අපරාධකරුවෙකු ලෙස මියගිය නූතන පරිගණක විද්‍යාවේ පියා – ඇලන් ටියුරින්

“ඔයා දන්නවද අද උදේ කෝච්චියේ එනකොට මම පහුකරගෙන ආව නගරය ඔයා නැත්නම් එතැන තියෙන එකක් නැහැ. කෝච්චියෙන් බැහැල මම ලොතරැයියක් ගත්ත කෙනා ඔයා නොහිටියනම් ගොඩක් වෙලාවට ජීවතුන් අතර නොහිටින්න තිබුණා. මම හැමදාම වැඩට යනවා. විද්‍යාත්මක කරුණු කියවනවා, පර්යේෂණවල යෙදෙනවා. ඒ හැමදේම ඒ විදිහට ඉතිරි වෙලා තියෙන්නෙ ඔයා නිසයි. දැන් ඔයා හිතන්නෙ ඔයාට ‘සාමාන්‍ය’ කෙනෙක් වෙන්න පුළුවන් වුණා නම් කියලා, මම කියන්නේ ඔයා එහෙම ‘සාමාන්‍ය’ වෙන්න ඕන නැහැ කියලයි. මේ ලෝකෙ අද තියෙන යහපත් තැන බවට පත්වෙලා තියෙන්නෙ ඔයා එහෙම ‘සාමාන්‍ය’ කෙනෙක් නොවීම නිසයි..”

(The Imitation Game (2014) චිත්‍රපටයෙනි)

2013 වසරේ දෙසැම්බර් 24 වන දින බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් අදහස් දක්වන එවකට බ්‍රිතාන්‍ය අධිකරණ අමාත්‍ය ක්‍රිස් ග්‍රේලින් එක්තරා පුද්ගලයෙකු පිළිබඳ සඳහන් කරමින් පවසා සිටින්නේ බ්‍රිතාන්‍ය රජය විසින් ඔහුට කරන ලද අකටයුතුකම් පිළිබඳ සමාව අයැද සිටින බවයි. එමෙන්ම, වරදකරුවෙකු බවට නම්කරමින් ඔහුට එල්ලකර තිබූ සියළුම චෝදනාවලින් ඔහුව නිදහස් කරන්නට එළිසබෙත් මහ රැජිණ තීරණය කර ඇති බවත් ලෝකය විසින් ඔහුව මතක තබා ගත යුත්තේ උසාවියෙන් වරදකරුවෙකු බවට පත්කළ පුද්ගලයෙකු ලෙසින් නොවන බවත් ග්‍රේලින් ප්‍රකාශ කළා.

දෙවන ලෝක යුද්ධයේ නිමාව කෙරෙහි තනි පුද්ගලයෙකු ලෙස විශාලම බලපෑමක් කළ පුද්ගලයා වශයෙන් බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන්ට් චර්චිල් විසින් හඳුන්වනු ලැබූ ශ්‍රේෂ්ඨ ගණිතඥ ඇලන් ටියුරින් 1952 වසරේ එරට අධිකරණය විසින් ‘ඉතා අශෝබන ලෙස හැසිරීම’ සම්බන්ධයෙන් වරදකරුවෙකු බවට නම් කරනු ලබනවා. තම සොයාගැනීම නිසා දෙවන ලෝක යුද්ධය වසර හතරකින් පමණ කෙටි කරවීමට සමත් වූ මේ මිනිසා ඊට වසර දෙකකට පමණ පසු ජීවිතයෙන් සමුගනු ලබන්නේ එසේ වරදකරුවෙකු බවට ගසනු ලැබූ හංවඩුවත් සමඟයි.  

ජීවත්ව සිටියදී සමස්ථ ලෝකයේම යහපත වෙනුවෙන් සිය ජීවිතයේ සාරය වැය කරන මිනිසුන් විනාශ කර දමා ඉන් පසුව ඔවුන්ව පූජනීයත්වයට ඔසවා තබන්නට සාමාන්‍ය මිනිසුන් ක්‍රියා කරන අතර එම මිනිස් ස්වභාවය වටහාගෙන ඔවුන්ට සමාව දීමට තරම් උසස් මනසක් ඔහු වැනි මිනිසුන් සතුව ඇති බවට තමා විශ්වාස කරන බව ඔහුට රාජකීය සමාව ප්‍රදානය කරමින් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියා.

