හිට්ලර් වෙනුවෙන් උපන්බිමට ද්‍රෝහී වූ නෝර්වීජියානුවා – ක්විස්ලිං

දෙවන ලෝක යුද්ධයට පෙර වගේම දෙවන ලෝක යුද්ධය අතරතුරදිත් හිට්ලර්ගේ නට්සි ජර්මනිය විසින් විවිධ රටවල් අල්ලා ගනු ලැබුණා. මේ අතරින් ඇතැම් ප්‍රදේශ ජර්මනියට කෙළින් ම ඈඳා ගනු ලැබුණ අතර ඇතැම් ප්‍රදේශවල නමට පමණක් ස්වාධීන රූකඩ ආණ්ඩු පිහිටවන්නට ඔවුන් කටයුතු කළා.

මේ ආණ්ඩු නමින් ස්වාධීන වුණත් ඇත්ත වශයෙන්ම එම ප්‍රදේශ පැවතුණෙත් ජර්මන් පාලනය යටතේයි.

මේ ආකාරයේ “ස්වාධීන​” ආණ්ඩු පිහිටුවාපු ප්‍රදේශ අතර ස්ලොවැකියාව​, ක්‍රොයේෂියාව සහ නෝර්වේ වැනි රටවල් කිහිපයක් ම වනවා. මේවායේ නායකයන් අතුරින් වඩාත් ම කුප්‍රකට වූයේ නෝර්වේ රාජ්‍යයේ විඩ්කුන් ක්විස්ලිං.

ඔහු කෙතරම් ප්‍රසිද්ධ මෙන්ම වෛරයට බඳුන් වූවකු වුණාද කිවහොත්, ඉංග්‍රීසි සහ වෙනත් භාෂා කිහිපයකටම ඔහුගේ නමින් වචනයක් පවා එකතු වුණා. එම භාෂාවලින් ක්විස්ලිං (Quisling) යනු රූකඩ පාලකයකු හෝ ද්‍රෝහියකු හෝ හඳුන්වන්නට කියවෙන නමක්.

දෙවන ලෝක යුද්ධය අවසානයේ ජර්මනිය පරාජය වීමෙන් පසු විඩ්කුන් ක්විස්ලිං ද අත් අඩංගුවට ගනු ලැබුණා. ඔහුට එරෙහිව දේශද්‍රෝහී වීම ඇතුලු චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග කොට මරණ දඬුවම ලබා දීමට තීරණය වුණා. ක්විස්ලිං 1945 ඔක්තෝබර් 24 වනදා මරණ දඬුවමට යටත් කෙරුණා.

සංචාර​

විඩ්කුන් ක්විස්ලිං උපත ලද්දේ 1887 ජූලි 18 වනදා නෝර්වේ හි ෆයර්ස්ඩාල් හිදී. පාසැල් අධ්‍යාපනයෙන් පසු ඔහු නෝර්වීජියානු හමුදා ඇකඩමියට ඇතුලත් වුණා. එයින් ඔහු ඉහළින් ම සමත් වුණා.

පළමු ලෝක යුද්ධයේදී නෝර්වේ රාජ්‍යය මධ්‍යස්ථව සිටීම පිළිබඳ ක්විස්ලිං එතරම් සතුටු නොවූ බව සඳහන් වනවා. මේ අතර 1918 මාර්තුවේදී ඔහු සෝවියට් රුසියාවේ නෝර්වීජියානු දූත කාර්යාලයේ නිලධාරියකු ලෙස එරටට යවනු ලැබුණා.

ක්විස්ලිං සහ ඔහුගේ දෙවන බිරිඳ මාරියා (National Archives of Norway)

ඔහු එම වසර අවසානය පමණ වනතෙක් සෝවියට් රුසියාවේ රැඳී සිටියා. එම කාලයේ බෝල්ශවික්වාදීන් විසින් එරට ජනතාව පාලනය කළ ආකාරය පිළිබඳව ඔහු අත් දැකීම් ලබාගත්තා.

