Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පීටර් කේනමන්ගේ දේශපාලන දිවියේ මතක සටහන්

1947-1977 කාල සමයේ මෙරට දේශපාලන පිටිය තුළ වාමාංශික පක්ෂවලට සැලකිය යුතු තරම් බලයක් හිමිව තිබුණා. එම යුගයේ පැවති මහා මැතිවරණවල දී ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ වැනි පක්ෂවල නියෝජිතයන් පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් හිමිකරගත්තා. මෙයින් ඇතැම් වාමාංශික නායකයන් වසර ගණනක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළා. 

මෙසේ අඛණ්ඩව වසර 30ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ වාමාංශික නායකයෙකු වන්නේ කොමියුනිස්ට් පක්ෂයේ පීටර් කේනමන්. මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ එදා “මැද කොළඹ රතු තරුව” ලෙසින් හැඳින්වුණු කේනමන්ගේ දේශපාලන දිවිය පිළිබඳව යි.

ජීවිතයේ මුල් අවධිය 

1917 ඔක්තෝබර් 3 වැනිදා කොළඹ ප්‍රසිද්ධ නීතිඥ පවුලක දරුවෙකු ලෙසින් උපත ලද පීටර් කේනමන් කුඩාකල සිටම සුඛෝපභෝගි ජීවිතයක් ගත කළා. සැප සම්පත් විඳිමින් උස්මහත් වුණු මේ දරුවා බහ තෝරන වියට එළඹුණු පසු කොළඹ රාජකීය විද්‍යාලයයට ඇතුළත් කිරීමට ඔහුගේ දෙමාපියන් තීරණය කළා. රාජකීය විද්‍යාලයයට ඇතුළත් වුණු දිනයේ සිටම දක්ෂ ලෙසින් ඉගෙනීමේ කටයුතුවල නිරත වුණු පීටර් ඊට සමගාමීව විෂය බාහිර ක්‍රියාකාරකම්වල ද නිරත වුණා. පාපන්දු, රගර් යන ක්‍රීඩාවල නිරත වුණු මෙම සිසුවා පාසල් ශිෂ්‍යභට කණ්ඩායමේ සාමාජිකයෙකු ද වුණා. එසේම පාසලේ සාහිත්‍ය අංශයේ කටයුතුවලට සහ වේදිකා නාට්‍යවලට පවා සම්බන්ධ වීමට පීටර් සිසුවාට අවස්ථාව ලැබුණා. රාජකීය විදුහල මඟින් නිකුත් කරන ලද සඟරාවේ ප්‍රධාන සංස්කාරක තනතුර පීටර් කේනමන්ට හිමිවීම ඔහු සිය ජීවිතයේ ලද විශාල භාග්‍යයක් වුණා.

රාජකීයයට මිණි පහනක් වුණු කේනමන් 1935 වසරේ දී සිය පාසල් අධ්‍යාපන කටයුතු නිමාවට පත්කළා. පීටර් කේනමන්ගේ පියා වුණු ආතර් එරික් කේනමන් එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියෙන් උසස් අධ්‍යාපනය සම්පූර්ණ කර තිබුණා. එනිසා පීටර් ද 1936 වසරේ දී කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත් වුණා. 

පීටර් ලංකාවේ සිටි කාලයේ දී සූරියමල් ව්‍යාපාරය පිළිබඳව විශාල පැහැදීමකින් පසුවුණා. එසේම 1935 වසරේ දී ආරම්භ වුණු ලංකා සමසමාජ පක්ෂය පිළිබඳව ඔහු උනන්දු වුණා. ඒ වන විට වාමාංශික දේශපාලනයේ ප්‍රතිපත්තිවලට නැඹුරු වී සිටි කේනමන් එංගලන්තයේ සිටිය දී පවා සිය දේශපාලන දර්ශනය පිළිබඳව අමතක කළේ නැහැ. එනිසා ඔහු 1937 වසරේ දී එංගලන්ත කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ද ලබාගත්තා.