ජීවිත කතාව

(කුඩා ඇලන්/Awesome Stories)

1912 ජුනි මස 23 වන දින ලන්ඩනයේදී උපත ලබන ඇලන් මැතිසන් ටියුරින් ගණිතය කෙරෙහි දැක්වූවේ ඉතා අසාමාන්‍ය දක්ෂතාවයක්. අතිශය සංකීර්ණ ගණිත ගැටළු සහ න්‍යායන් විසඳීමට පාසල් වියේදී පවා ඔහු ඉමහත් සමර්ථ බවක් දැක්වූවා. කේම්බ්‍රිජ් සරසවියෙන් ගණිතය පිළිබඳ ප්‍රථම පෙළ ගෞරව උපාධියක් ලබා ගන්නා ඇලන් සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේ ඇමරිකාවේ ප්‍රින්ස්ටන් සරසවියෙන්. 1936 දී ඔහු විසින් නිපදවූ ‘ටියුරින් යන්ත්‍රය’ අද අප දකින පරිගණක මධ්‍ය සැකසුම් පද්ධතියේ මූලික අවස්ථාවක් ලෙස හඳුන්වනවා.

ලෝකයටම අවාසනාව කැන්දමින් දෙවන ලෝක යුද්ධය ආරම්භ වූවේ ඉන්පසුවයි. නාසීන් විසින් හුවමාරු කරගත් රහස් කේතවලින් සමන්විත වූ යුධ පණිවුඩ මිත්‍ර හමුදාවන්ට මහත් හිසරදයක් වී තිබුණා. ජර්මානු බුද්ධි සේවය විසින් නිපදවා තිබූ ‘එනිග්මා’ නම් යන්ත්‍රයකුයි ඔවුන් මේ රහස් කේත පණිවුඩ හුවමාරුව සඳහා යොදාගත්තේ. බොහෝ කාලයක් යනතුරු මේ යන්ත්‍ර මගින් හුවමාරු වන පණිවුඩ මොනවාද යන්න තෝරා බේරා ගැනීමට නොහැකි වීම නිසා බ්‍රිතාන්‍ය ඇතුළු මිත්‍ර හමුදාවන් පත්වූවේ දැඩි අසීරුතාවයකටයි.

(එනිග්මා යන්ත්‍රය/BBC)

මේ රහස් කේත විකේතනය කිරීම සඳහා කේම්බ්‍රිජ් සරසවියේ ගණිතය පිළිබඳ මහාචාර්ය මැක්ස් නිව්ටන්ගේ ප්‍රධානත්වයෙන් පත්කරනු ලැබූ විද්‍යාඥයන් කණ්ඩායමේ එක් සාමාජිකයෙකු වූවේ ඇලන් ටියුරින්. ඔහු අතින් ‘බොමේ යන්ත්‍රය’ නිර්මාණය වන්නේ එහිදීයි. මෙම බොමේ යන්ත්‍රය ලොව ප්‍රථම ඉලෙක්ට්‍රොනික පරිගණකය ලෙස අවිවාදයෙන් පිළිගැනෙනවා.

(බොමේ යන්ත්‍රය/BBC)

හිට්ලර්ගේ රහස් යුධ පණිවුඩ සියල්ලම පාහේ විකේතනය කිරීමට මෙම යන්ත්‍රය හරහා බ්‍රිතාන්‍යයට හැකියාව ලැබුණ අතර ඒ නිසා මිලියන ගණනක් වූ ජීවිත ගලවා ගැනීමට ඔවුන් සමත් වුණා. ටියුරින්ගේ බොමේ යන්ත්‍රය නොවන්නට දෙවන ලෝක යුද්ධය කෙසේ නිමාව දකිනු ඇත්දැයි සිතීමට පවා අපහසුයි.

කෘතීම බුද්ධිය පිළිබඳ පිළිගත හැකි ප්‍රථම තිසීසය ඉදිරිපත් කරනු ලැබුවේත් ඇලන් ටියුරින් විසින් බවටයි පිළිගැනෙන්නේ. ක්වන්ටම් භෞතික විද්යාව ගැනත් ඇලන් දැඩි උනන්දුවක් දැක්වූවා.

මේ සියල්ලටම අමතරව ඇලන් අතිදක්ෂ මැරතන් ධාවන ශූරයෙකුද වූවා.