1919 සැප්තැම්බරයෙදි ක්විස්ලිං ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවර නෝර්වීජියානු තානාපති කාර්යාලයේ බුද්ධි නිලධාරියකු ලෙස කටයුතු කිරීම ඇරඹුවා. ඔහු එම තනතුරෙහි 1921 තෙක් කටයුතු කළා. 1922 දි ඔහු ජාතීන් ගේ සංගමය වෙනුවෙන් ආධාර වැඩසටහන් සඳහා යුක්‍රේනය වෙත පිටත්ව ගියා. ඒ ප්‍රකට දේශ ගවේෂකයකු සහ මානව හිතවාදියකු වූ ෆ්‍රිට්ස්යොෆ් නැන්සන්ගේ පෙළඹවීම මතයි.

විවාහයන් දෙකක්

ඔහුට සිය පළමු බිරිඳ මුණ ගැසුනේ යුක්‍රේනයට ගිය පළමු ගමනේදියි. ඇලෙක්සැන්ඩ්‍රා වොරොනිනා හෙවත් අස්යා නම් වූ ඇය සමඟ විවාහ වූ ඔහු 1922 සැප්තැම්බරයෙදී ආපසු සිය රට බලා පැමිණියා. 1923 මුලදී මෙම යුවළ යළි යුක්‍රේනය බලා පිටත් වූයේ තව දුරටත් මානුශීය ආධාර ලබාදීමේ කටයුතු සඳහායි.

ඔහු මාරියා වසිලියෙව්නා මුණ ගැසෙන්නේ මෙම ගමනේදීයි. මාරියා ඔහුගේ දෙවන බිරිඳ බවට පත් වූ බව ප්‍රකාශ කළත් ඔවුන් විවාහ වූවාද යන්න පිළිබඳ විවාද පවතිනවා. අස්යා සමඟ ක්විස්ලිංගේ විවාහයත් ඒ වෙද්දී නීත්‍යානුකූලව අවසන්ව තිබුණේ නැහැ.

සෝවියට් හිතවාදය​

1923 දී ඔහු නිවාඩුවක් ගත කිරීම පිණිස ප්‍රංශයට ගියේ හමුදා සේවයට ද සමු දෙමින්. මේ අතර ඔහු බොහෝ සෙයින් කියවීමට සහ ලිවීමට ද යොමු වුණා. මෙකළ නෝර්වේ රටේ ප්‍රකට පුවත්පතක් වූ ටයිඩන්ස් ටේගන් පුවත්පතට ලියමින් ඔහු සෝවියට් දේශය සමඟ තානාපති සබඳතා ස්ථාපිත කළ යුතු බව ප්‍රකාශ කළා. එමෙන්ම 1924 ගිම්හානයේදී ඔහු යළි නෝර්වේ රටට ගිය පසු දේශීය කොමියුනිස්ට් ව්‍යාපාරය සමඟ ද සබඳතා ඇතිකර ගත්තා. ප්‍රතිගාමී බලවේගවලට එරෙහිව ජනතා මිලීෂියා කණ්ඩායම් පිහිටුවීම පිළිබඳ පවා ඔහු අදහස් දැක්වූවා.

1927 දී ක්විස්ලිං සෝවියට් දේශයේ නෝර්වීජියානු නියෝජිත කාර්යාලයට පත්වීමක් ලැබුවා. මෙකල බ්‍රිතාන්‍යයේ දූත කටයුතු ද නෝර්වේ රාජ්‍යයේ කාර්යාලය හරහා සිදු වුණා. මේ හේතුව නිසා බ්‍රිතාන්‍යය වෙනුවෙන් ක්විස්ලිං ඔත්තු බැලූ බවටත් ඇතැමුන් අතර සැකයක් ඇති වුණා.

කෙසේ වෙතත් සෝවියට් දේශය තුළ ස්ටාලින්ගේ නැගීමත් සමඟ මතු වෙමින් පැවති දැඩි මතධාරී ස්වභාවය ද සමඟ ක්විස්ලිං සෝවියට් දේශය පිළිබඳව තිබූ හිතවාදීභාවය වියැකී ගියා. ඔහු 1929 දී ආපසු නෝර්වේ වෙත පැමිණියා.

ෆැසිස්ට්වාදයට නැඹුරු වීම​

නෝර්වේ හි ගොවිජන පක්ෂයට (Agrarian Party) සම්බන්ධ වූ ඔහු 1931 – 33 සමයේ එරට ආරක්ෂක අමාත්‍ය ධූරය ද දැරුවා. මේ අතර හිට්ලර් බලයට පැමිණීමත් සමඟ ජර්මනියේ නට්සි පාලනය දෙසට ඔහ්ගේ සිත ඇදී ගිය අතර 1933 මැයි මාසයේදී නැෂනල් සම්ලින් (ජාතික එකමුතුව​) නම් පක්ෂයක් ද පිහිටුවා ගත්තා.

