Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දිරිය ලක් දියණිය ඔටාරා ගුණවර්ධන

බොහෝ විට කොළඹ ආසන්නයේ ජිවත් වන ඔබ නම් ඔටාරා කීව සැණින් ඇයව හඳුනනවාට කිසිදු සැකයක් නැහැ. ඔටාරා ගුණවර්ධන වන ඇය ලංකාව තුළ අද වන විට බොහෝ ප්‍රසිද්ධ චරිතයක් වී හමාරයි. ඔඩෙල් (ODEL) හා එම්බාර්ක් (EMBARK) නාමයන් ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට හඳුන්වා දීමත් ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයට කාන්තාවන්ටත් සහභාගී විය හැකි බව මුලු ලංකාවටම පෙන්වා දීමෙනුත් ඇය ලාංකීය සමාජයට කාන්තාවගෙන් ලබා දිය හැකි දායකත්වය මනාව පිලිඹිබු කළේය.  ව්‍යසායිකාවක් ලෙස ආරම්භ කළ ඇගේ සාර්ථක ගමන හා ඇගේ ජිවිතයේ තොරතුරු කිහිපයක් මේ ලිපිය හරහා ඔබට දැනගන්න පුළුවන්.

ඔටාරා ගුණවර්ධන චරිතයේ අතීතය

1964 වර්ෂයේ අගෝස්තු 30 වනදා ඔටාරා ගුණවර්ධන උපත ලබන අතර ඇගේ සම්පුර්ණ නම ඔටාරා ඩෙල් ගුණවර්ධන යි. ඇගේ පියා නෝර්මන් ගුණවර්ධන වන අතර ඔහු එයිට්කන් ස්පෙන්ස් ආයතනයේ හිටපු සභාපති කෙනෙකු වනවා. ඇයගේ මව ඩේලීෂියා ගුණවර්ධන චිත්‍රා පටුමගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් පවත්වා ගෙන යන පාසලක් ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන තිබෙනවා. ඒ වගේම ඇයගේ සහෝදරයින් දෙදෙනා ද අද වන විට ව්‍යාපාර ක්ෂේත්‍රයේ කටයුතු කරනවා.

ඔටාරා ගුණවර්ධන ළමා කාලයේ ගත්  ඡායාරූපයක් (www.otaradel.com)

මෙසේ ව්‍යාපාරික පවුල් පසුබිමක හැදී වැඩුණු නිසාවෙන් ම ඇගේ සාර්ථකත්වයට මනා ආරම්භයක් පවුල තුළින් ද ලැබෙන්නට ඇති. කොළඹ සී. එම්. එස්. කාන්තා විද්‍යාලය ඇගේ පාසල වූ අතර උසස් පෙළ දක්වා ඇය අධ්‍යාපනය ලැබුවේද එම පාසලේ දීම ය. පාසල් යන කාලයේ පවා ඇය සතුන් වෙනුවෙන් දැක් වූ  කරුණාව අදත් එලෙසම පැවතීම අගය කළ යුතුය. තරුණ කාලයේ පවා තමන්ගේ නිවසේ ඉඩක් ලේනුන්, හාවුන් හා සුනඛයින්ට ඇය වෙන් කර දුන්නේ ය. ඊට අමතරව ඇය ස්වෙච්ජාවෙන් දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් රැක බලා ගැනීමටත් සහයෝගය ලබා දී තිබෙනවා.

ඔටාරා නිවසේ ඇතිදැඩි කරන ඇයගේ සුරතලුන් සමඟ ගත් ඡායාරූපයක් (alchetron.com)

පාසල් කාලයේ පාසල් මට්ටමින් මෙන්ම ජාතික මට්ටමින් ද කඩුලු මතින් දිවීම, උස පැනීම හා පිහිනුම් ක්‍රීඩා වලින් දක්ෂතා පෙන් වූ ශිෂ්‍යාවක් ලෙස ඇය ප්‍රසිද්ධ යි. ඒ වගේම බැලේ නර්තනයටත් චිත්‍ර කලාවටත්  ඇය සම්බන්ධ වී තිබෙනවා. උසස් පෙළින් පසු විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් ඇය ජෛව විද්‍යා අංශය තෝරා ගත් අතර ඇමරිකාවේ ඔහිනෝ වල බෝවුලින් ග්‍රීන් ස්ටේට් විශ්ව විද්‍යාලයේ දී ඇගේ උපාධිය සම්පුර්ණ කර තිබෙනවා.

උපාධිය සම්පුර්ණ කීරීමෙන් පසුව ඇය නැවත ලංකාවට පැමිණෙන අතර එහිදී නිරූපණ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙනවා. ඇයගේ උස හා මනා සුන්දරත්වය එයට පිටුවහලක් වූවාට සැකයක් නැහැ. මෙහිදී ඇගේ අනාගතය ඇගලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ කිරීමේ අඩිතාලම යෙදෙනවා.

