Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කතුන් වසඟයට ගත් දාම ඝාතකයා: පෝල් ජෝන් නොවල්ස්

පෝල් ජෝන් නොවල්ස් ආශ්‍රය කළ සමහර කාන්තාවන්ට ඔහු ඉතා සංවේදී හා ආකර්ෂණීය චරිතයක් වුණා. බොහෝ දෙනා පැවසුවේ ඔහු අමෙරිකානු රංගන ශිල්පීන් දෙපළක් වන රොබට් රෙඩ්ෆඩ්ගේ හා රයන් ඕ නීල් ගේ ස්වරූපවල මුසුවක් බව යි. කෙසේ නමුත් අනෙක් සියලු දෙනාට ඔහු හිත්පිත් නැති භයානක දාම ඝාතකයෙක් වුණා. 

ඔහුගේ ඝාතනවල අනෙකුත් බොහෝ දාම ඝාතකයන්ගේ මෙන් වෙන් කොට හඳුනා ගත හැකි විශේෂ අනන්‍යතාවක් තිබුණේ නැහැ. සිය ජීවිතයේ මුල් කාලයේ ඔහු නොයෙකුත් මැරකම්, කප්පම් ගැනීම්, සොරකම්, බියවැද්දීම් වැනි දේ සිදු කළා. 1974 වසරේ මුල් කාලයේ දී ඔහු සිය නීති විරෝධී ක්‍රියා වෙනත් මානයකට රැගෙන ගියා. ඒ සිය ප්‍රථම මනුෂ්‍ය ඝාතනය සිදුකිරීමත් සමඟ යි. ඉන් පසු නැවත හැරී බැලුවේ ඔහු නොවේ. 

 පෝල් ජෝන් නොවල්ස්- hyaenagallery.tumblr.com

 

පෝල් ජෝන් නොවල්ස් උපත ලබන්නේ 1946 වසරේ අප්‍රේල් මස 25 වන දින අමෙරිකා එක්සත් ජනපදයෙහි ෆ්ලොරීඩා ප්‍රාන්තයට අයත් ඔලැන්ඩෝ හී දී යි. ඔහු කුඩා කල සිට ම ඉතා දඟකාර දරුවෙක් වුණා. ඔහු නීති විරෝධී ක්‍රියාවක් මුලින් ම සිදු කරන්නේ 1954 වසරේදී යි. ඒ වන විට ඔහු යන්තම් අට හැවිරිදි වුණා. සුළු සුළු සොරකම්වලින් ආරම්භ වූ ඔහුගේ අපරාධමය දිවිය කප්පම් ගැනීම්, පැහැරගෙනයාම් වැනි බරපතල ක්‍රියා සිදුකිරීම දක්වා ම පසුකාලීන ව වැඩිදියුණු වුණා. 19 වියැති ව සිටින විට සිදු කළ පුද්ගල පැහැරගැනීමක් නිසා ඔහුට සිරදඬුවම් ලැබුණා. පොලිස් නිලධරයකු පැහැර ගැනීමට ඔහු සම්බන්ධ වී තිබූ අතර, කෙසේ හෝ ඉක්මනින් නිදහස් වන්නට ඔහු සමත් වුණා. 

කිහිප විටක් ම සිර බතෙහි රස වින්දා

කෙසේ නමුත් සිය නීතිවිරෝධී ක්‍රියාකාරකම් නැවැත්වූයේ නොවල්ස් නොවේ. ඉන් පසු එලැඹි අට වසර තුළ ඔහු සොරකම් කිරීම හා පැහැරගැනීම් දිගින් දිගට ම සිදු කළ අතර, කිහිප විටක් ම සිර බතෙහි රස විඳින්නට ඔහුට සිදු වුණා.

1974 වසර උදා වන විට නොවල්ස්, ෆ්ලොරීඩා ප්‍රාන්ත බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටියා. සිරදඬුවම් විඳිමින් සිටියදී ම ඔහු කැලිෆෝනියාවේ වෙසෙන ඇන්ජෙලා කොවික් නම් කාන්තාවක් සමඟ සම්බන්ධතාවක් ගොඩ නඟා ගැනීමට සමත් ව සිටියා. ඒ පෑනේ මිතුරුකමක් ලෙස යි. සැන් ෆ්‍රැන්සිස්කෝ හි අවන්හලක සේවයේ නියුතු ව සිටි, විවාහයෙන් වෙන් වූ තැනැත්තියක වූ ඇන්ජෙලා, නොවල්ස් ගේ ආකර්ෂණීය ලේඛන විලාශයට වහ වැටුණු අතර, ඉක්මනින් ම ඔහු හා ආදරයෙන් බැඳුණා. නීතීඥවරයකුගේ මාර්ගයෙන් ඔහුට සමාවක් ඉක්මනින් ම  ලබා ගැනීමට ඇය ක්‍රියා කළා. ඔහුට සැන් ෆ්‍රැන්සිස්කෝ වෙත ඒමටත් කටයුතු සියල්ල සංවිධානය කළා. අනතුරු ව ඔහු විවාහ කර ගැනීමට ඇය සැලසුම් කර තිබුණා.

