Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමරිකාවේ ඒකවාර ජනාධිපතිවරු

ඇමරිකාවේ ජනාධිපතිවරයෙකුට වසර හතර බැගින් වූ වාරයන් දෙකක් ජනාධිපති ලෙස පත්විය හැකිය. එහෙත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ට පරාජයට පත්වීම හේතුවෙන් ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ එක් වාරයක් පමණක් ජනාධිපතිධුරය දැරූ අයගේ ලැයිස්තුවට අද එකතුවෙයි. මෙම ලිපියේ අරමුණ, මෑත කාලීනව එක් වරක් පමණක් එක්සත් ජනපද ජනපතිධුරය දැරූවන් ලෙස ඉතිහාසගත වූ ජනාධිපතිවරුන් කීපදෙනෙකුගේ තොරතුරු ඔබ හමුවේ තැබීම යි.

මෑතක දී ලංකාවේ සමහර ජනමාධ්‍ය පවා ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයකු නැවත බලයට පත්වීම ඇමරිකාවේ ඉතා සුලබ සිදුවීමක් බව යි. ඇත්තෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු එක්සත් ජනපද ජනාධිපතිවරුන් 45 දෙනෙකුගෙන් නැවත වරක් බලයට පත් වී ඇත්තේ ජනාධිපතිවරුන් 14ක් පමණි. ජනාධිපතිවරයෙකු ඡන්දයෙන් පරාජයට පත් වීම ඉතා දුලබ සිදුවීමක් ලෙස අපට දැනෙන්නේ, ඇමරිකාවේ අවසාන ජනාධිපතිවරුන් තිදෙනාම, එනම් බිල් ක්ලින්ටන් (1993 – 1997, 1997 – 2001),  ජෝර්ජ් ඩබලිව්. බුෂ් ( 2001 – 2005, 2005 -2009) හා බැරක් ඔබාමා (2009 – 2013, 2013 – 2017), දෙවරක් ජනාධිපතිවරුන් ලෙස පත්වීම හේතු කොටගෙන විය හැකිය. එමෙන්ම ජනාධිපතිවරුන් තිදෙනෙකු නොකඩවා දෙවන වර ජනාධිපතිධුරය දරා ඇත්තේ ද මින් පෙර එක් වතාවක දී පමණි. 

එක්වරක් පමණක් ජනපති වූවන්/ThoughtCo.

 

ජෝන් ඇඩම්ස්

ඇමරිකානු ඉතිහාසයේ දෙවන ධුර කාලයක් දිනාගැනීම සඳහා මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වූ ජනපතිවරයෙකු වූයේ, එක්සත් ජනපදයේ දෙවන ජනපති වූ ෆෙඩරල් පක්ෂයේ ජෝන් ඇඩම්ස්, 1800 දී ය. බොහෝ විචාරකයින්ට අනුව ජෝන් ඇඩම්ස්ගේ පරාජයට හේතුව විරුද්ධවාදීන් සමග පමණක් නොව තමන්ගේ පාක්ෂිකයින් සමග ද එදිරිවාදීකම් ගොඩනඟා ගැනීම යි. ජෝන් ඇඩම්ස් ජනමාධ්‍යයට මෙන්ම සංක්‍රමණිකයින්ට ද එරෙහිව දැඩි ප්‍රතිපත්තියක සිට කටයුතු කළ අතර, බොහෝ විචාරකයින් 2020 මැතිවරණයට පෙර සිටම ඩොනල්ඩ් ට්‍රම්ප් හා ජෝන් ඇඩම්ස් අතර ඇති සමානකම් විද්‍යාමාන කරමින් විචාරයන් සිදුකර ඇත. එමෙන්ම ජෝන් ඇඩම්ස් ද ඩොනල්ඩ් ට්‍රම්ප් සේම තමන්ගේ විරුද්ධවාදීන් ඉතා නිර්දය ලෙස විවේචනය කළ අයෙකි. 

ජිම් කාටර්

ජිම් කාටර් ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙසට පත්වන්නේ 1977 දී ය. ඔහුට පරාජය වන්නේ ජනාධිපති ජෙරල්ඩ් ෆෝර්ඩ් ය. ජෙරල්ඩ් ෆෝර්ඩ් යනු ඊට පෙර ජනාධිපතිව සිට, වෝටර්ගේට් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ දෝශාභියෝගයක් හේතුවෙන් ඉල්ලා අස්වූ රිචඩ් නික්සන්ගේ උප ජනාධිපතිවරයා ය. 