ඔටාරා නිරූපණ ශිල්පිනියක් ලෙස සිටින කාලයේ ගත් ඡායාරූපයක් (www.otaradel.com)

ඇඟලුම් ක්ෂේත්‍රයට අවතීර්ණ වීම

නිරූපන ක්ෂේත්‍රයට අවතීර්ණ වීමත් සමග ඇයට ඇඟලුම් ආනයනය කරන ආයතනයක් හරහා ලබා දෙන ඇඟලුම් විකිණීමේ අවස්ථාවක් උදා වෙනවා. නිරූපණ කටයුතු අතරතුර ඇගේ හිතමිතුරන්ට ඇයගේ මෝටර් රථය යොදා ගෙනද පසුව කොළඹ ආශ්‍රිතව පිහිටි වෙළඳසැල් වලට ද ඇඟලුම් සැපයීම සිදු කර තිබෙනවා.

නමුත් දිනෙන් දින වැඩි වූ ඉල්ලුම නිසාම ඇය ආනයනය කරන ඇඟලුම් විකිණීමට වෙළඳසැලක් ආරම්භ කිරීමට කටයුතු කරනවා. ඇගේ මවගේ හා සහෝදරයාගේ  උදව්ව ද ඇතිව ඇගේ පළමු වෙළඳසැල 1989 වර්ෂයේ කොළඹ ඩික්මන් මාවතේ දී වර්ග අඩි 300ක බිම් කඩක් මිලදීගෙන ආරම්භ කරනවා. තම වෙළඳසැලට ඇගේ නමේ මුල් අකුර හා දෙවන වචනය එක්කොට ඔඩෙල් ලෙස නම් තබනවා.

ඔඩෙල් ආයතනයේ දියුණුව

1989 වර්ෂයේදී කුඩා පරිමාණයෙන් ආරම්භ කළ ද ඇගේ ව්‍යාපාරික දක්ෂතාව නිසාම තමන්ගේ ඔඩෙල් නාමය ලංකාවේ කාටත් සුපුරුදු නමක් විදියට ජනතාව අතරට ගෙන යන්නට ඇය සමත් වෙනවා. අද වන විට ලංකාව තුළ ඔඩෙල් ආයතන 20 ක සංඛ්‍යාවක් ආරම්භ කිරීමට සමත් වීම ඇගේ ව්‍යාපාරික දක්ෂතාව මනාව පෙන්නුම් කරනවා.

ඔඩෙල් ආයතනයේ වත්තල ශාඛාවෙහි ඡායාරූපයක් (www.lankabusinessonline.com)

ඉතා කුඩා ලෙස ආරම්භ කළත් ඇගේ සිහිනය වී තිබුණේ ලංකාවට විදේශ රටවල මෙන් සම්පුර්ණ ආයතනයක් (department store) බිහි කිරීමයි. එය සැබෑ කර ගන්නට සමත් වෙන ඇය තම වෙළඳසැල තුළ පවුලේ සියලු දෙනාට එකට පැමිණ මිල දී ගැනීම් සිදු කිරීමට අවස්ථාව සලසා දෙනවා. කලාවට දැක් වූ ආසාව නිසාම මුලින් ආරම්භ කළ වෙළඳසැලේ ඇය විසින්ම චිත්‍ර ඇඳ තිබෙනවා. ඊට අමතරව විවිධ කාලවලට අනුව සැරසිලි කිරීමට ද ඇය කටයුතු කරනවා. එය පාරිභෝගිකයින් කැඳවා ගැනීමට විදෙස් රටවල භාවිතා කරන ක්‍රමයක්.

විලාසිතා නිර්මාණයට ද ඇය අවතීර්ණය වන අතර ලංකාවේ ප්‍රසිද්ධ නිර්මාණවේදීන් වන නයනතාරා ෆොන්සේකා, මංගල ඉනොසන්ස්, ලෝ චින්ග් වොන්, කිර්ති ශ්‍රී කරුණාරත්න හා යොහාන් අලුවිහාරේ වැනි අය සමග ඇය කටයුතු කරනවා. මේ කාලයේ දී ඇය තමාගේම සංකල්පයන් හරහා ඇගලුම් ක්ෂේත්‍රයට අවතීර්ණ වන අතර 2007 වර්ෂයේ එම්බාර්ක් වෙළඳ නාමය ලංකාවට හඳුන්වා දෙනවා.

