බ්‍රිතාන්‍යයේ ෆිලිප් කුමරුගේ දිවියෙන් අවස්ථා 10ක්

පසුගිය අප්‍රේල් 9 වැනිදා බ්‍රිතාන්‍යයේ ජනතාවට ශෝකජනක දිනයක්. ඒ, අවුරුදු 99ක් ආයු වැළඳූ ෆිලිප් කුමරු අභාවප්‍රාප්තවීම නිසා යි. බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ ස්වාමිපුරුෂයා වන ෆිලිප් කුමරු හඳුන්වනු ලබන්නේ “එඩින්බරෝහි ආදිපාදවරයා” ලෙස යි. පසුගිය කාලයේ අසනීපයෙන් පසුවුණු ෆිලිප් කුමරුට කොරෝනා වෛරසය පවා ආසාදනය වී තිබුණා. එසේම මීට කිහිපයකට පෙර සිදුකරන ලද හෘද සැත්කමක් නිසා ඇතිවුණු සංකූලතා හේතුවෙන් ෆිලිප් කුමරු ටික දිනක් රෝහල්ගත කර සිටියා. එම රෝගී තත්ත්වය සුවවීමෙන් පසු වින්ඩ්සර් මාළිගයේ විවේක ගනිමින් සිටි සමයේ හදිසියේ අසනීප වුණු කුමරුට හදිසි ප්‍රතිකාර සිදුකළත් ජීවිතය බේරාගැනීමට හැකිවුණේ නැහැ. 

සිය ජීවන ඉනිම නිමාකළ ෆිලිප් කුමරු බ්‍රිතාන්‍යය තුළ ජනප්‍රිය පුද්ගලයෙක්. ඉතාමත් ආකර්ෂණීය ගති පැවතුම් තිබුණු, සාමාන්‍යයෙන් විනෝදයට බර පුද්ගලයෙකු වුණු ෆිලිප් කුමරු වරක් 1999 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පැවති සාදයක දී ශ්‍රී ලංකා නායක අර්ජුනට, “ලෝක කුසලානය වෙන කණ්ඩායමකට දිනන්න දෙන්න ඕනි හන්ද මේ පාර වැඩිය සෙල්ලම් පෙන්නුවේ නෑ නේද?”යි පවසා තිබුණා.

සැහැල්ලු ජීවිතයක් ගතකළ ෆිලිප් කුමරු ගැන අපට මීට පෙර වැඩි යමක් කතා කිරීමට අවස්ථාවක් ලැබී තිබුණේ නැහැ. එනිසා ෆිලිප් කුමරු ගැන කතා කිරීමට හොඳම අවස්ථාව මෙය යි. මේ ලිපියෙන්, අපි ඔබ ෆිලිප් කුමරුගේ දිවියේ අවස්ථා සහ කාලයන් 10ක් අනුමාතෘකා යටතට ගොනුකර තිබෙනවා.  

1. ෆිලිප් කුමරුගේ ජීවිතයේ මුල් අවධිය 

ෆිලිප් කුමරු (WRKF)

1921 ජූනි 10 වැනිදා ග්‍රීසියේ කෝෆු දූපතේ දී ඇන්ඩෘ කුමරුට සහ බැටන්බර්ග්හි ඇලිස් කුමරියට දාව ෆිලිප් කුමරු උපත ලැබුවා. රාජකීය පවුලක උපත ලැබූ ෆිලිප් කුමරුට ග්‍රීක සහ ඩෙන්මාර්ක් රජ පවුල්වලට ඥාති සම්බන්ධයක් තිබුණා. පවුලේ එකම පිරිමි දරුවා වුණු ෆිලිප්ට, මාගරීටා, තියඩෝරා, සිසිලි, සහ සොෆී යනුවෙන් වැඩිමහල් සහෝදරියන් සිව්දෙනෙකු සිටියා. 

ෆිලිප් කුමරු ඉපදී වසරක් පමණ යනතුරු සැප පහසුකම් විඳිමින් ජීවත්වුණා. නමුත් 1922 වසරේ අග භාගයේ දී ෆිලිප් කුමරුගේ මාමා වුණු පළමු කොන්ස්ටන්ටයින් රජු බලයෙන් නෙරපා දැමීමෙන් පසුව ෆිලිප් කුමරුගේ දෙමාපියන් සිය දරුවන් ද රැගෙන ප්‍රංශයේ පැරිස් නගරයේ පදිංචියට ගියා. 

