Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ පාද රහිත වේගවත් ම මිනිසාට අත් වූ අවාසනාවන්ත ඉරණම

පැරා ඔලිම්පික් රන් පදක්කම් හයක් දිනාගත් දකුණු අප්‍රිකානු කෙටි දුර ධාවන ශූරයෙක් වෙන ඔස්කා පිස්ටෝරියස් (Oscar Leonard Carl Pistorius) ගැන ඔබ අනිවාර්යයෙන් අසා ඇති. ඔහුගේ පළමු උපන්දිනයටත් ප්‍රථම, පාද යුගල දණහිසට පහළින් කපා ඉවත් කිරීමකට ලක්වෙනවා. පැරා ඔලිම්පික් තරගවලට මෙන්ම ඔලිම්පික් තරගවලට ද සහභාගී වූ අතළොස්සක් ක්‍රීඩකයන් අතරට ඔස්කාර් ඇතුළත් වෙනවා. ඔස්කා ලෝකය පුරා ප්‍රසිද්ධ වන්නේ “බ්ලේඩ් රනර්” (Blade Runner) නමින්.

සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කෑම්ප් ව 2013 දී වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සඳහා වරදකරු වන ඔහු, මේ වන විට සිටින්නේ බන්ධනාගාර ගත ව යි. පැරා ඔලිම්පික් රන් පදක්කම් ලාභියෙකුට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත ඉරණම ඇතුළත් ඔහුගේ කතාව යි අද ලිපියට මාතෘකාව වන්නේ.

දණහිසට පහළින් දෙපා යුගල ම අහිමි වූ කුඩා දරුවා

කුඩා කාලයේ දී (Mirror)

ඔස්කාර් පිස්ටෝරියස් 1986 දී දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්වල උපත ලබනවා. උපතින්ම පාදවල තිබූ දුර්වලතාවය හේතුවෙන් මාස 11 වන විට ඔහුගේ පාද දෙක ම දණහිසට පහළින් ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට මුහුණ දීමට කුඩා ඔස්කාර්ට සිදුවෙනවා.

තම දෙපා අහිමි වුව ද, පාසල් කාලය තුළ ඔහු රග්බි හා මල්ලව පොර කණ්ඩායම් නියෝජනය කරනවා. 2003 දී රග්බි ක්‍රීඩා කිරීමේ දී බරපතල ලෙස දණහිසේ අබාධයකට ලක් වීම හේතුවෙන් ඔහු තම ක්‍රීඩාව ලෙස කෙටි දුර දිවීම තෝරා ගන්නවා. ඒ ඔහුගේ විශ්වවිද්‍යාල සමයේ යි.

විශ්වවිද්‍යාල සමයේ ඔහු තම කෙටි දුර දිවීමේ හැකියාව ප්‍රගුණ කළ අතර ඒ සඳහා නියමිත ප්‍රමිතියකින් යුත් කෘත්‍රීම පාද යුගලක් නොමැති වීම ඔහු මුහුණ පෑ ගැටලුව වුණා. මේ ගැටලුව විසඳා ගැනීමට ඇමෙරිකානු පැරා ඔලිම්පික් ක්‍රීඩක බ්‍රයන් ෆෙයිෂා (Brian Frasure) ඔහුට සහාය වෙන අතර, ඒ හරහා හොඳ තත්ත්වයේ කෘත්‍රීම පාද යුගලක් ලබා ගැනීමට ඔහු සමත් වෙනවා.

“ශාරීරික දුබලතා තත්ත්වයන් තිබූ පමණින් ඔබ ආබාධිතයෙකු වන්නේ නෑ. හැකියාවන් තිබෙනවානම් ඔබට ඕනෑ දෙයක් කළ හැකියි” ඒ ඔස්කාර්ගේ ආදර්ශ පාඨය යි.

ක්‍රීඩා ජීවිතය

තරුණ ඔස්කා (CNN.com)

ඔහු 2004 වසරේ ඇතැන්ස් හි පැවති පැරා ඔලිම්පික් තරගයේ T44 කාණ්ඩයේ (එක් පාදයක පමණක් දණහිසෙන් පහළ අහිමි) මීටර් 200 තරගයෙන් රන් පදක්කම ලබා ගන්නවා. ඔහු සහභාගි විය යුත්තේ  T43 කාණ්ඩයෙන් (කකුල් දෙක ම දණහිසෙන් පහළ අහිමි) වූවත්, එම කාණ්ඩය යටතේ තරග නොකරන ඔහු T44 කාණ්ඩයෙන් දිගටම තරග කරනවා.

රන් පදක්කමට අමතර ව ඔහු විසින් මීටර් 100 ලෝකඩ පදක්කම ද හිමි කර ගන්නවා. ඉන්පසු ව, දකුණු අප්‍රිකාවේ හා යුරෝපයේ පැවති ජාතික හා ජාත්‍යන්තර තරග බොහොමයක් ජයගැනීමට ඔස්කා සමත් වෙනවා.

