අසහාය සාහිත්‍යධරයානෝ – රවින්ද්‍රනාත් තාගෝර්තුමා

ලෝකයේ බිහි වූ ශ්‍රේෂ්ඨයින් අතර රවින්ද්‍රනාත් තාගෝර් යන නාමය අප කාටත් හුරු පුරුදුය. ඉන්දියාවේ උපත ලැබුවද ලෝකය පුරා ඔහුගේ නාමය අමරණීය වූ යේ ඔහු තුළ පැවති කුසලතාවයන් නිසාවෙනි. මෙම ලිපිය තුළින් රවින්ද්‍රනාත් තාගෝර් තුමාගේ ජීවිත කතාව කෙටියෙන් සාකච්ඡා කෙරෙනු ඇත.

1861 මැයි මස 6 වනදා කල්කටාවේ පෝරසංකෝහි දී උපත ලැබූ මොහු පවුලේ දා හතර වන දරුවා විය. පියා දේවේන්ද්‍රනාත් තාගෝර් වූ අතර මව සාරදා සුන්දරී විය. ඉන්දියානුවන් මෙතුමා “ගුරුදේව” යන නාමයෙන් හදුන්වයි. මොහු 1913 වර්ෂයේ සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබී ය. රවින්ද්‍රනාත් තාගෝර් තුමා ලේඛනය සදහා යොදා ගත්තේ බෙංගාලි භාෂාවයි. පසු කාලීනව ඔහුගේ කෘතීන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය විය.

ළමාකාලය හා අධ්‍යාපනය

ahataxix.com

තාගෝර්  තුමාට අධ්‍යාපනය ලබා දීම සඳහා ප්‍රථමයෙන් ඇතුළත් කළේ ඔරියන්ටල් සෙමනරියට යි. නමුත් ගුරුවරුන්ගේ දැඩි දඩුවම් හා තමාට නිදහසේ සෙල්ලම් කිරීමට තිබු අවස්ථාව නැති වීම නිසා ඔහු පාසල් ජීවිතය ප්‍රතික්ෂේප කරන ලදි. ඔහුගේ දර්ශනය අනුව පාසලක් යනු හිර ගෙයක් හා රෝහලක් එක් තැන් වූ අවස්ථාවකි. පාසල පිළිබඳ තිබු අකමැත්ත නිසාම ඔහුගේ පාසල් ගමන නැවතුනි. අනතුරුව ඔහුගේ පියා කාව්‍ය, නෘත්‍ය, සංගීතය, භාෂාව, සාහිත්‍ය, චිත්‍ර කර්මය ආදි විෂයන් නිවසට ගුරුවරුන් ගෙන්වා තම පුත්‍රයාට උගන්වන ලදි. තාගෝර් තුමාගේ පියාගේ අදහස වුයේ තම පුතු නීතීඥයෙකු කිරීමට යි. නමුත් ඔහු කුඩා කල සිටම ලැදියාවක් දැක්වූයේ සාහිත්‍යයට යි.

ජීවිත ගමනේ සංදිස්ථාන

indianexpress.com

එංගලන්තයේ සිට පැමිණි තාගෝර් තුමා හුග්ලි ගඟබඩ නිවසේ පදිංචි විය. එය ඉතා මනස්කාන්ත ප්‍රදේශයක් වූ අතර මේ සමයේ ඔහු බොහෝ ගීත රචනා කරන ලදී. මේ කාලයේ තම සොහොයුරා වූ ජ්‍යෙතීන්ද්‍රනාත් “භාරතී” නම් සඟරාවක් පවත්වාගෙන යන ලදි. තාගෝර් විසින් එම සඟරාවට  “යුරෝපා ප්‍රමායී” නමින් ලිපි පෙළක් ලිවීය. සිය ප්‍රථම කවිය එළි දක්වන විට ඔහුගේ වයස අවුරුදු 14ක් විය.

1883දි මුණාලිනි දේවි සමඟ විවාහ දිවියට එලබුනු ඔහු තමාට පරම්පරාවෙන් උරුම වූ දේපළ සමඟ බටහිර බෙංගාලයේ ජීවත් විය. 1901දි ඔහු බෙංගාලයේ ශාන්ති නිකේතනයට ගොස් පදිංචි විය. මෙය ඔහුගේ පියා භාවනා කිරීමට යොදාගත් හුදෙකලා ස්ථානයකි. 1902දි ඔහු එම ප්‍රදේශයේ පාසලක් ආරම්භ කරන ලදී. 1902 – 1907 කාලය ඇතුලත තාගෝර් තුමාගේ බිරිද, පියා, පුත්‍රයා, දියණිය යන සියලුම දෙනා ඔහු අතහැර ජිවිතයෙන් සමු ගන්නා ලදී.

