නූතන තුර්කියේ පියා, මුස්තාෆා කෙමාල් (පළමු කොටස​)

පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වීමෙන් හරියටම වසර හතරකුත් එක් දිනකට පසු 1918 ඔක්තෝබර් 30 වනදා ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය සටන් නැවැත්වීමට එකඟ වුණා. ඒ සමඟම මැද පෙරදිග යුධ පෙරමුණේ සටන් නිමාව දුටු අතර ඉන් දින කිහිපයකට පසු අනෙක් මධ්‍ය බලවතුන් ද සටන් නැවැත්වීමට එකඟ වීමෙන් යුද්ධය නිමාව දුටුවා.

සටන් විරාමය අත්සන් කළ අවස්ථාවේද මිත්‍ර පාක්ෂික රටවල් කියා සිටියේ තුර්කිය කඩා බිඳ දමන්නට තමන්ට අවශ්‍ය නොවන බවයි. එහෙත් කිසිවක් කරගත නොහැකි අධිරාජ්‍යයට අයත් ප්‍රදේශ තමන්ට අවශ්‍ය පරිදි ඩැහැ ගැනීමට මුල පටන්ම මිත්‍ර රටවල් කටයුතු කළා. රහසිගත සයික්ස් – පිකෝ ගිවිසුම අනුව සිරියාව​, පලස්තීනය සහ මෙසපොතේමියාව යන තුර්කි යටත් ප්‍රදේශ බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය අතර බෙදා ගැනීම මෙයින් එක් උදාහරණයක් වුණා. මෙහිදී එම දෙරට අරාබි ජාතිකයන්ට ස්වාධීනත්වය ලබා දීමට දුන් පොරොන්දු ද ඉවත දැමුවේ කිසිදු ලජ්ජාවක් නොමැතිවයි.

1918 නොවැම්බරයේදී ප්‍රංශ සේනාංකයක් ඔටෝමන් අගනුවර ඉස්තාන්බුල් (කොන්ස්තන්තිනෝපලය) අත්පත් කරගන තම මිලිටරි පාලනයක් ඇති කළා. මේ අතර අලුත් බලවතුන් දෙදෙනකු ද තුර්කිය බෙදාගැනීමේ තරඟයට ඉදිරිපත්ව තිබුණා. ඒ ඉතාලිය සහ ග්‍රීසියයි. මෙයින් විශේෂයෙන්ම ග්‍රීසිය ඇනටෝලියාවේ බටහිර සහ උතුරු වෙරළබඩ ප්‍රදේශවලට අයිතිවාසිකම් කියන්නට වූයේ නව හෙලනික අධිරාජ්‍යයක් නිර්මාණය කරන අදහසිනුයි. මෙහිදී ඔවුන් අයිතිවාසිකම් කියන ලද්දේ ග්‍රීක ජනගහනයක් සහිත ප්‍රදේශ සහ ඉපැරණි ග්‍රීක ජනාවාස පිහිටි ප්‍රදේශවලටයි.

මේ අතර රුසියාවේ කඩා වැටීමෙන් පසු නිදහස ප්‍රකාශ කළ ආර්මේනියාව ද ඊසානදිග තුර්කියට හමුදා එවන්නට කටයුතු කළා. ගිණිකොණදිග තුර්කියේ අඩානා නගරය කේන්ද්‍ර​ කරගෙන ප්‍රංශයින් එම ප්‍රදේශයෙන් කොටසක් සිය පාලනයට නතු කරගත්තා.

මෙසේ විවිධ පාර්ශවයන් විසින් තුර්කිය බෙදාගැනීමේ අවදානමක් පැහැදිලි ලෙසම පෙනෙන්නට වුණා. ඔටෝමන් පාලකයන්ට මෙය නවත්වාගැනීමේ ක්‍රමයක් වූයේ නැහැ. එහෙයින් ශතවර්ශ ගණනක් ලෝක බලවතකු වූ තුර්කිය කැබලි වීමේ අවදානමක් මතු වුණා.

මෙම අවදානමෙන් තුර්කිය ගලවා ගන්නට එක්තරා පුද්ගලයකු මතු වුණා. ඔහු මුස්තාෆා කෙමාල් නම් හමුදා නිලධාරියායි. කෙමාල් නූතන තුර්කියේ නිර්මාතෘවරයා වන අතර එහෙයින් අටටර්ක් (තුර්කීන්ගේ පියා) යන නාමය ප්‍රදානය කෙරුණා. තුර්කිය සැබෑ ලෙසම නූතන රාජ්‍යයක් බවට පත් කිරීමේ ගෞරවය හිමි වන්නේ මුස්තාෆා කෙමාල් හෙවත් අටටර්ක්ටයි.

