හිමි ගෞරවය නොලද නයිටිංගේල් – එස්. ජානකී

වසර 60ක් තිස්සේ ගීත 48000ක් ගායනා කිරීම පහසු කටයුත්තක් නෙවෙයි. එහෙත් අති දැවැන්ත සිනමා කර්මාන්තයක් එක්ක ගැටගැහුණු අති දැවැන්ත ගීත කර්මාන්තයක් ඇති ඉන්දියාවේදී නම් එය විස්මයජනක කාරණයක් නොවෙයි. දකුණු ඉන්දියාවේම එස්.පී බාලසුබ්‍රමනියම්, කේ.ජේ. යේසුදාස් වැනි ගායකයන් එවැනි ගීත ප්‍රමාණයක් ගායනා කරලා තියෙනවා. උතුරු ඉන්දියාවේත් ලතා මංගේෂ්කාර්, ආශා බෝස්ලේ වැනි නම් ඉදිරියෙන් ගීත දහස් ගණන් තියෙනවා. එය විස්මයජනක කාරණයක් නොවුණත් ඒ තත්වයට ළඟා වූ අය ඉන්නේ කිහිප දෙනායි. ඉතින් විස්මයක් නොවුණත් ඔවුන් දුර්ලභයි.

අප කතා කරන්නේ එවන් අභිමානවත් දුර්ලභ ඉන්දියානු ගායක ගායිකාවන් අතර පසුගිය දශක ගණනාවක් තිස්සේ දකුණු ඉන්දියාවේ කාන්තා ගායක පෞරුෂයන් අතර ඉදිරියෙන්ම සිටි ඇය ගැනයි. ඇගේ නම එස්. ජානකී. ජනප්‍රියත්වය අතින් කෙසේ වෙතත් හැකියාව අතින් ඇය ඉන්දියාවේ සිටි අනෙක් කිසිම ගායිකාවකට දෙවැනි නොවන බව ගීත විචාරකයන් කියනවා.

thenewsminute.com

ඇය සිව් වතාවක් ඉන්දීය ජාතික සිනමා සම්මාන උලෙළේ දී සම්මාන දින්නා. ප්‍රාන්ත සිනමා සම්මාන උළෙලවල් වලදී 33 වතාවක් ඇය සම්මානය දින්නා. ඇය තනිව කළ ගායනයන් මෙන්ම එස්. පී. බාලසුබ්‍රමනියම් සමඟ යුග ගී ගායනයේදීත්, ඉලයරාජාගේ සංගීතයට ගායනා කිරීමේදීත්, පී.බී. ශ්‍රීනිවාස් මෙන්ම රාජ්කුමාර් සමඟ ඇය කළ ගායනයන් නිසා ඇයව කිසිවෙක්ට අමතක වෙන්නේ නැහැ. ඒ සියල්ලට වඩා මලයාලම් සිනමාවෙහි එස්.එම්. බාබුරාජ්ගේ සංගීතයට ඇය ගැයූ ගී අමරණීය වන බව විචාරකයන් පවසනවා. මලයාලම්, තෙළිඟු, දෙමළ, කන්නඩ යන ද්‍රාවිඩියන් සිනමා කර්මාන්ත හතරටම තිබුණු වටිනාම කාන්තා හඬ වුණේ ඇගේ හඬ.

මෑතක දිවියෙන් සමුගත් ශ්‍රී දේවි දෙසට සියලු විචාරකයන්ගේ විස්මයජනක ඇස් යොමු කළ ‘16 වයදිනිල්ලේ’ චිත්‍රපටිය වෙනුවෙන් එස්. ජානකී ගැයූ ‘සෙන්දුර පූවේ’ වැනි ගීයක ඇය කළ ගායනය දිව්‍යමය වටිනාකමක් සංගීත ලෝකයට එක් කළ බව විචාරකයන් කියනවා. ඒ නිසා ඇයට ‘දකුණු ඉන්දියාවේ නයිටිංගේල්’ නම් අන්වර්ථ නාමයත් හිමි වෙනවා. පහත වීඩියෝවේ ඇත්තේ ඇය දේවර් මගින් චිත්‍රපටිය වෙනුවෙන් ගැයූ ගීතයක්. ඇය ඒ ගායනය වෙනුවෙන් ඉන්දීය ජාතික සිනමා සම්මානය ලැබුවා.

