ශ්‍රී ලාංකික සිනමාවේ හා සංගීතයේ රැජිණ – රුක්මණී දේවී

දිනය 1947 වර්ෂයේ ජනවාරි 21 වනදා ය. ශ්‍රී ලාංකික සිනමා වංශ කතාවට අභිමානවත් ආරම්භයක් එක් කළ ඉන්දියාවේ රූගත කළ ප්‍රථම සිංහල කථා-නාද චිත්‍රපටය වූ “කඩවුණු පොරොන්දුව” මංගල දර්ශනය තිරගත වන මොහොතට ඉතුරුව තිබුණේ ඉතා ස්වල්ප වේලාවකි. කිංස්ලි සිනමා ශාලාව අවට වීදි අලංකාරව සරසා තිබුනේ වෙසක් උත්සව සැරසිලි වලට නොදෙවැනි ආකාරයෙනි. බැලු බැලූ අත එකම හිස් ගොඩකි.

මේ මොහොතේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති මහාමාන්‍ය ඩි.ඇස්. සේනානායක රැගත් මෝටර් රථය කිංස්ලි සිනමා ශාලාවට ලං වෙනවා. නමුත් රැස් කමින්, නොඉසිල්ලෙන් සිටින ජනකායෙන් සැලකිය යුතු පිළිගැනීමක් එතුමාට ලැබෙන්නේ නෑ.

මොහොතක් ගත විය. තවත් විවෘත මෝටර් රථයක් වටා පොදි ගැසෙමින් එක් රොක් වූ රසිකයන් ඉතා විශාල සංඛ්‍යාවකගේ ඔල්වරසන් මැද සිනමා ශාලාවට පිවිසෙන්නේ ස්ත්‍රී ලාලිත්‍යයෙන් අග තැන්පත්, දුටුවන් වශී කරවන තරුණියක්. ඒ අන් කිසිවකුත් නොව, කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ ප්‍රධාන නිළියට පණ පොවමින් හෙළ සිනමාවේ ස්ත්‍රී ආගමනයේ මූලාරම්භක නිළිය වූ රුක්මණී දේවිය යි.

ඉතින් අද සටහන නිළි රැජිණ, ගීත කෝකිලාවී රුක්මණී දේවී පිළිබඳවයි. ශ්‍රී ලාංකික සිනමාවේ ප්‍රථම චිත්‍රපට නිළිය ලෙස කිරුළු පැළඳි ඇය පිළිබඳව ඔබේ අදහසත් සටහන් කර යෑම අප අගය කර සලකනවා.

ඩේසි රාසම්මා ඩැනියෙල්ස්

රුක්මණී දේවී (Actress and Models)

නුවරඑළිය දිස්ත්‍රික්කයේ රම්බොඩ ප්‍රදේශයේ වතු වැවිලි කර්මාන්තයේ නියැලුණු ජෝන් ඩැනියෙල්ගේත්,  ගුරුවරියක් වූ  පෙළන් රෝස්ගේත් ගැහැණු දරුවන් පස් දෙනාගෙන් දෙවැනි ගැහැණු දරුවා වූ ඩේසි රාසම්මා ඩැනියෙල් උපත ලබන්නේ 1923 වර්ෂයේ  ජනවාරි 15 දිනයි. ඩේසි රාසම්මා ඩැනියෙල් යනු රුක්මණී දේවීගේ උප්පැන්න සහතිකයේ සදහන් නම යි.

ඇය කුඩා කාලයේදී ම ඇයගේ දෙමාපියන් කොළඹට පැමිණෙන්නේ ස්ථිර පදිංචිය සඳහා යි. බාල අවධියේ ම පල්ලියේ ගීතිකා කණ්ඩායමේ සාමාජිකාවක් වූ බැවින් කුඩා කළ සිට ඇයගේ ගී ගැයීමේ හැකියාව ක්‍රමයෙන් වර්ධනය වෙනවා.