අප අද ඔබට ඉදිරිපත් කරන්නේ මුස්තෆා කෙමාල් සහ තුර්කියේ ස්වාධීනතා සටනත්, කෙමාල් විසින් ඇති කරන ලද ප්‍රතිසංස්කරණත් පිළිබඳ වන ලිපි දෙකකින් පළමුවැන්නයි.

මුල් කාලය​

මුස්තාෆා කෙමාල් උපන්නේ 1881 මැයි මාසයේදී එවකට තුර්කි පාලනය යටතේ වූ වර්තමානයේ ග්‍රීසියේ පිහිටි සැලෝනිකාවේ. එම නගරය දැන් හැඳින්වෙන්නේ තෙසැලොනිකි ලෙසයි. ඔහුගේ නම වුණේ අලි රිසා ඔග්ලු මුස්තාෆා, එනම් අලි රිසාගේ පුත් මුස්තාෆා යන්නයි. පසු කලෙක ඔහුගේ ගණිත ගුරුවරයා විසින් කෙමාල් යන නම ඔහුට දෙනු ලැබුයේ “පරිපූර්ණ​” යන අර්ථයෙන්.

වයස අවුරුදු 12 දී හමුදා පාසැලක ඇතුලත්වීමේ විභාගයට මුහුණදුන් මුස්තාෆා 1905 දී ඉස්තාන්බුල් හමුදා පාසැලෙන් පිටවුණා. තරුණ කාළයේ ඔහු යෞවන තුර්කි ව්‍යාපාරයට සම්බන්ධ වූ අතර ඔවුන් විසින් 1908 දී වන අබ්දුල් හමීඩ් සුල්තාන්වරයාට සිහසුන අත හැරීමට බල කෙරුණා.

මුස්තාෆා කෙමාල් ට්‍රිපොලිටානියාවෙදී (Wikimedia Commons)

1911 දී මුස්තාෆා කෙමාල් ට්‍රිපොලිටානියාවට (වත්මන් ලිබියාව​) යවනු ලැබුණා. ඉතාලි – තුර්කි යුද්ධයේදී වඩා ප්‍රබල ඉතාලි හමුදාවල ප්‍රහාරයන්ට සාර්ථකව මුහුණ දීමට මුස්ටාෆා කෙමාල්ගේ හමුදා සමත් වුණා. බ්‍රිතාන්‍යය විසින් පාලනය කෙරුණ ඊජිප්තුව හරහා තුර්කි හමුදාවලට ගමන් කිරීමට අවසර නොලැබීමත් ට්‍රිපොලිටානියාව අවට මුහුද ඉතාලි නාවික හමුදා පාලනය යටතේ පැවතීමත් හේතුවෙන් අමතර හමුදා ට්‍රිපොලිටානියාවට ගෙන ඒම අපහසු වුණා. එහෙයින් තුර්කි හමුදා මෙම යුද්ධයේදී දිගටම මුහුණ දුන්නේ අභියෝගාත්මක තත්ත්වයකට ය​. එසේ තිබියදීත් 1911 සැප්තැම්බරයේ සිට 1912 ඔක්තෝබරය දක්වා ඉතාලි හමුදා හා සටන් වැදීමට තුර්කි සේනාංක සමත් වුණා. මෙම යුද්ධය කැමෙල් හමුදා සෙන්පතියකු ලෙස ප්‍රසිද්ධ වීමට බලපෑවා.

ඉතාලිය සමඟ යුද්ධයෙන් පසු 1912 සහ 1913 වසරවල බෝල්කන් යුද්ධ දෙකේදීම ඔහු යුධ පෙරමුණේ සටන් කළා.

පළමු ලෝක යුද්ධ සමය​

තුර්කිය පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වූයේ 1914 ඔක්තෝබර් මස 29 වනදායි. මුස්තාෆා කැමෙල් මෙහිදී විවිධ පෙරමුණුවල සටන් සඳහා සම්බන්ධ වුණා. නමුත් ඔහු වඩාත්ම ප්‍රකට වූයේ 1915 ගැලිපොලි සටන මෙහෙයවීම හේතුවෙන්.

මිත්‍ර පාක්ෂිකයන් ගැලිපොලි යුධ ව්‍යාපාරය දියත් කළේ තුර්කි හමුදා එහිදී පරාජය කර ඔටෝමන් අගනුවර වූ කොන්ස්තන්තිනෝපලයට තර්ජනය කිරීමේ හැකියාව පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුවයි. නමුත් මෙම යුධ ව්‍යාපාරය එතරම් හොඳින් සැළසුම් නොකරන ලද එකක් වුණා. ජර්මන් සෙනවියකු වූ ජෙනරාල් ඔටෝ ලීමන් ෆොන් සැන්ඩර්ස් සහ මුස්තාෆා කැමෙල් විසින් මෙහෙයවන ලද තුර්කි සේනා හොඳින් ප්‍රතිවාදියාට මුහුණ දී එම යුධ ව්‍යාපාරය පරාජය කළා.