දෙමළ සහ තෙළිඟු ගීත ගණනාවකට ඇය වචන එකතු කරලා තියෙනවා. ඒ වගේම ඇය ‘මෞන පෝරාටම්’ චිත්‍රපටිය වෙනුවෙන් සංගීතයත් නිර්මාණය කළා. ළමා කටහඬෙන් ඇය ගායනා කළ අවස්ථා, බීමත් කටහඬෙන් ගීත ගැයූ අවස්ථා, පිරිමි කටහඬෙන් ගැයූ අවස්ථා, වියපත් හඬින් තරුණ කාලයේ ගැයූ අවස්ථා මෙන්ම තරුණ හඬෙන් වියපත් කාලයේ ගැයූ අවස්ථා බොහෝයි.

අතීතයෙන්

එස්. ජානකී උපත ලබන්නේ ආන්ද්‍රා ප්‍රදේශ්හිදී. ඒ 1938 අප්‍රේල් 23 වැනිදා. පසුගිය සතියේදී ඇය අසූවැනි උපන්දිනය සැමරුවා. දැන් ඇය සමස්ත දකුණු ඉන්දියාවටම අයත් වුණත් උපත ලබන විට ඇය අයත් වුණේ තෙළිඟු කතා කරන පවුලකට.

සමස්ත ඉන්දියා රේඩියෝවෙහි ගායනා ඇසීමෙන් ඇය ගායනාවට ආශා කළ බව කියනවා. වයස අවුරුදු තුනේ සිට ඇය ගායනා කරන්න පටන් අරන්. එසේ ගායනාවලට යොමු වුණ ඇය 1956 දී ගායනා තරඟයක්ද ජයග්‍රහණය කරනවා. ඒ හරහා තමයි ඇය වෙත සංගීත අධ්‍යක්ෂවරුන්ගේ අවධානය යොමු වෙන්නේ.

ඇය ගායනයට යොමු වෙන්නේ ඇයට වයස අවුරුදු 15ක් පමණ වෙද්දී යි. ඒ 1957 දී. 2017 වර්ෂයට ඇය සිනමාවේ අවුරුදු 60ක් සම්පූර්ණ කළා. ඇගේ සිනමා ගමන කුඩා ලිපියකට කැටි කළ නොහැකියි. හැත්තෑව, අසූව සහ අනූව දශකයන්වල ජනප්‍රිය වූ ද්‍රාවිඩියන් සිනමා කර්මාන්ත හතරේම චිත්‍රපටිවලින් බහුතරයක ඇගේ කටහඬ තිබුණා.

pinterest.com එස් ජානකී, ඉලයරාජා සහ බාලසුබ්‍රමනියම් තරුණ වියේ

පද්ම භූෂන්

2013 දී එස්. ජානකී ඉන්දීය රජය විසින් එරට පුරවැසියන්ට ලබා දෙන තෙවැනි ගෞරවනීයම සම්මානය වන පද්ම භූෂන් සම්මානය වෙනුවෙන් නම් කළා. එහෙත් සියල්ලන්ව විස්මයට පත් කරමින් ඇය ඒ වටිනා සම්මානය ප්‍රතික්ෂේප කළා.

