ඊශ්‍රායලයේ එකැස් විරුවා – මෝෂේ දයාන්

ඊශ්‍රායලය නම් රාජ්‍යයට ඇත්තේ වසර සියයකටත් අඩු ඉතිහාසයක්. කෙසේ නමුත් එය බිහිවූ දා සිට ලොව බොහෝ රාජ්‍යයන් මුහුණු නොදුන් අන්දමේ යුධමය හා දේශපාලනික අභියෝගවලට ඔවුනට මුහුණදෙන්නට සිදුවණා. මේ බහුතරය ඔවුන් ජයගත්තේ ඉතා ව්‍යක්ත යුධ සැලසුම් හා තීන්දු තීරණ ගැනීම නිසා යි. ඊශ්‍රායල ඉතිහාසයේ ඉතා තීරණාත්මක තැන්වල දී ඒ වෙනුවෙන් ඉදිරියෙන්ම සිට කටයුතු කළ අයෙකු ලෙස එහි යුධ සෙන්පතියෙකු වන මෝෂේ දයාන් අවිවාදයෙන්ම සැලකෙනවා. මේ ඔහුගේ දිවිය පිළිබඳ වතගොත යි.

උපත හා මුල් කාලය

තරුණ මෝෂේ දයාන් (වමේ) හා බෙන් ගූරියන්- kedem-auctions.com

මෝෂේ දයාන් උපත ලැබුවේ 1915 වසරේ මැයි මස විසි වන දා එවකට ඔටෝමන් පලස්තීනයට අයත්ව තිබූ දෙගන්යා ඇලෙෆ් නම් ගොවි ජනපදයේ දී යි. මේ කාලයේ දීත් යුදෙව්වන්ට එරෙහිව සෙසු ජාතීන් ගෙන් කෙණෙහිලිකම් සිදු වූ අතර ඒවාට එරෙහිව තනාගන්නා ලද සංවිධානයක් වන ‘හගැනා’ වට බැඳෙන විට දයාන්ට යාන්තම් 14 විය සපිරී තිබුණා. 1930 දශකයේ අවසාන භාගයේ දී බ්‍රිතාන්‍යට හිතවත් යුදෙව් පොලිසියට බැඳුණු ඔහු එහිදී ඉංග්‍රීසි ජාතික කපිතාන්වරයෙකු වූ චාල්ස් ඕර්ඩ් වින්ගේට් ගෙන් ගරිල්ලා සටන් පිළිබඳ මනා දැනුමක් ලැබුවා. ඒ අනුව ඔහු 1936-39 යුධ සමයේ දී පලස්තීනයේ බ්‍රිතාන්‍ය විශේෂ පොලිස් බලකාය සමග ජෙස්‍රීල් නිම්නයේ හා ගලීලයේ සේවය කළා. මේ කාලයේ දීම බ්‍රිතාන්‍යයන් විසින් හගැනාව තහනම් සංවිධානයක් බවට පත් කරන අතර දයාන් එයට සම්බන්ධ බැව් හඳුනාගෙන ඔහු අල්ලගෙන සිරගත කරන්නට ඔවුන් විසින් කටයුතු කළා. දෙවසරක් සිරබත් කෑ ඔහුට නිදහස් වීමට ලැබුණේ 1941 වසරේ දී යි.

දෙවන ලෝක යුධ සමය හා අනතුර

මෝෂේ දයාන් නිදහස ලබන විට දෙවන ලෝක යුද්ධය තදින්ම ඇවිලී තිබුණා. යුධයෙහි ඔහු ප්‍රකට කළ දක්ෂතාව නිසාම එතරම් ගැටලුවකින් තොරව බ්‍රිතාන්‍ය හමුදාවට බැඳෙන්නට ඔහුට හැකි වුණා. එයට බැඳුණ ඔහු දෙවන ලෝක යුධ සමය පුරාවටම ලෙබනනය හා සිරියාව යන රටවල සේවයේ නියුතු වුණා. මේ අතරතුර සිදුවූ හදිසි අනතුරකින් ඔහුගේ වම් ඇසට බරපතල හානි සිදුවෙනවා. ඉන් අනතුරුව ඔහු එම ඇස ආවරණය වන පරිදි කළු පැහැති වැස්මක් භාවිතා කළා. අනාගතයේ දී ඔහු සුප්‍රසිද්ධ වූයේ මෙයත් සමගම යි. බ්‍රිතාන්‍ය හමුදාවේ සේවයේ යෙදෙන විටම ඔහු හගැනා සංවිධානය සමගත් ක්‍රියාකාරීව කටයුතු කළ අතර ඔහුගේ මේ ක්‍රියාදාමයන් 1948 වසරේ නිදහස් ඊශ්‍රායලයක් තනන්නට බොහෝ සෙයින් උපකාරී වුණා.