(ඇලන් මැරතන් තරඟයකදී/BBC)

සිය දැනුම, බුද්ධිය මෙහෙයවා ලෝකයට එතරම් මෙහෙයක් කළ මේ ශ්‍රේෂ්ඨ මිනිසා සම්මතය අනුව ‘සාමාන්‍ය මිනිසෙකු’ වූවේ නැහැ. නාසි රහස් කේත බිඳ දැමීමට වෙනුවෙන් බ්ලෙච්ලි පාක් පර්යේශන ආයතනයේ සේවය කළ එකම විද්‍යාඥවරිය වූ ජෝන් ක්ලාක් වෙත ඇලන් විවාහ යෝජනාවක් ගෙනාවද දින කිහිපයක් තුළ ඇලන් විසින්ම තමන් සමරිසියෙකු බව ඇයට හෙළිදරව් කළා.

ඒ හේතුව නිසා ඇය හා විවාහ විය නොහැකි බව ඔහු පවසා සිටියා. ජෝන් නම් පවසා සිටියේ විවාහ වී මිතුරන් ලෙස සිටිමු කියායි. එහෙත් ඇලන් එය ප්‍රතික්ෂේප කළා.

(ජෝන් ක්ලාක්/Alchetron)

අත්අඩංගුවට පත්වීම සහ මරණය

1952 වසරේදී ඇලන් අත්ඩංගුවට ගැනෙන්නේ ඔහු ‘සමරිසි’ පුද්ගලයෙකු බව හෙළිදරව් වීමත් සමඟයි. සමරිසියෙකු වීම එකල නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වූ අතර තෝරාගත හැකි මාර්ගයන් දෙකක් ඇලන් හමුවේ උසාවිය විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

(ඇලන් වෙත එල්ල වී තිබූ චෝදනා පිළිබඳ විස්තර ඇතුලත් වාර්තාව/Turing.Org)

‘ඉතා අශෝබන’ ලෙස හැසිරීමේ චෝදනාවට ඔහු වරදකරු බවට තීන්දු වූ අතර තමන් නිවරද යැයි අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇලන් කටයුතු කළේත් නැහැ. ඉතින් ඔහු හමුවේ තැබුණ මාර්ගයන් දෙක වූවේ සිරදඬුවම් විඳීම හෝ වෛද්‍යවරයෙකු මාර්ගයෙන් කෙරෙන ලිංගික අකර්මණ්‍යතාවයට ලක් වීමයි. ඇලන් මින් දෙවන මාර්ගය තෝරාගත් අතර ඒ අනුව ස්ටිල්බස්ට්‍රොල් එන්නත වරින් වර ඔහුගේ සිරුරට ඇතුළු කරනු ලැබුවා.

ඉන් වසර දෙකකට පසු, 1954 ජුනි මස 07 වන දිනට රැය පහන් වුණේ ඇලන් ටියුරින් නම් මේ ‘අසාමාන්‍ය’ මිනිසා ලෝකයට අහිමි කරවමින්. සිය නිදන කාමරයේ යහන මත ඔහු ශාන්ත ලෙස වැතිරී දෙනෙක් පියාගෙන සිටි අතර අඩක් පමණ අනුභව කළ ඇපල් ගෙඩියක් ඔහු අසල තිබෙනු දක්නට ලැබුණා. මරණයට හේතුව ලෙස දැක්වූවේ සයනයිඩ් අධිමාත්‍රාවකින් ශරීර ගත වීමයි. ඔහු සිය 41 වන වියේ පසුවූවා.

එහෙත් ඇතැමුන් ඔහුගේ මරණය ඝාතනයක් බවත් තවත් සමහරු එය නොසිතා සිදුවූ ඖෂධ අධිමාත්‍රාවකින් ශරීර ගත වූවකින් සිදුවූ බවටටත් මත පල කරනවා. ඒ කෙසේ වෙතත් පොදු පිළිගැනීම වන්නේ එය සිය දිවි නසා ගැනීමක් බවටයි.

එමෙන්ම, ඇපල් සමාගම සිය සන්නාම ලකුණ ලෙස කොටසක් අනුභව කළ ඇපල් ගෙඩියක් යොදාගෙන තිබෙන්නේ ඇලන් ටියුරින්ගේ නාමයට ගෞරවයක් ලෙස බවටත් ඇතැමුන් පැවසුවා. එහෙත් එම සැලකුණේ නිර්මාතෘ පවසන්නේ ඔහු තුළ එවන් අදහසක් නොතිබුණ බවයි.

The Imitation Game (2014)

(කම්බර්බැච් ඇලන් ටියුරින් ලෙස/Youtube)

මේ ලිපියේ ආරම්භයේදී සඳහන් වන The Imitation Game චිත්‍රපටය නිර්මාණය වූවේ ඇලන්ගේ ජීවිත කතාව ඇසුරෙන් ඇන්ඩෲ හොග් විසින් රචනා කළ Alan Turing: The Enigma කෘතිය පාදක කරගනිමින්.