කෙසේ නමුත් 1933 මහ මැතිවරණයේදී ඔහුගේ පක්ෂය කිසිදු ආසනයක් දිනා ගත්තේ නැහැ. එමෙන්ම ඔවුනට ලැබුණේ සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට තුනකටත් අඩු ප්‍රමාණයක්.

1939 ජූනි මාසයේදී ජර්මනියේ ල්‍යුබෙක් හි පවත්වන ලද නෝර්ඩික් සමුලුවක් අවස්ථාවේ නට්සි ජර්මන් න්‍යායාචාර් ය ඇල්ෆ්‍රඩ් රොසෙන්බර්ග් මුණ ගැසුණ ක්විස්ලිං අනාගත යුද්ධමය තත්ත්වයකදී නෝර්වේ අත්පත් කරගැනීම වැදගත් වන බව ක්විස්ලිං කියා සිටියා. ඔහු සඳහන් කළේ බ්‍රිතාන්‍යය නෝර්වේ අත්පත් කරගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.

රොසෙන්බර්ග් මෙම සාකච්ඡාවෙන් බොහෝ කලබලයට මෙන්ම උද්දාමයටත් පත් වුණා. ඔහුගේ එක් සිහිනයක් වුණේ ස්කැන්ඩිනේවියාවේ නෝර්ඩික් රාජ්‍යයක් බිහි කිරීමයි. මේ නිසාම ඔහු හිට්ලර්ටත්, හර්මන් ගෝරිංටත්, විදේශ ඇමති රිපබ්ත්‍රොප්ටත් ලියමින් ක්විස්ලිංගේ යෝජනාව පිළිබඳ සැළ කළා. නමුත් ඔවුන් රොසෙන්බර්ග් වෙත දැක්වූයේ උදාසීන ප්‍රතිචාරයක්.

ක්විස්ලිං (වමේ) සහ ටර්බෝවන් නව පොලිස් හමුදාවක් නිරීක්ෂණය කරති (National Archives of Norway)

1939 සැප්තැම්බරයේදී බ්‍රිතාන්‍යය සහ ජර්මනිය අතර යුද්ධ තත්ත්වයක් ඇතිවීමත්, එම වසර අවසනදී සෝවියට් දේශය සහ ෆින්ලන්තය අතර යුද්ධයක් ඇතිවීමත් හේතුවෙන් මෙම ප්‍රශ්නය කෙරෙහි ජර්මානුන් වැඩි අවධානයක් යොමු කළා.

රොසෙන්බර්ග්ගේ මැදිහත්වීමෙන් ක්විස්ලිං 1939 දෙසැම්බරයේදී ජර්මන් අද්මිරාල් එරික් රේඩර් මුණ ගැසුණා. පසුව රේඩර් විසින් ඇඩොල්ෆ් හිට්ලර්ට නෝර්වීජියානුවාගේ යෝජනාව පිළිබඳ දන්වා සිටියා. එනම් බ්‍රිතාන්‍යය විසින් නෝර්වේ යටත් කිරීමට පෙර එහි බලය අල්ලා ගැනීමයි. නෝර්වීජියානු හමුදාවේ නිලධාරීන් සමඟ තමන්ට තිබූ සබඳතා භාවිතයෙන් එය සිදු කිරීමට ක්විස්ලිං සූදානම් බව කියා සිටියා. ජර්මනිය විසින් කළ යුතු වූයේ නෝර්වීජියානු මුහුදු ප්‍රදේශයට නාවික සේනාංකයක් යවා හමුදාමය මැදිහත්වීමකට සූදානම් බව පෙන්වීමයි.

තමන් බලය අල්ලාගත් පසු නෝර්වීජියානු රජතුමා විසින් තම රජය පිළිගනු ඇතැයි ක්විස්ලිං බලාපොරොත්තු වුණා.