බොලිවුඩයේ යුගයේ ගායිකාවක් වන ලතා මංගේෂ්කාර් පද්ම භූෂන් සම්මානය ලැබුවේ 1969 දී. 2001 වෙද්දී ඇයට ඉන්දීය රජය විසින් පුරවැසියන්ට ලබා දෙන ඉහළම සම්මානය වන භාරත් රත්න සම්මානයත් ලැබුණා. උතුරු ඉන්දියාවේ යුගයේ ගායිකාවට ලැබුණු ගෞරවය එබඳුයි. දකුණේ කලාකරුවන්ට එලෙස වටිනාකමක් ඉන්දීය රජයෙන් නොලැබෙන බවට දකුණේ කලාකරුවන් අතර දැඩි විශ්වාසයක් තියෙනවා. එස්. ජානකීද සම්මානය ප්‍රතික්ෂේප කළේ එයට විරෝධය පෑමක් විදියට.

‘මම හිතනවා මම සෑහෙන දේවල් කරලා තියෙනවා. මම හිතන්නේ මට පද්ම භූෂන් සම්මානයට වඩා දෙයක් ලැබිය යුතුයි. මාව මීට කලින් දැකිය යුතුව තිබුණා. මම සම්මානය ප්‍රතික්ෂේප කළාට පස්සේ මට එක දිගට රසිකයන්ගෙන් සහ මිතුරන්ගෙන් ඇමතුම් ලැබුණා. මට දැනෙන්නේ දකුණේ අයට දිගින් දිගටම හිමි ගෞරවය ලැබෙන්නේ නැහැ කියලයි.’ ඇය සම්මානය ප්‍රතික්ෂේප කිරීම දකුණ‍ේ‍ කලාකරුවන්ට හිමි වටිනාකම නොලැබීම පිළිබඳ විරෝධය පළ කිරීමක් වුණා.

citytoday.news

ඒ වෙද්දීත් ඉලයරාජාට පවා පද්ම භූෂන් සම්මානය පමණක් හිමිව තිබුණා. සිනමා සංගීතය මේ තරම් වර්ණවත් කළ ඔහුට දෙවැනි ගෞරවනීයම සම්මානය වන පද්ම විභූෂන් සම්මානය ලැබුණේත් 2018 දීයි. එම්.එස්. විශ්වනාදන්ට හෝ රංගන ශිල්පියෙක් වන ශිවාජි ගනේෂන්ට පවා භාරත් රත්න සම්මානය හිමිව තිබුණේ නැහැ. ජානකී පැවසුවේ ශිවාජි ගනේෂන්, ඉලයරාජා සහ එම්.එස්. විශ්වනාදන් යන තිදෙනාටම මීට බොහෝ කාලයකට පෙර භාරත් සම්මානය හිමිවිය යුතුව තිබුණු බවයි. ‘දකුණේ කලාකරුවන්ට හිමි වටිනාකම නොලැබෙන බව මට දැනුණා. මම හිතුවා මේ ගැන යමක් කළ යුතුයි කියලා. ඒ නිසා මම සම්මානය ප්‍රතික්ෂේප කළා.’ ඇය කීවේ එසේයි. මෙය දැවැන්ත තීරණයක් ලෙස දකුණු ඉන්දියාවේ කලාකරුවන් විසින් සැලකුවා. ඇයට හිමි ගෞරවය ඇය නොලැබූ බව ඔවුන් දැඩිව විශ්වාස කළා.

ඇය ‘10 කල්පනා කාල්’ නම් චිත්‍රපටිය වෙනුවෙන් තමන්ගේ අවසාන ගීතය ගායනා කළා. ඇය ඉන් ටික දවසකට පසු සජීවී ප්‍රසංගවල ගායනා කිරීමද නැවැත්වුවා. එසේ වුණත් ඇගේ කටහඬ නැවතී නැහැ. ලෝකයේ සංගීතය පවතිනතාක් ඇගේ කටහඬ යළි යළිත් ඇසෙනු ඇති.

Cover: wikimedia.org

මූලාශ්‍ර

http://dbsjeyaraj.com

http://www.thehindu.com

http://www.thehindu.com

Related Articles