Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුසියාව බටහිරට යොමු කළ මහා පීටර් අධිරාජයා

රුසියානු ඉතිහාසය ගැන සාකච්ඡා කරන විට අමතක කළ නොහැකි සාර්වරයකු සිටී නම් ඒ මහා පීටර් අධිරාජයා යි. එතෙක් මධ්‍යතන යුගයේ වූ රුසියාව ප්‍රතිසංස්කරණය ඇරඹීමත්, සමුද්‍රය දෙසට එරට විවර කිරීමත්, යුධ බලවතකු ලෙස රුසියාව නගා සිටුවීමත් මහා පීටර්ගේ සාර්ථකත්වයන් අතර වනවා. රුසියානුවන් ඔහුව පීටර් පෙයර්වි (පළමුවන පීටර්) යන නමින් සාමාන්‍යයෙන් හඳුන්වන අතර බටහිර රටවල සාමාන්‍යයෙන් මහා පීටර් ලෙස හඳුන්වනවා.

පීටර්ගෙ පාලන සමය මුල් කාලය විවිධ බල අරගලවලින් යුක්ත වුණා. ඊට ප්‍රධාන හේතුව වුණේ ඔහුගේ පියා වූ සාර් අලෙක්සේයිට බිරියන් දෙදෙනකුගෙන් දරුවන් සිටීමත්, රටේ මිලිටරි නායකත්වය මෙම ව්‍යාකූලතා අතර තමන්ට අවශ්‍ය පරිදි සිහසුන පාලනය කිරීමට උත්සාහ කිරීමත් ලෙස කියන්න පිළිවන්.

පීටර් උපන්නෙ 1672 ජූනි 9 වන දා. ඔහුගේ පියා සාර් අලෙක්සේයි මිහායිලොවිච් වූ අතර මව නතාල්යා නරිෂ්කිනා නම් වුණා. ඇය අලෙක්සේයිගේ දෙවන බිරිඳ වූ අතර ඔහුගේ පළමු බිරිඳ වුණේ මාරියා මිලොස්ලව්ස්කායා යි. එකල රුසියානු සාර්වරුන් විවාහ වුණේ රටේ රදළ පවුල්වල කාන්තාවන් සමග යි. විදේශයන්හි රජපවුල් සමග විවාහ සබඳතා සිදු වූයේ නැති තරම්.

බලයට පැමිණීම සහ ස්ථාවර වීම​

මහා පීටර් රුසියාවේ සාර් බවට පත් වූයේ 1682 දී. ඒ වෙද්දි ඔහුගේ වයස අවුරුදු 10ක් පමණ යි. එමෙන්ම ඔහු එවකට තම අර්ධ සහෝදරයා වූ පස්වන ඉවාන් සමග සම පාලකයා ලෙස කටයුතු කළා. ඔහු තනි පාලකයා බවට පත් වුණේ 1696 දී.

අලෙක්සේයිගේ පළමු බිරිඳගේ දරුවන් අතර ෆියතෝර්, ඉවාන්, සහ සොෆියා වුණා. 1676 දී අලෙක්සේයි මියගියා. එවිට ඔහුගේ පුත්‍රයකු වූ ෆියතෝර් සාර් බවට පත් වූයේ තුන්වන ෆියතෝර් යන නමින්. ඔහු රෝගී අයකු වූ අතර 1682 දී මිය ගියා.

සාර් පළමුවන අලෙක්සේයි (Public Domain)

මෙම අවස්ථාවේ මිලොස්ලව්ස්කි සහ නරිෂ්කින් පවුල් අතර සිහසුන පිළිබඳ අර්බුදයක් ඇති වුණා. ඉවාන් ද රෝගී පුද්ගලයකු වූ අතර මානසික අතින් ද ස්ථාවර අයකු වූයේ නැහැ. මේ හේතුවෙන් පීටර් සාර් බවට පත් විය යුතුයැ යි නරොෂ්කින් පවුල කියා සිටියා. එකල රුසියාවේ රදලයින් වූ බෝයාර්වරුන්ගේ ඩූමාවේ සහය ඇතිව පීටර්ව සාර් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

නමුත් රුසියාවේ ස්ත්‍රෙල්ත්සි හමුදාවේ (රුසියානු විශේෂ හමුදා බලකායක්) සහය ලබාගත් මිලොස්ලව්ස්කි පවුල ඉවාන් සහ පීටර් සම පාලකයන් බවට පත් කළා. ඒ පස්වන ඉවාන් සහ පළමු පීටර් ලෙස යි. ඉවාන්ගේ සොයුරිය වූ සොෆියා අලෙක්සෙයෙව්නා සාර් ධුරයෙහි වැඩ බැලීම සිදු කළා.

