බොලිවුඩයේ යුගයක් එකලු කළ ‘නර්ගීස්’ 

ඉන්දියානු සිනමාවට අද වන විට වසර 109 ක් වෙනවා. මේ කාලය තුළ එහි රංගනයෙන් දායක වූ ශිල්පී ශිල්පිණීන් සිය ගණනක් වෙනවා. මේ අතරින් අතළොස්සක් දෙනා සදානතික ලෙස ප්‍රේක්ෂක සිත් සතන් තුළ පැළපදියම් වී තිබෙනවා. 1940 දශකයේ අග භාගය සහ 50 දශකය සලකන කල්හී එලෙස ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටි රංගන ශිල්පිණියක ලෙස ‘නර්ගීස්’ හඳුන්වන්නට පිළිවන්. හුදු ජනප්‍රියත්වයෙන් ඔබ්බට ගොස් චරිතාංග රංගනයෙහි ද සිය දස්කම් මොනවට පෑ ඇය සැලකෙන්නේ එදා මෙදා තුර බොලිවුඩය දුටු දක්ෂත ම රංගන ශිල්පිණියක ලෙස යි.

කුඩා කාලය සහ රංගනයට පිවිසීම

නර්ගීස් උපත ලැබුවේ 1929 වසරේ ජුනි මස 1 වනදා ඉන්දියාවේ, බටහිර බෙංගාලයේ කල්කටා නුවර යි. ඇගේ මව අලහබාද් සිට පැමිණි මුස්ලිම් ජාතික ගායිකාවක වූ ජඩාන්බායි වූ අතර, පියා වර්තමාන පාකිස්තානයේ රාවල්පිණ්ඩි සිට පැමිණි හින්දු ජාතික උත්තම්චාන්ද් මෝහන්චාන්ද් නමැත්තෙක් වුණා. ඔහු පසුකාලීන ව ඉස්ලාමය වැලඳගෙන ‘අබ්දුල් රශීඩ්’ යනුවෙන් සිය නාමය වෙනස් කරගෙන සිටි අතර, මේ හේතුවෙන් නර්ගීස්ට උපතින් ‘ෆාතිමා රශීඩ්’ යන නාමය ලැබුණා. ඇයට සොයුරෙක් ද වූ අතර ඔහු අන්වර් රශීඩ් නම් වූ අයෙක්. ඔහු ද පසුකාලීන ව රංගන ශිල්පියකු බවට පත් වුණා.

නර්ගීස් නව යොවුන් වියේ –  Anuradhawarrier.blogspot.com – 

 

සිය මවගේ තිබූ සබඳකම් මත නර්ගීස් කුඩා කල ම සිනමාවට පිවිසුණා. ඇ‍ය සය වෙනි වියේ සිටින විට, එනම් 1935 වසරේදී තලාෂ්-ඊ-හක් නම් චිත්‍රපටයේ රඟපාන්නට ඇයට අවස්ථාව ලැබෙනවා. චමන්ලාල් ලුහාර් නම් සිනමා අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කළ මෙහි සංගීත අධ්‍යක්ෂණය කළේ ඇගේ මව යි. මෙහි ඇය කුඩා දරුවකුගේ චරිතයක් නිරූපණය කළ අතර ‘බේබි නර්ගීස්’ යනුවෙන් නම් කෙරුණා. පුෂ්පයක නමක් අනුසාරයෙන් මෙම නම යොදා තිබූ අතර, එය අතිශය ජනප්‍රිය වූ නිසා ඉන් අනතුරු ව ඇය රඟපෑ සියලු නිර්මාණවල එම නම යොදා ගැනුණා.

සිනමා දිවිය

නර්ගීස්ට වැඩිහිටි චරිතයක් මුලින් ම රඟන්නට ලැබුණේ 1942 වසරේ ‘තමන්නා’ චිත්‍රපටයෙනු යි. ඉන් අනතුරුව ඇයට චිත්‍රපට ගලා එන්නට පටන්ගත් අතර, ඇය ප්‍රසිද්ධියට පත් පළමු චිත්‍රපටය වන්නේ 1943 වසරේ තිරගත වූ මෙහෙබුබ් ඛාන් ගේ ‘තක්දීර්’ නම් චිත්‍රපටය යි. මේ වන විට ඇය යාන්තම් 14 වියැති ව සිටි අතර එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ රංගන ශිල්පියා වූයේ එවකට ජනප්‍රිය ව සිටි මෝතිලාල් නම් රංගන ශිල්පියා යි.

