කයට අමතරව නෝර්වේ, ස්වීඩනය, ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පූරුව, සහ පිලිපීනය යන රටවල ගීත දර්ශකවලත් “The Actor” ප්‍රථම ස්ථානයට පත් වෙනවා. එතැන් පටන් සංගීත ලෝකය තුළ ඔවුන්ගේ සැබෑ වික්‍රමය ඇරඹෙනවා.

 MLTR කණ්ඩායමේ පළමු ගීත ඇල්බමය ඔවුන්ගේ නමින්ම නිකුත්වුණා/suaramas.com

 

සංගීත ලෝකයේ ඉදිරියටම

කුළුදුල් ඇල්බමයේ සාර්ථකත්වයත් සමග කණ්ඩායම් සාමාජික යෂා රිච්ටර් ඔවුන්ගේ දෙවන ඇල්බමයේ ගීත රචනයට කාර්යබහුල වුණා. 1993 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ තම දෙවන ඇල්බමය නිකුත්කිරීමට ඔවුන්ට හැකිවන්නේ එලෙස යි. එම ගීත ඇල්බමයේ වූ “Sleeping Child” සහ “25 Minutes” යන ගීත ඉතා ජනප්‍රිය වෙන අතරතුර, ඇල්බමයේ පිටපත් මිලියනක් විකිණෙන්නට තරම් ඔවුන්ගේ දෙවන ඇල්බමය සාර්ථක වුණා.

MLTR කණ්ඩායම දෙවන ඇල්බමයෙන් පසු වසර දෙකක් යුරෝපය සහ ආසියාවේ සංචාරය කළා. ඔවුන්ගේ තෙවන ඇල්බමය “Played On Pepper” නමින් නිකුත්වන්නේ 1995 දී යි. පෙර ඇල්බම් ද්විත්වය මෙන් නොව, තෙවන ඇල්බමය පුළුල් පරාසයක රටවල්වලට නිකුත් කිරීමට ඔවුන් උත්සුක වුණා. එම ඇල්බමය ස්කැන්ඩිනේවියානු රටවල් සහ අනෙකුත් යුරෝපීය රටවල් රැසක නිකුත්කරන අතරේ ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සහ තවත් අග්නිදිග ආසියානු රටවල් 11ක් පුරා බෙදාහරිමින් ආසියාව තුළත් තම ස්ථාවරත්වය රැකගැනීමට ඔවුන් සමත්වෙනවා. එම වර්ෂයේම ආසියාවේ රටවල් දහයක් පුරා ප්‍රසංග 25ක දැවැන්ත ප්‍රසංග මාලාවක් සංවිධානය කිරීමට ඔවුන්ට හැකි වෙනවා.

1996 දී ඔවුන් තම සංගීත වෘත්තිය තුළ සුවිශේෂී වූ පියවරක් ගන්නවා. MLTR එතෙක් ගායනා කළ ගීත අතරින් වඩාත්ම සාර්ථක වූ ගීත කිහිපයක් තෝරාගෙන “Paint My Love – greatest hits” නමින් ඇල්බමයක් 1996 දී නිකුත් කරන්නේ මූලිකවම අග්නිදිග ආසියාව ඉලක්ක කරගෙන යි. මෙම ඇල්බමයේ පිටපත් මිලියන 3-4 ප්‍රමාණයක් විකිණුන අතර, සංගීත ක්ෂේත්‍රය පැත්තෙන් දකුණු කොරියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, පිලිපීනය, සහ මැලේසියාව වැනි රටවල මෙතෙක් සිදුවූ විශාලතම ජාත්‍යන්තර සිදුවීමක් ලෙස මෙම ඇල්බමය සුවිශේෂ ස්ථානයක් ලබාගන්නවා. 1997 දී තම සිව්වන නව ගීත ඇල්බමය වන “Nothing To Lose” නිකුත් කිරීමත් සමග MLTR කණ්ඩායම දකුණු අප්‍රිකාව තුළ සුපිරි තරු බවට පත්වුණා. 1998 වර්ෂයේ ජනවාරි මස දී ඔවුන් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් සහ ප්‍රිටෝරියා යන නගරවල පැවැත්වූ ප්‍රසංග විචාරක අවධානයට පවා ලක්වුණා.

රසික ආකර්ෂණය නොමඳව විඳින MLTR සාමාජිකයෙක්/rollingstoneindia.com/

 

“එක්සත් ජනපදය හෝ එක්සත් රාජධානියෙන් පිටත බිහිවී ඇති සාර්ථකම සංගීත කණ්ඩායම MLTR වියහැකියි.”

