ලංකාවේ බුහුමන් නොලත් ක්‍රිකට් වීරයාට බුහුමනක්

“වමත් දඟ පන්දු යවන්නෙක්ට දිගින් දිගටම හොඳ පන්දු යවලා වීරයෙක් වෙන්න බෑ, ඒත් හරි මොහොතේදී හරියට යවන පන්දුවකින් මුළු ජාතියක්ම අසුන් වලින් නැගිට්ටවන්න හැකියාවක් තියෙනවා. එවැන්නෙක් දිගින් දිගටම කණ්ඩායමේ තියන් ඉන්න එකේ එහෙමත් ලොකු ප්‍රයෝජනයක් නැති උනත් අනිවාර්යයෙන්ම ඒකෙ ලොකු වටිනා කමක් නම් නෑ කියන්න බෑ ”

-ෂෙහාන් කරුණාතිලක (චයිනාමන්)

2014 අවුරුද්දේ මාර්තු 31 වෙනිදා චිතගොං වල පැවැත්වුණු ක්‍රිකට් තරඟයෙන් පස්සේ ෂෙහාන් ලියපු මේ වචන ටික කියවද්දී ඔහු කෙලින්ම කියන්නේ රංගන හේරත්, නැත්තන් “රංගි” ගැන කියලා ඔබටත් හිතුනා නම් ඒකෙ පුදුමයක් නෑ. රංගන එදා එක පන්දුවක් නෙවෙයි, ෂෙහාන් කියපු විදිහේ මැජික් පන්දු පහක්ම යවලා හැම ශ්‍රී ලාංකිකයෙක්ම උද්දාමයට පත් කරන්න සමත් වුණා. ඒ විතරක් නෙමෙයි එදා ඔහු T20 ඉතිහාසයේ හොඳම පන්දු යැවීම සනිටුහන් කර ක්‍රිකට් වාර්තා පොත් අතරේ ඉහළින්ම නම රඳවා ගන්නටත්  සමත් වුණා.

මේ අවුරුද්දේ, ඒ කිව්වේ 2016 අප්‍රේල් 17 වැනිදා මෙතෙක් කාලයක් ලංකාවේ ප්‍රධාන දඟ පන්දු යවන්නා වෙලා හිටිය රංගන හේරත් T20 හා එක් දින තරඟ වලින් සමු ගන්නා බව ප්‍රකාශයට පත් කළා. මේකෙන් ලංකාවේ පන්දු යැවීමේ බල ඇණියට ඇති වෙලා තියෙන්නේ පුරවන්න අපහසු හිස් තැනක්. කොහොම වුනත් ඉවසීමෙන් සහ දරා ගැනීමේ ශක්තියෙන්ම ගොඩ නගා ගත්තු “රංගි” ගේ ක්‍රිකට් ජීවිතය ගැන ආපහු හැරිලා බලද්දී Roar එකේ අපි ඔහුගේ නිහඬ සමුගැනීමට බුහුමනක් ලෙස මේ ලිපිය පළ කරන්න හිතුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට්හි නිහඬ වීරයා. රූපය : Getty Images

ශ්‍රී ලංකා ක්‍රිකට්හි නිහඬ වීරයා. රූපය : Getty Images

ඇඟේ ප්‍රමාණයෙන් බැලුවම ක්‍රිකට් වල විතරක් නෙවෙයි, වෙනත් මොන ක්‍රීඩාවකවත් රංගන වගේ කෙනෙක් හොයා ගන්න අපහසු තරම්. පාරේ තොටේදී කෙනෙක් ඔහුව දැක්කොත් එකවරම පෙනෙන්නේ කඩේක මුදලාලි කෙනෙක් වගේ මිසක් කාලයක් ටෙස්ට් ශ්‍රේණි ගත කිරීම් වල දෙවැනි තැන රැඳී හිටපු පන්දු යවන්නෙක් වගේ නෙවෙයි. වියදම් කරලා, ආහාර පාලනය කරලා හදා ගන්න හැඩිදැඩි සිරුරත්, කඩවසම් පෙනුමත් ගැන බලලා ක්‍රීඩා හැකියාව සහ මුදල් උපයන්න තියෙන හැකියාව මනින අද කාලේ රංගන කරන්නේ සාම්ප්‍රදායික ක්‍රිකට් හැකියාවන් අද කාලයට ගැලපෙන්න යොදා ගන්න එක විතරයි. ක්‍රීඩකයන්ගේ පෙනුම ගැන මොන තරම් වෙන කණ්ඩායම් හිතනවද කියන එකට එංගලන්තය හොඳ උදාහරණයක්. සමිත් පටෙල් අවුරුදු 19 වන විට දක්ෂතාවයෙන් ඉහළම තැන හිටිය ක්‍රීඩකයෙක්. ඒත් ඔහු එංගලන්ත කණ්ඩායමට සුදුසු විදිහට ඇඟ හදා ගන්න තුරු ඇන්ඩි ෆ්ලවර් ඔහුව කණ්ඩායමට ගන්න එක ප්‍රතික්ෂේප කළා. ඒ වගේ ක්‍රමයක් ලංකාවේ එහෙම තිබුණා නම් රංගනට මොන කලදසාවක් යයිද කියලා හිතන්නත් බයයි.