මොවුන් දෙදෙනාගේ ම රංගනය ප්‍රේක්ෂකයන් තදින් වැලඳ ගත් අතර, නර්ගීස් බොලිවුඩයට පායා ආ නවත ම තරුව බවට පත් වුණා. ඉන් අනතුරුව බර්සාත්, අන්දාස්, අවාරා, දීදාර්, ශ්‍රී 420 සහ චෝරී චෝරී වැනි චිත්‍රපට රාශියක ඇය රඟපෑ අතර, ඒ චිත්‍රපට සියල්ලේ ම පාහේ ඇය රංගනයෙන් දායක වූයේ මහා නළු රාජ් කපූර් හෝ දිලිප් කුමාර් සමඟ යි. මේ නිසා ඇය ඉන්දියානු අඹරේ රන් තරුවක් බවට පත් වන්නට වැඩි කලක් ගියේ නැහැ. ඇගේ  මනා පෞරුෂයත්, ආකර්ශනීය පෙනුමත්, මනා වූ රංගන ප්‍රතිභාවත් මෙයට මොනවට දායක වුණා.

 නර්ගීස් සහ රාජ් කපූර් – pinkvilla.com 

 

භාරත මාතාව

නර්ගීස් එදා මෙදා තුර රඟපෑ වැඩි ම ප්‍රේක්ෂක හා විචාරක ඇගැයීමට ලක් වූ චිත්‍රපටය ලෙස සැලකෙන්නේ ඔස්කාර් සම්මානයට පවා නිර්දේශ වූ මෙහෙබුබ් ඛාන් ගේ ‘මදර් ඉන්ඩියා’ (1957) චිත්‍රපටය යි. ඇය එහි රංගනය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානයට පවා පාත්‍ර වුණා. විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටයේ ඇගේ රංගනය බොලිවුඩයේ ඒ වන විට කාන්තාවක් සිදු කළ චරිත නිරූපණ කිසිවකට නොදෙවනි බව යි.

මෙම රංගනය නිසා භාරතය පුරා ‘භාරත මාතාව’ ලෙස ඇය ගෞරවාදරයට පවා පාත්‍ර වුණා. ඇයත් සමඟ මෙම චිත්‍රපටයට එකල බොලිවුඩයේ සිටි විශිෂ්ටත ම රංගන ශිල්පීන් තිදෙනෙක් වන රාජේන්ද්‍ර කුමාර්, රාජ් කුමාර් සහ පසුකාලීන ව ඇගේ සැමියා වූ සුනිල් දත් ද රංගනයෙන් දායක වුණා. මෙහි රංගනය වෙනුවෙන්ම නර්ගීස් හට 1958 වසරේදී කාර්ලෝවි වාරි අන්තර්ජාතික සම්මානය ද ලැබුණා. 

 මදර් ඉන්ඩියා (1957) හි රංගනයේ යෙදෙමින් – Imdb.com

 

විවාහ ජීවිතය සහ සිනමාවෙන් සමුගැනීම

නර්ගීස් සිය දිවියේ මූලික අවදියේ දී රාජ් කපූර් සමඟ ආදර සම්බන්ධතාවක් පැවැත්වූවා. පසුකාලීන ව එය බිඳී ගිය අතර, මදර් ඉන්ඩියා චිත්‍රපටයේදී හමු වූ සුනිල් දත් සමඟ ඉන්පසු ඇය ප්‍රේමයෙන් වෙළෙනවා. ඒ මදර් ඉන්ඩියා දර්ශන තලයෙහි සිදු වූ අනතුරකින් සුනිල් දත් ඇය බේරා ගැනීමත් සමඟ යි. මෙම යුවළ 1958 වසරේ මාර්තු මස 11 වනදා විවාහ වන අතර ඔවුනට පසුකාලීන ව දක්ෂ රංගන ශිල්පියෙක් වූ සංජය දත් නම් පුත්‍රයා කුළුඳුලේ ලැබෙනවා. අනතුරුව තවත් දරුවන් දෙදෙනෙක් ලබන්නට ඔවුන් වාසනාවන්ත වෙනවා.

