Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහා ප්‍රංශ අධිරාජයා: නැපෝලියන්

ප්‍රංශයේ ඉතිහාසය ගැන කතා කරන විට සාකච්ඡාවට බඳුන් නොකර සිටිය නොහැකි චරිත කිහිපයක්ම හමුවනවා. ඒ අතරින් මහා රණශූර නැපෝලියන් බොනපාට් නාමය ඉහළින්ම පවතිනවා. කොටින්ම යුරෝපීය ඉතිහාසයේ 18 හා 19 සියවස් ගැන සටහන් වන තැනක දී පවා ඔහු පිළිබඳ තොරතුරු සඳහන් නොවේ නම් එය විශාල අඩුවක්.

නැපෝලියන්ගේ කුඩා කාලය

නැපෝලියන් බොනපාට් උප්පත්තිය ලැබුවේ 1769 වසරේ අගෝස්තු මස 15 වන දා, ප්‍රංශයට අයත් කෝර්සිකා දූපතේ අයැචෝ නම් නුවරයි. කාලෝ බොනපාට් හා ලැටීෂියා රමෝලිනෝ යුවලට ලද සිව්වන දරුවා, හා ජීවතුන් අතර සිටි දෙවන දරුවා ලෙස උපත ලද නැපෝලියන් කුඩා කල සිටම නිර්භීත රණ ශූරයෙකුගේ අති ලක්ෂණ විදහා පෑවා. සිය මූලික අධ්‍යාපනය නිමා කිරීමෙන් පසු බ්‍රියැන් හි හමුදා පාසලට බැඳුණු නැපෝලියන් එහි වසර 5 ක් අධ්‍යාපනය හදාරා පැරිස් හි හමුදා ඇකඩමියට බැඳෙනවා. 1785 වසරේ දී ඔහුගේ පියා උදර පිළිකාවක් හේතුවෙන් මිය යනවා. ඉන් වසරකට පමණ පසු, එනම්, 1786 වසරේදී ඔහු නැවත කෝර්සිකාවට පැමිණෙන්නේ දෙවන ලුතිනන් වරයෙකු ලෙසයි.

තරුණ නැපෝලියන්-François Gérard/Wikimedia Commons

නැවත කෝර්සිකාවට පැමිණිය ද ඒ ඉක්මණින්ම කෝර්සිකාවේ බෙදුම්වාදී අරගල ඇවිලී ගිය අතර නැපෝලියන් ප්‍රංශ පාර්ශවයට හිතවත් ලෙස ක්‍රියා කිරීම නිසා 1793 වසරේදී ඔහු හා ඔහුගේ මවට කෝර්සිකාව හැර දමා නැවත ප්‍රංශයට පැමිණීමට සිදු වෙනවා. එම වසරේ ජුනි මාසයේ දී ඔහු නැවතත් පැරීසියේ තමන් බැඳී සිටි රෙජිමේන්තුවටම සම්බන්ධ වෙනවා.

ප්‍රංශ විප්ලවය

ප්‍රංශ විප්ලවය ඇවිලී යාමත් සමඟ ප්‍රංශයේ සාම්ප්‍රදායික රාජ්‍ය පාලනය බිඳවැටුණු අතර මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් නැපෝලියන්, අන්ත වාමාංශික පක්ෂයක් ලෙස විප්ලවයේ ඉදිරියෙන්ම සිටි ජැකොබින් නම් කණ්ඩායමට සිය සහය පළ කරනවා. ක්‍රි. ව. 1792 දී ප්‍රංශ විප්ලවය සාර්ථකව නිමා වූ අතර 1793 දී දහසය වන ලුවී රජු ඝාතනය කෙරෙනවා. ප්‍රංශය ජනරජයක් වශයෙන් ප්‍රකාශයට පත්වූවත් ජනතා නියෝජිතයා ලෙස තේරී පත් වූ මැක්ස්මිලියන් රොබෙස්පියර් කිසිවෙක් නොසිතූ පරිදි ඒකාධිපතියෙක් වීමේ ලක්ෂණ පෙන්නුම් කරනවා. ඔහු විසින් මිනිසුන් රාශියක් ඝාතනය කරන අතර අවසානයේ ඔහුව පරාජය කර ඝාතනය කරන්නට ජනතාවට සිදු වෙනවා.