නමුත් වැරදියට හිතන්න එපා, සයිස් එකෙන් පොඩි වුණත්, බඩේ සික්ස් පැක් නොතිබුණත් රංගන කියන්නේ ක්‍රිකට් බෝලය අතට ගත්තම මහා දක්ෂයෙක්. මුරලිදරන් තමන්ගේ අසාමාන්‍ය හැකියාව නිසා වැඩ පෙන්වන නළුවෙක් නම්, රංගන හේරත් කියන්නේ තිරය පිටුපස ඉන්න අධ්‍යක්ෂකවරයා වගේ. ඔහු සැම විටම එළිපිට වීරයෙක් නොවුණත් අවශ්‍ය මොහොතේදී ඔහු ගන්නා පියවර නළුවෙක්ගේ තරමටම අවසන් ප්‍රතිඵලයට වැදගත්. බාහිර පෙනුමෙන් හෝ හිතා ගන්න බැරි පන්දුවලින් පිතිකරුවෝ බය කරන්න ඔහුට හැකියාවක් නැති බව ඇත්ත, නමුත් තමන්ගේ සූක්ෂම කම පාවිච්චි කරලා රංගන ඒ බිය ඇති කරනවා. එකවර මැජික් පන්දු යවනවා වෙනුවට ඔහු පිටියේ ස්වභාවය, පන්දුව පා කර හැරීම සහ පන්දුව යවන කෝණයේ සුළු වෙනස්කම් වලින් පිතිකරුවාට වඩා දුර දිග සිතා කඩුළු දවා ගන්න හැටි බලන්න පුදුමයි. මොන තරම් සූක්ෂමව ඔහු මේ සැලසුම් ක්‍රියාත්මක කරනවද කියනවා නම් ඔහු කඩුල්ලක් ගන්න තුරු ප්‍රේක්ෂකයන් වන අපිටවත් ඒක පැහැදිලි වෙන්නේ නෑ. සමහර වෙලාවට ඔහු පන්දු යවන්නේ විනිසුරුට ඉදිරියෙන්, ඊළඟට ටිකෙන් ටික කඩුල්ලට ඈතින් පන්දුව යොමු කරනවා. ඉන් පස්සේ අත කරකවමින් පන්දුවේ කෝණයේ වෙනස් කම් කරනවා, පන්දුව පා කර හරිනවා. මේ විදිහේ පොඩි වෙනස් කම් බොහොමයක් දකින පිතිකරුවාට පන්දුව වැටෙන තැන සිතා ගන්න බැරි තරම් ඔහුව වෙහෙසට පත් වෙලා කඩුල්ල දැවී යනවා. මේ මුළු කාලය පුරාම පිතිකරුවාට කිසිවක් තේරුම් ගන්න අපහසු වෙන්න තමන්ට අවශ්‍ය විදිහටම පන්දුව යොමු කරන්න රංගනට පුදුමාකාර හැකියාවක් තියෙන්නේ.