එහිදී ඇලන්ගේ චරිතයට පණ පෙවූ සුප්‍රකට නළු බෙනඩික්ට් කම්බර්බැච් 2015 ඇකඩැමි සම්මාන උළෙලේ හොඳම නළුවාට පිරිනැමෙන සම්මානය සඳහා නිර්දේශ වූවා. එම ඇකඩැමි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂවරයා,හොඳම සහය නිළිය ඇතුළු සම්මාන 8 ක් සඳහා නිර්දේශ වූ මේ විශිෂ්ඨ චිත්‍රපටය හොඳම අනුවර්තිත තිරරචනය වෙනුවෙන් වූ සම්මානය දිනා ගැනීමට සමත් වූවා.

ඇලන් ටියුරින් නීතිය

(ඇලන් අනුස්මරණය කිරීම වෙනුවෙන් තනා ඇති ස්මාරකයක්/Youtube)

පෙර පැවති නීතිය යටතේ සමරිසියෙකු වීම නිසාම වරදකරුවන් ලෙස නම් කළ සියළු පුද්ගලයන් එම චෝදනාවලින් නිදහස් කරන බව 2015 වසරෙදී බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කරනු ලැබුවා. මෙම අසහාය පුද්ගලයා සිහිවනු පිණිස එය ‘ඇලන් ටියුරින් නීතිය’ ලෙස නම් කරන බව බලධාරීන් සඳහන් කළා.

(ඇලන් විසින් කුඩා දැරියකට ලියන ලද ලිපියක්/CNN)

දේශපාලනික තේමාවක් රැගත් V for Vendetta චිත්‍රපටයේ ඇලන් වැනිම සමරිසියෙකු වූ, ඒ නිසාම සිර භාරයට ගෙන වධ හිංසා පමුණුවා මරා දමන ලද කාන්තාවක විසින් ලියා සිර මැදිරිය තුළ සඟවා තබන අනුවේදනීය ලිපියක එක් තැනක මෙසේ සඳහන් වනවා.

ඉතින් මම මෙහිදී මිය යා යුතුය. එක් දෙයක් හැර ,මගේ ජීවිතයේ සෑම කොටසක්ම, සෑම අඟලක් ම මෙහිදී අවසන් වනු ඇත. ඔව් එක් දෙයක් හැර. එය ඉතාම කුඩා ය.ඉතා ඉක්මනින් බිඳෙන සුළු ය. එහෙත් අප තුල තිබෙන වටිනාම දෙය ද එයම වන්නේ ය. කිසිදා එය නැති කර නොගැනීමටත්, කිසිවෙකුට එය නොවිකුණා සිටීමටත් අප වග බලා ගත යුතුය. විශේෂයෙන් ඔවුන්ට එය අප කෙරෙන් උදුරා ගැනීමට කිසිදා ඉඩ ලබා නොදිය යුතු ය..”

තමා කවරෙක්ද යන කාරණාව පිළිබඳ සමාව අ‍යැද නොසිට, අභිමානයෙන් යුතුව මරණයට පත්වූ ඒ ප්‍රබන්ධමය ගැහැණිය මෙන්, උපතින්ම තමන්ට උරුම වූ අනන්‍යතාව තම අකැමැත්තෙන් යටපත් කර වසර ගණනාවක් ජීවත්වනවාට වඩා මරණය තෝරාගැනීම ගෞරවනීය බව ඇලන් ටියුරින් සිතුවා වන්නට ඇති. මිලියන ගණනාවකට හෙට දින දැකීමේ භාග්‍යය උරුම කර දුන් මේ මිනිසාට අපරාධකරුවෙකු ලෙස හංවඩු ගැසී මරණය වැළඳ ගැනීමට සැලැස්වීම පිලිබඳ සමස්ත මිනිස් වර්ගයා ලැජ්ජා විය යුතුයි.

අනාගත පරම්පරාවන්ගේ ජීවිත වඩා යහපත් කිරීම වෙනුවෙන් තමන්ගේ ජීවිත කැප කරන ඇලන් ටියුරින් වැනි අගනා මිනිසුන් කෙරෙහි දැක්විය යුතු ගෞරවය ඔවුන් ජීවත්ව සිටින කාළයේදීම ලබා දීමට අප කටයුතු කරනවානම් මේ ලෝකය කෙතරම් සුන්දර තැනක් බවට පත්වනු ඇතිද?

(Cover Photo – Alchetron)

Related Articles