විවාහයෙන් පසු නර්ගීස් සිනමා නිර්මාණවල පෙනී සිටියේ ඉතා අඩුවෙනු යි. සුනිල් දත් දිගට ම සිනමාවේ රැඳී සිටිය ද, පවුල් ජීවිතය සාර්ථක ව පවත්වාගෙන යාම උදෙසා ඇය වැඩි අවධානයක් යොමු කළා. මේ නිසා 60 දශකයේ ඇගේ චිත්‍රපට ප්‍රේක්ෂකයාට දැකගත හැකි වූයේ ඉතා අල්පව යි. කෙසේ නමුත් 1967 වසරේ තිරගත වූ, ඇගේ අවසන් චිත්‍රපටය වන රාත් ඖර් දින් අති සාර්ථක වූ අතර, ඇය ඒ වෙනුවෙන් ජාතික සිනමා සම්මානයකින් ද පිදුම් ලැබුවා. මේ චිත්‍රපටයේ රංගනය සඳහා ම ඇය එම වසරේ හොඳ ම නිළිය සඳහා වූ ෆිල්ම්ෆෙයාර් සම්මානයටත් නිර්දේශ වුණා. 

 නර්ගීස් සහ සුනිල් දත්- thebridalbox.com

 

නර්ගීස් සහ සුනිල් දත් එක්ව අජන්තා කලා සහ සංස්කෘතික කණ්ඩායම පිහිටවූවා. මෙමඟින් ඉතා දක්ෂ ගායන හා රංගන ශිල්පී ශිල්පිණීන් රාශියක් බිහිවුණා. මීට අමතර ව ඇය ආබාධිත දරුවන්ගේ සුබසෙත වෙනුවෙන් ද සක්‍රීයව දායක වුණා. සිය දිවියේ පසුකාලීන ව ඇය දේශපාලනය සහ සමාජ සේවයට ද යොමු වූ අතර 1980 වසරේ ඉන්දියානු රාජ්‍ය සභාවට ද තේරී පත් වෙනවා.

දිවියෙන් සමු ගැනීම

1980 දශකයේ ආරම්භය නර්ගීස්ට එතරම් සුබවාදී වූයේ නැහැ. ඇය අග්න්‍යාශයික පිළිකා තත්ත්වයකින් පෙළෙන බැව් තහවුරු වූ අතර, 1981 වසර වන විට එය උත්සන්න වුණා. මේ සඳහා ඇයට අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් වෙත යන්නට සිදු වූ අතර, එහි ගොස් නැවත පැමිණිවන ම ඇගේ තත්ත්වය වඩාත් නරක අතට හැරුණා. ඇය මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කෙරුණු අතර, මයි මස 2වන දා ඇය කෝමා තත්ත්වයට පත් වෙනවා.

පසු දින එනම් මැයි මස 3 වන දින ඇය මිය ගිය අතර, ඒ වන විට ඇගේ දෙටු පුත් සංජය දත් ගේ පළමු චිත්‍රපටයේ මංගල දර්ශනයට දින පවා නියම ව තිබුණා. 1981 වසරේ මැයි මස 7 වන දින ‘බොබී’ නම් එම චිත්‍රපටයේ මංගල දර්ශනය යෙදී තිබූ අතර, එදින, ඇයට ගෞරවයක් ලෙස ඉදිරිපෙළ ආසනයක් හිස්ව තබන්නට සංවිධායකවරුන් ක්‍රියා කළා.

 පුතු සංජය දත් සමග- bollywoodhungama.com

 

මරණයෙන් වසර 40 ක් පමණ ගත වුවද, නර්ගීස් පිළිබඳ ව අදටත් ඉන්දීය චිත්‍රපට විචාරකයන් සිහිපත් කරනවා. ඊට ඇය සතු ව  තිබූ අසීමිත ආකර්ෂණය හා රංග ප්‍රතිභාව හේතු වෙනවා. මේ දෙක ම එක් පුද්ගලයෙක් කෙරෙහි පිහිටන්නේ කලාතුරකින් බැව් ඔවුන්ගේ අදහස යි.

 කවරයේ ඡායාරූපය - firstpost.com 

මූලාශ්‍ර:

Imdb.com

Firstpost.com

Filmibeat.com

 

Related Articles