හේරත් : අමුතුම විදිහේ විජ්ජාකරුවෙක්. රූපය : Getty Images

හේරත් : අමුතුම විදිහේ විජ්ජාකරුවෙක්. රූපය : Getty Images

හේරත්ගේ වගේ ක්‍රිකට් ජීවිතයක් ගැන අහන්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. ඔහු ජීවිතයේ වැඩි හරියක් ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම දඟ පන්දු යවන්නා ලෙස සැළකෙන මුරලිදරන් සමග එකම කණ්ඩායමේ සිටීම නිසා ඔහුගේ හැකියාව ලෝකයට වහන් වෙලා තිබුනා කියලත් හිතන්න පුළුවන්. එහෙම ඉන්න එක ජනප්‍රිය ක්‍රීඩාවකදී බොහොම අපහසු වැඩක්. නමුත් මුරලි නික්ම ගියාට පස්සේ රංගන ඔහුගේ තැන ගන්න සමත් වුණා. ඒත් ඒකත් සිදු වුණේ අහම්බයෙන්. ඔහු එංගලන්තයේ ඉන්න කාලයක ජිම් එකට යන්න ලෑස්ති වෙද්දී තමයි දින දෙකකින් ගාල්ලේ තියෙන තරඟයට එන්න පුළුවන්ද කියලා ඇමතුමක් ලැබෙන්නේ. ඒ වෙද්දී ඔහු ලන්ඩන් වලිනුත් බොහොම දුර ඈතක හිටියත් කොහොම හරි ඉතින් ඉක්මනට ලංකාවට එන්න සමත් වුණා. දෛවය ක්‍රියාත්මක වුණේ එහෙමයි.

මුරලිගේ තැන ගන්න එක හරිම භාරදූර වැඩක්. නමුත් ඒ පීඩනය තමන් වෙතට එන්න දෙන්නේ නැතිව රටේ ප්‍රධාන දඟ පන්දු යවන්නා කියන වගකීම ඉෂ්ට කරන්නත්, ඒ ඇසුරෙන්ම ක්‍රීඩා ශෛලිය ඔප මට්ටම් කර ගන්නත් රංගනට පුළුවන් වුණා. එංගලන්ත කණ්ඩායමේ පසුගිය නායකයෙක් වුන ඩග්ලස් ජාඩින්ට ඔහුගේ සීයා කියලා දීපු ඔවදනක් තමයි රංගන තමන්ගේ ජීවන මන්තරය කර ගත්තේ: එනම් “ඔබට කවදාවත් පන්දු යවලා විතරක් පිතිකරුවෙක් දවා ගන්න බෑ, ඔබ ඔහුට වඩා ඉක්මනට ඔහුට වඩා ඉස්සරහින් හිතලා තමයි කඩුල්ල දවා ගත යුත්තේ” යන්නයි. ඔහුගේ සාම්ප්‍රදායක පන්දු යැවීමේ ක්‍රමයේ කිසිම විජ්ජාවක් නෑ. සැලසුම් කිරීම, සිතීම, සැලසුම් වෙනස් කිරීම කියන හැම දේම පන්දුව යවන අතරතුරේ කරන එකයි ඔහුගේ දක්ෂතාවය. වර්තමානයේ පිතිකරුවෝ තදින් පහර දෙන්න බයක් නැති නිසා පන්දු යවන්නෙක් නිතරම තමන්ගේ සන්සුන් බව තියා ගන්න අවශ්‍යයි. ඉවසීමේ හැකියාව අඩු නම්, ඉක්මනට කලබල වෙනවා නම් රංගනගේ ක්‍රමයෙන් සාර්ථකත්වයක් ගන්න කිසිම පන්දු යවන්නෙකුට බැහැ.

රංගන කියන්නේ සයිඩ් අජ්මාල් හෝ සුනිල් නාරින් වගේ බෝම්බ ගහලා පිතිකරුවෝ හසු කර ගන්න කෙනෙක් නෙවෙයි, ඔවුන්ව රවටලා බිම් බෝම්බ වෙතට ඇවිදගෙන යන්න සලස්වන කෙනෙක් කිව්වොත් වඩාත් නිවැරදියි. රංගනගේ 2.0 වර්ෂන් එක කියලා කියන්න පුළුවන් යලි නැගී සිටීම ශ්‍රී ලංකාව පසුගිය කාලයේ හොඳින් ක්‍රීඩා කරන්න ප්‍රධාන හේතුවක් වුණා. සංගක්කාර මහේල වගේ විශිෂ්ටයන්ටත් වඩා ලංකාව ජයග්‍රහණය කළ බොහෝ තරඟ වලට දායක වුණේ රංගන කියලා කිව්වොත් වරදක් නැහැ.

