වාර්තා පිට වාර්තා තැබූ පඬිරුවන: මහැදුරු බලගල්ලේ

අප රටේ විශිෂ්ට පඬිවරයෙක් ලෙස සැලකුණු මහාචාර්ය විමල් ගුණසේකර බලගල්ලේ පසුගිය ජූලි 16 දා දිවිසැරිය නිම කළා. මිය යන විට ඔහුගේ වයස  අවුරුදු 96ක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මුල් පුරුකක් වූ  මහාචාර්ය බලගල්ල පදිංචිව සිටියෙත් විශ්වවිද්‍යාලයට නුදුරින් නුගේගොඩ විජේරාම හන්දියේයි.  සිංහල, පාලි, ප්‍රාකෘත, සංස්කෘත, වංග ආදි ප්‍රාචීන භාෂා සාහිත්‍ය පිළිබඳත්, විශේෂයෙන් වාග්විද්‍යා විෂය පිළිබඳවත් අග්‍රගණ්‍ය උගතකු වශයෙන් විමල් ජී. බලගල්ලේ සම්භාවනාවට පාත්‍ර වී සිටියා. ඔහු සේවාර්ජිත මහාචාර්ය පදවියකින් ද සම්මාන ආචාර්ය උපාධි දෙකකින් ද පිදුම් ලැබූ විද්වතෙක්.

ජීවන තතු

විමල් ගුණසේකර දරුවා උපන්නේ 1924 නොවැම්බර් මස 24 වන දින ගම්පහ දිස්ත්‍රික්කයේ හාපිටිගම් කෝරළේ බලගල්ල නම් ගම්මානයෙයි. ඔහුගේ පියා කන්නංගර පතිරන්නැහෙලාගේ පීරිස් අප්පුහාමි  නම් වුණා.  මවගේ නම එන්සො නෝනා රණසිංහයි. සිවු හැවිරිදි වියේදී ඔහුට අකුරු කියවා තිබෙන්නේ පියා විසින්. පස් හැවිරිදි විය සම්පූර්ණ වූ පසු නිවසට ආසන්නව තිබූ උල්ලලපොළ විද්‍යාතිලක බෞද්ධ පිරිමි පාසලට සිප්සතර හැදෑරීමට ඇතුළු කෙරුණා. බාල කාලයේ පටන්ම ඉගෙනුමට ඔහු දැක්වූයේ අසීමිත දක්ෂතාවක්. සැම පන්තියකම ප්‍රථම ස්ථානය දිනා ගැනීමට විමල් සිසුවාට හැකි වුණා. 1938 දී එකල රජය මගින් පවත්වනු ලැබූ කනිෂ්ඨ පාඨශාලා සහතිකපත්‍ර (ජේ. එස්. සී.) පරීක්ෂණයේදී ප්‍රථම පන්ති සාමර්ථ්‍යක් ලබා ගත්තා.

 බලගල්ලේ සරස්වතී පිරිවෙන – divaina.com

බලගල්ලේ විමල බුද්ධි 

1938 දී ම ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා පල්ලේවෙල වික්‍රමශිලා පිරිවෙනට නේවාසික ශිෂ්‍යයකු වශයෙන් ඇතුළත් වුණා. මේ වන විට විමල් ගුණසේකර සිසුවා බලගල්ලේ විමලබුද්ධි නමින් පැවිදි දිවියට ඇතුළත් වී සිටියා ( ඔහුගේ පැවිදි ජීවිතය ගැන එතරම් තොරතුරු සොයා ගැනීමට නැහැ) පිරිවෙනේ ඉගෙනීමේ කටයුතුවල යෙදෙන අතර පසළොස්වක පොහෝ දිනයන්හි බලගල්ලේ සරස්වතී පිරිවෙනට යෑමට විමල බුද්ධි හිමියන් පුරුද්දක් කරගෙන සිටියා.  ඒ ගමන්වලදී හිස්සැල්ලේ ඤාණෝදය නාහිමියන්ගේ ආශ්‍රය නිසා පැවිදි ශිෂ්‍යයා තුළ ප්‍රාචීන භාෂා හා පිරිවෙන් අධ්‍යාපනය කෙරෙහි දැඩි ඇල්මක් ඇති වූ පැවසෙනවා. ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතිකපත්‍ර (එස්. එස්. සී.) විභාගයට   සූදානම් වන අතරම  ප්‍රාචීන භාෂා ඉගෙනීමට ද ඔහු උනන්දු වෙනවා.   

මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන – silumina.lk

විද්‍යෝදය පිරිවෙනට

විමල බුද්ධි හිමියන්ගේ  ජීවිතයේ වැදගත් අවස්ථාවක් ලෙස 1945 වර්ෂයේදී කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ උසස් අධ්‍යාපන අංශයට ඇතුළත් වීම සැලකීමට පුළුවන්. එහිදී පරිවේණාධිපති වූ බද්දේගම පියරතන නාහිමි, උන් වහන්සේගෙන් පසුව පරිවේණාධිපති වූ ද විද්‍යෝදය විශ්වවිද්‍යාලය ආරම්භ කළා වූද වැලිවිටියේ සෝරත නාහිමි, පලන්නරුවේ විමලධම්ම නාහිමි, ආචාර්ය දෙහිගස්පේ පඤ්ඤාසාර නාහිමි, කලුකොඳයාවේ ප්‍රඥාශේඛර නාහිමි ආදි පැවිදි පඬිවරුන්ගෙන් ඉගෙන ගැනීමේ භාග්‍යය විමලබුද්ධි හිමියන්ට ලැබෙනවා. පිරිවෙනේ දී සිංහල, පාලි, සංස්කෘත, ප්‍රාකෘත යන භාෂා සාහිත්‍යයන් සහ වෙනත් විෂයයන් හදාරා  1949 වර්ෂයේදී අධ්‍යාපනය අවසාන කෙළේ දක්ෂතම සිසුවාට හිමිවන ‘ශ්‍යාමරාජ’ ත්‍යාගය ද දිනා ගනිමින්.

ප්‍රාචීන භාෂොපකාර සමිතිය මගින් පවත්වන පණ්ඩිත විභාගයට විමලබුද්ධි හිමි පෙනී සිටියේ 1950 වසරේදියි. පණ්ඩිත උපාධි අවසන් විභාගයෙන් ද ඉහළම ලකුණු ලබා ‘ප්‍රාචීන ස්වර්ණ මුද්‍රිකාව’ ද දිනා ගත් ලංකාවේ පළමු ශිෂ්‍යයා බවට  ද පත්වුණා.  එම වාර්තාව පසු දා දිනමිණ පුවත් පතෙහි මුල් පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙසත් පළ කෙරුණා.

ඉන් පසුව විශ්වවිද්‍යාලය ප්‍රවේශ පරීක්ෂණයට පෙනී සිට සමත්ව 1952 දී පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව හිමි වෙනවා.   ඉගෙනුමට දක්වන දස්කම් නිසා ඒ වනවිටත් තරුණ විමලබුද්ධි හිමියන්ගේ කීර්තිය බොහෝ දෙනා අතර ප්‍රචලිතව පැවතුණා. 1956 දී බී. ඒ. ගෞරව විභාගයෙන් උසස් සාමර්ථ්‍යයක් ලැබීමත් සමඟ ම විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය ධුරයක් ද හිමිවෙනවා.

විද්‍යෝදයට මුල් වෙයි

 විද්‍යෝදය හෙවත් ජයවර්ධනපුර සරසවියේ සුමංගල ශාලාව – wikipedia.org

ගංගොඩවිල රේවත මහාවිද්‍යාලයේ ආචාර්වරයකු ලෙස උදේ වරුවත්, විද්‍යෝදය පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස සවස් වරුවත් යෙදවීමෙන් මුළු කාලය ඉගැන්වීමේ කටයුතුවලටම විමලබුද්ධි හිමියන් කැප කරනවා. මේ අතර විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කිරීමට රජයේ අවධානය යොමු වෙනවා. එවකට අධ්‍යාපන ඇමති ඩබ්ලිව්. දහනායකගේ ඉල්ලීම මත විද්‍යෝදය විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සකස් කිරීමට පත් කළ කමිටුවට බලගල්ලේ විමලබුද්ධි හිමියන් සමඟ වැලිවිටියේ සෝරත හිමි, මහාචාර්ය පරණවිතාන, පලන්නොරුවේ විමලධම්ම හිමිත් ඇතුළත් වුණා. එම කෙටුම්පත් 1956 දී අධ්‍යාපන ඇමැතිවරයාට පිළි ගන්වා තිබෙනවා.

1959 පෙබරවාරි 19 වන දා විද්‍යෝදය විශ්වවිද්‍යාලය නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර එහි විභාග කටයුතු භාර සහාය ලේඛකාධිකාරි තනතුරට පත් වූණේ විමලබුද්ධි හිමියෝයි.  ඊට අමතරව සිංහල පිළිබඳ කථිකාචාර්ය ලෙසින් ද කටයුතු කළා.  එම වර්ෂයේම ඔක්තෝබර් 1 දින සිංහල පිළිබඳ මහාචාර්ය සහ අධ්‍යයනාංශ ප්‍රධාන ධුරයන්ටද පත් වී තිබෙනවා. වයස තිස්පහේදී මහාචාර්ය ධුරයට පත් වීම වාර්තාවක් ලෙස සැලකෙනවා. මහාචාර්ය පදවියට පත් වුණේ ආචාර්ය උපාධියක් පවා නැතිව විශිෂ්ට භාෂා ප්‍රවීණතාව සහ බුද්ධි මහිමය නිසා වීම තවත් විශේෂයක්.

