නූතන තුර්කියේ පියා, මුස්තාෆා කෙමාල් (දෙවන​ කොටස​)

නූතන තුර්කියේ පියා ලෙස සැළකෙන මුස්තාෆා කෙමාල් අටටර්ක් පිළිබඳව ලිපි දෙකකින් යුත් ලිපි පෙළෙහි පළමුවැන්න අප මින් පෙර ඔබට ඉදිරිපත් කළා. එහිදී අප සාකච්ඡා කළේ කෙමාල්ගේ ජීවිතයේ මුල් කාලය සහ පළමු ලෝක යුද්ධාවසානය තෙක් ඔහුගේ හමුදා ජීවිතයයි. එතැන් සිට ඔහු පිළිබඳ විස්තරය අප මෙසේ ඔබට ගෙන එනවා.

තුර්කි ස්වාධීනතා යුද්ධය​

නව රජයට එරෙහිව විදෙස් බලවේග පෙළ ගැසුණ අතර මේ අවස්ථාවේ ඔවුන් කිහිප දෙනකු සමඟම කෙමාල්ගේ හමුදා ගැටුණා. මෙම යුද්ධ පොදුවේ තුර්කි ස්වාධීනතා යුද්ධය ලෙස හඳුන්වනු ලබනවා. සාමාන්‍යයෙන් තුර්කිය විසින් එම තුර්කි ස්වාධීනතා යුද්ධයේ ආරම්භය ලෙස සළකනු ලබන්නේ ග්‍රීසිය විසින් ස්මිර්නා නගරය අල්ලාගත් 1919 මැයි මාසයයි.

ගිණිකොණදිග ප්‍රදේශවල ප්‍රංශ සේනාංක සහ ප්‍රංශ විදේශ සේනාංකයේ ආර්මේනියන් බල ඇණි ද​, ඊසාන දෙසින් ආර්මේනියානු ජනරජ බල ඇණි ද බටහිරින් ග්‍රීක බල ඇණි ද එල්ල කළ අභියෝගයට තුර්කිය මුහුණ දුන්නා. මෙහිදී ආර්මේනියානු සේනාංකවලට එරෙහිව සටන්වලදී සෝවියට් රුසියාව ද කෙමාල්ගේ ජාතිකවාදීන්ට ආධාර කළා. තුර්කි හමුදා විසින් 1920 අග භාගයේ ආර්මේනියානු සේනාංක අන්ත පරාජයට පත් කිරීම හේතුවෙන් සෝවියට් සේනාංකවලට 1920 දෙසැම්බරයේදී පහසුවෙන්ම ආර්මේනියාව යටත් කරගත හැකි වුණා.

ප්‍රංශ සේනාංක සහ තුර්කි ජාතිකවාදීන් අතර 1920 මැයි මාසයේ සිටම සටන් ඇවිල ගිය අතර මෙහිදී තුර්කි හමුදා විසින් එල්ල කළ ප්‍රතිරෝධය ප්‍රංශ සේනාංකවල විමතියට හේතු වුණා. 1921 ජනවාරි – පෙබරවාරි සමයේ සිදුවූ මරාෂ් සංග්‍රාමයෙන් තුර්කි හමුදා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබීමෙන් අනතුරුව මෙම ප්‍රදේශයේ වඩා ප්‍රබලව නැගී සිටියේ කෙමාල්ගේ සේනාංකයි.

සෙව්ර ගිවිසුම ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම අපහසු වෙමින් පවතින බව තේරුම් ගත් මිත්‍ර රටවල් නව සාම සාකච්ඡාවක් සැළසුම් කළා. ඒ ලන්ඩනයේදි. 1921 පෙබරවාරි 21 වනදා ඇරඹි ලන්ඩන් සමුලුවේදී ඔටෝමන් පාලනය සහ ජාතිකවාදී අතර එකඟතාවයක් ඇති කරවීමට මෙන්ම සෙව්ර ගිවිසුම මූලික කරගෙන නව ගිවිසුමක් සැකසීමට මිත්‍ර රටවල් යෝජනා කළා. කෙමාල්ගේ නියෝජිතයන් එම යෝජනා ප්‍රතික්ෂේප කළා. ඔවුන් පැවසූයේ සෙව්ර ගිවිසුමට තුර්කි මහා සභාව අත්සන් නොකළ බවත් එය ඔටෝමන් පාලකයා හා ඇතිවූ ගිවිසුමක් බවත්, එහෙයින් එය පාදක කරගෙන කරන සාකච්ඡාවලට තමන් ඇතුලත් නොවන බවත්.