පළමු ඝාතන කිහිපය

නොවල්ස් කැලිෆෝනියාවට ගෙන්වා ගැනීමට ඔන්න මෙන්න තිබිය දී ඇගේ අනාගතය පවසන වක්තෘවරිය ඇයට උපදෙස් දෙන්නේ කිසි ලෙසකින් ඔහු හා නොබැඳෙන ලෙස යි. මේ නිසා ඇය වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු විවාහ කරගැනීම අවලංගු කරන්නට සැරසුණා. සිය ආකර්ෂණීය බව යොදා ගෙන ඇය තමන් වෙත නැවත නම්මවා ගැනීමට නොවල්ස් උත්සාහ කළ ද එය ව්‍යර්ථ වුණා. ඒ වන විට නොවල්ස් සමාව ලබා තිබූ අතර ඔහු කැලිෆෝනියාව වෙත පැමිණියා. ඒ කෙසේ හෝ ඇන්ජෙලා විවාහ කර ගැනීමේ අභිප්‍රායෙනු යි. කෙසේ නමුත් ඇය, දෙදෙනා අතර විවාහයක් සිදු නොවන බැව් එක් දිනක ස්ථිරව ම ඔහුට කියා සිටියා.

 පෝල් ජෝන් නොවල්ස් කුඩාකල- Youtube

 

ඇන්ජෙලා කොවික්, පෝල් ජෝන් නොවල්ස් සමඟ සම්බන්ධතාව අවසන් කළ දින රාත්‍රිය ඔහුට සුවිශේෂී එකක් වුණා. ඊට හේතුව ඔහු සිය ජීවිතයේ පළමු මනුෂ්‍ය ඝාතන ත්‍රිත්වය සිදු කිරීම යි. එදින සිය හිතේ අමාරුව සංසිඳුවා ගැනීමට ඔහු කළේ, සැන්ෆ්‍රැන්සිස්කෝ හි වීදිවල ගමන් කළ ආගන්තුකයන් තිදෙනකු ඝාතනය කිරීම යි. ඊට පසු දින නැවතත් ෆ්ලොරීඩාවේ ජැක්සන්විල් වෙත පැමිණි ඔහු, මධ්‍යසාර අලෙවිහලක සේවකයකු සමඟ ආරවුලක් ඇති කර ගෙන ඔහුට පිහියකින් ඇනීමට උත්සාහ කරනවා. මේ නිසා ඔහු පොලිස් භාරයට ගන්නා අතර 1974 වසරේ ජූලි මස 26 වනදා ඉන් පැනයාමට නොවල්ස් සමත් වෙනවා.

ඝාතන වැලක්

ජැක්සන්විල් වෙත නැවත පැමිණි නොවල්ස් දාම ඝාතකයකු ලෙස සිය ක්‍රියාකාරකම් ආරම්භ කළා. ඔහුට වැඩිමනත් ම ගොදුරුවූයේ තරුණ කාන්තාවනු යි. ජැක්සන්විල් හී දී ඔහුට මුලින් ම ගොදුරු වූයේ තනිව ම සිය නිවසෙහි වාසය කළ හැට පස් වියැති ඇලිස් කර්ටිස් නමැති කාන්තාවක්. නොවල්ස් සිරෙන් පැන ගිය දින ම රාත්‍රියේ ඇගේ නිවසට ඇතුළු වූ ඔහු එය කොල්ල කෑමට උත්සාහ කළා. එහෙත් ඇයට ඔහු හසු වුණා. මෙහිදී ඔහු ඇය බැඳ දමා, කටට පාංකඩ ඔබා පැන ගිය අතර, සිය කෘත්‍රිම දත් ඇන්ද උගුරේ සිර වීමෙන් ඇය මිය ගොස් තිබුණා. 