පස්වන ඉවාන් (Public Domain)

1689 දී පීටර් තම අර්ධ සහෝදරිය වූ සොෆියා බලයෙන් පහ කර රට පාලනය කරන්නට වුණා. ඉවාන් දිගටම සම පාලකයා වූ නමුත් ඔහුගේ මානසික තත්ත්වය හේතුවෙන් ඔහු එතරම් වැදගත් වූයේ නැහැ. කෙසේ වෙතත් පීටර්ගේ මව නතාල්යා සිය පුත්‍රයා පිටිපස සිටි සැබෑ පාලිකාව ලෙස හඳුන්වන්න පිළිවන්.

නතාල්යා නරිෂ්කිනා (Public Domain)

නතාල්යා 1694 දී මියගිය අතර ඉවාන් 1696 දී මියගියා. ඉන්පසු පීටර් තනිව රුසියාවේ සාර් ලෙස කටයුතු කළා.

ප්‍රතිසංස්කරණ සහ යුරෝපා සංචාරය​

මේ වනවිට රුසියාව යුරෝපයෙන් හුදෙකලා වූ රාජ්‍යයක් ලෙස පැවතුණා කියන්නට පිළිවන්. බෝල්ටික් මුහුද ස්වීඩනය විසින් ද, කළු මුහුද තුර්කිය විසින් ද පාලනය කෙරුණු හෙයින් රුසියාවට වෙරළබඩ වරායක් ලෙස තිබුණේ ආක්ටික් සාගරයේ ආහන්ගෙල්ස්ක් පමණ යි. තුර්කියෙන් අසොෆ් ලබාගැනීමට කළ මුල් කාලීන උත්සාහයන් ද අසාර්ථක වුණා. පසුව 1697 දී එම ප්‍රදේශය ලබාගත් නමුත් වසර දහතුනකට පසු යළි එම ප්‍රදේශය අහිමි වුණා.

මේ අතර පීටර්ට තම රට නවීකරණය කිරීමට ද අවශ්‍ය වුණා. යුධ හමුදාව සහ රාජ්‍ය පාලනය ප්‍රතිසංවිධානය කිරීම මඟින් ලෝක බලවතුන් ගේ තත්ත්වයට පැමිණීම ඔහුගේ අපේක්ෂාව වුණා. ඔහු රදලයින්ගේ බලය සීමා කිරීමට කටයුතු කළා. දිගු රැවුල් වැවීම අධෛර්යයමත් කිරීම එයින් එක් පියවරක් වුණා. බෝයාර්වරුන් සිය දිගු රැවුල් පිළිබඳ සාඩම්බරයෙන් සිටි අතර පීටර් දිගු රැවුල් වවන්නන්ගෙන් බද්දක් අය කළා.

පීටර් 1697 දී යුරෝපා සංචාරයක් ආරම්භ කළා. ඔහු එහිදී ව්‍යාජ නමක් භාවිතා කළ නමුත් ඔහුගේ කැපී පෙනෙන උස හේතුවෙන් යුරෝපයේ උසස් පවුල්වල අය බොහෝ දෙනෙක් ඔහු කවරෙකුදැයි දැන සිටියා. පීටර් මෙම සංචාරයෙන් බලාපොරොත්තු වූ කරුණු දෙකක් වුණා. එකක්, තුර්කියට එරෙහි යුධ ව්‍යාපාරය සඳහා උදව් ලබා ගැනීම යි. අනෙක තම රට නවීකරණය සඳහා දැනුම ලබා ගැනීම යි. ඔහුගේ පළමු අරමුණ එතරම් සාර්ථක වූයේ නැතත් ඔහුගේ දෙවන අරමුණ සඳහා වැදගත් වන බොහෝ දේ ලබා ගන්නට පීටර් සමත් වුණා. ඔහු නෞකා කර්මාන්තය පිළිබඳ නෙදර්ලන්තයේ දී උගත් අතර ගෘහනිර්මාණ ශිල්පය​ පිළිබඳව ද දැනුම ලබා ගත්තා. මෙය ඔහුට සාන්ත පීතර්බුර්ග් නගරය ඉදි කිරීමේ දී ඉතා වැදගත් වුණා.