මේ අවස්ථාවේ ප්‍රංශය කෙමාල්ගේ තුර්කි රජය සමඟ සාම සාකච්ඡා ඇරඹීමට තීරණය කළා. 1921 මාර්තුවේදී ඔවුන් අතර මුල් එකඟතාව ඇතිවූ අතර එම වසරේ ඔක්තෝබරයේදී අන්කාරා ගිවිසුමෙන් එම එකඟතාව ස්ථිර කරනු ලැබුණා. මේ ගිවිසුම් අනුව ප්‍රංශය විසින් කෙමාල්ගේ තුර්කි පාලනය පිළිගනු ලැබුණා. මෙය ඔටෝමන් සුල්තාන්වරයාට බරපතල පහරක් වුණා. ප්‍රංශය විසින් මෙසේ සාකච්ඡා ඇරඹීමත් සමඟ බ්‍රිතාන්‍යය ඉස්තාන්බුල් වෙත හමුදා යැවීමට කටයුතු කළා.

ග්‍රීසිය සමඟ යුද්ධය​

තුර්කි ස්වාධීනතා යුද්ධයේදී දරුණුම අවි ගැටුම් සිදු වූයේ ග්‍රීසිය සහ කෙමාල්ගේ තුර්කි හමුදා අතර යයි කිව හැකියි. ඔවුනට බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ සහය ද ලැබුණා. 1919 මැයි මාසයේදී ස්මිර්නා නගරය අල්ලාගත් පසුව තුර්කීන් ග්‍රීක හමුදා වෙත දිගටම ප්‍රතිරෝධය දැක්වූවා. නමුත් මේ අවස්ථාව වෙද්දී ග්‍රීසිය වඩා ශක්තිමත් තත්ත්වයක සිටියා. මෙම හමුදා තුර්කි ප්‍රතිරෝධයට ඉතා දරුණු ලෙස ප්‍රතිචාර දැක්වූවා.

1920 අගභාගයේදී ග්‍රීක හමුදා තුර්කි ප්‍රදේශවලට කඩා වැදුණා. 1921 ජනවාරි 9 සිට 11 දක්වා කෙරුණ සටනකදී ඉදිරියට එන ග්‍රීක හමුදා පළමු වරට පරාජය කිරීමට තුර්කීන් සමත් වුණා. ඒ ඉනෝනු නගරය අසළදී. මාර්තුවේදී වඩා විශාල ග්‍රීක සේනාංකයක් එම ප්‍රදේශයේදීම පරාජය කිරීමට තුර්කි හමුදා සමත් වුණා. තුර්කි නිදහස් යුද්ධවල වැදගත්ම සටන් දෙකක් වන මේවා පළමු සහ දෙවන ඉනෝනු සංග්‍රාමයන් ලෙස හැඳින්වෙනවා. මෙම සටන්වලදී තුර්කි හමුදා මෙහෙයවූ ඉෂ්මට් පාෂා මින් පසුව ඉෂ්මට් ඉනෝනු ලෙස ප්‍රකට වුණා.

