Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දිගු දුරින් ලොවක් දිනූ සෝමාලියානු නයිට්වරයා

දිනය 2012 වසරෙ අගෝස්තු 11 වැනි දා සෙනසුරාදාවයි. මේ සිවු වසරකට වරක් එළැඹෙන ක්‍රීඩාවේ උත්කර්ෂවත් ම  අවස්ථාවන වන ඔලිම්පික් උළෙල හා ලොව ම සම වැද සිටින අවස්ථාවයි. අගෝස්තු 11 වන සැන්දෑයාමේ ලන්ඩන් හි Queen Elizabeth ඔලිම්පික් ක්‍රීඩාංගණයට එක්රොක් වූ 80000ක් ක්‍රීඩාලෝලීන් සියල්ලන්ගේ ම මුව රැඳි එක් හඬකි.

  ” Mo….Mo…Mo…”

මේ සියලු දිරිගැන්වීම් මෙන් ම  මේ සියලු ම ආශිර්වාද යොමූ වූවේ ලන්ඩන් ධාවන පථයේ සිය එකළොස්වන ධාවන වටය අවසන් කරමින් සිටින  සිහින් වේගවත් ධාවකයකු වෙතටයි.

ඔහූ අන්කවරකුවත් නොව මහා බ්‍රිතාන්‍යයෙන් එතෙක් මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨත ම මලල ක්‍රීඩකයා ලෙස සැලකෙන  මොහොමඩ් මුක්ටා ජමා ෆාරා Mohomad Mukta jama farah නොහොත් මෝ ෆාරා ය.
එක් පසෙකින්   ඉන්දිය සාගරයට මුහුණලා ද,  අනෙක් පසින් ඉතියෝපියාවට සහ කෙන්යාවට ද මායිම් ව පිහිටි  ලොව දරිද්‍රතාවයේ උපරිමය ද ඉක්මවූ සොමාලියානු රාජ්‍යයේ උපත ලද ඔහු මෙම සියවසේ බිහි වූ විශිෂ්තට ම දිගු දුර ධාවකයන් අතරින් අයෙකි.

මෝ ෆාරා පාසල් තරගයකට සහභාගි වෙමින්
මෝ ෆාරා පාසල් තරගයකට සහභාගි වෙමින් – images.app.goo.gl

සෝමාලියානු උපත

ලොව බිහි වී ඇති බොහෝ දිගු  දුර ධාවකයන්ගේ නිජබිම අප්‍රිකාවයි.  ඔබ දිගු දුර ඉසව් හි ලෝක වාර්තා හෝ ඔලිම්පික් වාර්තා  පිරික්සන්නකු නම් කෙන්යානු සහ ඉතියෝපියානු ධාවකයන් එම වාර්තා බොහෝමයක  හිමිකරුවන් බව ඔබට පෙනී යනු ඇත.  ඔවුන්ගේ කටුක දිවිපෙවත සහ අසීරු ජීවන රටාව පසුකලක මෙම වෘත්තීයමය ධාවනය සඳහා ද ඉවහල් වන්නට ඇති බව විද්‍යාත්මක මතයයි.  මහා බ්‍රිතාන්‍යයේ මෝ ෆාරා සඳහා ද මෙය පොදු කරුණකි. ෆාරා, මහා බ්‍රිතාන්‍යය වෙනුවෙන් ඔලිම්පික් පදක්කම් ගෙල පැළඳිය ද 1983 වසරේ මාර්තු 23 වන දින ඔහු උපත ලබන්නේ සෝමාලියාවේ Mogadishuහි දී ය. ඔහුගේ පියා වන Mukhtar Farah  බ්‍රිතාන්‍යයේ උපත ලබා පසුකලක හිතෲ ගුවන් තොටුපළෙහි සේවය කළ අතර ඔහුගේ මව සෝමාලියානු කාන්තාවකි. දරුවන් හය දෙනකුගෙන් යුත් පවුලේ මෝ සහ හසාන්  යනු නිවුන් සහෝදරයන් දෙදෙනා ය.