කොළඹ රාජකීය විදුහල (Shalanka)

ලංකාවේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීම 

1939 වසරේ අග භාගයේ දී යළි ශ්‍රී ලංකාවට පැමිණි කේනමන් ලංකා සමසමාජ පක්ෂයේ වැඩ කටයුතු සඳහා සම්බන්ධ වුණා. නමුත් 1940 මාර්තු මාසයේ පැවති ලංකා සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී ඇතිවුණු මතගැටුමක් නිසා දොස්තර ඇස්.ඒ වික්‍රමසිංහ, ඇම්.ජී මෙන්ඩිස්, ඩබ්ලිව් ආරියරත්න, ආරියවංශ ගුණසේකර වැනි පැරණි සාමාජිකයන් රැසක් පක්ෂයෙන් නෙරපනු ලැබුවා. ඉන්පසු දොස්තර වික්‍රමසිංහ එක්සත් සමාජවාදී පක්ෂය නමින් අලුත් පක්ෂයක් බිහිකළා. 

ලංකා සමසමාජ පක්ෂයෙන් නෙරපා දැමුණු ඇතැම් සාමාජිකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් වික්‍රමසිංහගේ අළුත් පක්ෂයට සම්බන්ධ වුණා. එම යුගය වන විට පීටර් කේනමන් තරුණයා දේශපාලන වැඩවලට දැක්වූ උනන්දුව ගැන දොස්තර වික්‍රමසිංහ අවධානයෙන් පසුවුණා. එනිසා නව පක්ෂයේ ලේකම් තනතුර භාරගන්නා ලෙස ඔහුට ආරාධනා කළා. ඒ වන විට කේනමන්ගේ හිතේ ද දොස්තර වික්‍රමසිංහ පිළිබඳව විශාල පැහැදීමක් ඇතිව තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පීටර් කේනමන් එක්සත් සමාජවාදී පක්ෂයේ ලේකම් තනතුර භාරගැනීමට කැමැත්ත පළ කළා.

එක්සත් සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් ක්‍රියාකාරී ලෙස රටේ කම්කරු ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරිපත් වුණා. එසේම කම්කරු උද්ඝෝෂණ සංවිධානය කරමින් සේවකයන්ගේ ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් සටන් කළා. එදා එම පක්ෂයේ සාමාජිකයන් සතුව තිබුණු මනා සංවිධාන ශක්තිය සහ සටන්කාමී බව නිසා බොහෝ පිරිසක් ඔවුන් වටා එකතු වුණා. එම කාල සමය වන විට සමසමාජ පක්ෂයේ ප්‍රධාන සාමාජිකයන් කිහිපදෙනෙකු සිරගතකර සිටීම එම පක්ෂයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි විශාල බලපෑමක් එල්ල කළා. එය එක්සත් සමාජවාදී පක්ෂයට තරමක් වාසිදායක තත්ත්වයක් වුණා. එනිසා 1943 වසර වන විට ලංකා සමාජවාදී පක්ෂය ලංකාව තුළ ජනප්‍රිය වෙමින් පැවතුණා.

කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කිරීම 

1943 වසරේ ජූලි 2 සහ 3 යන දෙදින තුළ බොරැල්ල කෝට්ටේ පාරේ අංක 85 යන ස්ථානයේ දී එක්සත් සමාජවාදී පක්ෂ සාමාජිකයන්ගේ සම්මේලනය රහසිගතව පැවැත්වුණා. එම සම්මේලනයේ දෙවන දින සවස් යාමයේ දී එක්සත් සමාජවාදී පක්ෂය විසුරුවාහරිමින් කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කළ යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වුණා. එදා බහුතරයකගේ කැමැත්ත මත කොමියුනිස්ට් පක්ෂය ආරම්භ වුණා. එලෙස ආරම්භ වුණු පක්ෂයේ නායකත්වය දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහට හිමිවන විට එහි ප්‍රධාන ලේකම් තනතුර පීටර් කේනමන්ට හිමිවුණා. මිටිය සහ දෑකැත්ත පක්ෂයේ ලාංඡනය වශයෙන් තෝරාගත්තා.