1916 වසරේදී කොකේසස් ප්‍රදේශයේ රුසියානු ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට කැමෙල් සමත් වූ අතර 1917 – 18 වසරවල මැදපෙරදිග යුධ පෙරමුණුවල යුධ වැදුණා.

ඇනටෝලියාවෙන් මතුවූ නිදහස් සටන​

පළමු ලෝක යුද්ධයෙන් පසුව එවකට ඔටෝමන් සුල්තාන්වරයා වූ VI වන මෙහ්මඩ්ට අවශ්‍ය වූයේ සිය බලය රැක ගැනීමටයි. එහෙත් ඔහුගේ හමුදා සේනාංක බොහොමයක් යුද්ධයෙන් විනාශ වී තිබුණා. මේ අනුව සිය බලය රැක ගැනීම සඳහා යුද්ධයෙන් ජයගත් මිත්‍ර පාක්ෂිකයන් සතුටු කරන්නට මොහුට සිදු වුණා. මේ අතර රටේ අභ්‍යන්තරික පාලනය කඩා වැටෙමින් තිබුණා.

1919 මැයි මාසයේදී ග්‍රීක හමුදා ස්මිර්නා (වර්තමාන ඉෂ්මීර්) නගරය සහ ඒ අවට ප්‍රදේශයන් අල්ලා ගත් අතර එය වැළැක්වීමට ඔටෝමන් රජයට හැකියාවක් වූයේ නැහැ. මේ අනුව තුර්කියේ විශාලම නගර දෙකම (ඉස්තාන්බුල් සහ ස්මිර්නා) මේ වනවිට පැවතියේ විදෙස් අධිපතිත්වය යටතේයි.

තුර්කියේ ආසියානු මහාද්වීපයේ පිහිටි කොටස ඇනටෝලියාව නමින් හැඳින්වෙනවා. 1919 අප්‍රේල් අගදී මුස්තාෆා කෙමාල් එහි යවන ලද්දේ සැම්සුන් නගරයේ ඇතිවූ නොසන්සුන්තාවක් පාලනය කිරීමටයි. සිය රාජ්‍යයට අත් වෙමින් පැවති ඉරණම පිළිබඳ කෙමාල් සිටියේ අප්‍රසාදයෙන්. ඔහු මැයි 19 වනදා සැම්සුන් වෙත පැමිණෙන අවස්ථාව වනවිට ඔහුගේ සිතෙහි පැළපදියම්ව පැවතියේ නව ජාතික ව්‍යාපාරයක් නිර්මාණය කරන අරමුණයි.

ජූනි මාසයේදී ඔහු සහ තවත් නිලධාරීන් පිරිසක් අමස්යා චක්‍රලේඛය නම් ලියවිල්ලක් රට පුරා බෙදා හැරියා. සිය රටේ ස්වාධීනත්වය අවදානමට පත්ව ඇතැයි ප්‍රකාශ කළ මෙම ලියවිල්ල විසින් ඒ පිළිබඳ තීරණ ගැනීමට ජාතික කොන්ග්‍රසයක් පැවැත්විය යුතු බවට යෝජනා කළා.

ජූලි මාසයේදී කෙමාල් ඔටෝමන් හමුදාවෙන් ඉවත් වුණා. මේ අතර ඔහු අත් අඩංගුවට ගැනීමේ නියෝගයක් ද රජය විසින් ප්‍රකාශයට පත් කෙරුණා. එහෙත් රජයට ඔහු අත් අඩංගුවට ගැනීමේ හැකියාවක් වූයේ නැහැ. මේ වනවිට ඔටෝමන් රජයට ඇනටෝලියාවේ පාලනයක් තිබුණේ නැති තරම් යයි කිව හැකියි. මුස්තාෆා කෙමාල් තුර්කියේ අභ්‍යන්තරයේ නගරයෙන් නගරයට​, ගමින් ගමට යමින් සිය ව්‍යාපාරය වර්ධනය කරන්නට වුණා. මේ අනුව තුර්කි ජාතික ව්‍යාපාරය හැඩගැසෙමින් පැවතුණා.

මේ සමය වනවිට බාහිර බලවතුන් කිසිවකුට මුස්තාෆා කෙමාල් කිනම් ආකාරයේ පියවරක් ගන්නේදැයි වැටහීමක් තිබුණේ නැහැ. බ්‍රිතාන්‍ය බලධාරීන්ට පවා කෙමාල් පිළිබඳ නිවැරදි වැටහීමක් නොතිබුණ බව සඳහන්.