කර්ටිස් ගේ කාරය ද සොරා ගෙන ඉන් පැන ගිය නොවල්ස් එය අතැර දමන්නට තැනක් සොයමින් සිටියා. ඒඅතර ඔහුට හත් හා එකොළොස් හැවිරිදි සොයුරියන් දෙදෙනකු වන ලිලියන් හා මයිලට් ඇන්ඩර්සන් හමු වෙනවා. ඔවුන් දෙදෙනා නොවල්ස්ගේ අසල්වාසීන් වූ අතර, තමන් කර්ටිස්ගේ කාරයේ සිටිනු හඳුනා ගෙන එය පොලිසියට පවසයි  යැයි බිය වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස කාරය අතැර දැමීම පසෙක තබා ඔහු දෙසොහොයුරියන් පැහැරගෙන, ගෙල මිරිකා ඔවුන් ඝාතනය කරනවා. අනතුරු ව සිරුරු දෙක ම වගුරක ඔබා දමා නික්මෙනවා.

එම ඝාතනවලින් අනතුරු ව ජැක්සන්විල් අතැර උතුරට ගමන් කරන නොවල්ස් ඒ අතරමඟ මනුෂ්‍ය ඝාතන කිහිපයක් ම සිදුකරනවා. ෆ්ලොරීඩාවේ සිට කොනෙක්ටිකට් ප්‍රාන්තය දක්වා ගමන් කරන ඔහු ඒ අතරතුර පුද්ගලයන් 20 දෙනකු  ඝාතනය කළ අතර එම සිරුරු තැන් තැන්වල අතැර ගොස් තිබුණා.

 නොවල්ස් පොලිස් අත්අඩංගුවට ගත් අවස්ථාවක- Billy Downs – Atlanta Journal-Constitution 

 

නිරුත්තර වූ පොලිසිය

1974 වසරේ මැද හා අග භාගය වන විට ෆ්ලොරීඩා ප්‍රාන්තයේ උතුරු කොටසේ සිට කොනෙක්ටිකට් ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළබඩ පෙදෙස් දක්වා තැනින් තැන මළසිරුරු මතු වන්නට පටන්ගෙන තිබුණා. මෙලෙස සිරුරු 20 ක් හමු ව තිබූ අතර ඉන් 14 ක් ම කාන්තාවන්ගේ වුණා. පිරිමි මළ සිරුරු 6 ක් හමු වූ අතර, මෙම සිරුරු 20 අතුරින් තුනක් කුඩා දරුවන්ගේ හා තවත් තුනක් වයෝවෘද්ධ පුද්ගලයින්ගේ ඒවා වුණා.

මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය විශාල ප්‍රශ්නයකට මැදි වූයේ මෙලෙස තැනින් තැන හමුවන සිරුරුවල, ඝාතනය කළ ආකාරයේ, ස්වරූපයේ හෝ වෙනයම් ආකාරයක රටාවක් නොතිබීම යි.

එක් ඝාතකයකු විෂයයෙහි මෙවැනි රටාවක් තිබීම සාමාන්‍යයෙන් සිදුවුව ද මෙහිදී එවැන්නක් හමු නොවීම නිසා මෙම ඝාතන එක් අයකු සිදු කළා ද, එසේත් නැතිනම් එකිනෙක සම්බන්ධයක් නැති ඝාතන කිහිපයක් ද යන්න උපකල්පනය කිරීමට ඔවුනට අපහසු වුණා. සමහරක් දෙනා ගෙල සිර  කර ඝාතනය කර තිබුණේ කිසිදු සොරකමක් නොකරයි. 

එකිනෙකට සම්බන්ධ නොවන ක්‍රියාකාරකම්

තවත් සමහරෙක් මංකොල්ල කෑමට ලක්ව තිබුණා. අයෙක් කිසිදු ලිංගික අඩන්තේට්ටමකින් තොර ව ඝාතනය කර තිබූ අතර, තවත් අයෙක් බරපතල ලෙස අඩන්තේට්ටමට ලක් ව තිබුණා. එයිනුත් සමහරක් ඔවුන් මියයාමෙන් අනතුරු ව සිදු කළ අඩන්තේට්ටම් වුණා. මෙය සාමාන්‍යයෙන් දාම ඝාතකයකුගෙන් දක්නට නොලැබෙන ආකාරයේ දෙයක් වූ නිසා  පොලිසිය මුලින් ම විශ්වාස කළේ මෙය කිහිප දෙනකුගේ, එකිනෙකට සම්බන්ධ නොවන ක්‍රියාකාරකම් කිහිපයක් බවයි.