මැක්සිමිලියන් රොබෙස්පියර් – Wikimedia Commons

බලයට පැමිණීම

මැක්ස්මිලියන් රොබෙස්පියර්ගෙන් පසුව කෙටි කාලයක් ප්‍රංශය වාමාංශිකයින් විසින් ඇතිකර ගත් කෘත්‍යාධිකාරී මණ්ඩලයක් විසින් පාලනය කළ අතර, ඔවුන් සමඟ හොඳ හිත වර්ධනය කර ගැනීමට නැපෝලියන්ට හැකි වෙනවා. ඔහුගේ විශ්වාසනීය භාවයත්, යුද්ධයෙහි නිපුණත්වයත් නිසා ඉක්මණින්ම ප්‍රංශ හමුදාවේ අණ දෙන නිළධාරී තනතුරට පත් කෙරෙනවා.

ක්‍රි.ව 1796 දී නැපෝලියන්ට තවත් භාරදූර කාර්යයක් පැවරෙනවා. ඒ එවකට ප්‍රංශය මත යැපුණු ඉතාලි හමුදාව නැවත නඟා සිටුවීමයි. ඒ වන විට 30000 කින් පමණක් සැදුම් ලත් දුර්වල එකක් වූ ඉතාලි හමුදාව ඉක්මණින්ම ප්‍රබල එකක් කළ ඔහු එය යොදාගනිමින් විවිධ යුද්ධ කිහිපයක්ම ජයගන්නේ යුරෝපය තුල ප්‍රංශ අධිරාජ්‍යය තවත් ව්‍යාප්ත කරමින්. ඒ ආසන්නවම ඔහු විසින් ඊජිප්තුව ආක්‍රමණය කිරීමට ගත් උත්සහය ඉතා අසාර්ථක වුවත්, ක්‍රි.ව 1799 දී ප්‍රංශයේ ප්‍රථම කොන්සල් වරයා බවටත් 1804 වසරේදී ප්‍රංශ අධිරාජයා බවටත් පත් වීමට ඔහුට එය බාධාවක් වන්නේ නැහැ.

විවාහයන් හා පෞද්ගලික ජීවිතය

ජොසෆින්-François Gérard

නැපෝලියන් ක්‍රි.ව 1796 මාර්තු මස 9 වනදා දරුවන් දෙදෙනෙකු සහිත වැන්දඹුවක වූ ජොසෆින් හා විවාහ වෙනවා. කෙසේ නමුත් නැපෝලියන්ට දාව පුතෙකු ලැබීමට ඇය අපොහොසත් වෙනවා. මේ නිසා නැපෝලියන් ඇය හා දික්කසාද වන අතර ඔහු 1810 වසරේදී ඔස්ට්‍රියානු අධිරාජයාගේ 18 වියැති දියණිය වන මාරි ලුසී හා නැවත විවාහ වනවා. මේ යුවලට 1811 වසරේ මාර්තු මස 20 වනදා පුතෙකු ලැබෙන අතර පසුව ඔහු දෙවන නැපෝලියන් බවට පත් වෙනවා.

නැපෝලියන් හා යුධ ජයග්‍රහණ

නැපෝලියන්ට ප්‍රංශ අධිරාජ්‍යය යුරෝපය පුරාවට ව්‍යාප්ත කිරීමට නොතිත් ආශාවක් තිබුණා. මේ සඳහා යුරෝපීය රට වලට යුධ ආක්‍රමණ සිදු කිරීමට ඔහු ඉටාගන්නේ බලයට පත් වීමටත් ප්‍රථමයෙනුයි. යුධ කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමට එකල ප්‍රංශයේ කොලනියක් ලෙස පැවති, ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තය ඇමෙරිකානු ඩොලර් මිලියන 15 කට ප්‍රංශය විසින් එක්සත් ජනපදය වෙත 1803 වසරේදී විකුණා දමනු ලබනවා. නැපෝලියන් ඉක්මණින්ම මහා බ්‍රිතාන්‍යය, රුසියාව, හා ඔස්ට්‍රියාව ආක්‍රමණය කිරීමට සැළසුම් අඳිනවා.

ට්‍රැෆල්ගා නාවුක සටන -National Museum of the Royal Navy, Portsmouth

ක්‍රි.ව 1805 දී නැපෝලියන් සිය යුරෝපීය ආක්‍රමණය මහා බ්‍රිතාන්‍යයෙන් පටන්ගත්තත් ට්‍රැෆල්ගා නාවුක සටනින් පරාජයට පත් වන නිසා එම සැලසුම අතහැර රුසියාව හා ඔස්ට්‍රියාව දෙසට හැරීමට ඔහුට සිදු වෙනවා. ඉතා ඉක්මනින් ඔස්ට්‍රියාව යටත් කරගන්නා ඔහු ප්‍රංශ අණසකට ඕලන්දය, ඉතාලිය, ස්වීඩනය, ස්පාඤ්ඤය වැනි රටවල් ද නතු කරගන්නවා.