කෙසේ නමුත්, 1980 මීළඟ ජනාධිපතිවරණ සමයේ දී ජිම් කාටර්ට දේශීය මෙන්ම විදේශීය අභියෝගයන් රැසක් එල්ලවී තිබිණි. විශේෂයෙන්ම ඉරාන ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ දී ඔහුගේ පසුබැසීම කාටර්ට එල්ල වූ අභියෝග අතර මුල් තැනට පත්වී තිබිණි. ඇමරිකාවේ Politico ආයතනය මඟින් නිකුත්කරන ජනප්‍රියතා දර්ශකයෙන් පෙන්නුම් කළ පරිදි, කාටර් ජනාධිපතිවරයා ලෙස පත්වන විට 75%ක ඉහළ ජනප්‍රියතා අගයක් ඔහුට හිමිව තිබිණි. නමුත් 1980 නොවැම්බර් කාලයේ දී එය 31% දැක්වීය.

ජිම් කාටර්ගේ ජනප්‍රියතා හා ප්‍රතික්ෂේපිත අගයන් – Source: Politico

 

කාටර්ගේ පාලන සමයේ දී විරැකියාව 7.7% තරම් ඉහළ අගයක් ගත් අතර උද්ධමනය 12% විය. එමෙන්ම කාටර්ට එරෙහිව රිපබ්ලිකන් පක්ෂයෙන් තරග වැදුනේ, සිනමා නළුවෙකු මෙන්ම ඇමරිකාව පිළිබඳ ආකර්ශනීය ඉදිරි දැක්මක් සහිත වූ රොනල්ඩ් රේගන් ය. රේගන්ට අපූරු මැතිවරණ සටන් පාඨයක් විය.

“ඔබේ අසල්වාසීයාගේ රැකියාව අහිමිවීම ආර්ථික අවපාතය යි. ඔබේ රැකියාව අහිමිවීම මානසික පීඩනය යි. කාටර්ගේ රැකියාව අහිමිවීම සියල්ලටම විසඳුම යි.”

ඒ අනුව, එවර පැවති මැතිවරණයෙන් රොනල්ඩ් රේගන්ට මැතිවරණ විද්‍යාල 489ක් හිමිවෙද්දී, කාටර්ට දිනීමට හැකිවුණේ 49ක් පමණි. රොනල්ඩ් රේගන් ඇමරිකාවේ ප්‍රාන්ත 50න් 44ක්ම ජයග්‍රහණය කරනු ලැබීය. 

ජෝර්ජ් බුෂ්

කාටර්ගේ ජයග්‍රහණයේන් වසර 12කට පසුව ඇමරිකාව තවත් ජනාධිපතිවරයෙකුගේ පරාජය අත්විඳින්නට අවස්ථාව ලැබීය. ඒ, 1992 දී රිපබ්ලිකන් පක්ෂයේ ජෝර්ජ් බුෂ් (ජ්‍යේශ්ඨ) ජනාධිපතිවරයා ය. 1980 – 1988 දක්වා රේගන්ගේ පාලනයේ උප ජනාධිපතිවරයාව සිටි බුෂ්, 1988 ජනපතිවරණයේ දී විශිෂ්ඨ ජයක් ලැබීය. එමෙන්ම එම මැතිවරණයේ දී බුෂ් කැලිෆෝනියා ප්‍රාන්තය ජයගත්තේ, රිපබ්ලිකන් අපේක්ෂයකු එම ප්‍රාන්තය ජයගත් අවසන් අවස්ථාව ලෙස ඉතිහාසයට එකතු කරමිනි. 

1990 දී ඉරාකයට එරෙහි ගල්ෆ් යුද්ධය නිසා බුෂ් ජනාධිපතිවරයාට ඉහළ Politico ජනප්‍රියතා අගයක් තිබුණ ද විරැකියාව, සහ උද්ධමනය හෙතුවෙන් 1992 ඡන්දය ආසන්නයේ දී එය පහළට වැටිනි.