අව ම වශයෙන් අමෙරිකාවේ ප්‍රාන්ත 6 කින්  මෙලෙස සිරුරු මතු වන්නට පටන්ගත් අතර එයත් පොලිසිය වැරදි මාර්ගයේ යාමට හේතුවක් වුණා. ඔවුන් ලිංගික අසහනයෙන් පෙලෙන උන්මත්තක ඝාතකයෙක්, ආයුධ සහිත මංකොල්ලකරුවෙක්, අවස්ථාව ලද විට මිනී මරා සොරකම් කරන්නෙක් යන කිහිප දෙනකු සොයා පරීක්ෂණ ඇරඹුවා.

සැන්ඩි ෆෝක්ස් ගේ හෝඩුවාව

අමෙරිකාවේ නැගෙනහිර කොටසේ තැනින් තැන මළ සිරුරු හමුවන වටපිටාවක වික්ෂිප්ත වී සිටි පොලිසියට යම් පමණක හෝඩුවාවක් ලැබුණේ සැන්ඩි ෆෝක්ස් නම් ප්‍රවෘත්ති වාර්තාකාරිණියකගෙනු යි. නොවල්ස් සමාජශාලාවකදී ඇය හා කුලුපග වීමට පැමිණ තිබූ අතර, දෙදෙනා දින තුනක කාලයක් විවිධ දේ කතාකරමින් ඔබ මොබ ඇවිද තිබුණා. ඒ වන විට ඇය ඔහුගේ නියම තත්ත්වය අවබෝධ කරගෙන තිබුණේ නැහැ. ඇයට අනුව ඔහු නළුවකුගේ පෙනුම තිබූ, ඉතා ආකර්ෂණීය සිහින දකින්නෙක් වුණා. 

ඔවුන් කුලුපග ව සිටි දින තුනක කාලයේ දී ඔහු ඉතා සුමුදු ලෙස ඇයට සලකා තිබූ අතර, කිසි ලෙසකින් රිදවීමට උත්සාහ ගෙන තිබුණේ නැහැ. ඔහු අවසානයේ අවශ්‍යතාවකට බැහැර යන බව පවසා නික්ම ගොස් තිබුණේ රසවත් මතක රාශියක් ඇයට ඉතිරි කරමිනු යි. ඇය ජීවත් වූ ප්‍රදේශයේ වූ ඝාතනයක දී ඇසින් දුටු සාක්ෂිකරුවෙක්, ඝාතකයා පැමිණි කාරය ලෙස නොවල්ස්ට සමාන කාරයක් පිළිබඳ ව පවසා තිබීම නිසා, එය පොලිසිය මගින් ප්‍රසිද්ධ කළ අවස්ථාවේදී ඇය ඔහු පිළිබඳ ව ඔවුනට පවසා තිබුණා.

ඔහු කෙතරම් ආකර්ෂණීය ද?

නොවල්ස්, සැන්ඩි ෆෝක්ස් ඉතා ළඟින් ආශ්‍රය කොට, හානියක් සිදු නොකර අතැර දැමූ කාන්තාව අතළොස්ස අතරින් අයකු වුණා. පොලිසිය පසු කාලීන ව අවබෝධ කර ගත් අන්දමට ඔහු ඇය ජීවග්‍රහයෙන් අතැර තිබුණේ ප්‍රවෘත්ති වාර්තාකාරිණියක වීම නිසා යි. යම් දිනෙක ඇය, ඔහු කෙතරම් ආකර්ෂණීය ද යන්න ලෝකයට පවසනු ඔහු බලාපොරොත්තු වන්නට ඇති බවත්, එනයින් තමන් මිනිමරුවකු යන්න බොහෝ දෙනා විශ්වාස නොකරන තැනකට පත් වෙතැයි යන්න ඔහු අපේක්ෂා කරන්නට ඇති බවත් ඔවුන් අනුමාන කළා.

මෙය ශපථ කරන තවත් සාධකයක් ලෙස, හොඳින් සමාජ සම්බන්ධතා පැවැත්වූ  වේටර්වරියක වන බාබරා ටකර් ද ඔහු කිසිදු හානියක් නොකර අත්හැරීම ගත හැකි බව ඔවුන් තර්ක කරන්නට වුණා.

පොලිසියට කොටුවීම සහ අවසානය

ෆ්ලොරීඩාවේ අධිවේගී මාර්ගයක 1974 වසරේ නොවැම්බර් මස 17 වනදා සේවයේ නියුතු ව සිටි චාල්ස් ඉයුජින් කැම්බෙල් නම් පොලිස් නිලධාරියා, මෑතකදී මිනිමැරුමක් කොට සොරකම් කර ගත් කාරයකට අදාළ තොරතුරුවලට සමාන කාරයක් තමන් වෙත එනු දකිනවා. ඔහු වහාම ක්‍රියාත්මක වී එය නවත්වා ගන්නවා. මෙවැනි අවස්ථාවකට නොවල්ස් සූදානම් ව සිට තිබූ අතර, පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධරයා කාරයට එබෙත් ම ඔහුගේ ගිනි අවිය සොරාගන්නවා. 