Rabindranath family (රබින්ද්‍රනාත් තාගෝර්තුමාගේ දියණියන් තිදෙනා සහ පුතු)

1918 වසරේදී ‘විශ්ව භාරති’ නම් විශ්ව විද්‍යාලයක් ශාන්ති නිකේතනයේ ආරම්භ කිරීමට තාගෝර් තුමා කටයුතු කරන ලදී. මෙය පිහිටුවන ලද්දේ මනුෂ්‍ය ස්වභාවය අධ්‍යනය කිරීමටයි. 1922දි ග්‍රාම සංවර්ධන කාර්යය මූලස්ථානයක්ද  ඒ ආසන්නයේ ආරම්භ කරන ලදී. රවින්ද්‍රනාත් තාගෝර් තුමා 1934දි ශ්‍රී ලංකාවට පැමිණ ඇත. එහිදී ලාංකික නර්තනය, වාදනය, හා සෞන්දර්යය ආරක්ෂා කිරීම සඳහා ස්ථාපනය කල හොරණ ශ්‍රී පාලි සෞන්දර්යය කලා ආයතනය බිහි කරලීමට තාගෝර්තුමා මුල්ගල තබන ලදී. මෙමගින් පෙනී යන්නේ ලෝකයේ කවර රටක වුවද සෞන්දර්යාත්මක හා සාහිත්‍යමය කටයුතු නගා සිටුවීමට එතුමා තම සේවය නොපසුබටව ලබා දුන් බවයි.

valter.oware.info

විවෘත මනසකින් යුතු වූ තාගෝර් තුමා ජාති, ආගම්, කුල භේද ප්‍රතික්ෂේප කරන ලදී. ඔහු ලෝකයේ බොහෝ රටවල සංචාරය කළ පුද්ගලයෙකි. ඉතාලියේදී ඔහු කළ “විද්‍යාවේ අරුත” නම් දේශනය ඇසීමට මුසෝලිනී ද පැමිණි බව කියැවේ. ඔහු ලංකාවට පැමිණි අවස්ථාවේ “ශාපමෝවන්” නාට්‍යය එක දිගට දින පහක් රඟ දක්වන ලදී. ඒ සදහා ඔහු තෝරා ගෙන තිබුනේ කොළඹ රීගල් සිනමා හලයි.

සාහිත්‍යයට කල සේවය

රවින්ද්‍රනාත් තාගෝර් තුමාගේ නිර්මාණ කෘති අතර නවකතා, කෙටි කතා, දෘශ්‍ය කාව්‍ය, සිනමා සාහිත්‍ය ආදී කෘති  රැසක් දක්නට ලැබේ. ඔහු විසින් රචිත කෘති කීපයක් පහත දැක්වේ.

  • රාජ්රිෂ්
  • චෙඛාර් ඛාලි
  • නෞකාඩුබි
  • ගෝරා
  • ශෙෂෙර්
  • කබිතා
  • චතුරංග
  • සරේ බායිරේ
  • යෝයායෝග්
  • මාලන්වා
  • කාබුලිවාලා
  • ඒක්රාතීම
  • සමාප්ති
  • ස්ත්‍රීර් පාත්‍රා
  • ගුප්ත යාන්
  • සම්පත්තිදාන්
  • රබිබාර්
  • ශේෂ් කතා
  • මහාමායා
  • චාරුලතා ආදිය වේ.

zeenews.india.com

‘ඨාකූර්නෝර් හාට්’ ඔහුගේ පළමු නවකතාවයි. අවසන් නවකතාව වුයේ ‘චාර් අධ්‍යායා’ ය. පුකිතීර් ප්‍රතිගෝධි, රාජා ඕ රාණි, විසර්ජන්, චිත්‍රාංගදා, විදයා අභිෂාප්, ගන්ධාරිර් අවේදන්, සරදෝත්සව්, රාජා, අචලායතන්, දක්සර් තවත් නිර්මාණයන්ය. භාරතීය සිනමාවට රවින්ද්‍රනාත් තාගෝර් නැතිවම බැරි චරිතයක් විය. ඊට හේතු වුයේ ඔහුගේ කෘතීන් සිනමාවට නැගීමයි. එලෙස සිනමාවට නැගුණු  කෘති කීපයක් ලෙස

  • ඛාලිදාග්
  • ගීතාංජලී
  • කාබුලිවාලා
  • ක්ෂුදන පාෂාණ
  • සමාප්ති

දැක්විය හැක.

තාගෝර් තුමා විසින් “ස්මරණ” නම් කෘතියක් තම බිරිඳ වෙනුවෙන් රචනා කරන ලදි . යටත් විජිත සමයේ ඔහු විසින් රචිත “ස්වදේශී සමාජ” , “සිවාජි” ලිපි සහ කවි මගින් දේශානුරාගය මතු කෙරිණි. අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කළ තවත් ක්‍රියාවක් ලෙස ‘භග්දාර’ සඟරාව ආරම්භ කිරීම දැක්විය හැක. මිය යන විට 80 වැනි වියේ පසු වූ ඔහු 1941  අගෝස්තු මස 7 වන දින මෙලොවින් සමුගන්නා ලදී.

ඇගයීමට පාත්‍ර වූ අවස්ථා

රවින්ද්‍රනාත් තාගෝර් තුමා බොහෝ අවස්ථා වලදී සම්මානයට පාත්‍ර වී ඇත.

  • 1913 දී ගීතාංජලී කාව්‍ය වෙනුවෙන් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබන ලදී.
  • 1915 දී බ්‍රිතාන්‍ය රජය ඔහුට පිරිනැමූ නයිට් පදවිය ප්‍රතික්ෂේප කිරීමට තරම් ඔහු නිහතමානී විය. මුල සිට ඔහු අධිරාජ්‍යවාදී පාලනයට විරුද්ධ පුද්ගලයෙකු විය.
  • 1940දී ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් දර්ශනපති උපාධිය පිරිනැමීය

කවරයේ පින්තුරය – onbeing.org

Related Articles