ජෝර්ජ් බුෂ්ගේ ජනප්‍රියතා හා ප්‍රතික්ෂේපිත අගයන් – Source: Politico

1988 දී බුෂ් ලබාදුන් ආකර්ශනීය මැතිවරණ පොරොන්දුවක් වූ බදු අහෝසි කිරීම ක්‍රියාවට නැංවීමට නොහැකිවීම ද බුෂ්ගේ පරාජයට බලපෑ තවත් හේතුවකි. එමෙන්ම, 1980 සිටම රිපබ්ලිකන් පාලනයක් පැවතීම ද ඇමරිකානු ජනයා බුෂ්ට විරුද්ධවීමට තවත් හේතුවක් විය. ජිමී කාටර්ට මෙන්ම ජෝර්ජ බුෂ්ට ද ප්‍රබල විරුද්ධවාදියෙකු ඉදිරිපත් වී සිටියේ ය. ඒ බිල් ක්ලින්ටන් ය. එමෙන්ම එම මැතිවරණයට ප්‍රබල තෙවන පාර්ශවයක් තරග වැදීම ද බුෂ්ගේ අවාසියට හේතු විය. 

ක්ලින්ටන් රිපබ්ලිකන් ආර්ථික ප්‍රතිපත්ති නිර්දය ලෙස විවේචනය කළ අතර, එම මැතිවරණයේ මැතිවරණ විද්‍යාල 370ක් සමගින් බිල් ක්ලින්ටන් ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය. 

ඩොනල්ඩ් ට්‍රම්ප්

ජෝර්ජ් බුෂ්ගෙන් පසුව එම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වන්නේ වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය. විශේෂයෙන්ම කළු ජාතිකයන්ගේ නැගිටීමත්, පාලනයෙන් ගිලිහී ගිය කොරෝනා වසංගත තත්ත්වයට හේතුවෙන් ට්‍රම්ප්ගේ පාලනය බොහෝ දෙනා අතර අපකීර්තියට පත් වී තිබුණි. එමෙන්ම විරැකියාව තිබුණේ 14.7% ලෙස ඉතා වැඩි අගයක ය. ට්‍රම්ප් ජනාධිපතිවරයා බලයට පත්වූ දා සිටිම ඔහුට ලැබී තිබුණේ ඉතා අඩු ජනප්‍රියතා අගයන් ය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියතා හා ප්‍රතික්ෂේපිත අගයන් – Source: Politico

පශ්චාත් මැතිවරණ සමයේ ට්‍රම්ප්ගේ අනපේක්ෂිත හැසිරීම ඇමරිකාවට නවමු  අත්දැකීමක් එකතු කළේ ය. මැතිවරණ ඡන්දය ප්‍රතිඵල ගණන් කරන අතරතුර ඔහු තමන් ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත්කරගත් අතර, මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ පසු ඔහු ඒවා ප්‍රතික්ෂේප කර සිටියේ ය. එමෙන්ම මැතිවරණය දූෂිතයැ යි කියමින් ප්‍රාන්ත කිහිපයක නඩු පැවරුව ද ඒවා සියල්ල ප්‍රතික්ෂේප විය. ඉන් නොනැවතුනු ට්‍රම්ප්, ජෝ බයිඩන්ට බලය හුවමාරු කිරිම ද ප්‍රතික්ෂේප කළේ ය. එමෙන්ම මැතිවරණ ප්‍රතිඵල නිල ලෙස තහවුරු කරන සෙනට් මණ්ඩල රැස්වීමට ට්‍රම්ප්ගේ උසිගැන්වීම් මත මෙහෙයවුණු “දේශීය ත්‍රස්තයින්” කඩාවැදීම ද ඇමරිකානු ඉතිහාසයේ ට්‍රම්ප් ඉදිරියේ ලියැවෙන කළු පැල්ලමකි. මේ කලහකාරි තත්ත්වයන් හේතුවෙන් ඔහු තම ජනාධිපති ධුරකාලය තුළ දෙවරක් දෝශාභියෝගයකට මුහුණ දුන් ප්‍රථම එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙස ඉතිහාසය ගතවෙයි. කෙසේ වෙතත් ජනවාරි 20 වන දින ජෝ බයිඩන් ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමගම ඩොන්ල්ඩ් ට්‍රම්ප් තවත් ඒකවාර ඇමරිකානු ජනාධිපතිවරයෙකු බවට පත්විය.

Sources: 

politico.com/

CTV News

Channel 4 News

cover: salon.com

Related Articles