හත් හැවිරිදි ඩේසි, දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේ එහි විවිධ ප්‍රසංගයකදී ගීතයක් ගායනා කරමින් නර්ථනයක යෙදීමට අවස්ථාව ලබා ගන්නවා. ඩේසි සතුව තිබුණු ලගන්නාසුළු පෙනුමත්, මිහිරි කටහඬත් නිසා එකල නර්තනයේ දස්කම් දැක්වූ පාසල් ගුරුවරියක් වූ  චන්ද්‍රලේඛා නම්  ප්‍රකට රංගන ශිල්පිණියගෙන් ගායනය හා නර්ථනය හදාරන්නට ඇයට අවස්ථාවක් ලැබෙනවා.

1935දී එනම් ඇයට වයස අවුරුදු  12 වන විට ඇය වෝල්ටර් අබේසිංහයන් විසින් එළිදැක්වීමට සූදානම් කර තිබූ “රාමායණය” වේදිකා නාට්‍යයේ “සීතා” ගේ චරිතය නිරූපණය කරන්නට සමත් වෙනවා. ඉන් පසුව කොළඹ ආනන්දයේ සිසුන් සමඟ “මායාවතී” නාට්‍යයේ ප්‍රධාන චරිතයක් ද ඇය නිරූපණය කරනවා.

වේදිකාව හැඩ කළ යුවතිය

වම්පස සිට දෙවැනියට සිටින්නේ රුක්මණී දේවී සිය පවුලේ සාමජිකයන් සමඟ (rukmani devi blog)

පසුකාලීනව බද්දේගම රතනසාර විද්‍යාලයේ ගුරුවරුන් හා ළමුන් සමග “රෝහිණී” නම් දෘශ්‍ය කාව්‍ය නාටකයේ  ඇය රඟ පාන්නේ කුඩා වයසේදී යි. ලුමන් රාජපක්‍ෂගේ “රාජ ද්‍රෝහියා” නාට්‍යයේ ස්‌ටැන්ලි මල්ලවආරච්චි සමග රඟපාන ඇය මොරටුවේ රඟදැක්‌ වු “රංගල අප්පු” නාට්‍යයෙහි ද මුල සිටම අග දක්‌වා විකට චරිතයක්‌ එඩී ජයමාන්නයන් සමඟින් මුල්වරට රඟපානවා.  සිස්‌ ඩයස්‌ගේ “ජානකී හරණයේ” ජානකී ලෙස ද, “කීකරු බිරිඳ” නාට්‍යයේ ද විශාඛා විදුහල් නාට්‍යක් වූ “සිරිසඟබෝ” හි රාජ දේවිය ලෙසත් විශිෂ්ට වේදිකා රංගනයක නිරත වෙනවා.

ඉන් පසුව එඩී ජයමාන්න සමඟ මීගමුවේ මිනර්වා සංචාරක නාට්‍ය කණ්‌ඩායමට ඇතුළත්වීමේ භාග්‍යය ඇයට හිමි වෙනවා. මිනර්වා නාට්‍ය කණ්ඩායමේ නාට්‍ය වලට මෙන්ම විශේෂයෙන් ඇය සම්බන්ධ වන්නේ එම නාට්‍ය කණ්ඩායමේ ගීත ගායනා කිරීම සඳහා යි. අද මෙන් තාක්ෂණය නොමැති එම කාලයේ නාට්‍යයේ එක් අවස්ථාවක් අවසාන වී අනෙක් නාට්‍ය අවස්ථාව සඳහා වේදිකාව සකසන තුරු ප්‍රේක්ෂකයන් රඳවා ගැනීමට එම විරාමය තුළ ගීත ගායනා කිරීමට රුක්මණී දේවී යොදවා තිබුණා.

ඩේසි රාසම්මා, රුක්මනි වසුන්දරා වී අනතුරුව රුක්මණී දේවී වීම.