මෝ ෆාරා  ඔහුගේ බිරිඳ සහ දරුවා සමඟ
මෝ ෆාරා සිය බිරිය සහ දියණිය සමඟ – images.app.goo.gl

සෝමාලියානු රාජ්‍යය 1960 වසරේ නිදහස ලැබූ මොහොතේ සිට කැරලි කෝලාහල රැසකට මුහුණ දුන් රාජ්‍යයකි. සෑම කලක ම අස්ථාවර රාජ්‍යය පාලනයෙන් සාමාන්‍යය ජනයාට දැඩි ලෙස බැට කෑමට සිදු විය. ඔවුන් සැලකෙන්නේ ලොව දිළිඳු බව වැඩි ම රටවල් පහෙන් එකක් ලෙස ය. මෝ ෆාරා  කුඩා කල, එනම් අනූව දශකයේ මුල් අවධියේ  සෝමාලියානු පරිපාලනයේ  සිදු වූ අභ්‍යන්තර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස  ඔහු සහ ඔහුගේ එක් සහෝදරයකු,  සිය පියා වන Mukta Farah සමඟ එංගලන්තයට සංක්‍රමණය විය. ඔහුගේ නිවුන් සහෝදරයා සහ අනෙකුත් සහෝදර සහෝදරියන් ඔවුන්ගේ මිත්තණිය සමඟ සොමාලියාවේ නතර කළේ ය. ඔහු සහ ඔහුගේ නිවුන් සහෝදරයා එකිනෙකා ගෙන් වෙන් වන්නේ 1992 වසරේදී ය.

මහා බ්‍රිතාන්‍යයේ ජිවිතය

මෝ ෆාරා 1992 වසරේ දී වයස අවුරුදු අටක දරුවකු ලෙස  ලන්ඩනයට පැමිණ සිය පියාගේ නැගණිය සමඟ ජිවත් වීම ඇරඹී ය. ඔහු මුලින් ම බටහිර ලන්ඩනයේ Isleworth and synon School පාසලට ඇතුළත් වූ අතර  ඉගෙනීමට එතරම් ම හැකියාවක් ඔහු තුළ නොවිණි.  සෝමාලියාවේ සිට පැමිණි මුල් කාලයේ දී  ඉංග්‍රීසි භාෂාව  නොදැනී ම ඔහුට දැඩි අපහසුවක් විය. සහජයෙන් ම ඔහු සතු  පාපන්දු භැකියාව හේතුවෙන්  පාසල තුළ සුවිශේෂී   ක්‍රීඩකයකු වන්නට මෝ ෆාරාට හැකි විණි. ඔහුගේ කුඩා කල සිහිනය වූයේ වෘත්තීයමය පාපන්දු ක්‍රීඩකයකු විම ය. සියල්ලක් ම වෙනස් වන්නේ පාසලේ ශාරීරික අධ්‍යාපනික ගුරුවරයා වූ Alan watkinson මෙම සිහින් අප්‍රිකානු හැඩති යෞවනයා  දැකීමත් සමඟ ය.

” එයාට ඕන වුණේ පාපන්දු ක්‍රීඩකයෙක් වෙන්න. ඔව් !!  එයා දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්. නමුත් ඔහූ වඩා සුදුසු ධාවන තරග සඳහා” ශාරීරික අධ්‍යාපනික ගුරුවරයා වූ Alan watkinson ඔහු පිළිබඳ දැරුවේ එවන් අදහසකි.

1996 සිට ඔහු මලල ක්‍රීඩාවේ දිගු දුර සඳහා සිය පුහුණුවීම් ආරම්භ කළේ ය. ඔහුගේ ශරීර සැකැස්ම සහ දරා ගැනීමේ හැකියාව නිසා ඔහු වැන්නකුට  දිගු දුර තරග මනා ලෙස ගැළපිණි.  1997 වසරේ දී Alan watkinson ගේ යොමු කිරීම මත ෆ්ලෝරීඩා හි නවක මලල ක්‍රීඩකයන්ගේ පුහුණු කඳවුරකට මෝ ෆාරා යොමු කෙරිණි. පුහුණු සැසිය අවසානයේ නැවත පැමිණ Alan Watkinson හමුවු ෆාරා ඔහුට  පැවසුවේ.