කොමියුනිස්ට් පක්ෂයේ ලාංඡනය (Wikipedia)

මුල්ම වරට මැතිවරණයකට තරග කිරීම 

1944 වසරේ පැවති කොළඹ නාගරික මැතිවරණයේ දී බොරැල්ල නාගරික අසුනට තරග කිරීමට කේනමන් තීරණය කළා. කේනමන්ගේ ප්‍රතිවාදියා වුණේ ප්‍රබල කම්කරු නායකයෙකු වුණු ඒ. ඊ. ගුණසිංහ යි. එම යුගයේ ජනප්‍රිය නායකයෙකු වූ ගුණසිංහ සතුව මැර කණ්ඩායම් රැසක් සිටියා. එනිසා මැතිවරණ දිනයේ දී සිදුවුණු හොර ඡන්ද දැමීම් සහ ඡන්ද පත්‍රිකා මුදලට මිලදී ගැනීම් හේතුවෙන් බොරැල්ල නාගරික අසුනේ ජයග්‍රහණය ගුණසිංහට හිමිවුණා. එසේම 1946 නාගරික මැතිවරණයේ දීත් බොරැල්ල නාගරික අසුනේ ජය ගුණසිංහට හිමිවුණා. එවර කේනමන් සහ ගුණසිංහ අතර ඡන්ද පරතරය 100ක් පමණ වුණා.

ඒ අයුරින් නාගරික මැතිවරණයෙන් දෙවරක් පරාජය වුණත් කේනමන් සිය උත්සාහය අතහැරියේ නැහැ. ඔහු දිගින් දිගටම කම්කරු ජනතාව වෙනුවෙන් පෙනීසිටිමින් ඔවුන්ගේ අයිතීන් දිනාගැනීම වෙනුවෙන් සටන් කළා. ඔහු රැකියා නොමැති 25,000ක තරුණ තරුණියන් පිරිසක් සමග රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙත ගිය ගමන අමතක කරන්නට බැහැ. එසේම 1947 මහා වැඩවර්ජනය පැවති අවස්ථාවේ දීත් කේනමන් වඩාත් ක්‍රියාකාරීව කටයුතු කළා. එනිසා කේනමන්ට විශාල ජනතා ආකර්ෂණයක් හිමිවුණා   

ඒ. ඊ. ගුණසිංහ පිළිරුව (Dinamina)

පළමු පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි 

1947 වසරේ පැවති පළමු මහා මැතිවරණයේ දී පීටර් කේනමන් මන්ත්‍රීධුර 3කින් සමන්විත වුණු මැද කොළඹ බහු ආසනය සඳහා තරග කළා. කම්කරු පක්ෂයේ ඒ. ඊ. ගුණසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ ටී. බී. ජයා එවර මහා මැතිවරණයේ දී මැද කොළඹ ආසනයට තරග කළ ප්‍රබලතම අපේක්ෂකයන් දෙදෙනා බවට පත්වුණා. එදා ගුණසිංහ, ජයා, සහ කේනමන් තිදෙනා අතර පැවති තුන්කොන් සටනින් ගුණසිංහ ජයග්‍රහණය කළත් තිදෙනාටම පාර්ලිමේන්තු වරම් හිමිවුණා. ඒ අනුව 1947 මහා මැතිවරණයේ දී මැද කොළඹ බහු ආසනයෙන් පාර්ලිමේන්තු වරම් හිමිවුණු මන්ත්‍රීවරුන් තිදෙනා සහ ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රමාණයන් පහත ආකාරයට දක්වන්නට පුළුවන්.