රුක්මණී දේවී හා ඇගේ සැමියා වන එඩී ජයමාන්න ඉන්දීය නළු නිළියන් වන දෙව් ආනන්ද හා කල්පනා කාර්ත්‍රික් සමඟ (Rukmani Devi)

1939 ඔක්තෝබර් 29 දා එවකට පහළොස් හැවිරිදි රුක්මණීගේ පළමු ග්‍රැමෆෝන් තැටි ගීතය ලෙස “සිරි බුද්ධගයා විහාරේ” එච්.ඩබ්.රූපසිංහ මාස්ටර් සමඟින් ගායනා කරනවා. රූපසිංහ මාස්‌ටර් විසින් ඇයව සංගීත ලෝකයට හදුන්වා දෙන්නේ  “ඩේසි” නාමය ඉවත් කොට රුක්‌මණී වසුන්දරා ලෙසින්. පසුව එය රුක්මණී දේවී ලෙස වෙනස් කරනු ලබනවා. ඉන් අනතුරුව “ගලා කන්දේ”, “තේ පැන් දින දින”, “මැවීලා පෙනේවී”, “හද හඩනවා හිමියනි” හා “කෝකිලයා කෙවිලිය හා” ඇය ගැයූ ගීත අතරින් කිහිපයක්.

රූපසිංහ මාස්‌ටර් හා එක් වී දිගටම බොදු ගී ගායනා කළ රුක්මණී 1939දී කාගිල්ස් සාප්පුව විසින් නිශ්පාදනය කළ “හිස් මාස්ටර්ස් වොයිස්” නම් ග්‍රැමෆෝන් ගී තැටි වල ආරම්භක ගායන ශිල්පිණියක් ලෙස සහභාගී වෙනවා.

විචාරකයන් ඇය “මෙලඩි ක්වීන්” ලෙස හැඳින්වුයේ ඇගේ ගීතයන් හි ඇති අලංකාරත්වය හේතුවෙන්. රුක්මණී විසින් කිසිදු සංගීත ආයතනයක අධ්‍යාපනය හදාරා නොතිබුණත් ඇයට බටහිර සංගීතයට මෙන් ම ඉන්දීය පෙරදිග රාගධාරී සංගීතය ද එක ලෙස ගී ගැයීමේ හැකියාව තිබුණා.

රුක්මණී දේවී 1947 වර්ෂයේදී  රේඩියෝ සිලෝන් ගුවන් විදුලි ශ්‍රවණ පරීක්ෂණයකදී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පීන් අතරින්  දෙවන ස්ථානයට පත්වෙනවා. ගීත වලට අමතරව ඇය විසින් ගායනා කරන ලද විරිදු ගීත ද ඉතා විශාල ගණනක් තිබෙනවා. මීට අමතරව “සැඟවුණු පිළිතුර” චිත්‍රපටයේ ද්‍රවිඩ පිටපත වන “කුසුමලතා” හි ද්‍රවිඩ ගීත ගායනා කරන්නටත් ඇයව තෝරා ගන්නවා.

වේදිකාවෙන් සිනමාවට

“දීපශිකා” චිත්‍රපට සම්මාන උළෙලේදී හොදම නිළිය සම්මානය අතැතිව ඒ. ඩබ් ජයමාන්න හා සිරිසේන විමලවීර සමඟ (Rukmani Devi)

නිළියක ලෙස කපටි ආරක්ෂකයා (මල්ලිකා), වැරදුණු කුරුමානම (ස්වර්ණා), පෙරළන ඉරණම (සුවිනීතා), හදිසි විනිශ්චය (කාන්ති), සැඟවුණු පිළිතුර (කුසුමලතා), උමතු විශ්වාසය (දිවිත්ව චරිත මව සහ දුව), කැලෑහඳ (මාලිනී), අයිරාංගනී (අයිරාංගනී), මතභේදය (කුසුමා), පෙරකදෝරූ බෑණා (මාලිනී), දොස්තර (චන්ද්‍රා) චිත්‍රපටවල රඟමින් සිනමාවට දායකත්වය සපයනවා.