” දැන් මං දන්නවා මේක තමා මං කරන්න ඕන දේ ” කියා ය. ඔහු එසේ පැවසුවේ තමා තවදුරටත් අවධානය යොමු කළ යුත්තේ පාපන්දු ක්‍රීඩාවට නොව දිගු දුර ධාවනයට බවයි.

පුහුණුවීම් අතරතුර
පුහුණුවීම් අතරතුර  – images.app.goo.gl

චමත්කාරජනක ධාවන දිවිය

මෝ ෆාරා තම පහළොස්වන වියේ දී, එනම් 1998 වසරේ දී,  බ්‍රිතාන්‍යය පාසල් අතර පැවැත්වෙන මැරතන් තරගයක් ජයග්‍රහණය කරන අතර 2001 වසරේ දී ඉතාලියේ දී  ඔහු මීටර් 5000 ඉසව්ව සඳහා විනාඩි දාහතරයි තත්පර නමයයි දශම  නමයයි එකක (14:09:91)  කාලයක් වාර්තා කරමින් යුරෝපියානු කණිෂ්ඨ ශුරතාව දිනා ගැනීමට සමත් විය. ඔහුට ලෝක මට්ටමේ විචාරක අවධානය යොමු වීම ඇරඹෙන්නේ ඒත් සමඟ ය. පෙර කී අයුරින් ම අප්‍රිකානු ධාවකයන් සතු ව තිබූ දිගු ධූර ධාවනයේ ආධිපත්‍යය මහා බ්‍රිතාන්‍යයේ මෝ ෆාරා ආක්‍රමණය කරනු ඇතැයි කිසිවිටක විචාර මත පළ නොවිණි.

 

මෝ ෆාරා,  පුහුණුවීම් කටයුතු සඳහා සිය අවධානය දැඩි ලෙස යොමු කරයි – Getty Images

ස්වභාවයෙන් ම ඔහු තම වෘත්තියට දැඩි සේ කැප වූ මලල ක්‍රීඩකයෙකි. බොහෝ විට  විශේෂිත තරගාවලියක් ආසන්න වන විට සිය පවුලෙන් කෙටි කලකට ඉවත්වන මෝ ෆාරා,  පුහුණුවීම් කටයුතු සඳහා සිය අවධානය දැඩි ලෙස යොමු කරන ක්‍රීඩකයෙකි. ඔහු බොහෝ විට කෙන්යානු සහ ඉතියෝපියානු ධාවකයන් සමඟ  පුහුණු සැසි සඳහා සහභාගි වේ.

මීටර් 270ක උසකින් පිහිටි ධාවන පථයක පුහුණුවීම්

2018 ලන්ඩන් මැරතන් තරගයට පෙර ද එලෙසින් ඔහු ඉතියෝපියානු ධාවකයින් පිරිසක් සමඟ මුහුදු මට්ටමේ සිට මීටර් 2700 පමණ උසකින් පිහිටි ඉතියෝපියාවේ Sululta එළිමහන් ධාවන පථයේ දී පුහුණුවීම් සඳහා සහභාගි විය. එම මැරතන් තරගයේදී ද  පැය දෙකයි විනාඩි හයයි තත්පර විසිඑකක (2 : 06: 21 )  කාලයක් වාර්තා කළ මෝ ෆාරා එහි  තෙවන ස්ථානය දිනා ගැනිමට ද සමත් විය.

2007 වසරේ  ජපානයේ ඔසාකා නුවරදි මීටර් 5000 ඉසව්වේ ලෝක ශුරතා තරගාවලියට ඉදිරිපත් වූ ඔහු එහි අවසාන මහා තරගයේ දී  තරගය අවසාන කළේ හය වන ස්ථානයටයි. නවඩා තරගකාරී බීජීං ඔලිම්පික් තරගයේ දී  සටන්කාමී අප්‍රිකානු ධාවකයන් හමුවේ ඔහුට ලබාගැනිමට හැකිවූයේ 17 වන ස්ථානයයි. 2009 ලෝක ශුරතාවලියේ පරාජයෙන්  පසු තම පුහුණුකරු ලෙස Alberto Salazar තෝරා ගන්නා ඔහු සිය පුහුණු සගයා වන අමෙරිකානු ජාතික  Galen rupp  සමඟ ලන්ඩන් ඔලිම්පික් උළෙල වෙනුවෙන් පෝලන්තයේ දි  පුහුණුවීම් ඇරඹී ය.