එටියෙන් මොරිස් ෆල්කොනේ විසින් නිර්මාණය කළ “ලෝකඩ අසරුවා” නම් ප්‍රතිමාව පීටර් සැමරීමට සාන්ත පීතර්බුර්ග් නගරයේ තැන්පත් කෙරුණි (Wikimedia Commons)

පීටර් 1698 දී හදිසියේ ආපසු පැමිණියේ ස්ත්‍රෙල්ත්සි හමුදාව විසින් කළ අසාර්ථක කැරැල්ලක් හේතුවෙන්. ඔහු එම කැරැල්ලට සම්බන්ධ විශාල පිරිසකට දඬුවම් කර එම හමුදාව විසිරුවා හැරියා. තව ද​, ඔවුන් විසින් බලයට ගෙනෙන්නට උත්සාහ කළ සොෆියාට කන්‍යා සොයුරියක වීමට බල කෙරුණා. 1689 දී ඇයව කන්‍යාරාමයකට පිටුවහල් කළ නමුත් ඇය ගිහි අයකු සේ දිගටම ජීවත් වෙමින් සිටියා.

මහා උතුරුදිග යුද්ධය​

පීටර් ඔටෝමන් තුර්කිය සමග තාවකාලික සාමයක් ඇති කරගත් අතර 1700 දී ස්වීඩනයට එරෙහිව යුද්ධයට එළඹුණා. මෙහිදී ඔහුට වැඩි වාසියක් තිබුණේ ඩෙන්මාර්කය සහ පෝලන්ත – ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය ද ස්වීඩනයට එරෙහිව සටන් වැදීම හේතුවෙන්.

1700 දී නාර්වා සංග්‍රාමයෙන් ස්වීඩනයේ දොළොස්වන චාර්ල්ස් රජු ජය ගත්තා. එහෙත් දිගටම රුසියාවට පහර දීම වෙනුවට චාර්ල්ස් රජු පෝලන්ත – ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලයට පහර දුන්නා. මෙය පීටර්ට තම හමුදා ප්‍රතිසංවිධානය කිරීමට අවසර ලබා දුන්නා.

පෝලන්ත හමුදා පරාජයට පත් කිරීමෙන් පසු ස්වීඩනය 1708 දී නැවත රුසියාව දෙසට හැරුණා. මෙහිදී 1708-09 සමයේ සීත ඍතුවේ දී ස්වීඩන් හමුදාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් විනාශයට පත් වුණා. එහෙත් දොළොස්වන චාර්ල්ස් පසු බැස්සේ නැහැ. ඔහු 1709 දී යුක්‍රේනය ආක්‍රමණය කළා. ජූනි මාසයේ දී පොල්ටාවා සටනින් අන්ත පරාජයට පත් වූ ඔහු දකුණු දෙසට පළා ගියා. ඔහු නැවතුණේ ඔටෝමන් අධිරාජ්‍යයේ යි.

පොල්ටාවා සටනේදී පීටර් (මිහයිල් ලොමොනොසොෆ්ගේ නිර්මාණයක්)

චාර්ල්ස් රජු පිටමං කරන ලෙස පීටර් කළ ඉල්ලීම් ඔටෝමන් පාලනය විසින් ගණන් නොගත් හෙයින් පීටර් ඔටෝමන් තුර්කිය ආක්‍රමණය කළා. මෙවර ඔහු පරාජයට පත් වුණා. ඒ සමගම ඔහු 1697 දී අල්ලාගත් කළු මුහුදේ වරායන් ද ඔහුට අහිමි වුණා. කෙසේ නමුත් ඔටෝමන් සුල්තාන්වරයා විසින් චාර්ල්ස් රජුව ස්වීඩනය බලා පිටත් කරන්නට ක්‍රියා කළා.