1919 සැප්තැම්බරයේදී සිවාස් හිදී ඇනටෝලියානු නියෝජිතයන්ගේ රැස්වීමක් (සිවාස් කොන්ග්‍රසය​) පවත්වනු ලැබුණා. මෙහිදී ජාතිකවාදීන් තර්ක කළේ ඔටෝමන් සුල්තාන්වරයා බටහිර රටවල ඉත්තකු බවට පත්ව ඇති හෙයින් ඔහුගේ රජය පිළිගත නොහැකි බවයි.

සිවාස් කොන්ග්‍රසයේ නියෝජිතයන් පිරිසක්. මැද සිටින්නේ කෙමාල් ය (Public Domain)​.

1919 දෙසැම්බරයේදී ඔටෝමන් පාර්ලිමේන්තුව සඳහා පැවති අවසන් මැතිවරණය පවත්වන ලද අතර එහිදී කෙමාල් පාක්ෂිකයන් බහුතර බලයක් දිනා ගත්තා. 1920 මාර්තුවේදී මෙම පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබුණා. කෙමාල් පාක්ෂිකයන් මේ අවස්ථාවේ ඊට ප්‍රතිචාර දැක්වූයේ විකල්ප නියෝජිත මණ්ඩලයක් පිහිටුවාගනිමින්. ජාතික මහා සභාව (Grand National Alliance) නම් වූ මෙය අප්‍රේල් මාසයේදී රැස් වුණේ අන්කාරා නගරයේදී. එහි කතානායකයා වූයේ මුස්තාෆා කෙමාල්. ඒ සමඟම තුර්කියේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ රජයන් දෙකක් බිහි වුණා.

සෙව්ර ගිවිසුම් ප්‍රකාරව එක් එක් බලවතුන්ට ලැබෙන ප්‍රදේශ සහ ඔවුනගේ බලපෑම් කලාප (Wikimedia Commons)

අන්කාරා නගරය මේ වනවිට විදෙස් බලවතුන් විසින් අල්ලාගෙන සිටි ප්‍රදේශවලින් දුරස්ව තුර්කිය අභ්‍යන්තරයේ පිහිටි නගරයක් වූ හෙයින් නව රජයක් පිහිටුවීම සඳහා සුදුසු, ආරක්ෂිත ස්ථානයක් වුණා.

සෙව්ර (Sèvres)​ ගිවිසුම​

1920 අගෝස්තුවේදී ඔටෝමන් රජය මිත්‍ර පාක්ෂිකයන් සමඟ සෙව්ර ගිවිසුම අත්සන් කළා. මේ අනුව ඔටෝමන් අධිරාජ්‍යයට අයත්ව තිබූ යටත් ප්‍රදේශ බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට පවරා දීම (සයික්ස්-පිකෝ රහසිගත ගිවිසුම අනුවම​) ඔටෝමන් පාලනය විසින් පිළිගත්තා. එපමණක් නොව වර්තමාන තුර්කියට අයත් ප්‍රදේශ සමහරක් ද ප්‍රංශය​, ග්‍රීසිය​, ඉතාලිය සහ ආර්මේනියාව අතර බෙදා දෙනු ලැබුණා. ඉස්තාන්බුල් නගරය​, බොස්පරස් සහ ඩාර්ඩනැලිස් සමුද්‍ර සන්ධිය සහ ඒ අවට ප්‍රදේශය ඇතුලත් කලාපයක් අන්තර්ජාතික පාලනය යටතට පත් කරනු ලැබුණා. මේ අනුව ජයග්‍රාහී පාර්ශවයන් තුර්කිය තමන් අතර බෙදා ගත්තා.

සත්‍ය වශයෙන්ම මෙහිදී සිදු වූයේ මේ වනවිටත් එක් එක් රටවල් විසින් බෙදාගෙන තිබූ පරිදි තුර්කිය බෙදීම සඳහා නෛතික රාමුවක් සැකසීමට වඩා වැඩි යමක් නොවෙයි.

මේ අවස්ථාවේ කෙමාල්ගේ නායකත්වයෙන් යුත් ජාතික මහා සභාව, තුර්කිය බෙදීමේ එම සැළසුම් කඩාකප්පල් කිරීමට වුණා. ඒ පිළිබඳවත් කෙමාල් විසින් තුර්කියට හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ පිළිබඳවත් මීළඟ ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වනවා.

Cover Image: මුස්තාෆා කෙමාල් 1924 දී

Related Articles