ග්‍රීසිය සමඟ යුද්ධය (Wikimedia Commons)

1921 ජූනි මස අගදී ග්‍රීක සේනාංක අන්කාරා දෙසට දැවැන්ත​ හමුදා මෙහෙයුමක් ඇරඹුවා. මේ අනුව තුර්කි ස්වාධීනතා යුද්ධයේ පළමු වරට අන්කාරා නගරය තර්ජනයට ලක් වුණා. අගෝස්තුව වනවිට ග්‍රීක හමුදා සකර්යා නදිය අසබඩට පැමිණියා. මේ අනුව අන්කාරාවට තිබුණේ තවත් කිලෝ මීටර 80 ක දුරක් පමණයි. නමුත් මෙම අවස්ථාවේ කෙමාල් සහ ඉනෝනු විසින් නායකත්වය දුන් තුර්කි හමුදා ග්‍රීකයන්ට දරුණු ලෙස පහර දීමට සමත් වුණා. 1921 අගෝස්තු 23 සිට සැප්තැම්බර් 13 තෙක් ඇදුණ සකර්යා සටන තුර්කීන්ට විශිෂ්ඨ ජයග්‍රහණයක් ගෙන ආවා.

මේ අවස්ථාවේ ග්‍රීකයන් මිත්‍ර පාක්ෂික රටවල්වලින් ආධාර ඉල්ලා සිටියා. නමුත් මේ වෙද්දී සෙව්ර ගිවිසුම ක්‍රියාත්මක නොකළ හැකි තත්ත්වයක් පවතින බව ප්‍රංශය සහ ඉතාලිය යන දෙරටම තේරුම්ගෙන තිබුණා. ඉතාලිය කෙමාල්ගේ තුර්කිය සමඟ ගැටුමකට නොගොස් සිටි අතර ප්‍රංශය සිය යුද්ධ නිම කර වෙනමම සාමයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ බව අප මින් පෙර දුටුවා. මේ අතර බ්‍රිතාන්‍යය ද තත්ත්වය බරපතල බව තේරුම් ගනිමින් සිටියා.

1922 මාර්තුවේදී මිත්‍ර රටවල් නව සාම ගිවිසුමක් පිළිබඳ යෝජනාවක් රැගෙන ආවා. මේ අනුව ලන්ඩන් සමුලුව යළි රැස්වූ අතර එහිදී කෙමාල් පාර්ශවය මෙම යෝජනාව​ ප්‍රතික්ෂේප කළේ තමන් ඇනටෝලියාවේ එක බිම් අඟලකදු ග්‍රීකයන්ට පවරා දීමට එරෙහි බව පවසමින්.

මීළඟ මාස කිහිපය කෙමාල්ගේ සේනාංක අවසන් ප්‍රහාරය එල්ල කිරීම සඳහා සූදානම් වුණා. 1922 අගෝස්තුවේදි ස්මිර්නා වෙත එල්ල වූ ප්‍රහාර හමුවේ ග්‍රීකයන් වේගයෙන් පසු බැස්සා. සැප්තැම්බර් 9 වනදා තුර්කි අශ්වාරෝහක හමුදා ස්මිර්නා නගරයට ඇතුල් වුණා.

තුර්කි හමුදා ඇතුලු වීමෙන් දින කිහිපයකට පසු ස්මිර්නා නගරයේ ග්‍රීක සහ ආර්මේනියානු ජනතාව වාසය කළ ප්‍රදේශවල විශාල ගින්නක් හටගත්තා. මෙයට වගකිව යුත්තේ කෙමාල්ගේ තුර්කි බල ඇණි බව චෝදනා මතු වුණා.

කෙසේ නමුත් මෙම ස්මිර්නා ජයග්‍රහණයත් සමඟ තුර්කි ජාතික මහා සභාව සමඟ සටන් විරාමයකට පැමිණීමට මිත්‍ර රටවල් පෙළඹුණා. 1922 ඔක්තෝබරයේදී සටන් විරාමයක් අත්සන් කෙරුණා.

ඔටෝමන් අධිරාජ්‍යය අවසන් ගමන් යයි

මෙම සටන් විරාමයෙන් පසු අපකීර්තියට පත් ඔටෝමන් අධිරාජ්‍යය බලයෙන් ඉවත් කිරීමට ජාතික මහා සභාව තීරණය කළා. එම තීරණය ගනු ලැබුයේ 1922 නොවැම්බර් 1 වනදා. නොවැම්බර් 17 වනදා බලාපොරොත්තු කඩවූ සුල්තාන් VI මෙහ්මඩ් තුර්කියෙන් පිටව ගියා.

