Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උතුරු කොරියානු නායක කිම් ජොංග් අන්ගේ බිරිඳ​ රී සොල් ජූ

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් යනු මේ දිනවල පුවත් පිට පුවත් මවන්නෙක්. ජාත්‍යන්තර මාධ්‍ය තුළ කෙතරම් කතා බහට ලක්වූවත් උතුරු කොරියානු නායකයාගේ පවුලේ විස්තර නියමාකාරව දන්නා අයෙකු සොයාගැනීමට අපහසුයි.

එසේ නමුත් උතුරු කොරියානු නායකයා විටින් විට ඔහුගේ බිරිඳ ලෙස උතුරු කොරියානු මාධ්‍ය විසින් හඳුන්වාදෙන තරුණිය හා ප්‍රසිද්ධ උත්සව සහ අනෙකුත් අවස්ථාවල පෙනී සිටිනවා. එය ඔහුගේ සීයා සහ පියා, එනම් ඔහුට පෙර උතුරු කොරියාව පාලනය කළ නායකයන් දෙදෙනාම නොකළ දෙයක්. මේ නිසා ඔහුගේ බිරිඳ ගැනත් ලෝකය බලා සිටින්නේ දැඩි කුතුහලයකින්.

ඉතින් ඒ නිසා පුවත් මවන උතුරු කොරියානු නායකයාගේ බිරිඳ, රි සොල් ජු, උතුරු කොරියානු මාධ්‍යවලට අනුව ‘ආදරණිය සහෝදරිය’ ගැන මෙතෙක් වාර්තා වී ඇති තොරතුරුවල සම්පිණ්ඩනයක් ඔබ වෙත ගෙන ඒමට අපි තීරණය කළා.

කරළියට පැමිණීම

2012 වසරේදී කිම් ජොන් අන්ගේ පසෙකින් ඇතැම් රාජ්‍ය උත්සවයන් සහ ප්‍රසිද්ධ අවස්ථා කිහිපයකටම පෙනී සිටි සුරූපිනිය කවරෙක්ද යන්න බොහෝ දෙනා කතා බහ කරන්නට පටන් ගත්තා.

දකුණු කොරියානු බුද්ධි අංශ එවකට ඇයව හඳුනාගත්තේ යොන් සොංග් වොල් යන නමින්. ඇය Pochonbo Electronic Ensemble සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකාවක බවයි දකුණු කොරියාව වාර්තා කළේ.

KCNA/Reuters

මෙම සංගීත කණ්ඩායම විප්ලවයට සහය දෙන ගීත සහ උතුරු කොරියානු ජන සංගීතය ඇසුරෙන් නිර්මාණය කෙරුණු ගීත ගායනා සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා.

කෙසේ නමුත් එම වසරේම ජුලි මස 25 වන දින උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ඇය කිම් ජොන් අන් ගේ බිරිඳ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

එතැන් පටන් 2014 වන තෙක්ම අවස්ථා කිහිපයකදීම කිම් ජොන් අන්ගේ අසලින් හිඳ ප්‍රධාන පෙළේ උත්සව අවස්ථාවන් කිහිපයක්ම නියෝජනය කිරීමට රී සොල් ජූ කටයුතු කළා.

ආන්දෝලනාත්මක විලාසිතා

උතුරු කොරියානු ජනතාවට බටහිර ලෝකයට අයත් දෑ අනුගමනය කිරීම එරට නීතියට අනුවම තහනම් වූවත් මෙම සුරූපිනියට එම නීති රීති එතරම් වලංගු නොවන බව මාධ්‍යයන්ට නිකුත් කර ඇති ඇගේ ඡායාරූප දෙස බැලීමෙන් පැහැදිලි වනවා. ඒ ඇය ඒ බොහොමයක් පින්තූරවල සැරසී සිටින්නේ නවීන පන්නයේ බටහිර කාන්තා විලාසිතාවන්ගෙන් වීම නිසා.

කරළියට ආ 2012 වසරේ උත්සවයකදී ඉතාම ජේත්තුවට බටහිර පන්නයේ ගවොමකින් සැරසී සිටි ඇගේ පසෙකින් තිබූ අත් බෑගය බොහෝ දෙනාගේ කතා බහට ලක්වූවේ එය ඉතා මිල අධික Christian Dior සන්නාමයට අයත් එකක් වූ නිසායි. එහි වෙළෙඳපොල වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් දහස ඉක්මවනවා.

හිටපු උතුරු කොරියානු නායකයෙකු වූ කිම් ජොන් ඉල් ගේ ප්‍රධාන අරක්කැමියෙකු ලෙස කටයුතු කළ ජපාන ජාතික කෙන්ජි ෆුජිමොටෝ තමන්ට සොල් ජු මුණ ගැසී ඇති බව ප්‍රකාශ කර සිටියා. “ඇය ඉතාම සුන්දර කාන්තාවක්. ඇගේ කටහඬ වචනයෙක් විස්තර කළ නොහැකි තරටම සෞම්‍යයි” ෆුජිමොටෝ සොල් ජු පිලිබඳ පවසා සිටියේ එසේ යි.