2012 ලන්ඩන් පැරා ඔලිම්පික් තරගයේ (The Telegraph)

2007 දී ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය විසින් ඔහුගේ කෘත්‍රීම පාද දෙකෙන් ඔහුට අනවශ්‍ය ශක්තියක් ලැබෙන බව පවසමින් ක්‍රීඩා තහනමක් නිකුත් කරනවා. නමුත් ඒ වෙනුවෙන් පෙනී සිටින ඔස්කා එය එසේ නොවන බව ඔවුන්ට ඔප්පු කර එම තහනම 2008 දී නැවත ඉවත්කර ගැනීමට සමත් වෙනවා.

බිජිං පැරා ඔලිම්පික් තරගයේ (Financial Times)

2008 බිජිං පැරා ඔලිම්පික් තරගයට සහභාගී වෙන ඔහු ඉහත කාණ්ඩය යටතේ තරග වදින අතර, එහි දී මීටර් 100, 200, හා 400 යන ඉසව් තුනට ම රන් පදක්කම් දිනා ගැනීමට සමත් වෙනවා. එම වසරේ ම දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් චීනයේ බීජිං ඔලිම්පික් තරගයට සහභාගී වීමට ඔහුට හැකියාව ලැබෙනවා.

2012 වසරේ ලන්ඩන් පැරා ඔලිම්පික් තරගය සඳහා සහභාගිවෙන ඔහු එහි දී මීටර් 200, 400, හා 100×4 සහාය දිවීම යන තරගවලින් රන් පදක්කම් දිනා ගනිමින් දස්කම් දක්වනවා.

තම පෙම්වතිය වෙඩි තබා මරා දැමීම

පෙම්වතිය සමග (The Independent)

2013 වසරේ පෙබරවාරි මාසයේ පෙම්වතුන්ගේ දිනය දා ඔහු තම නිවසේ දී සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කැම්ප් ව වෙඩි තබා මරා දමනවා. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඔස්කා පිස්ටෝරියස් අධිකරණය හමුවේ කියා සිටින්නේ තම නිවසට රහසිගත ව ඇතුල් වූ පුද්ගලයෙකුයැ යි වරදවා වටහා ගැනීම හේතුවෙන් තමා එම වෙඩි තැබීම සිදුකළ බව යි. එය සම්පුර්ණයෙන් ම අත්වැරදීමක් බවත්, රීවා මරා දැමීමට තමන්ට කිසිඳු උවමනාවක් නොතිබූ බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටිනවා.

අධිකරණය හමුවේ කදුළු සලමින් රීවා ස්ටීන්කැම්ප්ගේ පවුලේ සාමාජිකයන්ගෙන් ඔහු සමාව ඉල්ලා සිටීම ඉතා සංවේදී දර්ශනයක් වුණා. නඩු විභාගය අතරතුර ඔහුගේ නීතිඥයන් විසින් ඔස්කාර් කිසියම් මානසික රෝගී තත්ත්වයකින් පෙළීම මෙම වෙඩි තැබීමට හේතු වන්නට ඇතැ යි යන්න තර්ක කරනවා. නමුත් අධිකරණය විසින් පත්කරන ලද මානසික වෛද්‍යවරුන් කණ්ඩායමක් මොහුට එවැනි රෝගයක් නැති බවට ප්‍රකාශ කරනවා.

සිරගෙට නියම වූ පාද අහිමි වේගවත් මිනිසා

අධිකරණයට රැගෙන යාම (The Japan Times)

ටික කාලයක් තිස්සේ නඩු විභාගය ඇදී ගිය අතර, එම වසරේ සැප්තැම්බර් මාසයේ දී ඔහු වැරදිකරු බවට ප්‍රකාශ කරමින් අධිකරණය විසින් වසර පහක සිර දඬුවමකට ඔහු ව යටත් කරනවා.

2015 වසරේ ඔක්තෝම්බර් මසයේ දී ඔහු ව බන්ධනාගාරයෙන් නිදහස් කර, වසර හතරක් සඳහා නිවාස අඩස්සියට පත් කිරීමට එරට අධිකරණය තීරණය කරනවා. 2016 වසරේ දී ඔස්කා පිස්ටෝරියස්ට යළි දඬුවම් පැමිණ විය යුතු බවට විනිශ්චයකාරවරුන් පස් දෙනකුගෙන් සමන්විත විනිසුරු මණ්ඩලයක් විසින් අභියාචනාධිකරණයේ දී නිර්දේශ කරනවා.

ඒ අනුව ඔහුට නැවත වරක් වසර හයක සිර දඬුවමක් අධිකරණය විසින් පනවනවා. 2017 දී එය 2023 දක්වා දීර්ඝ කිරීමට එරට අභියාචනාධිකරණය විසින් තීරණය කරනවා.

කදුළු සලමින් (Global News)

කාලයක් ලෝකයේ පාද රහිත වේගවත් ම මිනිසා ලෙස කිර්තිය අත්කරගෙන සිටි ඔස්කාර්, බන්ධනාගාරයෙන් නිදහස් ව නැවත ක්‍රීඩා පිටියට පැමිණ පෙර සේ ම දස්කම් දක්වනු ඇතැ යි ක්‍රීඩා ලෝලීන් බලාගෙන සිටිනවා.

 

කවරයේ පින්තූරය: Eskipaper.com

මූලාශ්‍රයයන්:

biography.com

theguardian.com

BBC.com

Related Articles