දකුණු අප්‍රිකාව තුළ ඔවුන්ට ලැබුණේ එවැනි ධනාත්මක විචාරක ප්‍රතිචාරයක්.වසර නවයකට ආසන්න කාලයක් අවිවේකී ජීවිත ගතකළ MLTR සාමාජිකයන් සිව්වන ඇල්බමයෙන් පසු යම් විවේකයක් ලබාගැනීමට තීරණය කරනවා. 2000 වර්ෂය වෙනතෙක් ඔවුන්ගෙන් නව ගීත ඇල්බමයක් නිකුත්වන්නේ නැහැ. නමුත් යෂා රිච්ටර් දිගින් දිගටම සංගීත රචනයේ යෙදුණ අතර එම ගීත “Greatest Hits” ලේබලය යටතේ පෙර ගායනා කළ ගීත සමග ඇතුළත් කොට නිකුත්කරනු ලැබුවා. ඔවුන්ගේ තවත් එක ජනප්‍රියම ගීතයක් වන “Strange Foreign Beauty” ගීතය නිකුත්වන්නේත් මෙම කෙටි විවේක කාලය අතරතුර යි.

සෝරන්ගේ නික්මයෑමෙන් පසු අවධිය

2000 වර්ෂයේ වසන්ත සමයේ දී  MLTR තම පස්වන ඇල්බමය සඳහා මූලික කටයුතු ආරම්භ කළේ යම් අභියෝගයකට ද මුහුණ දෙමින්. කණ්ඩායම් සාමාජිකයෙකු වූ සෝරන් මැඩ්සන් කණ්ඩායමෙන් ඉවත්වී තනි ගායකයෙකු ලෙස තම ඉලක්කය හඹායෑමට තීරණය කර තිබුණා. ඔහුගේ අනාගතය වෙනුවෙන් ගත් තීරණයට ඉඩ දෙමින්, ඉතිරි සාමාජිකයන් තිදෙනා සුපුරුදු පරිදි MLTR අනන්‍යතාවයෙන්ම ඉදිරියට යාමට තීරණය කළා. ඊළඟ ඇල්බමය නිපදවීමට පෙර මෙන් මිල අධික, ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදකයෙකු බඳවාගැනීමේ අදහස අතහළ ඔවුන් සිය මිත්‍රයෙකු වූ බෝයි ලා’සන්ට එම අවස්ථාව ලබාදීමට තීරණය කළා. බෝයි ලාර්සන් ඩෙන්මාර්කයේ අති දක්ෂ සංවිධායකයෙක්, නිෂ්පාදකයෙක්, සහ සංගීතඥයෙක්. ඒ අනුව 2000 වර්ෂයේ නොවැම්බර් මස දී සෝරන් මැඩ්සන් නොමැතිව නිකුත්කළ පළමු ඇල්බමය ලෙස “Blue Night” එළිදැක්වුණා.

පසු කලෙක ඉවත්ව ගිය සෝරන් මැඩ්සන් සමග MLTRහි පැරණි ඡායාරූපයක්/audiophileparadise.wordpress.com

සාමාජිකයෙකු අඩුවූ නමුත් ඔවුන්ගේ ජනප්‍රියත්වය සහ ගීතවල ගුණාත්මකභාවය කාලයත් සමග වැඩිවුණා මිසක අඩුවුණේ නම් නැහැ. ඔවුන්ට අදටත් වෙනස් නොවන ස්ථාවර රසික පිරිසක්, විශේෂයෙන්ම යුරෝපය සහ ආසියාව තුළ සිටිනවා. නමුත් MLTR කණ්ඩායමට එක්සත් ජනපදයේ සංගීත ක්ෂේත්‍රය නම් අතික්‍රමණය කරන්න ලැබෙන්නේ නැහැ. අසූව දශකය අගභාගයේ සහ අනූව දශකයේ මැදභාගය අතර බිහිවූ සංගීත කණ්ඩායම් අතරින් අදටත් සක්‍රීයව පවතින කණ්ඩායමක් ලෙස MLTR හැඳින්විය හැකියි. ඔවුන්ගේ නවතම ඇල්බමය, “STILL” යන නාමයෙන් 2018 දී නිකුත් වුණා.

MLTR ආසියාව තුළ මෙතරම් ජනප්‍රිය වුණේ ඇයි?