සුල්තාන් VI වන  මෙහ්මඩ් රට හැර යාමට දින කිහිපයකට පෙර (Public Domain)​

1923 ජූලි 24 වනදා අත්සන් කෙරුණ ලුසෑන් ගිවිසුම අනුව තුර්කියේ ස්වාධීනතාව නෛතිකව තහවුරු කෙරුණා. එම වසරේ ඔක්තෝබර් 29 වනදා තුර්කි සමූහාණ් ඩුව ප්‍රකාශයට පත් කෙරුණ අතර මුස්තාෆා කෙමාල් එහි පළමු ජනාධිපති බවට පත් වුණා.

ප්‍රතිසංස්කරණ​

මුස්තාෆා කෙමාල් මෙයින් පසුව ක්‍රමාණුකූල ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දුන්නා. එයින් ඔහු බලාපොරොත්තු වූයේ අගාරික (secular) හෙවත් ආගමෙන් ඈත්වූ, නවීන ජාතික රාජ්‍යයක් නිර්මාණය කිරීමයි. මෙම ප්‍රතිසංස්කරණ ආගමික​, දේශපාලනික​, සමාජීය​, ආර්ථික, සහ නෛතික ආදී විවිධ ක්ෂේත්‍ර ආවරණය කළා.

කෙමාල්ගේ ප්‍රතිසංස්කරණ වසර ගණනක් තිස්සේ ක්‍රමානුකූලව ක්‍රියාවට නැගුණා මිස එක් දිනකින් හෝ දෙකකින් කඩිමුඩියේ ක්‍රියාවට නැගූ ඒවා වුණේ නැහැ. ඇතැම්විට වෙනත් සමහර ඉස්ලාමීය රටවලට වඩා තුර්කියේ මෙවන් ප්‍රතිසංස්කරණ මුල්බැස ගැනීමට මෙය ද හේතුවක් වන්නට ඇති.

ආගම සහ රජය වෙන් කිරීම​

ඔටෝමන් පාලනයෙහි රාජ්‍ය පරිපාලනය හොඳින් සංවිධානය වී තිබුණා. ඒ මිලෙට් නම් ක්‍රමවේදය හරහායි. නමුත් එහිදී ඉස්ලාමයට මුල් තැනක් දෙනු ලැබුණා. මේ අනුව රටේ දේශපාලනය​, ආර්ථිකය සහ සමාජමය කරුණුවලදී ඉස්ලාමයට ප්‍රමුඛතාවක් ලැබුණා. කෙමාල් මෙම ක්‍රමය වෙනස් කරමින් මිලෙට් ක්‍රමය අවලංගු කර ආගමික දර්ශනය සහ රජය අතර වූ සම්බන්ධය දුරස් කළා.

එමෙන්ම ඔටෝමන් අධිරාජ්‍යය විසින් සියවස් ගණනක් තිස්සේ හිමිකම් කියූ ඉස්ලාමීය කාලිෆේතය කෙමාල් විසින් 1924 දී අහෝසි කළා.

මුස්තාෆා කෙමාල් 1923 මාර්තු 24 TIME සඟරාවේ කවරයේ (TIME)

1924 දී නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් දේශපාලන ප්‍රතිසංස්කරණ වේගවත් කළ කෙමාල් තුර්කිය අගාරික ජාතිකවාදී රාජ්‍යයක් ලෙස හැඩගැස්වූවා. පසු කාලීනව අරාබි බසින් වූ කුරාණය වෙනුවට තුර්කි බසට පරිවර්තනය කළ කුරාණයක් හඳුන්වා දීමට ද මුස්ලිම් පල්ලිවල අරාබි බසින් පවත්වන යාඥාව වෙනුවට තුර්කි බසින් කෙරෙන යාඥාවක් හඳුන්වා දීමට ද කෙමාල් රජය පියවර ගත්තා. මෙම පියවරයන් ආගමික අන්තවාදීන් අතර කෙමාල්ට විරුද්ධත්වයක් මතු කිරීමට හේතු වුණා.