එම්බාර්ක් වෙළඳ නාමය හරහා සැබෑ වූ ඔටාරා ගුණවර්ධනගේ සිහිනය

කුඩා කල සිටම සතුන්ට දැක් වූ අනුකම්පාව ඔස්සේ ඇය තමන්ගේ නව වෙළඳ නාමය සතුන් වෙනුවෙන් වෙන් කරනවා. මේ හරහා ඇය වීදිවල සිටින සුනඛයින්ගේ ජීවිතය නිවැරදි මාවතකට ගෙන යාමට සහයෝගයක් ලබා දෙනවා. එහිදී වීදි සුනඛයින් එන්නත් කිරීම, තුවාල සුවපත් කිරීම, සුදුසු නිවසක් ලබා දීම, වන්ධ්‍යකරණය වැනි සමාජ සත්කාරයන්ට සහයෝගය ලබා දෙනවා. ඇගේ දැක්ම වූයේ සතුන් පාලනය කිරීම කාරුණිකව සිදු කළ යුතු බව යි. අද වන විට ඇගේ මේ සත්කාරයට ලංකාවේ බොහෝ පිරිසකගේ දායකත්වයත් ලැබී තිබෙනවා.

එම්බාර්ක් නාමය යටතේ ඇති වෙලදසැලක ඡායාරූපයක් (www.embarkpassion.com)

කාලයත් සමග ඇය 2014 වර්ෂයේ දී එනම් ඇයගේ ව්‍යාපාරික ගමනේ වසර 25කට පසු ඔඩෙල් ආයතනය විකිණීමේ තීරණයක් ගන්නවා. ඇය සදහන් කරන පරිදි ඇයට ඇගේ එම්බාර්ක් නාමය දියුණු කිරීමත් ඒ වගේම සතුන් හා මිනිසුන් වෙනුවෙන් ඇයට කළ හැකි උපරිම සමාජ සත්කාරය සිදු කිරීමටත් කාලය වෙන් කර ගැනීමට ඇය මේ තීරණය ගත් බවයි. ඒ වගේම ඔබටත් මේ සමාජ සත්කාරයට සම්බන්ධ විය හැකියි.

25 වසරක ඔඩෙල් ආයතනය සමග ඔටාරා ගුණවර්ධන ලබා ගත් ජයග්‍රහණ

ඇයගේ සාර්ථක ව්‍යාපාරික ගමන නිසාම ඇයට විවිධ සම්මානයන් දිනා ගැනීමේ අවස්ථාව උදා වෙනවා. පහතින් දැක්වෙන්නේ ඒ අතරින් කිහිපයක්.

2001 – එෆ්. සී.සී.අයි.එස්.එල්. ආයතනයෙන් ලබාදුන් වසරේ ව්‍යවසායිකාව සම්මානය

2008 – Retail leadership award, Asia retail congress, ඉන්දියාව

2010 – ලංකාවේ ජනප්‍රියම වෙබ් පිටුවට හිමි සම්මානය දිනාගැනීම

2013 – එචලොන් සගරාවේ කරන ලද සමීක්ෂණයකින් ලංකාවේ බලවත් කාන්තාව ලෙස නම් කිරීම

2013 – ලංකාවේ ධනවත්ම අයගේ ලැයිස්තුවට ඇතුළත් වීම

ඔටාරා ගුණවර්ධනගේ සමාජ සත්කාරයන්

එම්බාර්ක් නාමය යටතේ සිදු කරන වීදි සුනඛයන් හා බළලුන් ආරක්ෂා කිරීමේ වැඩසටහන්, මුහුදු වෙරල පිරිසිදු කිරීමේ වැඩසටහන් හා ගස් සිටුවීමේ වැඩසටහන් ඇය ක්‍රියාත්මක කර තිබෙනවා. ඊට අමතරව ඇගේ නමින් අරමුදලක් ඇති කර ඒ හරහා විශාල ප්‍රජාසත්කාරයක් සිදු කරනවා. ඇගේ මේ සංකල්පය හරහා මේ වන විට වීදි සුනඛයන් 80,000ක පිහිට ලැබී තිබෙනවා.

සුනඛයන් වෙනුවෙන් සිදු කරන වැඩසටහනක් අතරතුර ගත්  ඡායාරූපයක් (www.embarkpassion.com)

ඔටාරා අරමුදල හරහා සිදු කරන ප්‍රජා සත්කාරයක් අතරතුර දී ගත් ඡායාරූපයක් (www.otarafoundation.com)

මෙසේ ඇයගේ ජීවිතය තුළින්ම ඇය ශ්‍ රිලාංකිය කාන්තාවන්ට රට වෙනුවෙන් සිදු කළ හැකි කර්තව්‍යය මනාව පෙන්වා දී තිබෙනවා. ඒ වගේම මිලමුදල් වලට එහා ගිය සතුටක් ආදරය, කරුණාව තුළින් ලබාගත හැකි බවත් ඇගේ ජීවිතයෙන් අපට ආදර්ශයට ගන්න පුළුවන්.

මූලාශ්‍ර :

revolvy.com

rootsweb.ancestry.com

odel.lk

thesundayleader.lk

thesundayleader.lk

otaradel.com

ft.lk

embarkpassion.com

කවරයේ පින්තූරය :  thecommonindividuality

Related Articles