Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දිළිඳු බව සතුට කර ගත් උරුගුවේ හිටපු ජනපති – ජෝස් මුජිකා

බොහෝ රටවල තත්ත්වය සලකා බලන විට සාමාන්‍ය පුරවැසියන් මෙන් නොව දේශපාලනඥයන් ඉතා සුඛෝපභෝගී ජීවිත ගත කරන බව අප කවුරුත් දන්නා කරුණකි. විවිධ දීමනා, නිල නිවාස, සුඛෝපභෝගී වාහන, ආරක්ෂක නිලධාරීන් සහ අනිකුත් කාර්ය මණ්ඩලය වැනි බොහෝ වරප්‍රසාදවලට හිමිකම් කියන දේශපාලනඥයන්, ඔවුන් භුක්ති විඳින අසීමිත වරප්‍රසාද නිසා නිරන්තර ජනතා විරෝධයට ද ලක් වේ.

ජාතික මට්ටමේ දේශපාලනඥයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වී, නියෝජ්‍ය අමාත්‍ය සහ කැබිනට් අමාත්‍ය වැනි ඉහළ තනතුරුවලට පත් වීමත් සමගඟ ඔවුන්ට හිමි වරප්‍රසාද තවත් වැඩි වේ. එම තනතුරුවලිනුත් ඔබ්බට ගොස් අග්‍රාමාත්‍ය සහ ජනාධිපති වැනි ඉහළ ම තනතුරු දරන දේශපාලනඥයන්ට කිසිදු දේශපාලඥයකුට නොලැබෙන තරම් වරප්‍රසාද හිමි වේ.

ජෝස් මුජිකා – www.bbc.com

මේ අයුරින් සාමාන්‍ය ජනතාව කොතරම් දුෂ්කරතා මධ්‍යයේ ජීවන අරගලයේ යෙදී සිටියත් ඒ පිළිබඳ කිසිදු තැකීමක් නැතිව, සියලු සැප සම්පත්වලින් පිරි ජීවිත ගත කරමින්, තමන්ට රිසි සේ කටයුතු කරන දේශපාලනඥයන් අතර, දේශපාලනඥයකු ලෙස තමන්ට ලැබෙන සියලු වරප්‍රසාද ප්‍රතික්ෂේප කර ඉතා සරල දිවි පෙවෙතක් ගත කළ අය ද නැතුවා නොවේ.

ඉතා සරල වටපිටාවක්

සේදූ රෙදි වියළීමට මිදුලේ තැන තැන වනා ඇත. රෙදි සේදීමට, ඉවුම් පිහුම් කටයුතු, වගා කටයුතු සහ අනිකුත් සියලු අවශ්‍යතාවලට ජලය ලබා ගන්නා, වල් පැළෑටිවලින් පිරී ගිය ළිඳක් මිදුලේ කෙළවරක පිහිටා තිබේ. පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සහ කකුල් තුනක් පමණක් සහිත ‘මැනුවෙලා’ නම් බැල්ලක පමණක් මිදුලේ සෝදිසියෙන් සිටිති.

මුජිකා ගේ බිරියට අයත් නිවස – www.bbc.com

ජනාධිපතිවරයකුගේ නිවසක්?

ඉහත විස්තර කළ පරිසරය දකුණු අමෙරිකානු රටක ජනාධිපතිවරයකුගේ නිවස අවට පරිසරය බව ඔබට විශ්වාස කළ හැකි ද? පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සහ ආබාධිත බැල්ලකගේ පමණක් රැකවරණය ලබමින්, ඉතා ගම්බද ප්‍රදේශයක පිහිටි මේ නිවසේ කාලය ගත කරන්නේ 2010 සිට 2015 දක්වා උරුගුවේ රාජ්‍යයේ 40 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජෝස් මුජිකා ය. ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යාමෙන් අනතුරු ව බලයක් නොමැති වර්තමානයේ පමණක් නොව ධුරය දරන කාලයේ ද ඔහු ජීවත් වූයේ මේ කුඩා නිවසේ ය.

මුජිකා ම පවත්වාගෙන යන ගොවිපොළ

ජනාධිපතිවරයාගේ නිල නිවස වශයෙන් රජය වෙන් කර ඇති උරුගුවේ රාජ්‍යයේ අගනුවර වන මොන්ටෙවීඩියෝ හි පිහිටි අති සුඛෝපභෝගී නිවස ප්‍රතික්ෂේප කළ ඔහු සිය බිරියට අයත් කුඩා ගොවිපොළක පිහිටි මෙම නිවසේ ජීවත් වීමට තීරණය කළේ ය.

මල් වගාව යෙදෙන මුජිකා සහ ඔහුගේ බිරිය – www.carbono.news

එය උරුගුවේ අගනුවර සිට බොහෝ දුර බැහැරට වන්නට පිහිටා ඇති නිවසකි. තරමක් පැරැණි නිවසක් වන එය, උරුගුවේහි සාමාන්‍ය ආදායමක් ලබන ව්‍යාපාරිකයකු ජීවත් වන නිවසකටත් වඩා කුඩා, අවම පහසුකම්වලින් පමණක් සමන්විත එකකි.

නිවස පිහිටි ඉඩමේ කුඩා ගොවිපොළක් පිහිටා ඇති අතර එහි එළවළු, පලතුරු සහ මල් වර්ග වැනි දෑ වගා කරන්නේ ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිය ම වීම විශේෂත්වයකි. ඊට අමතර ව සිය බිරියට අයත් පැරැණි ට්‍රැක්ටරයක් භාවිත කරමින් වගා කටයුතු සඳහා අවශ්‍ය ආකාරයට පොළොව සකස් කිරීම සිදු කරන්නේ ද මුජිකා ය. ඒ සඳහා බිරියගෙන් ඔහුට ලැබෙන්නේ ද සුවිශාල සහයකි.