ඊශ්‍රායල් නිදහස් සටනේ යුධ සෙන්පතියෙකු ලෙස

1948 වසරේදී සිදුවූ ඊශ්‍රායල නිදහස් සටනේ දී දයාන් ජෝර්දාන නිම්නයේ යුදෙව් ජනාවාස භාරව කටයුතු කළා. නිදහස් සටනේ වැදගත් සන්ධිස්ථානයක් වූ ලිඩා නගරයට පහර දී එහි බලය තහවුරු කරගත් සටන දයාන් විසින් මෙහෙයවූ අතර, 1948 වසරේ අගෝස්තුවේ දී ඔහු ජෙරුසලම් පෙරමුණේ අණදෙන නිලධරයා බවට පත් වෙනවා. කෙමෙන් කෙමෙන් යුධ නිලධරයෙක් වශයෙන් ඉහළටම ගිය ඔහු අවසානයේ 1953 වසරේදී ඊශ්‍රායලයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා බවට පත් වෙනවා.

1956 යුද්ධය හා දේශපාලනයට පිවිසීම

මෝෂේ දයාන් ඊශ්‍රායලයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වන විට එරට නිදහස් ලබා වසර කිහිපයක් ගත වී තිබුණ මුත්, අවට වූ ඊජිප්තුව ඇතුළු අරාබි රටවලින් එල්ල වූ විරෝධයේ නම් කිසිදු අඩුවක් තිබුණේ නැහැ. නිරතුරුව ඊශ්‍රායලය හා යුද්ධයකට පැටලීමට මාන බලමින් සිටි ඔවුන් ඊශ්‍රායලට ආර්ථික සම්බාධක පනවමින් ඒ තුළ ත්‍රස්තවාදය වැපිරීමටත් කටයුතු කළා. මෙය ඊශ්‍රායලයට මහත් කරදරයක් වූ අතර, දුර දක්නා නුවණින් අනාගතය දුටු දයාන් ඔවුන් කෙමෙන් කෙමෙන් ශක්තිමත් වී තමන්ට පහර දෙන්නට සැරසෙන බැව් වටහාගත්තා. මේ නිසා ඔවුන් පහර දෙන්නට පෙර තමන් ක්‍රියාත්මක විය යුතු යැයි තීරණය කළ ඔහු 1956 වසරේදී ඊජිප්තු, සිරියා හා ජෝර්දාන හමුද වලට පහර දෙන්නට පටන්ගත්තා. එම වසරේ ඔක්තෝබර් මාසයේ දී දයාන් ඊශ්‍රායලය වෙනුවෙන් ‘සූවස් මෙහෙයුම’ සාර්ථකව සිදුකොට ජයගන්නා අතර, මේ නිසා ඊශ්‍රායල ප්‍රජාව අතර ඔහු වීරයෙකු ලෙස පිදුම් ලබන්නට වුණා.

මෝෂේ දයාන් (මැද ) 1956 වසරේදී- Pinterest

1958 වසරේ දී යුධ හමුදාවට ආයුබෝවන් කියන දයාන් දේශපාලනයට පිවිසෙනවා. ඊශ්‍රායල කම්කරු පක්ෂයට සම්බන්ධ වන ඔහු 1959 වසරේ ඊශ්‍රායල පාර්ලිමේන්තුවට තේරී පත්වන අතර ඩේවිඩ් බෙන් ගූරියන් යටතේ ඔහු 1959 වසරේ සිට 1964 වසර දක්වා කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කරනවා. 1964 වසරේ දී නව අගමැති ලෙස පත්වූ ලෙවි එශ්කොල් සමග මතබේදයක් සාදාගන්නා දයාන් සිය තනතුරෙන් හා පක්ෂයෙන් ඉවත්ව හිටපු අගමැති බෙන් ගූරියන් සමග එක්ව ‘ඊශ්‍රායල වැඩ කරන ජනතාවගේ පෙරමුණ’ නම් නව පක්ෂයක් සාදාගන්නවා. මේ පක්ෂයෙන් තරග කළ දයාන් නැවත පාර්ලිමේන්තුවට තේරී පත්වන අතර ඉක්මණින්ම එම පක්ෂය නැවත ලෙවි එශ්කොල් හා සංධානගත වෙනවා.