ආරම්භයේ සිට මේ දක්වා MLTR කණ්ඩායම ලෝකය පුරා තම නිර්මාණවල පිටපත් මිලියන 11ක් පමණ අලෙවිකොට තිබෙනවා. එමෙන්ම ඩෙන්මාර්කයෙන් බිහිව, කුමන හෝ ක්ෂේත්‍රයකින් විශාලතම ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබාගත් පිරිස අතර MLTR කණ්ඩායමත් ඉදිරියෙන්ම සිටිනවා. එම සාර්ථකත්වය පිටුපස අනෙකුත් ගායකයන් හෝ කණ්ඩායම් තුළ වැඩි වශයෙන් දක්නට නොලැබෙන සුවිශේෂී ලක්ෂණයක් තිබෙනවා. මෙම කණ්ඩායමේ සාමාජිකයන් කිසිම අයුරකින් අපකීර්තිමත් සිදුවීම්වලට සම්බන්ධ වී නැහැ. එමෙන්ම දික්කසාදය වැනි පෞද්ගලික ප්‍රශ්න තම වෘත්තීය ජීවිතය සමග පටලාගෙනත් නැහැ. වැදගත්ම කාරණය වන්නේ MLTR, මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර වූ ප්‍රතිපත්තියක් තම වෘත්තීය ජීවිතය තුළ පවත්වාගෙන යෑම යි.  

MLTR ශ්‍රී ලංකාවේ රසිකයන් වෙනුවෙනුත් පැමිණියා/life.lk/

 

මෙම කාරණා බොහෝ දුරට ආසියාව තුළ MLTR ස්ථාවර වීම කෙරෙහි බලපාලා තිබෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොරවීමේ ප්‍රතිපත්තිය නිසා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි නීති රීති තිබෙන ඇතැම් ආසියාතික රටවලට පහසුවෙන් ඇතුළුවීමේ හැකියාව MLTR හට තිබෙනවා. ඔවුන්ගේ ශෛලිය පිළිබඳව ඔබට අත්දැකීම් ඇත්නම්, බොහෝ ආසියාතික රටවල තිබෙන සංස්කෘතික වටිනාකම් සමග ඔවුන්ගේ ජීවන පිළිවෙත නිරායාසයෙන්ම ගැළපෙන බව වැටහේවි. එමෙන්ම ඔවුන්ගේ මැදහත් රිද්මයකින් ගැයෙන ගීත නිසාත්, සරල ජීවන යථාර්තයන් ඔවුන්ගේ නිර්මාණවලට බෙහෙවින් පාදක වන නිසාත්, මොවුන් අපි වැනි ආසියාතිකයන්ගේ හදවත් තුළ අනෙකුත් බටහිර ගායකයන්ට වඩා ලෙහෙසියෙන් තැන්පත් වුණා කියලා හිතන්න පුළුවන්. MLTR සාමාජිකයන්ගේ ඉංග්‍රීසි උච්චාරණය ද බොහොම පැහැදිලියි. 

“ඩෙන්මාර්කය තුළ ඔබගේ ජීවිතය මොන වගේ ද?”

වරෙක මාධ්‍යවේදියෙක් MLTR වෙත ඉහත ප්‍රශ්නය යොමු කරනවා.

“අපගේ ජීවිත ඉතා සාමන්‍ය බැවින් ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න පහසු යි. අපි ආපහු ගෙදර යනකොට කෑ ගහන රසිකයන් නැහැ. උදෑසනින්ම අවදිවෙලා අපේ ළමයින්ව අපි ඉස්කෝලෙට අරගෙන යනවා. කළ යුතු සෑමදේම අපිම කරගන්නවා. ළමයින් ආපහු අරගෙන ඇවිල්ලා ඒ අයත් එක්ක රෑ කෑමට ඉඳගන්නවා. මෙතරම් කාලයක් අපට සංගීත ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න පුළුවන්කම ලැබෙන්න ඒකත් එක හේතුවක්. අපි අනිත් මිනිස්සු වගේම, තමන්ගේ පවුල සහ මිතුරන් සමග ජීවත්වෙන පොළොවේ පයගහපු මිනිස්සු.”

කණ්ඩායම වෙනුවෙන් මිකෙල් ලෙන්ට්ස් එලෙස පැවසුවා.

Cover photo: uzone.id

මූලාශ්‍රයයන්: newsfirst.lk

mltr.dk

theeconomics.wordpress.com

asiaone.com

Related Articles