ක්‍රි.ව 1812 දී ආරම්භ කළ රුසියානු ආක්‍රමණය සිතූ තරම් නැපෝලියන්ට සුභදායී ප්‍රතිඵල අත් කර දුන්නේ නැහැ. මෙය ප්‍රංශයට ඉතා දැඩි දේපළ හා ජීවිත හානි ගෙන දුන් අතර අවසානයේ නැපෝලියන්ගේ පාලනතන්ත්‍රය ද දුර්වල වෙනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඔහුගේ සතුරන් ඔහුව ක්‍රි.ව 1814 දී බලයෙන් පහ කර එල්බා දූපතට පිටුවහල් කළත්, කෙටි කලෙකින් ඉන් මිදී නැවත බලය ස්ථාපිත කර ගැනීමට ඔහුට හැකි වෙනවා.

වෝටලූ සටන -historyextra.com

නැවත බලයේ ස්ථාපිත වුවත් නැපෝලියන්ට රිසි සේ සිය පාලන කරයුතු ගෙන යාමට ලැබෙන්නේ නැහැ. බ්‍රිතාන්‍යයන් හමුවේ වෝටලූ සටනින් අන්ත පරාජයක් ලබන ඔහු ක්‍රි.ව 1815 ජුනි මස 22 දා නැවත බලයෙන් පහ කරනු ලබනවා.

නැපෝලියානු කේතය

නැපෝලියන් යුධ සෙන්පතියෙකු ලෙස ලොව පරසිදුව සිටියත් ප්‍රජා පාලකයෙකු ලෙස ද ඉතා පරිණත භාවයක් ඉසිළුවා. ඔහු විසින් “නැපෝලියානු නීති සංග්‍රහය” හෙවත් ප්‍රංශ සිවිල් නීති සංග්‍රහය ලොවට හඳුන්වා දුන් අතර, එමඟින් එකල සමාජයේ ප්‍රචලිතව තිබුණු උප්පත්ති තත්ත්වය, ආගම වැනි දෑ මත පදනම්ව රජයේ රැකියා හා පහසුකම් ලබාදීම වෙනුවට වඩාත් සුදුසුකම් ඇත්තාට ඒවා ලබාගැනීමේ අයිතිය ස්ථාපිත කෙරුණා. මීට අමතරව සිය පාලනයේ මුල් කාලයේ දී ආර්ථිකය, නීතිය, හා අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර වලටත් සුදුසු ව්‍යවස්ථාපිත වෙනස්කම් සිදු කළා. කෙසේ නමුත් ඒකාධිපති අධිරාජයෙකු ලෙස සිය බලය තහවුරු කරගැනීමටත් ඔහු අමතක කළේ නැහැ.

ශාන්ත හෙලේනාවට පිටුවහල් කිරීම හා මරණය

බ්‍රිතාන්‍ය හමුදා වලට 1815 වසරේදී නතු වූ නැපෝලියන් අත්ලාන්තික් සාගරයේ, ප්‍රංශයට ඉතා ඈතින් පිහිටි ශාන්ත හෙලේනා දූපතට පිටුවහල් කෙරෙනවා. ඒ, ඊට පෙර වාරයේදී ඇල්බා දූපතින් මිදී ආවා මෙන් ශාන්ත හෙලේනාවෙන් මිදී නැවත ප්‍රංශයට පැමිණීමේ ඉඩකඩ ඉතා අවම කිරීම සඳහායි. ශාන්ත හෙලේනාවේ ‘ලෝන්ග්වුඩ්’ නම් නිවස්නයක් නැපෝලියන්ට බ්‍රිතාන්‍ය හමුදාව විසින් සාදා දුන් අතර එම දූපත අවට නිදහසේ සැරිසැරීමේ අවස්ථාව ද නැපෝලියන් වෙත ලැබුණා.

නැපෝලියන්ගේ මරණය-Carl von Steuben

ක්‍රි.ව 1817 වසර පසු වන විට නැපෝලියන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙමෙන් කෙමෙන් පිරිහෙන්නට පටන්ගෙන තිබුණු අතර, 1821 වසරේ මැයි මස 5 වනදා ශාන්ත හෙලේනාවේ දීම ඔහු සිය අවසන් සුසුම් පොද වා තලයට මුසු කරනවා.

කවරයේ පින්තූරය- Getty Images

Related Articles