1939 දෙසැම්බර් 14 වනදා ක්විස්ලිං සහ ඇඩොල්ෆ් හිට්ලර් අතර හමුවීම සිදු වූ අතර හිට්ලර් නෝර්වීජියානුවා කෙරෙහි පැහැදුණා. ඒ සමඟ ඔවුන් නෝර්වේ අත්පත් කර ගැනීමේ සැලසුම් ක්‍රියාවට නැගුවා.

ජර්මන් ආක්‍රමණය​

1940 අප්‍රේල් 9 වනදා ජර්මන් හමුදා නෝර්වේ ආක්‍රමණය කළා. ඔවුන් බලාපොරොත්තු වූයේ නෝර්වීජියානු රජු VII වන හාකොන් සහ නෝර්වීජියානු රජය අල්ලා ගැනීමයි. නමුත් මේ වෙද්දී රජතුමා රටේ නැගෙනහිර හමාර් ප්‍රදේශයට පළා ගොස් තිබුණා. ඔස්ලෝ නගරය ජර්මානුන් අතට පත්වූ නමුත් රජු සහ රජය දිගටම සටන් කරන ලෙස ජනතාවට කියා සිටියා.

එදින ම සවස 5.30 ට පමණ ක්විස්ලිං නෝර්වීජියානු ගුවන්විදුලි මූලස්ථානයට කඩා වැදී තමන් නව රජයක් පිහිටවූ බව ප්‍රකාශ කළා. පැය 24 ක් යාමට මත්තෙන් ජර්මනිය මෙම නව රජය පිළි ගත්තා. නමුත් නෝර්වීජියානුවන් මෙම රජය පිළිගත්තේ නැහැ. ඔවුන් සිය රජු සහ රජය සමඟ දිගටම රැඳී සිටියා.

නෝර්වීජියානු හමුදා ක්විස්ලිංට අවනත නොවූ නිසා ජර්මානුන්ට දිගටම ඔවුන් හා සටන් කරන්න වුණා. එහෙයින් ඔවුනට ක්විස්ලිංගෙන් ප්‍රයෝජනයක් නැති වූ අතර ඔහුව අමතක කර දැමුණා.

VII වන හාකොන් (වමේ) සහ කිරුළ හිමි ඔලාෆ් කුමරු 1940 දී (Public Domain)

අප්‍රේල් 24 වනදා නෝර්වේ රාජ්‍යය පාලනය කිරීමට රයිෂ්කොමිසාර් ලෙස ජෝසෆ් ටර්බෝවන් පත් කෙරුණා. පසුව ජාතික එකමුතුවේ ඇතැම් සාමාජිකයන් මෙම රජයට එක් කරගනු ලැබුණා.

පසු කාලීනව නෝර්වේ පාලනය සඳහා ජර්මානුන්ගේ සහභාගීත්වය අඩු කිරීමට ගත් තීරණයක් අනුව 1942 පෙබරවාරි 1 වනදා ක්විස්ලිං අගමැති ලෙස නම් කරමින් නව රජයක් පිහිටවනු ලැබුණා. නමුත් තවමත් රටේ නියම පාලකයා වූයේ රයිෂ්කොමිසාර්වරයා මිස ක්විස්ලිං නොවේ.

ජර්මනිය යුද්ධයෙන් පරාජය වීමත් සමඟ ක්විස්ලිං මැයි 9 වනදා යටත් වුණා. ඔහුට එරෙහිව සිදු කරන ලද නඩු විභාගය වෙත විශාල අවධානයක් යොමු වුණා. ඔහුට මරණ දඬුවම ලැබීම එතරම් පුදුමයට කරුණක් වුණේ නැහැ.

ඔහුගේ බිරිඳ වූ මාරියා 1946 දී කෙටි කලකට අත් අඩංගුවට පත්වූ නමුත් පසුව නිදහස් ව සිය සැමියාට සහ ඇයට අයත් වූ දේපළ ලබාගැනීමට සටන් වැදුණා. 1955 දී ඇය නෝර්වේ රජය සමඟ එකඟතාවයකට ආවේ ඒ බොහෝ දෑ ආපසු ලබාගෙනයි. ඉන්පසු නිහඬ දිවියක් ගෙවූ ඇය 1980 දී මිය ගියා.

මූලාශ්‍ර​

  1. William L. Shirer, The Rise and the Fall of the Third Reich

Cover Image: ක්විස්ලිං (වමේ) සහ ටර්බෝවන් (National Archives of Norway)

Related Articles