අනතුරුව ඔහු පොලිස් නිලධරයා ප්‍රාණ ඇපයට ගෙන, පොලිස් නිලධරයාගේ කාරයෙන් එතැනින් නික්මෙනවා. අනතුරුව අතරමඟ දී එය අතැර දමන ඔහු, එම කාරය යොදා ගෙන, තවත් කාරයක් නවත්වා, එහි රියැදුරු ද ප්‍රාණ ඇපයට ගෙන, එම කාරයෙන් නැවතත් වේගයෙන් ඉවතට ඇදී යනවා. මේ වන විට පොලිස් නිලධරයා ද ඔහු එහි නංවාගෙන තිබුණා. මේ දෙදෙනා රැගත් කාරය ඔහු පිටිසරබද පෙදෙසකට ගෙන ගියා.

 නොවල්ස් ගේ සුසානය- John Russel Pierson / Find A Grave

 

පිටිසරබද පෙදෙසේ කැලෑවක් අසල වාහනය නැවැත් වූ නොවල්ස් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා කැලයට රැගෙන ගොස්, ඔවුන් ගසක බැඳ දමා, ඔවුන්ට වෙඩි තබා එතැනින් නික්මුණා. කලබලය නිසා කාරයෙහි පාලනය ඔහු වෙතින් ගිලිහී එය ගසක වැදුණා. මේ වන විට පොලිස් නිලධරයා හා අනෙක් පුද්ගලයා පැහැර ගැනීම පිළිබඳ විස්තර ප්‍රදේශයේ පොලිසි වෙත ආරංචි ව තිබුණා. පොලිසිය හෙලිකොප්ටර්, සුනඛයන් පවා යොදා ගනිමින් ඔවුන් සොයමින් සිටියා. වාහනය ගසෙහි හැපීමත් සමඟ ඉන් පිටතට බට නොවල්ස් පා ගමනින් ම එතැනින් පැන යාමට උත්සාහ කළ ද, අවසානයේ පොලිසිය  කොටු කර ගන්නවා. ඒ ප්‍රදේශයේ වෙසෙන සාමාන්‍ය මිනිසකුගේ උදවු ද ඇතිව මහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවයි.

මනුෂ්‍ය ඝාතන 35 ක් පිළිබඳ පාපොච්චාරණය

පොලිස් භාරයට ගත් නොවල්ස් තමන් සිදු කළ මනුෂ්‍ය ඝාතන 35 ක් පිළිබඳ පාපොච්චාරණය කරනවා. මින් 20 ක් පිළිබඳ පොලිසිය ඒ වන විටත්  දැනගෙන සිටියා. පොලිස් භාරයේ පසුවන විට ඔහු ඉතා ශාන්ත ස්වභාවයක් පෙන්නුම් කළ අතර, තමන් සමහර සිරුරු වැළලූ තැන් පෙන්වීමටත් එකඟ වුණා. මෙලෙස 1974 වසරේ දෙසැම්බර් මස 18 වැනි දින වළ දැමූ සිරුරක් පෙන්වීමට යාමේ දී ඔහු පොලිස් නිලධරයෙක්ගේ ගිනි අවියක් සොරකම් කරගෙන පැනයාමට උත්සාහ දැරුවා. එහිදී පසෙක සිටින් තවත් නිලධරයකුගේ වෙඩි පහරින් ඔහු එතැන ම මියයනවා.

පෝල් ජෝන් නොවල්ස් ජීවත් වූයේ වසර 28 ක් වැනි ඉතා කෙටි කාලයක්. ඒ කෙටි කාලය තුළ අමෙරිකාව දුටු දරුණුත ම දාම ඝාතකයකු ලෙස නමක් පටබැඳ ගැනීමට ඔහුට හැකි වුණා. ඔහු මෙම ඝාතන සමහරක් සිදු කළේ කුමන අරමුණක් උදෙසා දැයි අදටත් පැහැදිලි නැහැ.

කවරයේ ඡායාරූපය - නොවල්ස් පොලිස් අත්අඩංගුවට ගත් අවස්ථාවක - ajc.com 

මූලාශ්‍ර:

Ajc.com

Allthatsinteresting.com

Murderpedia.org

Related Articles