මේ අතර විමලබුද්ධි හිමියන් උපැවිදි වෙමින් විමල් ජේ. බලගල්ලේ යන නම ලබාගන්නවා. වරින් වර භාෂා පීඨාධිපති, ශාස්ත්‍ර පීඨාධිපති, මණ්ඩපාධිපති, වැඩ බලන උප කුලපති යන තනතුරු ද දරමින් විද්‍යෝදය සරසවියේ ප්‍රගමණයට වසර 32ක් තිස්සේ උරදෙනවා.

 මහාචාර්ය බලගල්ල සිය පුස්තකාලයේ දී – facebook

ලන්ඩනයේ පර්යේෂණ

1961 ඔක්තෝබර් සිට 1963 දෙසැම්බර් දක්වා යුනෙස්කෝ අධිශිෂ්‍යත්වයකින් ලන්ඩන් විශ්වවිද්‍යාලයට යාමට මහාචාර්ය බලගල්ලේට අවස්ථාව හිමිවෙනවා. එහි ගොස් වාග්විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුවක් ලබමින් පර්යේෂණ කටයුතුවල යෙදුණු අතර  අමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා පර්යේෂණවල නිරත වෙමින් පශ්චාද් උපාධි පුහුණුවක් ලැබීමට ද අවස්ථාවක් ලැබෙනවා.  ඒ අතරම ඩෙන්මාර්ක්හි කෝපන්හේගන් රාජකීය ඩෙනිෂ් ඇකඩමිය මගින් සම්පාදනය කරන විවේචනාත්මක පාලි ශබ්දකෝෂයේ සංස්කාරකවරයකු හා උපදේශකයකු වශයෙන් ද පත් කෙරෙනවා. පසුව යළිත් මෙරටට පැමිණි මහාචාර්ය බලගල්ලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සම්බන්ධ වෙනවා.

 තම උපහාර ග්‍රන්ථයට සමරු සටහනක් යොදමින් – facebook

පුරා වර්ෂ තිස්දෙකක් මහාචාර්ය පදවිය දරමින් සිසුන් දහස් ගණනක ගේ නුවණ පෑදීමට ඔහු කළ මෙහෙය අපමණයි.  විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු සේවයෙහි නියුක්තව සිටියදී ඒ විශ්වවිද්‍යාලය මගින් සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමීම ඉතා දුලබ අවස්ථාවක්. 1984 පැවති ජයවර්ධනපුර සරසවියේ රජත ජයන්ති උපාධි ප්‍රදානෝත්සවයේදී ඔහුගෙන්  විශ්වවිද්‍යාලයට වූ සේවාව අගයමින් ඩී.ලිට්. (සම්මාන) උපාධියක්  පිරිනමනවා. මහාචාර්ය බලගල්ලේ විද්‍යෝදය සරසවියෙන් විශ්‍රාම ලබන්නේ 1990 සැප්තැම්බර් 30 වනදායි.  විශ්වවිද්‍යාලයේ සනාතන සභාව ඒ අවුරුද්දේදී ම ඔහු වෙත සේවාර්ජිත මහාචාර්ය ධුරය ද පිරිනමනවා.

 භාෂාව ගැන ලියූ පොත් – facebook

ශාස්ත්‍රීය කෘති

මහාචාර්ය බලගල්ලේ  ග්‍රන්ථකරණයට පිවිසෙන්නේ 1950 තරම් අතීතයේදියි. ඔහුගේ පළමු කෘතිය පඤ්චතන්ත්‍රයේ අනුවාදයක්. 1958 දී ප්‍රකාශිත දෙවැනි පොත ෆාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවේ අනුවාදයක්. 1995 දී සම්පාදිත භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට ඉතා වැදගත් කෘතියක්.   භාෂා සාහිත්‍ය පෝෂණයෙහිලා රචිත  ශාස්ත්‍රීය ලිපි ලේඛන සංඛ්‍යාවත් අතිවිශාලයි. 1964 දී සිංහල ස්ථූපවංශ සංස්කරණය ද (මහාචාර්ය විමල් විජේසූරිය සමඟ) පළ කළා.  1995 දී භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය පොතටත් 1998 දී සිංහල භාෂාධ්‍යයන ඉතිහාසය යන ග්‍රන්ථයටත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද මහාචාර්ය බලගල්ලට හිමි වුණා.