පීටර් විසින් අභිනව අගනුවර ලෙස සාන්ත පීතර්බුර්ග් නගරය ඉදි කිරීම ඇරඹුවේ 1703 දී යි. 1713 දී එය රුසියාවේ අගනුවර ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. ඊට සුළු කලකට පසු රුසියානුවන් විසින් ලිවෝනියාව සහ ෆින්ලන්තයේ විශාල ප්‍රදේශයක් ස්වීඩනයෙන් අල්ලාගත්තා. මේ අතර ඔවුන් නාවික හමුදාවක් ද ගොඩ නැගීමට වුණා. මේ අනුව ස්වීඩනය දුර්වල වෙද්දී රුසියාව වඩා ප්‍රබල වුණා. නමුත් චාර්ල්ස් රජු දිගටම සාමය ප්‍රතික්ෂේප කළා. දෙරට අතර සාමය ස්ථාපිත කෙරුණේ ඔහුගේ මරණින් පසුව යි. 1721 දී මහා උතුරුදිග යුද්ධය නිම වූයේ රුසියාවට ඉන්ග්‍රියාව​, ලිවෝනියාව​, එස්තෝනියාව, සහ කරේලියාවේ විශාල ප්‍රදේශයක් ලබා දෙමින්. රුසියාව විසින් ෆින්ලන්තයේ විශාල කොටසක් ආපසු ස්වීඩනය වෙත පවරා දුන්නා.

සාන්ත පීතර්බුර්ග් නගරය රුසියාවේ බටහිරට විවර වූ දොරටුව බවට පත් වුණා. එය කේන්ද්‍ර කරගෙන බෝල්ටික් මුහුදේ බලය පැතිරවීමට රුසියාව සමත් වුණා.

කැතරින් අධිරාජිණිය

පීටර්ගේ පළමු බිරිඳ වූයේ ඉයුඩොක්සියා ලොපුකිනා යි. මෙම විවාහය සාර්ථක වූයේ නැහැ. 1689 දී ඔවුන් විවාහ වූ අතර 1698 දී ඇයව කන්‍යාරාමයකට පිටත් කරමින් පීටර් එම විවාහය අත් හිටෙව්වා. ඔවුනගේ දරුවන් අතුරින් වැඩිමහළු වයසට පත් වූයේ අලෙක්සේයි කුමාරයා පමණ යි. 1718 දී තමන්ට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත අලෙක්සේයිට වධ දී මරා දැමීමට පීටර් ක්‍රියා කළා.

1703 දී පමණ පීටර්ට මාර්තා ස්කව්රොන්ස්කායා නම් පෝලන්ත කාන්තාවක් මුණ ගැසුණා. ඇය ඔහු හා වාසය කිරීමට පටන් ගත් අතර ඇගේ නම කැතරින් ලෙස වෙනස් කරගත්තා. 1712 දී ඔවුන් නිල වශයෙන් විවාහ වුණා. මේ දෙදෙනට දරුවන් 12 දෙනකු ලැබුණ අතර ඉන් දස දෙනෙකුම වැඩිහිටි වියට එළඹීමට පෙර මරණයට පත් වුණා.

පළමුවන කැතරින් අධිරාජිණිය (ෂෝන්-මාර්ක් නැටියර් විසින් අඳින ලද්දක්)

1721 දී පීටර් තමා අධිරාජයා ලෙස ප්‍රකාශයට පත් කළා. 1724 දී පීටර් විසින් කැතරින් සම අධිරාජිණිය ලෙස පත් කරා.

1725 දී මහා පීටර් අධිරාජයා මියගිය අතර කැතරින් මීළඟ අධිරාජිණිය බවට පත් වුණා.

Cover Image: මහා පීටර් අධිරාජයා (cyrillitsa.ru)

මූලාශ්‍රයයන්

Related Articles