සයදින හා යොම් කිපූර් යුද්ධ සඳහා දායකත්වය

1967 වසරේදී ලෙවි එශ්කොල් ගේ රජයෙහි ආරක්ෂක ඇමතිවරයා ලෙස මෝෂේ දයාන් පත් කෙරෙනවා. ඒ තදාසන්නවම සය්දින යුද්ධය ඇරඹෙන අතර, නියත පරාජයක් උරුම වෙන්නට ඔන්න මෙන්න තිබිය දී ඔහු විසින් අනපේක්ෂිත ලෙස ඊජිප්තුව, සිරියාව, හා ජෝර්දානය යන රටවලට උපරිම බලය යොදා පහරදෙන්නට ගත් තීරණය නිසා අවසානයේ ඊශ්‍රායලයට ජය ලැබෙනවා. මේ යුද්ධයෙන් පසු ඊශ්‍රායලයට පෙර අයත්ව නොතිබූ විශාල භූමියක් දේශපාලනිකව හිමි වූ අතර එහි පාලන කටයුතු ද භාර වූයේ දයාන්ට යි. ඔහු එය ඉතා හොඳින් සිදුකළා.

මෝෂේ දයාන් (වමේ) යුධ සෙන්පති යිට්සැක් රාබීන් (මැද) ඇතුළු පිරිසක් සමග යොම් කිපූර් යුද්ධයේ දී – Israel Ministry of Defense

1973 වසරේ දී දයාන් සයදින යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ඊජිප්තුවෙන් ඊශ්‍රායලයට හමු වූ බිම් කඩෙහි නව වරාය නගරයක් ඉදිකරන්නට පිඹුරුපත් සකස් කරනවා. කෙසේ නමුත් එය ක්‍රියාත්මක කරන්නට පෙර 1973 වසරේ යොම් කිපූර් දිනයේ දී ඊජිප්තුව ඊශ්‍රායලයට අනපේක්ෂිත ප්‍රහාරයක් දියත් කරනවා. එහිදී ඊශ්‍රායලයට දැඩි අවාසි සිදු වූ අතර සයදින යුද්ධයෙන් තමන් අත්පත් කරගත් භූමි හාගයෙන් වැඩිමනක් සාම ගිවිසුමක් මගින් නැවත ඊජිප්තුවට ලඩා දෙන්නට ඔවුන්ට සිදුවෙනවා.

සයදින යුද්ධයේ දී මෙන් නොව යොම් කිපූර් යුද්ධයේ දී දයාන්ගේ උපක්‍රම එතරම් සාර්ථක වෙන්නේ නැහැ. මේ නිසා ඔහු සිය වෘත්තියෙහි අසමර්ථයැ යි සමහරු චෝදනා කරන්නට වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 1974 වසරේ දී ඔහු සිය අස්වීමේ ලිපිය එවකට ඊශ්‍රායල අගමැතිණිය වී සිටි ගෝල්ඩා මයර්ට ලබා දෙනවා. නැවත 1977 වසරේ දී විදේශ ඇමති ලෙස පත් වූ ඔහු එහිදී ඊජිප්තුව සමග සයදින හා යොම් කිපූර් යුද්ධවල දී දෙරට බලය තහවුරු කරගත් ප්‍රදේශවල පාලනය පිළිබඳ යම් එකඟතාවක් ඇතිකරගන්නට සමත් වෙනවා.

දිවියේ සැඳෑ සමය

මෝෂේ දයාන් දිවියේ සැඳෑ සමයෙහි-  middleeastmonitor.com

1979 වසරේ දී මෝෂේ දයාන් විදේශ ඇමතිකමින් ද ඉල්ලා අස් වෙනවා. එම වසරේම මැයි මස 14 වන දින ඔහුට පිළිකාවක් වැළඳී ඇති බැව් සොයාගැනෙනවා. මහාන්ත්‍රයේ මේ පිළිකා තත්ත්වය ඇති වී තිබූ අතර, ඔහු වසර දෙකක් තිස්සේ ඉන් පීඩා වින්දා. 1981 වසරේ ඔක්තෝබර් මස 16 වැනි දා ඔහු සදහටම දෙනෙත් පියාගන්නවා. ඒ වන විට ඔහු 66 වන වියෙහි පසු වුණා.

Related Articles