1992 දී සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය, 1996 දී සිංහල භාෂාවේ ප්‍රභවය හා ප්‍රවර්ධනය 2001 දී මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්; සිංහලයේ වාග් විද්‍යාත්මක ස්වරූපය ආදී පොත්  පළ කර තිබෙනවා. 2014 දී ප්‍රකාශිත භාෂී සන්නිවේදනය අර්ථවිචාරය හා උපයෝගිතා විචාරය නමැති ග්‍රන්ථයත් උගතුන් අතර ඇගැයීමට ලක්වූ කෘතියක්.

 ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවති උපහාර උත්සවයකින් අනතුරුව- facebook

සම්මාන උපාධි දෙකක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය 1984 දී  ලබාදුන් සම්මාන ආචාර්ය උපාධියට අමතරව  ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයය 2008 දී ඔහු වෙත තවත් සාහිත්‍යසූරී උපාධියක් පිරිනමනවා.  2018 දී රාජකීය ආසියාතික සංගමයත් ඔහුගේ සේවය අගය කරමින් ස්වර්ණ මුද්‍රිකාවක් පිරිනමනවා.

 රාජකීය ආසියාතික සංගමයේ ස්වර්ණ මුද්‍රිකාව පිරිනමමින් – sjpac lk

නිහතමානී දැනුම බෙදන්නා

මහාචාර්ය බලගල්ලේ තම දැනුම නිර්ලෝභීව ලබාදුන් විද්වතෙක්. ලියුම්කරු පවා භාෂා ගැටලු ගැන ඔහුගෙන් කිහිප වරක් උපදෙස් ලබාගෙන තිබෙනවා. වර්තමානයේ රටේ තිබෙන භාෂා නොසැලකිල්ල ගැන ඔහු තුළ වූයේ කනගාටුවක්. මේ 2017 දී ලියුම්කරු සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්ය බලගල්ලේ පළ කළ අදහස් කීපයක්:

සෑම ජීව භාෂාවකම ක්‍රමික වෙනස්වීමක් තිබෙනවා. ක්‍රමික වෙනස්වීම් භාෂාවේ ජීව ශක්තිය ආරක්ෂා වීමට හේතු වෙනවා. නමුත් බොහෝදෙනා හිතාමතා අද කරන වෙනස් වීම් භාෂාවේ පරිහානියටයි හේතු වෙන්නේ. සම්මාන ලැබෙන හැම නවකතාවක්ම වගේ මා කියවනවා. සමහර ඒවායේ භාෂා භාවිතය බොහොම දුර්වලයි. මට නම් ඒවා කියවන විට හිතෙන්නේ හිතාමතාම භාෂාව වෙනස් කරලා ලියපු විකාර කියලයි. ඒ වාගේ දේවල් භාෂාවේ ඉදිරි ගමනට එතරම් හොඳ නොවන බවයි, මගේ මතය. අපේ විද්‍යුත් නාලිකා බහුතරයකින් භාෂාව මරණ බව ඇත්ත. ප්‍රචාරණ දැන්වීම් සඳහා ඉදිරිපත් කරන ප්‍රකාශන ආදියේ භාෂාව මැරීම බහුලයි.

 වියපත් මහැදුරු බලගල්ලේ -news.lk

ශබ්දකෝෂකරණය

බලගල්ලේ මහාචාර්යතුමන්ගේ ජාතික භාෂා මෙහෙවරේ තවත් ක්ෂේත්‍රයක් නම් ශබ්දකෝෂකරණයයි. සිංහල ශබ්ද කෝෂ උපදේශක මණ්ඩලයේ සේවය කළ ඔහු කලක් සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ ධුරය ද දැරුවා. වෘද්ධභාවයට යන විට බොහෝ උගතුන්ට අමතක ව යන පාලි, සිංහල, සංස්කෘත, ප්‍රකෘත ආදී භාෂා සාහිත්‍යයන්හි ස්මරණ ශක්තිය ඔහු තුළ මරණයට ආසන්න කාලයේ පවා එලෙසම පැවතුණා. ව්‍යාකරණ ගැටලුවක්, භාෂා සාහිත්‍ය ගැටලුවක් මතු වූ විට පොතපතින් පාඨ පාලි ගාථා, සංස්කෘත ශ්ලෝක උදාහරණ ගෙන හැර දක්වමින් ගැටලු විසඳීමේ හැකියාව ප්‍රකට කළා.

කවරයේ ඡායාරූපය- පණ්ඩිත විභාගයෙන් 1950 දී ස්වර්ණ මුද්‍රිකාව ලබාගත් මහාචාර්ය බලගල්ලේ- dinamina.lk

මූලාශ්‍ර:

sjp.ac.lk -භාෂා විෂයෙයහි විමල් ජී. බලගල්ල දායකත්වය- මහාචාර්ය රත්නසිරි අරංගල ලිපිය,

මහාචාර්ය ඒ. වී. සුරවීර ලිපිය

දේශන සම්ප්‍රදාන - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සව දේශන එකතුවකි

Related Articles