ඉන්දියානු ෆිල්ම් ෆෙයාර් සඟරාවේ මුල් පිටුව සරසමින් (Cineplot.com)

ඇය විසින් රඟ පෑ චිත්‍රපට සංඛ්‍යාව අසූ හතරක් පමණ වෙනවා. ඇයගේ සැමියා වන එඩී ජයමාන්න සමඟ රුක්මණී රඟ පෑ චිත්‍රපට අතර “කැලෑ හඳ“ ප්‍රේක්ෂකයන් විසින් තදින් වැළඳගත් චිත්‍රපටයක් ලෙස හදුන්වන්නට පුළුවන්. සිරියලතා (ගුස්තිනා හෙවත් ශ්‍රියාලතා), දෛව යෝගය (ශීලා දස්කොන්, පෙමිලා බිසව), සැමියා බිරිඳගේ දෙවියාය (චන්ද්‍රා), ඉහත ආත්මය (එමලි) හා දෙවියනි ඔබ කොහිද (මරියා) තවත් ජනප්‍රිය චිත්‍රපට කිහිපයක්. තවද ඇය විසින් ප්‍රේමා නම් චරිතය රඟපෑ “නළඟන” චිත්‍රපටය වාරණයකට ලක් වන්නේ ඇයගේ ඇඳුම ශ්‍රී ලංකා සංස්කෘතියට පටහැණි බව පවසමින්.

විශිෂ්ට චිත්‍රපට රඟපෑම හේතුවෙන්  “දීපශිකා” සම්මාන උළෙලේ නිළි රැජිණ සම්මානයෙන් රුක්‌මණී දේවී පිදුම් ලබන්නේ එම සම්මානය ලබා ගත් පළමු නිළිය වෙමින්. ජාත්‍යන්තර චිත්‍රපට සඟරාවක්‌ වන ඉන්දියාවේ “ෆිල්ම් ෆෙයාර්” සඟරාවේ මුල් පිටුව සැරසීම සඳහා ඇයගේ ජායාරූපයක් යොදා ගන්නවා. එදා මෙදා තුර එම සඟරාවේ ජායාරූපයකට පෙනී සිටි එක ම ශ්‍රී ලාංකික නිළිය රුක්මණීයි.

ස්වර්ණ ගී කැසට් පටයේ මුල් කවරය (Srilankan Records)

1978 වර්ෂයේ ඔක්තෝබර් 28 දා මාතර උයන්වත්තේ සංගීත සංදර්ශනයකට සහභාගී වී මීගමුවේ බෝලවලාන පිහිටි නිවසට නැවත පැමිණෙමින් සිටින විට එදින උදේ 6.30ට පමණ ජා ඇල තුඩැල්ලේ දී සිදු වූ රිය අනතුරින් රුක්මණී දේවී සිනමාවෙන් මෙන් ම ජීවිතයෙන් ද සමුගන්නවා. රුක්මණී දේවීගේ අවසන් කටයුතු සඳහා අති විශාල ජනකායක් සහභාගී වෙනවා. ඇය සිහි කිරීම උදෙසා අනතුර සිදු වූ ස්ථානයට ආසන්නව ඇයගේ පිළිරුවක් ද ඉදිකර තිබෙනවා.

සුවිශේෂී කරුණ වන්නේ, ඇය කෙතරම් සිංහල චිත්‍රපටවල හා වේදිකා නාට්‍ය වල  රඟපෑවත්, සිංහල ගීත ගායනා කළත් ඇයට සිංහලෙන් කතා කිරීම අපහසු වීමයි. ඇය සෑම සිංහල ගීයක් ම ගැයුවේත් සෑම දෙබසක් ම කියෙව්වේත් ඉංග්‍රීසියෙන් කොළයක ලියා ගැනීමෙන් අනතුරුව යි.

Related Articles