මීටර් දසදහස ජයග්‍රහණය .ඔහුගේ පසුපසින් දිස්වෙන්නේ පුහුණුවීම් සගයා වන Galen rupp
ලන්ඩන් මීටර් දස දහස ජයග්‍රහණය. ඔහුගේ පසුපසින් දිස්වෙන්නේ ෆාරාගේ පුහුණුවීම් සගයා වන Galen rupp – images.app.goo.gl

 

ලන්ඩන් ආක්‍රමණය

2012 වසරේ දී මුළුමහත්  බ්‍රිතාන්‍යය ජාතිකයන් සියල්ලක් ම සතුටින් උන්මාද වී සිටි සමයකි. එයට හේතුව  1948 වසරින් පසු ව ඔලිම්පික් උළෙලක සත්කාරකත්වයක් ලන්ඩන් නුවරට ලැබීම යි. ඔවුන් එයට පෙර ඔලිම්පික් උළෙලක සත්කාරකත්වය ලබා තිබුණේ 1908 වසරේ දී ය.

27 වන වරට පැවැත්වෙන  නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජූලි 27 වන දින එංගලන්තයේ මහ රැජන ගේ නිල ප්‍රධානත්වයෙන්  ඇරඹුණු අතර  තරගාවලියේ අටවන දිනය වූ අගෝස්තු හතරවන දා බ්‍රිතාන්‍යය ජාතිකයන්ගේ දිනය විය. එයට හේතුව එදින  මීටර 10000 ඉසව්වේ අවසාන මහා තරගය පැවැත්වීම සහ මහා බ්‍රිතාන්‍යයේ මෝ ෆාරා එයට තරග කිරිමයි.

 මෝ ෆාරා ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර් 5000 ඉසව්ව අවසානයේ දී – Getty images

 

අසූදහසක ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ වේගවත් ධාවන වට 25 අවසානයේ පෙරමුණ ගත් මෝ ෆාරා විනාඩි විසිහතයි තත්පර තිහයි දශම හතරයි දෙකක  කාලයක් වාර්තා කරමින් සිය ප්‍රථම රන්පදක්කම දිනා ගැනිමට සමත් විය. එහි රිදී පදක්කම මෝ ෆාරාගේ පුහුණු සගයා වන Galen rupp දිනාගැනිමට සමත් විය.

ඉන් සතියක් ගෙවුණු තැන, මීටර් 5000 ඉසව්ව විනාඩි දාහතරයි තත්පර හතළිස් එකයි දශම හයයි හයකින් අවසන් කළ ඔහු ලන්ඩන් ඔලිම්පික් උළෙලේ බ්‍රිතාන්‍ය වීරයා විය. ඔහු අවසන් වටයේ අතිශය තරගකාරී වන අතර සෑම ඉසව්වක ම අවසන් මීටර් සියයේ දී ඔහුගේ ධාවනය අද්වීතීය විය.

ලන්ඩන් නුවර මීටර් පන්දහස ජයග්‍රහණය කිරිමෙන් පසුව
ලන්ඩන් නුවර මීටර් පන්දහස ජයග්‍රහණය කිරිමෙන් අනතුරුව – images.app.goo.gl

 

කිරුළ රැකගැනීම

ලන්ඩන් ජයග්‍රහණයෙන් පසු ව සියලු ම අප්‍රිකානු ධාවකයන්ගේ ඉලක්කය මෝ ෆාරා විය. ඔවුන් මුලින් ම ඔහුට අභියෝග කරන්නේ ලන්ඩන් තරගාවලියෙන් වසරක් ගෙවුණු තැන රුසියාවේ මොස්කව් නුවරදී ය. 2013  මොස්කව් ලෝක ශුරතාව ඔහු පහසුවෙන්  ජයග්‍රහණය කළ අතර ඉන් වසර දෙකකට පසු ව චීනයේ බීජිං නුවර දී මීටර් 5000 සහ මීටර් 10000 ඉසව් දෙක ම නැවත වරක් ජයග්‍රහණය කළේ ය. ඔහූ රියෝ ඔලිම්පික් උළෙලට සුදානම් වන විට පසුගිය වසර හය පුරාවට ප්‍රමුඛ පෙළේ ඉසව් දහයක් ජයග්‍රහණය කොට තිබිණි.