1) ඒ. ඊ. ගුණසිංහ (කම්කරු පක්ෂය)- ඡන්ද 23,470

2) ටී. බී. ජයා (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 18,439

3) පීටර් කේනමන් (කොමියුනිස්ට් පක්ෂය)- ඡන්ද 15,435

ටී.බී ජයා (Geni)

පිට පිටම මැතිවරණ 2ක දී මැද කොළඹින් පළමු තැනට 

1947 මහා මැතිවරණය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි පීටර් කේනමන් ඉන් පසුව මැද කොළඹ ජනතාව වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළා. මැද කොළඹ තිබුණු දුගී පැල්පත් වෙත ගිය මෙම ඔහු එහි ජනතාව සමග කතා කරමින් ඔවුන්ගේ ප්‍රශ්නවලට හැකි අයුරින් විසඳුම් ලබාදුන්නා. ධනවත් පවුලක ඉපදුණු කේනමන් වැනි අයෙකු ඒ අයුරින් දුගී ජනතාව අතරට යාම ගැන මැද කොළඹ ජනයා දැඩි ප්‍රීතියකින් කතා කරන්නට වුණා. එනිසා පීටර් කේනමන් මැද කොළඹ ජනතාව අතර ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා. එහි අවසන් ප්‍රතිඵලය වුණේ 1952 මහා මැතිවරණයේ දී පීටර් කේනමන් මැද කොළඹ පළමු මන්ත්‍රීවරයා වශයෙන් තේරී පත්වීම යි. එවර මහා මැතිවරණයේ දී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වුණේ මැද කොළඹ හොල්ලාගෙන සිටි ඒ. ඊ. ගුණසිංහට පාර්ලිමේන්තු වරම් අහිමිවීම යි. පහත දක්වා තිබෙන්නේ 1952 මහා මැතිවරණයේ මැද කොළඹ ආසනයේ ඡන්ද ප්‍රතිඵලය යි.

1) පීටර් කේනමන් (කොමියුනිස්ට් පක්ෂය)- ඡන්ද 32,346

2) ඇම්. සී. ඇම්. කලීල් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 25,647

3) රාසික් ෆරීඩ් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 24,911

4) ඒ. ඊ. ගුණසිංහ (කම්කරු පක්ෂය)- ඡන්ද 19,843

5) පී. ද ඇස්. කුලරත්න (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 14,556

එවර මහා මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව කේනමන් මැද කොළඹ ජනතාවට තවත් ලෙන්ගතු වුණා. එනිසා ඔහු පෙරටත් වඩා සිය ආසනයේ ජනතාවට සේවය කළා. එයට කෘතගුණ සලකන්නට මැද කොළඹ ජනතාව අමතක නොකළ නිසා 1956 මහා මැතිවරණයේ දී යළි මැද කොළඹ අසුන ජයගන්නට කේනමන් සමත් වුණා. එදා මැද කොළඹ ආසනයේ ඡන්ද ප්‍රතිඵලය මෙලෙස සටහන් වුණා.

1) පීටර් කේනමන් (කොමියුනිස්ට් පක්ෂය)- ඡන්ද 45,296

2) රාසික් ෆරීඩ් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 26,512

3) ඇම්. ඇස්. තේමිස් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- 20,378

4) ඇම්. සී. ඇම්. කලීල් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 20,338

5) වී. ඒ. සුගතදාස (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 18,234

6) ඒ. ඊ. ගුණසිංහ (කම්කරු පක්ෂය)- ඡන්ද 16,678

පීටර් කේනමන් (Roar)

තවත් වසර 14ක් සිය අසුන රැකගනියි 

1956 මහා මැතිවරණයෙන් කේනමන් ජයග්‍රහණය කිරීමෙන් පසුව සිය ඡන්දදායකයා අමතක නොකළ නිසා මැද කොළඹ ජනතාව කිසිම දිනක ඔහුව අතහැර ගියේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1960-1965 අතර පැවති මහා මැතිවරණ 3 දීම කේනමන්ට පාර්ලිමේන්තු වරම් ලැබුණා. පහත දක්වා තිබෙන්නේ එම මැතිවරණවල ඡන්ද ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.