2. රටවල් 3ක පාසල්වලින් අධ්‍යාපනය ලැබුවා 

ෆිලිප් කුමරු ළමා අවධියේ දී (gettyimages)

ෆිලිප් කුමරු මූලික අධ්‍යාපනය ලබාගත්තේ පැරිස් නගරයේ එල්ම්ස් නම් පාසලෙන්. ඉන් අනතුරුව කුමරු මහා බ්‍රිතාන්‍යයේ චෙම් පාසල වෙත යවනු ලැබුවා. එංගලන්තයට ගිය කුමරු ඔහුගේ මිත්තණිය වුණු වික්ටෝරියා මවුන්ට්බැටන් සහ මාමා වුණු ජෝර්ජ් මවුන්ට්බැටන් යන අය විසින් රැකබලා ගැනුනා. 

කුමරු එංගලන්තයේ අධ්‍යාපනය ලබමින් සිටින අතරතුර ඔහුගේ මව භින්නෝන්මාදය (භින්නෝන්මාදය ගැන දැනගන්න මේ ලිපිය කියවන්න: නොපෙනෙන අය කතාකරනු ඇසෙන, “භින්නෝන්මාදය”) නම් රෝගයෙන් පෙළෙන බව හඳුනාගැනීම නිසා ප්‍රතිකාර සඳහා යොමුකරනු ලැබුවා. මේ වන විට ෆිලිප්ගේ කුමරුගේ  සහෝදරියන් සිව්දෙනා ජර්මානු කුමාරවරුන් සමග විවාහ වී ජර්මනියේ පදිංචියට ගොස් සිටියා. එනිසා 1933 වසරේ දී පමණ ෆිලිප් කුමරු ද ජර්මනියට ගොස් අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. ඒ අනුව ෆිලිප් කුමරු ප්‍රංශය, එංගලන්තය සහ ජර්මනිය යන රටවල්වල පාසල් 3කින් අධ්‍යාපනය ලබා තිබෙනවා.

3. නාවික හමුදා ජීවිතය 

රාජකීය නාවික හමුදා භටයෙකු ලෙසින් (gettyimages)

ෆිලිප් කුමරු 1939 වසරේ දී ශිෂ්‍ය භටයෙකු ලෙස රාජකීය නාවික හමුදාවට එකතු වුණා. ඉන් පසුව ඔහුට ලැබුණු පුහුණුවේ දී පෙන්වූ දස්කම් නිසා 1940 වසරේ දී රැමිලීස් නම් යුධ නෞකාවේ මිඩ්ෂිප්මන් තනතුරට තේරී පත්වුණා. ඉන්දියන් සාගරයේ යාත්‍රා කළ රැමිලීස් නෞකාවේ සමග එක්වෙමින් පෑ හපන්කම් නිසා උප ලුතිනන් තනතුර දක්වා උසස් වුණු ෆිලිප් කුමරු 1942 වසරේ දී ලුතිනන්වරයකු දක්වා ඉහළට ගියා. 

රාජකීය නාවික හමුදාවේ ලුතිනන්වරයෙකු ලෙස සේවය කළ ෆිලිප් කුමරු දෙවන ලෝක යුධ සමයේ දීත් විශිෂ්ට සේවාවක් ඉටු කළා. දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව ද රාජකීය නාවික හමුදාවේ සේවය කළ ෆිලිප් කුමරු 1952 වසර වන විට කොමදෝරුවරයෙකු බවට පත්ව සිටියා. නමුත් එම කාලයේ දී 6 වන ජෝර්ජ් රජු අභාවයට පත්වීමත් සමගම ෆිලිප්ගේ නාවික හමුදා ජීවිතය අවසන් වුණා.

4. ෆිලිප්ගේ සහ එළිසබෙත්ගේ ආදර කතාව 

ෆිලිප් කුමරු සහ එළිසබෙත් කුමරිය (The Sun)

1939 වසරේ දී පමණ 6 වන ජෝර්ජ් රජතුමා සහ එළිසබෙත් කුමරිය ඩාර්ට්මත් රාජකීය නාවික විද්‍යාලයට පැමිණියා. ෆිලිප් කුමරු සහ එළිසබෙත් කුමරිය දැන හඳුනාගත්තේ එහිදී යි. එළිසබෙත් කුමරිය සහ ෆිලිප් කුමරු අතර යම් ඥාති සම්බන්ධතාවයක් තිබුණා. එම නිසා ඔවුන් දෙදෙනා නිතර ලිපි හුවමාරු කරගත්තා. ටික කලක් යන විට ඔවුන් දෙදෙනා අතර තිබුණු සම්බන්ධතාවය ආදරයකට පෙරළුණා.  

සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍යයේ රජ පවුලේ සිරිත වන්නේ යෝජිත විවාහයන් සිදුකිරීම වුණත්, එම සම්ප්‍රදාය කඩ කළ එළිසබෙත් කුමරිය 1946 වසරේ දී පමණ ෆිලිප් කුමරු පිළිබඳව සිය පිය රජතුමාට පවසා සිටියා. ඒ වන විට ෆිලිප් කුමරුගේ සහෝදරියන් ජර්මානු රාජකීය පවුල්වලට සම්බන්ධ වී සිටි නිසා රජතුමා සිය දියණියගේ යෝජනාවට මුලින්ම වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ. නමුත් පසුව ෆිලිප් කුමරුගේ සහ එළිසබෙත් කුමරියගේ විවාහයට රජතුමාගේ ආශීර්වාදය ලැබුණා. 

5. ෆිලිප් කුමරුගේ සහ එළිසබෙත් කුමරියගේ විවාහය 

විවාහ මංගල උත්සවය (gettyimages)

1947 වසරේ ජූලි මාසයේ දී ලුතිනන් ෆිලිප් මවුන්ට්බැටන් සහ එළිසබෙත් කුමරියගේ විවාහ ගිවිසගැනීම පිළිබඳව නිවේදනය කෙරුණා. ඉන් මාස 4කට පමණ පසු නොවැම්බර් 20 වැනිදා ෆිලිප් කුමරුගේ සහ එළිසබෙත් කුමරියගේ විවාහ මංගල්‍යය වෙස්මිනිස්ටර් ඇබේහි දී පැවැත්වුණා. 

ඔවුන් දෙදෙනා මධුසමය ගතකිරීම සඳහා මවුන්ට්බැටන් සාමිවරයාගේ හැම්ෂයර් නිවහන වුණු බ්‍රෝඩ්ලන්ඩ්ස් වෙත ගියා. ඉන්පසු ඔවුන් බැල්මොරල් වතුයායේ පිහිටි බර්කෝල් මන්දිරය වෙත ගියා.

6. එංගලන්ත මහ රැජිණගේ ස්වාමිපුරුෂයා බවට පත්වීම 

එළිසබෙත් රැජිණගේ අභිෂේක මංගල්‍යය උත්සවය පැවති දිනයේ දී (gettyimages)

1947 වසරේ දී ෆිලිප් කුමරු සහ එළිසබෙත් කුමරිය විවාහ වන විට 6 වන ජෝර්ජ් රජතුමා එංගලන්තයේ රජකම දරමින් සිටියා. නමුත් 1952 පෙබරවාරි 6 වැනිදා ජෝර්ජ් රජු මරණයට පත්වුණා. එයින් එළිසබෙත් කුමරියට දෙවන එළිසබෙත් නමින් බ්‍රිතාන්‍යයේ රජකම හිමිවුණා. රැජිණගේ රාජාභිෂේක උත්සවය පැවැත්වුණේ 1953 ජූනි 2 වැනිදා යි. 

එළිසබෙත් කුමරිය දෙවන එළිසබෙත් යන නමින් රජකමට පත්වෙද්දී එඩිංබරෝහි ආදිපාදවරයා වුණු ෆිලිප් කුමරු එංගලන්ත මහ රැජිණගේ ස්වාමිපුරුෂයා බවට පත්වුණා. 

7. ෆිලිප් සහ එළිසබෙත්ට දරුවන් සිව් දෙනෙකු ලැබුණා 

ෆිලිප් කුමරු සහ රැජිණ දරුවන් සමග (gettyimages)