 

ඔහුගේ  ඊළඟ කඩඉම වුණේ බ්‍රසීලයේ ඔලිම්පික් උළෙල යි. දක්ෂ කෙන්යානු සහ ඉතියෝපියානු ධාවකයන් පිරිවරා තරග කළ ද  කිසිවිටක  පසු නොබසින මෝ ෆාරා  බ්‍රසීලයේ රියෝ නුවර Maracana ක්‍රීඩාංගණය  වර්ණවත් කරමින් මීටර් 10000 සහ 5000 ඉසව් දෙකෙහි ම රන් පදක්කම් මහා බ්‍රිතාන්‍යයට  දිනා දුන්නේ ය.  මෙහි දී  මීටර් 10000 ඉසව්වේ දසවන වටයේ දී  තම පුහුණුවීම් සගයාගේ ම  ශරීරයේ ගැටීමෙන් බිම ඇදවැටෙන ඔහු නැවත තරගයට අවතීර්ණ වී ජයග්‍රහණය කළේ ය. එය එම  තරගයේ වූ සුවිශේෂී ම  සිදුවීමයි.

මෝ ෆාරා සිය පුත් හුසේන් සමඟ – Getty images

 

” Sir Mo farah ” 

මෝ ෆාරාගේ මෙම ජයග්‍රහණයත් සමඟ මලල ක්‍රීඩාවේ Double -Double නමින් හැඳින්වෙන දුලබ දස්කම දැක්වීමට ඔහුට  හැකි විය. රියෝ ජයග්‍රහණයෙන් පසු මෝ ෆාර බ්‍රිතාන්‍යයේ විශිෂ්තට ම මලල ක්‍රීඩකයා ලෙස හැඳින්විම ඇරඹිණි.

2017 වසරේ දී මැරතන් ධාවනයට යොමූ වූ ඔහු 2018 චිකාගෝ මැරතන් ධාවන තරගය ජයග්‍රහණය කරන්නට සමත් විය. ඔහු  2018 ලන්ඩන් අර්ධ මැරතන් තරගය ද පහසුවෙන්  ජයග්‍රහණය කළේ ය. මෝ ෆාරා  ටෝකියෝ ඔලිම්පික් උළෙල වෙනුවෙන් බටහිර  ලන්ඩනයේ  පුහුණුවීම් කටයුතු සිදුකර තිබිණි. එය ඔහුගේ අවසාන ඔලිම්පික් තරගාවලියයි.


ෆාරා ඔහුගේ “මෝ ෆාරා පදනම”  හරහා සෝමාලියානු දරුවන් සඳහා විශාල වශයෙන් උදව්   උපකාර  සිදු කරයි. එංගලන්තයේ දෙවන එලිසබෙත් රැජන  2017 වසරේ දී ඔහු පසුගිය දශකය පුරාවට  බ්‍රිතාන්‍යය මලල ක්‍රීඩාවට සිදු කළ සේවය හේතුවෙන්  ඔහුට නයිට්
පදවිය පිරිනැමුවා ය. එබැවින් ඔහු අද හැඳින්වෙන්නේ ” Sir Mo farah ”  නම් ගෞරව නාමයෙනි. කැපවීම සහ අධිෂ්ඨානයෙන් අතික්‍රමණය කළ හැකි  සීමාව අසීමිත බව සෝමාලියාවේ උපත ලබා මහා බ්‍රිතාන්‍යයේ නයිට් නාමයක් ලැබූ මොහොමඩ් ෆාරා  නොහොත් මෝ ෆාරා ලොවට ඔප්පු කොට අවසන්‍ ය. 

Remark: කවරයේ සේයාරුව : මෝ ෆාරා 2020 වර්ජින් මනි ලන්ඩන් මැරතන් තරඟයේදී - Getty Images

mofarah.com

biographyonline.net

.britannica.com

 youtu.be 

Related Articles