මේ අතර ආගම මුල්කරගත් ඇඳුම් ආයිත්තම්, විශේෂයෙන් හිස් ආවරණ ආදිය පිළිබඳව ද නව නීති ක්‍රමානුකූලව හඳුන්වා දුන්නා. එම ක්‍රියාවලියේ උච්චතම අවස්ථාව වූයේ 1934 දී පැනවූ නීතියක් මගින් ආගමික පසුබිමකින් යුත් ඇඳුම්, එනම් කාන්තාවන් ගේ සිරුර වසාලන මුහුණු ආවරණ ආදිය​, තහනම් කිරීමයි.

මේ අතර 1924 දී ඉස්ලාමීය ශාරියා උසාවි තහනම් කෙරුණා.

කාන්තා අයිතීන්

තුර්කි සමූහාණ්ඩුවේ මුල් අවධියේ පටන්ම කෙමාල් කාන්තාවන්ගේ අයිතීන් පිළිබඳ අවධානය යොමු කළා. ඔහු මුල පටන්ම සඳහන් කළේ නවීන බටහිර රාජ්‍යයන් හා කරට කර යන සමාජයක් නිර්මාණය කිරීමේදී කාන්තාවන් සහ පිරිමින් සමතැන තබා කටයුතු කළ යුතු බවයි. කාන්තාවන් සම්බන්ධ අයිතීන් කෙමාල් පාලන සමයේ බෙහෙවින් පුළුල් කෙරුණා. 1926 දී තුර්කිය තුළ බහු භාර්යා සේවනය නීති විරෝධී බවට පත් කිරීම එවැනි එක් පියවරක් වුණා.

කාන්තාවන්ට දේශපාලනික අයිතීන් ලබාදීම සම්බන්ධව ද කෙමාල් කටයුතු කළ අතර 1934 දී ඔවුනට ද ඡන්ද බලය ප්‍රදානය කෙරුණා. මේ අතර ගැහැණු ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලැබුණා.

අනෙකුත් අංශවල ප්‍රතිසංස්කරණ​

නෛතික අංශයෙන් සැළකූ විට නව අපරාධ සහ සිවිල් නීති පද්ධතීන් හඳුන්වා දීම සිදු වුණා. මෙහිදී අපරාධ නීතිය සඳහා ඉතාලියෙන් ද සිවිල් නීතිය සඳහා ස්විට්සර්ලන්තයෙන් ද ආභාශය ලබා ගැණුනා. තවද කාන්තාවන් විනිසුරුවරුන් ලෙස පත් කිරීම ද කෙමාල්ගේ සමයේ ඇරඹුණ බව සඳහන්.

ජාතිකවාදී ප්‍රතිපත්ති අනුව යමින් කෙමාල් තුර්කියේ වැදගත් අංශ කිහිපයක් රජයේ පාලනයට ගෙන ආවා. දුම්කොළ කර්මාන්තය සහ දුම්රිය සේවය මේ අතර ප්‍රධාන වනවා. රටේ කාර්මික දියුණුව කෙරෙහිද ඔහු අවධානය යොමු කළා. රජයේ පාලනය යටතේ නව කර්මාන්ත තුර්කිය තුළ බිහිවුනා. මේ අතර බැංකු ක්‍රමය ප්‍රතිසංස්කරණය කෙරුණ අතර 1931 දී එහි පියවරක් ලෙස තුර්කි මහ බැංකුව පිහිටුවනු ලැබුණා.

මරණය​

මුස්තාෆා කෙමාල් 1937 සිට රෝගාබාධවලට ලක් වුණා. 1938 නොවැම්බර් 10 වනදා උදෑසන 9.05 ට මිය යනවිට කෙමාල්ගේ වයස අවුරුදු 57 ක් පමණක් වුණා. වසර 15 ක් තිස්සේ තුර්කියට නායකත්වය ලබාදුන් ඔහු ඒ වනවිට නූතන තුර්කි රාජ්‍යයට අඩිතාලම දමා තිබුණා.

Cover Image: කෙමාල් ස්මිර්නාවට පැමිණෙන අයුරු දැක්වෙන චිත්‍රයක් (Public Domain)

Related Articles