ෆිලිප් සහ එළිසබෙත් යුවලට මුලින්ම උපත ලැබූ කුමරාට චාල්ස් යන නම තබනු ලැබුවා. 1948 වසරේ නොවැම්බර් 14 වැනිදා උපත ලැබූ චාල්ස් කුමරු වේල්සයේ කුමාරයා ලෙස හඳුන්වනු ලැබුවා (නමුත් දැන් ෆිලිප් කුමරුගේ අභාවයත් සමග එඩිංබරෝහි ආදිපාද තනතුර ඔහුට ලැබෙනවා). චාල්ස්ගෙන් පසුව ඈන් කුමරිය 1950 අගෝස්තු 15 වැනිදා උපත ලැබුවා. ඇයට 1987 වසරේ දී එළිසබෙත් මහ රැජිණගෙන් රජකීය කුමරිය යන නාමය ලැබුණා. 1960 පෙබරවාරි 19 වැනිදා ඇන්ඩෘ කුමරු බ්‍රිතාන්‍ය රජ පවුලට එකතු වුණා. මේ වන විට 61 හැවිරිදි වියේ පසුවන ඇන්ඩෘ කුමාරයා යෝක්හි ආදිපාදවරයා ලෙසින් හඳුන්වනු ලබනවා. බ්‍රිතාන්‍ය රජ පවුලේ ලාබාලම කුමාරයා වන එඩ්වඩ් 1964 මාර්තු 10 වැනිදා උපත ලැබුවා. ඔහුට අද වන විට හිමිව තිබෙන්නේ වෙසෙක්ස්හි අර්ල් තනතුර යි. 

8. ෆිලිප් කුමරු ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක්වූ කෙනෙක් 

ෆිලිප් කුමරු ක්‍රිකට් ක්‍රීඩා කරමින් (gettyimages)

ෆිලිප් කුමරු තරුණ කාලයේ සිටම ක්‍රීඩාවට මහත් ඇල්මක් දැක්වූ අයෙක්. ඔහු ක්‍රිකට්, අශ්ව රේස්, බයිසිකල් පෝලෝ, අශ්ව කරත්ත පැදවීම වැනි ක්‍රීඩාවල නිරත වුණා. බොහෝ විට ඔහු ඒවායේ තරග නැරඹීම සඳහා සහභාගි වුණා. එංගලන්තයේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි පැවති අවස්ථාවල දී ඔහු ඒවා නැරඹීමට පැමිණ සිටියා. 

9. ෆිලිප් කුමරුගේ විනෝදාංශ

මාළු බෑමේ නිරත වෙමින් (gettyimages)

ඉතාමත් සැහැල්ලුවෙන් විනෝදයෙන් සිටීමට කැමති පුද්ගලයෙකු වුණු ෆිලිප් කුමරුට විනෝදාංශයන් කිහිපයක් තිබුණා. දඩයම් කිරීම, මාළු බෑම, චිත්‍ර ඇඳීම, ගුවන් යානා පැදවීම යන ඒවා එම විනෝදාංශ අතරට අයත්වුණා. ඊට අමතරව පරිසර ගැටලු පිළිබඳව ද ෆිලිප් කුමරු නිතරම අවධානය යොමුකළා. මෝටර් රථවලින් පිටවන අධික දුම මඟින් වාතය දූෂණය වන නිසා ෆිලිප් කුමරු 1960 දශකයේ දී විදුලි මෝටර් රථයක් භාවිතා කළා. 

10. සිව් වාරයක් ලංකාවට පැමිණියා 

1981 වසරේ දී ලංකාවට පැමිණි ගමනේ අවස්ථාවක් (gettyimages)

ෆිලිප් කුමරු මුල්ම වරට ලංකාවට පැමිණියේ 1940 වසරේ දී, ඔහු බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ රාජකාරි කරන අවධියේ දී යි. දෙවන වරට, 1954 වසරේ දී එළිසබෙත් රැජිණ සහ ෆිලිප් කුමරු ලංකාවට පැමිණියා. එම ගමනේ දී ඒ යුවල ලංකාවේ බොහෝ ස්ථානවල සංචාරය කළා. එවර ෆිලිප් කුමරු නුවරඑළියේ තේ පැළයක් ද සිටවනු ලැබුවා. 

1981 වසරේ දී ෆිලිප් කුමරු සහ එළිසබෙත් රැජිණ යලිත් ලංකාවට පැමිණියා. මේ යුවල සිව්වෙනි වරට ලංකාවට පැමිණියේ 1985 වසරේ දී යි. ඒ වික්ටෝරියා ජලාශය විවෘත කිරීම සඳහා පැවති උත්සවයට යි. 

කවරයේ ඡායාරූපය- ෆිලිප් කුමරු සහ එළිසබෙත් රැජිණ 1953 වසරේ දී (gettyimages)

මූලාශ්‍රයයන්- smartlady.lk

Related Articles