එක් දින තරඟ වලදී කඩුලු 50කට වඩා ගත්තු පන්දු යවන්නන් අතරින් පහුගිය අවුරුදු 5 තුලදී පස් වැනියට හොඳම සාමාන්‍යය තියෙන්නේ රංගන හේරත්ට. ඔහුට ඉහළින් ඉන්න හෆීස්, නාරින්, අජ්මාල් යන තුන් දෙනාම පන්දු යවන ඉරියව්ව ගැන පරීක්ෂණ වලට මුහුණ දෙන්න හෝ තහනමට ලක් වෙන්න සිදු වුනු අය. මුලාශ්‍රය : Statsguru/ESPN Cricinfo

එක් දින තරඟ වලදී කඩුලු 50කට වඩා ගත්තු පන්දු යවන්නන් අතරින් පහුගිය අවුරුදු 5 තුලදී පස් වැනියට හොඳම සාමාන්‍යය තියෙන්නේ රංගන හේරත්ට. ඔහුට ඉහළින් ඉන්න හෆීස්, නාරින්, අජ්මාල් යන තුන් දෙනාම පන්දු යවන ඉරියව්ව ගැන පරීක්ෂණ වලට මුහුණ දෙන්න හෝ තහනමට ලක් වෙන්න සිදු වුනු අය. මුලාශ්‍රය : Statsguru/ESPN Cricinfo

පහුගිය අවුරුදු පහක් පුරාවටම වැදගත් තරඟ වලදී ලංකාව වෙනුවෙන් නොකඩවා දස්කම් දක්වපු ක්‍රීඩකයා වුණෙත් රංගන හේරත්. අරවින්ද සහ ජයසූරිය 90 – 2000 ගණන් වලදී කළා වගේ ලංකාව තරඟාවලියකින් විසි වෙන්න ඔන්න මෙන්න තියෙද්දී දිනුමක් සොයා යන්න ඔහුගේ හැකියාව උදව් වුණා. ලකුණු තුනකට කඩුලු 5ක් අරගෙන ඔහු නවසීලන්තයට එරෙහිව තිබුණු නොනිල අර්ධ අවසන් පුර්ව වටයේ කළ දස්කම ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පන්දු යැවීම් වලින් එකක්. ලංකාව 119කට සියලු දෙනා දැවී ගිහින් තියෙද්දී ඔහු තනියෙන් ඉටු කළ වගකීම නිසා කණ්ඩායමට නව බලාපොරොත්තුවක් ගේන්නත්, පළමු වරට T20 ලෝක කුසලානය ලංකාවට අරන් එන්නත් හැකියාව ලැබුනා. 2012 T20 අවසන් පුර්ව වටයේදී පකිස්තානය පරාජය කරන්නත් ඔහුගේ දායකත්වය දක්වපු රංගන CB කුසලාන තරඟාවලියේ අවසන් තරඟයේදී ඔස්ට්‍රේලියාව උගුලට වට්ටන්නත් ඔහුගේ හැකියාවන් නිසා ලංකාව සමත් වුණා.

T20 තරඟ වලිනුත් පස් වැනියට හොඳම සාමන්‍යය තියෙන්නේ හේරත්ට. ඔහුගේ 6.13 ක සාමාන්‍යය සාම්ප්‍රදායික දඟ පන්දු යවන්නෙකුට සිතන්නවත් අපහසු එකක්. මුලාශ්‍රය : Statsguru/ESPN Cricinfo

T20 තරඟ වලිනුත් පස් වැනියට හොඳම සාමන්‍යය තියෙන්නේ හේරත්ට. ඔහුගේ 6.13 ක සාමාන්‍යය සාම්ප්‍රදායික දඟ පන්දු යවන්නෙකුට සිතන්නවත් අපහසු එකක්. මුලාශ්‍රය : Statsguru/ESPN Cricinfo