මුජිකා සිය බිරියට අයත් ට්‍රැක්ටරය සමඟ – www.pinterest.com

මාසික වැටුප

2010- 2015 දක්වා ධුරය දැරූ කාලයේ පටන් මේ දක්වා ලොව වඩාත් ම දිළිඳු ජනාධිපතිවරයා ලෙස සැලකෙන්නේ මුජිකා ය. ඔහුගේ ජීවන රටාව ලොව වටා සිටින බොහෝ රාජ්‍ය නායකයන්ගේ ජීවන රටාවෙන් බොහෝ සෙයින් වෙනස් එකකි. ඉතා සරල ජීවිතයක් ගත කරන ඔහු, ධුරය දරන කාලයේ තමන්ට හිමි මාසික වැටුප පවා සම්පූර්ණයෙන් ම ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේ ය. ඒ වන විට ඔහුට ලැබුණු වැටුපෙන් 90%ක් පමණ, එනම් අමෙරිකානු ඩොලර් 12,000කට ආසන්න ප්‍රමාණයක් ඔහු විවිධ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කළේ ය. ඔහු ධුරයෙන් විශ්‍රාම ගිය පසු ලැබෙන විශ්‍රාම වැටුපෙන් ද වැඩි කොටසක් පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කරන බව කියැවේ.

ධුරය දරන සමයේ වත්කම් ප්‍රකාශ

උරුගුවේ සියලු රාජ්‍ය නිලධාරීන් අනිවාර්යයෙන් ම සිය වත්කම් පිළිබඳ තොරතුරු වාර්ෂික ව ඉදිරිපත් කළ යුතු අතර 2010 වසරේ දී මුජිකා ඉදිරිපත් කළ වත්කම් ප්‍රකාශයේ ඔහුගේ වත්කම්වල වටිනාකම ලෙස සඳහන් වුනේ අමෙරිකානු ඩොලර් 1,800කි. එය, ඔහු සතු 1987 වසරේ නිෂ්පාදිත වොක්ස්වැගන් බීට්ල් වර්ගයේ මෝටර් රථයේ වටිනාකම වේ.

මුජිකාගේ මෝටර් රථය –  amp.dw.com

ඊට වසර දෙකකට පසු, එනම් 2012 දී ඔහු ඉදිරිපත් කළ වත්කම් ප්‍රකාශයට සිය බිරියට අයත් දේපළ ද ඇතුළත් කරන්නට මුජිකා කටයුතු කළේ ය. ඒ දේපළ අතරට ඔවුන් ජීවත් වන ඉඩම, නිවස සහ වගා කටයුතු සඳහා භාවිත කරන ට්‍රැක්ටරය ඇතුළත් වූ අතර ඒ සියලු දේපළවල වටිනාකම අමෙරිකානු ඩොලර් 215,000ක් පමණක් විය.

එය ඒ වන විට උරුගුවේ උප ජනාධිපති ධුරය දැරූ ඩැනිලෝ අස්ටෝරි ප්‍රකාශයට පත් කළ ඔහුට අයත් දේපළවල වටිනාකමෙන් තුනෙන් දෙකක් පමණක් වීම විශේෂත්වයකි. ඊට අමතර ව මුජිකාගේ දේපළවල වටිනාකම ඔහුට පෙර, උරුගුවේ ජනාධිපති ධුරය දැරූ ටබරේ වස්කුවෙස්  ප්‍රකාශයට පත් කර තිබූ දේපළවල වටිනාකමින් තුනෙන් එකක් පමණක් විය.

මුජිකා සහ බිරිය විවේකීව කාලය ගත කරන අයුරු – www.cinemropa.org

 සරල ජීවන රටාවට ඇලුම් කරන මුජිකා

මැනුවෙලා ඉරා දමා ඇති ආවරණයක් සහිත පැරැණි පුටුවක අසුන්ගත් මුජිකා සිය සරල ජීවන රටාව පිළිබඳ ව අදහස් දැක්වූයේ පහත පරිදි ය:

“ලෝකයේ දුප්පත්ම ජනාධිපති’ කියලා මාව හඳුන්වනවා, නමුත් මං දුප්පත් කියලා මම හිතන්නේ නැහැ. සුවපහසු ජීවිතයක් ගත කිරීමේ අරමුණින් දිගින් දිගට ම විවිධ දෑ උපයන, තමන් සතු දෙයින් කිසිදා සෑහීමකට පත් නොවෙන අය තමයි දුප්පත්. මේක නිදහස සම්බන්ධ කාරණයක්. ඔබ සතුව බොහෝ දේ නැත්නම්, ඔබට දාසයෙක් වගේ ඔබ සතු දේවල් රැක ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිදහස ලැබුණු පසු ඔබට ඔබ වෙනුවෙන් කාලය වෙන් කළ හැකි වෙනවා.” 

කවරයේ ඡායාරූපය - ලොව දුප්පත්ම ජනාධිපති ලෙස සැලකෙන, මේ වන විට විශ්‍රාමික, ජෝස් මුජිකා - amp.theguardian.com 

මූලාශ්‍ර:

www.bbc.com 

www.amp.theguardian.com 

www.amp.dw.com

Related Articles