පාසැලකට ගිය ගමනක් (AFP/Getty)

ඒ හමුවීමෙන් අනතුරුව සමුගැනීමේ ත්‍යාගයක් වශයෙන් සොල් ජු ඔහුට ලබාදී ඇත්තේ පෙර කී මාධ්‍යවල අවධානයට පාත්‍ර වූ අත් බෑගය බවයි පැවසෙන්නේ.

කෙසේ නමුත් කිම් පවුලේ සුඛෝපභෝගී භාණ්ඩවලට ප්‍රිය කරන එකම පුද්ගලයා රී සොල් ජූ පමණක් නොවෙයි. ඇගේ සැමියා කිම් ජොංග් අන් මෙන් ම ඔහුගේ පියා සහ සීයා ද අධික වියදම්වලට පුරුදුව සිටියා. ඒ ඔවුන්ගේ ජනතාව ආහාර පෝලිම්වල රස්තියාදු වන අතරතුරයි.

අතුරුදහන් වීම සහ අනෙකුත් කරුණු

2012 වසරේ ඔක්තෝබර් මාසයේ සිට මාස කිහිපයක් පුරාවට සොල් ජූ ප්‍රසිද්ධ උත්සවයන්ට සහභාගී වීමෙන් වැළකී සිටියා. එම මුළු කාලය පුරාවටම ඇය එසේ පෙනී සිටියේ දෙසැම්බර් මස පැවති ප්‍රසිද්ධ අවස්ථාවකට පමණයි. එහිදී සැරසී සිටි සාම්ප්‍රදායික ලිහිල් ඇඳුම නිසා ඇය දරු උපතකට සූදානමින් සිටින බවටයි බොහෝ දෙනා මත පළ කළේ.

උතුරු කොරියානු නායකයාගේ සමීප මිතුරෙකු ලෙස සැලකෙන ප්‍රකට පැසිපන්දු ක්‍රීඩක ඩෙනිස් රොඩ්මාන් මෙය තහවුරු කර සිටියා. 2013 වසරේදී උතුරු කොරියානු සංචාරයක නියැළුණු රොඩ්මාන් ඇමරිකානු ටැබ්ලොයිඩ් පුවත්පතකට සාකච්ඡාවක් ලබා දෙමින් පවසා සිටියේ සොල් ජූ නිරෝගී දියණියකට උපත ලබා දී ඇති බවයි. එම බිළිඳියගේ නම ජූ ඒ බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඉන්පසු 2014 වසරේදීත් ඇය තවත් දරුවෙකු බිහිකළ බවට මාධ්‍ය වාර්තා පළවුණා. නමුත් උතුරු කොරියාව ඒ පිළිබඳව කිසිවක් මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැහැ.

2015 සහ 2016 වසර දෙකෙහිදීම සොල් ජූ ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් බොහෝ දුරට වැළකී සිටියා.

තවමත් තහවුරු නොවූ අනන්‍යතාව

ඉහත සඳහන් වූ කරුණුවලට අමතරව සොල් ජූ පිළිබඳව තොරතුරු කිසිවක්ම හෙළි වී නැති තරම්. ඇතැම් විශ්ලේෂකයන් පවසන අන්දමට රී සොල් ජූ යනු ඇගේ නියම නම නොව අන්වර්ථ නමකුයි.

ඇය උපත ලැබූ වර්ෂය ලෙස දැක්වෙන්නේ 1989 වූවත් එය සත්‍ය වශයෙන්ම 1985 – 1989 අතර කාලයකට අයත් විය හැකි බවයි දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ.

EPA

එමෙන්ම ඇගේ පවුල උතුරු කොරියාව තුළ වරප්‍රසාද ලත් පවුලක් බවත් පැවසෙනවා. වාර්තා වන අන්දමට ඇගේ මව උතුරු කොරියානු අගනුවර වන ප්‍යොංග්යෑංග් හි ප්‍රධාන රෝහලේ අධ්‍යක්ෂවරියක්. ඇගේ පියා මහාචාර්යවරයෙකු බවත් කියැවෙනවා. සොල් ජූ ත් උපාධිධාරිනියක්. ඇය පශ්චාත් උපාධියක් හදාරන බවටත් වාර්තා වනවා.

2005 වසරේදී සොල් ජූ දකුණු කොරියාවේ පැවති ආසියානු මළල ක්‍රීඩා ශුරයන්ගේ තරඟාවලියට උතුරු කොරියානු කණ්ඩායම සමඟ සහභාගී වූ cheer leaders කණ්ඩායම නියෝජනය කළ බවත් පැවසෙනවා. එහිදී ඔවුන් “We are One!” යනුවෙන් ගීතයක් ගායනා කළා.

කවරයේ රූපය: කිම් ජොංග් අන් සහ රී සොල් ජූ (Reuters)

මූලාශ්‍ර:

  1. Suman Varandani, Who Is Kim Jong Un’s Wife? 10 Facts To Know About Ri Sol Ju, IB Times
  2. Kim Jong-un’s wife is spotted, EIGHT MONTHS after disappearing from public view, Daily Mail, Dec 4, 2016
  3. No one really knows anything about Kim Jong Un’s wife, NY Post, April 27, 2017
  4. North Korea first lady Ri Sol Ju not as powerful as Kim Jong Un’s sister, UPI, Jan 3, 2017

Related Articles