ක්‍රිකට් වලින් බැහැර ජීවිතයේදී රංගන හැමදාමත් ජනප්‍රියත්වයෙන් ඈත් වෙලා හිටපු කෙනෙක්. අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් වෙනත් ස්ථිර රැකියාවක් කරන එකම ක්‍රීඩකයා ඔහු වෙන්න ඇති. දැනටත් ඔහු සම්පත් බැංකුවේ සේවය කරනවා, නමුත් සනත් ජයසූරිය යුනියන් බැංකුවේ අධ්‍යක්ෂක ලෙස හිටියා වගේ නෙවෙයි. තමන්ගේ ජනප්‍රියත්වයෙන් සමාගමට වටිනා කමක් ගෙන එන කෙනෙක් වෙනුවට රංගන කියන්නේ පුර්ණ කාලීනව බැංකු සේවකයෙක් ලෙස වැඩ කරන එක. ඔහුව දකින කෙනෙකුට වැඩිපුරම පෙන්නේ බැංකුවක වැඩ කරන කෙනෙක් මිසක් ලෝකයේ බියකරුම පන්දු යවන්නෙක් නෙවෙයි. ලංකාව ක්‍රීඩා කරන තරඟයකට සහභාගී වෙන්න කලින් කළමනාකරු හමු වෙලා රංගන නිවාඩු ඉල්ලා ගන්න කතාව දැන් බොහෝ දෙනෙක් දන්නවා. මහේල, සංගක්කාර හෝ මැතිව්ස් තරම් රංගනගේ රූපය ගහපු කටවුට් නැහැ, ඒ වගේම ඔහුට විශාල ධනයක් ගලා එන පෞද්ගලික තරඟාවලිවත්, ව්‍යාපාර හිමිකම්වත් නැහැ. නිතරම පොළොවේ පය ගහලා ඉන්න රංගන කවදාවත් ජනප්‍රියත්වය පස්සේ යන්නේ නැති කෙනෙක්, ඔහු පිතිකරුවන් දවාලන රාජකාරිය තමන්ගේ පාඩුවේ නිහඬව ඉටු කරනවා. ඔහු තමන්ගේ අවධානය සම්පුර්ණයෙන් ක්‍රීඩාවට යොමු කරන එකම ඔහුගේ සාර්ථකත්වයේ හේතුව වෙන්න පුළුවන්.

පිටියේදී මොන තරම් දක්ෂයෙක් වුණත් රංගන හේරත් පිටියෙන් ඉවතට ගියාම බොහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්. රූපය : News First

පිටියේදී මොන තරම් දක්ෂයෙක් වුණත් රංගන හේරත් පිටියෙන් ඉවතට ගියාම බොහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්. රූපය : News First

අවාසනාවකට වගේ රංගනට ලෝක කුසලානයක් ජයග්‍රහණය කරලා සීමිත ඕවර තරඟ වලට සමු දෙන්න අවස්ථාවක් ලැබුනේ නෑ. තමන්ටම ආවේනික ක්‍රමයට ඔහු අපතේ ගිය T20 ලෝක කුසලානයෙන් පස්සේ නිහඬවම සමු ගත්තා. සංගා හා මහේල සමු ගත්ත දවස් වල වගේ රංගනට සුභ පතලා ගහපු කටවුට් වලින් කොළඹ වැහිලා නැහැ. ඒ වගේ ඔහුට සුභ පතලා සමාජ ජාල වල ලක්ෂ ගණන් share වුන පොස්ට් නැහැ. රංගන ගැන විශේෂයෙන් ලිපි කිහිපයක් පළ කරන්න ESPN Cricinfo වෙබ් අඩවිය පවා උනන්දු වුණේ ඔහු සමු ගත්තාට පස්සේ. නමුත් ඔහු කණ්ඩායමට දැක්වූ දායකත්වය කවදාවත් සුළු කොට තකන්න බෑ. ක්‍රිකට් වලට ආදරය කරන ජාතියක් විදිහට මුරලි – රංගන සුසංයෝගය නිසා වසර ගණනාවක් ලංකාවේ පන්දු යවන බල ඇණිය ශක්තිමත් වෙනවා දකින්න අපි වාසනාවන්ත වුණා. මීට පස්සේ රංගන වර්ණ ඇඳුමට සමු දුන්නත් තවත් කාලයකට ඔහු ටෙස්ට් පිටියේ දක්වන දක්ෂතා බලන්න අපිට ඉඩ ලැබේවි. ඉදිරි කාලයේ ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලි ගණනාවක්ම තියෙන හින්දා ඔහු දකින්න නැති අඩුව දැනෙන්නේ නැති වේවි. කවදාටත් අපේ හිතේ රංගන හේරත් කියන සුවිශේෂී ක්‍රීඩකයා ගැන මතකය රැදී තියන බව නම් ස්ථිරයි.

කවරයේ පින්තුරය: AFP 

Related Articles