1960 මාර්තු මැතිවරණය

1) ඇම්. සී. ඇම්. කලීල් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 33,121

2) පීටර් කේනමන් (කොමියුනිස්ට් පක්ෂය)- ඡන්ද 30,574

3) රණසිංහ ප්‍රේමදාස (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 29,828

4) බාලා තම්පෝ (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 22,228

1960 ජූලි මැතිවරණය

1) රාසික් ෆරීඩ් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 45,342

2) පීටර් කේනමන් (කොමියුනිස්ට් පක්ෂය)- ඡන්ද 38,663

3) ඇම්. සී. ඇම්. කලීල් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 37,486

4) රණසිංහ ප්‍රේමදාස (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 35,035

1965 මැතිවරණය

1) ෆලීල් කපූර් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 68,472

2) රණසිංහ ප්‍රේමදාස (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 64,438

3) පීටර් කේනමන් (කොමියුනිස්ට් පක්ෂය)- ඡන්ද 41,478

පළමු වතාවට කැබිනට් ඇමති තනතුරක් හිමිවෙයි 

1970 මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පරාජයක් ලැබුවා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, සහ ලංකා කොමියුනිස්ට් පක්ෂය එක්ව සමගි පෙරමුණු ආණ්ඩුව ගොඩනැගුවා. එම ආණ්ඩුවේ නිවාස සහ ගොඩනැගිලි කැබිනට් ඇමති තනතුර පීටර් කේනමන්ට හිමිවුණා. එය කේනමන්ගේ දේශපාලන දිවියේ කැබිනට් ඇමති තනතුරක් ලැබුණු පළමු අවස්ථාව යි. පහත දැක්වෙන්නේ ඔහුට එම අවස්ථාව ලැබීමට හේතුවුණු 1970 මහා මැතිවරණයේ මැද කොළඹ ඡන්ද ප්‍රතිඵලය යි.  

1) රණසිංහ ප්‍රේමදාස (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 69,310

2) ෆලීල් කපූර් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 63,624

3) පීටර් කේනමන් (කොමියුනිස්ට් පක්ෂය)- ඡන්ද 58,557

කේනමන්ගේ දේශපාලන දිවියේ අවසානය 

1977 මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ 5/6ක බලයක් හිමිවුණේ එක්සත් ජාතික පක්ෂයට යි. එවර මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වාමාංශික පක්ෂවලට දරුණු පරාජයක් හිමිවුණා. එහි දී දශක 3ක් පුරාවට අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රබල වාමාංශික නායකයන් පවා පරාජයට පත්වුණා. පීටර් කේනමන් ද මැද කොළඹින් පරාජයට පත්වුණා. එම පරාජයත් සමගම ඔහු සිය දේශපාලන දිවියෙන් සමුගැනීමට තීරණය කළා. පහත දැක්වෙන්නේ එදා මැද කොළඹ ආසනයේ ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණු ආකාරය යි.

1) රණසිංහ ප්‍රේමදාස (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 94,128

2) ජබීර් කාදර් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 58,972

3) හලීම් ඉෂාක් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 53,777

4) මුතු සෙල්ලසාමි (ලංකා කම්කරු කොංග්‍රසය)- ඡන්ද 26,964

5) පීටර් කේනමන් (කොමියුනිස්ට් පක්ෂය)- ඡන්ද 24,568 

කවරයේ ඡායාරූපය- පීටර් කේනමන් සිය ආසනයේ ඡන්ද දායකයින් හමුවී (කේනමන් සහෝදරයා)

මූලාශ්‍රයයන්- කේනමන් සහෝදරයා- බන්ධුල ආර් ගුලවත්ත

Related Articles